You dont have javascript enabled! Please enable it!

The Great Arahant Mahakappina Thero.

භික්‍ෂූන්ට අවවාදකරන්නන් අතුරින් මහාකප්පින තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබෙත්. මේ තෙරණුවෝ එක් කුළුගැන්වීමකදීම ධර්‍මකථා කියමින් භික්‍ෂූන් දහසක් රහත්බවට පත් කරවූහ. එහෙයින් භික්‍ෂූන්ට අවවාද කරන්නවුන් අතුරින් අග්‍රනම්වූහ.

පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක ඉපිද මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාවක් අසමින් එක් භික්‍ෂුවක භික්‍ෂූන්ට අවවාද කරන්නවුන් අතුරින් අග තනතුරෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප සම්බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක පිළිසිඳගෙන මිනිසු දහසකට ගණදෙටුවෙක් වී ගැබ් (කාමර) දහසකින්යුත් මහරිවෙණක් කරවීය. ඒ සියලු මිනිස්සු දිවි ඇතිතෙක් කුසල්කොට කප්පින උවසුවා දෙටු (ප්‍රධාන) කොටගෙන අඹුදරුවන් සහිතවූවෝ දෙව්ලොව උපන්නාහු එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරුවාහුය.

ඉක්බිති අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම මේ කප්පින තෙමේ ප්‍රත්‍යන්ත දේශයෙහි කුක්කුටවතී නම් නුවරෙහි රජගෙහි පිළිසඳ ගත්තේය. සෙසු පුරුෂයෝ ඒ නගරයෙහිම ඇමති කුලයන්හි උපන්නාහුය. කප්පින කුමරුවා පියාගේ ඇවෑමෙන් (සේ) සත් ඔසවා මහාකප්පින රජනම් වූයේය. පෙර පින්කම් කරන කාලයෙහි ඔහුගේ ගෙහිමි කාන්තාව සමජාතිකවූ රජකුලයෙහි ඉපිද මහාකප්පින රජුගේ අගමෙහෙසියවූවාය. කටුකරඬුමල් පැහැයට සමානවූ බැවින් ඇයට අනෝජා දේවියයි නම් වූයේය. මහාකප්පින රජතෙමේද සුතචින්තකයෙක් (උගතුන් පිළිබඳව සිතන්නෙක්) වූයේය. හෙතෙම උදෑසනින්ම නැඟිට සිවු දොරටුවෙන්, ‘යම්තැනක බොහෝ ඇසූපිරූතැන් ඇති සුතධරවූ පුද්ගලයන් දකිවුද එයින් ආපසු අවුත් මට සැළකරවු’යි ඉක්මණින් දූතයන් යැවීය.

