ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ.

 

අතීතයෙහි පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේගේ සමයෙහි හංසවතී නගරයෙහි උපන්නේ මහා ගංගාවේ ප්‍රයාග ප්‍රතිෂ්ඨාන තොටුපලෙහි නැව්කම් කරමින් වසයි. එසමයෙහි ශාස්තෘන්වහන්සේ ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවර ඇතිව චාරිකාවෙහි හැසිරෙනසේක් ප්‍රයාගප්‍රතිෂ්ඨාන තොටුපලට සපැමිණිසේක. හෙතෙම දසබලයන්වහන්සේ දැක මෙසේ සිතුවේය. මට කලින් කලට බුදුන් දැකීමක් නම් නැත. මේ මාගේ පින්කම් රැස්වන මොහොතයයි නැව් එක්කොට තබා බැඳ මත්තෙහි රෙදි වියනක් කරවා සුවඳමල්දම් රැස්කොට එල්වා නියඳවස්ත්‍රයෙන් කරනලද විසිතුරු ඇතිරිලි අතුරුවා පිරිවර සහිත ශාස්තෘන්වහන්සේ එතෙරට පැමිණවීය.

එසමයෙහි ශාස්තෘන්වහන්සේ එක් ආරණ්‍යක භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තැබූසේක. ඒ නැවියා එය දැක මාවිසින්ද මෙසේම අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි ආරණ්‍යක භික්‍ෂූන්ට අග්‍රවීමට වටීයයි සිතා ශාස්තෘන්වහන්සේට නිමන්ත්‍රණය කොට සත්දිනක් මහදන්දී ශාස්තෘ පාදමූලයෙහි වැදහෙව ‘ස්වාමීනි, නුඹවහන්සේ විසින් එතදග්‍රස්ථානයෙහි තැබූ එම භික්‍ෂුව මෙන් මමද අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ආරණ්‍යක භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි යයි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි නුඹ ආරණයකයන්ට අග්‍ර වන්නෙහියයි විවරණදී වැඩිසේක. අනතුරු වෙනත් කර්‍මයක් නොකියනුලැබේ.

හෙතෙම දිවි ඇතිතෙක් පින්කම්කොට දෙවිමිනිසුන් අතුරෙහි සරිසරන්නේ මේ බුද්ධෝත්පාදයෙහි මගධක්‍ෂේත්‍රයෙහි නාලක බ්‍රාහ්මණග්‍රාමයෙහි සාරී බැමිණියගේ කුසෙහි පිළිසිඳගෙන සොහොයුරන් තිදෙනෙකුගේද සොයුරියන් තිදෙනෙකුගේද යන සියල්ලන්ගේ බාලයාවී උපන්නේය. ඔහුට රේවතයයි නමක් ළාහුය. ඉක්බිති ඔහුගේ මවුපියෝ මෙසේ සිතූහ. අපගේ වැඩුණු වැඩුණු දරුවන් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රැගෙන ගොස් පැවිදි කරවත්, අපගේ පුත් රේවත කුඩාවියේදීම සරණබන්‍ධනයෙන් බන්දවන්නෙමුයි සමාන කුලයකින් දැරියක ගෙන්වා රේවතගේ මිත්තණියට වන්දවා දරුව ඔබගේ මිත්තණියට වඩා වැඩිමහල්ලක වෙවයි කීවාහුය. රේවත තෙමේ ඔවුන්ගේ කථාව අසා මෙසේ සිතීය: මේ දැරිය කුඩාවකවූවා ප්‍රථමවයසෙහි පිහිටියාය. මැයගේ මෙබඳුවූ රූපය මගේ මිත්තණියගේ රූපය මෙන් වන්නේය. ඔවුන්ගේ අදහස විමසන්නෙමැයි සිතා නුඹලා කුමක් කියන්නහුදැයි ඇසීය. දරුව, ‘මේ දැරිය නුඹේ මිත්තණිය මෙන් ජරාවට පැමිණේවායි කීවෙමු’යි කීහ. හෙතෙම මැයගේ රූපය එබඳු වන්නේදැයි ඇසීය. දරුව කුමක් කියහිද? මහපින් ඇත්තෝ මෙබඳු වෙත්යයි කීහ.

