You dont have javascript enabled! Please enable it!

The Great Arahant Sagatha Thero.

තේජොධාතුවට සමවැදීමට දක්‍ෂවූවන් අතුරින් සාගත තෙරුන්වහන්සේ අග්‍රයහයි දැක්වෙයි. මේ තෙරුන්වහන්සේ වනාහි තෙජොධාතු සමාපත්තියෙන් අම්බතිත්‍ථනාගයාගේ තෙදින් තෙද යටපත් කොට ඒ නාගයා විෂනැත්තෙකු කළහ. එහෙයින් තෙජොධාතුවට සමවැදීමේ දක්‍ෂයින් අතුරෙන් අග්‍රනම්වූහ.

පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසඳගෙන මෑතකාලයෙහි ශාස්තාන්වහන්සේගේ ධර්‍මදේශනාව අසමින් එක් භික්‍ෂුවක තෙජෝධාතුවට සමවැදිමෙහි දක්‍ෂයන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට තනතුර පැතුවේය. හෙතෙම දිවිඇතිතෙක් කුසල් කොට දෙව්මිනිසුන් අතර සැරිසරනේනේ මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර බමුණු කුලයක උපන්නේය. මොහුට සාගතමානවයයි නම් කළාහුය. හෙතෙම මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව අටසමවන් උපදවා එහි වසඟ බවට පත්වූයේය.

ඉක්බිති එක්දිනක් ශාස්තෘන්වහන්සේ චාරිකාවෙහි හැසිරෙමින් කොඹෑනුවර සමීපයට වැඩිසේක. එසමයෙහි නදීතොටෙහි පැරණි නැවියාගේ බොහෝ ආගන්තුක ගමිකයෝ සතුරුවී ඔහු තළා මැරූහ. හෙතෙම විරුද්ධසිතින් පැතුමක් තබා ඒ තොටපලෙහිම මහත් ආනුභාව ඇති නා රජෙක්වී උපන්නේය. හෙතෙම විරුද්ධසිත් ඇතිබැවින් නොකල්හි වස්වයි. කාලයෙහි නොවස්වයි. ශශ්‍යයෝ මනාව නොහටගනිත්. සියලු රටවැසියෝ ඔහු සංසිඳවීම සඳහා අවුරුදු පතා බලිකර්‍ම කරත්. විසීම සඳහාද මොහුට එක් ගෙයක් කළාහුය. ශාස්තෘන්වහන්සේද ඒ තොටින් එතෙරවී බික්සඟන පිරිවරනලද සේක් ඒ පෙදෙසෙහිම රාත්‍රිය වසන්නෙමැයි වැඩිසේක.

ඉක්බිති මේ තෙරණුවෝ මෙහි නාරජ චණ්ඩයයි අසා මේ නාරජු දමනය කොට විසනැත්තෙකු කොට ශාස්තෘන් වසන තැන පිළියෙළ කිරීමට වටනේයයි නාරජු වසන තැනට පිවිස පලක් බැඳ වැඩහුන්හ. නයා කිපී මේ කවර නම් මුඩුමහණෙක් මා වසන තැනට පිවිස හුන්නේදැයි දුම්පිට කළේය. තෙරණුවෝ වැඩිමනත් දුම්පිට කළහ. නයා දිදිළීය. තෙරණුවෝ වැඩිමනත් දිදිළී ඔහුගේ තෙද යටපත් කළේය. හෙතෙම මේ භික්‍ෂුව බලවතෙකැයි තෙරුන්ගේ පාමුල වැදෙහෙව ‘ස්වාමීනි, නුඹවහන්සේගේ සරණ යමියි කීවේය. මා සරණයාමෙන් වැඩක් නැත. බුදුරජානන්වහන්සේ සරණයවයි කීහ. හෙතෙම මැනවැයි සරණගියේ වී එතැන්පටන් කිසිවකු නොපෙළීය. වැස්සද මනාව වස්වයි. ශශ්‍යයෝද මනාව නිපදෙත්,

කොසඹෑ වැසියෝ සාගත ආර්‍ය්‍යයන්වහන්සේ විසින් අම්බතිත්‍ථක නාගයා දමනය කරනලදැයි අසා ශාස්තෘන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් මහත් සත්කාර පිළියෙළ කළාහුය. ඔවුහු දහබලන්වහන්සේට මහත් සත්කාර කොට ඡබ්බග්ගිය භික්‍ෂූන්ගේ වචනයෙන් සියලුගෙවල්වල කාපොතික නම් මද්‍යපානය පිළියෙළ කොට දෙවන දිනයෙහි පිඬු පිණිස හැසිරෙන සාගත තෙරුන්ට එක් එක් ගෙහිදී ටික ටික දුන්නාහුය. තෙරණුවෝ ශික්‍ෂාපදය නොපැනවී තිබියදී මිනිසුන්විසින් අයදිනුලබන්නාහු එක් එක් ගෙහිදී ටි ටික බී ශාස්තෘන්වහන්සේගේ නොදුරට ගොස්ම නොරහත් බැවින් සිහිය අත්හැර කසළගොඩක වැටුනාහ.

ශාස්තෘන්වහන්සේ ඔහු දැක කරනලද බත් කිස ඇති සේක් නික්මෙමින් ඔහු ගෙන්වා ගෙන විහාරයට ගොස් නින්දා කොට ශික්‍ෂාපදය පැනවූසේක. හෙතෙම දෙවැනි දිනයෙහි සිහිය ලැබ තමන් කළ කරුණ අසා ඇවත් දෙසා බුදුරජාණන්වහන්සේ ක්‍ෂමා කරවාගෙන උපන් සංවේග ඇත්තේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. මෙසේ කථාවස්තුව විනයෙහි නැඟීසිටියේය. එය එහි පැමිණි සැටියෙන්ම විස්තර වශයෙන් දතයුත්තේය. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි දෙව්රමෙහි හිඳ තෙරුවරුන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් සාගතතෙරුන් තෙජෝධාතුවට සමවැදීමෙහි දක්‍ෂයන් අතුරෙන් අගතනතුරෙහි තැබූසේක.

Comments are closed

error: Alert: Content is protected !!