You dont have javascript enabled! Please enable it!

The Great Arahant Radha Thero.

ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව ප්‍රතිභානයට ප්‍රත්‍යය වන්නාවූ ප්‍රතිභානය උපදවන්නාවූ භික්‍ෂූන් අතුරින් රාධ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේට වනාහි දීර්‍ඝවහාරයටද විශ්වසනීය ශ්‍රද්ධාවටද පැමිණ බුදුරජාණන්වහන්සේගේ අලුත් අලුත් ධර්‍මදේශනා වැටහෙයි. එහෙයින් තෙරණුවෝ ප්‍රතිභාහනය (වැටහීම) ඇත්තවුන් අතුරෙන් අග්‍රනම්වූහ.

පියුමුතුරා බුදු රජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක ඉපිද මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක ප්‍රතිභාන ඇත්තවුන් අතරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් තථාගතයන්වහන්සේට සේවය කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර බමුණුකුලයක පිළිසිඳ ගත්තේය. මොහුට රාධමානවයයි නම් කළාහුය.

හෙතෙම මහළු කල්හි තමන්ගේ අඹුදරුවන් විසින් නිගරුකරන ලද්දේ පැවිදිව කල් ගෙවන්නෙමැයි විහාරයට ගොස් තෙරවරුන්ගෙන් පැවිද්ද ඉල්වීය. දිරාපත් මහළු බමුණෙකැයි පැවිදිකරවීමට කිසිවෙක් කැමැති නොවූහ. ඉක්බිති එක් දිනක් බමුණා හාස්තෘන්වහන්සේ වෙත එළඹ පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ හේතුසම්පත් දැක කථාව මතුකිරීමට කැමතිසේක් කිමෙක්ද බමුණ, අඹුදරුවෝ ඔබ පිළිදැගුම් කරත්දැයි ඇසූ සේක. ‘භවත් ගෞතමයිනි, පිළිදැගීමක් කොයින්ද? මහල්ලෙකැයි මා පිටට නෙරපූහ’යි කීවේය. ‘බමුණ, කිමෙක්ද ඔබට පැවිදිවීමට නොවටීද?’ ‘භවත්ගෞමයිනි, කවරෙක් මා පැවිදි කරන්නේද? මහළුබව නිසා කිසිවෙක් මා නොකැමති වෙති’යි බමුණා කීය. ශාස්තෘන්වහන්සේ සැරියුත්තෙරුනට සංඥාවක් දුන්සේක. තෙරණුවෝ හාස්තෘවචනය සිරසින් පිළිගෙන රාධ බමුණා පැවිදිකොට මෙසේ සිතූහ. ශාස්තෘන්වහන්සේ මේ බමුණා ආදරයෙන් පැවිදිකරවූසේක. මාවිසින් මොහු අනදරින් පරිහරණය කිරීමට නොයුතුය.’ (මෙසේ සිතා) රාධ තෙරුන් රැගෙන කුඩාගමක විසීමට ගියහ. අලුත පැවිදිවු බැවින් එහි දුෂ්කරලැබීම් ඇති මොහුට (සැරියුත්) තෙරණුවෝ තමන්ට ලැබුණු ප්‍රණීත පිණ්ඩපාතයද ඔහුටම දී තමූ පිඬු පිණිස හැසිරෙති. රාධතෙරණුවෝ යෝග්‍ය සෙනසුන්ද යෝග්‍ය භෝජනයද ලැබ සැරියුත් තෙරණුවන් සමීපයෙහි කමටහන් ගෙන නොබෝ කලකින්ම රහත්බවට පැමිණියහ.

ඉක්බිති (සැරියුත්) තෙරණුවෝ ඔහු රැගෙන බුදුරජාණන්වහන්සේ දැකීමට පැමිණියහ. ශාස්තෘන්වහන්සේ දනිමින්ම, ‘සාරිපුත්‍රය, මවිසින් ඔබට යම් ඇසුරුකරන්නෙක් දෙන ලද්දේද? ඔහුට කෙබඳු දෙයක නොකළකිරෙයිද? යි ඇසූසේක. ‘ස්වාමීනි, සසුනෙහි ඇලෙන භික්‍ෂුව නම් මෙබඳු වන්නේය.’ ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේට, ‘සැරියුත් තෙරණුවෝ කෘතඥයෝය. කාතවේදීහුය’යි සඟමැද කථාවක් හටගත්තේය. ඒ කථාව අසා ශාස්තෘන්වහන්සේ, භික්‍ෂූන් ඇමතූසේක. ‘මහණෙනි, සාරිපුත්‍රයින්ගේ දැන් කෘතඥතාවත් කෘතවේදිත්වයත් පුදුමයක් නොවේ. හෙතෙම අතීතයෙහි අහෙතුක ප්‍රතිසන්‍ධියෙහි උපන්නේද කෘතඥකෘතවේදීම වීය’යි පැවසූසේක. ‘භාග්‍යවතුන් වහන්ස, කවර කලෙකදැයි භික්‍ෂූහු විමසූහ.

