අපේ බුදුහාමුදුරුවෝ 329 (සන්තිකේ නිධානය)

 

අති සුන්දර මෙන්ම බොහෝ අතීත බුදුවරුන් විසූ රජගනුවර

අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙර කී පරිදී බුද්ධත්වයෙන් පසු තම ඥාතී වර්ගයා දැකීමටත් පෙර ශ්‍රී ලංකා භූමියට වැඩම කරනු ලැබුවේ අධිෂ්ඨාන පූර්වක බලාපොරොත්තුවකින් වෙන්නට ඇති. බුදුවරුන්ගේ අධිෂ්ඨාන කිසිදා බල රහිත වන්දේ නෙවෙයි. ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බැඳීම මිත්‍රත්වය ඈත අතීතයේ සිටම පැවති බව මෙයින් පෙනෙනවා. මහියංගන භුමියේ කරන ලැබු ඒ මහා පෙළහරෙන් පසු අපේ බුදුහාමුදුරුවෝ කෙලින්ම නැවත පෙරළා වැඩියේ උරුවෙල් දනව්වුවට.

ඒ වනවිටත් දහසක් පමන වූ රහතන් වහන්සේලා මග බලාගෙන සිටියේ ධර්මප්‍රචාරක කටයුතු සඳහා නික්ම යාමට. ඒත් ඒ මෙවර යසකුලපුත්‍රයා ඇතුළු පිරිස නික්ම ගිය අයුරින් නෙවෙයි. ඔවුනට වඩින්න නියමිතව තිබුනේ භාග්‍යවතුන් වහන්සේත් සමග කපිල වස්තු පුරය වෙත ශුද්ධෝධන රජු යසෝදරාව ඇතුළු මාන්නක්කාර ශාක්‍යයන් හමුවීමට. එහෙත් ඊට පෙර බිම්බිසාර රජතුමාට වූ පොරොන්දුව අනුව රජගහනුවරට වඩින්නට තීරණය වුනා.

රජගහ නුවර

මගධ රටෙහි බුද්‍ධ කාලයේ දී ම බුදුසස්න බෙහෙවින් පැතිර ගියා. උතුරෙන් ගංගා නදිය ද, නැඟෙනහිරින් චම්පා නදිය ද, නිරිතෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝනා නදිය ද යන මොහු මගධ ජනපදයේ සීමාවෝ යි. රජගහ පුරය මගධ රට අගනුවර යි. මෙය ගංගා නදියට දකුණෙන් යොදුන් 5 ක් පමණ ඈතින් පිහටලා තිබුනා. මෙය පූර්ව කාලයෙහි වසූමතී යන නාමයෙනුත් හඳුන්වා තිබෙනවා. එයට හේතුව වසූ නම් රජකු විසින් මෙය ඉදිකිරීම යැයි කියනවා. මෙය නගරයක් හැටියට විශාල ලෙස නිම කෙළේ මහාගෝවින්ද පඬිතුමා යි. මෙයට මාගධ පුර, ගිරිව්‍රජ පුර යන තවත් නම් දෙකක් ද තිබුනා. බුද්‍ධ කාලයෙහි මෙයට රාජගෘහ, මගධයන්ගේ ගිරිව්‍රජ පුර යන නම් වලින්ද ව්‍යහාර වුණා. රජගහ නුවර පැවතුනේ පර්වත ගනනාවක් වටකරගෙන හරියටම ගාලක් වටේ බැඳි වැටක් වගේ. රජගහ නුවර හාත්පස වේහාර, වේපුල්ල, ගිජඣකූට, ඉසිගිළි, පාණ්ඩව යන පර්වත පස පිහිටා සිටියා. මේ පර්වත පසේ නම් හින්දු ග්‍රන්ථයන් හි වෛභාරගිරි, විපුලගිරි, වරාහගිරි, වෘෂභගිරි, සෘෂිගිරි යැයි සඳහන් වනවා. ඉතා පූර්වයේ සිට මහ රජුනට නිවාස වූ බැවින් මෙයට රාජගෘහ යන නමින් හඳුන්වනවා. “මගධානං ගිරිඛ්ඛජං” යන්නෙන් මගධ ජනපදයේ ගිරිව්‍රජ යැ යි පාළි පොත්හි සඳහන් වනවා.

