අපේ බුදුහාමුදුරුවෝ 325 (සන්තිකේ නිධානය)

 

තවුතිසාවට පමණක් දෙවැනි වූ උතුරුකුරු දිවයින

දැන් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරි පාද චාරිකාව වැටී ඇත්තේ කපිලවස්තුව දෙසට. ඒ තම පියාණන් මෙන්ම ගිහි ජීවිතයේ සංසාරය පුරාවට පැමිණි බිරිඳ යසෝදරාව, නෑ හිතමිතුරන් පිරිස බැලීමට ගොස් ඔවුන්හට දර්මය දේශනා කොට නිවන් මගට පැමිණිවීමටයි. එහෙත් ඔබට හිතේවි සමහරවිට පවුලේ අයට මුල් තැන ලැබුනා කියලා. නැහැ එහෙම නෙවෙයි සරාසන්කෙයිය කල්ප ලක්ෂයකටත් වඩා වැඩි කාලයක් අනේක විධි දුක් ගැහැට, කරදර, ජිවිත අනතුරු, අත්හැරීම්, වල යෙදෙමින් ඔවුන් මේ බුද්ධත්වය සඳහා භාග්‍යවතුන් වහන්සේට උදව් උපකාර කරමින් පැමිණෙමින් ලඟින්ම සිටි පිරිස. උන්වහන්සේ බලන්නට ඇත්තේ සංසාරයේ ඈත කොන දිහා මිසක් කපිලවස්තුව දෙසම නෙවෙයි. ඒ විතරක් නෙවෙයි බුදුබව ලැබීමෙන් පසු තම මාළිගය වෙත පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබූ බිම්සර රජු ට දුන් පොරුන්දුව ද ඒ අතර ඉදිරියෙන්.

එහෙත් උන්වහන්සේ ඒ සියල්ලම දෙවනුවට තැබුවා. ඒ වෙනුවට උන්වහන්සේ ඒ සියල්ලටම ප්‍රථම අපගේ ශ්‍රී ලංකා භූමියට පැමිණෙන්නට තීරණය කරනු ලබලා. ඊට හේතු වන්නේ ‘මා පිරිනිවිකල්හි මාගේ ශාසනය මේ දිවයිනෙහි පිහිටන්නේය’ය යන උදාර චේතනාවෙන් බව විනය අට්ටකතාවෙහි සඳහන්. දැන් ඔබ හිතන්න බෞද්ධ ඔබට ඇති වගකීම. බුදුරජාණන් වහන්සේ ඔබ කෙරෙහි තැබූ බලාපොරොත්තුව. ඒ සියල්ලම සාසනයෙහි උන්නතිය මතු පැවැත්ම වෙනුවෙන් වෙන්නටත් ඇති. උන්වහන්සේ බලාපොරොත්තු වූ තරමටම මේ සාසනයට ඔබෙන් යුතුකම් ඉටුවී ඇත්ද? සිතිය යුතු කරුණක්.

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසද්දී අපගේ ලක්දිවට තෙවරක් ම වැඩම කරනු ලැබුව බව ඔබ අප දන්නා සුප්‍රසිද්ධ ඉතිහාස කතාවක්. උන්වහන්සේ පළමුකොටම වැඩම කරනු ලැබුවේ යක්‍ෂයන් දමනය කරනු පිණිස මහියංගනයටයි. එදින පාන්දරින්ම උන්වහන්සේ සැරසුනේ ඒ අයිතිහාසික පියවර සඳහා.

