අපේ බුදුහාමුදුරුවෝ 301 (සන්තිකේ නිධානය)


බුදුන් වැඩ සිටි අඳුන් වනය යට කරමින් පැමිණි මහා ජලකඳ සෘද්ධි බලයෙන් අහසට නැංවූ ගවම්පති මහ රහතන් වහන්සේ.

දැන් මම ඔබට කියන්න යන්නේ යසකුල පුත්‍රයාගේ හොදම යාළුවන් සතර දෙනාගෙන් එක්කෙනක් පිළිබඳ. උන්වහන්සේගේ ගිහිකල නම ගවම්පති. උන්වහන්සේත් මීට පෙර පහල වූ බුදු වරු හමුවේ බොහෝ පින්කම් කොට විවිධ ප්‍රාර්ථනා කල පින්වත් උතුමෙක්.

දැන් මම ඔබට කියන්න යන්නේ යසකුල පුත්‍රයාගේ හොදම යාළුවන් සතර දෙනාගෙන් එක්කෙනක් පිළිබදව. ඔහුගේ ගිහි කල නම ගවම්පති. ගවම්පති මීට පෙර පහල වූ බුදු වරු හමුවේ බොහෝ පින්කම් කොට විවිධ ප්‍රාර්ථනා කල පින්වත් උතුමෙක්.

මනසින් කල පුෂ්ප පූජාවෙන් කල්ප ගණනක් දෙව් ලොව සැප විඳි මුව වැද්දා.

මීට කල්ප තිස්‌ එකකට පෙර ලොව පහළ වූ සිබි භාග්‍යවතුන්‌ වහන්සේ ගේ කාලේ ඔහු ද මෙලොව ඉපදී තිබුනා. ඒ කාලේ ඔහු ජීවිකාව සරිකරගත්තේ මුව වැද්දෙක් ලෙසයි. දෛවයක මහත. ඔහු සිටි වනයට එක දිනක් සිබි භාග්‍යවතුන්‌ වහන්සේ වැඩම කළා. හදිසියේම දුටු ඒ පුණ්‍යවන්ත දර්ශණයෙන් පැහැදුණු ඔහුට භාග්‍යවතුන් වහන්සේ වෙත පූජා කරන්න මල් ටිකක් තිබුනේ නැහැ. මොකක් හෝ හේතුවකට. අධික වූ ශ්‍රද්ධාවෙන් ඔහු කලේ සිතෙන්ම මවාගත් මල් කළඹක් උන්වහන්සේ හට සිතෙන්ම පුජා කිරීමයි. සිතින්‌ මල්‌ පූජා කළ එතුමන් ඒ පිනෙන් දෙව්‌ ලොව ඉපිද බොහෝ සැප වින්දා. මෙම කුසල විපාකයට මුල් වුනේ භෞතිකමය පූජා භාණ්ඩ නෙවෙයි. ඒ අපරමිත ශ්‍රද්ධාවයි. ඔහු මුවන් මැරීමෙන් එතෙක් කල අකුසල කර්මද අහෝසි වී හෝ පසුපසට යන්නට ඇති. ඒත් දිගින් දිගටම කරනු ලැබූ කුසල ක්‍රම වල බල මහිමයෙන් වෙන්නට් ඇති ඒවා ඵල දුන් බවක් සඳහනක් නැහැ.

මහරි දඬු සතරකින් රහත් තෙරුන් වහන්සේ නමකට සෙවන දුන් පිනෙන් මහා උද්‍යානයක් අභියස දෙව්ලොව උපන් ගවම්පති තෙරුන් වහන්සේ.

