අපේ බුදුහාමුදුරුවෝ 302 (සන්තිකේ නිධානය)
යස කුල පුතුගේ තවත් යහළුවන් පනස් දෙනෙක් පැවිදිවීම සහ රහතුන් සැටඑක් නමක් ලෝකය තුල බිහිවීම.
යස මහරහතන් වහන්සේ ගේ ගිහිකල වංශවත් කුල පරම්පරාවේ පරම්පරා ගණනක් සිට සමීපයෙන් ඇසුරු කරමින් පැමිණි සමීප ඥාතී සහ ඥාතී නොවන පිරිසක් සිටියා. ඒ පිරිස අතර යස මහරහතන් වහන්සේගේ ගිහිකල යහළුවන් පනහක් සිටියා. ඒ අයටත් තම අතිජාත මිතුරා යසකුල පුත්‍රයා සියලු සැප සම්පත් අතහැර කසාවත දරා මහණ දිවියට ඇතුලත් වූ බව දැනගන්නට ලැබී මෙලෙස කතිකාවක් ඇති වුණා.
“යසකුලපුත්‍ර තෙමේ හිසකේ රවුලු බැහැර කරවා කුසාවත් හැඳ ගිහිගෙන් නික්ම යම් ශාසනයෙක්හි පැවිදි වූයේ ද, ඒ ධර්‍මවිනය ඒකාන්තයෙන් ලාමක නො වේ. ඒ පැවිද්ද ලාමක නො වේ ය”
ඉන් අනතුරුව ඒ යහළුවෝ ආයුෂ්මත් යස භික්‍ෂුව වැඩසිටි තැනට පැමිණියා.. පැමිණ , ආයුෂ්මත් යස යස රහතන් වහන්සේ හට වැඳ නිහඬව පසෙකින් සිටියේ මහත් විශ්මයෙන්. ඇයි මිට සති කිහිපයකට පෙර මහත් වූ කාම සැප සම්පත් විදිමින් සිටි ඒ තම මිතුරා ඒ සියලු ඉඳුරන් දමනය කොට ශාන්ත ලීලාවෙන් ඉන්නා ආකාරය දැක. ආගිය තොරතුරු කතා බස් කිරීමෙන් අනතුරුව යස මහරහතන් වහන්සේ පණසක් පමණ වූ ඒ ගිහියහළුවන් කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ඔවුනට ලබාදිය හැකි උතුම්ම ත්‍යාගය දීමට.
පසෙක හුන්නා වූ යස රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, දනවුවැසි පරම්පරාවශයෙන් පිළිවෙළින් පැරණි වූ කුලයන්ගේ පුත්‍ර වූ පණසක් පමණ වූ මොහු මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා. අනුශාසනා කරණ සේක්වා” යි සැළකොට සිටියා.
එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකථාව දේශනා කරනු ලැබුවා. . එනම්: දානකථාව, ශීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන්ගෙන් දෝෂය ලාමකබව කෙලෙසීම, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද යනාදියයි. එවිට යම් සේ පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් මනා කොට ම සායම් ගන්නේ ද, එපරිද්දෙන් ම ඔවුනට ඒ ආසනයෙහි දී ම “යමක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති (ශ්‍රෝතාපත්ති) මාර්‍ගඥානය පහළ වුණා. ඔවුන් දක්නා ලද සිවුසස්දහම් ඇත්තාහු, පැමිණි සිවුසස්දහම් ඇත්තාහු, අවබෝධ කළ සිවුසස්දහම් ඇත්තාහු, බැස ගත් සිවුසස්දහම් ඇත්තාහු, දුරු කළ සැක ඇත්තාහු, පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තාහු, බුදුසස්නෙහි විශාරද භාවයට පැමිණියාහු, බුදුසස්නෙහි පරප්‍රත්‍යය රහිත වූවාහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි සැළ කොට සිටියා. එවිට, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. මනා ව දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාරා සිටියා. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ගේ උපසම්පදාව වුණා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දැහැමි කථාවෙන් අවවාද කරනු ලැබුවා.. අනුශාසනා කරනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ විසින් අවවාද කරණු ලබන අනුශාසනා කරණු ලබන ඔවුන්ගේ චිත්තයෝ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් සදහටම මිදීගියා. එවිට ඒ සමගම ලෝකයෙහි රහත්හු සැට එක්දෙනෙක් (බුදුරජාණන් වහන්සේ ඇතුළුව) මෙලෙස බිහිවුණා