ගිජුකුළු පව්වෙහි වූ ආවාස හැරැ රජගහ නුවර වටා පිහිටි සෙසු පර්වතවලත් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක ගණයාත් විසූ තැන් වුනා. ඉන් සමහරෙක් නම් : චෝරපපාතය, ඉසිගිළි පර්වත පාර්ශවයෙහි වූ කාළසිලාව, වේහාර පර්වත පාර්ශවයෙහි වූ සත්තපණ්ණිගුහාව, ශිතවන (සීවක වන) නම් මිනී පිට්ටනිය සමීපයෙහි වූ සප්පසොණ්ඩික පබ්භාරය, ගෝතම කන්දරය, තින්දුක ගුහාව, තපෝද කන්දරය, තපෝදාරාමය, ඉන්දසාල ගුහාව, පිප්පලි ගුහාව යන මේවායි. මින් තපෝදාරාමය වූයේ උණුදිය උල්පතක් සමීපයේ. තපෝදා යනු උණු දිය උල්පතට තවත් නමක්. දැනුදු මේ උණු දිය උල්පත එහි තියෙනවා. පසුකාලයේ ඉන්දසාල ගුහායේ දී භාග්‍යවතුන් වහන්සේ සක්කපඤ්හ සූත්තය දේශනා කරනු ලැබුවා. නගරයෙන් පිටත කැලෑවල ද අරණ්‍ය කුටිකාවන්හි භික්ෂූහු වාසය කරනු ලැබුවා. .

ගයාව අසලැ කඳුවලට මැදි වූ දැන් රාජගිර් යන නමින් ව්‍යවහාර වන භූමියෙහි පුරාණ රජගහ නුවර පැතිර පැවතියා. රජගහ පුරයේ සිට කපිලවාස්තු පුරයට දුර යොදුන් 60 කක් වුනා. මෙහි සිට විසාලා පුරයට ගංගා නදිය පසු කැරැ යෑ යුතු වුනා. ගංගා නදියට මේ නුවර සිට යොදුන් 5ක් ද, ගංගා නදියේ සිටැ වෛශාලි පුරයට යොදුන් 3ක් ද දුර ප්‍රමාණය වූ බැවින් වෛශාලි පුරය රජගහ සිටැ යොදුන් 8 ක් ඈත්හි වූ බව පෙනෙනවා. රජගහ පුරයෙන් අනෝමා ගං තෙරට දුර යොදුන් 30ක් පමණ වනවා.. රජගහ පුර සමීපයේ තල්වනය, වේළුවනාරාමය, ශීලවනය, මද්දකුච්ඡි මිගදාය, ජීවකම්බවනය, මෝරනිවාපය, ලට්ඨිවනය යන ස්ථාන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ප්‍රදේශ. මෙහි ගිරිකුළුපව්ව මුදුනට එහි පාමුලැ සිට පහසුවෙන් යා හැකි මාර්ගයක් බිම්බිසාර රජහු විසින් කරවලා තිබුනා.

මෙම නගරයෙහි තවත් විශේෂත්වයක් තිබුනා. රජගහ නුවර පුරාණ බුදුවරුන් විසූ කාලයෙහි ද චක්‍රවර්ති රජවරු විසූ කාලයෙහිද මෙවැනිම ජනාකීර්ණ සුප්‍රසිද්ධ නගරයක් බවට වුනා. සෙසු කාලයන්හි ජන ශුන්‍ය නගරයක් බවට පත්වුණා. ඒ කාලයේ මෙම නගරය යක්ෂයන් විසින් අරක්ගන්නා ලදැයි ද ඔවුන් වාසය කරන වනයක් ව පවතින බවද සාමඤ්ඤඵල සුත්‍ර වර්ණනාවෙහි කියවෙනවා.

ඉතින් එදා දුරුතු මැදි පෝදා. අපේ බුදුහාමුදුරුවෝ පුරාණ ජටිල භික්‍ෂූන් කැටුව උරුවෙල් දනව්වෙන් නික්මුණා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම රජගහනුවර බිම්බිසාර රජුගේ මාලිගාවට වැඩියේ නැහැ. ඒ වෙනුවට උන් වහන්සේ රජගහ පුරයට තුන් ගව්වකට ඈත් හි වූ තල් වනයට පැමිණ, එහි නුග රුක්මුල හිඳ ගනු ලැබුවේ වෙහෙස නිසාම වෙන්නට ඇති. තල්වනයෙහි මේ නුගරුක එකල මිනිසුන් දෙවියන් පුදන දේවලයක්ව පැවති බවත් කියනවා.

උපකාර වූ මුලාශ්‍ර –

සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාව, පබ‍්බජ‍්ජා සුත‍්තවණ‍්ණනා ඛුද‍්දකනිකාය

බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනාහිමිපාණන් විසින් රචිත ගෞතම බුද්ධ චරිතය

error: Content is protected !!