අපේ බුදුහාමුදුරුවෝ 119.

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 14

පින්වත් කුලවත් ක්‍ෂත්‍රිය වාංශික කන්‍යාවියන් දන් දීමටගත් තීරණය නිසා බිය වූ දෙවිවරුන්.

අප දන්නා තරමින් හා අපගේ අත්දැකීම්ද අනුව මෙවැනි විශාල පින්කම් සංවිධානය කරනාවිට දෙවියන්ගේ ආශීර්වාදය අනුග්‍රහය පමණක් නොව මගපෙන්විම්ද ආරක්ෂාවද ලැබෙනවා. මෙම කතාව පුරාම එවැනි සිද්ධීන් බොහෝසේ ලිය වී තිබුණා. මෙයද එවැනිම කතාවක්.

සත්තසතික දානයේ එක දාන අංගයක් වුයේ කුලවත් ක්‍ෂත්‍රිය කන්‍යාවන් සත්සියයක් දන් දීමය. මෙය දැනගත් රාජවංශිකයින් වගේම දෙවිවරුත් කලබලයට පත්වුණා. ඒ පින්වත් කුල කන්‍යාවියන් පාපතර මිනිසුන්ගේ අතට පත්විය හැකියයි සිතුණු බිය නිසා ඒ නිසා දෙවියන් විසින්ම මෙම පණිවිඩය සියළු දඹදිව රජුන්හට, වෙස්සන්තර රජු විසින් ක්‍ෂත්‍රිය කන්‍යා ආදීන් මහදන් දෙන්නේයැයි දැන්වුවා. ඒ ඇසූ ක්‍ෂත්‍රියෝ දේවානුභාවයෙන් රථවලින් අවුත් ක්‍ෂත්‍රිය කන්‍යාවන් ආදී දානය ලබාගෙන පිටත්ව ගියා. මෙසේ බ්‍රහ්මණ ක්‍ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර ආදීහු දානය ගෙන ගියා.

වෙස්සන්තර කුමරු නික්මයාමට පෙර දෙමාපියන්ගෙන් අවසර පැතීම.

මේ මහා දානය දෙන්නාවූ වෙසතුරු කුමරු හට සවස් වන බව සිහියට නැගුනේ නැහැ. දානය අවසානයේ හෙතෙම තමන්ගේ වාසස්ථානයට ම ගොස් “මව්පියන් වැද හෙට යන්නෙමියි” සිතා සරසන ලද රථයෙන් තම මව්පියන් වන පියරජතුමා සහ දේවිය සිටි තැනට පැමිණියා. මද්‍රි දේවිය “මම ද මොහු සමග ගොස් මව්පියන්ට දන්වන්නෙම්යි කුමරු සමග එකතුවුණා. මහාසත්ත්වයෝ පියාට වැද තමන් යන ගමන දන්වාසිටියා. දැහැමි රජුන් අතරෙහි උතුම් වූ සංජය රජ ඇමතු වෙස්සන්තර කුමරු “රජතුමනි, හෙට මම රටින් පිටවී යන්නෙමි. මම වංකගිරියට යමි. මහරජතුමනි යම්කෙනෙක් අතීතයෙහි වූවාහුද අනාගතයේ වන්නාහුද වර්තමානයේ වෙත්ද ඔවුහු හැමදෙන කාමයෙන් තෘප්ත නොවුවාහුම මරණයට පත්වෙති. ඒ මම සිය නුවර දන් දෙන්නෙමි. තමාගේ නුවරවැසියන් පෙළිමි. ඒ මම සිවි රටවැසියන්ගේ බසින් සියරටින් නික්මෙන්නෙමි. කඟවෙහෙනුන් දිවියන් විසින් සෙවුනා ලද වල්මුවන් ගැවසී ගත් මහා වනයෙහි විදිය යුතු ඒ දුක් විදිනෙමි. මම පින් කරමි. තෙපි කාම නැමැති මඩෙහි ගැලෙව.

මෙසේ මහසත්ත්වයෝ ගාථා සතරකින් පියා සමග කියා මව සමීපයට ගොස් වැද පැවිද්ද අනුමත කරවා ගැනීම සඳහා මෙසේ කියනු ලැබුවා.

