අපේ බුදුහාමුදුරුවෝ 413 (සන්තිකේ නිදානය)

 

ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 07

චන්‍දකින්නර ජාතකය 04

ඉමහත් ආදරෙන් බැඳුන ප්‍රේමවන්ත යුවලකට හෝ විවාහක යුවලකට තම වල්ලභයා අකාලයේ සදහටම සමුගන්නා මොහොතේ ඇතිවෙන යටපත් කළ නොහැකි වේදනාව එකිනෙකා ඔවුනොවුන් වෙනුවෙන් දැක්වූ ආදරයට සාපේක්ෂ බව කිවයුතු කරුණක් නොවන බව ඔබ හොඳින් දන්නා හෝ අත්දැකීමෙන්ම දන්නා කරුණක්. එහෙත් ඒ ආදරය අසංඛෙය්‍ය කල්ප ගණනක පටන් රැගෙන එන්නක් නම් ඒ වේදනාව කොතරම්ද, එම විලාපය කොතරම් දුර රැව් පිළිරැව් දේද යන්න ඔබටම සිතා ගැනීමට හැරීම යෝග්‍ය බව සිතනවා. එවැන්නෙකුගේ හෝ එවැන්නියකගේ විලාපය පළතුරු වට්ටි හෝ තුටුපඬුරු වලින් තොරව තම සීලය හා ආදරයේ පාරිශුද්ධ භාවයම පුදසනේ තබමින් දෙව් ඹඹුන් අවදි කරන්නට තරම් ප්‍රභල වීම චන්ද්‍ර කින්නර ජාතකයෙන් එළිදැක්වෙන තවත් විශේෂ කරුණක් කියලයි මට හිතෙන්නේ.

මෙසේ දොළොස්ගථාවකින් වැළපී තව දුරටත් ඇය මහ බෝසතුන්ගේ පපුව පිරිමදින්නට වුනා. ඇය අපරිමිත වූ ස්නේහෙයෙන් ඔහුගේ පපුව මත අත තබත්ම පපුවෙහි රස්නය ඇගේ සුමුදු හස්තයට දැනුණේ ක්ෂණිකවම සිහි එළඹීමෙන්. ඒ උණුසුම ඔහු තවමත් ජිවතුන් අතරය යන පණිවිඩය ක්‍ෂණයකින් ඇයගේ චිත්ත සන්තානයේ සටහන් කරන්නට සමත් වුනා. එවිට තව දුරටත් වැළපීම දොස්කීමට වඩා ඔහුට ජීවිතය කෙලෙසක හෝ ලබාදීම මේ අවස්ථාවේ කල යුතු ප්‍රඥාවන්තම කරුණ බව ඇයට වැටහී ගියා . කාත් කවුරුත් නැති වනයක කවුරුන්ගෙන් උදවු ඉල්ලන්නද? ඇයට දෙවියන් සිහි වුනේ එලෙසයි. අපිත් අසරණ වුන අවස්ථාවල දෙවියන්ට පවා දොස් නගන විදිහටම ඇයත් ඒ අවස්ථාවේ දෙවියන් හට දොස් නගමින් ආයාචනය කරන්නට වුනා.

“ලෝක පාලක දෙවියෝ නැතිද? නැතිනම් වෙනත් තැනක වාසයට ගියාද? එසේත් නැතිනම් මළාද? ඔබලා අසරණ වූ මගේ සැමියාව රැකගන්නට උදවු කරන්නේ නැද්ද?” යනුවෙන් දෙවියන්ට උජ්ඣායනය (දොස් පැවරීම) කරනු ලැබුවා. ඒ මහත් වූ ශෝකය, ආදරය, ශීලය සහ පාරමිතා ශක්තිය හේතුකොටගෙන සක්දෙවිඳුගේ ආසනය උණුවන්නට වැඩිවෙලාවක් ගතවුණේ නැහැ. ඒ කවර හේතුවෙන් දැයි විමසන විට තව සුළු මොහොතකින් අවසන් හුස්ම පොද හෙලන බෝසතාණන් වහන්සේත් ඔහුව උකුළ මත තබාගෙන ශෝකයෙන් විලාප නගන කිඳුරියත් දකින්නට වුනා. නිමේශයකින් ශක්දෙවු රජු බ්‍රාහ්මණයෙකුගේ වේශයක් මවා ගනිමින් ඇය ඉදිරියට පැමිණ අතෙහි වූ රන් කෙණ්ඩියෙන් බෝසතුන්ගේ වතට පැන් වත්කරනු ලැබුවා. ඒ ක්‍ෂණයකින්ම විෂ අතුරුදන් වුනා. සිදුරු වූ තුවාලය බලා සිටිද්දීම වැඩී සිදුර වැසී ගියා. මෙතැනටයි හී පහර වැදුනේ කියාවත් පෙන්නන්නට තැනක් ඉතිරි වුයේ නැහැ. සඳ කිඳුරා සුවපත් වී නින්දෙන් පිබිදි ලෙසින් නැගී සිටියා. ඇයට සිතේ හටගත් අපමණ සතුට වචනයකට නගන්නේ කෙළෙසද? ඔහුව ආදරයෙන් වැළඳගත් කිඳුරිය ඉන්පසු මහා සොම්නසින් ශක්‍ර දේවයාණන්ගේ පා නමදින්න මෙම ගාථාව කියනු ලැබුවා.

