අපේ බුදුහාමුදුරුවෝ 330 (සන්තිකේ නිධානය)

 

රජගහ නුවර බුදුන් වැඩ සිටි තල්වනය සහ වැල්මී වනය

ඉතින් මින් පෙර කි පරිදී අපේ භාග්‍යවතුන් වහන්සේ ගයාසීසයෙහි කැමැති තාක් වැඩ වාසය කොට පුරාණජටිලයන් වූ භික්‍ෂූන් දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා ද සමග රජගහනුවර බලා වැඩියා. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණසේක් රජගහනුවරට වැඩ එහි රජගහනුවර සමීපයෙහි වූ වැල්මීලිය වැලඳගත් තල්උයනෙහි සුප්පතිට්ඨචේතිය නම් නුගරුක්මුල වෙත වැඩම කරනු ලැබුවා. සුප්පතිට්ඨචේතිය කියන්නේ හරියටම චෛත්‍යක් බඳු මිනිසුන්ගේ ගරුබුහුමනට ලක්වුණු යන්නයි. ඉතින් ඒ නුග රුකත් ඒ වගේම මොනයම් හෝ හේතුවක් නිසා හරියටම අපේ ශ්‍රී මහා බෝධිය වගේ මිනිසුන්ගේ ගෞරවයට වන්දනාවට පාත්‍රවුණු එකල තිබුණු සුවිශේෂී නුගරුකක්.

මට මෙහිදී ප්‍රශ්නයක් පැනනැගුණා. බලංගොඩ අනන්දමයිත්‍රිය මහනායක හාමුදුරුවෝ බුද්ධ චරිතය පොතේ ලියලා තියෙන්නේ තල්වනයට වැඩියා කියලා. එහෙත් බුද්දවංශ අට්ටකතාව සහ ජාතක අට්ටකතාවෙහි සඳහන් වෙන්නේ වැල්මී වනයට වැඩියා කියලා. අපේ මහනායක හාමුදුරුවෝ වැරදි දෙයක් ලියන්නෙත් නැහැ. ඒත් මුලාශ්‍රයක් නැතිව මට ලියන්නත් බැහැ. ඉතින් මම කතා කළා උන්වහන්සේගේ ගෝල ශිෂ්‍ය රත්නයක් වන අපේ මිස්සක කමලසිරි හිමිපාණන් වහන්සේට. උන්වහන්සේත් ඉතාමත් කාර්යය භාහුල වුනත් ඇසු සැණින්ම ඒ අවශ්‍යතාවය නිහතමානීව ඉටුකරදෙන අපේ භාග්‍යට ලැබුන ඉතාමත් වටිනා කල්‍යනමිත්‍ර හිමිනමක්. උන්වහ්නේ ඒ ප්‍රශ්ණයට විසදුම විනය පිටකයේ මහාවග්ග පාළියේ මහාකන්දකයේ උරුවෙල් පෙළහරින් සොයලා දුන්නා. ඔබටත් යම් දිනෙක වැදගත්වේවි කියලා සිතලා මෙහි සඳහන් කරන්නට සිතුනා. එහි තිබුනේ “වැල්මී වැල් වැළඳගත් තල්උයනෙහි” කියලා. ඒ චේදය කියවපු සැණින් මට සියල්ල වැටහුනත් එය උන්වහන්සේ විස්තර කල අයුරු ඉතාමත් ප්‍රායෝගිකයි.

මහත්තයෝ තල් වනයක් කීවට ඒ තල්ගස් වවපු විශාල භුමි පෙදෙසක්. සෑම තල්ගසකම වෙලී හරියටම අතුරු භෝගයක් වගේ වැල්මී ගසකුත් තිබුණා. ඒ ප්‍රදේශයට තල්ගස් වනය වගේම වැල්මී වනය කීවෙත් ගස්වර්ග දෙකම එක සමානව තිබූ නිසා කියලා පෙනී යනවා. එහෙත් නුග ගහක් එතනට අවේ බොහෝ විට නුග ගසක් ආරම්භ වන්නේ වෙනයම් ගසක් මත සිට පොළව දෙසට මුල් යාමෙන් නිසා. ඉතින් සමහරවිට ඒ නුගගසත් ඇතිවෙන්න ඇත්තේ තල ගසක් මත එහි ආධාරයෙන්. එතකොට තල්වනයේ සහ වැල්මී වනයේ කතාව ඔහොමයි.

ඉන්පස්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තුමාගේ රාජ්‍යයහි ජනීජනයා අතර මහා කීර්ති රාවයක් මෙලෙස හටගෙන පැතිර යමින් කනින් කණ ගොස් රජුගේ සවනත දක්වාම පැතිර ගියා.

“ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ භවත් ශ්‍රමණගෞතමයන් වහන්සේ රජගහනුවරට පැමිණ තල්උයනෙහි සුප්පතිට්ඨචේතිය නම් වූ නුගරුක්මුල්හි වාසය කරණසේක. ගෞතමගෝත්‍රයෙහි උපන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ කලණ වූ කීර්තිඝොෂාච උස් ව නැංගේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්‍හත් වනසේක. මේ කාරණයෙන් සම්‍යක්සම්බුද්ධ වන සේක. මේ කාරණයෙන් අෂ්ටවිද්‍යායෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත වන සේක. මේ කාරණයෙන් යහපත් ගමන් ඇති සේක. මේ කාරණයෙන් තුන්ලොව දත් සේක. මේ කාරණයෙන් නිරුත්තර වූ පුරුෂයන් දමනය කිරීමෙහි සාරථී වන සේක. මේ කාරණයෙන් දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක. මේ කාරණයෙන් බුද්ධ වන සේක. මේ කාරණයෙන් භාග්‍යවත් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. මුල මැද අග යහපත් වූ අරුත් සහිත වූ බ්‍යඤ්ජන සහිත වූ හාත්පසින් සම්පූර්‍ණ වූ ධර්‍මය දේශනා කරණ සේක. පිරිසිදු වූ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය වදාරණ සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි රජ තුමාටත් රාජ රාජ අමාත්‍යවරුන්ටත් අසන්නට ලැබුණා .

ඒ ඇසූ සැණින්ම මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතුමා මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියන් විසින් පිරිවරණ ලදුව භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණිය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ උන්වහන්සේ අසලින් අසුන්ගත්තා. ඒ මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියෝ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමිචියේ යෙදුනා. සතුටු විය යුතු සිත් ඇලවිය යුතු කතා කොට නිමවා පසෙකින් සිටියා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හුන් දිසාවට ගෞරවයෙන් ඇඳිලි බැඳ පසෙකට වුණා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම්ගොත් අස්වා පසෙක රැඳී විටියා. ඇතැම් කෙනෙක් නිශ්ශබ්දවම පසෙක සිට වැඳගෙන සිටියා.

උපකාර වූ මුලාශ්‍ර – විනය පිටකය – මහාකන්දකය – සිවුවන බණවර

error: Content is protected !!