එසමයෙහි අපගේ ශාස්තෘන්වහන්සේ ලෝකයෙහි පහළවී සැවැත්නුවර ඇසුරුකොට වාසය කරනසේක. එකල්හි සැවැත්නුවර වැසි වෙළෙන්දෝ සැවතෙහි හටගන්නා බඩු රැගෙන ඒ නුවරට ගොස් බඩු තැන්පත්කොට රජු දකින්නෙමුයයි පඬුරුගත් අත ඇත්තාහු රජමැදුරු දොරටුවට ගොස් රජු උයනට ගියේයයි අසා උයනට ගොස් දොරටුවෙහි සිටියාහු ආරක්‍ෂකයාට දැන්වූවාහුය. ඉක්බිති රජුට දැන්වූ කල්හි රජතෙමේ (ඔවුන්) කැඳවා පවරා දෙනු ලැබූ පඬුරු ඇතිව වැඳ සිටි කල්හි ‘දරුවනි, කොහි සිට අවුදැයි ඇසීය. ‘දේවයිනි, සැවතෙහි සිටය.’ ’කෙසේද ඔබලාගේ රට සුභික්‍ෂද? රජ ධාර්මිකද’ ‘සේය, දේවයනි.’’නුඹලාගේ දේශයෙහි කිසියම් පණිවිඩයක් (තොරතුරක්) තිබේ?’ දේවහන්වහන්ස ඇත. (එහෙත්) ඉඳුල් මුවින් කීමට නොහැකිය.’ රජතෙමේ රන්කෙණ්ඩියෙන් පැන්දෙවීය. ඔවුහු මුව සෝදා බුදුන්වහන්සේ දෙසට මුහුණලා ඇඳලි බැඳගෙන දේවයන්වහන්ස, අපගේ දේශයෙහි බුද්ධ නම් රත්නයක් පහළවීය’යි කීවාහුය. රජුට බුද්ධ යන වචනය අසූ කෙණෙහිම සියලුම සිරුර පැතිරෙමින් ප්‍රීතිය උපන්නේය. ඉක්බිති ‘දරුවනි, බුද්ධයයි කියවු’යි පැවසීය. ‘දේවයිනි, බුද්ධයයි කියමු.’ මෙසේ තෙවරක් කියවා, බුද්ධ යන පදය අප්‍රමාණය, ඊට ප්‍රමාණයක් කිරීමට නොහැකිය’ය’ ඒ පදයෙහිම පැහැදුනේ ලක්‍ෂයක් දෙවා වෙනත් කවර හසුන්දැය’යි ඒ පදයෙහිම පැහැදුනේ ලක්‍ෂයක් දෙවා වෙනත් කවර හසුන්දැ’යි ඇසීය. දේවයිනි, ධර්‍මනම් රත්නයක් උපණ. එයද අසා එසේම තෙවරක් පිළිණගෙන තවත් ලක්‍ෂයක් දෙවා යළි ‘අනෙක් කවර හසුනක්දැ’යි ඇසීය. ‘දේවයිනි, සංඝරත්නය උපණ.’ එයද අසා එසේම පලිණගෙන තවත් ලක්‍ෂයක් දෙවා දුන්බව පතෙහි ලියවා ‘දරුවනි, දේවිය සමීපයට යනු’යි යැවීය. ඔවුන් ගිය කල්හි ‘දරුවනි, බුදුරජාණන්වහන්සේ ලොව උපන්සේක. නුඹලා කුමක් කරන්නහුදැ’යි ඇමතියන්ගෙන් ඇසුවේය. ‘දේවයිනි, නුඹවහන්සේ කුමක් කරනු කැමැත්තහුද?’ ‘මම පැවිදි වන්නෙමි.’ අපිද පැවිදි වන්නෙමු’ ඒ සියල්ලෝම ගෙවල් හෝ පවුල් හෝ (ගැන) නොබලා යමෙක් අසුන්පිට නැඟී ගියාහුද ඔවුන් සමඟම නික්මුණාහුය.

