Ape Budu Hamuduruwo 351

අපේ බුදුහාමුදුරුවෝ 351 (සන්තිකේ නිධානය)

 

අගසව් තනතුර දීමෙන් පසු මුහුණු බලා තනතුරු දෙනවා යැයි බුදුන් ලද චෝදනාව 02

මෙලෙස අපේ බුදුහාමුදුරුවෝ මෙතරම් උදවු උපකාර කල පස්වග මහණුන් හට අගසව් තනතුර පිරිනැමුවේ නැත්තේ ඇයිද කියලා විස්තර කරනු ලැබුවා. වැඩසිටි පිරිසට දැන් අනිත් අයගෙත් අතීත ඉහත ආත්මභාව වල කතා අහන්න කුතුහලය. උන්වහන්සේලා මෙලෙස විමසුවා. ස්වාමීනි, යසකුල පුතුන් ප්‍රමුඛ පස්පනස්දෙනා කවරකර්මයක් කරන ලද්දාහුද?

ඉන්පස්සේ අපේ බුදුහාමුදුරුවෝ යසකුල පුතුන් ඇතුළු පිරිසේ අතීත කතා ප්‍රවුර්තිය මෙලෙස විස්තර කරනු ලැබුවා. හැබැයි මීට පෙර ලිපිවල මේ සියලු කර්නුනු විස්තර සහතව ලියා තියෙනවා.

මොවුන්ද එක් බුදුවරයන්වහන්සේ නමක් හමුවෙහි රහත් බව පතා බොහෝ පින්කම් කොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයේ යහළුවන්ව වෙන් වෙන්ව කොටස් වශයෙන් බෙදී පින්කම් කරමින්, අනාථවූද, මැරුණාවූද අයගේ සිරුරු පිළිබඳව පිළිදැගුම් කරමින් හැසුරුණා. ඒ අවසන් කටයුතු කිරීමටවත් හැකියාවක් නැති දුගී දුප්පත් මිනිසුන් වෙනුවෙන්. මෙම කණ්ඩායම එක් දිනක් දරු ගැබක් සහිතව මැරුණු ස්ත්‍රියකගේ සිරුරක් දැක, මෙය දවන්නෙමු යයි කතා කොටගෙන සොහොනට රැගෙන ගියා. එදා වෙන මළමිනී නොතිබූ නිසා එයින් පස්දෙනෙක් සොහොනෙහි නැවතී ඔබලා මෙය දවාලන්න යනුවෙන් පවසා සෙස්සෝ ගමට ගියා.

එම කණ්ඩායමේත් ප්‍රධානියා වුනේ යසකුල පුත්‍රයයි. යසකුල පුත්‍රයා ඒ සිරුර උළෙන් ඇන විදිමින් පෙරළා පෙරළා දවන විට එකවරම අශුභසංඥාව පහළවුනා. අනික් සතර දෙනාටද පින්වතුනි, මේ සිරුර තැනින් තැන ගැළවීගිය සම නිසා පුල්ලි වැටුණු ගවරූපයක් බඳු වුනා. අශූචියෙන් පිරී දුර්ගන්ධය පිළිකුල්දැයි බලව් කියමින් පෙන්වනවිට ඒ නිමිති කොටගෙන ඒ අයටත් අශුභසංඥාව පහලවනු ලැබුනා. ඒ පස්දෙනාම ගමට ගොස් මේ පුවත සෙසු යහළුවන්ටද කියා සිටියා. ඒ අයටත් එලෙසින්ම අශුභසංඥාව පහලවනා. යස නම් දරුවා ගෙදර ගොස් මවුපියන් හා බිරියටද කථා කතාව කීවා. ඒ සියලු දෙනාමත් අශුභ භාවනාව වැඩූවා. මේ ඔවුන්ගේ පූර්ව කර්මයයි. එහෙයින්ම යස කුල පුතුට වනිතා නිවාසය තුළම සුසානසංඥාවද පහළ වුනා. ඒ විශේෂ උපනිශ්‍රය සම්පත්තියෙන් සියල්ලන්ටම විශේෂ අධිගමයන්ද උපන්නා. මෙසේ මොවුහුද තමතමන් පතා ආ දෙයක්ම ලැබූවා. මම ඔවුන්ට මුණ බලා තනතුරු නොදුන්නෙමියි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලැබුවා.

ඉන්පස්සේ භික්ෂූන් වහන්සේලා භද්‍රවර්ගීය තෙරුන් වහන්සේලා ගැනත් මෙලෙස විමසුවා.

