Ape Budu Hamuduruwo 324

අපේ බුදුහාමුදුරුවෝ 324 (සන්තිකේ නිධානය)

 

බුදුවරුන් අත්නොහළ ලක්බිම

අපේ බුදුරජාණන් වහන්සේට පෙර අපේ හෙළ දිවයිනට බුදුරජාණන් වහන්සේලා තුන්නමක් වැඩි බව ත්‍රිපිටකයේ විනය අට‍්ඨකථාවේ සඳහන්. ඒ මේ ආකාරයට.

කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ අපගේ හෙළබිම ඔජදීප නමින් හැඳින්වුයේ. ඒ කාලයේ ඔජදීපයෙහි සත්ත්‍වයෝ මහා උණ රෝගයකින් විපතට පත්වෙලා සිටියේ. හරියටම අද කොරෝනා වියසනය වගේ. බොහෝ මිනිසුන් මැරෙන්නට ඇති. කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරණ සේක් විපතටපත් ඒ සත්ත්‍වයන් දකිනු ලැබුවා. දැක මහත් කරුණාවෙන් මේ අපගේ මාතෘ භූමියට වැඩම කරනු ලැබුවා. වැඩම කරනු ලැබුවේ තනිව නෙවෙයි. උන්වහන්සේගේ ශ්‍රාවක මහාදේව නම් මහාස්ථවිරයන් වහන්සේ සහ මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ ඇතුළුව තවත් සතළිස්දහසක් භික්‍ෂූන්ගෙන් වහන්සේලා පිරිවරාගෙන. ඒ කාලේ රජකම් කරනු ලැබුවේ අභය කියලා රජ කෙනෙක්. උන්වහන්සේ වැඩිය නුවර අභය පුර නමින් හැඳින්වුයේ. උන්වහන්සේගේ ආනුභාවයෙන් එකෙණෙහිම ඒ උෂ්ණ රෝගය සන්සිඳී ගියා . රෝගය සන්සිඳී ගිය පසු භාග්‍යවතුන් වහන්සේ ධර්‍ම දේශනා කරනු ලැබුවා. එහිදී සුවාසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වුනා කියනවා. ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙහි වැසියනට පුදන්නට ඩබරාව (පෙරහන්කඩ) දී පෙරළා වැඩම කරනු ලැබුවා. එය ඇතුළත බහා පටියාරාමයෙහි ( මෙකල ථූපාරාමයෙහි ) සෑයක් ඉඳිකරවනු ලැබුවා. මහාදෙව මහාස්ථවිරයන් වහන්සේ දිවයින් වැසියන්ට අනුශාසනා කරමින් මෙම පින්බිමෙහිම වැඩසිටියා.

කොණාගමන භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි අපේ පුංචි දිවයින වරදීප නමින් හැඳින්වුවා. රජතුමා සමිද්ධි නම් වුනා. වැඩි නුවර වඩ්ඪමාන නමින් හැඳින්වුණා. පවුව සුවණ්ණකුට නම් වුනා. ඒ කාලයෙහි වරදීපයෙහි නපුරු වැසි වැටුන. එයින්ම දුර්භික්‍ෂයක් ද දුශ්ශස්‍යයක් ඇතිවුණා. මෙහි සත්ත්‍වයෝ ඡාතක රෝගයෙන් විපතට පත්වුනා. කොණාගමන භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරන සේක් විපතට පත් ඒ සත්ත්‍වයන් දැක තිස්දහසක් භික්‍ෂූන්ගෙන් පිරිවරන ලද්දාහු මෙහි භූමියට වැඩම කරනු ලැබුවා. බුද්ධානුභාවයෙන් පහල වූ මෙඝය මැනවින් දියදහර භූමිය පුරා මුදාහැරිය. දිවයින සුභික්‍ෂ වුනා. ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ ධර්‍මදේශනා කරනු ලැබුවා. එහිදී සුවාසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වූනා. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් දහසක් පිරිවරකොටැති මහාසුමන ස්ථවිරයන් වහන්සේ මෙහි නවතා කාබාහන දී නැවත පෙරළා වැඩම කරනු ලැබුවා. එය, ඇතුළත බහා මිනිසුන් විසින් සෑයක් ඉදිකරනු ලැබුවා.

කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මේ දිවයින මණ්ඩදීප නම් වුණා. රජතෛමේ ජයන්ත. ඒ නුවර නුවර විශාල නමින් තමයි හැඳින් වුනේ. ඒ කාලයෙහි මණ්ඩදීපයෙහි මහා විවාදයක් ඇති වුනා. බොහෝ සත්ත්‍වයෝ කලහ කෝළාහල කරමින් විපතට පැමිණියා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරන සේක් විපතට වැටෙන ඒ සත්ත්‍වයන් දුටුවා. දැක, විසිදහසක් භික්‍ෂූන්ගෙන් පිරිවරමින් මෙහි වැඩමකොට විවාදය සන්සිඳුවා ධර්‍මදේශනා කරනු ලැබුවා. එහිදී සුවාසුදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වුණා. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් දහසක් පිරිවරකොට ඇති සබ්බනන්‍ද මහාස්ථවිරයන් වහන්සේ මෙහි නවතා දියසළුව දී පෙරළා වැඩම කරනු ලැබුවා. එය, ඇතුළත බහා රට වැසියන් විසින් සෑයක් ඉඳිකරනු ලැබුවා.

ඉතින් බලන්න මේ පුංචි දිවයින කිසිම බුදුවරයෙකු විසින් අත්නොහළ දිවයිනක් වගේ. හැම දුකකදිම බුදුවරුන්ගේ පිහිට ලැබුණු දිවයිනක් වගේ. ඒ තරම්ම අනුග්‍රහයක් මේ පින්වන්ත දිවයිනට බුදුවරුන්ගෙන් තිබුණා. දැන් අපේ බුදුහාමුදුරුවෝ, උන්වහන්සේටත් මෙම පුණ්‍යවන්ත භූමියට වඩින්න සිත පහල වෙලා. හරියටම ලෝක ධර්මතාවයක් වගේ. දැන් කියන්න යන්නේ ඒ ගැන. සෑම බුදුවරයෙකුම ස්පර්ශ කල පුණ්‍යවන්ත භුමියට අපේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රථම වැඩම කිරීමේ පුවත ගැන.

