අපේ බුදුහාමුදුරුවෝ 322 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 13

ඵුස්ස බුදුරජාණන් වහන්සේව සඟවාගත් මහින්ද රජතුමා 01

මිට පෙර ලිපියෙහි බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල කස්සප ඇතුළු පිරිසට දේශනා කරනු ලැබූ ආදිත්තපරියාය සූත්‍ර දේශනාව සහ එහි දේශනාව කරන අවස්ථාවෙහි එහි තිබූ පාරිසරක කරුණු සහ එහි අනුපිළිවෙල කතාව ගැන යම්තමින් ලීවේ විනය පිටකයේ උරුවෙල්පෙළහරහි සඳහන් අයුරින්. ( අපේ බුදුහාමුදුරුවෝ 312 වැනි කොටසේ “උරුවෙලකස්සප තෙරණුවන්ගේ අතීත කතා පුවත”) එහෙත් උරුවෙලකස්සප තෙරුන් ඇතුළු පුරාන ජටිල පිරිසගේ අනුපිළිවෙල කතාව ආදිත්තපරියාය සුත්‍රයේ සදහන් පරිදි ලිවේ නැති නිසා සිත දොස් නගන්නට වුනා. මෙය කියවන ගිහි පැවිදි උතුමන් හට වෙහෙස නොවී සියලු මුලාශ්‍ර සහ සම්බන්ධ කරුණු එකවර කියවීමට හැකි අයුරින් සකස්කිරීම අපගේ ප්‍රධාන අරමුණු වලින් එකක් නිසා අනුපිළිවෙල නොහොත් අතීත කතාපුවත අඩුපාඩුවක් නැතිව නැවතත් ලිවීමට කියලා සිත මැසිවිලි නගන්නට වුනා. මෙම ලිපිය එළිදැක්වුණේ ඒ අයුරින්.

මේ එහි අනුපිළිවෙළ කථාවයි. මෙයින් දෙඅනු කපකට පෙර මහින්ද නම් රජකෙනෙක් වාසය කළා. . ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා “ඵුස්ස” නම් වුනා. පුරන ලද පාරමිතා ඇති පශ්චිම භවයෙහි උපන්නාවූ උන්වහන්සේ නුවණ මුහුකුරා ගිය කල්හි බෝධිමණ්ඩලාරූඪ වී සර්වඥතා ඥානය අවබෝධ කරනු ලැබුවා. රජුගේ කණිෂ්ඨ පුත්‍රයා ඒ සර්වඥයන් වහන්සේ අග්‍රශ්‍රාවක බවට පසු කාලයේ පත්වුනා. රජතුමන්ගේ පුරෝහිතයාගේ පුත්‍රයා දෙවන ශ්‍රාවක බවට පත්වුනා.

මේ කටයුතු මෙලෙස සිද්ධ වෙනකොට රජතුමාට මෙලෙස කල්පනාවක් පහලවුනා. මාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා නික්ම ගොස් බුද්ධත්වයට පත් වුනා. කණිෂ්ට පුත්‍රයා අග්‍ර ශ්‍රාවක වුනා. මගේම පුරෝහිතගේ පුත්‍රයා ද්විතීය ශ්‍රාවක වුනා ඉතින් මෙහෙම බලනකොට බුදුන්වහන්සේ අපේමනේ. ඔයවගේ අදහස් අපේ හිතටත් කොච්චර නම් එනවද? ඔහු ඒ වනවිටත් ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් හිටියේ. ඔහු තව දුරටත් මෙහෙම සිතුවා. බුදු හාමුදුරුවෝ මගේ ලොකු පුතා.ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපගෙමයි. ඒ එක්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයත් අපගේමනේ, ඒ විතරද සංඝයා, සංඝයාත් අපගේමනේ. ඉතින් බුදුන් දහම් සඟුන් අපගේමයි. ඉතින් සම්පුර්ණ අයිතිය මට. ඉතින් එහෙම සිතලා නිහඬව සිටියේ නැහැ. විහාරයක් කරවා එම විහාර දොරටු කොටුවෙහි සිට තමාගේ නිවාස දොරටුව දක්වා සුවිශේෂී මාවතක් සැදුවා. විහාර දොරටු කොටුවෙහි සිට තමාගේ නිවාස දොරටුව දක්වා උභය පාර්ශ්වයෙහි උණ ලීවලින් වට කෙරුවා. උඩට තරුවලින් සැරසූ සුවඳ දුමින් හා මල් දමින් යුත් වියනක් බඳවා, යටට රිදීවන් වැලි ද අතුරවා, ඒ මත මල් විසුරුවා ඒ මගින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්නට හැකි අයුරින් එම මාවත නිමා කරා.