ස්වාමීනි, භද්‍රවර්ගීය යහළුවෝ කුමක් කළාද? ඔවුන්ද පෙර බුදුවරයන් සමීපයෙහි රහත්බව පතා පින්කම් කොට මෑත කාලයෙහි බුදුවරයකු පහළ නොවූ සමයෙක ධූර්තයන් තිහක්ව සිට තුණ්ඩිලෝවාද අසා වර්ෂසැටදහසක් පන්සිල් රැක්කා. මෙසේ මොවුහුද තමන් පැතුවක්ම ලැබුවා. මම ඔවුන්ටද මුණ බලා තනතුරු නුදුන්නෙමියි බුදුන් වහන්සේ තවදුරටත් දේශනා කරනු ලැබුවා.

උපකාර වූ මුලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

Ape Budu Hamuduruwo 350

අපේ බුදුහාමුදුරුවෝ 350 (සන්තිකේ නිධානය)

 

අගසව් තනතුර දීමෙන් පසු මුහුණු බලා තනතුරු දෙනවා යැයි බුදුන් ලද චෝදනාව 01

එදා එලෙස බුදුපියාණන් වහන්සේ පිරිස පිරිවරා සවස් වේලාවෙහි ශ්‍රාවක සංඝයා එක්තැන් කොට ඒ තෙරවරුන් දෙනමට අගසවු තනතුරු දී පාමොක් ද දේශනා කරනු ලැබුවා. පසුව රැස්වුණ භික්ෂූන් හට මෙලෙස වැරදි අදහසක් පහල වුනා. බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති, හරිනම් අගසවු තනතුරු දෙන විට පළමුව පැවිදි වූ පස්වග මහණුන්ට දිය යුතුයි. ඔවුන් ගැන නොසලකතොත් ඊළඟට යස තෙරුන් ප්‍රමුඛ පනස්පහක් වූ භික්ෂු පිරිසට දිය යුතුයි. ඔවුන් ගැනත් නොසලකන්නේ නම් හද්‍රවර්ගීයයන්ට දිය යුතුයි. ඔවුනුත් සැලකිල්ලට නොගැනේ නම් උරුවේල කාශ්‍යපාදි තුන්බෑ ජටිලයන්ට දියයුතුයි. බුදුරජාණන් වහන්සේ මේ සියල්ලන්ම හැරදමා සියල්ලන්ටම පසුව පැවිදි වූවන්ට අගසවුතනතුරු දීම නම් අපි දකින්නේ මුණ බලා කළ ක්‍රියාවක් ලෙසයි. පෘතග්ජන භික්ෂූන් එලෙස දොස් නගන්නට වුනා

මෙම කුසුකුසුව මෙහෙම යනවිට බුදුරජාණන් වහන්සේට මෙය දිවැසින් පෙනිගියා. අද එදා කියලා වෙනසක් නැහැ. මිනිසුන් හැමදේකම දොසක් තමයි හොයන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඔවුන්වෙත එළඹ මම පැමිණීමට පෙර කුමක් කතා කරමින් සිටියේදැයි විමසා සිටියා. ඔවුන් හැබැයි අද වගේ බොරු කිවේ නැහැ. අපි මෙසේකථා කෙළෙමු යයි කතා කල දේ නොසඟවා පැවසුවා. මේ සියල්ල ඉවසීමෙන් අසා සිටි අපේ බුදුහාමුදුරුවෝ ඔවුන් හට මෙලෙස දීර්ඝ අතීත කතාපුවතක් දේශනා කිරීමට මුලපිරුවා. මෙම අතීත කතා පුවත ඔබටද මටද අදටත් අදිෂ්ඨානයක ඇති බලය ශක්තිය පෙන්වා දෙනවා.

 මහණෙනි, මම මූණ බලා ආහාර හෝ තනතුරු දෙන්නෙක් නොවෙයි. මේ දෙදෙනා තමතමන් පතා ආ දෙයක්ම ඔවුනට ප්‍රධානය කරනු ලැබුවා. අඤ්ඤාකොණ්ඩඤ්ඤ එකම කන්නයක (අස්වනු වාරයක) නව වරක් අග්‍රසශ්‍ය දන් දුන්නත් අගසවු තනතුරු පතා දුන්නේ නම් නැහැ. අග්‍රධර්මය වූ අර්හත්වය සියල්ලන්ට පළමුව අවබෝධ කර ගැනීම ප්‍රාර්ථනා කරමින් ම තමයි ඔවුන් එදා ඒ මහා දන් දුන්නේ. එවිට භික්ෂුන්, භාග්‍යවතුන්වහන්ස, ඒ කවදාද? එසේ නම් මහණෙනි, අසව්යයි වදාළ කල්හි ඔවුහු එසේ යයි පිළිවදන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ දීර්ඝ අතීතය ගෙනහැර පාමින් මෙසේ වදාරනු ලැබුවා.