මුලාශ්‍ර – විනය පිටකය – පාරාජිකකණ‍්ඩ- තතියසඞ‍්ගීතිකථා

Ape Budu Hamuduruwo 323

අපේ බුදුහාමුදුරුවෝ 323 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 14

ඵුස්ස බුදුරජාණන් වහන්සේව සඟවාගත් මහින්ද රජතුමා 02

ඉතින් මීට පෙර කියූ පරිදී කුමරවරුනට වරයක් දීපු රජතුමා අවසානයේදී කුමාර වරුන්ගෙන් වරයක් ඉල්ලන තරමටම අසරණ වුණා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට අවරුදු සතකුත් මාස සතකුත් දින සතකුත් ඉල්ලපු රජතුමාට හිමිවුණේ දින හත පමණයි. ඔහුට ඇත්තටම ඕන වුනා ඒ අවුරුදු හතේදීම බුදුන් වෙනුවෙන් කරන්නට සැලසුම් කලදේ අවසානයේ දින හතෙන් සිදු කරන්න. ඔහු ඉක්මනින්ම වැඩ ආරම්භ කරනු ලැබුවා.

ඔහු මුලින්ම කරනු ලැබුවේ පුතුන් වසනා තැනට ශාස්තෲන් වහන්සේ වැඩම කරවීමට අට ඉස්බක් පළල්වූ මාර්ගයක් සාදා එය අලංකාර කරවීමයි. මාර්ගයේ මැද සිවු ඉස්බක් පමණ වූ පෙදෙස ඇතුන් ලවා පාගවා කසිණ මණ්ඩලයක් මෙන් සිනිඳු කොට වැලි අතුරවා මල් විසිරවනු ලැබුවා. ඉන්පස්සේ ඒ ඒ තැන්හි කෙසෙල් ගස් ද පුන්කුඹු ද තබවා ධ්වජ පතාක ඔසවුන් ලැබුවා. ඉස්බක් පාසා පොකුණු කරවනු ලැබුවා. . පසු කොටසෙහි දෙපස සුවඳ මල් දම් විකුණන අවන්හල් සකස් කෙරවුවා. මධ්‍යයෙහි සිවු ඉස්බක් වූ අලංකාර කළ මාර්ගයේ දෙපස ඉස්බ දෙක බැගින් පුළුල් වූ මාර්ග තීරුවල කුණු, මුල් හා කටු ඉවත් කරවා දඬුවැට පහන් කරවූවා. රාජ පුත්‍රයෝ ද තමන්ගේ අණ පවත්නා තන්හි සොළොස් ඉස්බක් වූ මාර්ගයෙහි එසේ ම අලංකාර කටයුතු කරවුණු ලැබුවා.

ඉන් පස්සේ තියෙන්නේ දුක හිතෙන කතාවක්. රජතුමා තමාගේ අණ පවත්නා ක්ෂේත්‍ර සීමාවට ගොස් ශාස්තෲන් වහන්සේට නමස්කාර කොට වැළපෙමින් “දරුවනි, ඔබ මාගේ දකුණු ඇස උපුටා ගන්නාහු මෙන් යන්නහුය. මෙසේ රැගෙන යන්නාවූ ඔබ වනාහී බුදු රඳුනට සුදුසු දෙයම කරව්. සුරා සොඬුන් මෙන් ප්‍රමාද වී වාසය නොකරවු”යයි අඬමින් කියා සිටියා.

ඔවුන් “දේවයන් වහන්ස, බියවීමට කරුණක් නැත. අපි සුදුසු දෙයම දන්නෙමු” යයි කියා රජතුමාගේ බිය පහකොට ශාස්තෲන් වහන්සේ කැඳවා ගෙන ගොස් විහාරයක් කරවා එය උන්වහන්සේ හට පිළිගන්වනු ලැබුවා. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලාහට අඩුවක් නැතිව දානමාන කටයුතු වලින් සංග්‍රහ කරනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් තිදෙනාම වෙන් වෙන් වශයෙන් එහි උන් වහන්සේ පිළිදැඟුම් කරන්නාහු කලෙක ස්ථවිරාසනයෙහි ද, කලෙක මධ්‍යමාසනයෙහි ද. කලෙක සංඝ නවක ආසනයෙහි ද සිටිමින් දානය පරීක්ෂා කර බලන්නටත් වුණා. තිදෙනාට ම දානය එක සමාන වුණා. කිසි තැනක වෙනසක් අඩුපාඩුවක් තිබුනේ නැහැ. වස් එළඹීම ආසන්න වූ කල්හි ඔව්හු ශාස්තෲන් වහන්සේගේ අදහස කෙසේ දැන ගන්නෙමුදැයි සිතන්නට වුණා. ඉන්පසු ඔවුන් හට “බුදුවරු වනාහී ධර්මය ගරු කරන්නාහුය, ආමිස ගරු කරන්නාහු නො වෙති, සීලයෙහි පිහිටා අපි ශාස්තෲන් වහන්සේගේ අදහස දැන ගැනීමට හැකි වන්නෙමු” යයි සිත් ඇතිවුණා එතැන් සිට දාන කටයුතුවල සංවිධායක මිනිසුන් කැඳවා” දරුවනි. මේ ආකාරයෙන් ම කැඳ, බත්, කෑ යුතු දේ ආදිය සපයමින් දානය පවත්වමු” යයි කියා දාන සංවිධාන කටයුතුවල දෝෂයන් ඇතිවියහැකි ඇති ස්ථාන අවස්ථා නැති කරනු ලැබුවා.

ඉන්පස්සේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා පන්සියයක් පුරුෂයන් රැගෙන දස සිල්හි පිහිටා කාෂාය වස්ත්‍ර යුගලයක් හැඳගෙන කැපවූ ජලය පරිභෝජනය කෙරෙමින් බුදුන් ඇසුරෙහි වාසය කළා. මධ්‍යම සහෝදරයා තුන් සියයක් පුරුෂයන් ද කණිෂ්ට සහෝදරයා දෙසියයක් පුරුෂයන් ද සමඟ දෙටු බෑයන් සේම පිළිපැද්ද ඔව්හු දිවි ඇති තෙක් ශාස්තෲන් වහන්සේට උවටැන් කළා. ශාස්තෲන් වහන්සේත් ඔවුන්ගේම සමීපයෙහි පිරිනිවන් පානු ලැබුවා.

