අපේ බුදුහාමුදුරුවෝ 319 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 10

උරුවෙල කාශ්‍යපත් නදීකාශ්‍යපත් ඇතුළු පිරිස දැන් මිත්‍යාදෘෂ්ඨියෙන් මිදී සාසනයේ පැවිද්ද ලබා අවසන්. එහෙත් ගයාකශ්‍යප බාල සොහොයුරා තවමත් ඔහුගේ පිරිසත් සමග සුපුරුදු තවුස් වත් පුරමින් නදියේ තවත් පහල ජීවිකාව පවත්වමින් යනවා. ඒ වෙලාවේ තමයි හදිසියේම තම සහෝදරයන් දෙදෙනා ඇතුළු පිරිසගේ හිසකේ ද, ජටාමඬුලු ද, තවුස්පිරිකරකත් ද, ගිනි පුදන උපකරණ ද, දියෙහි පා වී යන ආකාරය ඔවුනට දකින්නට ලැබුනෙ. ඔහුටත් එකවරම නදීකාශ්‍යපට කියවුන දේම මුවගින් පිටවුනා.

“මාගේ සොහොයුරන්ට උවදුරක් නො වේවා” “මාගේ සොහොයුරන්ට උවදුරක් නො වේවා”

ඔහුත් වහාම තම පිරිස ඇමතුවා. “යවු. මාගේ සොහොයුරන් ගැණ දැන ගණිවු” යි ජටිලයන් පිටත් කොට හැරිය. ඉන්පස්සේ ඔහුද දෙසියයක් ජටිලයන් සමග ආයුෂ්මත් උරුවේලකාශ්‍යපයන් හුන් තැනට ගියා. යනවිටත් දෙපිරිසම මහා කසාවතින් බැබෙලෙමින් හිටියේ. මෙතෙක් අපිළිවෙලට වැවුණු කෙස් රැවුල් වලින් තොරව ඒහි භික්ඛු පැවිද්දෙන් සිවුරු අටපිරිකරද, පැවිද්ද ද ලබා මනා සංවරයෙන් යුතුව, පිරිපුන් පැහැයෙන් බබලනවා. ඔහු දුව ගොස් දනින් වැටී තම ලොකු සහෝදරයා වන ආයුෂ්මත් උරුවෙලකාශ්‍යප ගෙන් මෙලෙස අසනවා.

“කාශ්‍යපය, ඇත්තෙන්ම අපගේ තවුස් බවට වඩා මේ පැවිදිබව උතුම් දැ?” එවිට ආයුෂ්මත් උරුවෙලකාශ්‍යප “ඇවැත්නි, එසේ ය. මේ පැවිදිබව උතුම් ය” යන්න භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් පැවිද්ද ලබන්න. එවිට ගයාකශ්‍යප, එතකොට අපිට කෝ අපිට ඔබට වගේ සිවුරු පිරිකර? ඔබට කොහෙන්ද ලැබුනේ? යන්න උන්වහන්සේ වෙතට. මොහොතකින් ඒ සියල්ල ලැබේවි.

ඉන්පස්සේ ගයාකශ්‍යප ඇතුළු ඔහුගේ ජටිල පිරිස හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද දියෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි ගෞරවයෙන් කියා සිටියා. මොහොතයි ගතවුනේ. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තය ඔසවා . “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මුළුමනින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාරනු ලැබුවා. ඔවුන්ද අනෙකුත් සහෝදරයන් මෙන්ම සිවුරුපිරිකර පැළඳපැවිද්ද සදහා අවශ්‍ය සියලු පිරිකර සහිතව භාග්‍යවතුන් වහන්සේ අභියස පෙනී සිටියා. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වුනා. ඒත් සියලුම දෙනා තවමත් අරහත්වයට පත්වී නැහැ. ඔවුන් සඳහා දර්මය දේශනා කිරීමට තවමත් සුදුසු පරිසරය සකස්වී නැහැ. පැවිද්ද ලැබුවා විතරයි. ඔවුන්ව මේ තත්වයට ගෙනඒමට භාග්‍යවතුන් වහන්සේ ඉවසීමෙන් කොතරම් කල් ගත කලාද? කොතරම් ප්‍රාතිහාර්ය පෑවාද?

භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් පන්සියයක් දරකඩ නොපැලුනා .පසුව අදිෂ්ඨානයෙන් ම පැලුනා. ගිනි නො දැල්වුනා . ගිනි දැල්වුනා . නො නිවුන. නිවුනා . ගිනි කබල් පන්සියයක් මැවූවා. මේ පිළිවෙළින් පෙළහර තුන්දහස් පන්සියයක් පෑවා කියලා විනය පිටකයේ සඳහන්.ඒ එක්කම දැන් බුදුරජාණන් වහන්සේට දර්ම ප්‍රචාරය පිණිස සංඝ පිරිස් දහසක් ඇති වෙලා. ඔබට දැන් තේරෙන්න ඕනේ ඇයි භාග්‍යවතුන් වහන්සේ මෙතරම් ඉවසීමෙන් මහත්වූ කරුණාවෙන් කාලය වැය කලේ කියලා. දැන් ඇති කාර්යය භාරය වන්නේ උන්වහන්සේලා හට දහම අවබෝධකොට දී දර්ම ප්‍රචාර වැඩ කටයුතු සඳහා යොමු කරවීමයි. ඊළඟ ලිපියෙන් උන්වහන්සේලාගේ අරහත්වයද, ඒ සඳහා දේශණා කරනු ලැබූ දර්ම දේශනාවද ඔබට කියවිය හැකියි.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

error: Content is protected !!