Ape Budu Hamuduruwo 321

අපේ බුදුහාමුදුරුවෝ 321 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 12

ආදිත්‌තපරියාය සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට දහසක් පුරාණ ජටිල හිමිවරු අරහත්වයට පත්වීම.

භාග්‍යවතුන් වහන්සේගේම සෘද්ධියෙන් පහළ වූ පා සිවුරු දරන ඒ දහසක් ශ්‍රමණයන් රැගෙන මීට ඉහත සඳහන් පරිදී උන්වහන්සේ ගයා ශීර්ෂය වෙත වැඩම කරනු ලැබුවා. උන්වහන්සේ භික්ෂූන් විසින් පිරිවරණා ලදුව වැඩ හිඳ මේ අයට කවර නම් ධර්ම කථාවක් යෝග්‍යදැයි සිතන්නට වුණා. ඇයි එක් අයෙකුට දෙන්නෙකුට ධර්මය අවබෝධ කරවීමත් ලෙහෙසි කරුණක් නෙවෙයිනේ. ඉතින් දහසකට එකවර කියාදෙන්නේ කොහොමද? ඔවුන්ගේ ප්‍රඥාව වැඩී ඇත්තෙත් දහස් ආකාරයකට විය හැකියි. ඉතින් හැමෝටම පොදු තේරුම් යන මාතෘකාවක් වෙන්නටත් වුමනානේ . පසු කාලයේ “කළහ විවාද සුත්‍රය” දේශණා කරන අවස්ථාවේත් උන්වහන්සේ මීට වඩා දුෂ්කර අවස්ථාවකට පත්වුනා. හේතුව එදා ගිහිපැවිදි මෙන්ම රහතන් වහන්සේලාද මරගඵල නොලැබූ එහෙත් මහණ දිවියට ඇතුලත් වූ තරුණ කුමාරවරුද ඒ වගේම දෙවියන්ද ඒ විතරක් නෙවෙයි බ්‍රහ්ම යන්ගෙන්ද මුළු වා තලයම වැසී ගිය නිසා. එදා උන්වහන්සේට අනුබුදුරුවක් මවන්නට සිද්ධ වුනා උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට.

හැබැයි මෙදින ඒ ප්‍රශ්ණය ඒ තරම්ම සංකීර්ණ වූ බවක් පෙනෙන්නට නැහැ. උන්වහන්සේ මෙහෙම සිතුවා.

“මේ අය සවස ද උදෑසන ද ගිනි පිරිවරා සිටිති. ඒ නිසා මේ පිරිසට දොළොස් ආයතන ගින්නෙන් දැල්වෙන්නා සේ පෙන්වා දේශනා කරන්නෙමි, මෙසේ මේ පිරිස රහත් බවට පැමිණීමට හැකිවන්නාහුය” යි යනුවෙන් නිශ්චය කරගනු ලැබුවා.

ඉන්පස්සේ ඔවුන්හට එසේ දහම් දෙසීමට මෙම ආදිත්‍ය පර්යාය සූත්‍රය වදාරනු ලැබුවා. ඒ හේතුවෙන් “භික්‍ඛු ආමන්තෙසී” යයි කියනු ලැබුවා. ඒ භික්ෂුන් හට සුදුසු දහම් දෙසුම තීරණය කොට එය දේසනා කරන්නෙමිය සිතා ආමන්ත්‍රණය කිරීමයි.

මෙහි ආදිත්ත යනු ගිනි ගත්, ගිනිගෙන දැල්වෙන යන අදහසයි. පරියාය යනු දහම් කොටස, සුත්‍රය දේශනාව යන්නයි.

ඒ විශාල ගල්තලාව දහසක් වූ භික්ෂූන් වහන්සේලාගෙන් වැසිලා. භාග්‍යවතුන් වහන්සේගේ සෘද්ධියෙන් පහළ වූ ඒ කසාවත් වල අසාමාන්‍ය පැහැයක් තියෙන්නට ඇති. හිතන්න කොතරම් ප්‍රිය ජනක දර්ශනයක් වෙන්නට ඇතිද? භාග්‍යවතුන් වහන්සේ මෙතක් කල් හැමෝටම දේශනා කරනු ලැබුවේ චතුරාර්‍ය සත්‍ය දේශනාවත් අනන්ත ලක්ඛණ දේශනාවත් පමණයි. එහෙත් ඒ දුක්ඛ සත්‍යම මෙදින දේශණා කිරීමට යන්නේ වෙනයම් ආකාරයකට. එනම් බුදුරජාණන් වහන්සේ ලෝකය හැටියට පෙන්වා දුන්න ඹබයක් පමණ වූ මෙම ශරීරයට උපමා කරලා. එනම් ඇස කණ නාසය දිව කය මනස යන ආයතන හය තුලින් සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු තුලින් සහ ඒවා නොනිවෙන ගිනි ජාලාවකින් දැවෙන ලෙසයි. ඇයි ඒ අය උදේ හවස කරනු ලැබුවේ ගිනි දෙවියන් පිදීම නිසා. ඔවුනට ගින්දර තරම් යමක් අවබෝධ කරවන්නට සරළ සහ කිට්ටු උපමාවක් තිබුනේ නැති නිසා වෙන්නටත් ඇති.