මහණෙනි, මීට කල්ප අනූ එකකට පෙර විපස්සි නම් බුදුවරයෙක් ලොව පහළ වුනා. ඒ කාලේ මහාකාළ-චූළකාළ යයි කෙළෙඹි සොහොයුරෝ දෙදෙනෙක් විශාල ඇල්කෙතක් වැපුරූවා. පසුව එක් දිනක චූළකාළ වී කෙතට ගිහින් එක් හැල් කරල්ගැබක් පලා රස බැලුවා. එය ඉතා මිහිරි රැසක් ගෙන දුන්නා. හෙතෙම බුදුන් ප්‍රමුඛ මහසඟනට හැල්ගැබ් (බණ්ඩි) දානයක් දෙනු කැමැත්තෙන් දෙටු සොහොයුරා ළඟට ගොස් “ සොහොයුරාණනි, හැල් බණ්ඩි පලා බුදුන්ට උචිත සේ පිස දානයක් දෙමුදැයි වචාරනු ලැබුවා. එවිට ඔහු “දරුව, කුමක් කියන්නෙහිද? හැල්බණ්ඩි කරල් පලා දන් දීමක් අතීතයේ කිසි විටක නොවීය. අනාගතයේදීත් එබන්දක් වීමට නුපුළුවන. නිකම් අස්වනු විනාශ නොකරන්නැයි” කියද්දීත් හෙතෙම නැවත නැවතත් ඇවිටිලි කරනු ලැබුවා. ඉත්පසු ඔවුන් දෙදෙනාගේ කෙත දෙකට බෙදා මගේ කොටසට අත නොතබා ඔබේ කොටසට කැමැත්තක් කරගන්නැයි කියා සිටියා. ඔහු මැනවැයි කෙත බෙදා බොහෝ මිනිසුන් වැඩෙහි යොදවා හැල්ගැබ් පලා දිය නුමුසු කිරිවලින් පිසවා ගිතෙල් මීපැණි හකුරු ආදියද දමා බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන්දී බත්කිස කෙළවර ස්වාමීනි, මේ මගේ අග්‍රදානය සියල්ලන්ට ප්‍රථමව අග්‍රධර්මය අවබෝධය පිණිසම වේවායි ප්‍රාර්ථනා කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ එය එසේම වේවායි අනුමෝදනා කරනු ලැබුවා.

ඔහු ඉන් පසුව ඇල්කෙතට ගොස් බලන විට මුළු කෙතම ඇල්කරල් මිටි බැන්දාක් මෙන් ඇල්කරලින් ගැවසී ගෙන තිබෙනු දැක පස්වනක් ප්‍රීතිය ලැබ මට වූයේ මහා ලාභයකියි සිතා, නැවත නැවතත් දන් දෙන්නට සිත පහල කර ගත්තා. නොමේරූ කාලයෙහි පුථුකග්ග (හබලපෙති) නම් දානයක්ද, ගොයම් කපන කාලයෙහි දායග්ග නම් දානයක්ද, ගොයම් කපා උප්පිඩි (කුඩා මිටි) කරන කාලයෙහි වෙණග්ග නම් දානයක්ද, මහපිඩි (ලොකුමිටි) කරන කාලයෙහි කලාපග්ග නම් දානයක්ද, කමතට අදින කාලයෙහි කළග්ග නම් දානයක්ද, ගොයම් පාගන කාලයෙහි ඛළහණ්ඩග්ග නම් දානයක්ද, වී අටුවේ තැන්පත් කරන වේලෙහි කොට්ඨග්ග නම් දානයක් දැයි මෙසේඑක් සශ්‍ය වාරයක (කන්නකදී) දින නවවරක් අග්‍රදාන දෙනු ලැබුවා. ඒ හැම වරකදීම ගත් ගත් තැන් කරලින් වීවලින් පිරී ගියා. අස්වනු අතිරේක වශයෙනුදු වැඩී ගියා. මේ ධර්මය නම් රැකි පමණින් තමන්ද රැකෙනසුලු වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ද මෙසේ වදාරනු ලැබුවා.

“ධම්මෝ හවෙ රක‍්ඛති ධම්මචාරිං,

ධම්මෝ සුචිණ‍්ණො සුඛමාවහාති,

එසානිසංසො ධමෙම සුචිණෙණ,

න දුග‍්ගතිං ගච්ඡති ධම්මචාරී”ති. (ථෙරගා· 303; ජා· 1.10.102)

දැහැමි ලෙස හැසිරෙන අය දහමෙන් ම සුරැකෙති

දහම පුහුණු කළ විට සුබ සැපතක්ම ගෙන දේ

දහම පුහුණු කළ විට මේ අනුසස් ම ගෙන දේ

කිසි දා කිසි ම විට ඔහු දුගතියක නොවැටෙයි.

