Ape Budu Hamuduruwo 288

අපේ බුදුහාමුදුරුවෝ 288 (සන්තිකේ නිධානය)

 

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 08

දෙවෙනි ධර්ම දේශනාව

මීට පෙර විස්තර කල පරිදී බරණැස් නුවර අහසෙහි එකිනෙක මුණගැසී බුදුරජාණන් වහන්සේ ගැන ගුනකතනයක යෙදුනු සතගිරි සහ හේමවත යක්ෂ සේනාධිපතියන් සහ ඔවුන්ගේ පිරිවර වෙසක් පුරපසොලොස්වක දිනට පසුදින අහසින්ම ඉසිපතයට පැමිණියා. පැමිණ දම්සක් පැවැත්තු පළඟින් ම හුන් බුදුරජාණන් වහන්සේ කරා එළැඹුනා. ඉන්පසු හේමවත යක්තෙම භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙකව සිට ඉතාම ගැඹුරු ධර්ම සාකච්චාවකට පිවිසියා.

ප්‍රථම ධර්ම දේශනයට පසුදින පැවැත්වූ මෙම ධර්ම සාකච්චාව දෙස බලන ඔබට මෙවන් ගැඹුරු ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ වෙත යොමුකිරීමට තරම් යක්ෂයෙකුට ධර්මඥාණයක් ලැබුනේ කෙලෙසද යන්න සිතට නැගෙන්නට ඕනේ. එසේනම් මෙම ලිපි පෙලේ සාතාගිරි හේමවත යක්ෂයන්ගේ පුරාණ කථාවලියවුනු මුල් ලිපියේ සිට බලන්න. සංසාරයේ ඔවුන් පුරුදු කොට පැමිණි ත්‍රිපිටකධර වූ සැටි සැටි එහි විස්තර කොට තිබෙනවා. හේමවත මෙලෙස ඔහුගේ හඬ අවදි කළා.

“සත්‍යයන් බෙදා නිශ්චය කොට වදාරන, ආර්යය සත්‍ය විෂයයෙහි ඥානය පවත්වන, සිවු බිමැ සියලු දහමුන්ගේ පර තෙරට පැමිණි, මෝහ නිද්‍රායෙන් පිබිදුණු, වෛර හා භය ඉක්මැවූ ගෞතමයන් වහන්සේ විචාරම්හ.”

 “කුමක් නම් උපන් කල්හි ලෝකය උපන්නේ වේ ද? කුමක් කෙරෙහි සත්ත්ව තෙම තෘෂ්ණා දෘෂ්ටි සංස්තවය කෙරේ ද? කුමක් නිසා “ලොව” යැ යි ව්‍යවහාර වේ ද? කවර කරුණෙකින් ලොව පෙළේ ද?”

භාග්‍යවතුන් වහන්සේ : “ආධ්‍යාත්මික බාහිර ෂඩාතනයන් උපන් කල්හි ලෝකය උපන්නේ වේ. ඒ ද්විප්‍රකාර ආයතනයන් කෙරෙහි ම ලෝ වැසි තෙම තෘෂ්ණා දෘෂ්ටි සංස්තවය කෙරේ. ඒ දෙ වැදෑරුම් ෂඩායතන නිසා ම “ලෝක යැ”යි ව්‍යවහාරය වේ. ඒ ෂඩායතනයන් ඇති කල්හිම ලෝකය පෙළේ.”

හේමවත: යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ලෝකය පෙළේ නම් එ උපාදානිය ධර්ම කවරේ ද? ලෝකය කෙරෙන් නික්ම යන මාර්ගය කවරේ ද? උපාදානීය ධර්මයෙන් (දුකින්) කෙසේ සත්ත්ව තෙමේ මිදේ ද? මේවා මට පැහැදිලි කරන සේක් වා!

භාග්‍යවතුන් වහන්සේ: ලොව මනස සවන කොට ඇති පංච කාම ගුණාලම්බනයෝ ඇත. ඒ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ද්විවිධ වූ ෂඩායතන විෂයයෙහි තෘෂ්ණාව සර්ව ප්‍රකාරයෙන් දුරු කිරීමෙන් මෙසේ සත්ත්ව තෙම දුකින් මිදේ.