උන්වහන්සේ දේශනාව ආරම්භ කරනු ලැබුවා.

මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලදි. මහණෙනි, කවර සියල්ල ඇවිලගන්නා ලද යැ යත්: මහණෙනි, චක්‍ෂුස (ඇස ) ඇවිලගන්නා ලද යැ. ඇසට අරමුණු වන රූපයෝ ඇවිලගන්නා ලදහ. ඒ දේපල එකතුවීමෙන් ඇතිවෙන චක්ඛුවිඤ්ඤාණය ද ඇවිලගන්නා ලද යැ. මෙම තුනෙහි එකතුව වන චක්ඛුසම්ඵස්සය ද ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය නිසා සුඛ වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලදද? රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.

මෙලෙස උන්වහන්සේ ඉතිරි ඉතිරි ආයතන පහ ගැනත් දේශණා කරනු ලැබුවේ හැමෝටම වැටහෙනා පරිදි.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් වේ නම් එහිත් කලකිරෙයි … දිවෙහිත් කලකිරෙයි. රසයන්හිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් වූ හෝ නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … සිතෙහිත් කලකිරෙයි. ධර්‍මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත්

කලකිරෙයි කලකිරෙන්නේ නො ඇලෙයි.

නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.

භාග්‍යවතුන් වහන්සේ මෙලෙස මෙම සුත්‍ර දේශනාව වදාරනු ලැබුවා. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තා. මේ සූත්‍රය දේශනා කරනු ලබන කල්හි ඒ භික්‍ෂූන් දහසගේ සිත් උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණා. දහසක් භික්ෂුන් ඒ මොහොතේම අරහත්වයට පත්වුණා.

මම දන්නවා මට වගේම ඔබටත් වටෙහෙන්නට නැතිව ඇති කියලා. මොකද අපි තවමත් ඒ ගින්නෙන් දැවෙනවා. ගිණි දෙවියන් පිදුව ඔවුන් ඒ ගින්නෙන් මිදුනට අපි තවමත් ඒ ගිණි දෙවියන් පුදනවා. කවදා නම් මේ සත්‍ය අවබෝධ වේවිද? එහෙම වෙන්නට කියා හද පත්ලෙන්ම පතනවා දයාබර ඔබට.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය »සළායතන සංයුක්තය » සබ්‌බ වර්ගය» ආදිත්‌තපරියාය සූත්‍රය

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

ආනන්ද මෛත්‍රී මහනායක හිමිපාණන් වහන්සේගේ ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය

Ape Budu Hamuduruwo 320

අපේ බුදුහාමුදුරුවෝ 320 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 11

ගයා තීර්ථ, සහ ගයා ශීර්ෂය

ඉතින් ඔය විදිහට මහත් වූ කරුණාවෙන් දයාවෙන් වෙහෙසෙන් තුන්දහස් පන්සියයක් පමණ වූ ප්‍රාතිහාර්ය පාමින් උරුවෙල කස්සප ඇතුළු ජටිලයන් දහස දමනය කරගත් අපේ බුදුහාමුදුරුවෝ උරුවෙල්දනව්වෙහි කැමැති තාක් වාසය කොට පුරාණජටිලයන් වූ දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා ද සමග ගයාශීර්‍ෂයට වැඩම කරන්නට වුණා.