ඒ විතරක් නෙවෙයි, මෙසේ මොහු විපස්සි බුදුන් සමයෙහිත් අග්‍රධර්මය පළමුවෙන් අවබෝධ කිරීමට ප්‍රාර්ථනා කරමින් මෙලෙසම නව වරක් අග්‍රදන් දුන්නා . ඒ විතරක්ද නෙවෙයි, මින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් කාලයෙහිදීත් සත්දිනක් මහදන්දී ඒ බුදුන්ගේ පාමුල වැඳ වැටී අග්‍රධර්මය පළමුව අවබෝධ කර ගැනීමම ප්‍රාර්ථනා කරනු ලැබුවා. මෙසේ ඔහු විසින් පතාගෙන ආ දෙය මම දුනිමි. මම මූණ බලා යමක් දෙන්නෙම් නොවෙමි. බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කරනු ලැබුවා.

උපකාර වූ මුලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

Ape Budu Hamuduruwo 349

අපේ බුදුහාමුදුරුවෝ 349 (සන්තිකේ නිධානය)

 

චතුරංග සමන්නාගත මහා සංඝ සන්නිපාතය, අගසවු තනතුරු ප්‍රධානය , සහ ප්‍රථම පාමොක් දේශනය 02

ආණා ප්‍රාතිමෝක්‍ෂය සහ ඕවාද ප්‍රාතිමෝක්‍ෂය

ආණා ප්‍රාතිමෝක්‍ෂය

 ආණා ප්‍රාතිමෝක්‍ෂය සහ ඕවාද ප්‍රාතිමෝක්‍ෂයැයි ප්‍රාතිමෝක්‍ෂය දෙවැදෑරුම් වනවා.. ඒවා අතර, ‘සුණාතු මෙ භන්තෙ’ ආදිකොට ඇත්තේ ආණා ප්‍රාතිමෝක්‍ෂයයි. එය බුදුවරුන් දේශනා කරනු ලබන්නේ නැහැ. එය බුදුවරුන්ගෙන් අසා දැනගෙන ශ්‍රාවකයෝම දේශනා කරනු ලබනවා. අඩ මසකට වරක් පොහොය සීමාවකට රැස්වන උපසපන් භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම නමින් සිදුකරනුයේ මෙම ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම යි.

ඕවාද ප්‍රාතිමෝක්‍ෂය

එදා අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රධානයෙන් පස්සේ අපේ බුදුරජාණන් වහන්සේට තවත් සුවිශේෂී කටයුත්තක් සඳහා කාලය එළඹියා. ඒ තමයි සියලු බුදුරජාණන් වහන්සේලා විසින් තම භික්ෂු මහා සංඝයා විෂයයෙහි කරනු ලබන ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන කිරීම. ඕවාද යනුවෙන් අදහස් කරන්නේ අවවාදය යන්නයි. පාතිමොක්ඛෙ යනුවෙන් ඒ උතුම් මෝක්‍ෂය, උතුම් මිදී යාම, උත්තමශීලය, සුගතියට බාධාකර ධර්මයන්ගෙන් ආරක්ෂා කරයිද, දුගති බියවලින් මුදවා ගනීද, යමක් වනාහි ඔහුව ආරක්ෂා කෙරේද ඔහුව මුදවාගනීද යන අර්ථයෙන් පාතිමොක්ඛයැයි කියනු ලබනවා.

එහෙත් අපේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයෙ පටන් මුල් විසිවස අවසන් වන තුරුම ශ්‍රාවකයන් හට විනය ශික්ෂාපද පැනවීමට හෙවත් ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට තරම් ප්‍රබල වරදක් සංඝයාගෙන් විද්‍යමාන වුනේ නැහැ.. එවිට බුදුරජාණන් වහන්සේලා භික්ෂූන් සමඟ පොහොය කිරීමේ දී දේශනා කරනු ලබන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි. එබැවින් සංඝයාගේ හික්මීම පිණිස ඕවාද හෙවත් අවවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් වුණි. මෙහි දී අවවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි. එදින පළමු වරට මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂය රහතන් වහන්සේලා විසින් වෙනුවෙන්ම දේශනා කිරීම තවත් විශේෂත්වයක්. ඒ මෙලෙසයි.

සියලු බුදුවරුන් දෙසූ ඕවාද ප්‍රාතිමෝක්‍ෂ ගාථා රත්න.

“ඛන‍්තී පරමං තපො තිතික‍්ඛා;

නිබ්බානං පරමං වදන‍්ති බුද‍්ධා;

න හි පබ්බජිතො පරූපඝාතී;

න සමණො හොති පරං විහෙඨයන‍්තො.

ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තිය ඇති තපස උතුම් ය. ශාන්ති ලක්ෂණ නිර්වාණය උත්තමය යි සියලු බුදුවරු වදාරති. අනුන් දිවි නසන තැනැත්තේ පැවිදි නම් නො වෙයි. අනුන් පෙළන තැනැත්තේ මහණෙක් නම් නො වෙයි.