වෙළෙන්දෝ අනෝජා දේවියගේ සමීපයට ගොස් හසුන දැක්වූවාහුය. ඕ තොමෝ කියවා, රජුවිසින් නුඹලාට බොහෝ කහවණු දෙනලදී. දරුවනි නුඹලා විසින් කුමක් කරන ලදදැ’යි ඇසුවාය. ‘දේවිය, සතුටු හසුනක් ගෙනෙනලදී.’ ‘දරුවනි, අපටත් අස්වන්නට හැකිද?’ ‘දේවිය හැකිය. ඉඳුල් මුවින් පවසන්නට නොහැකිය.’ ඕ රන් කෙන්ඩියෙන් ජලය දුන්නාය. ඔවුහු මුව සෝදා රජුට සැළ කළ ක්‍රමයෙන්ම සැළ කළාහුය. ඕතොමෝත් උපන් ප්‍රමුදිතබව ඇත්තී ඒ ක්‍රමයෙන්ම එක්එක් පදයෙන් තෙවරක් පිළිණගෙන පිළින ගණනට තුනක්බැගින් කොට නව ලක්‍ෂයක් දුන්නාය. වෙළෙන්දෝ සියල්ල දොළොස් ලක්‍ෂයක් ලැබූහ. ඉක්බිති ඔවුන්ගෙන් ‘දරුවනි. රජතුමා කොහිදැ’යි ඇසුවාය. දේවිය, පැවිදි වන්නෙමියි නික්මුණේය’යි දැන්වූහ. ‘එසේ වීනම් දරුවනි, තෙපි යවු’යි ඔවුන් පිටත්කොට යවා රජු සමඟ ගිය ඇමතිවරුන්ගේ මාගමුන් කැඳවා ‘යෙහෙළියනි, තෙපි තමන්ගේ හිමියන් ගිය තැන දන්නහුදැයි ඇසුවාය. ‘එසේය, ආර්‍ය්‍යාවනි, දනිමු. රජු සමඟ උයන් කෙළියට ගියාහුය.’ ‘එසේය යෙහෙළියනි, ගියාහුය, එහි ගොස් බුදුරජාණන්වහන්සේ පහළවූසේක. ධර්‍මය පහළවිණ, සංඝයා පහළවිණැයි අසා බුදුන්වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙමුයි ගියාහුය. නුඹලා කුමක් කරන්නහුදැ’යි ඇසුවාය. ‘ආර්‍ය්‍යාවනි, නුමවහන්සේ කුමක් කරනු කැමැත්තාහුද?’ ‘මම පැවිදි වන්නෙමි. ඔවුන් විසින් වැමෑරූ වමනය දිවග නොතබන්නෙමි’යි කීවාය. ‘එසේ වන්නෙනම් අපිද පැවිදිවන්නෙමු’යි රිය යොදවා නික්මුණාහුය.

රජතෙමේද ඇමැති දහස සමඟ ගංතෙරට පැමිණියේය. එසමයෙහි වනාහි ගඟ පිරී පැවැතුණේ වෙයි. ඉක්බිති එය දැක ‘මේ ගඟ පිරී ඇත. සඬ මසුන්ගෙන් ගැවසුණේය. යමෙක් අපට නැවක් හෝ පසුරක් හෝ සදා දෙත්ද අප සමඟ ආවාවූ එබඳු දාසයෝ හෝ මිනිස්සු හෝ නැත. මේ ශාස්තෘන්වහන්සේගේ ගුණය නම් යට අවීචියෙහි පටන් මතු භවාග්‍රය දක්වා පැතුරුණේය. ඉදින් මේ ශාස්තාන්වහන්සේ සම්මාසම්බුද්ධ නම් මේ අසුන්ගේ කුර පිට පමණකුදු නොතෙමේවායි දියපිටින් අසුන් පැන්හූහ. එකද අසකුගේ කුරපිට පමණකුදු නොතෙමුණේය. රාජමාර්‍ගයෙන් යන්නාහු මෙන් පරතෙරට පැමිණියාහු පරතෙරින්ද වෙනත් නදියකට පැමිණියාහුය. එහිදී වෙනත් සත්‍යක්‍රියාවක් නැත. ඒ සත්‍යක්‍රියාවෙන්ම අඩයොදුන් පළල නදිය ඉක්මවූවාහුය. ඉක්බිති තෙවැනිවු චන්‍ද්‍රභාග නම් මහා නදියට පැමිණ එයද එම සත්‍යක්‍රියාවෙන්ම තරණය කළහ.