ගය නම් රාජර්ෂීන් විසින් කරන ලද බැවින් මෙම ගමට ගයා නමින් එකල ව්‍යහාර වුණා. මෙය ජයසිරි මහ බෝ මැඩින් තුන් ගව්වක් පමණ ඈත්හි නේරංජරා නදිය අද්දරැ වූ ගමක්. මෙ ගම සමීපයෙහි බ්‍රහ්ම ලබ්ධිකයන් පව් සෝදන පොකුණක් ද වුණා. ඒ වගේම නේරංජරාවේ තොටුපල ද ඔවුන්ගේ පාපප්‍රවාහස්ථානයක් බවට පත්වුණා. එබැවින් එ දෙපොලට ම ගයා තීර්ථ නමින් ව්‍යහාරයේ පැවතුණා. ඉන් ගම් දොරටුව සමීපයෙහි ගයා පොකුණ තෙර ලොකු ගල් සතරක් ද එහි මහත් වූ උස දිග පළලින් යුත් පැතලි ගල්ලෑල්ලක් වැනි ප්‍රදේශයක්ද ඒ ගල් සමතලාව භාවිතාකොට නිම කරන ලද ගල් ඇඳෙක් ද තිබුණා. මෙය ටංකිතමංච යනුවෙනුත් හඳුන්වනු ලැබුවා. එය ඇසුරු කොට පිහිටි සුචිලෝම යකුගේ භවනයෙහි ද භාග්‍යවතුන් වහන්සේ පසු කාලයේ වැඩ වාසය කරනු ලැබුවා. ඒ ගැන ඔබට පසුව කියවන්නට ලැබේවි.

ඒ එක්කම පසු කාලයේ දෙව්දත් තෙරුනට අජාසත් රජු කරවා දුන් විහාරයෙක් ද ගොඩනැගුනේ මේ ප්‍රදෙශයේමයි. පසුව දෙව්දත් තෙරුන් සංඝභෙදය කොටැ පන්සීයක් පමණ වූ නවක භික්ෂූන් ගෙන ආවේත් ඒ ගයා ශීර්ෂ විහාරයට යි. දැන් බුද්‍ධගයා නමින් ප්‍රසිද්‍ධ වැ ඇත්තේ බෝධිමණ්ඩ ප්‍රදේශය යි. ඉතින් බෞද්ධයිනට බොහෝ වැදහත් ස්ථාන රැසකට මෙම ප්‍රදේශය උරුමකම් කිවා.

තවත් වැදගත් දෙයක් තියෙනවා. ගයා ගම සමීපයේ ම ගයා තොටුපල ඉස්මත්තේ ගජ ශීර්ෂයක් (ඇත් ඔලුවක්) බඳු කඳු මුදුනෙක් තිබුණා. එ කඳු මුදුනේ වූ විශාල සම ගල් තලය මත දහසක් පමණ භික්‍ෂූනට විසුමට තරම් අවකාශයක් පැවතුණා කියලා කියනවා. මෙන්න මේ ස්ථානය කරා තමයි භග්‍යවතුන් වහන්සේ පියමැන්නේ. ඇයි දහසක් දෙනාට ඉන්න පුළුවන් වෙන්නත් ඕනෙනේ. ඒ ස්ථාන මාර්ග දිවැසින් දකින්නට ඇති කියලා මට හිතෙනවා. ඒ විතරක් නෙවෙයි? මේ දහසක් දෙනාටම අරහත්වයට පැමිණෙන මගද පෙන්නන්නට ඕනේ. මොකද සසරේ පිනට ඒහි භික්කු පැවිද්දෙන් පැවිද්ද ලැබුවට තවමත් මනාකොට දර්මය අවබෝධ වී අරහත්වයට පත්වී නැහැනේ. කෙලෙස් සහිතයි. ඒ විතරක්ද මෙවැනි විශාල පිරිසකට පිණ්ඩපාතය ලැබෙන්නටත් ඕනේනේ . ඒ හැම දේටම පහසුම තැන එතන වෙන්නට ඇති. ගයා තොටුපල ඉස්මත්තේ වූ ඒ විශාල ගල් තලය (ගයා ශීර්ෂයෙහි) වෙත දහසක් භික්ෂුන් සමගින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනු ලැබුවා