‘මේ රූපය’ මේ ආකාරයෙන් රැලි නැඟුණු සම් ඇත්තේ පැසුණු හිස ඇත්තේ කැඩුණු දත් ඇත්තේ වන්නේය. මම මෙබඳුවූ රූපයක ඇලීකුමක් කරම්ද? මගේ සොහොයුරන් ගිය මඟම ගන්නෙමි’යි සිතීය. (එසේ සිතා) ගිහිගෙයි සිටින්නේ මෙන්වී සමවියෙහි සිටි තරුණයන්ට ‘යහළුවනි, එන්න. දිවීමේ ක්‍රීඩාව කරන්නෙමු’යි කියා නික්මියේය. ‘දරුව මඟුල් දිනයෙහි පිටත නොයව’යි (මාපියෝ කීහ) හෙතෙම තරුණයින් සමඟ සෙල්ලම් කරන්නෙකු මෙන් තමන් දුවන වාරය පැමිණිවිට ටිකක් ගොස් ප්‍රමාදවී ආපසු එයි. අනතුරුවාරය පැමිණිවිට ඊටවඩා දුරටමෙන් ගොස් ආපසු ආයේ තෙවෙනිවර මේ මාගේ කාලයයි දැන හමුවන තැනින්ම පළාගොස් පාංශුකූලික භික්‍ෂූන්ගේ නිවාසස්ථානයවූ අරණ්‍යයට ගොස් තෙරුන්වැඳ පැවිද්ද ඉල්වීය. ‘සත්පුරුෂය, අපි ඔබ කවරෙකුගේ පුතෙක්දැයි නොදනිමු. ඔබද අබරනින් සැරසුණු අයුරින්ම පැමිණියෙහිය. කවරෙක් නම් ඔබ පැවිදි කිරීමට උත්සාහ කෙරේදැ’යි ඒ තෙරවරු පැවසූහ. හෙතෙම දෙඅත් දැඩිව ගෙන මා පැහැරගනී මා පැහැරගනීයයි මහහ හඬින් හැඬීය. ඔබිනොබින් බික්‍ෂූහු රැස්ව, ‘සත්පුරුෂය, මෙතැන්හි ඔබේ වස්ත්‍රය හෝ අබරණ හෝ ගන්නාවූ කිසිවෙක්නම් නැත. ඔබද නටුවෙමැයි කියහි කුමක් නිසා කියහිදැයි ඇසූහ. ‘ස්වාමීනි, මම වස්ත්‍රාභරණ සඳහා නොකියමි. මාගේ ත්‍රිවිධ සම්පත්තීන්ගේ විනාශයක් වෙයි. එය නිසා කියමි. නුඹවහන්සේලා මාගේ සහෝදරයා දන්නහු නම් මා පැවිදිකරන්නහුයයි දනිමි’යි කීවේය. ඔබගේ සහෝදරයා කිනම් වූවෙදැයි ඇසූහ. ගිහිකල්හි උපතිස්ස නම් විය. දැන් සාරිපුත්ත නම් වූයේයි කියත්. ‘ඇවැත්නි, එසේ ඇතිකල්හි මේ කුලපුත් තෙමේ අපගේ කනිටු බෑයා නම් වෙයි. අපගේ වැඩිමහල් සොයුරු දම්සෙනෙවි කලින්මමෙසේ කියා ඇත: අපේ නෑදෑයෝ සියලු දෙනා මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෝය. යම් කිසිවෙක් අපගේ ඥාතියෙකැයි එයිද ඔහුව යම් කිසි උපායකින් පැවිදිකරවු’ යනුවෙනි. මෙතෙම වනාහි තෙරුන්වහන්සේගේ ආධයාත්මික සහෝදරයාය. මොහු පැදිකරවු’යි කියා තචපංචක කර්‍මස්ථානය දැනුම්දී පැවිදි කරවූහ. ඉක්බිති පිරිපුන් විසිවස් ඇති මොහු උපසම්පදා කරවා කමටහන්හි යෙදවූහ.