එදා දුරුතු මාසයේ මැදි පෝය දිනය. මහා කරුණා ඥානයෙන් ලොව බලා වදාරන භාග්‍යවතුන්වහන්සේට ලක්වැසියනට තමන් වහන්සේගෙන් විය හැකි ශාන්තිය දුටුවා. එහෙත් ඒ වනවිටත් අපගේ දිවයිනේ බොහෝ පෙදෙස් මහා බලවත් යක්ෂයන් යක්ෂ සේනාධිපතියන් ඇතුළු අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයේ පැවතියේ. එදින රාත්‍රියේ ඔවුන් දෙපාර්ශවයට බෙදිලා යුද්ධ කිරීමට ලැහැස්තිය. එදින රාත්‍රියේ ඒ සංග්‍රාමයට පෙර ශ්‍රී ලංකා භූමියට වැඩම කිරීමේ අරමුණින් බුදුන් වහන්සේ පිණ්ඩපාත දානය සඳහා හිමිදිරියේම උතුරුකුරු දිවයිනට වැඩම කරනු ලැබුවේ තනිවම.

උතුරුකුරු දිවයින

සතර සතිපට්ඨාන වැනි බොහෝ ගාම්භීර දේශනා වල බුදුරජාණන් වහන්සේ උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය පිණිස වැඩම කොට අනවතප්ත විලෙන් පැන් පහසුවී විවේක සුවයෙන් වැඩ විසුබව පෙළෙහි බොහෝ තැන්වල සඳහන්. නිකාය සාහිත්‍යයෙහි හා පශ්චාත්කාලීන පාලි සාහිත්‍යයෙහි ” සඳහන් මනඃකල්පිත ප්‍රදේශයක් ලෙස උතුරුකුරු දිවයින යම් විචාරකයින් පෙන්වා දුන්නත් සුත්‍ර පිටකයේ දීඝ නිකායේ සඳහන් පරිදී යම් කෙටි විස්තරයක් ලිවීම කාලෝචිත යනුවෙන් සිත කිවේ ඉන්පසු ලිපිවල නැවත නැවතත් ඒ සම්බන්ධව විස්තරයක් කල නොයුතු නිසා.

ජම්බුද්වීපයෙන් උතුරු දිශාවෙහි තමයි කියනවා මහාමේරු පර්වතය පිහිටා තියෙන්නේ. එය රන්වන් පැහැයෙන් බැබලෙන නිසාම සොඳුරු දසුන් ඇති මහාමේරුවේ පෙර දිසාව රිදීය. දකුණු දිසාව මැණික්ය. බටහිර දිසාව පලිඟුය. උතුරු දිසාව රත්රන්ය කියලා කියනවා. මෙහි රජු කුවේර යනුවෙන් හඳුන්වනවා. කුවේර මහ රජුගේ රජදහන විසාණා නම් වනවා. එහෙයින් කුවේර මහ රජ වෙස්සවණ (වෙසවුණු) නමින්ද හඳුන්වනු ලබනවා. වෙස්සවණ රජු බුදුරදුන්ගේ විශ්වාසිකයෙක් . කථා පැවැත්වීමේ ව්‍යාකතයෙක්. ඒ නිසාම ආටානාට දේශනයේ සතර වරම් දෙවිවරු බුදුන් හමිවට පැමිණියද උන්වහන්සේව ආමන්ත්‍රණය කිරමට මූලික වෙන්නේ වෙස්සවණ දෙවියනුයි. ඒ රජ වෙනුවෙන්ම මැවුණු ප්‍රධාන නගර බොහොමයක් වනවා. මහා යශස් ඇති මහා තේජස් ඇති ඒ වෙසවුණු මහ රජුට ප්‍රාසාද ද සිවිල්ගෙවල් ද බොහොමයක් වනවා. එ රජු වෙනුවෙන්ම මොනොවට මවන ලද ආටානාටා ය, කුසිනාටා ය, පරකුසිනාටා ය, නාටපුරියා ය, යැ යි නගරයෝ වනවා. එයින් (ඒ පරකුසිතනාට නුවරින්) ඉඳුරා උතුරුදිගැ කපීවන්ත නම් නුවරෙක් ද, එයින් ඔබ්බෙහි ජනෝඝ නම් නුවරෙක් ද, අන්‍ය නවනවතිය නම් නුවරෙක් ද, අම්බරඅම්බරවතිය නම් නුවරෙක් ද, අන්‍ය ආලකමන්‍දා නම් රාජධානියෙක් ද වනවා. ආලකමන්දාව එහි අගනුවරයි. රජුගේ නිවේදන තතෝල, තන්තල, තතොතල, ඔජසි, තෙජසි, තතොජසි, සුර, රාජ, අරිට්ඨ හා නෙමි යන රාජ සෙනවියන් විසින් ඉදිරිපත් කෙරෙන අතර ධරණී නම් පොකුණ ද යක්‍ෂයන් හා උතුරුකුරු වැසියන් හමුවන භගලවතී නම් ශාලාව ද මෙහි විශේෂ ස්ථානයන් ලෙස හඳුන්වනවා.

