අපේ බුදුහාමුදුරුවෝ 40

 

අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව 01

අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 03

මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අප මහා බෝසතාණන් වහන්සේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් සමයේම වෙනත් ජනපදයක සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයින් වහන්සේලා ද ඉපිද සිටියා. සැරියුත් මහා තෙරණුවෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නා. සරද යනු ඔහුගේ ගිහි නමයි. මුගලන් මහා තෙරණුවෝ ගෘහපති මහාසාර කුලයෙහි උපන්නා. ඔහු සිරිවඞ්ඪ නම් වුනා. ඔවුන් දෙදෙනා බාලකාලයේ පටන් මිතුරෝ ගජ මිතුරෝය. සරද මානවක තෙමේ පියාගේ ඇවෑමෙන් තමාට හිමි වූ මහා ධනස්කන්ධය පරිහරණය කරමින් සිටිනුයේ එක් දිනක් මෙසේ සිතුවා. “මම මෙලොව පමණක් දනිමි, පරලොව නො දනිමි, උපන් සත්වයනට මරණය නියතය, එබැවින් මා පැවිදිව මෝක්ෂය සෙවිය යුතු ය” ඉක්බිති ඔහු තමාගේ මිතුරා වන සිරිවඞ්ඪ කෙළෙඹි වෙත ගොස් ‘මිත්‍රය’ මම පැවිදිව මෝක්ෂය සොයන්නට බලාපොරොත්තු වෙමි. ඔබට මා හා පැවිදි විය හැකිදැ’ යි ඇසුවා. මිත්‍රය, මට නම් එය නොකළ හැකිය. ඔබ පැවිදි වන්නය’ යි සිරිවඞ්ඪ ගේ පිළිතුර වුනා. එකල්හි සරද මානවක තෙමේ ‘නෑ – මිතුරන් ද කැදවා ගෙන ඔවුන් සමඟ පරලොව ගිය කෙනෙකුන් නැත, තමා යමක් කළහොත් එය තමාට වේය’ යි සිතා තමා අයත් සියලූ ධනය දුගි මගී යාචකාදීන්ට දන් දී පර්වතය සමිපයට ගොස් සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව භාවනාවෙහි යෙදෙන්නට වුනා. ඔහු පැවිදි වූ බව ඇසු දුටු බොහෝ දෙනෙක් ද, වරින් වර එහි ගොස් ඔහුගේ ආචාර්යත්වයෙන් පැවිදි වුනා. එසේ පැවිදි වූ ඔහුගේ ශිෂ්‍ය පිරිස සැත්තෑසතරදහසක් තරම් වුනා. සරද තාපස තෙමේ භාවනා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ගෙන සිය පිරිස ද කසිණ භාවනාවෙහි යෙදවූවා. සරද තාපසයන්ගේ අනුශාසනය පරිදි භාවනාවෙහි යෙදී ඒ සැමදෙනාම ද පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ගත්තා.

අනෝමදස්සි බුදුහාමුදුරුවෝ ඒ කලේ වැඩ සිටියේ චන්දවති නම් නගරයේ. එක් දවසක් අනෝමදස්සී තථාගතයන් වහන්සේ උදැසන කාලයේ සමවතින් නැගිට ලොව බලා වදාරන සේක්, සරද තාපස තුමා දැක, ‘අද මා විසින් සරද තාපසයන් කරා යාමෙන් මහත් වූ ධර්ම දේශනයක් වන්නේ ය. ඔහු ද අගසව් තනතුර පතන්නේ ය. ඔහුගේ යහළු සිරිවඞ්ඪ කෙළෙඹි දෙවන අගසව් තනතුර පතන්නේ ය. දේශනාවසානයෙහි සරද තාපසගේ සැත්තෑසතරදහසක් ශිෂ්‍යයෝ අර්හත්වයට පැමිණෙන්නාහ’. යි ද දැක වදාරා, මා විසින් එහි යා යුතුය යි තමන් වහන්සේගේ පාසිවුරු ගෙන අන් කිසිවකු නො අමතා එකලාව හැසිරෙන සිංහරාජයකු මෙන් සරද තාපසගේ ශිෂ්‍යයන් ඵලාඵල පිණිස වනයට ගිය අතර තමන් වහන්සේ බුදුකෙනෙකුන් බව සරද තාපසට දත හැකි වනු පිණිස අහසින් වැඩම කොට ඔහු බලා සිටියදි අහසින් පොළොවට වැඩම කරනු ලැබුවා.