” මෑණියනි මට පැවිද්දට කැමැත්ත දෙන්න. මට පැවිද්ද රිසි වෙයි. ඒ මම සිය නුවර දන් දෙන්නෙමි, සිය නුවර වැසියන් පෙළෙමි. ඒ මම සිවිරට වැසියන්ගේ වචන හේතුවෙන් සියරටින් නික්මෙන්නෙමි. කඟවෙහෙනුන් දිවියන් විසින් සෙවුනා ලද වල්මුවන් ගැවසී ගත් මහා වනයෙහි විදිය යුතු දුක් විදිනෙමි. මම පින් කරමි. තෙපි කාමයෙහි ගැලෙව.

මවු තුමිය විසින් වෙසතුරු කුමරුගේ දේවිය සහ දරුවන් රැගෙන නොයන ලෙස වෙසතුරු කුමරුහට ලෙස අවවාද කිරීම

එය අසා ඵුසති දේවිය මෙසේ පවසනු ලැබුවා. පුත, පැවිද්ද අනුදනිමි. තොපගේ පැවිද්ද සමෘද්ධ වේවා. වැලිත් මනා උකුළු ඇති සිහිනිග ඇති යහපත් වූ මේ මද්‍රි දේවි දරුවන් හා සමග මෙහිම සිටීවා. ඔවුන් වනයෙහි කුමක් කරන්නද? ධාන්‍යයෙන් සමෘද්ධ වේවා. මෙහිම සිටීවා. එය අසා සිටි වෙස්සන්තර රජු මෙසේ කියන්නට වුණා.

“මම නොකැමැත්තෙන් දාසියක වුව ද වනයට ගෙන යන්නට උත්සාහ නොකරමි. ඉදින් ඕ කැමති වූ නම් මා අනුව ඒවා. ඉදින් නොකැමැති නම් සිටීවා. මම අකමැත්තෙන් එක් දාසියකද ගෙන යන්නට උත්සහ නොකරමි. “

පියරජුගේ ආයාචනය 

කොතරම් නීති දැම්මත් දණ්ඩනයට යටත් කලත් පියවරුන්ගේ සිතෙහි දරුවන් කෙරෙහි ඇතිවන ආදරය කරුණාව මවගේ ආදරයට දෙවන නොවන බව දන්නේ මමත් එවැනිම පියෙකු නිසාය. පුත්‍රයාගේ කථාව අසා සිටි රජු ඔහුගෙන් මෙලෙස ඉල්ලා සිටින්නට වුණා. එලෙසම පිය මහරජ ලේලියගෙනුත් මෙලෙස යදින්නට පටන් ගත්තේ ඇයවත් ඔහුට ඇහුම්කන් දේවි යන සිතුවිල්ලෙන්.

“රත්සදුන් ආලේප කළ සිරුරෙහි රජස්දැල් නොදරව , කසීසළු දරා කුස වැහැරී නොදරව වනයේ වාසය දුකකි. සුන්දර ලක්‍ෂණ ඇත්තීය තොපි නොයව.” එවිට මද්‍රි දේවිය මෙසේ කීවා. වෙස්සන්තර රජුගෙන් වෙන්ව මට යම් සුවයක් ලැබෙන්නේනම් මම ඒ සුවයට නොකැමෙත්තෙමි.

එවිය මහරජ ඇයට මෙසේ කියයි. එම්බා මද්‍රි දෙවියනි වනයෙහි නොඉවසිය හැකි යම්බදු දුකක් වෙත්ද ඒ දුක අසව එහි කුඩා ප්‍රාණීහුය, පලගැටියෝ ය මදුරුවෝ ය මීමැස්සෝ ය යන මොවුහු බොහෝ වෙති. ඔවුන් තොපට හිංසා කරයි. එය ඔබට අතිශය දුකක්ම වන්නේය. ගන්ඉවුරු ඇසුරු කළා වූ දුටුවන් තවන බලව විෂ නැති පිඹුරු නැමති සර්ප කෙනෙක් ඇත. ඔවුහු මහත් බල ඇත්තාහ.ඔවුන් තමා සමීපයට ආ මිනිසකු හෝ මුවකු හෝ දරණවැලින් වෙළා තම වසගයට ගනී. හිසෙහි කළු වූ අවුල්ලොම් සළා ඇති වලස් නම් අන්‍ය වූ ද දුක් එළවන සිවුපා කෙනෙක් ඇත. ඔවුන් විසින් දක්නා ලද පුරුෂයා ගසට නැග නොමිදෙයි. මෙහි සෝතුම්බර ගන්තෙරෙහි තියුණු අන් ඇති අන් ගටමින් පහරදෙන කුලුමීමෝ හැසිරෙති. වනයෙහි හැසිරෙන මුවරැල ගවරැල දැක වස්සා කෙරෙහි ලොල් වූ දෙනක මෙන් මද්‍රි කුමක් කරනනිද? මද්‍රි දේවිනි රුක්මත පනින විරූපී වූ වදුරන් දැක වනමග නොදන්නා තොපට මහත් භයක් වන්නේය. යම්බදු තොපි පෙර සිවල්දෙනකගේ හඩ අසා පුන පුනා තැති ගත්තේය.ඒ තොපි වංකගිරියට ගොස් කුමක් කරන්නද? මධ්‍යහේන වේලෙහි පක්‍ෂීන් නිහඩව සිටිකල්හි මහවනය නාද කරන්නාක් වැනිය. එහි කුමට කැමැත්තෙන් යන්නේද?

මද්‍රී දේවිය ද වෙසතුරු කුමරු හා සමග වනගත වන බවට ප්‍රතිඥා දීම. 

පියරජතුමා විසින් ඉතාමත් සංවේදී ජනකව ඇගෙහි ලොමුදහගන්වන කරුණු සහ ඔවදන් අසා සිටි සර්වාංග ශෝභන වූ මද්‍රි දේවිය රජුහට මෙසේ කියන්නට වුනා.

“වනයෙහි යම් ප්‍රතිභය කෙනෙකුන් මට කීයෙහිද ඒ හැම ඉවසන්නෙමි. උතුමාණෙනි යන්නෙමි. කෘෂ තණය පෝටකීල තෘණය සැවන්දරා මෘදු තෘණය බබුස් තෘණය යන මේවා උරයෙන් දෙපසට කර බැහැර කරන්නෙමි. මේ වෙසතුරු රජු විසින් දුකසේ ගෙනයන්නක් නොවන්නෙමි. කුමාරි තොමෝ බොහෝ වෘත චර්යාවන්ගෙන් පසු ස්වාමියකු ලබා ගනී. ඒ ගව හනුයෙන් උකුළුතලය තැලීමෙන්ද උදරය වෙලීමෙන්ද ගිණි පිදීමෙන්ද දියෙහි කිමිදීමෙන්ද යන මෙයිනි. ලොව වැන්දඹු බව අමිහිරිය. හිමියා සමග යන්නෙමි.

පියරජු සහ මවුතුමිය විසින් මෙලෙස වෙසතුරු රජ සමග යන ගමන කොපමණ අවදානම්ද යන කාරණය මද්‍රී බිසවට අවබෝධ කරවන්නට හැදුවත් ඒ බෝසත් බිරිඳ ඒ කිසිවක් පයට පෑගෙන දුහුවිල්ලක් තරමටවත් ගණන් ගත්තේ නැත්තේ සංසාරයේ කල්ප ගණනක්ම මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී ලබා ඇති අත්දැකීම් නිසාම වෙන්න ඇති. තවත් එක් ආත්මභාවයක වර්තමාන යසෝදරාව මද්‍රි දේවිය වී බුද්ධත්වය සඳහා පාරමීදම් පිරිම සඳහා උදවු වීමට ඇයද අනේක වූ රජසැප අතහැරියා. අවසානයේ පියරජතුමා සහ දේවියට නිහඬ වී සුසුම් හෙලීම හැරෙන්නට වෙන කළහැකි විකල්පයක් තිබුණේම නැහැ. ඒ දෙදෙන බුදු වූ ආත්මභාවයේ දෙමාපියන් වූ ශුද්ධෝදන රජු සහ මහමායා දේවියමයි.

 
error: Content is protected !!