අපේ බුදුහාමුදුරුවෝ 117.

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 12

වෙස්සන්තර කුමරුගේ මවුතුමිය වූ ඵුසති දේවියගේ විලාපය

මීට ඉහත ලිපියේ කීවේ මද්‍රී දේවිය විසින් වෙස්සන්තර කුමරු හට සිදු කරනු ලැබූ හිමවතෙහි වර්ණනාවයි. ඔවුන්ගේ ඒ දෙබස ඇතිවන්නට පෙර කුමරු රටින් පිටුවහල් කිරීමට සැරසීම පිළිබඳව විස්තර වෙස්සන්තර රජුගේ මවු තුමිය වූ ඵුසති දේවිය හටත් දැනගන්නට ලැබුණා. මෙම කටුක ආරංචිය කණවැකුණු ඵුසති දේවිය මහත් වූ ශෝකයෙන් වෙස්වලාගෙන ගොස් වෙස්සන්තර කුමරුගේ සිරියහන් ගබඩා දොරටුව ලග සිටිමින් ඔවුන්ගේ දෙබසට කන්දුන්නා. ඔවුන්ගේ ඒ කථා සල්ලාපය අසා සිටි දේවිය තව දුරටත් දරා සිටිය නොහැකිව කරුණාව දනවන හැඩිල්ලක් සහිතව හඬන්නට වුණා. ඒ බව ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

පුතාය ලේලිය යන ඔවුන්ගේ විලාප බස් අසා පිරිවර ඇති මදුරජ දූ වූ ඵුසති දේවී තොමෝ බැගෑ ලෙස හැඩුහ. නිවැරදි වූ වෙස්සන්තර පුතු කවර හෙයින් රටින් පිටකෙරෙත්ද? මා විසින් විස අනුභව කරන ලද්දේනම් හෝ ප්‍රපාතයෙන් පනින්නේ නම් හෝ ගෙලවැල ලා මැරෙන්නේනම් නම් හෝ එයට වඩා උතුම්ය. ත්‍රිවේදයෙහි ද නානා ශිල්පයන්හි ද කෙළ පැමිණි දානපති වූ ඉල්ලන්නට සුදුසු නොමසුරු උපරජුන් විසින් පුදන ලද පතළ කීර්ති ඇති පිරිවර සේනා ඇති නිවැරදි වෙසතුරු පුතු කවරහෙයින් රටින් පිට කෙරෙත්ද? රජුට හිතැති දෙවියනට හිතැති නෑයන්ට හිතැති යහළුවන්ට හිතැති සියළු රටවැසියන්ට හිතැති නිවැරදි වෙසතුරු පුතු කවර හෙයින් රටින් පිට කෙරෙත්ද? 

මෙසේ ඇය කාරුණිකව හඩා පුතුවද ලේලියද අස්වසා රජු සමීපයට ඉක්මනින් දිව ගියේ එම තීරණයෙහි වෙනසක් ඇතිකිරීමට. ඉන්පසු මෙලෙස රජු හට එම තීන්දුවේ අසාධාරණයද ආදීනවද මතු කරමින් තතු පහදන්න වුණා.

ඵුසති දේවිය

මෙසේ මාගේ දරුවන් රටින් නෙරපා දැමුවිට දේවියන්වහන්ස ඔබගේ රට සෑම අයුරකින් අසාධාරණ වන්නේ යැයි නෝපෙනේද? , පියාපත් හැලුණු කුරුළු රාජයෙකු සේ මාගේ පුත්‍රයා එක්දින උපන් හැටදහසක් ඇමතියන් අත්හරිනු ලැබීමෙන් පිඩාවට පත්වන්නේය. සිවිරට වැසියන්ගේ වචනයෙන් ඒ නිවැරදි පුත්‍රයාව පිටුවහල් නොකරන්න. නිවැරදි වෙසතුරු පුතු රටින් පිටුවහල් කෙරෙත්ද, ඔබගේ දේශය මී මැසිකැල හැරදමා ගිය මීවදයක් මෙන්ද ගිලිහී බිම වැටුනු අඹ මෙන්ද වන්නේය. මහරජ, දිය සිදුනු විලෙක පියාපත් හැලුණු හංසයෙකු මෙන් ඇමතියන් විසින් හැරදැමූ ඔබ හුදෙකලාව පීඩිත වන්නාහුය. මහරජ, ඔබට ඒ කරුණ කියමි. ප්‍රයෝජන ඉක්ම නොයේවා. සිවිරට වැසියන්ගේ බසට නිවැරදි තැනැත්තා පිටුවහල් නොකරන්න.