ඒ විතරක් නෙවෙයි, ඒ මාවත දෙපසින් ආවරණය කරලා නිසා භාග්‍යවතුන් වහන්සේ වඩින දර්ශනය කිසිම කෙනෙකුට පෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේත් ඒ දිනවල විහාරයෙන් පිටට වැඩියේත් නැහැ. මම හිතන්නේ රජ්ජුරුවෝ පිටට වඩින්න සැලස්සුවේම නැහැ. බුදුරජාණන් වහන්සේ ඔහුගේම කරගෙන. උන්වහන්සේත් විහාරයෙහි ම වැඩසිටිමින් සිවුර පොරවා දෙපස වූ ආවරණ අතරින්ම භික්ෂු සංඝයා සමඟ රජ ගෙදරට වැඩම කරනවා. දානය වළඳා අවසානයේ නැවතත් ඒ ආවරණ අතරින්ම ආපසු විහාරයට වඩිනවා. ඒ නිසාම අන් කිසිවෙකුටත් හෝ බත් සැන්දක් පමණවත් පිදීමට ඉඩක් ලැබුනේ නැහැ. ඉතින් ඉවසලා ඉවසලා නගර වැසියන්ට හොඳටෝම තරහ ගියා. ඔවුන් මෙලෙස කෑගසමින් උද්ඝෝෂණ කරන්නට උනා.

“බුදු කෙනෙක් ලොව පහළ විය. එහෙත් අපි පින් කිරීමට ඉඩක් නො ලබම්හ. යම් සේ සඳහිරු දෙදෙන සියලු දෙනාහටම ආලෝකය ලබා දෙත් ද, එසේම බුදුවරු වනාහී හැම දෙනාගේම යහපත පිණිස උපදිත්. මේ රජතෙමේ සියල්ලන්ගේම පින් කෙත තමාගේ ම සීමාව තුළට ප්‍රවිෂ්ට කරවා ගනියි.”

ඒ රජ්ජුරුවන්ට තවත් පුත්තු තුන්දෙනෙක් හිත හිටියා. හැබැයි ඒ යටත් ඕන වෙලා තිබුනා බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කරන්න විතරක් නෙවෙයි. උන්වහන්සේ අසල පෙහෙවත් සමාදන් වී දසසිල් සමාදන් වෙන්න. ඔවුන්හට බුදුපියාණන් ඇතුළු ඒ මහා සංඝරත්නයට දාන පිරිකර සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට නියමවෙලා තිබුනේ. ඒ නිසා ඒ යටිතල පහසුකම් සපයනවා හැරෙන්නට ඔවුන්ටවත් බුදුරජාණන් වහන්සේට බත් හැන්දක්වත් බෙදන්න ඉඩ ලැබුනේ නැහැ. ඔක්කොම කෙරෙන්නේ රජ්ජුරුවන්ගේ අතින්මයි. ඔහුගේ මුළු දිවියම බුදුහාමුදුරුවෝ.

ඉතින් රජකුමාරවරු නාගරිකයෝත් එක්ක එකතුවෙලා මෙයට උපාය මාර්ගයක් සෙවුවා. ඔවුන් පසල් දනවුවෙහි සොරුන් ගම් කිහිපයකට පහර දී ඇතැ”යි සඳහන් හසුන් පතක් ගෙන්වා රජුට දැනුම් දුන්නා. රජතුමා පුතුන් කැඳවා “දරුවනි, මම මහළු වෙමි. යන්න, සොරුන් සන්සිඳුවන්නැ” යි කියා සිටියා.රජ්ජුරුවෝ කොහොමත්ම යන්නේ නැහැ බුදුහාමුදුරුවන් තනිකරලා. ඉතින් කුමාරවරු එය මැඩ පවත්වන්න කියලා ගියත් එහෙම කැරැල්ලක් තිබුනේ නැහැනේ. ඔවුන් විසින් ම මෙහෙයවනු ලැබු සොරු ඒ මේ තැන්වල විසිරී සිට ඔවුන් වෙතටම පැමිණිය. ඒ කුමරහු තමනට නුහුරු ඒ ගමෙහි ටික දවසක් කල් ගතකොට, ආපසු පැමිණ රජ තුමාට වැඳ “සොරුන් සන්සිඳුනහ” යි කියා සිටිය

රජතුමාට පුදුම සතුටක්. “දරුවනි, තොපට වරයක් දෙමියි කියා සිටියා. ඔවුන් එයට කමිති වී ගොස් “රජතුමා විසින් අපට වරයක් දෙන ලදී, කුමක් ගනිමුදයි නුවර වැසියන් සමඟ සාකච්ඡා කළ. “ස්වාමී වු රජතුමා ගේ පුතණුවනි, ඔබට ඇත්, අස් ආදීහු දුර්ලභ නොවෙති. එහෙත් බුද්ධ රත්නය වනාහී දුර්ලභය, බුදුහු හැම කල්හිම නොඋපදිති. ඔබගේ දෙටු සොයුරු වූ ඵුස්ස බුදුන් වහන්සේට උපස්ථාන කිරීමේ වරය ලබා ගන්නැයි නුවර වැසියෝ කියා සිටියා.

