අපේ බුදුහාමුදුරුවෝ 118.

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 13

තෙවැනි වරටත් මහපොළව කම්පා කරමින් දෙනු ලැබූ මහා සත්තසතික දානය.

ඵුසති දේවියගේ විලාප හඩ අසා සංජයගේ රජුගේ සියලු අන්තපුර ස්ත්‍රීන් වෙස්සන්තර කුමරුගේ මාළිගාවට රැස්ව වැළපෙන්නට වුණා. ඔවුන්ගේ වැළපීම් හඩ අසා වෙස්සන්තර කුමරුගේ මාලිගාවේ සිටි ස්ත්‍රීන්ද එසේම හඬන්නට වුණා. මෙසේ රජපවුල් දෙකෙහිම පිරිස් යථා ස්වභාවයෙන් සිටින්නට නොහැකිව වාත වේගයෙන් පීඩාවට පත්වූ ශාලාවක් මෙන් බිම වැටී හඬන්නට වුණා. පනස් හැටදහසක් පමණ පිරිසක් එලෙස විලාප නගද්දී රජ මාළිගාව කෙලෙස තිබෙන්නට ඇතිද? ඒ පිළිබඳව තවදුරටත් අප මහා බුදුපියාණන් වහන්සේ මෙලෙස විස්තර කරනවා.

මහණෙනි, ඇගේ වැළපීම අසා රැස්වූ අන්තඃපුරයේ බොහෝ සිවි කන්‍යාවෝ හිස අත්බැදගෙන හැඬුවා. වෙස්සන්තර මාලිගයේ අඹුදරුවෝද සොවින් මඩනා ලදුව ඇළලී ගිය සල්වනයක සල්ගස් මෙන් බිම ඇද වැටුණා. වෙස්සන්තර මාලිගාවේ අන්තඃපුරයේ ස්ත්‍රීහුද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද හිස අත්බැදගෙන වැළපෙන්නට වුණා. වෙස්සන්තර මාලිගාවේ අසරුවෝ ද ඇත්ගොව්වෝ ද රියදුරෝ ද පාබළ සෙනග ද හිසෙහි අත් බැදගෙන හඬන්නට වුණා. මෙලෙස උසුලාගත් නොහැකි දුකෙන් හඬමින් රජ පවුල් දෙකේම කිසිවෙක් යථා ස්වභාවයෙන් සිටින්නට නොහැක්කාහු වාතවේගයෙන් මඩිනා ලද ශාලාවක් මෙන් වැටී පෙරළී තව තවත් හඬන්නටත් ශෝකවන්නටත් වුණා. මෙලෙස එදා රාත්‍රිය මහා කඳුළු වර්ෂාවක් මැද පහන්වෙන්නට වුණා.

එලෙස මාළිගාව තුල මහත් වූ වියෝවක හඬ රැව් පිළිරැව් දෙද්දී මාලිගාවෙන් පිටත මහා සත්තසතික දානය සැකෙසෙමින් තිබුණා. ඒ රාත්‍රිය ඉක්මයාමෙන් හිරු උදාවු කල්හි දානය සංවිධානය කරන්නවුන් විසින් දානය සූදානම් යැයි වෙස්සන්තර රජුට දන්වා සිටියා. ඉක්බිති වෙසතුරු රජු උදෑසනම නා නා සියලු අලංකාරයන්ගෙන් සැරසී මහා රසපිරි බොජුන් වළදා මහජනයා පිරිවරාගෙන සත්තසතික මහා දානය දෙන්නට දානශාලාවට පැමිණියා. එහි ගොස් හැටදහසක් වූ තම ඇමතියන් අමතා මෙසේ පැවසුවා. මත්පැන් දීම නිෂ්ඵලයයි මම දනිමි. එසේ ඇතිකල්හිත් සුරසොඩෝහු දාන ශාලාවට ගොස් දාන ගෙදරදී සුරාව ලැබුනේ නැතැයි කියන්නට ඉඩ නොතබා සුරාව දෙන්න. දුප්පත් ජනයා අතර කිසිම එක යාචකයෙකුට හෝ කරදර නොකරන්න. මා විසින් පුදනු ලැබ යම්සේ මට ස්තුති කරත්ද එලෙසම ඔවුනටත් ස්තුති කරන්න.