ඒ සොහොයුරෝ ද කළුරිය කොට එතැන් පටන් ද අනු කපක් තුළ දෙව්ලොවින් මිනිස් ලොවට ද, මිනිස් ලොවින් දෙව්ලොවට ද සැරිසරමින් අපගේ ශාස්තෲන් වහන්සේගේ කාලයෙහි දෙව්ලොවින් චුතව මිනිස් ලොව උපත ලැබුවා. ඔවුන්ගේ දන් දුන් තැන නිවේදකයා වු මහ ඇමතිවරයා අඟු මගද දෙරටෙහි රජ වූ බිම්බිසාර නමින් උපන්න. ඒ කුමරුවෝ එම රජුගේම රටෙහි බමුණු මහසල් කුලයෙහි උපන්නා. ජ්‍යෙෂ්ඨ සහෝදරයා ජ්‍යෙෂ්ඨවම ද, මධ්‍යම කණිෂ්ට සහෝදරවරු මධ්‍යම හා කණිෂ්ටයන් ම වී උපන්නා. ඔවුන්ගේ යම් පිරිවර මනුෂ්‍යයෝ වූවාද ඔව්හු ඔවුන්ගේ පිරිවර මිනිසුන්ම වී උපන්නා. ඒ ප්‍රධාන තිදෙනා වැඩිවියට පැමිණ ඔවුන්ගේ දහසක් වූ පුරුෂයන් ද රැගෙන නික්ම තවුසන් වී උරුවේලා ගං තෙරෙහි වාසය කළා. අංග මගධ වාසීහු මසක් මසක් පාසා ඔවුන් හට මහත් වූ සත්කාර ද්‍රව්‍යයන් ගෙන එනු ලැබුවේ පුරාණ ආත්ම භාවයේ දන් දුන් පිනටම වෙන්න ඇති.

අන්න ඒ නිසා තමයි අපේ බුදුහාමුදුරුවෝ ඒ අයව හොයාගෙන ඇවිදින් ඔවුනට දහම අවබෝධ වනතරු මහත් වූ ඉවසීමෙන් වැඩ සිටියේ.

මුලාශ්‍ර – සුත‍්ත අට‍්ඨකථා-සංයුත‍්තනිකාය – සළායතනසංයුත‍්තය – සබ‍්බවග‍්ගය -ආදිත‍්තපරියායසුත‍්තවණ‍්ණනාව

Ape Budu Hamuduruwo 322

අපේ බුදුහාමුදුරුවෝ 322 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 13

ඵුස්ස බුදුරජාණන් වහන්සේව සඟවාගත් මහින්ද රජතුමා 01

මිට පෙර ලිපියෙහි බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල කස්සප ඇතුළු පිරිසට දේශනා කරනු ලැබූ ආදිත්තපරියාය සූත්‍ර දේශනාව සහ එහි දේශනාව කරන අවස්ථාවෙහි එහි තිබූ පාරිසරක කරුණු සහ එහි අනුපිළිවෙල කතාව ගැන යම්තමින් ලීවේ විනය පිටකයේ උරුවෙල්පෙළහරහි සඳහන් අයුරින්. ( අපේ බුදුහාමුදුරුවෝ 312 වැනි කොටසේ “උරුවෙලකස්සප තෙරණුවන්ගේ අතීත කතා පුවත”) එහෙත් උරුවෙලකස්සප තෙරුන් ඇතුළු පුරාන ජටිල පිරිසගේ අනුපිළිවෙල කතාව ආදිත්තපරියාය සුත්‍රයේ සදහන් පරිදි ලිවේ නැති නිසා සිත දොස් නගන්නට වුනා. මෙය කියවන ගිහි පැවිදි උතුමන් හට වෙහෙස නොවී සියලු මුලාශ්‍ර සහ සම්බන්ධ කරුණු එකවර කියවීමට හැකි අයුරින් සකස්කිරීම අපගේ ප්‍රධාන අරමුණු වලින් එකක් නිසා අනුපිළිවෙල නොහොත් අතීත කතාපුවත අඩුපාඩුවක් නැතිව නැවතත් ලිවීමට කියලා සිත මැසිවිලි නගන්නට වුනා. මෙම ලිපිය එළිදැක්වුණේ ඒ අයුරින්.

මේ එහි අනුපිළිවෙළ කථාවයි. මෙයින් දෙඅනු කපකට පෙර මහින්ද නම් රජකෙනෙක් වාසය කළා. . ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා “ඵුස්ස” නම් වුනා. පුරන ලද පාරමිතා ඇති පශ්චිම භවයෙහි උපන්නාවූ උන්වහන්සේ නුවණ මුහුකුරා ගිය කල්හි බෝධිමණ්ඩලාරූඪ වී සර්වඥතා ඥානය අවබෝධ කරනු ලැබුවා. රජුගේ කණිෂ්ඨ පුත්‍රයා ඒ සර්වඥයන් වහන්සේ අග්‍රශ්‍රාවක බවට පසු කාලයේ පත්වුනා. රජතුමන්ගේ පුරෝහිතයාගේ පුත්‍රයා දෙවන ශ්‍රාවක බවට පත්වුනා.

මේ කටයුතු මෙලෙස සිද්ධ වෙනකොට රජතුමාට මෙලෙස කල්පනාවක් පහලවුනා. මාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා නික්ම ගොස් බුද්ධත්වයට පත් වුනා. කණිෂ්ට පුත්‍රයා අග්‍ර ශ්‍රාවක වුනා. මගේම පුරෝහිතගේ පුත්‍රයා ද්විතීය ශ්‍රාවක වුනා ඉතින් මෙහෙම බලනකොට බුදුන්වහන්සේ අපේමනේ. ඔයවගේ අදහස් අපේ හිතටත් කොච්චර නම් එනවද? ඔහු ඒ වනවිටත් ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් හිටියේ. ඔහු තව දුරටත් මෙහෙම සිතුවා. බුදු හාමුදුරුවෝ මගේ ලොකු පුතා.ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපගෙමයි. ඒ එක්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයත් අපගේමනේ, ඒ විතරද සංඝයා, සංඝයාත් අපගේමනේ. ඉතින් බුදුන් දහම් සඟුන් අපගේමයි. ඉතින් සම්පුර්ණ අයිතිය මට. ඉතින් එහෙම සිතලා නිහඬව සිටියේ නැහැ. විහාරයක් කරවා එම විහාර දොරටු කොටුවෙහි සිට තමාගේ නිවාස දොරටුව දක්වා සුවිශේෂී මාවතක් සැදුවා. විහාර දොරටු කොටුවෙහි සිට තමාගේ නිවාස දොරටුව දක්වා උභය පාර්ශ්වයෙහි උණ ලීවලින් වට කෙරුවා. උඩට තරුවලින් සැරසූ සුවඳ දුමින් හා මල් දමින් යුත් වියනක් බඳවා, යටට රිදීවන් වැලි ද අතුරවා, ඒ මත මල් විසුරුවා ඒ මගින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්නට හැකි අයුරින් එම මාවත නිමා කරා.

