අපේ බුදුහාමුදුරුවෝ 411 (සන්තිකේ නිදානය)

 

ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 05

චන්‍දකින්නර ජාතකය 02

අප බුදුරජණන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය හරිම පුදුමයි. දෙවු බමුණ් යකෂයින් විතරක් නෙවෙයි අංගුලිමාල වැන්නන්ගේ සිට පටාචාරා සෝපාකලා වැනි විවිධ මානසික පීඩාවලින් සිටි අය පවා ක්‍ෂණිකව සිහි එළවීමට පමණක් නෙවෙයි සසර දුක නිමා කරන ඒ උතුම් වූ නිවන් දොරටු පවා විවර කර දිය හැකි ඤාණ සාගරයකින් යුක්තයි. ඒ මහා ඤාණ සාගරයේ ඤාණ හයක් පමණක් තියනවා සම්මා සම්බුදුවරුන්ට පමණක් අවේනික. පසේබුදුවරුන්ටවත් නැහැ එවැනි බලයක්. එයින් එකක් තමයි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය. එයින් පුද්ගල සන්තානයේ සසර පුරා වඩාගත් පංච ඉන්ද්‍රිය ධර්ම වල නිපුණත්වය පේන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඔබ දන්නා කාරණා පහ.පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම ලෙස ක්‍ෂණිකව බලගැන්විය හැක්කේ ශ්‍රී මුඛ දේශණයක් මගින් සම්මාසම්බුදු වරයෙකුට ම පමණයි. මේ වනවිටත් යසෝදරාවගේ විතරක් නෙවෙයි පැමිණි සිටි සියලු දෙනාගේ ප්‍රවීණතා දුබලතා බුදුන් වහන්සේ හඳුනාගෙන අවසන් ඇති. උන් වහන්සේගේ මිහිරි ස්වරය මිහිරි ගීතයක ස්වර පරාසය සැපයේදී දුකේදී ඒ ඒ මාත්‍රා වලට මාරුවෙන්නා සේ ඉහළ පහළ යන්නටත් ඇති. මේ මගේ මනසේ මැවෙන දේවල් ධර්ම ග්‍රන්ථයේ නැහැ. ඒත් ලියනකොට මම ඉන්නේ ඒ තුළ නිසා මෙවැනි සිතිවිලි හිතේ පහළ වෙනවා.

ඒ අතීත ප්‍රේම වෘතාන්තය අහනකොට යසෝදරාවට ඉබේටම මතකයට ආවේ මේ භවයේ විවාහය. රම්‍ය, සුරම්‍ය, සුභ, මාළිගාවල අවුරුදු දහසයෙන් ඇරඹි විවාහ ජීවිතයේ සිට අවුරුදු විසිනවය දී රාහුල කුමරු බිහි කල දින තම ආදරණීය ස්වාමිපුරුෂයාගේ අභිනිෂ්ක්‍රමණය දක්වා මේ භවයේ ගත කළ සොඳුරු කෙටි ආදරණීය දින කිහිපයයි. සංසාරේ පතාගෙන පැමිණි පෙම්වතා මුණ ගැසුණු දිනය තරම් ලස්සන දිනයක් නැහැ පින්වත් ගැහැණියෙකුට. ඔහුගේ වෙන්වීම ගැන කුමන කතාද? ඒ අවදි වූ සියලු මතකයන් ගෙනාවේ සතුටට සහ දුකට දෝරේ ගලන කඳුළු ගංගාවම තමයි යසෝදරාවන්ට. ඒ කඳුළු ගලන අතරේ බුදුපියාණන් වහන්සේ දේශණාව දිගටම කරගෙන ගියේ සසර දුකින් සදහටම මේ භාවයේදී ඇයව නිදහස් කරන බව දැනෙගෙන මෛත්‍රිය බැබලුණ දෙනෙතින්.

තම ආදරණීය සැමියාව පපුවට තුරුළු කොට නැගූ සඳ කිඳුරියගේ විලාපය හිමාලය කන්දේ හැපී දෝංකාර දුන්නා. එහෙත් පිහිටට කෙනෙක් හිටියේ නැහැ. රජ්ජුරුවන් හිතුවා කිඳුරා ස්ථිර ලෙසම මිය යන්නට ඇතියි කියා. එහෙම සිතලා සැඟවී සිටි තැනින් එළියට ආවේ මහා වීරෙයෙක් වගේ. දුනු හී අතැතිව සිටි ඔහු දුටු පමණින්ම කිඳුරියට සියල්ල වැටහී ගියා. ඉන්පසුව විය හැකි අනතුර ගැන ඇයට ඉවෙන් වගේ දැණුනා. ඔවුන් විශේෂ සත්ව කොටසක්. ඔවුනට ඇති වේගය මිනිසුන්ට නැහැ. ඇය ක්‍ෂණයකින් පර්වත මුදුනට පැන ගත්තා. පර්වතය මුදුනේ සිට රජුට ශාප කරමින් අවමන් කරමින් මේ ගාථා පහ කීවා. ඒක හරියට සසර පුරා ලුහුබැඳ එන වස් කවියක් වගේ.

5. රාජපුත්‍රය, යමෙක් දිළිඳු වූ මාගේ ප්‍රිය වූ ස්වාමියා හට වනයෙහිදී හීයෙන් විද්දේද? ඒ ඔබ පාපියෙක් වෙහිය. ඔබ විසින් (නිරායුධ) යමෙකුට විදින ලදද හෙතෙම බිම වැටි අවසන්.

6. රාජපුත්‍රය, කිඳුරා බලන්නී වූ මාගේ හදවතෙහි යම් ශෝකයක් වේද, මේ මගේ හිතෙහි හටගත් ශෝකය තොපගේ මව ලබත්වා.