එලෙසම උන්වහන්සේ ඒ ඒ භවයන්හි විවිධ පුණ්‍යමය කටයුතු වල යෙදෙමින් තව තවත් පින්‌ දහම්‌ කරගත්තා. කෝණාගමන භාග්‍යවතුන්‌ගේ කාලයේ උන්වහන්සේගේ සෑයට ඡත්‍රයක්‌ ද වේදිකාවක්‌ ද ඔහු විසින්‌ ඉදි කරනු ලැබුව. එවැනි පින්කම් නිසා තව තවත් සසරේ දෙවු මිනිස් සුඛවිහරණ ලැබුවා. එහෙම අය ඉපදෙන්නේ බොහෝ විට සිටු ගෙවල් වල. එලෙස ම උන්වහන්සේ කස්සප බුදුන්‌ දවස එක්තරා ධනවත්‌ සිටුගෙයක උපත ලැබුවා. එම ගෙදර විශාල ගව සම්පතක්‌ තිබුණා. ඒ කාලේ එවැනි විශාල ගව පට්ටි තිබුනේ ධනවත් ව්‍යාපාරිකයනට හෝ සිටුවරුන්ට. ගොපල්ලෝ එම ගව සම්පත සුරකිනු ලැබුවා. මොහු එහි අතරින්‌ පතර යුතු අයුතු දේ විමසමින්‌ සොයාබලමින් ගොපල්ලන්ගේ ඕනෑ එපාකම් අවශ්‍යතා සොයා බැලුවා.

මේ අතර ඔහු ටික දිනක සිට විශේෂ සිදුවීමක් කෙරෙහි විපරම් කරමින් සිටියා. ඒ රහතන්‌ වහන්සේ නමක්‌ ගමට පැමිණ පිඬු පිණිස හැසිර, ඉන් පසු ගමින්‌ පිටත සිට දිනපතා ම එම දානය වළදන බව දුටුවා. සසරේ පින් කල අයට මොන කාරනේදීත් පිනටම තමයි සිත යෙදවෙන්නේ. එයත් සසර පුරුද්දෙන්. ඔහු දැක්කා උන්වහන්සේ දැඩි හිරුරශ්මියේම සෙවනකින් තොරව ඒ දානය වලදන බව. “ආර්යයන්‌ වහන්සේ සුර්ය තාපයෙන්‌ වෙහෙසට පත්වන්නේය” යි සිතූ ඔහු මහරි දඬු සතරක්‌ ඔසවා, ඒ මත්තෙහි මහරි අතු දමා ගස්‌ අතු මණ්ඩපයක්‌ කරවා පූජා කළා. එමෙන්ම එම මණ්ඩප සමීපයේ මහරි ගසක්‌ රෝපණය කළ බව ද කියනවා. ඔහු කෙරෙහි මහත් අනුකම්පාවෙන්‌ රහතන්‌ වහන්සේ එදින සිට දිනපතාම එහි හිද පිඬු සිගා පැමිණි දානය වළදනු ලැබුවා. ඔහු ඒ පින්කම හේතුවෙන්‌ නැවතත් දෙවුලොව ඉපදුණා. දෙව්ලොව ඔහුගේ විමන්‌ දොර අභියස මහත්‌ වූ මහරි වනයක්‌ පහළ වුණා කියනවා. එහි වණිගපධ සම්පන්න වු පුෂ්පයෝ සැම කල්හි ම පැවතුණා . එනිසා එම උයන ”’සේරිස්සක” නාමයෙන්‌ ප්‍රකට වුණා. ඒ දෙව්‌ පුතු ද එක්‌ බුද්ධාන්තරයක්‌ දෙව්‌ මිනිසුන්‌ අතරෙහි සැරි සරා, මේ බුද්ධෝත්පාද කාලයෙ හි යස තෙරුන්ගේ යහළුවන්‌ සතර දෙනා අතුරින්‌ ගවම්පතී නම්‌ යහලුවා ලෙස උපන්න. එහෙමයි උන්වහන්සේ ට යසකුල පුත්‍රයා මුණගැසුනේ. සමහරවිට ඒ ආත්මභාව වලත් එකටම ලඟින් ඉන්නට ඇති.

බුදුන් වැඩ සිටි අඳුන් වනය යට කරමින් පැමිණි මහා ජලකඳ සෘද්ධි බලයෙන් අහසට නැංවූ ගවම්පති මහ රහතන් වහන්සේ.