සරද තාපස තෙමේ අහසින් බට අමුත්තාගේ ආනුභාව හා රූප ශෝභාව දැක විස්මයට පත්ව, බුදුරදුන් දෙස බලා ලක්ෂණ ශාස්ත්‍රය අනුව සිතන්නට වුනා. මොහුගේ සිරුරෙහි ඇති ලක්ෂණ වලින් යුත් තැනැත්තා ගිහිගෙයි විසුවොත් සක්විති රජකු විය යුතු ය. පැවිදි වුවහොත් සියල්ල දැන බුදුවිය යුතු ය, මේ මහා පුරුෂයා ඒකාන්තයෙන් බුදුකෙනෙකු විය යුතුය’ යි සිතා ඉදිරියට ගොස් පසඟ පිහිටුවා වැඳ වැඩ හිදිමට අසුණක් පනවා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ සිටින අතර තුර සරද තාපසයාද සුදුසු අසුනක් ගෙන එකත්පසෙක හිඳ ගත්තා. එකෙනෙහි සැත්තෑසතරදහසක් වූ තම ශිෂ්‍ය තාපසයෝ ඕජාවත් ඵලාඵලයන් ගෙන ආචාර්යවරයා වෙත පැමිණියා. තවුසෝ බුදුන් වහන්සේ හා තමන් ගේ ආචාරවරයා හුන් අසුනත් දැක ‘ආචාර්යයන් වහන්ස, අපි මෙතෙක් කල් නුඔ වහන්සේට වැඩි කෙනෙකු මේ ලෝකයෙහි නැතය’ යි සිතා සිටියෙමු. මේ පුරුෂයාණෝ නුඔ වහන්සේට වැඩි උසස් කෙනෙකුසේ පෙනෙති’ යි කීහ. එවිට සරද තාපසතුමා ‘දරුවනි, කුමක් කියන්නෙහු ද? නුඔලා අබ ඇටයක් මහා මෙරක් හා සසඳන්නට සිතන්නහු ය, සියල්ල දත් බුදුන් වහන්සේට මා උපමා නො කරව් ය’ යි කියන්නට වුනා. එකල්හි තවුසෝ ‘ඉදින් මේ පුරුෂයා සුළු කෙනෙකු නම් අප ආචාර්යයෝ මෙබඳු උපමාවක් නොකියන්නා හ. මේ පූරුෂයා ඒකාන්තයෙන්ම උසස් කෙනෙකු විය යුතුය’ යි සැම දෙනාම අනෝමදස්සි බුදුන් වහන්සේගේ පාද නමසකාර කර සිටියා. ඉක්බිති සරද තාපස තෙමේ සිසුන් අමතා, ‘දරුවනි , බුදුන් වහන්සේ ආහාර වළදන වේලාවෙහිම මෙහි පැමිණි සේක. උන්වහන්සේට පිරිනැමිමට සුදුසු බොජුනක් අපට නැත. එහෙත් අපට ඇති සැටියට අපි උන්වහන්සේට ආහාර පිළිගන්වමු. තොප විසින් ගෙනෙන ලද ඵලාඵල ගෙන්වා අත සෝදා ඒවා තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි තබනු. තාපස තෙමේ තමා විසින් පැන් ද පෙරා තථාගතයන් වහන්සේට පිළිගැන්විය. බුදුන් වහන්සේ වළදා අවසන් කොට වැඩහුන් කල්හි සරද තාපස තෙමේ සියළු අතවැසියන් කැඳවා ගෙන තථාගතන් වහන්සේ හා පිළිසඳර කථාවෙහි යෙදෙන්නට වුනා.

ඒ වෙලාවේ අනෝමදස්සී බුදුපියාණන් වහන්සේ ‘මගේ අග්‍රශ්‍රාවක දෙනම භික්ෂුසංඝයා ද සමඟ එත්වා’ යි සිතින් ඇරයුම් කරනු ලැබුවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම ශාස්තෲන් වහන්සේගේ සිත දැන ලක්ෂයක් රහතුන් සමඟ පැමිණ තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක වැඩ සිටියා. එකල්හි සරද තාපස ගෝලයන් අමතා ‘දරුවනි, බුදුන් වහන්සේ වැඩ සිටින අසුන ද මිටි ය. මේ ශ්‍රාමණයන් වහන්සේලා වැඩ සිටිමට ආසන ද නැත. තොප විසින් අද මහත් වූ බෞද්ධ සත්කාරයක් කළ යුතු ය. ඒ සදහා වර්ණගන්ධයෙන් යුක්ත වන නා නා පුෂ්පයන් පර්වත පාදයෙන් ගෙන එව්’ ය කිවා. සෘඬිමත් වු තවුසෝ එකෙනෙහිම බොහෝ මල් ගෙනවුත් තථාගතයන් වහන්සේ සඳහා යොදුනක් උස මලසුනක් පැනවූහ. සෙසු භික්ෂුන්ට සුදුසු අසුක් පැනවූහ. නවක භික්ෂුන්ට පැනවූ අසුන් ද ඉසුබක් (බඔ තිස්පහක්) පමණ වුනා. ඉක්බිති සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ ‘ස්වාමීනි, අපට දිර්ඝ කාලයක් හිත සැප පිණිස මේ අසුනෙහි වැඩ සිටින සේක් වා’ යි ආරාධනා කරනු ලැබුවා. බුදුන් වහන්සේ අසුන් ගත් පසු අග්‍රශ්‍රාවක වහන්සේලා ඇතුළු භික්ෂුන් තම තමන්ට පැමිණි අසුන් වල වැඩ හුන්නා. සරද තාපස නානාවර්ණ පුෂ්පයන්ගෙන් සැදි මහත් වූ ඡත්‍රයක් ගෙන තථාගතයන් වහන්සේට සෙවන සලසමින් හිසට උඩින් අල්ලාගෙන සිටියා.

එකල්හි තථාගතයන් වහන්සේ ‘තාපසයන්ට මේ සත්කාරය මහත් ඵල වේවා’ යි නිරෝධ සමාපත්තියට සමවැදුනා. ශාස්තෲන් වහන්සේ සමාපත්තියට සමවත් බව දැන අග්‍රශ්‍රාවකයන් ඇතුළු සකල භික්ෂුහු ද සමවතට සමවැදුනා. සරද තාපසයන්ගේ ගෝලයෝ භික්ෂාචාර කාලය පැමිණි කල්හි වනමුල් ඵලයන් වළදා ඉතිරි කාලයේ තථාගතයන් වහන්සේට වැඳ ගෙන සිටිති. සරඳ තාපස ආහාර වැළදිම ද නො කොට කුඩය අල්ලාගත් වනම සතිය මුළුල්ලෙහි ප්‍රිති සුවයෙන් ම සිටියා.

තථාගතයන් වහන්සේ සතියකින් පසු නිරෝධ සමාපත්තියෙන් නැගිට තමන් වහන්සේගේ දකුණූ පස වැඩ හුන් අග්‍රශ්‍රාවක නිසභ තෙරුන් වහන්සේ අමතා තාපස වරුන්ට පුෂ්පාසනානුමෝදනව කරන්න’ය යි ආරාධනා කරනු ලැබුවා. නිසභ තෙරුන් වහන්සේ ශ්‍රාවක පාරමීඥානයෙහි සිට තාපසවරුන්ට දහම් දේශනා කරනු ලැබුවා. උන්වහන්සේගේ දේශනාවසනයෙහි ද්විතීය ශ්‍රාවක අනෝමා තෙරුන් වහන්සේට දහම් දේසිමට ආරාධනය කරනු ලැබුවා. උන්වහන්සේ ද ත්‍රිපිටක බුද්ධ ධර්මය මෙනෙහි කොට දහම් දෙසනු ලැබුවා. අගසව් දෙනමගේ දේශනයෙන් එක් තවුසේකුටද ධර්මාවබෝධය වුනේ නැහැ. ඉක්බිති තථාගතයන් වහන්සේ අපරිමාන බුද්ධ විෂයෙහි සිට දහම් දෙසිමය පටන් ගනු ලැබුවා. ඒ දේශනයෙන් සරඳ තාපසයන් හැර සිව්සැත්තෑදහසක් තවුසෝ සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියා.

ඉක්බිති තථාගතයන් වහන්සේ, ‘මහණෙනි, එව්’ යි කියා ශ්‍රී හස්තය දිගු කරනු ලැබුවා. එකෙනෙහි තවුසන්ගේ කෙස් රෑවුල් අතුරු දහන් වුනා. අෂ්ටපරිෂ්කාරය ශරිරයෙහි ඉබේම පිහිටිය. ඔවුන්ගේ ප්‍රධානියාවූ සරද තාපස තුමා ඉතිරි වුනා. එතුමාට ධර්මය අවබෝධ නොවුනා. ඊට හේතුවක් තිබුනා. සරද තාපසතුමා බුදුරදුන්ට දෙවන අසුනෙහි හිඳ ශ්‍රාවක පාරමී ඥානයේ පිහිටා දහම් දෙසු අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ ධර්මය අසන්නට ලද වේලාවෙහි පටන් ‘අහෝ මටද අනාගතයේ යම්කිසි බුදුකෙනෙකුන්ගේ සස්නක මේ ශ්‍රාවකයා විසින් ලබා ඇති තනතුර ලද හොත් මැනව’ යන සිතක් ඇති වුනා. ඔහුට ඒ කල්පනාව නිසාම තථාගතයන් වහන්සේ දේශණය කළ ධර්මය මැනවින් තේරුම් ගෙන මඟ ඵල ලබන්නට නො පිළිවන් වුනා.

තමාගේ ශිෂ්‍ය පිරිස රහත්ව බුදුසස්නෙහි පැවිද්ද ලබා ගත් පසු සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ ’ ස්වාමීනි, නුඹ වහන්සේට සමිප අසුනෙහි වැඩ සිට දහම් දෙසු භික්ෂුන් වහන්සේ නුඹ වහන්සේගේ සස්නෙහි කවරෙක් වෙත් දැ’ යි විමසා සිටියා. එකල්හි තථාගතයන් වහන්සේ ‘ශ්‍රාවක පාරමීඥානයෙහි කෙළ පැමිණ සිටින්නා වූ ප්‍රඥාවෙන් අගතැන්පත් වී සිටින්නා වූ මා විසින් පවත්වන ලද ධර්ම චක්‍රය නැවත පවත්වන්නාවූ ඒ භික්ෂු තෙමේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක නම් වන්නේ ය’ යි වදාරනු ලැබුවා. සරද තාපස තෙමේ ‘ස්වාමීනි, සතියක් මුළුල්ලෙහි නුඹ වහන්සේට පුෂ්ප ඡත්‍රයක් දැරිමෙන් කළ සත්කාරයෙන් මම ශක්‍රත්වයක් හෝ බ්‍රහ්මත්වයක් නො පතමි. ඒ පිනෙන් මමද අනාගතයෙහි මේ නිසභ ස්ථවිරයන් වහන්සේ මෙන් එක් බුදු කෙනෙකුන්ගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක වෙම්වා’ යි ප්‍රාර්ථනා කරනු ලැබුවා.

එකල්හි තථාගතයන් වහන්සේ ‘මොහුගේ ප්‍රාර්ථනය සිදුවන්නේ දැ’ යි අනාගතයට නුවණ යවා බලා සිදුවනු දැක සරද තාපස අමතා , ‘පින්වත, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ගෞතම නම් බුදු කෙනෙක් ලොව පහළ වන්නාහ. ඒ බුදුන්ගේ සස්නෙහි ඔබ ධර්ම සේනාපති ශාරිපුත්‍ර නම් අග්‍රශ්‍රාවකයා වන්නෙහිය’ යි වදාරනු ලැබුවා. එදා ඒ අනවමදර්ශී සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට සත්කාර කොට අගසව් තනතුර පැතු සරද තාපසයා ඒ බුදුරදුන්ගේ අරහං ගුණානුභාවය නිසා ප්‍රාර්ථනාව ද සිදුවිම් වශයෙන් අප බුදුපියාණන් වහන්සේගේ සසුනේ අග්‍රශ්‍රාවක බවට පත්වුනා.