“සබ්බපාපස‍්ස අකරණං, කුසලස‍්ස උපසම්පදා

සචිත‍්තපරියොදපනං, එතං බුද‍්ධාන සාසනං.

කායාදී ද්වාරත්‍රයයෙන් සිදුවන්නා වූ ප්‍රාණඝාතාදී සියලු අකුශල කර්ම නො කිරීම ද, සියලු ලෞකික ලෝකෝත්තර කුශලයන් ඉපදීම ද, උපදවන ලද කුශලයන් වැඩීම ද, පඤ්ච නීවරණයන් කෙරෙන් සිත පිරිසිදු කිරීම ද යන මේ කරුණු සියලු බුදුවරයන් ගේ අනුශාසනා යි.

“අනුපවාදො අනුපඝාතො, පාතිමොක‍්ඛෙ ච සංවරො

මත‍්තඤ‍්ඤුතා ච භත‍්තස‍්මිං, පන‍්තඤ‍්ච සයනාසනං

අධිචිත‍්තෙ ච ආයොගො, එතං බුද‍්ධාන බුද්ධානසාසනං

ජාත්‍යාදීන් පරහට ආක්‍රෝශාදී වශයෙන් වචනයෙන් උපවාදයක් නො කිරීමත්, පාණි ප්‍රහාරාදී වශයෙන් පරහට කයින් උපඝාතයක් නො කිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවරශීලය මනාව රැකීමත්, ආහාරයෙහි මාත්‍රඥතාවත් (ආජීව පාරිශුද්ධිය) ජනවිචික්ත වූ ප්‍රාන්ත සේනාසනයන්හි ඇලීමත් සමථ විපස්සනා භාවනාවන්හි නිතර යෙදීමත් සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි

පසු කලෙක ආනන්ද තෙරුන් වහන්සේ දිවා ස්ථානයේ සිටිමින් මෙලෙස සිතුවා. බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදුවරයන්ගේ දෙමාපියෝ, ආයුෂ ප්‍රමාණය, බෝධිය, ශ්‍රාවක සන්නිපාත, අග්‍රශ්‍රාවකයින්, උපස්ථායක, මේ සියල්ල පවසා තිබෙනවා. එහෙත් උපොසථය ගැන නම් අපහට කියා නැහ. මෙයට හේතුව කුමක්ද? ඒ උතුමන්ලාගේ උපෝසථය අපේ උපෝසතයට වඩා වෙනස්ද? උන්වහන්සේ බුදුන්වෙත එළඹ මේ කරුණ විමසා සිටියා. එවිට අප බුදු පියාණන් වහන්සේ ඒ ඒ බුදුවරුන් විසින් වදාළ කාලයන්හි අතර පරතරයෙහි වෙනසක් ඇතත් ගාථාවන්හි කිසිදු වෙනසක් නැතැයි යැයි පවසා පසුගිය සත්බුදුවරුන් ගැන මෙලෙස පහදා දුන්නා. විපස්සි බුදුරජාණන් වහන්සේ වසර හතකට වරක් උපෝසථය සිදු කළා. ඒ එක් දිනෙක දෙනලද අවවාදය වසර 7කට තරම් ප්‍රමාණවත් වුනා. සිබි හා වෙස්සභූ බුදුවරු වසර 6කට වරක් උපොසථය කරනු ලැබුවා. කකුසඳ කෝණාගම බුදුවරු වසරක් පාසා ද කාශ්‍යප බුදුහු මාස 6කට වරක් උපෝසථය කරනු ලැබුවා.. එක් දිනෙක දෙන ලද අවවාදය මාස හයකට ප්‍රමාණවත් වුනා. . මේ නිසා බුදුරජාණන් වහන්සේ කාල ප්‍රභේද පවසා සියල්ලගේ උපෝසථ එකම උපෝසථයක් කරමින් ඉහත ගථා තුන යලිත් පැවසුවා. එය පසුවට එන කතාවක්.

