අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)233

 

ෂට් අසාධාරණ ඤාණ 12

අසිරිමත් බුදුගුණ වරුණ 27

මහාකරුණා සමාපත්ති ඤාණය 05

ජරාපාකාරපරික්ඛිත්තෝ ලෝකසන්නිවාසෝ…..

ලෝක සත්වයා “ජරා නැමති පවුරකින් (ප්‍රාකාරයකන්) වටවෙලා වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“මච්චුපාසේන පරික්ඛිත්තෝ ලෝකසන්නිවාසෝ…..

මේ ලෝක සත්වයා මරණය නැමති මහා පසකයකට බැඳී වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“මහාබන්ධනබධෝ ලෝකසන්නිවාසෝ රාගබන්ධනේන්න, දෝසබන්ධනේන්න, මෝහබන්ධවෙන්න, මානබන්ධනේන්න, දිට්ඨිබන්ධනේන්න, කිලේස බන්ධනේන්න, දුචරිත බන්ධනේන්න.

මේ ලෝක සත්වයා, 1..රාග බන්ධනයෙන්, 2. දෝස බන්ධනයෙන්, 3. මෝහ බන්ධනයෙන්, 4. මාන බන්ධනයෙන්, 5. දෘෂ්ටි බන්ධනයෙන්, 6. ක්ලේශ බන්ධනයෙන්, 7. දුශ්චරිත බන්ධනයෙන් කියන බැඳුම් හතකින් බැඳීන්ගෙන වාසය කරනවා. මේ බැඳුම් ලිහන්නට මා හැර වෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවට සමවදිනව

“මහාසම්බාධපටිපන්නෝ ලෝකසන්නිවාසෝ…..

මේ ලෝක සත්වයා මහා සම්බාධයකට පත් වී වාසය කරනවා.

“මහාපළිබෝධේන පළිබුද්ධෝ ලෝකසන්නිවාසෝ….

මේ ලෝක සත්වයා මහා පලිබෝධයකින් වෙලාගෙන වාසය කරනවා.

“මහාපපාතේ පතිතෝ ලෝකසන්නිවාසෝ…..

මේ ලෝක සත්වයා මහා සංසාර ප්‍රපාතයක වැටීගෙන වාසය කරනවා.

මහා කන්තාරපටිපන්නෝ ලෝකසන්නිවාසෝ…..

 මේ ලෝක සත්වයා “මහා කාන්තාරයක වැටීගෙන වාසය කරනවා.

“මහාසංසාර පටිපන්නෝ ලෝකසනිවාසෝ…..

සංසාර විදුගයක මේ ලෝක සත්වයා එහා මෙහා පෙරලී පෙරලී වාසය කරනවා.

“මහාපළිපේ පළිපන්නෝ ලෝකසන්නිවාසෝ…..

මේ ලෝක සත්වයා සංසාරයේ කෙලෙස් නැමති මහා මඩ ගොහොරුවක එරීන්ගෙන වාසය කරනවා. මේ ලෝක සත්වයාහට මා හැර වෙන පිහිට වෙන්නට සමතෙක් නෑ නේන්ද? කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සම වදිනව.

“අබිභහතෝ ලෝකසන්නිවාසෝ……

මේ ලෝක සත්වයා ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් අභිභවනය වී මැඩීගෙන වාසය කරනවා. මොවුනට පිහිට වෙන්න මාහැර වෙන කෙනෙක් නෑ කියා මහා කරුණා සමාපත්තියට සම වදිනව.

ආදිත්තෝ ලෝකසන්නිවාසෝ රාගග්ගිනා, දෝසග්ගිනා, මොහග්ගිනා, ජාතියා, ජරා, මරණෙන්, සෝකේහි, පරික්වෙහි, පරිදේවේහි, දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි, තස්ස නත්තඤෙඤෝ කෝච් නිබ්බාපේතා අඤ්ඤත්‍ර මයාති …

මේ ලෝක සත්වයා, එකොළොස් මහා ගින්නකින් දැවීගෙන. වාසය කරනවා. 1. රාග ගින්නෙන්, 2. දෝස ගින්නෙන්, 3. මෝහ ගින්නෙන්, 4. ජාති ගින්නෙන්, 5. ජරා ගින්නෙන්, 6.මරණ ගින්නෙන්, 7. සෝක 8. පරිදේව, 9. දුක්ඛ 10. දෝමනස්ස, 11. උපායාස කියන ගිනි එකොළහකින් දිවා රාත්‍රී දෙකේ නිරන්තරයෙන් දැවී දැවී වාසය කරනවා. මේ මහා දුක් ගින්දරෙන් දැවෙන්නා වූ කෙලෙස් ගින්නෙන් දැවෙන්නා වූ මොවුනට නිවීමක්, සිසිලසක් සලසා දෙන්නට මා හැර වෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවට සමවදිනව.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ නිද්දේශය .

error: Content is protected !!