අපේ බුදුහාමුදුරුවෝ 321 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 12

ආදිත්‌තපරියාය සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට දහසක් පුරාණ ජටිල හිමිවරු අරහත්වයට පත්වීම.

භාග්‍යවතුන් වහන්සේගේම සෘද්ධියෙන් පහළ වූ පා සිවුරු දරන ඒ දහසක් ශ්‍රමණයන් රැගෙන මීට ඉහත සඳහන් පරිදී උන්වහන්සේ ගයා ශීර්ෂය වෙත වැඩම කරනු ලැබුවා. උන්වහන්සේ භික්ෂූන් විසින් පිරිවරණා ලදුව වැඩ හිඳ මේ අයට කවර නම් ධර්ම කථාවක් යෝග්‍යදැයි සිතන්නට වුණා. ඇයි එක් අයෙකුට දෙන්නෙකුට ධර්මය අවබෝධ කරවීමත් ලෙහෙසි කරුණක් නෙවෙයිනේ. ඉතින් දහසකට එකවර කියාදෙන්නේ කොහොමද? ඔවුන්ගේ ප්‍රඥාව වැඩී ඇත්තෙත් දහස් ආකාරයකට විය හැකියි. ඉතින් හැමෝටම පොදු තේරුම් යන මාතෘකාවක් වෙන්නටත් වුමනානේ . පසු කාලයේ “කළහ විවාද සුත්‍රය” දේශණා කරන අවස්ථාවේත් උන්වහන්සේ මීට වඩා දුෂ්කර අවස්ථාවකට පත්වුනා. හේතුව එදා ගිහිපැවිදි මෙන්ම රහතන් වහන්සේලාද මරගඵල නොලැබූ එහෙත් මහණ දිවියට ඇතුලත් වූ තරුණ කුමාරවරුද ඒ වගේම දෙවියන්ද ඒ විතරක් නෙවෙයි බ්‍රහ්ම යන්ගෙන්ද මුළු වා තලයම වැසී ගිය නිසා. එදා උන්වහන්සේට අනුබුදුරුවක් මවන්නට සිද්ධ වුනා උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට.

හැබැයි මෙදින ඒ ප්‍රශ්ණය ඒ තරම්ම සංකීර්ණ වූ බවක් පෙනෙන්නට නැහැ. උන්වහන්සේ මෙහෙම සිතුවා.

“මේ අය සවස ද උදෑසන ද ගිනි පිරිවරා සිටිති. ඒ නිසා මේ පිරිසට දොළොස් ආයතන ගින්නෙන් දැල්වෙන්නා සේ පෙන්වා දේශනා කරන්නෙමි, මෙසේ මේ පිරිස රහත් බවට පැමිණීමට හැකිවන්නාහුය” යි යනුවෙන් නිශ්චය කරගනු ලැබුවා.

ඉන්පස්සේ ඔවුන්හට එසේ දහම් දෙසීමට මෙම ආදිත්‍ය පර්යාය සූත්‍රය වදාරනු ලැබුවා. ඒ හේතුවෙන් “භික්‍ඛු ආමන්තෙසී” යයි කියනු ලැබුවා. ඒ භික්ෂුන් හට සුදුසු දහම් දෙසුම තීරණය කොට එය දේසනා කරන්නෙමිය සිතා ආමන්ත්‍රණය කිරීමයි.

මෙහි ආදිත්ත යනු ගිනි ගත්, ගිනිගෙන දැල්වෙන යන අදහසයි. පරියාය යනු දහම් කොටස, සුත්‍රය දේශනාව යන්නයි.

ඒ විශාල ගල්තලාව දහසක් වූ භික්ෂූන් වහන්සේලාගෙන් වැසිලා. භාග්‍යවතුන් වහන්සේගේ සෘද්ධියෙන් පහළ වූ ඒ කසාවත් වල අසාමාන්‍ය පැහැයක් තියෙන්නට ඇති. හිතන්න කොතරම් ප්‍රිය ජනක දර්ශනයක් වෙන්නට ඇතිද? භාග්‍යවතුන් වහන්සේ මෙතක් කල් හැමෝටම දේශනා කරනු ලැබුවේ චතුරාර්‍ය සත්‍ය දේශනාවත් අනන්ත ලක්ඛණ දේශනාවත් පමණයි. එහෙත් ඒ දුක්ඛ සත්‍යම මෙදින දේශණා කිරීමට යන්නේ වෙනයම් ආකාරයකට. එනම් බුදුරජාණන් වහන්සේ ලෝකය හැටියට පෙන්වා දුන්න ඹබයක් පමණ වූ මෙම ශරීරයට උපමා කරලා. එනම් ඇස කණ නාසය දිව කය මනස යන ආයතන හය තුලින් සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු තුලින් සහ ඒවා නොනිවෙන ගිනි ජාලාවකින් දැවෙන ලෙසයි. ඇයි ඒ අය උදේ හවස කරනු ලැබුවේ ගිනි දෙවියන් පිදීම නිසා. ඔවුනට ගින්දර තරම් යමක් අවබෝධ කරවන්නට සරළ සහ කිට්ටු උපමාවක් තිබුනේ නැති නිසා වෙන්නටත් ඇති.

උන්වහන්සේ දේශනාව ආරම්භ කරනු ලැබුවා.

මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලදි. මහණෙනි, කවර සියල්ල ඇවිලගන්නා ලද යැ යත්: මහණෙනි, චක්‍ෂුස (ඇස ) ඇවිලගන්නා ලද යැ. ඇසට අරමුණු වන රූපයෝ ඇවිලගන්නා ලදහ. ඒ දේපල එකතුවීමෙන් ඇතිවෙන චක්ඛුවිඤ්ඤාණය ද ඇවිලගන්නා ලද යැ. මෙම තුනෙහි එකතුව වන චක්ඛුසම්ඵස්සය ද ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය නිසා සුඛ වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලදද? රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.

මෙලෙස උන්වහන්සේ ඉතිරි ඉතිරි ආයතන පහ ගැනත් දේශණා කරනු ලැබුවේ හැමෝටම වැටහෙනා පරිදි.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් වේ නම් එහිත් කලකිරෙයි … දිවෙහිත් කලකිරෙයි. රසයන්හිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් වූ හෝ නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … සිතෙහිත් කලකිරෙයි. ධර්‍මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත්

කලකිරෙයි කලකිරෙන්නේ නො ඇලෙයි.

නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.

භාග්‍යවතුන් වහන්සේ මෙලෙස මෙම සුත්‍ර දේශනාව වදාරනු ලැබුවා. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තා. මේ සූත්‍රය දේශනා කරනු ලබන කල්හි ඒ භික්‍ෂූන් දහසගේ සිත් උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණා. දහසක් භික්ෂුන් ඒ මොහොතේම අරහත්වයට පත්වුණා.

මම දන්නවා මට වගේම ඔබටත් වටෙහෙන්නට නැතිව ඇති කියලා. මොකද අපි තවමත් ඒ ගින්නෙන් දැවෙනවා. ගිණි දෙවියන් පිදුව ඔවුන් ඒ ගින්නෙන් මිදුනට අපි තවමත් ඒ ගිණි දෙවියන් පුදනවා. කවදා නම් මේ සත්‍ය අවබෝධ වේවිද? එහෙම වෙන්නට කියා හද පත්ලෙන්ම පතනවා දයාබර ඔබට.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය »සළායතන සංයුක්තය » සබ්‌බ වර්ගය» ආදිත්‌තපරියාය සූත්‍රය

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

ආනන්ද මෛත්‍රී මහනායක හිමිපාණන් වහන්සේගේ ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය

error: Content is protected !!