උතුරු කුරු දිවයිනත් පිහිටා තියෙන්නේ අන්න ඒ මහාමේරු පර්වතයෙහි කියලා කියනවා. එය අපගේ පෘතුවි තලයටම අයිති එහෙත් බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සහ ඍෂි වරුන්ට හා පක්ෂිනට පමණක්ම විද්‍යාමාන වන දිවයිනක් කියලා තමයි පවසන්නේ. නැත්නම් අපිටත් පේන්නට එපැයි. උතුරුකුරු දිවයිනෙහි යක්ෂයෝ වගේම පින්වත් සුවිශේෂී මිනිසුන් කොටසකුත් ජිවත් වෙනවා. ඔවුන් පුණ්‍යමය බලයෙන් ඉතාම බලවත්. ඒ නිසාම ඔවුනට ලැබෙන සැප සම්පත් ඉමහත්. හරියටම දෙවිවරුනට වගේ. බොහෝ සෙයින් දිව්‍යමය ආත්මභාවයට කිට්ටු එහෙත් දෙවියන් නොවන මෙම සුවිශේෂී මිනිසුන් තුන් ආකාරයකින් තව්තිසා වැසි දෙවියන් ද දඹදිව් වැසි මිනිසුන් ද අභිබවා හිඳිනවා කියලා ඨාන සුත්‍රයෙහි කියනවා. එනම්

  1. අමමා – වස්ත්‍රාභරණ කෑමබීම ආදියෙහි මමත්ය නැත.
  2. අපරිග්ගහා – ස්ත්‍රීන් පාවා නොගෙන මේ මගේ ස්ත්‍රිය යනුවෙන් අයිති කරගැනීමක් නැති මෝ තෙමේ මගේ භාර්යාව යයි මමත්වයක් නැති මව හෝ සහෝදරිය හෝ දැක ඡන්දරාගය නො උපදින කොටසක්.
  3. නියතායුකා- නියත වශයෙන්ම ආයුෂ ඇති. එනම් කුරු වැසියන්ගේ ආයුෂ අවුරුදු දහසක්. ඔවුන් ඒ අවුරුදු දහසම අඩු හෝ වැඩි නැතිව ජීවත්වෙනවා කියන එකයි.

ඒ එක්කම ඔවුනට සුවිශේෂ වර්ණයක් තියනවා කියනවා. ඔවුනට තවත් විශේෂ ගුණයක් තියෙනවා. ඒ තමයි කිසිම දිනක මරණින් පසු සතර අපා ගත නොවීම. ඒ තරම්ම ධාර්මික ජීවතයක් ඔවුන් ගතකරන්නේ. එනිසාම ඔවුනට අයත් දේපල හෝ භාර්යාවන් ඇත්තේ නැහැ..

නගුල් ගෙන එහි කෘෂි කර්මය කරන්නෙමු කියා කුඹුරට යන පිරිස් නැහැ. වනයෙහි නොසාන ලද බිම් කොටසක ඉබේම හටගත් (සංයජාත) හාල්ම එහි පලය වනවා. එම සහල් නෙලාගෙන හැලියෙහි දමා ගල් තුනක් මත තැබූ විට ගල්වලින් ගිනි ඇති වී දුම් නැති අඟුරු ගින්නෙන් ඉබේම පිසෙනවා.