හැබැයි තවත් ආශ්චර්යමත් දෙයක් තියෙනවා. ඔබට මතක ඇති මම මිට කලින් මොවුන්ගේ අතීත කතාව ලීවා. කියවලා නැත්නම් “අපේ බුදුහාමුදුරුවෝ 312 (සන්තිකේ නිධානය) උරුවෙලකස්සප තෙරණුවන්ගේ අතීත කතා පුවත” කියවන්න. එහි ඔබට මතක ඇති මේ උරුවෙල් කස්සප, ගයා කස්සප, නදී කස්සප යන අය රාජ කුමාරවරු වෙලා හිටියා. ඒ වෙලාවේ ඵුස්ස බුදුහාමුදුරුවෝ වෙත ගොස් දසසිල් සමාදන්ව තෙමසක් ශික්‍ෂාපද රකින්නට තම පිය රජුගෙන් අවසර ඉල්ලා ගත්තනේ. ඒ වෙලාවේ ඒ බුදුහාමුදුරුවන්ට අවශ්‍ය සියලු පිරිකර දානමාන දී කටයුතු පවත්වනු ලැබුවේ මොවුන් ඒ රාජකුමාරවරු හැටියට සිරින්. ඔවුන් සිල්සමාදන් වන තෙමසෙහි මෙම කාර්යය කරන්නට බැරි නිසා ඒ කටයුත්ත තමන්ගේ ඇමතියෙකුට පැවරුවා කියලා අපි කියවූවා නේ. ඔබ දන්නවද දැන් මේ මොහොතේ ඒ ඇමතියා රජවෙලා. ඒ පිනෙන් ම වෙන්නට ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඔහුට තමයි මේ ගයා ශිර්ෂයත් අයිති. සසරෙහි හැටි කල්‍යාණ මිත්‍රත්වයේ හැටි. ඒ වෙන කවුරුත් නෙවෙයි ඔබ අප කවුරුත් දන්නා බිම්සර නොහොත් බිම්බිසාර රජතුමා. ඔහුට දැන් ආයෙමත් බුදුන් ඇතුළු මෙම පිරිසට උපස්ථාන කරන්න පරිසරය සැකෙසෙමින් එනවා. ඔහුත් එහෙම අදිස්ඨාන කරාද කියලයි මට දැන් හිතෙන්නේ.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහර

ආනන්ද මෛත්‍රී මහනායක හිමිපාණන් වහන්සේගේ ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය

Ape Budu Hamuduruwo 319

අපේ බුදුහාමුදුරුවෝ 319 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 10

උරුවෙල කාශ්‍යපත් නදීකාශ්‍යපත් ඇතුළු පිරිස දැන් මිත්‍යාදෘෂ්ඨියෙන් මිදී සාසනයේ පැවිද්ද ලබා අවසන්. එහෙත් ගයාකශ්‍යප බාල සොහොයුරා තවමත් ඔහුගේ පිරිසත් සමග සුපුරුදු තවුස් වත් පුරමින් නදියේ තවත් පහල ජීවිකාව පවත්වමින් යනවා. ඒ වෙලාවේ තමයි හදිසියේම තම සහෝදරයන් දෙදෙනා ඇතුළු පිරිසගේ හිසකේ ද, ජටාමඬුලු ද, තවුස්පිරිකරකත් ද, ගිනි පුදන උපකරණ ද, දියෙහි පා වී යන ආකාරය ඔවුනට දකින්නට ලැබුනෙ. ඔහුටත් එකවරම නදීකාශ්‍යපට කියවුන දේම මුවගින් පිටවුනා.

“මාගේ සොහොයුරන්ට උවදුරක් නො වේවා” “මාගේ සොහොයුරන්ට උවදුරක් නො වේවා”

ඔහුත් වහාම තම පිරිස ඇමතුවා. “යවු. මාගේ සොහොයුරන් ගැණ දැන ගණිවු” යි ජටිලයන් පිටත් කොට හැරිය. ඉන්පස්සේ ඔහුද දෙසියයක් ජටිලයන් සමග ආයුෂ්මත් උරුවේලකාශ්‍යපයන් හුන් තැනට ගියා. යනවිටත් දෙපිරිසම මහා කසාවතින් බැබෙලෙමින් හිටියේ. මෙතෙක් අපිළිවෙලට වැවුණු කෙස් රැවුල් වලින් තොරව ඒහි භික්ඛු පැවිද්දෙන් සිවුරු අටපිරිකරද, පැවිද්ද ද ලබා මනා සංවරයෙන් යුතුව, පිරිපුන් පැහැයෙන් බබලනවා. ඔහු දුව ගොස් දනින් වැටී තම ලොකු සහෝදරයා වන ආයුෂ්මත් උරුවෙලකාශ්‍යප ගෙන් මෙලෙස අසනවා.

