Ape Budu Hamuduruwo 42

අපේ බුදුහාමුදුරුවෝ 42

 

අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 05

සත්වන බුද්ධවංශය නොහොත් අනොමදස්සී බුදුරදුන්ගේ වංශ කතාව ත්‍රිපිටකයේ බුද්ධවංසපාළියෙහි මෙලෙස සාරාංශ ගත කොට තියෙනවා.

අනෝමදස්සී ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’චන්‍දවතී’’ නම් වී. පියතෙම ’’යසවන්ත’’ නම් රජය. මවු තොමෝ ’’යශොධරා’’ නම් වූවාය.

ඒ අනෝමදස්සී බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී. ’’සිරී’’ ය, ’’උපසිරී’’ ය ’’වඩ්ඪ’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරින්ද ’’සිරිමා’’ නම් වූවාය. පුත් තෙම ’’උපවාරණ’’ නම් වී.

’’ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රන්සිවි ගෙයකින් මහබිනික්මන් කෙළේය. නොඅඩු දසමසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ ඒ අනෝමදස්සී මහමුනිඳු තෙම බඹහු විසින් අයදනා ලද්දේ, සුදස්සන නම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

අනෝමදස්සී ශාස්තෲන් වහන්සේට ’’නිසභ’’ ද, ’’අනොම’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. ’’වරුණ’’ නම් උපස්ථායකයෙක් වී.

’’සුන්‍දරී’’ ද, ’’සුමනා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය කුඹුක් ගසයයි කියනු ලැබේ.

’’නන්‍දිවඩ්ඪ’’ ද, ’’සිරිවඩ්ඪ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’උප්පලා’’ ද, ’’පදුමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

මහමුනිඳු පණස්අට රියනක් උස්වී. උන්වහන්සේගේ ශරීර කාන්තිය නැංගාවූ (උදා) හිරු මෙන් නිතර පැතිරී යයි.

ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. උන්වහන්සේ එතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.

සෝවාන් ආදී මග ඵල වලින් හෙබි දහම් ඇති බුදුසසුන කෙලෙස් කිලුටු නැති, රාගාදිය නැතිකළ, තාදී ගුණයෙන් යුත්, රහතුන් කරණකොටගෙන බැබලුනේය.

අපමණ පිරිවර ඇති ඒ ශාස්තෲන් වහන්සේද, ඒ අසමවූ (ශ්‍රාවක) යුගද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ සිස් වූවාහු නොවෙත්ද?

පස්මරුන් දිනූ අනෝමදස්සී ශාස්තෲන් වහන්සේ ’’ධම්මාරාම’’ යේදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය (දාගැබ) විසිපස් යොදුනක් උස්වී. (උසට බඳින ලදී.)

අනෝමදස්සී බුද්ධවංස වර්ණනාව නිමි.

 

Ape Budu Hamuduruwo 41

අපේ බුදුහාමුදුරුවෝ 41

 

අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව 02

අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 04

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ සසරේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන මහා සම්පතක්. ඔහු නිරන්තරයෙන්ම සසරේ තමාගේ යහළුවෝ තනිකර නිවන් පුරට යන්නේ නැහැ. එවැනි සම්පතක් මුගලන් හාමුදුරුවන්ටත් තිබුනා. ඒ විතරක් නෙවෙයි බොහෝ විට ඒ අය සසරේ ගමන් කරන්නේ එකට. අත්වැල් බැඳගෙන වගේ. එක්කෙනෙක් වැටෙනකොට හෝ වල්මත් වෙනකොට අනිකා නැගිට්ටවනවා හෝ පාර කියනවා. එදත් වුනේ ඒ වගේ සිදුවීමක්. සරද තාපස තුමා අගසවු තනතුර සඳහා විවරණ ගත් ක්ෂණයෙන් උන්වහන්සේට මතක් වුනේ තමන්ගේ අඹ යහළුවා වන සිරිවඞ්ඪ කෙළෙඹීයාව. 

සරද තාපස තෙමේ තමා අගසව් ලබන ගෞතම බුද්ධශාසනයේ දෙවන ශ්‍රාවක තනතුර තමාගේ යහළුවා වන සිරිවඞ්ඪ කෙළෙඹීයා ලවා ප්‍රාර්ථනා කරනු කැමැත්තේ ඔහු වෙත යන්නට පිටත්වුනා. සිරිවඞ්ඪ, ‘බොහෝ කලකින් ආර්යයන් වහන්සේ පැමිණියහ’ යි ආසනයක හිඳුවා ඔහුද 

නීචාසනයෙක හිඳ ‘ස්වාමිනි, අද නුඹ වහන්සේගේ අතවැසියෝ නො පෙනෙති’ යි වටපිට බලමින් විමතියෙන් කියන්නට වුනේ හැත්තෑහතර දහසක පිරිවර එදා නොසිටි හෙයින්. 

‘එසේය යහළුව, අපේ අසපුවට අනවමදර්ශි සර්වඥයන් වහන්සේ පැමිණියා. උන්වහන්සේ අපට දහම් දෙසූනු ලැබුවා, දේශනාවසානයෙහි මාගේ ශිෂ්‍යයෝ රහත්ව උන්වහන්සේ වෙත පැවිදි වුනා.

‘ස්වාමිනි, එසේ නම් නුඹ වහන්සේ ඒ බුදුරදුන් වෙත පැවිදි නො වූයේ මන්දැ’ යි සිරිවඞ්ඪ මවිතයෙන් ඇසුවා.

‘යහළුව, මම ඒ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ නිසභ තෙරුන් වහන්සේ දැක අනාගතයෙහි ලොව පහළ වන ගෞතම නම් බුදුරදුන්ගේ සස්නෙහි අග සව් තනතුර පැතුවා, ඔබ ද ඒ බුදු සස්නෙහි දෙවන සව් තනතුර පතන්නට කැමති කරවගන්නයි පැමිණියේ යනුවෙන් ඔහු පවසනු ලැබුවා.