“මෙය ලෝකයෙන් නික්මෙන උපාය යි. දහස්වර විචාළත් මා විසින් අවිපරිත කොට කියන ලද මේ ලෝකනිර්යායණ මාර්ගය ම කියමි.

කවර හෙයින් ද? මෙයින් ම සත්ව තෙම දුකින් මිදේ, එහෙයිනි.”

මේ දේශනාව අවසන්හි දී යක් සෙනෙවියෝ දෙදෙන සහ දහසක් පමණ වූ තම පිරිවර සෝවාන් ඵලයෙහි පිහිටියා.

ඉන්පසු හේමවත යක්ෂයා ස්වභාවයෙන් ම දහමට ගරු කරන හෙයින් මෙතෙකින් අතෘප්ත ව තව තවත් සේඛාසේඛ ධර්මයන් පිළිබඳව විචාරන්නට වුනා.

“මෙහි කවරෙක් සතර ඕඝයෙන් එ ගොඩ වේ ද? කවරෙක් මෙහි සසර සයුරින් එ තෙරැ වේ ද? යැටින් පිහිටක් හෝ මත්තෙන් එල්බෙන තැනක් නැති ගැඹුරු සසර සයුරෙහි කවරෙක් නො ගිලේ දැ?”යි ඇසුයේ ය.

මෙය විසඳන භාග්‍යවතුන් වහන්සේ:

“සෑම කල්හි ශීල සම්පන්න වූ, ලොවි ලොවුතුරා ප්‍රඥා ඇති, උපචාර අර්පණා සමාධියෙනුත් යට මාර්ග ඵලයෙනුත් මොනොවට පිහිටි, නිජ ස්කන්ධ පංචකය තිලකුණට නගා විමසන සුලු, එලැඹ සිටි සිහි ඇති පුද්ගල තෙම සතර ඕඝයෙන් එතෙර වේ.

කාම සංඥායෙන් සර්ව ප්‍රකාරයෙන් දුරු වූ, සියලු සංයෝජනයන් ඉක්ම, තෘෂ්ණාව හා පුනර්භවය ක්ෂීණ කළ රහත් පුද්ගලයා සසර සයුරෙහි ච්‍යුති ප්‍රතිසන්ධි වශයෙන් නො ගැලේ.”

මේ කථායෙන් පසු හේමවත තෙම යහලු ශාතාගිරයා දෙස ද සෙසු යක් පිරිස දෙස ද බලා, ප්‍රීති සොම්නසින්:

“ගැඹුරු ප්‍රඥා ඇති, ප්‍රශ්නයන් ගේ අර්ථ දක්නා, රාගාදි පරිබෝධ නැති, වස්තුකාම ක්ලේශ කාම දෙක්හිත් ත්‍රිවිධ භවයෙහිත් නො ලැගුණු, ස්කන්ධාදි ප්‍රභේද ගත සියලු අරමුණෙහි ඡන්ද රාග වශයෙන් බැඳීමෙන් මිදුණු, දිව්‍ය විහාර පථයෙහි (හෝ පල සමවහි) නුවණින් බස්නා ඒ මහර්ෂීන් වහන්සේ බලවු. සර්වප්‍රකාරයෙන් සම්පූර්ණ (අලාමක) නම් ඇති නිපුණාර්ථදර්ශි වූ, ප්‍රඥා දායක වූ කාමාලයයෙහි නො ඇලුණු, සියල්ල දන්නා, ශෝභන වූ (පාරමිතා) ප්‍රඥා ඇති, ආර්යෂ්ඨාංගික මාර්ග පථයෙහි (හෝ පල සමවත්හි) නුවණින් බස්නා ඒ මහර්ෂීන් වහන්සේ බලවු. චතුරෝඝ තරණය කළ නිරාස්‍රව වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දැකගත් හෙයින් අද අප ගේ ශුභ දැක්මෙක් විය. අද පහන් වීම ශුභ ය. අද නින්දෙන් නැගී සිටියා ශුභ ය. තවද කර්ම විපාකජ සෘද්ධියෙන් සමන්විත වූ යශස් ඇති මේ සියලු දහසක් යක්කු ලොවුතුරා සරණ ගමණයෙන් ඔබ සරණ යෙති. ඒ අපි සම්බුද්ධ වූ, ඔබ වහන්සේට ද ඔබ වහන්සේ ගේ ධර්මයේ සුධර්මත්වයට ද නමස්කාර කරමින් දෙව් ගමින් දෙව් ගමට ද දිව්‍ය පර්වතයෙන් දිව්‍ය පර්වතය ට ද යන්නමු.”