මෙසේ පැමිණ අප භාග්‍යවතුනේ සාසනයේ රහත්බවට පත්ව ඒ හි භික්‍ෂු පැවිදි උපසම්පදාව ලැබු ගවම්පතී තෙරුන්‌, විමුක්ති සුවය විඳමින්‌ සාකේත නුවර අඳුන්‌ වනයෙහි වාසය කළා. එසමයෙහි මහත්‌ වු භික්‍ෂුසංඝයා පිරිවරාගත්‌ භාග්‍යවතුන්‌ වහන්සේ සාකේත නුවරට වැඩම වා අඳුන්‌ වනයට ද පිවිසියා. එම වනයෙහි වැඩම කල මහා සංඝ රත්නයට වැඩසිටීමට සෙනසුන්‌ ප්‍රමාණවත්‌ වුනේ නැහැ. ඒ එක්කම මධ්‍යම රාත්‍රියෙහි වනය මැදින් ගලා ගිය නදියේ ජලය වැඩි වෙන්නට පටන් ගත්තේ කඳු මුදුනට වසින නිසා වන්නට ඇති. ජල පහර ඉවුරු ඉක්මවා මහා හඬින් ගලා යන ශබ්දයට බිය වූ බැවින්‌ සාමණේරා දී හු මහත්‌ හඬින් ශබ්ද කරන්නට පටන්ගත්තා. භාග්‍යවතුන්‌ වහන්සේ එම මහා ශබ්දය අසා ගවම්පතී තෙරුන්ට මෙසේ අණකරණු ලැබුවා.

 “ගවම්පතිය ! යන්න, ජල සඬපහර මැඬ පවත්වා භික්‍ෂුන්‌ වහන්සේ සඳහා සුවපහසු වාසයක්‌ ඇතිකරවන්න”

ගවම්පතී තෙරුණුවෝ ද එය අසා “ ස්වාමීනි යහපතී” යි පවසා, එතැනට වැඩ සෘද්ධිබලයෙන්‌ නදියේ ජල පහර මැඩ පැවැත්වුහ. එසේ මැඬපැවැත්‌ වු ජල පහර ඉතා දුරින්‌ පර්වත කුටයක්‌ මෙන්‌ අහසට නැගී සිටියා. එතැන්‌ පටන්‌ ගවම්පතී තෙරැන්ගේ ආනුභාවය (බලමහිමය) සැමතැනම ප්‍රකට වුණා.

උන්වහන්සේගේ කිර්තිය මනුස්ස ලොව පමණක් නොව දෙවුලොවද පැතිර ගියා. දෙවුලොව අල්පේශාක්‍ය මහා ශාක්‍ය දෙවිවරුන් නිරතුරුවම උන්වහන්සේ බැහැදැක බණ ඇසීමට අඳුන් වනය ආලෝකමත් කරමින් පැමිණියා. එක්දිනක්‌ භාග්‍යවතුන්‌ වහන්සේ මහත්‌ වූ දෙව්‌ පිරිස්‌ පිරිවරා දහම්‌ දෙසන එම තෙරුන්‌ දැක, ලොවට අනුකම්පා පිණිස එම තෙරුන්ගේ මහත්‌ වු ගුණයන්‌ ප්‍රකට කරන සේක්‌, එම ගුණයන්ට ප්‍රශංසා කරමින්‌ “යො ඉද්ධියා සරභුං” යන ගාථාව වදාරනු ලැබුවා.

යෝ ඉද්ධියා සරභුං අට්ඨපේසි
සෝ ගවම්පතී අසිතෝ අනේජෝ
තං සබ්බසංගාතිගතං මහාමුනිං
දේවා නමස්සන්ති භවස්ස පාරගු’න්ති.

ඔහුට පුළුවන් වුණා ‘සරභූ’ නම් ගංගාවේ ගලා බැසීම ඍද්ධි බලයෙන් නවත්වන්නට. ඒ ගවම්පති භික්ෂුව ඉන්නෙ කෙලෙස් නැතිවයි. තණ්හා නැතිවයි. කෙලෙස් ඉක්මවා ගිහින් ඉන්නෙ. භවයෙන් එතෙර වෙලා ඉන්නෙ. ඒ මහා මුනිවරයාට වඳින්න දෙවියනුත් පැමිණෙනවා.

“දෙවා නමසසනති” යනු උන්වහන්සේට දෙවියෝ ද වඳිති යන්නයි. සෙසු ජනයා පිළිබදව කියනු කිම? මෙම ගාථාව අවසානයේ දී බොහෝ දෙනාට ධමාවබෝධ වුණා. තෙරුන්‌ වහන්සේ සිය රහත්බව ප්‍රකාශ කරන සේක්‌, “ශාස්තෘන්‌ වහන්සේ පුදන්නෙමි” යි එම ගාථාව ම වදාරනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ- අපදාන පාළිය

error: Content is protected !!