අපේ බුදුහාමුදුරුවෝ 412 (සන්තිකේ නිදානය)

 

ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 06

චන්‍දකින්නර ජාතකය 03

ඇය ඔහු නොපෙනී යන තෙක් පර්වතය මුදුණට වී බලා සිටියේ නොවිසිල්ලෙන්. රජුගේ යලි නොපැමිණීම ස්ථිර වූ සැනින් බෝසතාණන් වහන්සේ වෙතට දුව ආවේ කඳු මුදුනේ සිට වතුර පහතට කඩා වැටෙන වේගයටත් වඩා වැඩි වේගයකින්. ඇය වැඩි වෙලාවක් ගත කලේ නැහැ ඒ අනාරක්ෂිත පෙදෙසේ. බෝසතාණන් වහන්සේවත් උසුලාගෙන පර්වතය මතට ඉකමණින්ම නැග ගත්තා. ආදරය හින්දද කොහෙද ඇයට බරක් නොදැනෙන්න ඇති. ගැහැණියකට තියෙන හයිය මෙතෙකැයි කියලා කියන්න බැරි බව මම අත්දැකීමෙන්ම දන්නවා. පිවිතුරු ආදරයක් වෙනුවෙන් මොනවද කරන්න බැරි. පර්වතය මත ඔවුන් අවසන් වරට පෙමින් බැඳුන ගල් තලාවක ඔහුව හෙමිහිට තබා, හිස තම කලවා මත තබා ගත්තා. ඉන් පසු අසීමිත සෙනෙහසින් හිස පිරිමදිමින් සිඹිමින් බලවත් ලෙස හඬමින් මෙම ගථා දොළස කියන්නට වුනා.

13. කිඳුරාණනි, අප එක්ව ප්‍රේමාලිංගනයෙන් සතුටු වූ (අට්ඨ කතාවේ ඇත්තේ රමණය කලා වූ යන අර්ථයයි.) ඒ පර්වතයෝද කඳුරැලිද කඳුගුහා ද ඇත. ඒ තැන්හී දී ඔබ නොදකින්නී වූ මම මින් මතු කෙසේ නම් සැනසෙම් ද?

14. කිඳුරාණනි, වන මෘගයන් විසින් හැසිර පුරුදු සිත්කළු කොළ ඇතිරිලි ඇත. ඒ තැන්හී දී ඔබ නොදකින්නී වූ මම මින් මතු කෙසේ නම් සැනසෙම් ද?

15. කිඳුරාණනි, වන මෘගයන් විසින් හැසිර පුරුදු රමණීය වූ මල් ඇතිරිලිද ඇත. ඒ තැන්හී දී ඔබ නොදකින්නී වූ මම මින් මතු කෙසේ නම් සැනසෙම් ද?

16.කිඳුරාණනි, පිරිසිදු වූ දිය ඇති, මල් විසිරුණු දිය දහර ගලා බසී, එහි ඔබ නොදකින්නී වූ මම මින්මතු කෙසේ සැනසෙම් ද?

17. කිඳුරාණනි, හිමවතෙහි නිල්වන් වූ එහෙයින්ම දර්ශනීය වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම මින්මතු කෙසේ සැනසෙම් ද?

18. කිඳුරාණනි, හිමවතෙහි රන්වන් වූ එහෙයින්ම දර්ශනීය වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම මින්මතු කෙසේ සැනසෙම් ද?

19. කිඳුරාණනි, හිමවතෙහි තඔවන් වූ එහෙයින්ම දර්ශනීය වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම මින්මතු කෙසේ සැනසෙම් ද?

20. කිඳුරාණනි, හිමවතෙහි දර්ශනීය වූ උස් වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම මින්මතු කෙසේ සැනසෙම් ද?

21. කිඳුරාණනි, හිමවතෙහි සුදුවන් වූ දර්ශනීය වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම මින්මතු කෙසේ සැනසෙම් ද?

22. කිඳුරාණනි, හිමවතෙහි විසිතුරු වූ දර්ශනීය වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම මින්මතු කෙසේ සැනසෙම් ද?

23. කිඳුරාණනි, හිමවතෙහි බූමාටු දෙවියන් විසින් සේවනය කරණ ලද ඖෂධවලින් ගැවසීගත්තා වූ ගන්ධමාදන පර්වතයෙහි අපි ක්‍රීඩාකොට හැසුරුණෙමු. එහි මින්මතු ඔබ නොදකින්නී වූ මම කෙසේ නම් සිත් සැනසීම කරන්නෙම්ද?

24. කිඳුරාණනි, කිඳුරන් විසින් සේවනය කරණලද ඖෂධයෙන් ගැවසුන ගන්ධමාදන පර්වතයෙහි ඔබ මින්මතු නොදකින්නී වූ මම කෙසේ සැනසෙම් ද?

මෙසේ දොළොස් ගථාවකින් වැළපී තව දුරටත් ඇය මහ බෝසතුන්ගේ පපුව පිරිමදින්නට වුනා. ඇත්තෙන්ම එය ආදරවන්තයින් සිහින මවන සුරංගනා කතාවක් වගේ. ආදරවන්තයින් නිතර සොයන සුරංගනා ලෝකයක් වගේ.

උපකාර වූ මුලාශ්‍ර

සන‍්තිකෙනිදානකථා

චන්‍දකින්නර ජාතකය

error: Content is protected !!