“කාශ්‍යපය, ඇත්තෙන්ම අපගේ තවුස් බවට වඩා මේ පැවිදිබව උතුම් දැ?” එවිට ආයුෂ්මත් උරුවෙලකාශ්‍යප “ඇවැත්නි, එසේ ය. මේ පැවිදිබව උතුම් ය” යන්න භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් පැවිද්ද ලබන්න. එවිට ගයාකශ්‍යප, එතකොට අපිට කෝ අපිට ඔබට වගේ සිවුරු පිරිකර? ඔබට කොහෙන්ද ලැබුනේ? යන්න උන්වහන්සේ වෙතට. මොහොතකින් ඒ සියල්ල ලැබේවි.

ඉන්පස්සේ ගයාකශ්‍යප ඇතුළු ඔහුගේ ජටිල පිරිස හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද දියෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි ගෞරවයෙන් කියා සිටියා. මොහොතයි ගතවුනේ. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තය ඔසවා . “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මුළුමනින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාරනු ලැබුවා. ඔවුන්ද අනෙකුත් සහෝදරයන් මෙන්ම සිවුරුපිරිකර පැළඳපැවිද්ද සදහා අවශ්‍ය සියලු පිරිකර සහිතව භාග්‍යවතුන් වහන්සේ අභියස පෙනී සිටියා. ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වුනා. ඒත් සියලුම දෙනා තවමත් අරහත්වයට පත්වී නැහැ. ඔවුන් සඳහා දර්මය දේශනා කිරීමට තවමත් සුදුසු පරිසරය සකස්වී නැහැ. පැවිද්ද ලැබුවා විතරයි. ඔවුන්ව මේ තත්වයට ගෙනඒමට භාග්‍යවතුන් වහන්සේ ඉවසීමෙන් කොතරම් කල් ගත කලාද? කොතරම් ප්‍රාතිහාර්ය පෑවාද?

භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් පන්සියයක් දරකඩ නොපැලුනා .පසුව අදිෂ්ඨානයෙන් ම පැලුනා. ගිනි නො දැල්වුනා . ගිනි දැල්වුනා . නො නිවුන. නිවුනා . ගිනි කබල් පන්සියයක් මැවූවා. මේ පිළිවෙළින් පෙළහර තුන්දහස් පන්සියයක් පෑවා කියලා විනය පිටකයේ සඳහන්.ඒ එක්කම දැන් බුදුරජාණන් වහන්සේට දර්ම ප්‍රචාරය පිණිස සංඝ පිරිස් දහසක් ඇති වෙලා. ඔබට දැන් තේරෙන්න ඕනේ ඇයි භාග්‍යවතුන් වහන්සේ මෙතරම් ඉවසීමෙන් මහත්වූ කරුණාවෙන් කාලය වැය කලේ කියලා. දැන් ඇති කාර්යය භාරය වන්නේ උන්වහන්සේලා හට දහම අවබෝධකොට දී දර්ම ප්‍රචාර වැඩ කටයුතු සඳහා යොමු කරවීමයි. ඊළඟ ලිපියෙන් උන්වහන්සේලාගේ අරහත්වයද, ඒ සඳහා දේශණා කරනු ලැබූ දර්ම දේශනාවද ඔබට කියවිය හැකියි.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

Ape Budu Hamuduruwo 318

අපේ බුදුහාමුදුරුවෝ 318 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 09

මෙලෙස බුදුරජාණන් වහන්සේගෙන් සමුගත් උරුවේලකාශ්‍යප ජටිල තවුසා තම ජටිල පිරිස ඉන්නා තැනට ලහි ලහියේ පියමැන්නා. ජටිල පිරිවර වෙතට පැමිණි උරුවේලකාශ්‍යප තවුසා ජටිලයන්ට මෙහෙම කියා සිටියා.

“භවත්නි, මම මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි. භවත්හු යම් සේ සිතත් ද, එසේ කෙරෙත්වා”

තම ගුරුවරයා මෙහෙම කියනවානම් ඒ අය වෙන තීරණයක් ගනීවිද? ඔවුනුත් එක හඬින්ම ඔහු හා එන්නටත් භාග්‍යවතුන් වහන්සේ හමුවේ පැවිද්ද ලබන්නටත් එකඟ වුනේ හරියටම තම ගුරුතුමාගෙන් ඒ අණ ලැබෙනකම් බලහිටියා වගේ. උවුන් මෙලස කියා සිටියා.