25. උතුම් බමුණාණෙනි, ඔබ අසරණ වූ මාගේ ප්‍රිය සැමියා හට අමා දිය ඉසීමෙන් සුවපත් කළේද, ඒ හෙයින්ම මා හට යළිදු ඒ ලොවෙහි අතිශයින් ප්‍රිය කල ආදරණීය සැමියා හා සමග එක්වීමට අවස්ථාව ලදිමි. එවැනි උතුම් සත්පුරුෂයකු වූ ඔබගේ පාද නමදිමි.

එදවස ඇයගේ මෙන්ම මෙදවස යසොදරවගේත් දෑස යළිදු තෙත් වුනේ සතුටට. ඇයගේ විඩාපත් වූ හදවතට දැනුණේ සහනයක් විතරක් නෙවෙයි. ගාම්භීරත්වයක් අභිමානයක්, වගේම මහා පෞරුෂත්වයක්. එය මම හිතන්නේ අරහත්වය ට පැමිණි දින තෙක්ම ඇයව සොම්නසින් ජීවත් කරවන්නට මහෝපකාරී වන්නට ඇති.

ඉන්පසු ශක්‍ර දේව රාජෝත්තමයාණන් වහන්සේ ඔවුන්හට අවවාද දෙන්නට වුනා. ඒ මින් මතු චන්ද්‍ර පර්වතයෙන් බැස මිනිස් පියසට නොඑන ලෙසයි. එලෙස අවවාද කොට සක් දෙවිදුන්ද දෙව්ලොවට ආපසු ගියා. චන්ද්‍රාව ආදරයෙන් ඔහුට තුරුල් වෙන්නට ඇති. හීය විසින් සිදුරු කරන ලද ලය පෙදෙස සුරතින් පිරිමදින්නට ඇති. ඇයගේ සුරත මත බොසතාණන් වහන්සේගේ සුරතද රැඳෙන්න ඇති. “ඇති” යන්නෙන් අවසන්වන අවිනිශ්චිත වාක්‍යය සියල්ල මගේ හිතේ මැවෙන චිත්‍ර අනුසාරයෙන් ලියවෙනදේ. ඒ තවමත් මම ලෝකෝත්තර භූමියට අවතීර්ණ නොවුන නිසා වෙන්න ඇති. ඔබ අවශ්‍ය කරුණු විතරක් ගන්න. ඇය තව දුරටත් කනට කොඳුරමින් ඔහුට මෙසේ ආදරයෙන් පවසනු ලැබුවා.

“ස්වාමීනි. ඒ උත්තමයා කී පරිදී අපි තව දුරටත් මේ අනතුරු සහිත පරිසරයේ රැඳී සිටීම සුදුසු නැහැ. එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? අපි චන්ද්‍ර පර්වතයට යමු.” එසේ පවසමින් මේ අවසාන ගාථාව කියන්නට වුනා.

26. දැන් අපි මලින් ගැවසුන, දියපහර ඇති උතුම් පර්වත නදීවල නොයෙක් ගස්වල අතුවලින් කරණලද වස්ත්‍ර පළදමින් ඔවුනොවුන්ට ප්‍රිය වූ වචන කියමින් හැසිරෙමු යන්න එහි අරුතයි.

ඔවුන් දෙදනා නැවතත් මහත් වූ ප්‍රේමයෙන් සුරත් පටලා ඒ චන්ද්‍ර පර්වතය මතට නැග ඒ සුන්දර පරිසරය මත සැඟවී ගියා.

ශාස්තෘන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා, “දැන් පමණක් නොවේ මැය පෙරද මා පිළිබඳව බැඳුන සිත් ඇතිව අනෙකෙකු විසින් පාවාගත නොහැකි වුවාම යැයි” වදාරා ජාතකය ගළපා වදාරන්නට වුනා. ඒ දවස රජු අනුරුද්ධ හිමි වුනා. චන්ද්‍රව නොහොත් සඳ කිඳුරිය රාහුල මාතාව නොහොත් මේ යසෝදරාවම වුනා. සඳ කිඳුරා වනාහි මම වන්නෙමි” යනුවෙන් මෙලෙස ඒ අති රමණීය වූත් ආදර්ශමත් වූත් ජාතක කතාව දේශනා කොට වදාරනු ලැබුවේ මහා දුක් ගංගාවකගේ ගමන යම් පමණකට හෝ නිමාකොට, සතුට සොම්නස පමණක් නොව අති උතුම් පතිනියක්, බෝසත් බිරිදක්, බෝසත් දියණියක්, බෝසත් ස්ත්‍රියක් වූ ඇය කෙරෙහි ගෞරවය ඇයට පමණක් නොව අන් අයටද ඇතිවන අයුරින් නිමා කරමින්. .

උපකාර වූ මුලාශ්‍ර

සන‍්තිකෙනිදානකථා

චන්‍දකින්නර ජාතකය

error: Content is protected !!