අපේ බුදුහාමුදුරුවෝ 306 (සන්තිකේ නිධානය)

 

චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

පළමු ධර්ම දූත පිරිස වූ භික්ෂූන් හැට නමක් ඇතුළු බුදුපියාණන් වහන්සේ දර්ම ප්‍රචාරය සඳහා වැඩම කිරීම.

යසකුල පුත්‍රයා ඇතුළු පිරිසගේ සසරෙහි සැඟවුන තවත් ලස්සන කතාවක් තිබුණා. එයත් දැනගැනීම හොඳයි කියා සිතුවා. ඒ කතාවෙන් කල්‍යාණ මිතුරු මිතුරියන් වශයෙන් මෙම දීර්ඝ සංසාරයේ ඔබත් මමත් පැමිණෙන ගමන කොච්චර ආශ්චර්ය ජනකද කියලා සිතුනා.

එක් ආත්මභාවයක යසකුල පුතුන් ඇතුළු මේ යහළුවන් පිරිස සුවිශේෂ පුණ්‍යමය කටයුත්තක නියැලුනා. ඒ තමයි පිහිටවන්නට කෙනෙකු නැති මළ සිරුරු රැගෙන ගොස් ආදාහනය කිරීම. හරිම පුදුම සේවයක්. එදින දුරුවෙකු ප්‍රසූත කිරීමට ගොස් මියැදුන තරුණ ස්ත්‍රියකගේ මළ සිරුරක් ආදාහනය කිරීමට තමයි නියමිතව තිබුණේ. වෙන කිසිවක් නොතිබුන නිසා වෙන්නට ඇති යසකුල පුත්‍රයා ඇතුළු පස් දෙනෙකු ඒ කටයුත්ත සඳහා නවතා අනෙකුත් අය ගෙවල් වලට ගියා. තරුණියක් නිසා දේහය ලස්සනට තියෙන්නටත් ඇති. ඒ කෙසේවෙතත් දර සෑය මත තබා ආදාහනය කරන අතර තුර දේහය හොඳින් දැවීමට එහාට මෙහාට පෙරල්ලනටත් වනවා. ඒ කටයුත්ත කරනු ලැබුවේ යසකුල පුත්‍රයා. ඒ ලස්සනට තිබුන සිරුර ගින්නෙන් දැවී ක්‍රම ක්‍රමයෙන් විකුර්ති භාවයට පත්වෙන සැටි දුටුව යසකුල පුත්‍රයාට හදිසියේම අශුභසංඥාව පහළවුනා.

ඔහු අනික් සිවුදෙනාහටද ‘පින්වත්නි’ මේ පිළිකුල් අශුචිය බලවු’යි යැයි පහදාදෙද්දී ඔවුනටද අශුභසංඥාව මනාවට පහලවුනා. ඉන්පසු ඔවුන් පස්දෙන ගමට ගොස් සෙසු යහලුවන්ට ද ඒ බව දන්වා සිටියා. යස දාරක තෙමේ ගෙට ගොස් තම මවුපියන්ට හා අඹුවටද මෙය දන්වා සිටියා. හරිම පුදුමයි. ඒ සියල්ලෝම අශුභ භාවනාව වැඩූවා. මේ මොවුන්ගේ පූර්‍වප්‍රයෝගය යනුවෙන් විනය පිටකයේ මහාවග්ග පාලියේ සඳහන්. මේ හේතුවෙන්ම තමයි කියනවා ආයුෂ්මත් යසහට තම මාළිගයෙහි දී තැන තැන වැටි නිදන නාට්‍යංගනාවන් දැක ඔවුන් කෙරෙහිද සුසානසංඥාවම ඇතිවුනා කියන්නේ. ඒ උපනිශ්‍රයසම්පත්තියෙන්ම සියල්ලන්ම බුදුන් හමුවේ විශේෂාධිගමය ක්‍ෂණිකව පත්වුන බව විනය පිටකයේ සඳහන්.දැන් හිතන්න අප සාසනයේ රහත්භාවයට පත්වුණ මේ පිරිසට මිනිසුන්හට දර්මය පහදා දීමට සංසාරය පුරා ප්‍රගුණ කරමින් පැමිණි කොතරම් දක්ෂතාවයක් තිබෙන්නට ඇතිද?

මේ වනවිට පස්වග මහණුන්, සකුල පුත්‍රයා, ඔහුගේ යහළුවන් පනස් හතර දෙනා, බුදුරජාණන් වහන්සේත් ඇතුළුව සාසනයෙහි රහතුන් හැටඑක් නමක් බිහිවෙලා අවසානයි. වස්සාන කාලය ක්‍රමක්‍රමයෙන් නිමවෙමින් තිබුනේ. තවත් මාසයක් (ඉල් මස පසොළොස්වක් දා වන තුරුත්) භාග්‍යවතුන් වහන්සේ බරණැස ම වැඩ වාසය කළා. උන්වහන්සේට හිතෙන්නට ඇති තවත් ප්‍රමාද විය යුතු නැහැයි කියලා. උන්වහන්සේ එදින රාත්‍රියේ රහතුන් හැටදෙන කැඳවනු ලැබුවා. තමන් ඉදිරියෙහි ඇති භාරදූර කටයුත්ත මෙසේ විස්තර කරනු ලැබුවා.

“මුත්තෝ’හං භික්ඛවේ සබ්බපාසේහි යේ දිබ්බා යේච මානුසා,

තුම්හේ’පි භික්ඛවේ මුත්තා සබ්බපාසේහි යේ දිබ්බා යේච මානුසා.

‘පින්වත් මහණෙනි, දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් මම නිදහස් වූයෙමි. පින්වත් මහණෙනි, නුඹලා ද දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් සදහටම මිදුණේමය’

“චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.

‘පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන් හට අර්ථය පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න’

“මා ඒකේන ද්වේ අගමිත්ථ. දේසේථ භික්ඛවේ ධම්මං, ආදි කල්‍යාණං, මජ්ඣේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං, සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ.

‘දෙදෙනෙකු එක මගකින් නොගොස්, මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න’

“සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අහම්පි භික්ඛවේ යේන උරුවේලා සේනානි නිගමෝ තේනුපසංකමිස්සාමි ධම්මදේසනායා’ති.

‘කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය! මහණෙනි, මම ද දහම් දෙසීම පිණිස උරුවේලාවේ සේනානි නියම්ගම වෙත වැඩම කරන්නෙමි’

මහණෙනි, මමත් උරුවෙල් දනව්වට ධර්ම දේශනා පිණිස යන්නෙමි” යි වදාළ සේක.

මෙසේ වදාරා ඒ රහත් ධර්ම දූතයන් හැට නම හැට දෙසකට යොමු කොට තමන් වහන්සේත් උරුවෙල් දනවු බලා තනියෙන්ම පිය නගන්නට වුනා.

විනයපිටක/මහාවග‍්ගපාළිය/මහාක‍්ඛන්‍ධකං/එකොළොස්වන මාරකතාව

error: Content is protected !!