කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ.

 

පියුමුතුරා බුදුන් සමයෙහි හංසවති නුවර කුලගෙයක පිළිසිඳ ගෙන වියපත් වූයේ බුදුන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක විචත්‍ර කථිකයන් අතුරින් අග්‍රස්ථානයෙහි තබන්නාවූ බුදුන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පතා දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ කාශ්‍යප බුදුරදුන්ගේ සසුන පිරිහෙනකල්හි භික්‍ෂූන් සත්දෙනාට ඇතුළත්ව පව්ව මත්තෙහි මහණදම්කොට නොපිරිහුනු සිල් ඇත්තේ එයින් චුතව දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් සම්පත් විඳිනුලබන්නේ අපගේ බුදුරදුන්ගේ කාලයෙහි රජගහ නුවර එක් කුලදැරියකගේ කුසෙහි උපන්නේය. ඕද පළමුව මව්පියන් අයැද පැවිද්ද නොලබන්නී කුලගෙයට ගියා ගැබ පිහිටිබව නොදන්නී හිමියා සතුටු කොට ඔහුවිසින් අනුදන්නාලද්දී භික්‍ෂූණීන් අතරෙහි පැවිදිවූවාය. ඇයගේ ගැබ් නිමිති දැක භික්‍ෂුණිහු දෙව්දත්ගෙන් ඇසුවාහුය. හෙතෙම අශ්‍රමණියකැයයි කීවේය. බුදුන්වහන්සේගෙන් විමසූහ. ශාස්තෘන්වහන්සෙ උපාලි තෙරුනට පැවරූසේක. තෙරුන්වහන්සේ සැවැත් නුවරවැසි කුලයන්ද විශාඛා උවැසියද කැඳවා (පරීක්‍ෂණයකින්) පිරිසිදු කරන්නාහු කලින් ලබනලද ගැබකි. පැවිද්ද නිකැලැල්යයි පැවසූහ. ශාස්තෘන්වහන්සේ මනාව විනිශ්චය කරනලද අධිකරණයකැයි තෙරුනට සාධුකාර දුන්සේක.

ඒ භික්‍ෂුණිය රන් පිළිමයක් වැනි පුතකු වැදුවාය. පසේනදී කොසොල් රජතෙමේ ඔහුගෙන පෝෂණය කරවූයේය. කාශ්‍යපයයි ඔහුට නම්කොට මෑත භාගයෙහි සරසා ශාස්තෘන් සමීපයට පමුණුවා පැවිදි කරවූයේය. කුමාර අවධියෙහි පැවිදිවූ බැවින් භාග්‍යවතුන්වහන්සේ විසින් ‘කාශ්‍යප කැඳවවු, මේ ඵල හෝ කැවිලි හෝ කාශ්‍යපට දෙවු’යි කීකල්හි කවර කාශ්‍යපටදැයි (අසා) කුමාර කාශ්‍යපටයයි මෙසේ ගන්නාලද නම් බැවින් එතැන් පටන් මහළුකල්හිද කුමාර කාශ්‍යපයයි කියනුලැබේ. තවද රජු විසින් පෝෂණය කරවන ලද පුතකු වන බැවින්ද කුමාරකාශ්‍යප යනුවෙන්ම හැඳින්වූහ.

හෙතෙම පැවිදිවූ කාලයෙහි සිටම විදර්‍ශනාව සඳහාද කටයුතු කරයි. බුදු වදන්ද උගනියි. ඉක්බිති ඔහු සමඟ පව්ව මත්තෙහි මහණදම්කොට අනගැමි පෙලට පත්ව සුද්ධාවාසයෙහි උපන් ඒ මහා බ්‍රහ්මයා එකල්හි සිහි කරන්නේ කුමාර කාශ්‍යප දැක මගේ යහළුවා විදසුන් සඳහා වෙහෙසෙයි. ගොස් ඔහුට විදසුන් සඳහා ක්‍රමයක් දක්වා මගපල ඉපදවීම සඳහා උපායක් කරන්නෙමැයි බඹලොව සිටියේම පසළොස් ප්‍රශ්නයක් සකසා රාත්‍රිභාගයට අනතුරුව කුමාර කස්සප තෙරුන් වසන තැන අන්‍ධවනයෙහි පෙනීසිටියේ තෙරණුවෝ ආලෝකයක් දැක මෙහි කවරෙක්දැයි ඇසූහ. ‘මම පෙර ඔබ සමඟ මහණදම්කොට අනගැමි පෙලට පත්ව සුද්ධාවාසයෙහි උපන් බ්‍රහ්මයා වෙමැයි කීවේය. ‘කවර කටයුත්තකට ආවාහුද?’ මහා බ්‍රහ්මයා තමන් පැමිණි කරුණ දැක්වීමට ඒ ප්‍රශ්න පවසා, නුඹද මේ ප්‍රශ්න උගෙණ අරුණ නැඟුණුකල්හි තථාගතයන් වෙත එළඹ අසව. තථාගතයන්වහන්සේ හැර මේ ප්‍රශ්න කීමට සමත්වූ අන්කෙනෙක් නම් නැතැයි කියා බඹලොවටම ගියේය.

තෙරණුවෝද දෙවැනි දිනයෙහි ශාස්තෘන් වෙත එළඹ වැඳ මහාබ්‍රහ්මයා විසින් කියනලද අයුරින්ම ප්‍රශ්න ඇසූහ. ශාස්තෘන්වහන්සේ කුමාරකාශ්‍යප තෙරුන් රහත්බවට යොමුකොට ප්‍රශ්න විසඳූසේක. තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසින් කියනලද ක්‍රමයෙන්ම උගෙන විදසුන් ගැබ් ගන්වාගෙන රහත්බවට පැමිණියහ. එතැන්පටන් සිවුපිරිසට ධර්‍මකථා කියන්නාහු බොහෝ දෙනාටද ටිකදෙනාටද උපමාවන්ගෙන්ද කරුණින්ද සරසා විසිතුරු කථාම කියති. ඉක්බිති ශාස්තෘන්වහන්සේ පායාසි රජුට පසළොස් ප්‍රශ්නයන්ගෙන් සරසා සූත්‍රාන්තය දෙසූකල්හි ඒ සූත්‍රාන්තය අෙත්‍ථර්‍ ාපත්ති කොට තෙරුන් මෙසසුනෙහි විචිත්‍ර කථිකයන් අතුරෙන් අගතන්හි තැබූසේක.

error: Content is protected !!