උපකාර වූ මුලාශ්‍ර 

මහාපදාන සූත්‍රය

 ඛුද්දකනිකාය – ධම්මපද අට්ඨකථා – බුද්ධවග්ගය -ආනන්ද තෙරුන්ගේ උපොසථ ප්‍රශ්න පුවත

 ඕවාද ප්‍රාතිමෝක්‍ෂය – ඛුද‍්දකනිකාය ධම්මපදපාලි බුද්ධවග්ගය

Ape Budu Hamuduruwo 348

අපේ බුදුහාමුදුරුවෝ 348 (සන්තිකේ නිධානය)

 

චතුරංග සමන්නාගත මහා සංඝ සන්නිපාතය, අගසවු තනතුරු ප්‍රධානය , සහ ප්‍රථම පාමොක් දේශනය 01

ඉතින් ඔය අයුරින් තමයි සාරිපුත්ත හිමිපාණන් වහන්සේ අරහත්වයට පත්වුණේ. බුදුරජාණන් වහන්සේට මේ තත්වය පෙනෙන්නට ඇත්තේ දර්ම දේශනයට කලින්මයි කියලා මට හිතුනේ ඒ නිසාමයි. ඒ දැනටමත් අපට බුද්ධ ඥාන පිලිබන්ධව සුළු වශයෙන් හෝ අවබෝධයක් තිබුන නිසා. සාරිපුත්ත හිමිපාණන් වහන්සේට අරහත්වය ලැබුනාට පස්සේ බුදුරජාණන් වහන්සේට තව දුරටත් එම භුමියේ වැඩ සිටින්නට වුවමනා වුයේ නැහැ. ඒ තවත් සුවිශේෂ කාරණා කිහිපයකටම එදිනම මුල පිරිය යුතු බැවින්. ඒ ප්‍රථම සංඝ සන්නිපාතය, අගසවු තනතුරු පිරිනැමීම, සහ ඕවාද ප්‍රතිමොක්ෂය දේශණා කිරීම ප්‍රථම වතාවට එදිනටම දී තිබුන නිසා. භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල හොඳින් දන ඒ සැණින්ම අහසට නැග ක්ෂණයකින් වෙළුවනයට වැඩියේ ප්‍රථම මහා සංඝ සන්නිපාතයට, තව තව වැඩි වෙලාවක් නැති බැවින්. ඒ මොහොතේම සැරියුත් තෙරණුවොත් භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩියෙදයි ආවර්ජනා කරන්නට වුනා. ඒ මොහොතේ උන්වහන්සේටත් පෙනෙන්නට වුනා භාග්‍යවතුන් වහන්සේ වේළුවනයට වැඩි බව. ඔබට ප්‍රශ්ණයක් ඇතිවේවි ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේට නොදන්වා වැඩියේ කියලා. එයට පිළිතුර ඊළඟ පරිච්චේද කිහිපයේදී ලැබේවි. උන්වහන්සේත් ක්ෂණයකින් අහසට නැග වේළුවනයට වැඩියේ ඒ සුවිශේෂ අවස්ථාවේ උන්වහන්සේත් ඒ භුමියේ සිටිය යුතු නිසාමයි.

සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී කරුණු රැසක් සිදු වූ නවම් පොහොය

එදා තවත් නවම් පුන්පොහෝ දිනක්. පොහෝ සඳ අහසේ පායන්න නොවිසිල්ලෙන් බලා ඉන්නවා වගේ. එදා උදාවුන නවම් පොහොය බෞද්ධයිනට සුවිශේෂී පොහෝ දිනයක් වුණා. ඒ සම්බුද්ධ ශාසන නැමැති රත්නාකරයෙහි පහළ වූ මහාර්ඝ රත්නයක් බඳු වූ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සම්බුදු සසුන්හි අගසවු තනතුරු ලැබීමත්, සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීමත්, එදිනම සිදුකරනු ලැබූ ඕවාද ප්‍රාතිමොක්ෂයත් නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට ප්‍රථමයෙන් ආයුසංස්කාරය අත්හැරීමත් ඇතුළුව මෙම සුවිශේෂී කාරනා සියල්ලම සිදුවුනේ මෙවන් නවම් පුනු පුන්පොහෝ දිනයකදීමයි

චතුරංග සමන්නාගත සංඝ සන්නිපාතය

ඉහතින් කි පරිදිම ඒ වනවිටත් භාග්‍යවතුන් වහන්සේ දීඝ නඛට දෙසූ ධර්ම දේශනාව සූර්යයා නොබැසසිටියදීම නිමවා අහසින්ම වේළුවනයට වැඩමකොටයි සිටියේ. එදින තවත් විශේෂ සිදුවීමක් වුණා. එක්දහස් දෙසිය පනහක් පමණ වූ මහා විශාල සංඝ පිරිසක් ඒ මොහොතේම එම භූමියට වැඩම කිරීමයි. එවැනි විශාල සංඝයා රැස්වීමක් හමුවීමක් සාසනයේ “සංඝ සන්නිපාතයක්” යන නමින් හඳුන්වනවා. මෙය සියලු බුද්ධ සාසන තුල සිදුවූවක්. සමහර බුද්ධ සාසන වල ලක්ෂ ගනින් බව ඔබ මීට ඉහත මෙම ලිපි පෙලින්ම කියවා තිබෙනවා මතක ඇති. එහෙත් අප සාස්තෘන් වහන්සේගේ සාසනය තුල සිදු වූ මෙම සංඝ සන්නිපාතය එහෙම නැත්නම් සංඝ රැස්වීම සුවිශේෂී නමකින් හඳුන්වනු ලැබුවා. ඒ “චතුරංග සමන්නාගත සංඝ සන්නිපාතය” යන නමින්. ඊට හේතු වුනේ මෙම මහා සංඝයාගේ රැස්වීම සුවිශේෂී අංග සතරකින් සමන්නාගත වීමයි. එම අංග හතර නම්