සිරිවඞ්ඪ කෙළෙඹි එයට කැමති වි සරද තාපසයන්ගේ උපදෙස් පරිදි තමාගේ නිවස ඉදිරියේ අටකිරියක් පමණ භූමිභාගයක් සමතලා කරවා වැලි ඉස්වා ලදපස්මල් ඉස්වා නිලූපුල් මල් පියැස්ස ඇති මඩුවක් කරවා අසුන් පනවා මහත් සත්කාරයත් පිළියල කොට බුදුන් වහන්සේ වැඩමවා දෙන පරිදි සරද තාපසතුමාට කියා සිටියා. තාපසතුමාත් ඔහුගේ ඉල්ලීම පරිදි බුදුපාමොක් මහසඟන ඔහුගේ නිවසට වැඩම කරනු ලැබුවා. සිරිවඞ්ඪ පැනවූ අසුන් වල බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟන වඩා හිඳුවා ප්‍රණීත භෝජන වළදවා අවසානයේ දී වටිනා වස්ත්‍ර ද පුදා තථාගතයන් වහන්සේ වැඳ ස්වාමිනි, මාගේ මේ උත්සහය සුළු දෙයක් නොවෙය, එබැවින් මට සතියක්ම මෙසේ අනුකම්පා කරන සේක්වා’ යි දැයි විමසා සිටියා.

තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනාව ඉවසා වදාරනු ලැබුවා. ඔහු සත්දිනක් මහදන් දී අවසානයේ අනවමදර්ශී සම්බුද්ධයන් වහන්සේ වැඳ ඇඳිලි බැඳ සිට ‘ස්වාමිනි, මාගේ යහළු සරද තාපසතුමා යම් බුදුකෙනෙකුන්ගේ අගසව් බව පැති ද මම මේ කුශලයෙන් ඒ බුදුරදුන්ගේ ද්විතීය අග්‍රශ්‍රාවක වෙම්වා’ යි පතනු ලැබුවා. තථාගතයන් වහන්සේ අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාව සිදුවන බව දැන ‘නුඹ මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු බුදුවන ගෞතම නම් සර්වඥයන් වහන්සේගේ ද්විතීයාග්‍රශ්‍රාවක වන්නෙහිය’ යි වදාරනු ලැබුවා. හෙතෙමේ එසේ අනවමදර්ශී බුදුරදුන් ඉදිරියේ කළ ප්‍රාර්ථනාවෙන් මොග්ගල්ලාන නම් ද්විතීයාග්‍රශ්‍රාවක වශයෙන් අපගේ බුදු සසුනේ පිදුම් ලැබුවා.

Ape Budu Hamuduruwo 40

අපේ බුදුහාමුදුරුවෝ 40

 

අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව 01

අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 03

මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අප මහා බෝසතාණන් වහන්සේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් සමයේම වෙනත් ජනපදයක සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයින් වහන්සේලා ද ඉපිද සිටියා. සැරියුත් මහා තෙරණුවෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නා. සරද යනු ඔහුගේ ගිහි නමයි. මුගලන් මහා තෙරණුවෝ ගෘහපති මහාසාර කුලයෙහි උපන්නා. ඔහු සිරිවඞ්ඪ නම් වුනා. ඔවුන් දෙදෙනා බාලකාලයේ පටන් මිතුරෝ ගජ මිතුරෝය. සරද මානවක තෙමේ පියාගේ ඇවෑමෙන් තමාට හිමි වූ මහා ධනස්කන්ධය පරිහරණය කරමින් සිටිනුයේ එක් දිනක් මෙසේ සිතුවා. “මම මෙලොව පමණක් දනිමි, පරලොව නො දනිමි, උපන් සත්වයනට මරණය නියතය, එබැවින් මා පැවිදිව මෝක්ෂය සෙවිය යුතු ය” ඉක්බිති ඔහු තමාගේ මිතුරා වන සිරිවඞ්ඪ කෙළෙඹි වෙත ගොස් ‘මිත්‍රය’ මම පැවිදිව මෝක්ෂය සොයන්නට බලාපොරොත්තු වෙමි. ඔබට මා හා පැවිදි විය හැකිදැ’ යි ඇසුවා. මිත්‍රය, මට නම් එය නොකළ හැකිය. ඔබ පැවිදි වන්නය’ යි සිරිවඞ්ඪ ගේ පිළිතුර වුනා. එකල්හි සරද මානවක තෙමේ ‘නෑ – මිතුරන් ද කැදවා ගෙන ඔවුන් සමඟ පරලොව ගිය කෙනෙකුන් නැත, තමා යමක් කළහොත් එය තමාට වේය’ යි සිතා තමා අයත් සියලූ ධනය දුගි මගී යාචකාදීන්ට දන් දී පර්වතය සමිපයට ගොස් සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව භාවනාවෙහි යෙදෙන්නට වුනා. ඔහු පැවිදි වූ බව ඇසු දුටු බොහෝ දෙනෙක් ද, වරින් වර එහි ගොස් ඔහුගේ ආචාර්යත්වයෙන් පැවිදි වුනා. එසේ පැවිදි වූ ඔහුගේ ශිෂ්‍ය පිරිස සැත්තෑසතරදහසක් තරම් වුනා. සරද තාපස තෙමේ භාවනා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ගෙන සිය පිරිස ද කසිණ භාවනාවෙහි යෙදවූවා. සරද තාපසයන්ගේ අනුශාසනය පරිදි භාවනාවෙහි යෙදී ඒ සැමදෙනාම ද පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ගත්තා.