මහණෙනි, අතීතයෙහි පර්‍වතපාදයක පන්සියයක් පමණ වූ වඩු පුරුෂයෝ මහ වනයට පිවිස ලී ගොඩවල් සිඳ මහත් පසුරක් බැඳ නදියෙන් එතෙර වෙත්. ඉක්බිති එක් ඇත්රජෙක් එක් විෂමස්ථානයක සොඬින් (කඩා) ගන්නේ අත්තකැඩී ආ වේගය ඉවසීමට නොහැක්කේ තියුණු ලීඋලක් පයෙහි ඇනී ගියේය. පා සිදුරු විය. දුක් වේදනාවෝ හටගත්හ. හෙතෙම ගමන ඉදිරියට යාමට නොහැක්කේ එහිම වැද හොත්තේය. හෙතෙම කිහිප දිනක අවෑමෙන් ඒ වඩුවන් තමන් සමීපයෙන් යනු දැක මොවුන් නිසා මම දිවි ලබන්නෙමැයි ඔවුන්ගේ පියවර අනුව ගියේය. ඔවුහු නැවතී ඇතැ දැක බියවූවාහු පලායත්. හෙතෙම ඔවුන් පලා යන බව දැන නැවතී සිටියේය. යළි ඔවුන් සිටි කල්හි ලුහුබැන්දේය.

වඩු දෙටුවා ‘මේ ඇතා අපසිටි කල්හි ලුහුබඳියි. පලායන විට සිටියි. මෙහි කරුණක් වන්නේයයි සිතුවේය.’ සියල්ලෝ ඒ ඒ ගසට නැගී ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙමින් හුන්නාහුය. හෙතෙම ඔවුන් ලඟට අවුත් තමන්ගේ පය පෙරළා දක්වමින් වැද හොත්තේය. එවිට වඩුවන්ට, ‘පින්වතිනි, මෙතෙම ගිලන් බවින් එයි. වෙනත් කරුණකින් නොවේය’යි හැඟීමක් පහළවිය. ඔහුගේ ලඟට ගොස් පයෙහි පිවිසි ලීහුල දැක, ‘මෙකරුණින් මෙතෙම ආයේය’යි තියුණු වෑයකින් උල්කෙළවර හිමිකොට දැඩි රැහැනකින් බැඳ ඇද ඉවත්කළාහුය. ඉක්බිති ඔහුගේ වණමුඛය පෙළා පැරණි ලේ හරවා කහට දියෙන් සෝදා තමන් දන්නා බෙහෙත් තවරා ඉක්මණින්ම සුව කළාහුය.

ඇත්රජ තෙමේ ගිලන්බවින් නැගීසිටියේය (සුවපත් වුයේ), ‘මොවුහු මට බොහෝ උපකාර වූවෝයි. මොවුන් නිසා මවිසින් දිවි ලබන ලදී. මා මොවුනට කළගුණ දන්නකු වීමට වටීයයි සිතුවේය.’ (මෙසේ සිතා) තමන් වසන තැනට ගොස් සුදු ඇත් පැටවකු රැගෙන ආවේය. වඩුවෝ ඇත්පැටවා දැක ‘අපට ඇත්දරුවකුද රැගෙන ආයේයැ’යි බෙහෙවින් සතුටු සිතැත්තෝ වූහ. ඇත්රජතෙමේ මා සිටින විට කුමක් නිසා මෙතෙම ආයේදැයි මා පැමිණි කරුණ නොදනිතියි සිතුවේය. (සිතා) සිටි තැනින් පිටත්වූයේය. ඇත්පොව්වා පියා පසුපසින් ලුහුබැඳ ගියේය. ඇත්රජතෙමේ පැටවා ආපසු එනබව දැන නවතිනු සඳහා ශබ්දසංඥාවක් කළේය. හෙතෙම පියාගේ කථාව (සංඥාව) අසා ආපසු හැරී වඩුවන් සමීපයට ගියේය. වඩුවෝ ‘මෙතෙම මේ පැටවා අපට දීමට ආයේවනැ’යි අප ලඟ ඔබ විසින් කළයුතු දෙයක් නැත. පියා සමීපයටම යවයි’ කීවාහුය. එසේ කියා ඔවුහු (පැටවා) ආපසු යැවූහ. ඇත්රජ තෙමේ තෙවැනිවර දක්වා තමන් ලඟට ආ පැටවා වඩුවන් සමීපයට යැවීය. එතැන්පටන් වඩුවෝ ඇත් පැටවා තමන් ලඟ තබාගෙන පිළිදැගුම් කරති. බොජුන් කල්හි එක් එක් බත් පිඬ බැගින් දෙති. බත ඇති පැටවාට ප්‍රමාණවත් වෙයි. හෙතෙම වඩුවන් විසින් වනය තුළ කපන ලද දැව සමූහය ගෙනවුත් එළිමහන් තැනක ගොඩ ගසයි. මේ අයුරින්මවෙනත් උපකාරද කළේය.

ශාස්තෘන්වහන්සේ මෙකරුණ ගෙනහැර දක්වා පෙරද සැරියුත් කෘතඥ කෘතවේදී භාවය ප්‍රකට වූයේය. සැරියුත් තෙරණුවෝ එදා මහ ඇතා වූහ. අර්‍ත්‍ථොත්පත්ති යෙහි ආවාවූ වීර්‍ය්‍යය හළ භික්‍ෂුව ඇත්පොව්වා වූයේයි වදාළසේක. සංයුත්ත නිකායට පැමිණ සියලු රාධසංයුත්තයද ධර්‍මපදයෙහිද,

වරද දක්නාසුලු පාපය හෙළා දකින නිදන් තොරතුරු කියන්නකු වැනි වූ නුවණැති යම් පුද්ගලයෙක් දක්නා ලැබේද එබඳුවූ පණ්ඩිතයෙකු ඇසුරු කරන්නේය. එබන්දකු ඇසුරු කරන්නාට යහපතක්ම වෙයි. නපුරක් නොවෙයි.

යන ගාථාව තෙරුන්ගේ ධර්‍මදේශනාගාථා නමි. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ තෙරවරුන් පිළිවෙළින් තනතුරුවලතබන සේක් රාධතෙරුන් ප්‍රතිභානය ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.

Comments are closed

error: Alert: Content is protected !!