අපේ බුදුහාමුදුරුවෝ 39

 

යක්ෂ සේනාධිපතියෙක්ව සිට නියත විවරණලත් අප මහා බෝසතාණෝ

අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 02

ත්‍රිපිටකයේ බුද්ධවංසපාළියෙහි ඇති ගාථා අතරෙන් ගාථා දෙකක අනෝමදස්සී බුදුහාමුදුරුවන් ගැන සඳහන් බුදුගුණ මගේ සිත ගත්තා. මට හිතෙන්නේ ඒ බුදු ගුණ සෑම බුදුවරයෙකුටම සමානයි කියලා.

සොභිතස්ස අපරෙන, සම්බුද්ධො ද්විපදුත්තමො;
අනොමදස්සී අමිතයසො, තෙජස්සී දුරතික්කමො.

උන්වහන්සේ අනූපම දර්ශන ඇති අනූපම දර්ශන දත් අපමණ කීර්ති අපමණ පිරිවර ඇති සීල සමාධි ප්‍රඥා තෙදින් යුක්ත වූ දෙවියකු බ්‍රහ්මයකු හෝ මාරයකු හෝ වෙනත් කිසිවෙකුට මැඩලිය නොහැකි යන්නයි.

සාගරොව අසඞ්ඛොභො, පබ්බතොව දුරාසදො;
ආකාසොව අනන්තො සො, සාලරාජාව ඵුල්ලිතො.

උන්වහන්සේ සාගරය මෙන් නොකැළඹිය හැකි. අහස මෙන් කෙළවරක් නැති. මහාමේරු පර්‍වතය මෙන් ළංවිය නොහැකි, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ, අසූ අනූ ව්‍යඤජන ආදියෙන් මල් පිපුණු සල්ගසක් මෙන් බබලන යන්නයි.

ඒ භාග්‍යවතුන් වහන්සේ බෝමුල සත් සති ගෙවා මහ බඹහු විසින් ආරාධනය කල පසුව ප්‍රථම ධර්ම දේශනාව සඳහා බුදු ඇසින් බලන සේක් තමන් සමග පැවිදි වූ හේතු සම්පන්න සහිත තෙකෙලක් දෙනා දැක ඔවුන් දැන් කොහි වෙසෙත් දැයි බලන්නට වුණා. ඔවුන් ඒ වන විට සිටියේ සුභාවතී නුවර සුදසුන් උයනෙයි. උන්වහන්සේ ඒ මොහොතෙහි ම අහසට නැග සුදසුන් නුවරට වැඩම කළා. උන් වහන්සේ ඔවුන් පිරිවරා දෙව් මිනිසුන් සහිත පිරිසට දම් සක් පැවැත්වූවා. එහිදී කෙලෙ සියයකට පමණ පළමු ධර්මාවබෝධය වුණා.

පසු කාලයක ඕසබී නුවර දොර පියාගස මුල යමක ප්‍රාතිහාර්ය කොට දෙව්පුර ශක්‍ර භවනෙහි පඬුපුල් සලසුනෙහි හිද අභිධර්ම වර්ෂා වස්සවන්නට වුණා. එකල අසූකෙළක් දෙවියෝ ධර්මාවබෝධය කරනු ලැබුවා.

ඉන්පසු කාලික මංගල ප්‍රශ්න නිර්දේශයෙහි අට සැත්තෑ කෙළක් ධර්මාවබෝධය කළා

අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් වූවා.

සෝරෙය්‍ය නුවර ඉසිදත්ත රජුට දහම් දෙසන කළ පැහැද ඒහිභික්ෂු භාවයෙන් පැවිදි වූ අටලක්ෂයක් රහතුන් මැද පාමොක් දේශනා කළා. එය ප්‍රථම සන්නිපාත යයි.

රාධා වතී නුවර මධූරින්ධර රජුට දහම් දෙසද්දී ඒහිභික්ෂු භාවයෙන් පැවිදි වූ සත් ලක්ෂයක් රහතුන් මැද පාමොක් දේශනා කළා. මෙය දෙවන සත්නිපාතයයි.

නැවත සෝරෙය්‍ය නුවර ම සෝරෙය්‍ය රජු සමඟ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ හය ලක්ෂයක් රහතුන් මැද පාමොක් දේශනා කළා. මේ තෙවන සන්නිපාත යයි.

ඒ කාලෙ අප මහා බෝසතාණෝ එක් මහේශාක්‍ය යක්ෂ සේනාධිපතියෙක් ව වාසය කළා. මහත් සෘද්ධි ආනුභාව ඇති උන්වහන්සේ කෙල ලක්ෂ ගණනක් යකුන්ට අධිපති වුණා. ඒ මහා යක්ෂ සේනාධිපතියාට බුදු කෙනෙකු ලොව පහළ වූ බව දැන ගන්නට ලැබුණා. ඔහු බුදුන් වෙත පැමිණ භික්ෂු සංඝයා හට දානයට ආරාධනය කළ. ඔහු විසින් ඒ කෙල කෝටි ගණනක් වූ මහා සංඝ රත්නයට සත්තරුවන් මුවා සුන්දරතර සඳ මඬල වැනි මහා මණ්ඩපයක් සෘද්ධි බලයෙන් මවනු ලැබුවා. මැව්ව විතරක් නෙවෙයි ඒ මණ්ඩපය මත දින හතක් පුරා බුදු පාමොක් සඟනට දන් දුන්නා. අවසානයේ පුණ්‍යානුමෝදනා කරන මොහොතේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ඔහුට අනාගතයෙහි කල්ප ලක්ෂයක් අධික එක් අසංඛ්‍යයක් ගෙවීමෙන් ගෞතම නමින් බුදු වන්නේ යැයි ප්‍රකාශ කළා. ඒ මොහොතේත් ලොවෙහි යළි දෙතිස් පෙළහැර විද්‍යමාන වුණා. දෙවියන්ගේ සාධු නද දෙව් ලොවින් දෙව්ලොවට පැදි පැතිර ගියා. එහෙත් ඒ යක්ෂ සේනාධිපති ව සිටි අප මහ බෝසතාණන් වහන්සේ නොදැන සිටි තව කරුණක් තිබුණා. ඒ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනමද ඒ මොහොත වන විට වෙනත් ජනපදයක උපත ලබා සිටීමයි . ඒත් අනෝමදස්සි බුදුහාමුදුරුවන්ට එය රහසක් වුණේ නෑ . අවස්ථාවක් ලදොත් හෙටින් පසුව ඒ ගැන ලියන්නම්.

 
error: Content is protected !!