7. රාජපුත්‍රය, කිඳුරා බලන්නී වූ මාගේ හදවතෙහි යම් ශෝකයක් වේද, මේ මගේ හිතෙහි හටගත් ශෝකය ඔබේ බිරිඳද ලබත්වා.

8. රාජපුත්‍රය, ඔබ මා කෙරෙහි කැමැත්තෙන් නිරපරාධී වූ කිඳුරා මැරී ද එවැනි ඔබගේ මව ඇයගේ දූදරුවන් නොදකීවා, සැමියා ද නොදකීවා!

9. රාජපුත්‍රය, ඔබ මා කෙරෙහි කැමැත්තෙන් නිරපරාධී වූ කිඳුරා මැරී ද, එවැනි ඔබගේ බිරිඳ ද දූදරුවන් නොදකීවා, සැමියාද නොදකීවා!

ඒ ගාථා පහෙන් රජුට අපහාස කොට පර්වත මුදුනේම රැඳී සිටි ඇයව අස්වසන්නටත්, ඇයගේ හිත දිනාගන්නටත් රජතුමා මෙම ගාථාව කිවා.

10. ගිනෙර මල් බඳු ඇස් ඇති ඇත්තී වූ චන්ද්‍රාවෙනි, ඔබ නොවැලපෙන්න. ශෝක නොකරන්න. ඔබ රජමාළිගයෙහි පිදුම් ලද ස්ත්‍රිය වූ මාගේ භාර්යාව වන්නේ යයි එයින් කියවුන අර්ථයයි.

(“ගිනෙර මල් ” කියන්නේ ගිරි ශිකරයන්ගේ දියසීරාව ඇති තැන් වල වැඩෙන නිල්පාට මල් ඇති පැළෑටි වර්ගයකට.)

සඳ කිඳුරිය ඔහුගේ ඒ වචන අසා ” ඔබ මේ මට කවරක් කියනවාදැයි” සිංහනාද කරමින් මේ අනතුරු ගාථාව කීවා.

11. “රාජපුත්‍රය, යමෙක් මා දිවිහිමියෙන් ආදරය කල නිරපරාධී වූ කිඳුරා නැසුවේද? මම මිය යන්නෙම් නමුත් කිසිදා තොපගේ භාර්යාව නොවන්නෙමි.”

කිඳුරිය සමග ඉහතින් වූ දෙබසත් ඇයගේ අවසන් වදන් පෙළත් ඇසීමෙන් රජතුමාගේ සිතේ ඈ කෙරෙහි ඇති වී තිබුණු රාගයත් ප්‍රේමයත් තුරන් වී ගියා. ඇයව කොහෙත්ම තමන් කෙරෙහි නම්මා ගැනීමට නොහැකි බවත් වැටහෙන්නට ඇති. අනෙක ඒ පර්වතය මතට පා තැබීමට සාමාන්‍ය මනුෂ්‍යකුට කල නොහැක්කක්. එයින් එපිට භූමිය ඍෂී වරුනට හැරෙන්නට ලෝකවාසීන් වන අපට අදෘශ්‍යමාන ලෙසයි පවසන්නේ. ඒ වගේම රජතුමාට තමන් කළ වරදත් හොඳින් දැනෙන්න ඇති කියලා හිතෙන්නේ ඔහුත් බුද්ධ ජනපදයේම පෙරුම් පුරමින් පැමිණි ශ්‍රාවකයෙක් නිසා. ඒ නිසාම තමාගේ වරදින් මේ මහා වනයක අතරමං වූ ඒ ස්ත්‍රිය පිළිබදවද ශෝකයක් හටගන්නටත් ඇති. ඇයගේ පැත්තෙන් ගතහොත් ඇයට ඇති එකම රැකවරණය ඔහු හා සරණයාම වුවත් ඇයගේ අසීමිත නිකැළැල් ආදරය සහ සහ දිවිහිමියෙන් රැකි පතිවෘතාව හමුවේ ඒ සියලු අනතුරු ඇයද අභියෝග ලෙස නොසලකන්නට ඇති. තිරිසන් යෝනියක සිටියත් පුද්ගල සන්තානයේ පතුලටම බැසගත් අධිෂ්ඨාන, පාරමිතා කිසි දිනක මොන අභියෝග හමුවේදිවත් වියැකී යන්නෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ කතාව පටන් ගන්නකොටම දේශණා කළ දේ මට මතක් වුනා. අවසානයේ රජතුමා මේ ගාථාව කියලා අපේක්ෂා රහිතවම හැරී යන්නට පිටත් වුනා.

12. තලිස් පතුරු තුවරලා අහාර කොට ජීවත්වෙන බියසුළු කිඳුරිය. ඔබ ජීවත් වනු කැමැත්තෙහි නම් හිමවතටම යන්න. තව දුරටත් මෙම අනතුරු සහිත පරිසරය තුල රැඳී නොසටින්න. වනයෙහි මෘගයෝ තනි වූ ඔබව රමණය කරනවා නියතයි.

හරිම පුදුමයි. එකම සසුනක එකට නිවන් දැකීමට පැමිණි තවත් බුද්ධ ශ්‍රාවකයෙක් මතු භවයක තමාව සසර දුකින් එතෙර කිරීමට මග පෙන්වන තම ගුරු දේවයාණන් වහන්සේගේ ලය සිදුරු කොට බිම හෙලා ඔහුගේ සංසාරික ප්‍රේමවන්තියද ඒ බියකරු වනයේ ම තනිකොට ඈතින් ඈතට නොපෙනී ගිය හැටි.

උපකාර වූ මුලාශ්‍ර

සන‍්තිකෙනිදානකථා

චන්‍දකින්නර ජාතකය

error: Content is protected !!