“පින්වත් ගුරුතුමනි, අපි බොහෝ කල් පටන් මහාශ්‍රමණයා කෙරෙහි වෙසෙසින් පැහැදුනෝ වෙමු. ඉදින් පින්වතුන් වහන්සේ මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙණසේක් නම්, අපි සියල්ලෝ ම මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නෙමු”

ඉන්පස්සේ ඒ ජටිලයෝ හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර හා පිරිකරකද ද ගිනි පුදන උපකරණ ද ජලයෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියා. ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කියා සිටියා. එවිට අප මහා කාරුණිකයන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාරනු ලැබුවා. . ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව ද වුනා.

මට හිතෙන්නේ එදා තමයි ඔවුන්ගේ මෙතෙක් ඉතිරිව තිබු පවු ඒ නදියේ ගලා ගියේ. ඇයි සසර ගමන අවසන් කරන ප්‍රතිපදාවට බැසගත්තනේ. ගගෙන් පහල සිටිය නදීකාශ්‍යප සහෝදර ජටිල තවුසා මෙම ජලයෙහි පා වී යන හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකරකත් ද, ගිනි පුදන උපකරණ ද දුටුවා. දැකල ඔහුට හොඳටම බය හිතුණා . “අනේ මාගේ සොහොයුරාහට උවදුරක් නො වේවා” “අනේ මාගේ සොහොයුරාහට උවදුරක් නො වේවා” යනුවෙන් සිතෙන් කන්නලවු කරන්නට වුනා. එහෙම සිතලා නිකම්ම හිටියේ නැහැ. “යවු. මාගේ සොහොයුරාහට යම් විපතක් වී ඇත්දැයි දැන ගණිවු” යි යැයි කියමින් තම ජටිලයන්ව ඒ මොහොතේම පිටත් කොට හැරිය. යවලා නිකම්ම හිටියේ නැහැ ඔහුද තුන්සියයක් ජටිලයන් සමඟ ආයුෂ්මත් උරුවේලකාශ්‍යපයන් වැඩ සිටි ඉවුර දෙසට පියමන් කළා. ඒ යනවිටත් ඔහුගේ සොහොයුරා සියලුම තපස් පිළිවෙත් අත්හැර කසාවත් දරා උපසම්පදා භික්ෂුභාවයෙන් මහත් වූ සංවර ඉරියවුවකින් හිටියේ. ඔහු විමතියට පත්වුනා. විමතියෙන් සහෝදරයා ඇතුළු පිරිස දෙස බලාසිටි ඔහු “කාශ්‍යපය, මේ පැවිදිබව පළමු තවුස්බවට වඩා උතුම් ද?” යි අසා සිටියා. . “ඇවැත්නි, එසේ ය. මේ පැවිදිබව උතුම් ය” ඔහු පිළිතුරු දුන්නා. . ඉන්පසු ඒ ජටිලයෝද ඔවුන් අනුව යමින් හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද දියෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට ගියා. ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි යටත්ව කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ මොහොත එළඹෙන තෙක් කොතරම් කලක් බලා සිටියාද යැයි මේ ලිපි පෙළ කියවපු ඔබ හොදින්ම දන්නවා. නදී කාශ්‍යපත් ඔහුගේ මුළු පිරිසත් එතැන නිසා තව දුරටත් බලා සිටීමට උවමනා වුයේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ . “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. මුළුමනින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි යනුවෙන් වදාරනු ලැබුවා. ඔවුන්ද පෙර පරිදිම බුද්ධ ආනුභාවයෙන් ඉබේම පහල වී ඒහි භික්ෂු පැවිද්ද ලබා සිවුරු පිරිකර සහිතව බුදුපියාණන් වහන්සේ ඉදිරියේ ක්ෂණයකින් පෙනී සිටියා. ඒ ම ඒ ආයුෂ්මත් වරුන්ට උපසම්පදාව ද වුනා.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

Ape Budu Hamuduruwo 317

අපේ බුදුහාමුදුරුවෝ 317 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 08

ක්‍රම ක්‍රමයෙන් කාලය ගතවීමෙන් පසු දැන් සීත කාලයත් එළඹිලා. දැඩි සිතය තදින්ම පවතින හේමන්තඍතුව එළඹෙන්නේ නවම් සහ මැදින් මාසවල. ජටිලයෝ මෙම දෙ මස අතර රාත්‍රීන්හි හිම වැටෙන කාලයෙහි නේරඤ්ජරානදියෙහි පැන් පහසුවන්නේ චාරිත්‍රයක් හැටියට වෙන්නට ඇති. ඔවුන් මෙදින රාත්‍රියේත් දියනාමින් දියෙහි කිමෙදෙමින් සුවිශේෂ වතක යෙදිලා.