පිය රජතුමා

එය අසා රජු මෙසේ කියන්නට වුණා. සොදුර, මම සිවිරට වැස්සන්ගේ ධජයක් බදු වෙසතුරු කුමරු හික්මවමින් පිටුවහල් කරමි. සිවීන්ගේ පරපුරේ ධර්මතාවයට ගරු කරමි. මාගේ පුත්‍රයා වනාහි මගේ ප්‍රාණයටද වඩා මට අතිශයින් ප්‍රියය. සවිස්තරාර්ථය. සොදුර මම සිවිරට වාසීන්ගේ ධජය වූ වෙස්සන්තර කුමාරයාව හික්මවමින් පිටුවහල් නොකරමින් සිවිරටෙහි පැරණි රජවරුන්ගේ පාරම්පරික ධර්මතාවය කඩකිරීම කෙසේ කරම්ද ? ඒ නිසා ඉදින් මට මාගේ ප්‍රාණයට වඩා ප්‍රියතර වූ ඔහුව පිටුවහල් කරන්නෙමි

එය අසා දේවිය හඩා වැළපෙමින් මෙසේ පවසන්නට වුණා.

පෙර යමෙකුගේ ධජය අග පිපුණු මල් ඇති කිණිහිරි ගස් මෙන් යන්නාහු අනුව යෙත්ද හේ අද හුදෙකලාව යන්නේය.

පෙර යමෙකුගේ ධ්වජාග්‍රයෝ පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නාහු අනුව යේද හේ අද වනාහි හුදෙකලාව යන්නේය.

පෙර යමෙකුගේ ඇතුන් ආදීකොට ඇති සෙනග පිපුණු කිණිහිරි ගස් මෙන් යන්නාහු අනුව යෙද්ද හේ අද හුදෙකලාව යයි.

පෙර යමෙකුගේ ඇතුන් ආදීකොට ඇති සෙනග පිපුණු කිණිහිරි වනයක් මෙන් යන්නාහු අනුව යෙද්ද හේ අද හුදෙකලාව යයි.

යමකුගේ පෙර ඉදුගොව්වන්ගේ පැහැයට බදු ගන්ධාර රටෙහි සාදන ලද රතුකම්බිලි පෙර වූ සෙනග යන්නාහු අනුව ද හේ අද හුදෙකලාව යයි.

යමෙක් පෙර ඇතුපිටින් දෝලාවෙන් ද රියෙන්ද ගියේ නම් ඒ වෙස්සන්තර රජතෙමේ අද කෙසේනම් පයින් යයිද?

 සදුන් ගැල්වූ සිරුර ඇති ශිතයෙන් නැටුමෙන් පුබුදුවන වෙස්සන්තර රජ අද අදුන්දිවි සමද පොරොවාද තවුස් පිරිකර සහිත වු කද කෙසේනම් ගෙන යන්නේද?

මහා වනාන්තරයට පිවිසෙන්නහුට කසාවත් වස්ත්‍ර හෝ අදුන් දිවිසම් කවර හෙයින් ගෙන නොයෙද්ද ,කවර හෙයින් වැහැරී නොබෙදිත්ද? රජව සිට පැවිදි වුවෝ කෙසේනම් වැහැරියෙන් කළ සිවුරු දරත්ද ?

කුසතණයෙන් කළ වැහැරී මද්‍රිදේවි කෙසේ හැදින්නීද?

කසීසළුද ඛෝම රටෙහි කෝදුම්බර රටෙහි නිපන් සළුද දරාසිටින මද්‍රිදේවිය කෙසේනම් කුස වැහැරී දරන්නිද?