  1. එදින මා නැකතින් යුත් පුන් පොහෝ දිනයක්වීම
  2. මේ මහා සංඝ පිරිස සෘද්ධියෙන් ලැබුණු පාත්‍රා සිවුරු ඇතිව කිසිවකු විසින් ආරාධනය නොකරම වඩිනු ලැබීම.
  3. පෘථක් ජනයෙක් හෝ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, සුක්ක විපස්සක රහතුන්, යන අය ඒ අතර නොසිටීමයි. සියල්ලෝ ෂට්අභිඥලාභී රහතුන්ම වීම
  4. ඒ වගේම මෙහි කිසිවෙක් ආයුධයකින් කෙස් කපා පැවිදිවූවෙක් නම් සිටියෙම නැහැ. ඒ එම සියලු දෙනාම එහිභික්‍ෂුභාවයෙන් පැවිදි වූවන් වීමයි.

පුරාණ ජටිලයන්ගේ පිරිස දහසකුත් අගසව් දෙනමගේ පිරිවර දෙසියපනහකුත් වශයෙන් එක්දහස් දෙසිය පනහක පරිසක් එදින එම සංඝ සන්නිපාතයට සහභාගී වී තිබූ බව මහාපදාන සුත්ත වර්ණනාවෙහි ශ්‍රාවක සන්නිපාත පරිච්ඡේදයේ සඳහන් වනවා. ඉතින් මේ මහා සංඝ පිරිස මැද අපේ බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මොග්ගල්ලාන රහතුන්වහන්සේලා දෙනමට අපගේ සාසනයේ අගසව් තනතුරු ප්‍රධානය කරනු ලැබුවා.

Ape Budu Hamuduruwo 347

අපේ බුදුහාමුදුරුවෝ 347 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 05

බුදුරජාණන් වහන්සේ මෙලෙස දර්මය දේශනා කරමින් යනවිට දීඝ නඛ පරිබ්‍රාජකයා ගේ පමණක් නොවේයි සාරිපුත්ත හිමිපාණන් වහන්සේගේත් ප්‍රඥා ඇස විවිර වෙන්නට පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඉන් අනතුරුව සත්වයා බෙහෙවින් ඇලුම් කරන රූප කය ගැනත්, එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැනත්, එය හෙතුප්‍රත්‍යයෙන් ඇතිවීම සහ නැතිවීම ගැනත්, ත්‍රිවිධ වේදනා ගැනත්, එහි ප්‍රහාණය ගැනත් තවදුරටත් මෙලෙස සවිස්තර වශයෙන් දේශනා කරන්නට වුනා. බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත් වේගයෙන් දීර්ඝ වශයෙන් දේශනා කරන ලද එවැනි දේශනා පෙළෙහි සඳහන් වෙන්නේ ඉතාමත් කෙටියෙන් කියලයි මම අහලා තියෙන්නේ. ඒ මෙලසින්.

සත්වයා බෙහෙවින් ඇලුම් කරන රූප කයෙහි යථා ස්වභාවය පැහැදිලි කිරීම,

“අග්ගිවෙස්සනය, සතර මහා භූතයන් ගෙන් හටගත් මාපියන්ගේ ශුක්‍රශ්‍රෝණිතයෙන් සම්භව වූ, බතින් හා කොමුපිඩුවලින් වැඩුණු රූපය අනිත්‍යය. ඇඟඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාසය, ස්වභාවකොට ඇත්තාවූ රූපසමූහයක් වන මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් ලාමකවූවක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසීම් වශයෙන් සූන්‍යවශයෙන් අනාත්ම වශයෙන් දැක්කයුතුය. මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසෙන්නක් වශයෙන් සූන්‍යවූවක් වශයෙන් අනාත්ම වශයෙන් දක්නාවූ ඔහුගේ කය කෙරෙහි යම් ඇල්මෙක් කයෙහි යම් ස්නෙහයෙක් කය අනුව යාමක් වේද, එය දුරුවෙයි.’

ත්‍රිවිධ වේදනා පිලිබන්වදව සහ එහි නිරෝධය පිලිබන්වදව පැහැදිලි කරන ලද විස්තරය.