තෙරුන්වහන්සේ කමටහන් ගෙන ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන්ට නුදුරුව පිහිටි කියනලද ආකාර ඇති බදිරවනයට පිවිස මහණදම් කරයි. රහත්බවට නොපැමිණ ශාස්තෘන්වහන්සේ හෝ සොයුරු තෙරුන් නොබලමැයි උත්සාහ කරන උන්වහන්සේට තෙමසක් ඉක්ම ගියේය. රළුබොජුන් බුදින සියුමැලි සත්වයකුගේ සිත ප්‍රණීත නම් නොවෙයි. කමටහන විමෝක්‍ෂයට නොගියේය. හෙතෙම වස් තෙමස අවෑමෙන් පවරා වසන ලද වස් ඇත්තේවී එතැන්හිම මහණදම් කරයි. පුරුදු කරන්නාවූ පුරුදු කරන්නාවූ ඔහුගේ සිත එකඟවිය. හෙතම විදසුන් වඩා රහත්බවට පැමිණියේය.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් මහතෙරුන්වහන්සේ, ‘ස්වාමීනි, මගේ කනිටු සොයුරු රේවත පැවිදි වූයේය. හෙතෙම (පැවිද්දෙහි) ඇලුනේ හෝ නොවේදැයි ගොස් ඔහු බලන්නෙමියි භාගයවතුන්වහන්සේට දැන්වූහ. භාග්‍යවතුන්වහන්සේ රේවතගේ පටන්ගන්නාලද විදර්‍ශකභාවය දැක දෙවරක් ප්‍රතික්‍ධෂප කොට තෙවෙනිවර අයදිනලද්දේ රහත්බවට පත්බව දැන ‘සාරිපුත්තය, මමද යන්නෙමි. භික්‍ෂූන්ට සැළකරවයි වදාළසේක. තෙරුන්වහන්සේ භික්‍ෂුසංඝයා රැස් කරවා ශාස්තෘන්වහන්සේ චාරිකාවෙහි හැසිරෙනු කැමැතිසේක. යනු කැමැත්තෝ පැමිණෙත්වා’යි සියල්ලන්ටම දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ චාරිකා සඳහා වඩිනකල්හි නොගොස් නවතින භික්‍ෂූහු නම් අල්පවෙති. ශාස්තෘන්වහන්සේගේ රන්වන් සිරුර බලන්නෙමු. මිහිරි දහම්කතා අසන්නෙමුයි යනු කැමැත්තෝම බෙහෙවින් අධික වෙති. මෙසේ ශාස්තෘන්වහන්සේ මහ බික්සඟන පිරිවරනලද්දෝ රෙවත බලන්නෙමුයයි නික්මුණුසේක.

ඉක්බිති එක් පෙදෙසක අනඳ තෙරුන්වහන්සේ දෙමංසන්‍ධියකට පැමිණ, ‘ස්වාමීනි, මෙතැන්හි මාර්‍ග දෙකෙකි. කවර මාර්‍ගයකින් භික්‍ෂුසංඝයා යෙත්දැයි භාග්‍යවතුන්වහන්සේ පිළිවිසිසේක. ‘ආනන්‍දය, කවරමඟක් සෘජුදැයි ඇසූසේක. ‘ස්වාමීනි, සෘජු මාර්‍ගය තිස් යොදුනක් ඇත්තෙයි. (එය) අමනුෂ්‍ය පථයකි. වටින්යාමට ඇතිමාර්‍ගය සැටයොදුනක් ඇත්තේයි. බියරහිතය. සුලබ ආහාර ඇත්තේය’ ‘ආනන්‍දය, සීවලී අප සමඟ පැමිණියේදඝ’ එසේය, ස්වාමීනි පැමිණියේය’ එසේ වීනම් සංඝයා සෘජු මාර්‍ගයම ගනීවා! සීවලීගේ පින විමසන්නෙමු. ශාස්තෘන්වහන්සේ බික්සඟන පිරිවරණ ලදසේක් සීවලී තෙරුන්ගේ පින විමසනු සඳහා වනමඟට පිවිසිසේක. මගට බට තැනසිටම දිව්‍යසමූහයා යොදුනෙන් යොදුනට නුවරක් මවා බුදුපාමොක් සඟනට විසීම සඳහා විහාරයන් පිළියෙළ කළේය. දිව්‍යපුත්‍රයෝ රජුන් විසින් යවනලද කම්කරුවන් මෙන්වී කැඳ කැවිලි ආදිය ගෙ ආර්‍ය්‍ය සීවලී කොහිද ආර්‍ය්‍ය සීවලී කොහිදැයි අසමින් යති. තෙරුන්වහන්සේ ඔවුන්ලවා සත්කාරසම්මාන ගන්වාගෙන ශාස්තෘන් සමීපයට යති. ශාස්තෘන්වහන්සේ භික්‍ෂු සංඝයා සමඟ වළඳන සේක.

