අපේ බුදුහාමුදුරුවෝ 328 (සන්තිකේ නිධානය)
බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය
මෙලෙස ඒ යක්ෂ සමාගමට භාග්‍යවතුන් වහන්සේ විසින් ගිරිදිවයිනෙහි ඉඩකඩ ලබාදීම නිසා අපේ මේ පුංචි දිවයින තවත් මහා උවදුරකින් බුදුවරයෙක් විසින්ම බේරාගනු ලැබුවා පමණක් නෙවෙයි අද වනතුරුම ඒ ආරක්ෂාව එලෙසම පවතිනවා. තවමත් භාග්‍යවතුන් වහන්සේ විසින් එලාගත් පත්කඩේන් ගිනිදාරා දසත නික්මෙනවා. ඒ ගින්දැල් කොතරම් ප්‍රබලද දිප්තිමත්ද කිවොතින් ඉරවල් හතක් පායල වගේ. ඒ නිසාම යක්ෂයන්ට තබා දෙවිවරුනටවත් කිට්ටුවට ඒමට අවස්ථාවක් බලයක් නැහැ. සියල්ල සංසිදුනු පසු භාග්‍යවතුන් වහන්සේ විසින් පත්කඩ යලිත් හකුලනු ලැබුවා. ඒ සැණින්ම මහා ගිණිදැල් ක්ෂණිකව නිවී ගියා. ඒ මොහොත උදාවෙනතෙක් බලා සිටි දෙවිඹබුන් ඇතුළු දේවතාවුන් වහන්සේලා මහා සාදුකාර පවත්වමින් උන්වහන්සේ ව වටකරගත්තා. ඉන්පස්සේ බුදුපියාණන් වහන්සේ ඔවුනට ධර්මය දේශනා කරනු ලැබුවා. ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයින් එයින් මගඵල නිවන් අවබෝධ කරගත් බව පවසනවා. අප්‍රමාණ සත්වයෝ තිසරණයේ පිහිටියා කියනවා.
ඒ අය අතර අපේ රටට අයත් වූ තවත් සුවිශේෂී දෙවරාජයෙකු වැඩ සිටියා. ඒ තමයි සමන්තකූඨ පර්වතයට අධිපතිව වැඩසිටි සුමන දිව්‍යරාජයා. දර්මය ඇසීමෙන් අනතුරුව උන්වහන්සේත් සෝවාන් ඵලයට පත්වෙලයි සිටියේ. උන්වහන්සේ අප සැවොම වෙනුවෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි වැඳ පුදා ගැනීමට පූජා පැවැත්වීමට යම් පුජනීය වස්තුවක් ඉල්ලා සිටීම. ඒ අවස්ථාවෙහි සත්වයන් කෙරෙහි හිත වූ නීල නිමල කේශවත් වූ සර්වඥතෙම හිස පිරිමැද මහා සුමන දෙවියන්ට නිලවරණ වූ කේශධාතු මිටක් ප්‍රදානය කොට වදාළා.
ඒ දිව්‍යරාජයන් වහන්සේ ස්වර්ණමය වූ උතුම් කරඩුවකින් ඒ කේශධාතුන් ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා.
මේ කියන්නට යන්නේ පසුකලෙක වූ කතා කෙටියෙන්. ඒ කියන්නේ මහියංගන චෛත්‍ය මේදක්වා විකාශනය වූ ආකාරයයි. ඉන්පස්සේ සර්වඥයන් වහන්සේ වැඩහුන් භූමියේ නා නා විධ මැණික් අතුරා, ඒ මත ධාතූන් වහන්සේලා සහිත කරඬුව වඩා හිඳුවා ඉන්ද්‍රනීල මාණික්‍ය වලින් ඒ සියල්ල වැසෙන පරිදි සත් රියනක් උස දාගැබක් ඉදිකරනු ලැබුවේත් ඒ සුමන සමන් දිව්‍ය රාජයා විසින්මයි. ඒ තමයි ලක් දෙරණේ ඉදි වූ පළමු දා ගැබ වන්නේ.
”සර්වඥයන් වහන්සේ පිරිනිවි පසු ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහත් ඍද්ධි ඇති සරභූ නම් ස්ථවිර තෙම දර සෑයෙන් සර්වඥග්‍රීවාස්ථි ධාතුව සෑයෙන් රැගෙන මෙහි ගෙනවුත් එම චෛත්‍යයෙහි තබා භික්ෂූන් විසින් පිරිවරාගෙන මේදෝණ පාෂාණයෙන් වස් දොළොස් රියන් උස දා ගැබක් කරවනු ලැබුවා. .
ඉන්පසුව දෙවනපෑතිස් මහරජාණෝ සහෝදර උද්ධ චූලාභය නම් කුමාරතෙම අද්භූත වූ ඒ චෛත්‍යය දැක වස්වා තිස් රියන් උස් වූ චෛත්‍යයක් කරවී ය. එහි සිට දුටුගැමුණු රජතෙම ඒ චෛත්‍ය මැදිකොට අසූ රියන් කක චෛත්‍යයක් කරවීය. ඒ මේ මහියංගන ථූපයතෙම මෙසේ පිහිටිය කියනවා; . නිර්වාකාර ප්‍රඥා සම්පන්න මහත් වීර පරාක්‍රම ඇති ධර්මයට ඊශ්වර වූ සර්වඥයන් වහන්සේ මෙසේ මේ ද්වීපය මනුෂ්‍යයන්ට යෝග්‍ය කොට උරුවෙල් දනව්වට වැඩම කරනු ලැබුවා.
උපකාර වූ මුලාශ්‍ර – මහාවංශය,, සමන්තකුට වර්ණනාව