අපේ බුදුහාමුදුරුවෝ 304 (සන්තිකේ නිධානය)

 

ඒරක පත්ත නා රජුගේ කථා පුවත 02

ඒ අපගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ සත්සතිය ගෙවා බරණැසට වැඩ දම්සක් දෙසා පළමු වැසි සමයෙහි ඉසිපතන්හි වසන කාලේ, එක් පසොළොස්වක් දිනෙක අලුයම්හි සිරිත් පරිදි නිවන් අවබෝධ කළ හැකි සත්ත්වයන් සොයනු පිණිස ලොව දෙස දිවැස යොමු කළා. අප මහා මහාකාරුණිකයාණෝ බුදුඇසින් එලෙස ලොව දෙස බලද්දී උත්තර නම් මාණවකයෙකුට සෝවාන් ඵලයට පත්වීමේ පින ඇති බව දැක වදාළා. ඒ සමගම ඒරක පත්ත නාගරාජයාගේ කල්පාන්තරයක බලාපොරොත්තුවත් දැක්ක. ඒ වගේම මේ උත්තර මාණවකයාට අර නාගරාජයාගේ ගීයට පිළිතුරු දීමේ වාසනාව තිබෙන බවත් දුටුවා. උන්වහන්සේ මේ සියලූම කාරනා සඵල වන අයුරින් බරණැසින් නොදුරු තන්හි ප්‍රසිද්‍ධ වැ පැවැති රිටිගස් සතින් එකක් මුලට වැඩම කොට සමාධි සුවයෙන් නියමිත හෝරාව එන තෙක් වැඩ සිටියා.

උත්තර මාණවකයාට නාගරාජයාගේ කතා පුවත සැළවුණා. ඔහුත් පිළිතුරු ගීයක් නිර්මාණය කරගත්තා.

එදා ඒරකපත්‍රයාගේ නාගදියණිය පෙණ ගොබය මත නටන දවසයි. උත්තර මාණවකයා එතැනට යන්නට පිටත් වුණා. බරණැසට නුදුරින් මහරි රුක් සතකින් හෙබි ඉතා යහපත් සෙවණ ඇති තැනක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒ එක් මහරි රුක් සෙවණක වැඩහිටියා. උත්තර මාණවකයා ඔය අසලින් ගමන් කරමින් සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

“උත්තර, මෙහි එන්න.”

“ස්වාමීනී, ඇයි?”

“මෙතනට එන්න.”

එතකොට ඔහු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කළා. පැත්තකින් වාඩිවුණා.

“උත්තර, කොහේද යන්නේ?”

“ස්වාමීනී, ඒරකපත්‍ර නාගරාජයාගේ නාගදියණිය ගායනා කරන තැනටයි යන්නේ.”

“ඉතින් ඔබත් පිළිතුරු ගීයක් හදාගත්තාද?”

“එහෙමයි ස්වාමීනී” කියලා උත්තර මාණවකයා ඒ ගීය පැවසුවා.

“උත්තර, ඔය පිළිතුරු ගීය වැඩක් නෑ. මං ඔබට පිළිතුරු ගීයක් කියලා දෙන්නම්. එය රැගෙන යන්න.”

“එහෙමයි ස්වාමීනී” උත්තර මාණවකයා ඉතා සතුටට පත්වුණා.

“උත්තර, දැන් නාගමානවිකාව ගීය ගයන වෙලාවට ඔබ මේ පිළිතුරු ගීය ගයන්න.

ඡද්වාරාධිප්පතී රාජා – රජ්ජමානෝ රජ්ජිස්සරෝ අරජ්ජං විරජෝ හෝති – රජ්ජං බාලෝති වුච්චති

අධිපති නම් දොරටු හයට ඔහුටයි ‘රජු’ කිව යුත්තේ කෙලෙස්වලට ඇලෙන කෙනා ‘රජිසුරු’ යැයි කිව යුත්තේ කෙලෙස් නොමැති උතුමා හට ‘විරජ’ කියා කිව යුත්තේ කෙලෙසුන් තුළ ඉන්න කෙනා ‘බාල’ කියා කිව යුත්තේ

ඉතින් උත්තර දැන් ඔබ ඔය පිළිතුරු ගීය පැවසූ විට නාගමානවිකාව තව ගීයක් ගයාවි. එය මෙයයි.

කේනස්සු වුය්හති බාලෝ – කථං නූදති පණ්ඩිතෝ යෝගක්ඛේමී කථං හෝති – තම්මේ අක්ඛාහි පුච්ඡිතෝ

අනුවණ බාලයා ගසා ගෙන යන්නේ කුමකින්දෝ නුවණැත්තා ලොවේ සියලු ජයගන්නේ කෙලෙසින්දෝ ‘යෝගක්ඛේමී’ යන නම කිව හැක්කේ කෙලෙසින්දෝ මේ පැණයන් හට පිළිතුරු දෙන්නේ මට කවුරුන්දෝ

උත්තර, ඔය ගීයට පිළිතුරු දිය යුත්තේ මෙන්න මේ ගීයෙනුයි.

ඕඝේන වුය්හති බාලෝ – යෝගානූදති පණ්ඩිතෝ සබ්බයෝග විසංයුත්තෝ – යෝගක්ඛේමීති වුච්චති

සැඩපහරින් අනුවණයා දුකට ගසා ගෙන යන්නේ නුවණැත්තා වෙරවඩමින් ජීවිතයයි ජයගන්නේ සියලු කෙලෙස් බන්ධනයෙන් යමෙකුන් නිදහස් වන්නේ යෝගක්ඛේමී නාමය ඔහුටයි කිව යුතු වන්නේ

උත්තර, ඔබ නාගමාණවිකාවියට ඔය පිළිතුරු ගී පවසද්දී දිනුම ඔබට ලැබෙනවා.”

උත්තර මාණවකයා ඉතා සතුටින් මේ ගී පාඩම් කරගත්තා. අර්ථ මෙනෙහි කළා. ඒ මොහොතේම සෝවාන් ඵලයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුණා.

error: Content is protected !!