අපේ බුදුහාමුදුරුවෝ 41

 

අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව 02

අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 04

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ සසරේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන මහා සම්පතක්. ඔහු නිරන්තරයෙන්ම සසරේ තමාගේ යහළුවෝ තනිකර නිවන් පුරට යන්නේ නැහැ. එවැනි සම්පතක් මුගලන් හාමුදුරුවන්ටත් තිබුනා. ඒ විතරක් නෙවෙයි බොහෝ විට ඒ අය සසරේ ගමන් කරන්නේ එකට. අත්වැල් බැඳගෙන වගේ. එක්කෙනෙක් වැටෙනකොට හෝ වල්මත් වෙනකොට අනිකා නැගිට්ටවනවා හෝ පාර කියනවා. එදත් වුනේ ඒ වගේ සිදුවීමක්. සරද තාපස තුමා අගසවු තනතුර සඳහා විවරණ ගත් ක්ෂණයෙන් උන්වහන්සේට මතක් වුනේ තමන්ගේ අඹ යහළුවා වන සිරිවඞ්ඪ කෙළෙඹීයාව. 

සරද තාපස තෙමේ තමා අගසව් ලබන ගෞතම බුද්ධශාසනයේ දෙවන ශ්‍රාවක තනතුර තමාගේ යහළුවා වන සිරිවඞ්ඪ කෙළෙඹීයා ලවා ප්‍රාර්ථනා කරනු කැමැත්තේ ඔහු වෙත යන්නට පිටත්වුනා. සිරිවඞ්ඪ, ‘බොහෝ කලකින් ආර්යයන් වහන්සේ පැමිණියහ’ යි ආසනයක හිඳුවා ඔහුද 

නීචාසනයෙක හිඳ ‘ස්වාමිනි, අද නුඹ වහන්සේගේ අතවැසියෝ නො පෙනෙති’ යි වටපිට බලමින් විමතියෙන් කියන්නට වුනේ හැත්තෑහතර දහසක පිරිවර එදා නොසිටි හෙයින්. 

‘එසේය යහළුව, අපේ අසපුවට අනවමදර්ශි සර්වඥයන් වහන්සේ පැමිණියා. උන්වහන්සේ අපට දහම් දෙසූනු ලැබුවා, දේශනාවසානයෙහි මාගේ ශිෂ්‍යයෝ රහත්ව උන්වහන්සේ වෙත පැවිදි වුනා.

‘ස්වාමිනි, එසේ නම් නුඹ වහන්සේ ඒ බුදුරදුන් වෙත පැවිදි නො වූයේ මන්දැ’ යි සිරිවඞ්ඪ මවිතයෙන් ඇසුවා.

‘යහළුව, මම ඒ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ නිසභ තෙරුන් වහන්සේ දැක අනාගතයෙහි ලොව පහළ වන ගෞතම නම් බුදුරදුන්ගේ සස්නෙහි අග සව් තනතුර පැතුවා, ඔබ ද ඒ බුදු සස්නෙහි දෙවන සව් තනතුර පතන්නට කැමති කරවගන්නයි පැමිණියේ යනුවෙන් ඔහු පවසනු ලැබුවා.

සිරිවඞ්ඪ කෙළෙඹි එයට කැමති වි සරද තාපසයන්ගේ උපදෙස් පරිදි තමාගේ නිවස ඉදිරියේ අටකිරියක් පමණ භූමිභාගයක් සමතලා කරවා වැලි ඉස්වා ලදපස්මල් ඉස්වා නිලූපුල් මල් පියැස්ස ඇති මඩුවක් කරවා අසුන් පනවා මහත් සත්කාරයත් පිළියල කොට බුදුන් වහන්සේ වැඩමවා දෙන පරිදි සරද තාපසතුමාට කියා සිටියා. තාපසතුමාත් ඔහුගේ ඉල්ලීම පරිදි බුදුපාමොක් මහසඟන ඔහුගේ නිවසට වැඩම කරනු ලැබුවා. සිරිවඞ්ඪ පැනවූ අසුන් වල බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟන වඩා හිඳුවා ප්‍රණීත භෝජන වළදවා අවසානයේ දී වටිනා වස්ත්‍ර ද පුදා තථාගතයන් වහන්සේ වැඳ ස්වාමිනි, මාගේ මේ උත්සහය සුළු දෙයක් නොවෙය, එබැවින් මට සතියක්ම මෙසේ අනුකම්පා කරන සේක්වා’ යි දැයි විමසා සිටියා.

තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනාව ඉවසා වදාරනු ලැබුවා. ඔහු සත්දිනක් මහදන් දී අවසානයේ අනවමදර්ශී සම්බුද්ධයන් වහන්සේ වැඳ ඇඳිලි බැඳ සිට ‘ස්වාමිනි, මාගේ යහළු සරද තාපසතුමා යම් බුදුකෙනෙකුන්ගේ අගසව් බව පැති ද මම මේ කුශලයෙන් ඒ බුදුරදුන්ගේ ද්විතීය අග්‍රශ්‍රාවක වෙම්වා’ යි පතනු ලැබුවා. තථාගතයන් වහන්සේ අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාව සිදුවන බව දැන ‘නුඹ මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු බුදුවන ගෞතම නම් සර්වඥයන් වහන්සේගේ ද්විතීයාග්‍රශ්‍රාවක වන්නෙහිය’ යි වදාරනු ලැබුවා. හෙතෙමේ එසේ අනවමදර්ශී බුදුරදුන් ඉදිරියේ කළ ප්‍රාර්ථනාවෙන් මොග්ගල්ලාන නම් ද්විතීයාග්‍රශ්‍රාවක වශයෙන් අපගේ බුදු සසුනේ පිදුම් ලැබුවා.

error: Content is protected !!