ශාස්තෘන්වහන්සේද එදවස උදෑසන කාලයෙහි මහකුළුණු සමවතින් නැඟිට ලොව දෙස බලනසේක් අද මහාකප්පින තෙමේ යොදුන් තුනිස්යයක්වූ රාජයය අතහැර ඇමති දහස පිරිවරකොට ඇත්තේ මා සමීපයෙහි පැවිදිවීමට පැමිණෙන්නේයයි දැක මාවිසින් ඔවුන්ට පෙරගමන් කිරීමට සුදුසුයයි උදයෙන්ම සිරුර පිළිදැඟුම්කොට භික්‍ෂුසංගයා පිරිවරකොට ඇතිසේක් සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබතෙහි අහරගැනීමෙන් වෙනුවූසේක් තුමූම පාසිවුරු ගෙන අහසට පැනනඟී චන්‍ද්‍රභාග නදී තෙරෙහි ඔවුන් ගොඩනැගෙනතොට ඉදිරිපස තැනක මහනුගරුකක් ඇත. එහි පළඟින් හිඳ මුව ඔසවා සිහි එළවා සවණක් බුදුරැස් විසිරවූසේක. ඔවුහු ඒ තොටින් ගොඩනඟින්නාහු ඔබිමොබ දිවෙන බුදුරැස් බලමින් බුදුන්වහන්සේගේ පුන්සඳක සිරිය ඇති මුහුණ දැක යම් ශාස්තෘවරයකු උදෙසා අපි පැවිදිවුවෙමුද ඒකාන්තයෙන්ම මේ උන්වහන්සේයයි දැකීමෙන්ම නිශ්චයකොට දුටු තැනසිට නැමී වඳිමින් අවුත් ශාස්තෘන්වහන්සේට වැන්දාහුය. රජතෙමේ ගොප්ඇටය අල්වාගෙන ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක ඇමතිදහස සමඟ හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ට ධර්‍මය දේශනාකළසේක. දෙසුම අවසන්හි සියල්ලෝම රහත්බවෙහි පිහිටා ශාස්තෘන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලූහ. ශාස්තෘන්වහන්සේ මොවුහු සිවුරුදානය දුන්බැවින් තමන්ගේ සිවුරු රැගෙනම පැමිණියාහුයයි රන්වන් අත දිගුකොට ‘මහණෙනි, එවු. ධර්‍මය මනාකොට දෙසනලද්දේය. මැනවින් දුක් කෙළවර කරනු සඳහා බඹසරෙහි හැසිරෙ’වු යි පැවසූසේක. එයම ඒ ආයුෂ්මතුන්ගේ පැවිද්දද උපසම්පදාවද විය. වස්සියයක් ගිය තෙරුන්මෙන් ශාස්තෘන්වහන්සේ පිරිවැරුවාහුය.

අනෝජා දේවිය රියදහසක් පිරිවරකොට ඇත්තී ගංතෙරට පැමිණ රජු සඳහා ගෙනෙන ලද නැවක් හෝ පසුරක් හෝ නොදැක තමන්ගේ වියත් බවින් (මෙසේ) සිතුවාය. රජතෙමේ සත්‍යක්‍රියා කොට ගියේ වන ඒ ශාස්තෘන්වහන්සේ වනාහි හුදෙක් ඔවුන් සඳහාම පහළවූසේක් නොවෙති. ඉදින් ඒ ශාස්තෘන්වහන්සේ සම්මාසම්බුද්ධ නම් අපගේ රථයෝ ජලයෙහි නොකිමිදෙත්වායි දිය පිටින් රථයන් පැන්නුවාය. රථයන්ගේ නිම්වැටි පමණකුදු නොතෙමිණ. දෙවැනි නදියෙන්ද තෙවැනි නදියෙන්ද ඒ සත්‍ය ක්‍රියාවෙන්ම එතෙර වූවාය. එතෙර වෙමින්ම නුගරුක මුල ශාස්තෘන් වහන්සේ දුටුවාය. ශාස්තෘන්වහන්සේ ද තමන්ගේ සැමියන් දකින්නාවූ මොවුන්ට ඡන්‍දරාගය ඉපිද මාර්‍ගඵලයන්ට අන්තරාවක් කරන්නේය. එය එසේ කිරීමට නොහැක්කේයයි යම්සේ ඔවුනොවුන් නොදකිත්ද එසේ කළ සේක. ඒ සියල්ලෝ තොටින් ගොඩවී තථාගතයන් වහන්සේ වැඳ හුන්නාහුය. ශාස්තෘන් වහන්සේ ඔවුන්ට ධර්‍මය දේශනාකළසේක. දෙසුම අවසන්හි සියල්ලෝ සෝවාන් පෙලෙහි පිහිටා ඔවුනොවුන් දුටුවාහුය. ශාස්තෘන්වහන්සේ උප්පලවණ්ණා මෙහෙණිය පැමිණේවායි සිතූසේක. තෙරණිය අවුත් සියල්ලන් පැවිදි කරවා රැගෙන භික්‍ෂූණී මෙහෙණවරකට ගියාහ. ශාස්තෘන්වහන්සේ භික්‍ෂූන් දහස රැගෙන අහසින් දෙව්රමට වැඩිසේක.