අනෝමදස්සි බුදුහාමුදුරුවෝ ඒ කලේ වැඩ සිටියේ චන්දවති නම් නගරයේ. එක් දවසක් අනෝමදස්සී තථාගතයන් වහන්සේ උදැසන කාලයේ සමවතින් නැගිට ලොව බලා වදාරන සේක්, සරද තාපස තුමා දැක, ‘අද මා විසින් සරද තාපසයන් කරා යාමෙන් මහත් වූ ධර්ම දේශනයක් වන්නේ ය. ඔහු ද අගසව් තනතුර පතන්නේ ය. ඔහුගේ යහළු සිරිවඞ්ඪ කෙළෙඹි දෙවන අගසව් තනතුර පතන්නේ ය. දේශනාවසානයෙහි සරද තාපසගේ සැත්තෑසතරදහසක් ශිෂ්‍යයෝ අර්හත්වයට පැමිණෙන්නාහ’. යි ද දැක වදාරා, මා විසින් එහි යා යුතුය යි තමන් වහන්සේගේ පාසිවුරු ගෙන අන් කිසිවකු නො අමතා එකලාව හැසිරෙන සිංහරාජයකු මෙන් සරද තාපසගේ ශිෂ්‍යයන් ඵලාඵල පිණිස වනයට ගිය අතර තමන් වහන්සේ බුදුකෙනෙකුන් බව සරද තාපසට දත හැකි වනු පිණිස අහසින් වැඩම කොට ඔහු බලා සිටියදි අහසින් පොළොවට වැඩම කරනු ලැබුවා.

සරද තාපස තෙමේ අහසින් බට අමුත්තාගේ ආනුභාව හා රූප ශෝභාව දැක විස්මයට පත්ව, බුදුරදුන් දෙස බලා ලක්ෂණ ශාස්ත්‍රය අනුව සිතන්නට වුනා. මොහුගේ සිරුරෙහි ඇති ලක්ෂණ වලින් යුත් තැනැත්තා ගිහිගෙයි විසුවොත් සක්විති රජකු විය යුතු ය. පැවිදි වුවහොත් සියල්ල දැන බුදුවිය යුතු ය, මේ මහා පුරුෂයා ඒකාන්තයෙන් බුදුකෙනෙකු විය යුතුය’ යි සිතා ඉදිරියට ගොස් පසඟ පිහිටුවා වැඳ වැඩ හිදිමට අසුණක් පනවා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ සිටින අතර තුර සරද තාපසයාද සුදුසු අසුනක් ගෙන එකත්පසෙක හිඳ ගත්තා. එකෙනෙහි සැත්තෑසතරදහසක් වූ තම ශිෂ්‍ය තාපසයෝ ඕජාවත් ඵලාඵලයන් ගෙන ආචාර්යවරයා වෙත පැමිණියා. තවුසෝ බුදුන් වහන්සේ හා තමන් ගේ ආචාරවරයා හුන් අසුනත් දැක ‘ආචාර්යයන් වහන්ස, අපි මෙතෙක් කල් නුඔ වහන්සේට වැඩි කෙනෙකු මේ ලෝකයෙහි නැතය’ යි සිතා සිටියෙමු. මේ පුරුෂයාණෝ නුඔ වහන්සේට වැඩි උසස් කෙනෙකුසේ පෙනෙති’ යි කීහ. එවිට සරද තාපසතුමා ‘දරුවනි, කුමක් කියන්නෙහු ද? නුඔලා අබ ඇටයක් මහා මෙරක් හා සසඳන්නට සිතන්නහු ය, සියල්ල දත් බුදුන් වහන්සේට මා උපමා නො කරව් ය’ යි කියන්නට වුනා. එකල්හි තවුසෝ ‘ඉදින් මේ පුරුෂයා සුළු කෙනෙකු නම් අප ආචාර්යයෝ මෙබඳු උපමාවක් නොකියන්නා හ. මේ පූරුෂයා ඒකාන්තයෙන්ම උසස් කෙනෙකු විය යුතුය’ යි සැම දෙනාම අනෝමදස්සි බුදුන් වහන්සේගේ පාද නමසකාර කර සිටියා. ඉක්බිති සරද තාපස තෙමේ සිසුන් අමතා, ‘දරුවනි , බුදුන් වහන්සේ ආහාර වළදන වේලාවෙහිම මෙහි පැමිණි සේක. උන්වහන්සේට පිරිනැමිමට සුදුසු බොජුනක් අපට නැත. එහෙත් අපට ඇති සැටියට අපි උන්වහන්සේට ආහාර පිළිගන්වමු. තොප විසින් ගෙනෙන ලද ඵලාඵල ගෙන්වා අත සෝදා ඒවා තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි තබනු. තාපස තෙමේ තමා විසින් පැන් ද පෙරා තථාගතයන් වහන්සේට පිළිගැන්විය. බුදුන් වහන්සේ වළදා අවසන් කොට වැඩහුන් කල්හි සරද තාපස තෙමේ සියළු අතවැසියන් කැඳවා ගෙන තථාගතන් වහන්සේ හා පිළිසඳර කථාවෙහි යෙදෙන්නට වුනා.

ඒ වෙලාවේ අනෝමදස්සී බුදුපියාණන් වහන්සේ ‘මගේ අග්‍රශ්‍රාවක දෙනම භික්ෂුසංඝයා ද සමඟ එත්වා’ යි සිතින් ඇරයුම් කරනු ලැබුවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම ශාස්තෲන් වහන්සේගේ සිත දැන ලක්ෂයක් රහතුන් සමඟ පැමිණ තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක වැඩ සිටියා. එකල්හි සරද තාපස ගෝලයන් අමතා ‘දරුවනි, බුදුන් වහන්සේ වැඩ සිටින අසුන ද මිටි ය. මේ ශ්‍රාමණයන් වහන්සේලා වැඩ සිටිමට ආසන ද නැත. තොප විසින් අද මහත් වූ බෞද්ධ සත්කාරයක් කළ යුතු ය. ඒ සදහා වර්ණගන්ධයෙන් යුක්ත වන නා නා පුෂ්පයන් පර්වත පාදයෙන් ගෙන එව්’ ය කිවා. සෘඬිමත් වු තවුසෝ එකෙනෙහිම බොහෝ මල් ගෙනවුත් තථාගතයන් වහන්සේ සඳහා යොදුනක් උස මලසුනක් පැනවූහ. සෙසු භික්ෂුන්ට සුදුසු අසුක් පැනවූහ. නවක භික්ෂුන්ට පැනවූ අසුන් ද ඉසුබක් (බඔ තිස්පහක්) පමණ වුනා. ඉක්බිති සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ ‘ස්වාමීනි, අපට දිර්ඝ කාලයක් හිත සැප පිණිස මේ අසුනෙහි වැඩ සිටින සේක් වා’ යි ආරාධනා කරනු ලැබුවා. බුදුන් වහන්සේ අසුන් ගත් පසු අග්‍රශ්‍රාවක වහන්සේලා ඇතුළු භික්ෂුන් තම තමන්ට පැමිණි අසුන් වල වැඩ හුන්නා. සරද තාපස නානාවර්ණ පුෂ්පයන්ගෙන් සැදි මහත් වූ ඡත්‍රයක් ගෙන තථාගතයන් වහන්සේට සෙවන සලසමින් හිසට උඩින් අල්ලාගෙන සිටියා.

එකල්හි තථාගතයන් වහන්සේ ‘තාපසයන්ට මේ සත්කාරය මහත් ඵල වේවා’ යි නිරෝධ සමාපත්තියට සමවැදුනා. ශාස්තෲන් වහන්සේ සමාපත්තියට සමවත් බව දැන අග්‍රශ්‍රාවකයන් ඇතුළු සකල භික්ෂුහු ද සමවතට සමවැදුනා. සරද තාපසයන්ගේ ගෝලයෝ භික්ෂාචාර කාලය පැමිණි කල්හි වනමුල් ඵලයන් වළදා ඉතිරි කාලයේ තථාගතයන් වහන්සේට වැඳ ගෙන සිටිති. සරඳ තාපස ආහාර වැළදිම ද නො කොට කුඩය අල්ලාගත් වනම සතිය මුළුල්ලෙහි ප්‍රිති සුවයෙන් ම සිටියා.

තථාගතයන් වහන්සේ සතියකින් පසු නිරෝධ සමාපත්තියෙන් නැගිට තමන් වහන්සේගේ දකුණූ පස වැඩ හුන් අග්‍රශ්‍රාවක නිසභ තෙරුන් වහන්සේ අමතා තාපස වරුන්ට පුෂ්පාසනානුමෝදනව කරන්න’ය යි ආරාධනා කරනු ලැබුවා. නිසභ තෙරුන් වහන්සේ ශ්‍රාවක පාරමීඥානයෙහි සිට තාපසවරුන්ට දහම් දේශනා කරනු ලැබුවා. උන්වහන්සේගේ දේශනාවසනයෙහි ද්විතීය ශ්‍රාවක අනෝමා තෙරුන් වහන්සේට දහම් දේසිමට ආරාධනය කරනු ලැබුවා. උන්වහන්සේ ද ත්‍රිපිටක බුද්ධ ධර්මය මෙනෙහි කොට දහම් දෙසනු ලැබුවා. අගසව් දෙනමගේ දේශනයෙන් එක් තවුසේකුටද ධර්මාවබෝධය වුනේ නැහැ. ඉක්බිති තථාගතයන් වහන්සේ අපරිමාන බුද්ධ විෂයෙහි සිට දහම් දෙසිමය පටන් ගනු ලැබුවා. ඒ දේශනයෙන් සරඳ තාපසයන් හැර සිව්සැත්තෑදහසක් තවුසෝ සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියා.

ඉක්බිති තථාගතයන් වහන්සේ, ‘මහණෙනි, එව්’ යි කියා ශ්‍රී හස්තය දිගු කරනු ලැබුවා. එකෙනෙහි තවුසන්ගේ කෙස් රෑවුල් අතුරු දහන් වුනා. අෂ්ටපරිෂ්කාරය ශරිරයෙහි ඉබේම පිහිටිය. ඔවුන්ගේ ප්‍රධානියාවූ සරද තාපස තුමා ඉතිරි වුනා. එතුමාට ධර්මය අවබෝධ නොවුනා. ඊට හේතුවක් තිබුනා. සරද තාපසතුමා බුදුරදුන්ට දෙවන අසුනෙහි හිඳ ශ්‍රාවක පාරමී ඥානයේ පිහිටා දහම් දෙසු අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ ධර්මය අසන්නට ලද වේලාවෙහි පටන් ‘අහෝ මටද අනාගතයේ යම්කිසි බුදුකෙනෙකුන්ගේ සස්නක මේ ශ්‍රාවකයා විසින් ලබා ඇති තනතුර ලද හොත් මැනව’ යන සිතක් ඇති වුනා. ඔහුට ඒ කල්පනාව නිසාම තථාගතයන් වහන්සේ දේශණය කළ ධර්මය මැනවින් තේරුම් ගෙන මඟ ඵල ලබන්නට නො පිළිවන් වුනා.

තමාගේ ශිෂ්‍ය පිරිස රහත්ව බුදුසස්නෙහි පැවිද්ද ලබා ගත් පසු සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ ’ ස්වාමීනි, නුඹ වහන්සේට සමිප අසුනෙහි වැඩ සිට දහම් දෙසු භික්ෂුන් වහන්සේ නුඹ වහන්සේගේ සස්නෙහි කවරෙක් වෙත් දැ’ යි විමසා සිටියා. එකල්හි තථාගතයන් වහන්සේ ‘ශ්‍රාවක පාරමීඥානයෙහි කෙළ පැමිණ සිටින්නා වූ ප්‍රඥාවෙන් අගතැන්පත් වී සිටින්නා වූ මා විසින් පවත්වන ලද ධර්ම චක්‍රය නැවත පවත්වන්නාවූ ඒ භික්ෂු තෙමේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක නම් වන්නේ ය’ යි වදාරනු ලැබුවා. සරද තාපස තෙමේ ‘ස්වාමීනි, සතියක් මුළුල්ලෙහි නුඹ වහන්සේට පුෂ්ප ඡත්‍රයක් දැරිමෙන් කළ සත්කාරයෙන් මම ශක්‍රත්වයක් හෝ බ්‍රහ්මත්වයක් නො පතමි. ඒ පිනෙන් මමද අනාගතයෙහි මේ නිසභ ස්ථවිරයන් වහන්සේ මෙන් එක් බුදු කෙනෙකුන්ගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක වෙම්වා’ යි ප්‍රාර්ථනා කරනු ලැබුවා.

එකල්හි තථාගතයන් වහන්සේ ‘මොහුගේ ප්‍රාර්ථනය සිදුවන්නේ දැ’ යි අනාගතයට නුවණ යවා බලා සිදුවනු දැක සරද තාපස අමතා , ‘පින්වත, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ගෞතම නම් බුදු කෙනෙක් ලොව පහළ වන්නාහ. ඒ බුදුන්ගේ සස්නෙහි ඔබ ධර්ම සේනාපති ශාරිපුත්‍ර නම් අග්‍රශ්‍රාවකයා වන්නෙහිය’ යි වදාරනු ලැබුවා. එදා ඒ අනවමදර්ශී සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට සත්කාර කොට අගසව් තනතුර පැතු සරද තාපසයා ඒ බුදුරදුන්ගේ අරහං ගුණානුභාවය නිසා ප්‍රාර්ථනාව ද සිදුවිම් වශයෙන් අප බුදුපියාණන් වහන්සේගේ සසුනේ අග්‍රශ්‍රාවක බවට පත්වුනා.

Ape Budu Hamuduruwo 39

අපේ බුදුහාමුදුරුවෝ 39

 

යක්ෂ සේනාධිපතියෙක්ව සිට නියත විවරණලත් අප මහා බෝසතාණෝ

අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 02

ත්‍රිපිටකයේ බුද්ධවංසපාළියෙහි ඇති ගාථා අතරෙන් ගාථා දෙකක අනෝමදස්සී බුදුහාමුදුරුවන් ගැන සඳහන් බුදුගුණ මගේ සිත ගත්තා. මට හිතෙන්නේ ඒ බුදු ගුණ සෑම බුදුවරයෙකුටම සමානයි කියලා.

සොභිතස්ස අපරෙන, සම්බුද්ධො ද්විපදුත්තමො;
අනොමදස්සී අමිතයසො, තෙජස්සී දුරතික්කමො.

උන්වහන්සේ අනූපම දර්ශන ඇති අනූපම දර්ශන දත් අපමණ කීර්ති අපමණ පිරිවර ඇති සීල සමාධි ප්‍රඥා තෙදින් යුක්ත වූ දෙවියකු බ්‍රහ්මයකු හෝ මාරයකු හෝ වෙනත් කිසිවෙකුට මැඩලිය නොහැකි යන්නයි.

සාගරොව අසඞ්ඛොභො, පබ්බතොව දුරාසදො;
ආකාසොව අනන්තො සො, සාලරාජාව ඵුල්ලිතො.

උන්වහන්සේ සාගරය මෙන් නොකැළඹිය හැකි. අහස මෙන් කෙළවරක් නැති. මහාමේරු පර්‍වතය මෙන් ළංවිය නොහැකි, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ, අසූ අනූ ව්‍යඤජන ආදියෙන් මල් පිපුණු සල්ගසක් මෙන් බබලන යන්නයි.

ඒ භාග්‍යවතුන් වහන්සේ බෝමුල සත් සති ගෙවා මහ බඹහු විසින් ආරාධනය කල පසුව ප්‍රථම ධර්ම දේශනාව සඳහා බුදු ඇසින් බලන සේක් තමන් සමග පැවිදි වූ හේතු සම්පන්න සහිත තෙකෙලක් දෙනා දැක ඔවුන් දැන් කොහි වෙසෙත් දැයි බලන්නට වුණා. ඔවුන් ඒ වන විට සිටියේ සුභාවතී නුවර සුදසුන් උයනෙයි. උන්වහන්සේ ඒ මොහොතෙහි ම අහසට නැග සුදසුන් නුවරට වැඩම කළා. උන් වහන්සේ ඔවුන් පිරිවරා දෙව් මිනිසුන් සහිත පිරිසට දම් සක් පැවැත්වූවා. එහිදී කෙලෙ සියයකට පමණ පළමු ධර්මාවබෝධය වුණා.

පසු කාලයක ඕසබී නුවර දොර පියාගස මුල යමක ප්‍රාතිහාර්ය කොට දෙව්පුර ශක්‍ර භවනෙහි පඬුපුල් සලසුනෙහි හිද අභිධර්ම වර්ෂා වස්සවන්නට වුණා. එකල අසූකෙළක් දෙවියෝ ධර්මාවබෝධය කරනු ලැබුවා.

ඉන්පසු කාලික මංගල ප්‍රශ්න නිර්දේශයෙහි අට සැත්තෑ කෙළක් ධර්මාවබෝධය කළා

අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් වූවා.

සෝරෙය්‍ය නුවර ඉසිදත්ත රජුට දහම් දෙසන කළ පැහැද ඒහිභික්ෂු භාවයෙන් පැවිදි වූ අටලක්ෂයක් රහතුන් මැද පාමොක් දේශනා කළා. එය ප්‍රථම සන්නිපාත යයි.

රාධා වතී නුවර මධූරින්ධර රජුට දහම් දෙසද්දී ඒහිභික්ෂු භාවයෙන් පැවිදි වූ සත් ලක්ෂයක් රහතුන් මැද පාමොක් දේශනා කළා. මෙය දෙවන සත්නිපාතයයි.

නැවත සෝරෙය්‍ය නුවර ම සෝරෙය්‍ය රජු සමඟ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ හය ලක්ෂයක් රහතුන් මැද පාමොක් දේශනා කළා. මේ තෙවන සන්නිපාත යයි.

ඒ කාලෙ අප මහා බෝසතාණෝ එක් මහේශාක්‍ය යක්ෂ සේනාධිපතියෙක් ව වාසය කළා. මහත් සෘද්ධි ආනුභාව ඇති උන්වහන්සේ කෙල ලක්ෂ ගණනක් යකුන්ට අධිපති වුණා. ඒ මහා යක්ෂ සේනාධිපතියාට බුදු කෙනෙකු ලොව පහළ වූ බව දැන ගන්නට ලැබුණා. ඔහු බුදුන් වෙත පැමිණ භික්ෂු සංඝයා හට දානයට ආරාධනය කළ. ඔහු විසින් ඒ කෙල කෝටි ගණනක් වූ මහා සංඝ රත්නයට සත්තරුවන් මුවා සුන්දරතර සඳ මඬල වැනි මහා මණ්ඩපයක් සෘද්ධි බලයෙන් මවනු ලැබුවා. මැව්ව විතරක් නෙවෙයි ඒ මණ්ඩපය මත දින හතක් පුරා බුදු පාමොක් සඟනට දන් දුන්නා. අවසානයේ පුණ්‍යානුමෝදනා කරන මොහොතේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ඔහුට අනාගතයෙහි කල්ප ලක්ෂයක් අධික එක් අසංඛ්‍යයක් ගෙවීමෙන් ගෞතම නමින් බුදු වන්නේ යැයි ප්‍රකාශ කළා. ඒ මොහොතේත් ලොවෙහි යළි දෙතිස් පෙළහැර විද්‍යමාන වුණා. දෙවියන්ගේ සාධු නද දෙව් ලොවින් දෙව්ලොවට පැදි පැතිර ගියා. එහෙත් ඒ යක්ෂ සේනාධිපති ව සිටි අප මහ බෝසතාණන් වහන්සේ නොදැන සිටි තව කරුණක් තිබුණා. ඒ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනමද ඒ මොහොත වන විට වෙනත් ජනපදයක උපත ලබා සිටීමයි . ඒත් අනෝමදස්සි බුදුහාමුදුරුවන්ට එය රහසක් වුණේ නෑ . අවස්ථාවක් ලදොත් හෙටින් පසුව ඒ ගැන ලියන්නම්.

 

Ape Budu Hamuduruwo 38

අපේ බුදුහාමුදුරුවෝ 38

 

සත්රුවන් වරුසාවක් සමග මෙළොව පහළ වූ

අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 01

සෝභිත බුදු හාමුදුරුවො පිරිනිවන් පෑමෙන් පස්සේ එක් අසංඛ්‍යයක් ලෝකය බුදුවරුන්ගෙන් ශුන්‍ය වුණා. අසංඛ්‍යයක් ගෙවීමෙන් පස්සේ අනෝමදස්සී පදුම නාරද නමින් බුදුවරු තුන් නමක් ලෝකයේ පහළ වුණා.  බුදුවරු තුන් නමක් ලෝකයට ධර්මය දේශනා කරන කල්පයට කියනවා වර කල්පය කියලා. මේත් එවැනි ම වර කල්පයක්. උන් වහන්සේලා අතරින් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා තුසිත දෙව් ලොව බුද්ධත්වයට පෙර අවසාන උපත හැටියට උපත ලැබුවා. සොළොසාසංකෙය්‍ය එසේත් නැත් නම් අසංඛ්‍ය කල්ප ලක්ෂ දහසයක් පාරමි පුරන්නේ වීර්යය අධික බුදුවරු. අනෝමදස්සී බුදු හාමුදුරුවෝ වීර්යය අධික බුදු රජාණන් වහන්සේ නමක්. අපේ බුදු හාමුදුරුවෝ පාරමී පිරුවේ අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක්. ඒ උන්වහන්සේ  ප්‍රඥා අධික බුදුවරයෙක් නිසා. ශ්‍රද්ධාධික බුදුවරුන් පාරමී පුර්ණය කරන්නේ අසංඛ්‍ය කල්ප ලක්ෂ අටක්.

උන්වහන්සේත් අනෙකුත් බුදුරජාණන් බුදුරජාණන් වහන්සේලා වගේම පින් ඇති කාලයක් තුසිත දෙවු ලොව සැප විඳ දේවාරාධනය පිළිගෙන චන්ද්‍රවතී නම් රාජධානියේ  යසවා නම් රජ කුලෙහි උස් වූ සොඳුරු පියයුරු ඇති යසෝදරා නම් අගමෙහෙසියගේ කුස තුල පිලිසිද ගත්තා කියලා තමයි අටුවාවේ සඳහන් වන්නේ. අනෝමදස්සී කුමරු යසෝදරා දේවිය කුසෙහි පිලිසිද ගත් දා පටන් උන්වහන්සේගේ පුණ්‍ය ප්‍රභාවයෙන් අසූරියනක් දුර ට මව් කුස තුල සිට  ආලෝකය පැතිර ගිය. ඒ ආලෝකය කොතරම් ප්‍රභාස්වර ද කීවොතින් එය සඳට හිරු ට පවා මැඩලීමට නොහැකි වුණා. දස මසක් ඇවෑමෙන් ඕතොමෝ සුනන්ද උයනේදී බෝසතුන් හට මෙලොව උපත ලබා දුන්නා. උන් වහනවහන්සේ ලොව පහළ වෙන අවස්තාවේදී දෙතිස් මහා පෙළහර ට අමතරව තව විශේෂ සිදුවීමක් වුණා. ඒ සත් රුවන්  වරුසාවක් අහසින් ඇද හැලුනා.

සත් රුවන් යනු

රන්
රිදී
මුතු
මැණික්
ශඬිඛ
ශිලා
ප්‍රවාල යන රත්න වර්ගයි.

පෙර පරිදි ම බුදුවරයකු ලොව පහළ වන අවස්ථා වෙහි විද්‍යාමාන වන දෙතිස් මහා පෙළහර මීට පෙර දීපංකර බුදු රජාණන් වහන්සේගේ කථාවල සඳහන් කළා.

උන්වහන්සේට නම් තබන දිනයත් පැමිණුනා. උන්වහන්සේගේ උපතෙහි දී අහසින් සත්රුවන් වැටුණු හෙයින් අලාමක රුවන් ඉපදීමට හේතු වූ හෙයින් උන් වහන්සේට අනෝමදස්සී කියා නම තැබුවා. කෙමෙන් වැඩුණු උන් වහන්සේ දිව්‍යමය කම් සැපතින් උවැටැන් ලබන්නාක් මෙන් අවුරුදු දස දහසක් ගිහි ගෙයි වාසය කළා. උන්වහන්සේටත් සිරි, උපසිරි, සිරිවඩ්ඪ, කියා මාලිගාවල් තුනක් තිබුණා. සිරිමා බිසව ප්‍රමුඛව විසිතුන්දාහක්  ස්ත්‍රීන් උවටැන් කළ. සිරිමා දේවිය උපවාන නම් පුතු මෙලොවට බිහි කළ පසු සතර පෙර නිමිති දැක ගිහි ගෙය කලකිරී සිවුකා යානයෙන් (දෝලාවෙන්) මහ බිනික්මන්කොට පැවිදි වුනා. උන්වහන්සේ අනුව යමින් තුන් කෙලක් ජනයා පැවිදි වුණා. ඒ මහා පුරුෂයාණෝ ඔවුන්ව පිරිවරා දසමසක් දුෂ්කර ක්‍රියා කරනු ලැබුවා. ඉන්පසුව වෙසක් පුණුපොහෝ දිනක අනුපම බමුණුගම පිඬු සිඟා වැඩ අනුපම සිටු දේවිය දුන් මී කිරි බත් වළදා සල් සෙවණෙහි දහවල් කාලය ගත කොට අනෝම ආජීවක දුන් අට තණ මිටි ගෙන අර්ජුන (කුඹුක්) වෘක්ෂ  බෝධිය පැදකුණු කොට මට තිස්රියන් පුළුල්ව කුස තන අතුරා චතුරංග වීර්යය වඩනු සඳහා පලක් බැඳ බල සහිත මරු පරදවා තුන් යම්හි ත්‍රිවිද්‍යා උපදවා ලොව්තුරා බුද්ධත්වයට පත් වුණා.

Ape Budu Hamuduruwo 37

අපේ බුදුහාමුදුරුවෝ 37

 

මහපොළවෙන් අහසට එසවූ තම මාළිගාවද සිව් රඟ සේනාවද, හැත්තෑදහසක් වූ නළගනන්ද සමග අහසින් අභිනිෂ්ක්‍රමණය කල

සෝභිත බුදුහාමුදුරුවෝ 02

සෝභිත බුදුහාමුදුරුවෝ බුදුවෙලා මහා බ්‍රහ්මයාගේ ධර්මාරාධනයෙන් පසුව කාහට ප්‍රථමයෙන් ධර්ම දේශනා කරන්නේ ද කියලා බලන්නට වුණා. සිය සුළු මවගේ පුතු  බාල සොහොයුරු වන අසම කුමරු ද සුනේත්ත කුමරු ද ධර්මය අවබෝධ කරගන්නා ගැඹුරු නිපුණ ඥානයෙන් ද, හේතු සම්පත්තියෙන් ද පිරිපුන් කුමාරවරුන් බව දැන ඔවුනට පළමුව ධර්මය දේශනා කරන්නට තීරණය කළා. ඉන් අනතුරු ව අහසින් වැඩි උන් වහන්සේ සුධම්ම උයනේ හි බැස උයන් පල්ලා ලවා දෙකුමාරවරුන් කැඳවා සිටියා. ඒ කුමාරවරුන් පැමිණියේ මහා ජන ගංගාවක් සමඟයි. ඔවුන් පිරිවරා පැමිණි ඒ මහා ජනකාය  මාධ්‍යයේ ඒ මහා වීරයාණන් වහන්සේ ධර්මචක්‍ර ප්‍රවර්තනය කරනු ලැබුවා. උන්වහන්සේගේ ඒ පළමු ධර්ම දේශනයෙන් යම් ජනයෝ ධර්මය අවබෝධ කලාහු ද ඔවුන් ගණනින් මෙතෙකැයි කියා නිම කිරීමට හැකි නොවන බවයි අට්ඨ කථාවෙහි සඳහන් වන්නේ. එය උන් වහන්සේගේ ප්‍රථම ධර්ම ධර්මාභිසමය යි.

පසු කලෙක සුදුසුන් නුවර දොර චිත්‍ර පාඨලී රුක්මුල යමක ප්‍රාතිහාර්ය කොට නවරන්මිණි මුවා භවන වූ තව්තිසා භවනෙහි පරසතු රුක මුල පඬුපුල් සලසුනෙහි වැඩ හිඳ අභිධර්මය දේශනා කළා. ඒ දේශනාව කෙළවර අනූ කෙල දහසකට ධර්මය අවබෝධ වුණා. මේ දෙවන ධර්ම ධර්මාභිසමය යි

ඉන් මෑත භාගයේ දී සුදසුන් නුවර ජයසේන නම් රජ කුමරා යොදුනක් පමණ විහාරයක් කරවා අසෝක මල්, සපු, නා, දොඹ,  මූණමල්, අඹ, කොස්, පියා සාල කුඹුක්, මී, අඹ, කණේරු, ආදී නිරන්තරයෙන් සශ්‍රීක දිව්‍ය විමානයක් බඳු උයනක් රෝපණය කොට බුදුපාමොක් බික්සඟන ට පූජා කළා. බුදු රජාණන් වහන්සේ දානානුමෝදනා කොට ත්‍යාග වර්ණනා කොට දහම් දේශනා කළා. එකල කෙළ දහසක් සතර වර්ගයාට ධර්මාවබෝධ වුණා. මෙය තෙවන අභිසමය යයි කියනවා.
නැවත උග්ගත නම් රජ  සුනන්ද වතී නුවර සුනන්ද නම් විහාරය කරවා බුදු පාමොක් සඟනට පුදනු ලැබුවා . එම දානය දෙන අවස්ථාවෙහි දී ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලා කෙළ සියයක සන්නිපාතයක්. සෝභිත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මැද පාමොක් දේශනා කළා. මෙය ප්‍රථම සන්නිපාත යයි.

නැවතත් මේඛලා  නුවර ධම්මඝනාරාම නම් උතුම් ආරාම විහාරයක් කරවා බුදු පාමොක් සඟනට පුදා සියලු පිරිකර සහිත දානයක් දුන්නා. ඒ දින එම සමාගමෙහි ඒ ඒහි භික්ෂූ භාවයෙන් මහණ වූ  රහතන් වහන්සේලා හමුවේ සෝභිත බුදුරජාණන් වහන්සේ පාමොක් දේශනා කළා. මෙය දෙවන ශ්‍රාවක සන්නිපාතය යි.

භාග්‍යවතුන් වහන්සේ සක්‍ර පුරෙහි වස් වැස පවාරණය සඳහා යම් දිනෙක දෙව් ගණ පිරිවරා වැඩ සේක් ද එදා අසූ කෙළක් රහතුන් වහන්සේලා සමඟ සිව් වනක් පිරිස් රැස්වීමෙන් පවාරණය  කරනු ලැබුවා. මෙය උන් වහන්සේගේ තෙවන සන්නිපාතය යයි යැයි කියනවා.

ඒ කාලයේ අප මහා බෝසතාණෝ උතුම් සුජාත නම් බමුණෙක් ව සිට සෝභිත භාග්‍යවතුන් වහන්සේගේ බණ අසා සරණයෙහි පිහිටා ඒ කෙල ගණනක් වූ බුදු පාමොක් සඟනට මහ දන් පුදනු ලැබුවා . ඒ දින සෝභිත බුදුරජාණන් වහන්සේ මොහු මතු දින ගෞතම නමින් බුදු වන බව ප්‍රකාශ කරමින් නියත විවරණ ලබා දුන්නා. එය අසා අප මහා බෝසතාණෝ  බුදු රජාණන් වහන්සේලා නොවෙනස් වචන ඇත්තාහු යයි බුද්ධත්ව ප්‍රාප්තිය අර්ථකොට උදාන වාක්‍යය ප්‍රකාශ කරමින් උදම් අනනු ලැබුවා. නැවතත් ලොව දෙතිස් පෙළහර ඇතිවුනා. දෙවිවරු සාදු නද දුන්නා. එය දෙවු ලොවින් දෙවු ලොව පැතිර යමින් මේ නිමක් නැති විශ්වය සාදු කාරයෙන් ගිදුම් දුන්නා.

මහර්ෂීවූ සොභිත බුදුරදුන්ගේ උපන් නගරය ’’සුධම්ම’’ නම් වුනා.  පියතෙම ’’සුධම්ම’’ රජතුමා. වැදූ මව් ’’සුධම්මා’’ නම් වූවා.

ඒ සෝභිත බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි වාසයකලා. . කුමුදය, කලීරය, පදුමය යන උතුම් තුන් පහයක් ලැබුවා.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සැත්තෑසය දහසක්.  බිරින්ද ’’මඛිලා දේවිය’’ නම් වූවා. පුත් තෙම ’’සීහ’’ නම් වුනා.

පුරුෂොත්තමවූ ඒ බුදුරජතෙම සතර පෙර නිමිති දැක පහයෙන්ම  මහබිනික්මන් කළා. සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යයෙහි හැසිර (හෙවත් ප්‍රධාන වීර්‍ය්‍යය කොට), ’’නා’’ රුකක් මුලදී සිව්සස් අවබෝධ කරනු ලැබුවා. (බුදුවිය.)

මහාවීරවූ සොභිත නම් ලෝනාහිමි වෙත බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුධම්ම’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වුවා.

මහර්ෂීවූ සෝභිත මුනිඳුන්ට ’’අසම’’ ද, ’’සුනෙත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම, ’’අනොම’’ නම් වී. ’’නකුල’’ ද, ’’සුජාතා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වුන්නා.

’’රම්ම’’ ද, ’’සුනන්ත’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. ’’නකුලා’’ ද, ’’සුජාතා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ.

සොභිත නම් මහ මුනිඳු පණස් අට රියනක් උස්වුනා. උදාහිරු මෙන් සියලු දිගුන් එකල හොබවනු ලැබුවා.

මල් පිපුණු මහ වනය නොයෙක් සුවඳින් යම්සේ සුවඳ කරණ ලද්දේද, එමෙන් උන්වහන්සේගේ සද්‍ධර්මය සිල් සුවඳින් සුවඳ කරනු ලැබුවා.

යම් සේ සාගරය දැකීමෙන් සෑහීමකට නොපැමිණේද, එපරිද්දෙන්ම උන්වහන්සේගේ සද්‍ධර්මය ඇසීමෙන් සෑහීමකට නොපැමිනුණා.

ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂ.  ඒතාක් කල් වැඩසිටිමින් ඒ සෝභිත බුදුරජාණන් වහන්සේ  බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කරනු ලැබුවා.

ඒ සෝභිත බුදුරජහු සෙසු ජනයා කෙරෙහි අවවාදද, අනුශාසනාද දී, ගින්නක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

අසමවූ ඒ බුදුරජහුද සීලාදියෙන් බලයට පැමිණි ඒ ශ්‍රාවකයෝද, යන සියල්ල අතුරුදන් වීය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

සොභිත නම්වු උතුම් සම්බුදුරජතෙම සීහාරාමයේදී පිරිනිවන්පානු ලැබුවා. ඒ ඒ පෙදෙස්හි ධාතු පැතිරවීම ද සිදුවුනා.