මේ ක්‍රමයෙන් ශාස්තෘන්වහන්සේ සත්කාරසම්මාන විදින්නාහු දිනපා යොදුනක් පරම කොට ගොස් තිස් යොදුන් කාන්තාරය ඉක්මවා ඛදිරවනීය තෙරුන්ගේ සහායස්ථානයට පැමිණිසේක. තෙරුන්වහන්සේ ශාස්තෘන්වහන්සේගේ පැමිණිම දැන තමන් වසන තැන බුදුපාමොක් මහ සඟනට පොහෝනා විහාරයෙහි දශබලයන්වහන්සේට ගඳකිළියද රාත්‍රිස්ථාන දිවාස්ථානද සෘද්ධියෙන් මවා ශාස්තෘන්වහන්සේට පෙරගමන් කිරීම සඳහා ගිහය. ශාස්තෘන්වහන්සේ අලංකාර ලෙස පිළියෙළ කරනලද මගින් විහාරයට පිවිසිසේක. ඉක්බිති තථාගතයන්වහන්සේ ගඳකිළියට පිවිසිකල්හි භික්‍ෂූන්වහන්සේ වැඩිමහලු පිළිවෙළින් පැමුණුණු සෙනසුන්වලට පිවිසියාහුය. දෙවිවරු ආහාරයට අකාලයැයි අෂ්ටවිධපානයන් ගෙනාවාහුය. ශාස්තෘන්වහන්සේ භික්‍ෂූන් සමඟ පැන් වැළඳූසේක. මේ ක්‍රමයෙන්ම සත්කාර සම්මාන විඳින්නාවූ බුදුන්වහන්සේට අඩමසක් ඉක්මගියේය.

ඉක්බිති ඇතැම් උඩඟු භික්‍ෂූහූ එක්තැනක හිඳ කථා ඉපදවූහ. තථාගතයන්වහන්සේ ‘මගේ අග්‍රශ්‍රාවකයාගේ කනිටු සොහොයුරුයි කියා මෙබඳුවූ විහාරගොඩනැගිලි සාදන්නාවූ භික්‍ෂුවක දැකීමට පැමිණිසේක. මොහුගේ විහාරය ඉදිරියේ දෙව්රම් වෙහෙර හෝ වෙළුවනවිහාරාදි හෝ කුමක් කෙරේද මේ භික්‍ෂුවද මෙබඳු විහාරගොඩනැගිලි සාදන්නේ කෙසේනම් මහණදම් කෙරේද’ (යනුවෙනි). ඉක්බිති ශාස්තෘන්වහන්සේ, ‘මා බොහෝකල් වසනකල්හි මෙතැන ආකීර්ණ වෙයි. ආරණ්‍යක භික්‍ෂූහු නම් විවේක කැමැත්තෝය. රේවතට පහසු පැවැත්මක් නොවන්නේය’යි සිතූසේක. ඉක්බිති උන්වහන්සේ රේවත තෙරුන්ගේ දිවාවිහාරයට වැඩිසේක. තෙරුන්වහන්සේ හුදෙකලාව සක්මන කෙළවර ආලම්බනබාහය (අත්වල) ඇසුරු කොට ගල්පුවරුවෙහි හුන්නේ දුරදීම ශාස්තෘන්වහන්සේ එනු දැක පෙරගමන් කොට වැන්දාහුය.