ඉක්බිති මේ මහාකප්පින තෙරණුවෝ තමන්ගේ කටයුතු මුදුන් පැමිණිබව දැන අල්පොත්සාහී වී පලසමවත් සුවෙන් කල් යවන්නාහු ආරණ්‍යගතවූවෝද වාක්‍ෂමුලගත වූවෝද ශුන්‍යාගාර ගතවූවෝද නිතරම අහෝ සැපය, අහෝ සැපය’යි උදන් අනති. භික්‍ෂූහු, කප්පින තෙරණුවෝ රාජ්‍ය සැපය සිහිකරමින් උදන් අනති’යි කථාවක් ඉපදෙව්වාහුය. ඔවුහු (ඒබව) තථාගතයන්වහන්සේට සැළකළහ. තථාගතයන්වහන්සේ මාපුතු මාර්‍ගසැප හා ඵලසැප අරභයා උදන් අනතියි වදාරා ධර්‍මපදයෙහි මේ ගාථාව දෙසූසේක.

ධර්‍මයෙන් සතුටුවූ තැන්ත්තේ පැහැදුනු මනසින් යුතුව සුවසේ හොවී

පණ්ඩිත තෙමේ ආර්‍ය්‍යයන් විසින් දන්නාලද ධර්‍මයෙහි හැමදා සිති අලවයි.

ඉක්බිති එක් දිනෙක ශාස්තාන්වහන්සේ උන්වහන්සේගේ (තෙරුන්ගේ) අතවැසි දහසක් භික්‍ෂූන් අමතා, ‘මහණෙනි, තොපගේ ආචාර්‍ය්‍යවරයා කොහි දහම් දෙසත්දැයි ඇසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, දහම් නොදෙසයි. අල්පොත්සාභීවූයේ ඉහාත්ම සුඛවිහරණයෙහි යෙදුණේ වාසයකරයි. කිසිවකුට අවවාදමාත්‍රයකුදු නොදෙයි’යි කීහ. ශාස්තෘන් වහන්සේ තෙරුන් කැඳවා, ‘කප්පින ඔබ අතවැසියන්ට අවවාදමාත්‍රයකුදු නොදෙහි යන්න සත්‍යයක්දැ?යි ඇසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, සතයයකි.’ ‘බ්‍රාහ්මණය, එසේ නොකරව අදපටන් අතවැස්සන්ට ධර්‍මය දෙසව.’ ‘මැනවි ස්වාමීනි’යි, තෙරණුවෝ ශාස්තෘන්වහන්සේගේ කථාව සිරසින් පිළිගෙන එකම කුළුගැන්වීමකින් මහණුන්දහසට ධර්‍මය දෙසා සියල්ලන් රහත්බවට පැමිණවූහ. මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ සඟ මැද වැඩහුන්සේක් පිළිවෙළින් තෙරුන් තනතුරුවල තබමින් මහාකප්පින තෙරණුවන් භික්‍ෂූන්ට ඔවදන් කරන්නන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.

Comments are closed

error: Alert: Content is protected !!