කංඛාරෙවත මහරහතන් වහන්සේ.

පියුමුතුරා බුදුන් වහන්සේගේ කාලයෙහි පෙර පරිද්දෙන්ම මහජනයා සමඟ විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් ශාස්තෘන්වහන්සේ එක්භික්‍ෂුව ධ්‍යානයෙහි සිත් ඇලුණවුන් අතුරෙන් අග තනතුරෙහි තබනු දැක මාද අනාගතයෙහි මෙවැන්නකු වීමට වටීයයි දෙසුම් අවසන්හි ශාස්තෘන්වහන්සේට අරයුම් කොට පෙර පරිද්දෙන්ම සත් දිනක් මහ් සත්කාර කොට භාග්‍යවතුන් වහන්සේට, ‘ස්වාමීනි, මම මේ පුණ්‍යකර්‍මයෙන් වෙනත් සැපතක් නොපතමි. යම්සේ නුඹවහන්සේ විසින් මෙයින් සත්දිනකට මත්තෙහි ඒ භික්‍ෂුව ධ්‍යානීන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන ලද්දේද එසේම මම ද අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ධ්‍යානීන්ට අග්‍රවන්නෙම්වායි ප්‍රාත්‍ථර්‍නා කළේය. ශාස්තෘන්වහන්සේ අනාගාතය බලා පැතුම ඉටුවන බව දැන අනාගතයෙහි කල්ප ලක්‍ෂයක ඇවෑමෙන් ගොතම නම් බුදුන්වහන්සේ උපදින සේක. උන්වහන්සේගේ සසුනෙහි නුඹ ධ්‍යානීන්ට අග්‍ර වන්නෙහියයි විවරණදී වැඩි සේක.

හෙතෙම දිවි ඇති තෙක් පින්කම් කොට කල්ප ලක්‍ෂයක් දෙවිමිනුසුන් අතුරෙහි සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර මහධනකුලයක උපන්නේ පසුබතෙහි දහම් ඇසීම සඳහා යන්නාවූ මහජනයා සමඟ විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දශබලයන් වහන්සේගේ ධර්‍මකථාව අසා සැදැහැ ඉපිදී පැවිදිවූයේය. පැවිදි වුයේ උපසම්පදාව ලැබ කමටහන් කියවාගෙන ධ්‍යාන පරිකර්‍ම කරන්නේ ධයානලාභියෙක් වී ධ්‍යානයම පාදක කොට ගෙන රහත්පලයට පැමිණියේය. හෙතෙම බුදුන්වහන්සේ විසින් සමවැදියහැකි සමාපත්තීන්ගෙන් අඩුප්‍රමාණයක් අත්හැර බොහේ සමාපත්තීනට සමවදින්නේ දිවාරැයෙහි ධ්‍යානයන්හි පුරුදු කරලද වසඟ බව ඇත්තේවිය. මෑතකාලයක භාග්‍යවතුන් වහන්සේ මේ ගුණ සලකා මොහු ධ්‍යානීන් අතුරෙන් අග තැන්හි තැබූසේක. ඇවැත්නි, සකුරු අකැපය. මුං අකැපයයි මෙසේ කැප වස්තූන්හිද කුකුස් උපදවන ලද බැවින් ඒ කුකුස් සංඛ්‍යාතවූ සැකබව නිසා කංඛාරෙවතයයි ප්‍රසිද්ධියට පත් වූයේය.

error: Content is protected !!