හිදොලයෙන් සිවිකායෙන් හාරියෙන් මෙනුවර සිසාරා ඇවිද නිදොස් සිරුරු ඇති ඕ අද කෙසේ නම් පා ගමනින් මහමග යන්නිද ?

යමකුගේ සුවසේ වැඩුණු මොළොක් අතුල් පතුල් ඇති හස්තපාදයෝ වෙත්ද නිදොස් සිරුරු ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යාද ?

යමකට සුවසේ වැඩුණු මොලොක් අතුල් පතුල් ඇති අත්පා ඇද්ද, යම් ස්ත්‍රියක් රන් මිරිවැඩි සගලින් යුතුව මිරිකෙමින්ම යාද ප්‍රශස්ත අවයව ඇති ඕ අද කෙසේනම් පා ගමනින් මහමග යන්නීද?

පැළදි මල්දම් ඇති යම් ස්ත්‍රියක් දහසක් ස්ත්‍රීන්ට පෙරටුව යාද ප්‍රශස්ත ශරීර ඇති ඕ අද කෙසේනම් තනියම වනයට යාද ?

යම් ස්ත්‍රියක් නාදකරන කෞෂික ගෝත්‍ර ඇති මහමුහුණකුගේ හඩ අසා බියව දෙවියන් අවේෂ වූ යක්‍ෂ දාසියක් මෙන් වෙවුළාද ප්‍රශස්ත ශරීර ඇති බියසුලු ඕ අද කෙසේ නම් වනයට යේද?

හිස් වූ කැදැල්ල දැක දරුවන් විනාශ වූ ලිහිණියක් මෙන් මට දරුවන්ගෙන් හිස් වූ මේ නිවෙසට අවුත් බොහෝකලක් දුකින් බර සිතිවිලිවලට බරවී සිටින්නෙමි.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් මළ කිරිල්ලියක මෙන් මම හිස් වූ මේ නිවසට පැමිණ ප්‍රිය පුතුන් නොදක්නී කෘෂ වී පඩුවන් වන්නෙමි.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් මළ කිරිල්ලක මෙන් මම හිස් වූ මේ නිවෙසට අවුත් ප්‍රිය පුතුන් නොදක්නී ඒ ඒ තැන දිවයන්නෙමි.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් විනාශ වූ උකුසු දෙනක මෙන් මම හිස් වූ මේ නිවසට අවුත් දිගුකලක් සිතිවිලි පර වන්නෙමි.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් විනාශ වූ උකුසු දෙනක මෙන් ප්‍රිය පුතුන් නොදක්නී කෘෂව පඩුවන් වන්නෙමි.

හිස් වූ කැදැල්ල දුටු පැටවුන් මළ ලිහිණියක මෙන් ප්‍රිය පුතුන් නොදක්නි ඒ ඒ තැන දිවයන්නෙමි.

දියසිදුණු මඩෙහි සක්වාලිහිණියක මෙන් ඒ මට දරුවන් නැති බැවින් හිස් වූ නිවෙසට අවුත් බොහෝකලක් ඒකාන්තයෙන් දුකින් සිතිවිලි පර වන්නෙමි.

දිය සුන් මඩෙහි සක්වාලිහිණියක මෙන් ඒ මට ඒකාන්තයෙන් ප්‍රිය පුතුන් නොදක්නී කෘෂව පඩුවන් වන්නෙමි.

මෙසේ වැලපෙන මට අනාදර කොට නිර්දෝෂී රජ පුතු රටින් වනයට නෙරපිය . මම ජීවිතය හෙළන්නෙමි. සිතමි.

දේවියගේ විලාප හඩ අසා සියලුම සංජයගේ සිවි කාන්තාවෝ එතනට රැස්ව හැඩුවාහ. ඇයගේ වැළපීම් හඩ අසා මහාසත්ත්වයන්ගේ නිවසේ එසේම හඩුහ. මෙසේ රජපවුල් දෙකෙම් කිසිවෙක් යථා ස්වභාවයෙන් සිටින්නට නොහැක්කාහු වාත වේගයෙන් පීඩාවට පත්වූ ශාලාවක් මෙන් බිම වැටී හඩන්නට වුණා.

error: Content is protected !!