ඒ විතරක් නෙවෙයි, ඒ මාවත දෙපසින් ආවරණය කරලා නිසා භාග්‍යවතුන් වහන්සේ වඩින දර්ශනය කිසිම කෙනෙකුට පෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේත් ඒ දිනවල විහාරයෙන් පිටට වැඩියේත් නැහැ. මම හිතන්නේ රජ්ජුරුවෝ පිටට වඩින්න සැලස්සුවේම නැහැ. බුදුරජාණන් වහන්සේ ඔහුගේම කරගෙන. උන්වහන්සේත් විහාරයෙහි ම වැඩසිටිමින් සිවුර පොරවා දෙපස වූ ආවරණ අතරින්ම භික්ෂු සංඝයා සමඟ රජ ගෙදරට වැඩම කරනවා. දානය වළඳා අවසානයේ නැවතත් ඒ ආවරණ අතරින්ම ආපසු විහාරයට වඩිනවා. ඒ නිසාම අන් කිසිවෙකුටත් හෝ බත් සැන්දක් පමණවත් පිදීමට ඉඩක් ලැබුනේ නැහැ. ඉතින් ඉවසලා ඉවසලා නගර වැසියන්ට හොඳටෝම තරහ ගියා. ඔවුන් මෙලෙස කෑගසමින් උද්ඝෝෂණ කරන්නට උනා.

“බුදු කෙනෙක් ලොව පහළ විය. එහෙත් අපි පින් කිරීමට ඉඩක් නො ලබම්හ. යම් සේ සඳහිරු දෙදෙන සියලු දෙනාහටම ආලෝකය ලබා දෙත් ද, එසේම බුදුවරු වනාහී හැම දෙනාගේම යහපත පිණිස උපදිත්. මේ රජතෙමේ සියල්ලන්ගේම පින් කෙත තමාගේ ම සීමාව තුළට ප්‍රවිෂ්ට කරවා ගනියි.”

ඒ රජ්ජුරුවන්ට තවත් පුත්තු තුන්දෙනෙක් හිත හිටියා. හැබැයි ඒ යටත් ඕන වෙලා තිබුනා බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කරන්න විතරක් නෙවෙයි. උන්වහන්සේ අසල පෙහෙවත් සමාදන් වී දසසිල් සමාදන් වෙන්න. ඔවුන්හට බුදුපියාණන් ඇතුළු ඒ මහා සංඝරත්නයට දාන පිරිකර සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට නියමවෙලා තිබුනේ. ඒ නිසා ඒ යටිතල පහසුකම් සපයනවා හැරෙන්නට ඔවුන්ටවත් බුදුරජාණන් වහන්සේට බත් හැන්දක්වත් බෙදන්න ඉඩ ලැබුනේ නැහැ. ඔක්කොම කෙරෙන්නේ රජ්ජුරුවන්ගේ අතින්මයි. ඔහුගේ මුළු දිවියම බුදුහාමුදුරුවෝ.

ඉතින් රජකුමාරවරු නාගරිකයෝත් එක්ක එකතුවෙලා මෙයට උපාය මාර්ගයක් සෙවුවා. ඔවුන් පසල් දනවුවෙහි සොරුන් ගම් කිහිපයකට පහර දී ඇතැ”යි සඳහන් හසුන් පතක් ගෙන්වා රජුට දැනුම් දුන්නා. රජතුමා පුතුන් කැඳවා “දරුවනි, මම මහළු වෙමි. යන්න, සොරුන් සන්සිඳුවන්නැ” යි කියා සිටියා.රජ්ජුරුවෝ කොහොමත්ම යන්නේ නැහැ බුදුහාමුදුරුවන් තනිකරලා. ඉතින් කුමාරවරු එය මැඩ පවත්වන්න කියලා ගියත් එහෙම කැරැල්ලක් තිබුනේ නැහැනේ. ඔවුන් විසින් ම මෙහෙයවනු ලැබු සොරු ඒ මේ තැන්වල විසිරී සිට ඔවුන් වෙතටම පැමිණිය. ඒ කුමරහු තමනට නුහුරු ඒ ගමෙහි ටික දවසක් කල් ගතකොට, ආපසු පැමිණ රජ තුමාට වැඳ “සොරුන් සන්සිඳුනහ” යි කියා සිටිය

රජතුමාට පුදුම සතුටක්. “දරුවනි, තොපට වරයක් දෙමියි කියා සිටියා. ඔවුන් එයට කමිති වී ගොස් “රජතුමා විසින් අපට වරයක් දෙන ලදී, කුමක් ගනිමුදයි නුවර වැසියන් සමඟ සාකච්ඡා කළ. “ස්වාමී වු රජතුමා ගේ පුතණුවනි, ඔබට ඇත්, අස් ආදීහු දුර්ලභ නොවෙති. එහෙත් බුද්ධ රත්නය වනාහී දුර්ලභය, බුදුහු හැම කල්හිම නොඋපදිති. ඔබගේ දෙටු සොයුරු වූ ඵුස්ස බුදුන් වහන්සේට උපස්ථාන කිරීමේ වරය ලබා ගන්නැයි නුවර වැසියෝ කියා සිටියා.