මෙසේ ඔහු ස්වර්ණ අලංකාරයෙන් ඇති රන්දැලින් ගැවසීගත් ඇතුන් සත්සියයක් එබදු ලෙසම අශ්වයන් සත්සියයක් සිංහ සම් ආදියෙන් ආවරණය වූ නොයෙක් රත්නයන්ගෙන් විසිතුරු කළ ස්වර්ණ ධජ යෙදු රථ හත්සියයක් සියළු අලංකාරයන්ගෙන් යුක්ත උතුම් රූප සම්පන්න ක්‍ෂත්‍රීය කන්‍යාවන් ඇතුළු කාන්තාවන් සත්සියයක්ද දෙනුන් සත්සියයක්ද මානව හික්මුණු කීකරු දාසීන් සත්සියයක්ද එසේම දාසයන් සත්සියයක්ද අප්‍රමාණ වූ ආහාරපානාදිය ද සහිත සත්තසතික මහාදානයක දුන්නා. එසේ දෙන කල්හි ක්‍ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශ්‍රුද්‍ර යන වෙළද නගරවැසියෝ මෙලෙස කෑගසමින් දුක් වන්නට වුණා.

“වෙස්සන්තර ස්වාමීනි සිවිරට වැසියෝ ඔබතුමා දන් දෙන්නේ යැයි ඔබව පිටුවහල් කරන්නාහ. ඔබතුමා නැවත දානයම දෙන්නේය” යනුවෙන් විලාප නගන්නට වුණා.”

“ඉක්බිත දන් දීම හේතුවෙන් ඔබව රටින් නෙරපති. එහෙත් ඔබ යලිත් දන් දුන්හ” යයි මහත් බිහිසුණු ඝෝෂාවක් කලා. දානය ලබාගත් අය දන් ලබාගෙන “දැන් වනාහි වෙස්සන්තර කුමරු අපව අනාථකර ආරණ්‍යයට පිවිසෙන්නේය. මෙතැන පටන් කවුරුත් සමීපයට යමුදැයි” පාසිදයවුන් මෙන් බිම වැටෙමින් පෙරළෙමින් මහා හැදින් විලාප නගන්නට වුණා

දානය අවසානයේ වෙසතුරු රජතුමා නික්මෙන කල්හි ඔවුනතර වූ යදියෝ මත්වූවන් මෙන් ක්ලාන්ත වුවන් මෙන් බිම ඇද වැටුණා. හඬමින් මෙලෙස දොස් නගන්නටද වුණා.

 “භවත්නි ! නිදොස් වෙස්සන්තර රජුව යම්සේ රටින් නෙරපියත්ද ඔවුන් ඒකාන්තයෙන් නොයෙක් පල දරන වෘක්‍ෂයක් සිදලුය. භවත්නි නිදොස් වෙසතුරු රජු යම්සේ රටින් නෙරපා යවත් ද ඔවුහු ඒකාන්තයෙන් සියලු කැමති රස එළවන රුකක් සිදලුය.”

සිවි රට වර්ධනය කරන වෙසතුරු මහරජ නික්මෙන කල බාල වූද ව‍ෘද්ධ වූද මද්‍යම වූද යම් පුරුෂ කෙනෙක් ඇත්ද ඒ හැමදෙනා හිස අත්බැද හැඬුවා. සිවිරට වඩන මහරජ නික්ම යන කල භූත විද්‍යාධරයෝ ද බීජෝද්ධරණය කළ අන්තඃපුර පාලකයෝද රජුගේ අන්තඃපුරය ද හිස් අත්බැදගෙන හඬන්නට වුණා. සිවිරට සුරකින මහරජ නික්ම යනකල එනුවර යම් ස්ත්‍රීන් සිටියේද පුරුෂයින් සිටියේද ඒ සියලූම දෙනා හඬන්නට වුණා. බමුණුයැ මහණයැ තවද ගුණ කියන යදියෝයැ යන යම්කෙනෙක් ඇද්ද ඒ හැමදෙන “භවත්නි අධර්මයෙකැයි” හිසැ අත් බැද හඬන්නට වුණා.