එයත් යම් ආකාරයකින් ශරීරයට දුක් දීමක් වෙන්නට ඇති. නැත්නම් හිමවැටෙන රාත්‍රියක නදියකට දියනෑමට බසින්නේ කවුද? හැබැයි මේ අය එලෙස මහා සීතලේ දියෙහි ගිලුනට ගොඩට පැමිණිවිට ශරීරය උණුසුම් කරගන්න ගිනි කබල් තිබුනේ නැහැ. අනෙක හිම වැටෙන මොහොතක තෙත බරියන් වුන දර ඉතු කෝටු කෑලි කොහොමද පත්තු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ මෙම අක්ඥාන ක්‍රියාවත් දැක්කා. උන්වහන්සේ ඔවුන්ව මුදවා ගැනීමට තවත් ප්‍රාතිහාර්යයක් පෑවා. ඒ තමයි ඔවුන් වෙනුවෙන් ගිනිකබල් මැවීම. ඒ වෙලාවේ ඔවුන් දිය නාමින් දියෙහි ගිලෙමින් එම වත පුරමින් සිටියේ. භාග්‍යවතුන් වහන්සේ ඒ ජටිලයෝ ගොඩ ට එන්නේ යම් තැනකද ඒ තැන්වල ඔවුනට ගිනි තැපීම සඳහා මහා විශාල ගිනිකබල් එකක් නෙවෙයි පන්සියයක්ම මැවුවා. මම හිතන්නේ ඒ ප්‍රදේශයම උණුසුම් වෙන්නට ඇති. ජටිලයෝ ගැහි ගැහී වතුරෙන් උඩට ආවේ විශ්මයෙන්. මොන අශ්චර්යක්ද? හැම තැනම ගිනි කබල්. ඔවුන් අතරින් ඉක්මනින් දුවගෙන අවේ උරුවෙලකස්සප. ඔහුත් තුෂ්නිම්භූතව ඒ දෙස බලා සිටියා. බලාසිට ඒ දෙසට පැමිණ උණුසුම් වන අතර මෙහෙම සිතන්නට වුණා .

යම්හෙයකින් මේ ගිනි කබල් මැවුනේ නම් එය නිසැක ව ම මහාශ්‍රමණයාගේ ඍද්ධ්‍යනුභාවයක් විය යුතුයි. . එහෙත් යමෙකුගේ අනුභාවයෙන් එපමණ බොහෝ ගිනි කබල් මැවුනේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැය ”

දැන්නම් ඔබගේත් ඉවසීමේ සීමාවත් ඉක්මයන බව මට හොඳටම දැනෙනවා.. මටත් එහෙමයි. එහෙත් බුදුපියාණන් වහන්සේ වෙහෙසට පත්වුනත් තවමත් නිහඬව මහත් අනුකම්පාවෙන් ඔවුන් වෙනුවෙන්ම එහි වැඩ සිටියා.

දැන්නම් ඔබගේත් ඉවසීමේ සීමාවත් ඉක්මයන බව මට හොඳටම දැනෙනවා.. මටත් එහෙමයි. එහෙත් බුදුපියාණන් වහන්සේ වෙහෙසට පත්වුනත් තවමත් නිහඬව මහත් අනුකම්පාවෙන් ඔවුන් වෙනුවෙන්ම එහි වැඩ සිටියා.

සාමාන්‍යයෙන් ශීත ඉර්තුව පටන් ගන්නට පෙරත් ශීත ඉර්තුව අවසන් වන විටත් වැසි වැටෙනවා. එදත් හදිසියේම දාරානිපාත වැස්සක් ඇද හැලුණ. නොනවත්වා දිගින් දිගටම වහිනවා. එයින් මුළු ජනපදයම යටකරමින් මහත් ජලගැල්මක් හට ගත්ත. භාග්‍යවතුන් වහන්සේ විසූ පෙදෙසත් වැසි දියෙන් යට වුනා. ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙහෙම සිතක් පහළවුනා එනම් “මම හාත්පස දිය ඉවත් කොට මැද රජසින් ගැවසී ගත් බිම සක්මන් කරන්නෙම් නම් යෙහෙකැ” යි යනුවෙන්. උන්වහන්සේ එලෙස සිතුවා පමණයි උන්වහන්සේ වැඩ සිටි පෙදෙසේ දිය ඉවත්වෙන්නට පටන්ගත්තා. හරියටම උන්වහන්සේව මැදිකරලා අහස උසට වතුරෙන්ම බැම්මක් බැඳලා වගේ. බුදුවරයෙකුගේ මහිමය. දැන් භාග්‍යවතුන් වහන්සේ හාත්පස දිය ඉවත් කොට මැද රජසින් ගැවසී ගත් බිම සක්මන් කරනවා.