ඔවුන් එසේ කරන්නෙමු යයි නුවරුන්හට පොරොන්දු වී දැළි රැවුල් කප්පවා ජල ස්නානය කොට, සුවඳ ගල්වා ගෙන රජුවෙතට ගොස් “දේවයන් වහන්ස, අපට ඇතුන් ආදීන්ගෙන් ප්‍රයෝජනයක් නැත. අපගේ දෙටු සොයුරු ඵුස්ස බුදුන් හට උපස්ථාන කිරීමේ වරය දෙනු මැනව”යි ඉල්ලා සිටියා. රජතුමා කවම දාකවත් එවැනි දෙයක් බලාපොරොත්තු නොවන්නට ඇති. ඒකාන්තයෙන්ම කැරැල්ලක් පැමිණ ඇත ලෙස කියූ දිනට වඩා හිතට බිය දැනෙන්නට ඇති. ඔහු මෙලෙස කිවා.

“මගේ දිවි ඇති තෙක් මේ වරය දීමට නොහැක්කේය”යැයි කියා රජතුමා දෙසවන් ද වසාගත්තා කියලා කියනවා. අනේ පව්. ඉතින් කුමාරවරු මෙලෙස පිළිතුරු දුන්නා. “දේවයන් වහන්ස, අපගේ බල කිරීමකින් ඔබ විසින් වරය දෙන ලද්දේ නො වේ. ඔබ විසින් සිය කැමැත්තෙන් සතුටින් දෙන ලද්දකි. රජතුමනි, රජ කුලයට කථා දෙකක් කීම සුදුසු වේද? අපි සත්‍යවාදී භාවයෙන්ම වරය ලබා ගනිමුය” යි කුමාරවරු කියා සිටියා.

ඒ කතාව අසා සිටිය රජතුමා තවත් හොඳටම අසරණ වුණා. රජතුමා, එය ප්‍රතික්ෂේප කිරීමට නො හැක්කේ දරුවනි, ඒ නිසා සත් අවුරුද්දකුත් සත්මස් සත් දිනක් උපස්ථාන කොට ඔබහට දෙන්නෙමි”යි කියා සිටියා.

එය නිහඬව අසා සිටි කුමාරවරු තවත් ලස්සන ඉල්ලීමකින් පියාණන්ව හොඳටම අසරණ කරා.

“යහපති දේවයිනි, ඇප වනු මැනව” “කෙබඳු ඇපයක්ද දරුවනි, “එපමණ කලකට අප නොමැරෙන බවට ඇපයකි දේවයන් වහන්ස,” “දරුවනි, එම ඇපය නො සුදුසුය. එවැනි ඇපයක් දිමට නොහැක්කේය. සත්ව ජීවිතය තණ අග පිනි බිඳකට සමානය”යි රජතුමා කීයා සිටියා. එවිට කුමාරවරු: “දේවයිනි, ඇප නොවන්නෙහි නම් අතරතුරදී අප මළහොත් කිනම් කුසලයක් කරන්නෙමුදැ” . “එසේ නම් දරුවනි, අවුරුදු හයක් දෙන්න” නො හැක දේවයිනි” “එසේ නම් අවුරුදු පසක්?,” සතරක්, තුනක්. දෙකක්, එකක්, මාස හයක්. මාසයක්, දෙන්නැයි රජතුමා පිළිවෙලින් ඉල්ලනු ලැබුවා. කැමති වාරයක් ගන්න කියලා දැන් රජතුමා හොඳටෝම අසරණ වෙලා. අවරුදු හතයි මාස හතයි දවස් හත දැන් මාසයකට අඩුවෙලා. කුමාරවරු “නො හැකිය දේවයන්වහන්ස, “එසේ නම් සත් දිනක් දෙන්න” යයි රජතුමා ඇයද සිටියා.. “යහපති දේවයිනි”යි සත් දිනක් දීම සඳහා පොරොන්දු වෙන්නම්. කුමාරවරු එකඟවුනා. . රජතුමා සත් හවුරුදු සත්මස් සත් දිනකදී කිරීමට සිතා සිටි සියලු සත්කාර සත්කාර සත් දිනකදීම සිදු කරන්නට කටයුතු සියල්ල සම්පාදනය කළා.

මුලාශ්‍ර – සුත‍්ත අට‍්ඨකථා – සංයුත‍්තනිකාය – සළායතනසංයුත‍්තය – සබ‍්බවග‍්ගය – ආදිත‍්තපරියායසුත‍්තවණ‍්ණනාව

Ape Budu Hamuduruwo 321

අපේ බුදුහාමුදුරුවෝ 321 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 12

ආදිත්‌තපරියාය සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට දහසක් පුරාණ ජටිල හිමිවරු අරහත්වයට පත්වීම.

භාග්‍යවතුන් වහන්සේගේම සෘද්ධියෙන් පහළ වූ පා සිවුරු දරන ඒ දහසක් ශ්‍රමණයන් රැගෙන මීට ඉහත සඳහන් පරිදී උන්වහන්සේ ගයා ශීර්ෂය වෙත වැඩම කරනු ලැබුවා. උන්වහන්සේ භික්ෂූන් විසින් පිරිවරණා ලදුව වැඩ හිඳ මේ අයට කවර නම් ධර්ම කථාවක් යෝග්‍යදැයි සිතන්නට වුණා. ඇයි එක් අයෙකුට දෙන්නෙකුට ධර්මය අවබෝධ කරවීමත් ලෙහෙසි කරුණක් නෙවෙයිනේ. ඉතින් දහසකට එකවර කියාදෙන්නේ කොහොමද? ඔවුන්ගේ ප්‍රඥාව වැඩී ඇත්තෙත් දහස් ආකාරයකට විය හැකියි. ඉතින් හැමෝටම පොදු තේරුම් යන මාතෘකාවක් වෙන්නටත් වුමනානේ . පසු කාලයේ “කළහ විවාද සුත්‍රය” දේශණා කරන අවස්ථාවේත් උන්වහන්සේ මීට වඩා දුෂ්කර අවස්ථාවකට පත්වුනා. හේතුව එදා ගිහිපැවිදි මෙන්ම රහතන් වහන්සේලාද මරගඵල නොලැබූ එහෙත් මහණ දිවියට ඇතුලත් වූ තරුණ කුමාරවරුද ඒ වගේම දෙවියන්ද ඒ විතරක් නෙවෙයි බ්‍රහ්ම යන්ගෙන්ද මුළු වා තලයම වැසී ගිය නිසා. එදා උන්වහන්සේට අනුබුදුරුවක් මවන්නට සිද්ධ වුනා උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට.