ඉක්බිති බුදුන්වහන්සේ ‘රේවත, මෙය රුදුරු සතුන්ගේ වාසයකි. සැඩ ඇත් අස් ආදීන්ගේ ශබ්ද අසා කුමක් කරන්නෙහිදැයි උන්වහන්සේගෙන් ඇසූසේක. ‘ස්වාමීනි, ඔවුන්ගේ ශබ්ද අසන්නාවූ මට අරණ්‍යප්‍රීතිය උපදියි.’ ශාස්තෘන්වහන්සේ එතැන්හි රේවත තෙරුන්ට ගාථා පන්සියයකින් අරණ්‍යානිසංශයෙන් කියා දෙවෙනි දිනෙහි නොදුරු තන්හි පිඬු හැසිර රේවත තෙරුන් නවත්වා යම් භික්‍ෂූන් විසින් තෙරුන්ගේ නුගුණ කියනලද්දේද ඔවුනට සැරයටි පාවහන් තෙල්නැලි කුඩ ආදියේ මුළාවනබව (අමතකවීම) ඇතිකළසේක. ඔවුහු තමන්ගේ පිරිකර සඳහා ආපසු හැරුණාහු ආ මගින් යන්නෝ නමුදු එම ස්ථානය සලකා ගන්නට අසමත් වෙති. පළමුව ඔවුහු අලංකාර ලෙස පිළියෙළ කළ මගින් ගියහ. එදවස වනාහි විෂමමාර්‍ගයෙන් යන්නාහු ඒ ඒ තැන උක්කුටිකයෙන් හිඳිති. දනින් යති. ඔවුහු පඳුරුද ලැහැබ්ද කටුද මඬිමින් තමන් විසූ සභාගස්ථානයට ගොස් ඒ ඒ කිහිරි කණුවෙහි තමන්ගේ කුඩය හඳුනා ගනිත්, පාවහන සැරයටිය, තෙල් නැලිය හඳුනා ගනිත්, ඔවුහු එකල්හි මේ භික්‍ෂුව සෘද්ධිමත්යයි දැන තමන්ගේ පිරිකර රැගෙන තථාගතයන්වහන්සේට පිළියෙළ කරනලද සත්කාරය නම් මෙබඳුයයි කියමින් ගියහ.

විශාඛා උපාසිකාව කලින් ගිය භික්‍ෂූන් තමන්ගේ ගෙහි හුන්කල්හි, ‘ස්වාමීනි, රේවත තෙරුන් වසන තැන සිත්ගන්නාසුලුදැ’යි අසයි. ‘මහාඋපාසිකාව, සිත්ගන්නාසුලුය. සෙනසුන නන්‍දනවනචිත්‍රලතාවනාදියට සමානයය’යි කීහ. ඉක්බිති ඔවුන්ගෙන් සියල්ලන්ට පසුව ආ භික්‍ෂූන්ගේන්, ස්වාමීනි, රේවත තෙරුන් වසන තැන සිත්ගන්නාසුලුදැයි ඇසුවාය. ‘උපාසිකාව, නොවිමසන්න, මෙය කීමට නොසුදුසු තැනකි. ඒ බදිරවනය නිසරුය, ගල්කැට පර්‍වත ආදියෙන් විෂමය. එහි ඒ භික්‍ෂු වෙසෙයි’ කීහ. විශාඛා උවැසිය මුලින් ආ භික්‍ෂූන්ගේද පසුව ආ භික්‍ෂූන්ගේද කථාව අසා මේ කවරෙකුගේ නම් කථාව සත්‍යදැයි පසුබතෙහි ගදමල් රැගෙන තථාගතයන්වහන්සේගේ උවටනට ගොස් වැඳ එකත්පසෙක හුන්නා ‘ස්වාමීනි, ඇතැම් භික්‍ෂූන්වහන්සේ රේවතතෙරුන්වහන්සේ වසන තැනට පසසති. ඇතැම් භික්‍ෂූන්වහන්සේ නිගාකරති. මේ කිමෙක්ද ස්වාමීනි’යි බුදුන්වහන්සේගෙන් ඇසුවාය. ‘විශාඛාවනි, සිත්කලු වේවා හෝ නොවේවා! යම් තැනක ආර්‍ය්‍යයන්ගේ සිත ඇලෙයිද එතැනම සිත්කලු නම් වේය’යි පවසා මේ ගාථාව දෙසූ සේක.

‘ගමෙහි හෝ අරණෙහි හෝ පහත්බිමෙහි හෝ සමබිමෙහි හෝ යම් තැනක රහතන්වහන්සේ වෙසෙත්ද ඒ බිම සිත්ගන්නාසුලුය.’

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ජේතවන මහා විහාරයෙහි ආර්‍ය්‍යගණයා මධ්‍යයෙහිහුන්සේක් තෙරුන් ආරණ්‍යක භික්‍ෂූන්ගේ අග්‍රස්ථානයෙහි තැබූසේක.

error: Content is protected !!