වෙසතුරු රජු යම්සේ සිය නුවර දන්දෙනුයේ සිවිරට වැසියන්ගේ වදනින් සිය රටින් නික්ම යාද, සව් බරණින් සරසන ලද රන්පොරෝදු රන්කසුකම් කළ වස්ත්‍ර ඇති මහ සිරුරැති අඩයටි අකුසු ගත් අත් ඇති ඇත්රුවන් නැගි ඇතුන් සත්සියයක් දන් දී සිවිරට වැසියන්ගේ වචනයෙන් මේ වෙසතුරු රජු තව මොහොතකින් සියරටින් නික්ම යයි.

දුනුහී දරණ අසරුවන් නැගී සව්බරණින් සරසන ලද ඉක්මන් ගමන් ඇති සින්දු දේශයේ උපන් අජානේය අශ්වයන් සත්සියයක් දන් දී සිවිරට වැසියන්ගේ වචනයෙන් මේ වෙසතුරු රජු සිය රටින් නික්ම යයි.

දුනු හී ඵලක ආයුධ ගත් අත් ඇති රථාචාරීන් නැගී දිවිසමින් හා ව්‍යඝ්‍ර සමින් වටකළ සියළු අලංකාරයෙන් සරහන ලද නගන ලද ධ්වජ ඇති සන්නද්ධ රථ සත්සියයක් දන් දී මේ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.

ස්වර්ණාභරණයෙන් සැරසුණු රන් හවඩියෙන් බදනා ලද කසාවන් අලංකාර ඇති කසාවන් වස්ත්‍ර ඇති කසාවන් අබරණින් සරසන ලද විශාල ඇස්බැම ඇති මද සිනා පෙරදැරි කථා ඇතී මනා උකුළු ඇති සිහිනිග ඇති සත්සියයක් ස්ත්‍රීන්ද දන් දී මේ වෙසතුරු රජු සියරටින් නික්මෙයි.

එක් එක් දෙනාට රිදියෙන් සෑදු කිරි දෝනා බදුන් සහිතව දෙනුන් සත්සියයක් දන් දී මේ වෙසතුරු රජු සිය රටින් නික්මෙයි.

සත්සියයක් දාසීන් ද සත්සියයක් දාසයන්ද දන් දී මේ වෙසතුරු රජ සියරටින් නික්ම යයි.

ඇතුන් ද අසුන් ද රිය ද සරසන ලද ස්ත්‍රීන්ද දන් දී මේ වෙසතුරු රජු සිය රටින් නික්ම යයි.

අප බුදුපියාණන් වහන්සේ තව දුරටත් මෙලෙස දේශනා කරනු ලැබුවා.

මෙලෙස මහදන් දුන් කල්හි මහපොළොව කම්පා විය. එකල්හි බිහිසුණු බවෙක් විය. එකල්හි ලොමුදැහැ ගැන්මක් විය. යම්කලෙක ඇදිලි බැද රජ සියරටින් නික්ම ගියේද එකල්හි බිහිසුණු බවෙක් විය.එකල්හි ලොමුදැ ගැන්මේක් විය. වෙස්සන්තර රජු යම් මහා දානයක් දී ඇදිලි බැදගෙන තමන්ගේ දානයට ගෞරව දක්වමින් මාගේ මේ දානය සර්වඥතාඥානය ලැබීම පිණිස හේතුවේවයි වැදගෙන සිටියා. එවිටද බිහිසුණු විය. ඒ මොහොතේ නැවත නැවතත් පොළොව කම්පාවිය.

error: Content is protected !!