ඔවුන් ඒ හැලියෙන්ම භෝජන අනුභව කරනු මිසක් වෙනයම් භාජන භාවිතාවක් නැහැ. ඒ නිසා වැඩත් අඩු ඇති. එහි විවිධ සුප් වර්ග හෝ ව්‍යඤජනයක් හෝ නැහැ . විශේෂ රසකාරක මුහුකිරීමක් නැහැ. අනුභව කරන්නගේ කැමත්ත පරිද්දෙන්ම ඔහුට අවශ්‍ය පරිදි රසය ඇතිවෙනවා කියනවා. ඔවුන් එහි පැමිණෙන්නන්ට ද එම කෑම වලින් සංග්‍රහ කරන්නට අමතක කරන්නේ නැහැ.. මසුරු සිතක් ඔවුන්ගේ ඇත්තෙම නැහැ. . මහත් සෘද්ධි ඇති පසේ බුදු පසේ බුදුවරු එහි ගොස් පිණ්ඩපාතය ලබාගන්නවා.

එහි වෙස්සවන රජුගේ පිරිවර යක්කු එලදෙනක ගෙන එක්කර වාහනයක් කොට පිටට නැගී ඒ ඒ දිසාවලට යනවා.. දෙනුන් පමණක් නොව සෙසු සිව්පා සතුන් ද එක්කොට වාහන සාදා ඒ ඒ දිසාවල සංචාරය කරනවා. ඒ විතරක් නෙවෙයි. බොහෝ සෙයින් ගැබිනි ගැහැණිය වාහනය කොට ඇගේ පිටේ නැගී යනවත් කියනවා. සෙසු ස්ත්‍රීන් ද යානයෙහි යොදවනවා කියනවා. පුරුෂයන් යොදවන යානයන් තිබුනත් සම්‍යක් දෘෂ්ටිකයන් ගැනීමට ඔවුනට නොහැකි බව කියනවා. බොහෝ සෙයින් ප්‍රත්‍යන්තවල මෙලච්ඡ ජාතිකයන් ඒ සඳහා යොදවනවා. ගව යාන පමණක් නොව ඇත් අස් දිව්‍යමය දෝළා ඇතුළු බොහෝ යානාදියෙහි ද නැගී යනවා. තවත් බොහෝ දිව්‍ය යාන ද වනවා.

කල්පාවසානය දක්වා පවතින සිතූ පැතූ සම්පත් දෙන කල්ප වෘක්ෂයත් තියෙන්නේ මෙහෙ කියලා කියනවා. මෙහි වැසියන් භූමියෙහි සයනය කරණ බැවින් භූමිසය යනු ඔවුන්ට අපර නාමයක්. මෙලෙසින් තව බොහෝ නොකියූ කරුණු ඇතත් ලිපිය දික්වන නිසා මෙය ප්‍රමාණවත් කියා සිතනවා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ එදා පිණ්ඩපාත දානය සඳහා මෙම පින්කෙතට වැඩම කරනු ලැබුවා. ඒ පින්වත් පිරිස දුන් පිණ්ඩපාත දානයද රැගෙන් බුදුපියාණන් වහන්සේ අනවතප්ත විල අසළට වැඩම කළා. ඊළඟ ලිපියෙන් එම විල ගැන දැනගන්නට පුළුවන්.

උපකාර වූ මුලාශ්‍ර –

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » නවක නිපාතය » 3. සත්‌තාවාස වර්ගය/ ඨාන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » පාථික වර්ගය » 9. ආටානාටිය සූත්‍රය

සමන්තකූට වණ්ණනා – දෙනියායේ පඤ්ඤාලෝක හිමි

error: Content is protected !!