හැබැයි මෙදින ඒ ප්‍රශ්ණය ඒ තරම්ම සංකීර්ණ වූ බවක් පෙනෙන්නට නැහැ. උන්වහන්සේ මෙහෙම සිතුවා.

“මේ අය සවස ද උදෑසන ද ගිනි පිරිවරා සිටිති. ඒ නිසා මේ පිරිසට දොළොස් ආයතන ගින්නෙන් දැල්වෙන්නා සේ පෙන්වා දේශනා කරන්නෙමි, මෙසේ මේ පිරිස රහත් බවට පැමිණීමට හැකිවන්නාහුය” යි යනුවෙන් නිශ්චය කරගනු ලැබුවා.

ඉන්පස්සේ ඔවුන්හට එසේ දහම් දෙසීමට මෙම ආදිත්‍ය පර්යාය සූත්‍රය වදාරනු ලැබුවා. ඒ හේතුවෙන් “භික්‍ඛු ආමන්තෙසී” යයි කියනු ලැබුවා. ඒ භික්ෂුන් හට සුදුසු දහම් දෙසුම තීරණය කොට එය දේසනා කරන්නෙමිය සිතා ආමන්ත්‍රණය කිරීමයි.

මෙහි ආදිත්ත යනු ගිනි ගත්, ගිනිගෙන දැල්වෙන යන අදහසයි. පරියාය යනු දහම් කොටස, සුත්‍රය දේශනාව යන්නයි.

ඒ විශාල ගල්තලාව දහසක් වූ භික්ෂූන් වහන්සේලාගෙන් වැසිලා. භාග්‍යවතුන් වහන්සේගේ සෘද්ධියෙන් පහළ වූ ඒ කසාවත් වල අසාමාන්‍ය පැහැයක් තියෙන්නට ඇති. හිතන්න කොතරම් ප්‍රිය ජනක දර්ශනයක් වෙන්නට ඇතිද? භාග්‍යවතුන් වහන්සේ මෙතක් කල් හැමෝටම දේශනා කරනු ලැබුවේ චතුරාර්‍ය සත්‍ය දේශනාවත් අනන්ත ලක්ඛණ දේශනාවත් පමණයි. එහෙත් ඒ දුක්ඛ සත්‍යම මෙදින දේශණා කිරීමට යන්නේ වෙනයම් ආකාරයකට. එනම් බුදුරජාණන් වහන්සේ ලෝකය හැටියට පෙන්වා දුන්න ඹබයක් පමණ වූ මෙම ශරීරයට උපමා කරලා. එනම් ඇස කණ නාසය දිව කය මනස යන ආයතන හය තුලින් සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු තුලින් සහ ඒවා නොනිවෙන ගිනි ජාලාවකින් දැවෙන ලෙසයි. ඇයි ඒ අය උදේ හවස කරනු ලැබුවේ ගිනි දෙවියන් පිදීම නිසා. ඔවුනට ගින්දර තරම් යමක් අවබෝධ කරවන්නට සරළ සහ කිට්ටු උපමාවක් තිබුනේ නැති නිසා වෙන්නටත් ඇති.

උන්වහන්සේ දේශනාව ආරම්භ කරනු ලැබුවා.

මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලදි. මහණෙනි, කවර සියල්ල ඇවිලගන්නා ලද යැ යත්: මහණෙනි, චක්‍ෂුස (ඇස ) ඇවිලගන්නා ලද යැ. ඇසට අරමුණු වන රූපයෝ ඇවිලගන්නා ලදහ. ඒ දේපල එකතුවීමෙන් ඇතිවෙන චක්ඛුවිඤ්ඤාණය ද ඇවිලගන්නා ලද යැ. මෙම තුනෙහි එකතුව වන චක්ඛුසම්ඵස්සය ද ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය නිසා සුඛ වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලදද? රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.

මෙලෙස උන්වහන්සේ ඉතිරි ඉතිරි ආයතන පහ ගැනත් දේශණා කරනු ලැබුවේ හැමෝටම වැටහෙනා පරිදි.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් වේ නම් එහිත් කලකිරෙයි … දිවෙහිත් කලකිරෙයි. රසයන්හිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් වූ හෝ නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … සිතෙහිත් කලකිරෙයි. ධර්‍මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත්

කලකිරෙයි කලකිරෙන්නේ නො ඇලෙයි.

නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.

භාග්‍යවතුන් වහන්සේ මෙලෙස මෙම සුත්‍ර දේශනාව වදාරනු ලැබුවා. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තා. මේ සූත්‍රය දේශනා කරනු ලබන කල්හි ඒ භික්‍ෂූන් දහසගේ සිත් උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණා. දහසක් භික්ෂුන් ඒ මොහොතේම අරහත්වයට පත්වුණා.

මම දන්නවා මට වගේම ඔබටත් වටෙහෙන්නට නැතිව ඇති කියලා. මොකද අපි තවමත් ඒ ගින්නෙන් දැවෙනවා. ගිණි දෙවියන් පිදුව ඔවුන් ඒ ගින්නෙන් මිදුනට අපි තවමත් ඒ ගිණි දෙවියන් පුදනවා. කවදා නම් මේ සත්‍ය අවබෝධ වේවිද? එහෙම වෙන්නට කියා හද පත්ලෙන්ම පතනවා දයාබර ඔබට.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය »සළායතන සංයුක්තය » සබ්‌බ වර්ගය» ආදිත්‌තපරියාය සූත්‍රය

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

ආනන්ද මෛත්‍රී මහනායක හිමිපාණන් වහන්සේගේ ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය

Ape Budu Hamuduruwo 320

අපේ බුදුහාමුදුරුවෝ 320 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 11

ගයා තීර්ථ, සහ ගයා ශීර්ෂය

ඉතින් ඔය විදිහට මහත් වූ කරුණාවෙන් දයාවෙන් වෙහෙසෙන් තුන්දහස් පන්සියයක් පමණ වූ ප්‍රාතිහාර්ය පාමින් උරුවෙල කස්සප ඇතුළු ජටිලයන් දහස දමනය කරගත් අපේ බුදුහාමුදුරුවෝ උරුවෙල්දනව්වෙහි කැමැති තාක් වාසය කොට පුරාණජටිලයන් වූ දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා ද සමග ගයාශීර්‍ෂයට වැඩම කරන්නට වුණා.