එවෙලෙහි තමයි රුවේලකාශ්‍යපජටිල තාපසයාට භාග්‍යවතුන් වහන්සේව මතක් වුනේ. ඔහු “මහාශ්‍රමණතෙමේ දියෙන් ගසා ගෙණ යන ලද්දේ නො වේවා” යි යැයි සිතමින් යාත්‍රාවකින් බොහෝ ජටිලයන් සමග භාග්‍යවතුන් වහන්සේ හුන් පෙදෙසට යන්නට වුණා. එවෙලෙහි ඔහුට හාත්පස දිය ඉවත් කොට මැද රජසින් ගැවසී ගත් බිම සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබුණා. දැක “මහාශ්‍රමණය, මෙහි නුඹවහන්සේ සිටින සේක් ද?”යි හඬ නගිමින් අසා සිටියා. එවිට එක්වරම “කාශ්‍යපය, මේ මම මෙහි වෙමි” යි උන්වහන්සේ අහසට නැඟ ඔවුන් පැමිණි නැවෙහි වැඩ සිටියා. පුදුම ප්‍රාතිහාර්යයක්. මහා ජලකඳ මැද්දේ වූ රික්තයක වැඩ සිටි බුදුපියාණන් වහන්සේ මොහොතකින් දැන් ඔවුන් සිටින නැව මත. ඔහුට නැවතත් මෙහෙම සිතිවිල්ලක් පහලවුනා. “යමකු සිටි තැනක් ජලය පවා මැඩලන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම වේ. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” ය.

හැබැයි මෙවර නම් භාග්‍යවතුන් වහන්සේගේ තීරණයෙහි වෙනසක් වුණා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම සිතිවිල්ලක් පහළවුනා . එනම් “බොහෝ කලක් ම මේ හිස් පුරුෂයාහට ‘මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එසේ නමුත් මා මෙන් රහත් නො වේ මැ’ යි මෙසේ අදහස් වන්නේ ය. මම මේ ජටිලයා සංවේගයට පමුණුවන්නෙම් නම් යෙහෙකැ” යි යනුවෙනි. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, තෝ රහත් නො වෙහි ම ය. රහත්මගට නො පැමිණියෙහි ම ය. තෝ, යම් ප්‍රතිපදාවකින් රහත් හෝ වන්නෙහි ද, රහත්මගට හෝ පැමිණෙහි ද, ඔබට ඒ ප්‍රතිපදාවත් නැතැ” යි වදාරනු ලැබුවා. ඒ කියන්නේ රහත් තියා අඩුම වශයෙන් ඒ මාර්ගයටවත් ඇවිත් නැහැ කියලා. ඒ වචන ටික උරුවේලකාශ්‍යපගේ සිතට තදින්ම කා වැදුනා. ඔහු තැති ගත්තා. ලැජ්ජාවටට පත්වෙන්නටත් ඇති. උරුවේලකාශ්‍යපජටිල තවුසා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” යි කියා සිටියා. එලෙස කී පමණින්ම උන්වහන්සේ ඔහුට පැවිද්ද දුන්නේ නැහැ. ප්‍රථමයෙන් තම ගෝලබාලයන්ට නැතිනම් පිරිවරට දන්වා ඒ අයගෙත් තීරණය ගෙන එන්නට කිවා. ඒ මෙලෙසින්, “කාශ්‍යපය, තෝ පන්සියයක් ජටිලයන්ට නායක වෙහි. තම ලබ්ධිය ගන්වන්නෙහි. අග්‍ර වෙහි. ප්‍රමුඛ වෙහි. ආචාර්‍ය්‍ය වෙහි. එහෙයින් පළමු කොට ඒ අතැවැසිජටිලයන් ද කියව. එවිට ඔහු යම් සේ සිතන්නාහු ද එසේ කරන්නාහු ය” යි, වදාරනු ලැබුවා. අනේ ඔහු නිහඬවම හිස සැලුවා. නැවතත් තමන්ගේ පිරිවර හමුවෙන්නට ගොසින් නැවත එන්නට බුදුපියාණන් වහන්සේගෙන් සමුගත්තා.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර