The Great Arahant Nandaka Thero.

නන්‍දක මහරහතන් වහන්සේ.

 

මේ තෙරණුවෝ වනාහි ධර්‍මදේශනා කරමින් එකම කුළුගැන්වීමකදී භික්‍ෂුණීන් පන්සියයන් රහත්බවට පැමිණවූහ. එබැවින් භික්‍ෂුනීන්ට අවවාද කරන්නවුන් අතුරෙන් අග්‍රනම් වූහ.

පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නාහු ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක භික්‍ෂුනීන්ට අවවාද දෙන්නවුන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්කම් කොට එම තනතුර පැතූහ. හෙතෙම දිවිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙන් සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි කුලගෙයක පිළිසිඳගෙන වියපත්වූයේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසා ලැබූ සැදැහැ ඇත්තේ ශාස්තෘන් සමීපයෙහි පැවිදිව විදසුන් වඩා රහත්බවට පැමිණ පෙරවිසූ කඳ පිළිවෙළ පිළිබඳ ඥානයෙහි පුරුදුකළ වසඟ බව ඇත්තේ විය. හෙතෙම සිවුපිරිස එක්වූ කල්හි සියල්ලවුන්ගේ සිත් ගෙන කථා කිරීමට හැක්කේනුයි ධර්‍මකථික නන්‍දක නම් වූයේය. තථාගතයන් වහන්සේද රෝහිනී නදීතෙරෙහි චුම්බටක සටනෙහිදී නික්ම පැවිදිවූ පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරවරුන්ට උකටලීබවක් ඇතිවු කල්හි ඒ භික්‍ෂූන් ගෙන කුණාල විලට ගොස් කුණාල ජාතක කථාවෙන් ඔවුන්ගේ සංවේගීබව දැන චතුරාර්‍ය්‍යසත්‍යය පවසා සෝවාන් පෙලෙහි පිහිටවූසේක. මෑත කාලයෙහි මහාසමය සූත්‍රය පවසා අග්‍රඵලයවූ අර්‍භත්වයෙහි පිහිටවූසේක. ඒ තෙරවරුන්ගේ පැරණි භාර්‍ය්‍යවො‍් අපි දැන් මෙහි කුමක් කරන්නෙමුදැ’යි කියා සියල්ලෝම එක්සිත්ව මහාප්‍රජාතපති ගොතමිය වෙත එළඹ පැවිද්ද ඉල්ලූවාහුය. ඒ පන්සියයම තෙරණියගේ සමීපයෙහි පැවිද්ද ද උපසම්පදාවද ලැබූහ. ගතවූ අනතුරු ජාතියෙහි ඒ සියල්ලෝම රාජාත්ම භාවයෙහි සිටි නන්‍දකස්ථවිරයන්ගේ භාර්‍ය්‍යාවරු වූහ.

එසමයෙහි ශාස්තෘන් වහන්සේ භික්‍ෂූහු භික්‍ෂූණීන්ට අවවාද කෙරෙත්වායි පැවසූ සේක. තෙරණුවෝ තම වාරය පැමිණි කල්හි ඔවුන්ගේ පෙර ආත්ම භාවයෙහි තමන්ගේ පාදපරිචාරිකාභාවය දැන මෙසේ සිතූහ. ‘මේ භික්‍ෂුණී සංඝයා මධ්‍යයෙහි හිඳිමින් උපමාද කරුණුද ගෙනහැර දක්වමින් ධර්‍මය කියන්නාවූ මා දැක වෙනත් පූර්‍වෙනිවාසාඥානලාභී භික්‍ෂුවක් මෙකරුණ බලා ‘ආයුෂ්මත් නන්‍දක තෙර අද දක්වාත් අතොවුර නොහරියි. ආයුෂ්මතුන් අතොවුර විසින් පිරිවරණ ලද්දේ හොබනේයයි කියන්නේ වන්නේය’ එබැවින් තෙමේ නොගොස් අන් භික්‍ෂුවක යැවීය. ඒ පන්සියයක් භික්‍ෂූණීහු තෙරුන්ගේම අවවාදය බලාපොරොත්තු වෙත්. මෙකරුණින් භාග්‍යවතුන් වහන්සේ තම වාරය පැමිණි කල්හි අනෙකකු නොයවා තෙමේම ගොස් භික්‍ෂුණී සංඝයාට අවවාද කරව’යි තෙරුන්ට පැවසූ සේක. හෙතෙම ශාස්තෘන්වහන්සේගේ කථාව යටපත් කිරිමට නොහැකි වන්නේ තම වාරය පැමිණිකල්හි තුදුස්‍වකෙහි භික්‍ෂුණී සංඝයාට අවවාද දී ඒ සියලුම භිකෂුණීන් ෂඩ් ආයතනයන් පිළිබදඳවූ ධර්‍මදේශනාවෙන් සෝවාන් පෙලෙහි පිහිටවීය.

ඒ භික්‍ෂුණීහු තෙරුන්ගේ ධර්‍මදේහනාවට සතුටු සිත් ඇත්තාහු ශාස්තෘන් සමීපයට ගොස් තමන් විසින් අවබෝධ කළ ගුණයන් සැළ කළාහුය. ශාස්තෘන්වහන්සේ ‘කවරකු නම් දහම් දෙසනකල්හි මේ භික්‍ෂුණීහු මතු මාර්‍ග ඵලයන්ට පැමිණෙන්නාහුදැයි සිහිකරනසේක් ‘යළි නන්‍දක තෙරුන්ගේ ඒ ධර්‍මදේශනාවම අසා මේ පන්සියයක් භික්‍ෂුණීහු රහත්බවට පත් වන්නාහුය’යි දැක දෙවැනි දිනයෙහිද තෙරුන්ගේම සමීපයට දහම් ඇසීම සඳහා යැවූසේක. ඔවුහු දෙවන දිනයෙහි දහම් අසා සියල්ලෝම රහත්බවට පත්වූවාහුය. එදවස භාග්‍යවතුන්වහන්සේ ඒ භික්‍ෂුණීන් තමන්වෙත පැමිණිකල්හි දම්දෙසුම සඵල බව දැන ‘ඊයේ නන්‍දකගේ ධර්‍මදේශනාව තුදුස්වකෙහි සඳ වැනිය විය. අද පසළොස්වකෙහි සඳ වැනියය’ පවසා තෙරුන්ට සාධුකාරදී තෙරුන් භික්‍ෂුණීන්ට අවවාද කරන්නවුන් අතුරෙන් අගය තැන්හි තැබූ සේක.

The Great Arahant Nanda Thero.

නන්‍ද මහරහතන් වහන්සේ.

 

ඉන්‍ද්‍රියසයෙහි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් නන්‍ද තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. වැළිඳු ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ නොවැසූ දෙරටු ඇත්තෝ නම් නොවෙත්. නන්‍ද තෙරණුවෝ වනාහි දස දෙසෙහි යම් යම් දිසාවක් බලනු කැමැතතෝ වෙත්ද එදෙස චතුසම්ප්‍රජඥ වශයෙන් නොසිඳ නොබලත්, එහෙයින් ඉඳුරන්හි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් අග්‍ර නම්වූහ.

පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන වියට පත්වූයේ ශාස්තෘන් සමීපයෙහි ධර්‍මය අසමින්, එක් භික්‍ෂුවක ඉඳුරන්හි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කම් කොට දෙව්මිනිසුන් අතුරෙහි සැරසරන්නේ කපිල පුරයෙහි මහාප්‍රජාපතී ගෞතමියගේ කුසෙහි පිළිසඳ ගත්තේය. ඉක්බිති මොහුට නම් ගන්වන දිනයෙහි ඥාතිසමූහයා ආනන්‍දයට පත්කරමින් තුටුකරමින් උපන්නේයයි නන්‍දකුමාර යනුවෙන් නම් කළාහුය.

මහසත් තුමෝද සර්‍වඥතා ඥානයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු ලෝකානුග්‍රහය කරමින් ජරගහ නුවරින් කිඹුල්වතට ගොස් පළමු දැක්මෙන්ම පියරජු සෝවාන් පෙලෙහි පිහිටවූහ. දෙවන දිනයෙහි පිය නිවෙසට ගොස් රහල් මවට අවවාදදී සෙසු ජනයාටද ධර්‍මදේශනා කළහ. දෙවැනි දිනයෙහි නන්‍දකුමරුගේ අභිෂේක ගෘහප්‍රවේශ ආවාහ යන මංගල්‍යයන් පවත්නා කල්හි ඔහුගේ නිවසට ගොස් කුමරු ලවා පාත්‍රයා ගන්වා ගෙන පැවිදි කරවීමට විහාරභිමුඛව පිටත්වූහ. අභිෂේක මංගල්‍යය නන්‍දකුමරු එසේ නොපෙළීය. (එහෙත්) පාත්‍රය ගෙන යන කල්හි ජනපදකල්‍යාණිය මතුමහල්තලයටවූවා සීමැදුරු කවුළුව හැර ‘ආර්‍ය්‍ය පුත්‍රය, ඉක්මණින් එන්නැ’යි යම් වචනයක් කීවාද එය අසා ගෙහසිත ඡන්‍දරාග වශයෙන් බලමින් මෙතෙම (නන්‍දකුමාර තෙමේ) ශාස්තෘන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් කැමති පරිද්දෙන් නිමිති ගැනීමට නොහැකි වූයේය. එයින් ඔහුට සිත් තැවුලක් වූයේය. ඉක්බිති මෙතැන්හි නවතින්නේය. මෙතැන්හි නවතින්නේයයි සිතන්නාවූම ඔහුට ශාස්තෘන්වහන්සේ විහාරයට පමුණුවා පැවිදි කරවූසේක. පැවිදි කරවන කල්හිද වළක්වන්නට නොහැකි වන්නේ නිශ්ශබ්ද වූයේය. පැවිදිවූ දිනයෙහි සිට ජනපද කල්‍යාණිය විසින් කියනලද වචනයම සිහිකරයි. ඉක්බිති ඔහුට ඇය අවුත් නුදුරෙහි සිටියා මෙන්විය. හෙතෙම උකටලීබවින් පෙළුනේ ටික දුරක් යයි. පදුරක් හෝ ලැහැබක් හෝ ඉක්මවද්දී ඔහුට බුදුන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාහු මෙන් පෙනෙයි. හෙතෙම ගින්නෙහි වැටුණු කුකුළ පියාපතක් මෙන් ආපසු හැරී තමන් වසන තැනටම පිවිසෙයි.

ශාස්තෘන්වහන්සේ ‘නන්‍ද අතිශයින් පුමාදව වසයි. උකටලී බව සංසිදීමට නොහැක්කේය. මොහුගේ සිත නිවන්නට වටනේයයි සිතූසේක. ඉක්බිති ඔහුට ‘නන්‍දය. එන්න, දෙව්ලොව චාරිකාවක යන්නෙමු’යි පැවසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, කෙසේ නම් මම සෘද්ධිමතුන් විසින් යායුතු තැනට යන්නෙම්ද?’ නුඹ, හුදෙක් යාමේ සිත උපදවා ගනුව. ගොස් බලන්නේය.’ හෙතෙම තථාගතයන්වහන්සේගේ ආනුභාවයෙන් තථාගතයන් වහන්සේ සමඟම දේවචාරිකාවෙහි ගොස් සක්දෙව් රජුගේ නිවාසය බලා අප්සරාවන් පන්සියයක් දුටුවේය. ශාස්තෘන්වහන්සේ නන්‍දතෙරුන් සුබ නිමිති වශයෙන් ඔවුන් දෙස බලනුදැක ‘නන්‍දය, මේ අප්සරාවෝ මනාප වූවෝද (නැතහොත්) ජනපද කල්‍යාණිය දැයි ඇසූ සේක. ‘ස්වාමීනි, ජනපදකල්‍යාණිය මේ අප්සරාවන් හා සමාන කිරීමෙන් කන්නාසා සිඳීගිය කණ වැදිරියක් මෙන් හැඟෙයි.’ ‘නන්‍දය, ඉදින් භාග්‍යවතුන්වහන්සේ මට ඇප කරුවෙක් වනසේක් නම් මම මහණදම් කරන්නෙමි.’ ‘නන්‍ද, ඔබ සැකරහිතවූයේ මහණදම් කරව. ඉදින් ඔබගේ ප්‍රතිසන්‍ධි සහිතවූ කාලක්‍රියාවක් වන්නේද මම මොවුන් ලබාගැනීම සඳහා ඇපකරුවා වෙමි.’ මෙසේ ශාස්තෘන්වහන්සේ කැමති පරිද්දෙන් දේවචාරිකාවෙහි හැසිර දෙව්රමටම පෙරළා පැමිණිසේක.

එතැන්පටන් නන්‍ද තෙරණුවෝ අප්සරාවන් හේතුවෙන් මහණදම් කරති. ශාස්තෘන්වහන්සේ, නුඹවහන්සේලා නන්ද වසන තැන ‘එක්භික්‍ෂුවක් තථාගතයන් වහන්සේ ඇපයට තබා දෙවඟනන් ලබැගැනීම සඳහා මහණදම් කරතැයි ඒ ඒ තැන කියමි හැසිරෙවු’යි භික්‍ෂූන්ට ඇණවූසේක. ඔවුහු ශාස්තෘ වචනය පිළිගෙන ‘ආයුෂ්මත් නන්‍ද කුලීකරුවෙකි. ආයුෂ්මත් නන්‍ද මිළටගනු ලැබුවෙකි. අප්සරාවන් හේතුකොටගෙන බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙයි. භාග්‍යවතුන්වහන්සේ පරෙවි පා ඇති අප්සරාවන් පන්සියයක් ලැබීම සඳහා ඇපවූසේකැ’යි තෙරුන්ගේ ශ්‍රවණෝපචාරයෙහි කියමින් හැසිරෙත්. නන්‍දතෙරණුවෝ ඒ කථාව අසා මේ භික්‍ෂුහු අනෙකකුට නොකියති. මා අරභයා කියති. මගේ ක්‍රියාව අයුතුය’යි ඥානය උපදවා විදසුන් වඩා රහත්බවට පැමිණියහ. ඉක්බිති උන්වහන්සේ රහත්බවට පත් කෙණෙහිම එක්තරා දෙවියෙක් භාග්‍යවතුන්වහන්සේට එකරුණ සැළ කළේය. භාග්‍යවතුන්වහන්සේත් තුමුම දත්සේක. දෙවන දිනයෙහි නන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ මෙසේ කීය. ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට පරෙවිපා ඇති අප්සරාවන් පන්සියයක් ලබා ගැනීමට ඇපකරුවෙක් වූසේක්ද මම භාග්‍යවතුන්වහන්සේ ඒ ඇපයෙන් නිදහස් කරමි’ මෙසේ කතාවස්තුව නිමියේයි. ශාස්තෘන් වහන්සේ මෑත කාලයෙහි දෙව්රමෙහි වාසය කරනසේක් තෙරුන් ඉදුරන්හි වැසූදෙරටු ඇති අය අතුරින් අග තනතුරෙහි පිහිටවූසේක.

The Great Arahant Kaludayi Thero.

කාළුදායී මහරහතන් වහන්සේ.

 

මේ තෙරණුවෝ නුදුටු බුදුන් දැකීම් ඇති සුදොවුන් මහරජුගේ නිවෙස්න පැහැදවූහ. එබැවින් කුලපහදන්නවුන් අතුරින් අග්‍රනම්වූහ.

පියුමුතුරා බුදුන්කල හංසවතී නුවර කලගෙයක උපන්නේ ශාස්තෘන්වහන්සේගේ දම් දෙසුම අසමින් එක් භික්‍ෂුවක කුලපහදවන්නවුන් අතුරෙන් අගතැන්හි තබන්නාවූ බුදුරජාණන්වහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් කුසල් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ අපගේ බෝසතුන් මවුකුස පිළිසිඳ ගන්නා දිනයෙහි කිඹුල්වතෙහිම ඇමති ගෙයක පිළිසිඳ ගත්තේය. උපන් දිනයෙහි බෝසතුන් සමඟම උපන්නේයයි එදිනම ඔහු දුහුල් ආධාරකයක හොවා බෝසතුනට උවටැන් සඳහා යැවූහ. බෝසතුන් සමඟ බෝරුක, රහල්මව, සිවුමහ නිදන්සැළි, නැඟයායුතු ඇත, කන්‍ථක අසු, ඡන්න හා කාළුදායී යන මේ සත එක් දිනෙක උපන් බැවින් එකට උපන්නාහු නම් වූවාහුය. ඉක්බිති ඔහුට නම්දෙන දිනයෙහි සියලු නුවරුන්ගේ සතුටුසිත් ඇති දිනයෙහි උපන්නේයයි උදායී යනුවෙන් නම් කළාහුය. මඳක් කළුස්වභාවය ඇති බැවින් කාළුදායී නම් වූයේය. හෙතෙම බෝසතුන් සමඟ කුමරකෙළි කෙළින්නේ වැඩිවියට පැමිණියේය.

මෑතකාලයහි බෝසතුන්වහන්සේ මහබිනික්මන් නික්ම අනු පිළිවෙළින් සර්‍වඥතාඥානයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් ලෝකානුග්‍රහය කරමින් රජගහනුවර ඇසුරුකොට වසනසේක. එසමයෙහි සුදොවුන් මහරජතෙමේ, ‘සිදුහත් කුමරු අභිසම්බෝධියට පත්ව රජගහ නුවර ඇසුරු කොට වේළුවනයෙහි වාසය කරති’යි අසා පුරුෂයින් දහසක් පිරිවර කොට ඇති එක් ඇමතියකු මගේ පුතු මෙහි ගෙන එව’යි යැවීය. හෙතෙම සැටයොදුන් මගගොස් බුදුන්වහන්සේගේ සිවුපිරිස මැඳ හිඳ දහම් දෙසන වේලෙහි විහාරයට පිවිසියේය. හෙතෙම රජු එවූ හසුන තිබියේවායි (සිතා) පිරිස් කෙළවරෙහි සිටියේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසා සිටි ලෙසින්ම පුරුෂයන් දහස සමඟ රහත්බවට පැමිණියේය. ඉක්බිති ඔවුන්ට ශාස්තෘන්වහන්සේ ‘එවූ මහණෙනි’යි අත දිගු කළ සේක. සියල්ලෝ එකෙණෙහිම සෘද්ධිමය පාත්‍රචීවර දරන්නාවූ වස්සියයක් ගිය තෙරවරුන් මෙන් වූවාහුය. රහත්බවට පත් කල් පටන් ආර්‍ය්‍යයෝ නම් මධ්‍යස්ථ වූවෝම වෙතියි රජු යැවූ හසුන බුදුන්වහන්සේට සැළ නොකළෝය. රජතෙමේ ‘ගියාහු නොඑන්නොමය. හසුනකුදු නොඅසනු ලැබේ’යයි ‘එව. දරුව නුඹ යව’යි ඒ අයුරින්ම වෙනත් ඇමතිවරයකු යැවීය. හෙතෙමේත් ගොස් මුල් අයුරින්ම පිරිස සමඟ රහත් බවට පත්ව නිහඬ වූයේය. මෙසේ ඇමතියන් නව දෙනකු සමඟ නවදහසක් මිනිසුන් යැවීය. සියල්ලෝ තමන්ගේ කටයුතු නිමවා නිහඬ වූවාහුය.

ඉක්බිති රජතෙමේ මෙසේ සිතුවේය: මෙපමණ ජනයෝ මා කෙරෙහි සෙනෙහසක් නොමැති බැවින් බුදුන් වහන්සේට මෙහි පැමිණීම සඳහා කිසිවක් නොකීවාහුය. අන් අය ගොස්ද දශබලයන්වහන්සේ ගෙන්වා ගැනීමට නොහැකි වෙත්, මගේ පුත් උදායි දශබලයන් සමඟ එකම වයස් ඇත්තෙකි. වැළි කෙළෙයෙහි පටන් මා කෙරෙහිද මොහුගේ ස්නේහයක් ඇතැයි කාළුදායී කැඳවා ‘දරුව, පුරුෂයින් දහසක් පිරිවර ඇතිව ගොස් දශබලයන්වහන්සේ වැඩමවාගෙන එව’යි කීවේය. පළමුව ගිය පුරුෂයින් මෙන් පැවිදිවීමට ලබන්නේ ගෙනෙන්නෙමි දේවයිනි’යි (හෙතෙම පැවසීය) ‘යම් කිසිවක්කොට මගේ පුතු දක්වව’යි (රජතෙමේ කීවේය) ‘මැනවි දේවයිනි’යි රජුගේ හසුන ගෙන රජගහ නුවරට ගොස් ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනා වේලාවෙහි පිරිස් කෙළවර සිටියේ දහම් අසා පිරිවර සහිත වූයේ රහත් පලයට පත්ව ඒහි භික්‍ෂු භාවයෙහි පිහිටියේය. ඉක්බිති (හෙතෙම) සිතීය: දශබලයන්වහන්සේට කුලනගරයට යාමට මේ තවම කාලය නොවේ. වසන්ත සමයෙහි සුපිපි වන ලැහැබ් ඇති විට පොළොව නිල් තණින් ගැවසුණ විට ඒ සුදුසු කාලය වන්නේයයි කල් බලමින් ඒ කාලය ආ බව දැන,

‘දැඩිසීත නැත. දැඩි උණුසුම නැත. දැඩි ආහාර හිඟය හා දැඩි කුසගින්න නැත. පොළොව ළදල්ලෙන් නිල්වන්ය. මහමුනි උතුමාණෙනි, මේ (ඔබට) සුදුසු කාලයයි.’

සැටක් පමණවූ ගාථාවන්ගෙන් දශබලයන්වහන්සේට කුලනගරයට යාම සඳහා ගමන් වැණුම කළේය. ශාස්තෘන්වහන්සේ, ‘උදායි ගමන් වැණුම කියයි. කිඹුල්වත් නුවරට යාමට මේ කාලයයි’යි විසිදහසක් භික්‍ෂූ පිරිවර ඇත්තාහු මඳ ගමනින් චාරිකාවෙහි නික්මුණුසේක.

උදායි තෙරණුවෝ බුදුන් නික්මුණු බව දැන පියමහරජුට සංඥාවක් දීමට වටීයයි අහසට පැන නැඟී රජුගේ නිවෙසෙහි පහළවූහ. සුදොවුන් මහරජතෙමේ තෙරුන් දැක තුටුසිත් ඇත්තේ මාහැඟි පළඟක වඩා හිඳුවා තමන්ට පිළියෙළ කරනලද නොයෙක් අග්‍රරස සහිත භෝජනයෙන් පාත්‍රය පුරවා දුන්නේය. තෙරණුවෝ නැඟිට යනසැටියක් පෙන්වූහ. හිඳගෙනම වළඳව දරුව’යි රජ කීවේය. ‘මහරජ, ශාස්තෘන් සමීපයටම ගොස් වළඳන්නෙමි’ ‘දරුව, ශාස්තෘන්වහන්සේ කොහිද?’ ‘මහරජ, විසිදහසක් භික්‍ෂු පිරිවර ඇත්තාහු නුඹ දැකීම සඳහා චාරිකාවෙහි නික්මුණු සේක!’ ‘නුඹ වහන්සේ මේ පිණ්ඩපාතය වළඳා යම්විටෙක මගේ පුතා මේ නගරයට සැපැමිණෙයිද එවිට ඔහුට මෙයින්ම පිණ්ඩපාතය ගෙන යනු මැනව.’ තෙරණුවෝ බත්කිසකොට බුදුන්වහන්සේට ගෙනයායුතු බත ගෙන දහම්කතා කියා බුදුන්වහන්සේ නොදැකීමෙන්ම සියලු රජනිවෙසට ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබාදී සියල්ලන් බලා සිටියදීම පාත්‍රය අහසෙහි මුදාහැර තෙමේත් අහසට පැන නැගී පිණ්ඩපාතය රැගෙන බුදුන්වහන්සේගේ අතෙහි තැබූහ. ශාස්තෘන්වහන්සේ එම පිණ්ඩපාතය වැළදූසේක. තෙරණුවෝ සැටයොදුන් මග යොදුනක් පරම කොට වඩින්නාවූ ශාස්තෘන්වහන්සේට දිනපතා රජ මැදුරෙන් බත් ගෙනවුත් දුන්හ. මෙසේ කථාවස්තුව දතයුතුය. ඉක්බිති මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ මගේ පිය මහරජුගේ සියලු නිවෙස්න පැහැදවීයයි තෙරුන් කුලපහදන්නවුන් අතුරෙන් අගතනතුරෙහි තැබූසේක.

 

The Great Arahant Uruwelakassapa Thero.

උරුවෙලකස්සප මහරහතන් වහන්සේ.

 

මහත් පිරිවර ඇත්තවුන් අතුරින් උරුවෙලකස්සප තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. අනෙක් තෙරවරුන්ට වනාහි කිසියම් කාලයක් පිරිවර මහත්වෙයි. කිසියම් කාලයක මඳ වෙයි. මේ තරුන්ට වනාහි දෙබෑයන් සමග ශ්‍රමණයින් දහසක් නිබඳ පිරිවර වූයේය. ඔවුනතුරින් එක් කෙනෙකු එක්කෙනෙකු එකිනෙකා බැගින් පැවිදිකරවනකල්හි දෙදහසක් ශ්‍රමණයෝ වෙත්. දෙදෙනා බැගින් පැවිදිකරවන කල්හි තුන්දහසක් ශ්‍රමණයෝ වෙත්. දෙදෙනා බැගින් පැවිදිකරවන කල්හි තුන්දහසක් ශ්‍රමණයෝ වෙත්. එහෙයින් හෙතෙම මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අග්‍රනම්වූයේය. කස්සප යන මොහුගේ ගෝත්‍රයයි. උරුවේලාවෙහි පැවිදිවූ බැවින් ‘උරුවෙලකස්සප’යි ප්‍රසිද්ධ විය.

පියුමුතුරා බුදුන් කළ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳගෙන වියපත්වූයේ ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අගතැන්හි තබන ශාස්තෘන්වහන්සේ දැක මාවිසින්ද අනාගතයෙහි මෙබන්දකු වීම වටීයයි සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී තුන්සිවුරෙන් අන්දවා බුදුන්වහන්සේ වැඳ මහපිරිස් ඇත්තවුන්ට අගබව පැතුවේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සසුනෙහි මහපිරිස් ඇත්තවුන් අතුරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී වැඩිසේක.

ඒ කුලපුත් තෙමේත් දිවිහිමියෙන් කුසල්දම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මෙයින් කල්ප අනූදෙකක් මත්තෙහි ඵුස්ස බුදුන්වහන්සේගේ වෙනත් මවකගෙන් උපන් කනිටු බෑයාවී උපන්නේය. පියා මහින්‍ද නම් රජවිය. මොහුට වෙනත් කනිටු සොහොයුරෝ දෙනනෙක් වූහ. මෙසේ ඒ තුන්බෑයෝ වෙන්වෙන්ව තනතුරු ලැබූහ. ඔවුහු යට කියනලද ක්‍රමයෙන් කිපියාවූ ප්‍රත්‍යන්තය සංසිඳුවා පියාවෙතින් වරලැබ තෙමසක් බුදුන්වහන්සේ පිළිදැගුම් කරන්නෙමුයි වරයක් ගත්තාහුය. ඉක්බිති ඔවුනට මෙසේ අදහසක් විය. ‘දශබලයන්වහන්සේ පිළිදැගුම් කරන අප විසින් සුදුසු දෙයක් කිරීමට වටී’ යනුවෙනි. එක් අමතියකු නිෂ්පාදක ස්ථානයෙහි තබා එකෙකු අයවැය දන්නෙකුකොට එකෙකු බුදු පාමොක් මහසඟනට අහර දෙමින් විධාන කරන්නෙකුගේ තනතුරෙහි තබා තමන් දසසිල් සමාදන්ව තෙමසක් ශික්‍ෂාපද රැක්කාහුය. ඒ ඇමතිවරු තිදෙන යටකියන ලද අයුරින්ම මේ බුද්ධෝත්පාදයෙහි බිම්බිසාර, විශාඛ හා රට්ඨපාල යන අයවූහ.

ඒ රජකුමරුවෝ වනාහි භාග්‍යවතුන්වහන්සේ විසූවස් ඇති කල්හි සියතින් බුදුපාමොක් සඟනට ප්‍රත්‍යය පූජාවෙන් පුදා දිවිඇති තෙක් කුසල් දහම් කොට අපගේ බුදුන්වහන්සේට පෙරටුවම බමුණුකුලයක ඉපිද තමන්ගේ ගොත්‍ර වශයෙන් තිදෙනාම කාශ්‍යප නම් වුවාහුය. වියපත් ඔවුහු ත්‍රිවේදයන් උගත්තාහුය. ඔවුන්ගේ දෙටු බෑයාට පන්සියයක් මානවකයෝ පිරිවරවූහ. මැඳුම් බෑයාට තුන්සියයකි. කනිටු බෑයාට දෙසියයකි. ඔවුහු තමන්ගේ ග්‍රන්‍ථයෙහි හරය බලන්නාහු ඉහාත්මයෙහිම බැලුවාහුය. පරලොව අයත් දෙය නොබැලුවාහුය. ඉක්බිති ඔවුන්ගේ දෙටු සොහොයුරා තමන්ගේ පිරිපර සමඟ උරුවේලාවට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදිව උරුවෙලකස්සප නම් වූයේය. මහගඟ නදීවංකයක පැවිදිවූ තැනැත්තේ නදීකස්සප නම් වූයේය. ගයා ශීර්ෂයෙහි පැවිදිවූ තැනැත්තේ ගයා කස්සප නම්විය.

මෙසේ ඔවුන් සෘෂි පැවිද්දෙන් පැවිදිව එහි වසන කල්හි බොහෝ දිනකට පසුව අපගේ බෝසතුන්වහන්සේ මහබිනික්මන් නික්මලද සර්‍වඥතාඥාන ඇත්තාහු අනුපිළිවෙළින් දම්සක් පවත්වා පස්වග තෙරුන් රහත්බවෙහි පිහිටුවා යසදාරකයන් ප්‍රමුඛවූ පස්පණස් යහළුවන්ද හික්මවා රහතුන් සැටනම ‘මහණෙනි, බොහෝ දෙනාගේ හිතසුව සඳහා චාරිකාවෙහි හැසිරෙවුයයි යවා භද්‍රවර්ගීයයන් හික්මවා උරුවෙල් කසුප්ගේ හේතුව දැක ‘මා ගිය කල්හි දහසක් පිරිවර ඇති තුන්බෑයන් රහත්බවට පැමිණෙති’යි දැන හුදෙකලාව දෙවැන්නකු නොමැතිව උරුවෙල් කසුප් වසනතැනට ගොස් විසීම සඳහා ගිනිහල්ගෙය ඉල්වා එහිදී කරනලද නාගදමනය ආදිකොට ඇති ප්‍රාතිහාර්‍ය්‍යයන්ගෙන් පිරිස් සහිත උරුවේල කාශ්‍යප හික්මවා පැවිදි කරවූයේය. ඔහු පැවිදිවූ බව දැන පිරිස් සහිත සෙසු දෙබෑයෝද අවුත් පැවිදිවූහ. සියල්ලෝම සෘද්ධිමය පාත්‍රචීවරධාරී එහිභික්‍ෂූහු වූහ.

ශාස්තෘන්වහන්සේ ඒ මහණුන් දහසගෙන ගයා ශීර්ෂයට ගොස් සමතලා ගලක්මත වැඩහුන්සේක් මොවුනට කවරනම්වූ ධර්‍ම දේශනයක් ගැලපේදැයයි බලන්නාහු ‘මොවුහු ගිනි දෙවියන් පුදමින් හැසිරුනාහුය. මොවුනට භවත්‍රය ගිනිගෙයක් සමාන කොට දැක්වීමට වටීය’යි ආදිත්තපරියාය සූත්‍රය දෙසූසේක. දෙසුම කෙළවර සියල්ලෝම රහත්බවට පැමිණියාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් විසින් පිරිවරණලද්දාහු පෙරදීම බිම්සර රජුට දුන් පිළිණ ඇති බැවින් රජගහනුවර ලට්ඨිවනොද්‍යානයට වැඩිසේක. රජතෙමේ බුදුන්වහන්සේ වැඩිබව අසා දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් සමඟ ශාස්තෘන් වෙත එළඹ වැඳ එකන්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ සියල්ලන් ඇතුළත්වූ පිරිස දෙස බලනසේක් මහජනයා උරුවෙල් කසුප්ට ගරුකරනු දැක මොවුහු මගේ හෝ කසුප්ගේ මහත්බව නොදනිති. සැක ඇත්තෝ නම් දේශනාව වටහා ගැනීමට නොහැක්කෝ වෙතියි සිතා කාශ්‍යපය, නුඹේ උපස්ථායකයන්ගේ සැකය සිඳුවයි තෙරුන්ට සංඥාවක් දුන්සේක. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන අසුනින් නැගිට ශාස්තෘන්වහන්සේට පසඟ පිහිටුවීමෙන් වැඳ තල්ගසක් පමණවූ අහසට පැන නැඟස සෘද්ධිවිකුර්වණයන් දක්වා ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මගේ ශාස්තෲය. මම ශ්‍රාවකයා වෙමි’යි කියා බැස බුදුන්වහන්සේගේ පාවැන්දාහ. මේ ක්‍රමයෙන් සත්වැනි වාරයෙහි තල්ගස්සතක් පමණ අහසට නැඟ යළි අවුත් බුදුන්වහන්සේගේ පා නමැඳ එකත්පසෙක හුන්හ.

එකල්හි මහජනයා මෙතෙම ලෝකයෙහි මහාශුමණයා ශාස්තෘන්වහන්සේ කෙරෙහි නිසැක ඇත්තේවිය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඔහුට දහම් දෙසූසේක. දෙසුම කෙළෙවර රජතෙමේ එකොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියන් සමඟ සෝවාන් පෙලෙහි පිහිටියේය. එක් නහුතයක් උපාසකබව ප්‍රකාශ කළේය. ඒ උරුවෙල් කසුප්ගේ දහසක් පමණවූ පිරිවර භික්‍ෂූහු තමන්ගේ පුරුදුකිරීම් වශයෙන් සිතුවාහුය: ‘අපගේ පැවිදිකිස මුදුන්පත් විය. පිටත ගොස් කුමක් කරන්නෙමුදැ’යි උරුවෙල් කසුප් තෙරුන්ම පිරිවරා හැසුරුණාහුය. ඔවුන් එකිනෙකා එක් එක් ආශ්‍රය කරන්නෙකු ගත්කල්හි දෙදෙහසෙකි. දෙදෙනෙකු බැගින් ගන්නා කල්හි තුන්දහසක් වේයයි මෙතැන් පටන් ඔවුන් ඇසුරු කරන්නාහු යම් පමණවෙත්ද එපමණක් කීමට වටීය යනු මේ මෙහි කථාවස්තුවයි. මෑත කාලයෙහි වනාහි ශාස්තෘන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසයකරනසේක් තෙරුන්වහන්සේ මහපිරිස් ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.

The Great Arahant Upali Thero.

උපාලි මහරහතන් වහන්සේ.

 

විනයධාරි භික්‍ෂූන් අතරින් උපාලි තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේ වනාහි තථාගතයන්වහන්සේ සමීපයෙන්ම කමටහන් ගෙනවිදසුන්වඩා රහත්බවට පැමිණියහ. තථාගතයන්වහන්සේ සමීපයෙන්ම විනය පිටකය උගෙන භරුකච්ඡක වස්තුවද අජ්ජුක වස්තුවද කුමාරකාශ්‍යප වස්තුවද යන මේ වස්තු තුන සර්‍වඥතාඥානය සමඟ සසඳා ප්‍රකාශ කළහ. එබැවින් විනයධරයන් අතුරෙන් අග්‍රනම් වූහ.

පියුමුතුරා බුදුන් දවස මෙතෙමේ හංසවතියෙහි කුලගෙයක උපන්නේ එක්දිනක් බුදුන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක්භික්‍ෂුවක විනයධරයන් අතුරෙන් අග තනතුරෙහි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්දහම්කොට එම තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කොට දෙව්මිනිසුන් තඅර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කපු (කරණවෑමි) ගෙයක පිළිසිඳගත්තේය. ඔහුට උපාලි දාරකයයි නම් තැබූහ. හෙතෙම වියපත්වූයේ ක්‍ෂත්‍රියයන් සයදෙනාගේ කරණවෑමියාවී තථාගතයන්වහන්සේ අනුපිය අඹවනයෙහි වසනකල්හි පැවිද්ද සඳහා නික්මෙන්නාවූ ඒ ක්‍ෂත්‍රියයන් සයදෙනා සමඟ නික්ම පැවිදිවූයේය. ඔහුගේ ප්‍රව්‍රජ්‍යා විධානය පෙළෙහි ආයේමය.

හෙතෙම පැවිදිව උපසපන් වුයේ ශාස්තෘන්වහන්සේ ලවා කමටහන් කියවා ගෙන ‘ස්වාමීනි, මට ආරණ්‍යවාසය අනුදැන වදාළමැනව’යි කීවේය. මහණ, ආරණ්‍යයෙහි වසන්නාවූ ඔබට එකම ධුතාංගයක් වැඩෙයි. ‘අප සමීපයෙහි වසන්නාවූ ඔබට වාසධුරයද ග්‍රන්‍ථධුරයද පිරෙන්නේය’යි වදාළසේක. තෙරණුවෝ ශාස්තෘවචනය පිළිගෙන විදර්‍ශනාවට කටයුතු කරන්නාහු නොබෝ දිනකින්ම රහත්බවට පැමිණියහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ තමන් වහන්සේම ඔහුට සියලු විනය පිටකය උගැන්වූසේක. හෙතම මෑත කාලයෙහි යට කියනලද වස්තු තුන විනිශ්චය කළේය. ශාස්තෘන්වහන්සේ එකිනෙකක් විනිශ්චය කළකල්හි සාධුකාර දී තුන්වස්තුවේම විනිශ්චයන් අර්ථෝපත්ති කොට තෙරණුවන් විනයධරයන් අතුරෙන් අගතැන්හි තැබූසේක.

error: Content is protected !!