ගය නම් රාජර්ෂීන් විසින් කරන ලද බැවින් මෙම ගමට ගයා නමින් එකල ව්‍යහාර වුණා. මෙය ජයසිරි මහ බෝ මැඩින් තුන් ගව්වක් පමණ ඈත්හි නේරංජරා නදිය අද්දරැ වූ ගමක්. මෙ ගම සමීපයෙහි බ්‍රහ්ම ලබ්ධිකයන් පව් සෝදන පොකුණක් ද වුණා. ඒ වගේම නේරංජරාවේ තොටුපල ද ඔවුන්ගේ පාපප්‍රවාහස්ථානයක් බවට පත්වුණා. එබැවින් එ දෙපොලට ම ගයා තීර්ථ නමින් ව්‍යහාරයේ පැවතුණා. ඉන් ගම් දොරටුව සමීපයෙහි ගයා පොකුණ තෙර ලොකු ගල් සතරක් ද එහි මහත් වූ උස දිග පළලින් යුත් පැතලි ගල්ලෑල්ලක් වැනි ප්‍රදේශයක්ද ඒ ගල් සමතලාව භාවිතාකොට නිම කරන ලද ගල් ඇඳෙක් ද තිබුණා. මෙය ටංකිතමංච යනුවෙනුත් හඳුන්වනු ලැබුවා. එය ඇසුරු කොට පිහිටි සුචිලෝම යකුගේ භවනයෙහි ද භාග්‍යවතුන් වහන්සේ පසු කාලයේ වැඩ වාසය කරනු ලැබුවා. ඒ ගැන ඔබට පසුව කියවන්නට ලැබේවි.

ඒ එක්කම පසු කාලයේ දෙව්දත් තෙරුනට අජාසත් රජු කරවා දුන් විහාරයෙක් ද ගොඩනැගුනේ මේ ප්‍රදෙශයේමයි. පසුව දෙව්දත් තෙරුන් සංඝභෙදය කොටැ පන්සීයක් පමණ වූ නවක භික්ෂූන් ගෙන ආවේත් ඒ ගයා ශීර්ෂ විහාරයට යි. දැන් බුද්‍ධගයා නමින් ප්‍රසිද්‍ධ වැ ඇත්තේ බෝධිමණ්ඩ ප්‍රදේශය යි. ඉතින් බෞද්ධයිනට බොහෝ වැදහත් ස්ථාන රැසකට මෙම ප්‍රදේශය උරුමකම් කිවා.

තවත් වැදගත් දෙයක් තියෙනවා. ගයා ගම සමීපයේ ම ගයා තොටුපල ඉස්මත්තේ ගජ ශීර්ෂයක් (ඇත් ඔලුවක්) බඳු කඳු මුදුනෙක් තිබුණා. එ කඳු මුදුනේ වූ විශාල සම ගල් තලය මත දහසක් පමණ භික්‍ෂූනට විසුමට තරම් අවකාශයක් පැවතුණා කියලා කියනවා. මෙන්න මේ ස්ථානය කරා තමයි භග්‍යවතුන් වහන්සේ පියමැන්නේ. ඇයි දහසක් දෙනාට ඉන්න පුළුවන් වෙන්නත් ඕනෙනේ. ඒ ස්ථාන මාර්ග දිවැසින් දකින්නට ඇති කියලා මට හිතෙනවා. ඒ විතරක් නෙවෙයි? මේ දහසක් දෙනාටම අරහත්වයට පැමිණෙන මගද පෙන්නන්නට ඕනේ. මොකද සසරේ පිනට ඒහි භික්කු පැවිද්දෙන් පැවිද්ද ලැබුවට තවමත් මනාකොට දර්මය අවබෝධ වී අරහත්වයට පත්වී නැහැනේ. කෙලෙස් සහිතයි. ඒ විතරක්ද මෙවැනි විශාල පිරිසකට පිණ්ඩපාතය ලැබෙන්නටත් ඕනේනේ . ඒ හැම දේටම පහසුම තැන එතන වෙන්නට ඇති. ගයා තොටුපල ඉස්මත්තේ වූ ඒ විශාල ගල් තලය (ගයා ශීර්ෂයෙහි) වෙත දහසක් භික්ෂුන් සමගින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනු ලැබුවා

හැබැයි තවත් ආශ්චර්යමත් දෙයක් තියෙනවා. ඔබට මතක ඇති මම මිට කලින් මොවුන්ගේ අතීත කතාව ලීවා. කියවලා නැත්නම් “අපේ බුදුහාමුදුරුවෝ 312 (සන්තිකේ නිධානය) උරුවෙලකස්සප තෙරණුවන්ගේ අතීත කතා පුවත” කියවන්න. එහි ඔබට මතක ඇති මේ උරුවෙල් කස්සප, ගයා කස්සප, නදී කස්සප යන අය රාජ කුමාරවරු වෙලා හිටියා. ඒ වෙලාවේ ඵුස්ස බුදුහාමුදුරුවෝ වෙත ගොස් දසසිල් සමාදන්ව තෙමසක් ශික්‍ෂාපද රකින්නට තම පිය රජුගෙන් අවසර ඉල්ලා ගත්තනේ. ඒ වෙලාවේ ඒ බුදුහාමුදුරුවන්ට අවශ්‍ය සියලු පිරිකර දානමාන දී කටයුතු පවත්වනු ලැබුවේ මොවුන් ඒ රාජකුමාරවරු හැටියට සිරින්. ඔවුන් සිල්සමාදන් වන තෙමසෙහි මෙම කාර්යය කරන්නට බැරි නිසා ඒ කටයුත්ත තමන්ගේ ඇමතියෙකුට පැවරුවා කියලා අපි කියවූවා නේ. ඔබ දන්නවද දැන් මේ මොහොතේ ඒ ඇමතියා රජවෙලා. ඒ පිනෙන් ම වෙන්නට ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඔහුට තමයි මේ ගයා ශිර්ෂයත් අයිති. සසරෙහි හැටි කල්‍යාණ මිත්‍රත්වයේ හැටි. ඒ වෙන කවුරුත් නෙවෙයි ඔබ අප කවුරුත් දන්නා බිම්සර නොහොත් බිම්බිසාර රජතුමා. ඔහුට දැන් ආයෙමත් බුදුන් ඇතුළු මෙම පිරිසට උපස්ථාන කරන්න පරිසරය සැකෙසෙමින් එනවා. ඔහුත් එහෙම අදිස්ඨාන කරාද කියලයි මට දැන් හිතෙන්නේ.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහර

ආනන්ද මෛත්‍රී මහනායක හිමිපාණන් වහන්සේගේ ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය

Ape Budu Hamuduruwo 319

අපේ බුදුහාමුදුරුවෝ 319 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 10

උරුවෙල කාශ්‍යපත් නදීකාශ්‍යපත් ඇතුළු පිරිස දැන් මිත්‍යාදෘෂ්ඨියෙන් මිදී සාසනයේ පැවිද්ද ලබා අවසන්. එහෙත් ගයාකශ්‍යප බාල සොහොයුරා තවමත් ඔහුගේ පිරිසත් සමග සුපුරුදු තවුස් වත් පුරමින් නදියේ තවත් පහල ජීවිකාව පවත්වමින් යනවා. ඒ වෙලාවේ තමයි හදිසියේම තම සහෝදරයන් දෙදෙනා ඇතුළු පිරිසගේ හිසකේ ද, ජටාමඬුලු ද, තවුස්පිරිකරකත් ද, ගිනි පුදන උපකරණ ද, දියෙහි පා වී යන ආකාරය ඔවුනට දකින්නට ලැබුනෙ. ඔහුටත් එකවරම නදීකාශ්‍යපට කියවුන දේම මුවගින් පිටවුනා.

“මාගේ සොහොයුරන්ට උවදුරක් නො වේවා” “මාගේ සොහොයුරන්ට උවදුරක් නො වේවා”

ඔහුත් වහාම තම පිරිස ඇමතුවා. “යවු. මාගේ සොහොයුරන් ගැණ දැන ගණිවු” යි ජටිලයන් පිටත් කොට හැරිය. ඉන්පස්සේ ඔහුද දෙසියයක් ජටිලයන් සමග ආයුෂ්මත් උරුවේලකාශ්‍යපයන් හුන් තැනට ගියා. යනවිටත් දෙපිරිසම මහා කසාවතින් බැබෙලෙමින් හිටියේ. මෙතෙක් අපිළිවෙලට වැවුණු කෙස් රැවුල් වලින් තොරව ඒහි භික්ඛු පැවිද්දෙන් සිවුරු අටපිරිකරද, පැවිද්ද ද ලබා මනා සංවරයෙන් යුතුව, පිරිපුන් පැහැයෙන් බබලනවා. ඔහු දුව ගොස් දනින් වැටී තම ලොකු සහෝදරයා වන ආයුෂ්මත් උරුවෙලකාශ්‍යප ගෙන් මෙලෙස අසනවා.

“කාශ්‍යපය, ඇත්තෙන්ම අපගේ තවුස් බවට වඩා මේ පැවිදිබව උතුම් දැ?” එවිට ආයුෂ්මත් උරුවෙලකාශ්‍යප “ඇවැත්නි, එසේ ය. මේ පැවිදිබව උතුම් ය” යන්න භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් පැවිද්ද ලබන්න. එවිට ගයාකශ්‍යප, එතකොට අපිට කෝ අපිට ඔබට වගේ සිවුරු පිරිකර? ඔබට කොහෙන්ද ලැබුනේ? යන්න උන්වහන්සේ වෙතට. මොහොතකින් ඒ සියල්ල ලැබේවි.

ඉන්පස්සේ ගයාකශ්‍යප ඇතුළු ඔහුගේ ජටිල පිරිස හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද දියෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි ගෞරවයෙන් කියා සිටියා. මොහොතයි ගතවුනේ. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තය ඔසවා . “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මුළුමනින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාරනු ලැබුවා. ඔවුන්ද අනෙකුත් සහෝදරයන් මෙන්ම සිවුරුපිරිකර පැළඳපැවිද්ද සදහා අවශ්‍ය සියලු පිරිකර සහිතව භාග්‍යවතුන් වහන්සේ අභියස පෙනී සිටියා. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වුනා. ඒත් සියලුම දෙනා තවමත් අරහත්වයට පත්වී නැහැ. ඔවුන් සඳහා දර්මය දේශනා කිරීමට තවමත් සුදුසු පරිසරය සකස්වී නැහැ. පැවිද්ද ලැබුවා විතරයි. ඔවුන්ව මේ තත්වයට ගෙනඒමට භාග්‍යවතුන් වහන්සේ ඉවසීමෙන් කොතරම් කල් ගත කලාද? කොතරම් ප්‍රාතිහාර්ය පෑවාද?

භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් පන්සියයක් දරකඩ නොපැලුනා .පසුව අදිෂ්ඨානයෙන් ම පැලුනා. ගිනි නො දැල්වුනා . ගිනි දැල්වුනා . නො නිවුන. නිවුනා . ගිනි කබල් පන්සියයක් මැවූවා. මේ පිළිවෙළින් පෙළහර තුන්දහස් පන්සියයක් පෑවා කියලා විනය පිටකයේ සඳහන්.ඒ එක්කම දැන් බුදුරජාණන් වහන්සේට දර්ම ප්‍රචාරය පිණිස සංඝ පිරිස් දහසක් ඇති වෙලා. ඔබට දැන් තේරෙන්න ඕනේ ඇයි භාග්‍යවතුන් වහන්සේ මෙතරම් ඉවසීමෙන් මහත්වූ කරුණාවෙන් කාලය වැය කලේ කියලා. දැන් ඇති කාර්යය භාරය වන්නේ උන්වහන්සේලා හට දහම අවබෝධකොට දී දර්ම ප්‍රචාර වැඩ කටයුතු සඳහා යොමු කරවීමයි. ඊළඟ ලිපියෙන් උන්වහන්සේලාගේ අරහත්වයද, ඒ සඳහා දේශණා කරනු ලැබූ දර්ම දේශනාවද ඔබට කියවිය හැකියි.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර