අපේ බුදුහාමුදුරුවෝ 410 (සන්තිකේ නිදානය)

 

ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 04

චන්‍දකින්නර ජාතකය 01

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කාලයේ අපේ මහබෝසතාණන් වහන්සේ හිමවත පෙදෙසෙහි කින්නර යෝනියෙහි (කිඳුරු) උපන්නා. ඔහුගේ භාර්යාව චන්දා නම් කිඳුරියක්. ඔවුන් දෙදෙනාම චන්ද නම් රිදී පර්වතයෙහි වාසය කළා. ඒ කාලයේ බරණැස් නුවර රජු පංචායුධයෙන් සන්නද්ධව හුදකලාව හිමවතට පිවිසියා. හරියටම අපි අර හල්ලාටිය ජාතකයේ කීවා වගේ. හෙතම මුව මස් කමින් එක් කුඩා නදියක් සිහිකරමින් (නදිය හාත්පස බලමින්) ඉහළටම ආවා.

චන්ද පර්වත වැසි කිඳුරෝ වැසි කාලයෙහි පර්වතයෙන් නොබැස පර්වතයෙහිම වාසය කරනවා. ඒත් ග්‍රීෂ්ම කාලයේ පහළට බසිනවා. ඊට හේතුව ඒ කාලයට ඒ කඳු පාමුල දෙවුලොවක සිරියාවක් ගන්න නිසා. ඒත් පර්වතයේ මුදුනට මිනිසුන්ට යන්න බැහැ. ඉතින් ඒ සඳකිඳුරා තමාගේ භාර්යාව සමඟ පර්වතයෙන් බැස ඒ ඒ තන්හිදී සුවඳ ගල්වමින් මල්මාලා හඳිමින් පොරවමින් ලියවැල් නැමති දෝලාවන්හී ක්‍රීඩා කරමින් මිහිරි හඬින් ගායනා කරමින් ඒ කුඩා නදියට පැමිණයා. එක් තැනක නතර වී නදියට බැස ජලයෙහි මල් විසුරුවා ජල ක්‍රීඩා කරන්නටත් වුනා. ඒ විතරක් නෙවි මල්මාලා හැඳ පොරවා රන්පටක් වන් වැල්ලෙහි මල් යහනාවක් පනවා එහි ආදරයෙන් වැතුරුණා. කිඳුරිය සෙනෙහසින් කිඳුරාගේ ලයට තුරුළු වී ඉන්නා අතර තුර සඳකිඳුරා ඔහුගේ බටනලාව ගෙන මුළු පරිසරයම ගිගුම් නංවමින් වාදනය කරන්නට වුනා. ඒ මිහිරි නාදය තවදුරටත් සඳ කිඳුරියව නිසලව තියාගන්න අපොහොසත් වුනා. .සඳකිඳුරිය මෘදු වූ අත් පා ළෙලවමින් ඔහු සමීපයෙහි සිටිමින්ම දිව්‍යමය රංගනයක් පාන්නට වුනා. මිහිරි හඬින් ගීත ගායනය කරන්නටද වුනා. ඒ මිහිරි නාදයෙන් වනපෙත ගිගුම් දුන්නා. ඒ නාදය වනයට පැමිණි රජතුමාගේ සවනත කරා යන්න වැඩි වෙලාවක් ගත වුයේ නැහැ. ඔහු ශබ්ද නොනොගා හඬ ඔස්සේ ඒ ආසන්නයටම පැමිණුනා. එවිටත් අනතුරක සේයාවක් නොදත් කිඳුරිය තවමත් රංගනයේ. කිඳුරා බටනලාව තවමත් වාදනය කරනවා. මෙම දිව්‍යන්ගනාවක් වැනි අති රූමත් කිඳුරිය අත්පත් කරගැනීමට සිත් පහල වීමට රජුට වැඩි වේලාවක් ගත වුනේ නැහැ. හරිම පුදුමයි සංසාරේ හැටි. ඔබට හිතෙයි ඒ දෙවිදත්තර තමයි ඒ රජ්ජුරුවෝ කියල. නැහැ දෙවිදත්තර නෙවෙයි. ඔබ හොඳින් දන්නා අසූ මහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙකුයි රජතුමා. ඒ තමා මේ සසරෙහි හැටි. එම චරිත විස්තරයක් මෙම කතාව අවසානයේ කියනවා.

කිඳුරිය අයිති කරගැනීම සඳහා රජතුමාට එකම එක විසඳුමයි තිබ්බේ. ඒ සිතක් පපුවක් නැති පරිදී කිඳුරගේ දිවි තොර කිරීම. රජ්ජුරුවෝ ඒ සඳහා තව දෙවරක් සිතුවේ නැහැ. හීයක් ගෙන හීයෙන් විද්දා ඒ ආදරණිය හදවත පසාරු වනසේ. අදත් කොතෙක් නම් මෙවැනි දේ සිද්ද වෙනවද? හීය වැදූ සැනින්ම ඔහු ඒ මල් යහනේම ඇලවුනා. ඔහුට දැනුණා හීයක් වැදුණු බව. ඔහු විලාප තිබ්බේ නැහැ. ඒ විරෝධාර ප්‍රතාපවත් මිනිසුන්ගේ ගතිය. ඔහු මහත් වූ වේදනාව මැඩගෙන මේ ගථා සතර කිවා.

1.චන්ද්‍රාවෙනි, මේ ජීවිතය විනාශය කරා යේ යයි සිතමි. වැගිරෙන ලෙයෙහි ගිලෙමි. ජීවිතය අත්හරිමි.මගේ ප්‍රාණය නිරුද්ධ වෙමින් පවතී.

2.මගේ ජීවිතය නැවතී සිටිනා සේ දැනේ. මට දුකකි. මගේ හදවත දැවෙයි. අතිශයින්ම ක්ලාන්ත වෙමි. මගේ මේ ශෝකය මතු ශෝක කරන්නා වූ චන්ද්‍රාවගේ ශෝකය කරණ කොටගෙනය. එය අන් කරුණු නිසා නොවේ.

3.රත් වූ ගලක් මත දමන ලද තණ මෙන්ද, මුලින් සිඳිනා ලද වනය මෙන්ද මිලාන වෙමි. දිය නොපිරුන නදියක් මෙන් වියලෙමි. මේ ශෝකය මතු ශෝක කරන්නාවු චන්ද්‍රාවගේ ශෝකය නිසාය. අන් කරුණු නිසා නොවේ.

4.පර්වත පාදයෙහි වැසිදිය මෙන් මගේ කඳුළු නොසිඳ ගලයි. මේ ශෝකය මතු ශෝක කරන්නා වූ චන්ද්‍රාවගේ ශෝකය නිසාය. අන් කරුණු නිසා නොවේ.

මේ ගාථා සතර කියූ සැනින් ඔහු සිහිසුන් වුනා. මරණය අභියස ගාථාවන් මුමුණන තම ආදරවන්තයාව ඇය දැක්කේ තව දුරටත් ගීත ගායනා කරන ලෙසින්. ඇය දැන සිටියේ නැහැ හීයක් වැදුන බව. සිහි නැති වූ ඔහු සයනයෙන් බිමට පෙරලුනා. එවිට තමයි ඇයට යම් අනතුරක සේයාව ඒත්තු ගියේ. ඒ දැක තැතිගත් කිඳුරිය කෑ ගසමින් ඔහු වෙත දුව ආවා. මුවින් වැගිරෙන රත් ලේ දහර නිල්වන් ජලය හා එකතු වෙමින් තිබ්බා. කිඳුරිගේ විලාපය මුළු මහත් පරිසරය තුලම දෝංකාර දුන්නා. ඒ නිසල වනගැබ තුරුලතා අතර සිටි කුරුල්ලන් සිවුපාවන් බියවී හිස් ලු ඇත විසිර ගියා. තවත් ප්‍රේම වෘතාන්තයක් තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් එලෙස වියෙකෙමින් තිබුනා.

උපකාර වූ මුලාශ්‍ර

සන‍්තිකෙනිදානකථා

චන්‍දකින්නර ජාතකය