“අග්ගිවෙස්සනය, වේදනා තුනක් පවතිනවා. ඒ සැප වේදනාය, දුක් වේදනාය, දුක්දනොවූ සැපද නොවූ වේදනාවය යන වේදනා තුනයි. අග්ගිවෙස්සනය, යම් කලෙක සැපවූ වේදනාව විඳීද, එකල්හි ඔහු හෝ ඇය දුක්වූ වේදනාව ද දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද විදින්නේ නැහැ.. අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්වූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනාවක් විදින්නේ නැහැ. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද විදින්නේ නැහැ. එකල්හි දුක්වූ වේදනාවම විඳියි. අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්නොවූ සැපද නොවූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනා නොම විඳියි. දුක්වූ වේදනාව නොවිඳියි. එකල්හි දුක්ද නොවූ සැපද නොවූ වේදනාවම විඳියි.

අග්ගිවෙස්සනය, සැප වේදනාවද අනිත්‍යය, සකස් කරනලදී, හේතුප්‍රත්‍යයන් ගෙන් (පටිච්චසමුප්පන්න) හටගන්නීය. ක්ෂය වන ස්වභාව ඇත්තීය. විනාසය ස්වභාව කොට ඇත්තීය. විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය. අග්ගිවෙස්සනය, දුක් වේදනාවද අනිත්‍යය, සකස් කරනලද්දීය. ප්‍රත්‍යයෙන් හටගත්තීය. ක්ෂයවීම ස්වභාව කොට ඇත්තීය, විනාසය ස්වභාව කොට ඇත්තීය, විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය, අග්ගිවෙස්සනය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද අනිත්‍යය සකස් කරන ලද්දීය, ප්‍රත්‍යයෙන් හටගත්තීය, ක්ෂයවන ස්වභාව ඇත්තීය, විනාසවන ස්වභාව ඇත්තීය, විරාග ස්වභාව ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය,

අග්ගිවෙස්සනය, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙම සැප වේදනාව කෙරෙහිද අවබෝධයෙන් කලකිරෙයි. (නිබ්බින්දති) දුක් වේදනාව කෙරෙහිද අවබෝධයෙන් කලකිරෙයි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව කෙරෙහිද අවබෝධයෙන් කලකිරෙයි.

අවබෝධයෙන් කලකිරෙන ඔවුන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. එලෙස මිදුනු කල්හි ඔවුනට මිදුනේය යන දැනීම ඇතිවේ. එවිට ජාතිය ක්ෂය කරණ ලද්දීය, (ඛීණා ජාති) බ්‍රහ්මචර්ය වැස නිමවන ලද්දේය (වුසිතං බ්‍රහ්මචරියං). සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි. අග්ගිවෙස්සනය, මෙසේ මිදුනු සිත් ඇත්තාවූ භික්ෂු තෙමේ වනාහි කිසිවෙකු සමගත් විරුද්ධව කථා නොකෙරෙයි. කිසිවෙකු සමගත් විවාද නොකෙරෙයි. ලෝකයෙහි යම් ව්‍යවහාරයක් වේද, ඒ ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරයි. දෘෂ්ටි වශයෙන් නොගනියි.

ඒ මොහොතේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ. එවිට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙබඳු අදහස් පහලවුනා.

 ‘භාග්‍යවතුන් වහන්සේ වනාහි අපට නුවණින් දැන ඒ ඒ ධර්මයන්ගේ දුරු කිරීම වදාළේය. සුගතයන් වහන්සේ වනාහි අපට නුවණින් දැන ධර්මයන්ගේ දුරලීම වදාළේයයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අලවා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදී ගියා. දීඝනඛ පරිව්‍රාජකයාහට වනාහි යම් කිසිවක් ඉපදීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේයයි (‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’’න්ති) කෙලෙස් රජස් රහිතවූ පහවූ මල ඇති ධර්ම චක්ෂුස (සෝවාන් මාර්ගඥානය) පහලවූවා.

ඉන්පසේ දීඝ නඛ නම් පරිව්‍රාජකය හට දක්නාලද ධර්මය ඇතිව, පැමිණියාවූ ධර්මය ඇතිව, දැනගන්නාලද ධර්මය ඇතිව, බැසගත්තාවූ ධර්මය ඇතිව, දුරු කළාවූ විචිකිච්ඡා ඇතිව පහවූ සැකය ඇතිව විසාරද බවට පැමිණ ශාස්තෘ ශාසනයෙහි අන් පිහිටක් නොසොයන බවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටියා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් හෝ උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් හෝ වැසුම් අරින්නේද, මංමුළාවූවෙකුට හෝ මග කියන්නේද අන්ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරණලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොටයමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණ කොටයමි. භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වායි” බැගෑපත්ව ඇයද සිටියා.