ඔවුන් එසේ කරන්නෙමු යයි නුවරුන්හට පොරොන්දු වී දැළි රැවුල් කප්පවා ජල ස්නානය කොට, සුවඳ ගල්වා ගෙන රජුවෙතට ගොස් “දේවයන් වහන්ස, අපට ඇතුන් ආදීන්ගෙන් ප්‍රයෝජනයක් නැත. අපගේ දෙටු සොයුරු ඵුස්ස බුදුන් හට උපස්ථාන කිරීමේ වරය දෙනු මැනව”යි ඉල්ලා සිටියා. රජතුමා කවම දාකවත් එවැනි දෙයක් බලාපොරොත්තු නොවන්නට ඇති. ඒකාන්තයෙන්ම කැරැල්ලක් පැමිණ ඇත ලෙස කියූ දිනට වඩා හිතට බිය දැනෙන්නට ඇති. ඔහු මෙලෙස කිවා.

“මගේ දිවි ඇති තෙක් මේ වරය දීමට නොහැක්කේය”යැයි කියා රජතුමා දෙසවන් ද වසාගත්තා කියලා කියනවා. අනේ පව්. ඉතින් කුමාරවරු මෙලෙස පිළිතුරු දුන්නා. “දේවයන් වහන්ස, අපගේ බල කිරීමකින් ඔබ විසින් වරය දෙන ලද්දේ නො වේ. ඔබ විසින් සිය කැමැත්තෙන් සතුටින් දෙන ලද්දකි. රජතුමනි, රජ කුලයට කථා දෙකක් කීම සුදුසු වේද? අපි සත්‍යවාදී භාවයෙන්ම වරය ලබා ගනිමුය” යි කුමාරවරු කියා සිටියා.

ඒ කතාව අසා සිටිය රජතුමා තවත් හොඳටම අසරණ වුණා. රජතුමා, එය ප්‍රතික්ෂේප කිරීමට නො හැක්කේ දරුවනි, ඒ නිසා සත් අවුරුද්දකුත් සත්මස් සත් දිනක් උපස්ථාන කොට ඔබහට දෙන්නෙමි”යි කියා සිටියා.

එය නිහඬව අසා සිටි කුමාරවරු තවත් ලස්සන ඉල්ලීමකින් පියාණන්ව හොඳටම අසරණ කරා.

“යහපති දේවයිනි, ඇප වනු මැනව” “කෙබඳු ඇපයක්ද දරුවනි, “එපමණ කලකට අප නොමැරෙන බවට ඇපයකි දේවයන් වහන්ස,” “දරුවනි, එම ඇපය නො සුදුසුය. එවැනි ඇපයක් දිමට නොහැක්කේය. සත්ව ජීවිතය තණ අග පිනි බිඳකට සමානය”යි රජතුමා කීයා සිටියා. එවිට කුමාරවරු: “දේවයිනි, ඇප නොවන්නෙහි නම් අතරතුරදී අප මළහොත් කිනම් කුසලයක් කරන්නෙමුදැ” . “එසේ නම් දරුවනි, අවුරුදු හයක් දෙන්න” නො හැක දේවයිනි” “එසේ නම් අවුරුදු පසක්?,” සතරක්, තුනක්. දෙකක්, එකක්, මාස හයක්. මාසයක්, දෙන්නැයි රජතුමා පිළිවෙලින් ඉල්ලනු ලැබුවා. කැමති වාරයක් ගන්න කියලා දැන් රජතුමා හොඳටෝම අසරණ වෙලා. අවරුදු හතයි මාස හතයි දවස් හත දැන් මාසයකට අඩුවෙලා. කුමාරවරු “නො හැකිය දේවයන්වහන්ස, “එසේ නම් සත් දිනක් දෙන්න” යයි රජතුමා ඇයද සිටියා.. “යහපති දේවයිනි”යි සත් දිනක් දීම සඳහා පොරොන්දු වෙන්නම්. කුමාරවරු එකඟවුනා. . රජතුමා සත් හවුරුදු සත්මස් සත් දිනකදී කිරීමට සිතා සිටි සියලු සත්කාර සත්කාර සත් දිනකදීම සිදු කරන්නට කටයුතු සියල්ල සම්පාදනය කළා.

මුලාශ්‍ර – සුත‍්ත අට‍්ඨකථා – සංයුත‍්තනිකාය – සළායතනසංයුත‍්තය – සබ‍්බවග‍්ගය – ආදිත‍්තපරියායසුත‍්තවණ‍්ණනාව

error: Content is protected !!