මෙසේ හේමවත තෙම භාග්‍යවතුන් වහන්සේට ස්තූති කොට වැඳ ප්‍රදක්ෂිණා කොට සිය මිතුරා සහිත යක්සෙන් කැටුව ස්වකීය භවනයට ම යන්නට ගියා. ඔවුන් අදටත් සාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනිසිටිනවා ඇති.

උපකාරක ග්‍රන්ථ

සුත්‍ර පිටකය » ඛුද්දකනිකාය » සුත්තනිපාතය » උරගවග්ගය » හෙමවත සූත්‍රය

සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ

Ape Budu Hamuduruwo 287

අපේ බුදුහාමුදුරුවෝ 287 (සන්තිකේ නිධානය)

 

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 07

යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව

සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 04

පසුගිය පුරා මසකට වැඩිකාලයක් පුරාවට සංවිධානය කරනු ලැබූ බුදුගුණ සත්‍යක්‍රියාව නිසාඅපේ බුදුහාමුදුරුවෝ ලිපිපෙළ ඇන හිටීම සිදුවුනා. එම නිසා මෙතෙක් ලියමින් පැමිණි අනුපිලිවලට යම් බාධාවක් සිදුවුනා සේම යලි ලිවීමට කරුණු රැස්කිරීමට පින්තුර සෙවීම වැනි කරුණු කාරනා සඳහාද සෑහෙන වීර්යයක් දැරීමට සිදුවෙනවා. අවසාන ලිපියෙන් පසු ඊළඟ ලිපිය හා සම්බන්ධ කිරීමට සිතා සිටි කරුණු දැන් හරියටම මතකයේ නැතත් අද මෙලෙස ආරම්භයක් ගැනීමට සිත ගත්තා.

පසුගිය ලිපියෙන් …

ශාස්තෘන්වහන්සේ මධ්‍යම යාමයෙහි සිංහශය්‍යාවෙන් සැතපී උදෑසන නැගිට හිඳ “මෙපමණ වේච්චාවකින් සොනගේ කයෙහි වෙහෙස නිමියේ වන්නේන්යයි දැන” ආයුෂ්මත් සෝණ තෙරුන්ට ‘හික්ෂුව ඔබට දහම් දෙසීමට වැටහේවා’ යි වදාරනු ලැබුවා. සෝණ තෙරණුවෝ ද ඒ අවසරය ලද සැණින් මිහිරි සරින් එක් ව්‍යංජනයකුදු නොනසමින් අෂ්ටක වර්ගයන් දේශනා කරනු ලැබුවා. දේශනාව අවසානයෙහි භාග්‍යවතුන්වහන්සේ සාධුකාර දුන්නා. සාධුකාර දී මහණ, “ඔබ විසින් ධර්මය මනාව ගන්නා ලදි. මා දෙසන වේලාවෙහිද අදද එක් සමානවම දෙසුම කිසි අඩුවක් හෝ වැඩියක් නැතැයි පැහැදුණු බව පවසා සිටියා. සෝණ තෙරණුවෝද මේ සුදුසු වෙලාව යැයි සළකා උපාධ්‍යායයන්ගේ වචනයෙන්ම විනයදරයන් පස්දෙනෙකුම පරම කොට ඇති සංඝයා විසින් දෙන උපසම්පදාව ආදී කොට ඇති සියලු වරයන් ඉල්ලා සිටියා. සාස්තෘන් වහන්සේද ඒ වර ඔහුට ලබා දුන්නා. ඊට පසුව වූ දේ ඊළඟ ලිපියෙන් කියන්නම්.

බුදුරජාණන් වහන්සේ වෙතින් සමුගැනීම

ඉන්පස්සේ පැමිණියේ බුදුරජාණන් වහන්සේගෙන් සමුගන්න අවස්ථාවයි. සසරෙහි පිරු පාරමී ධර්ම නිසාම ඔහුට ලැබුනේ විරල අවස්ථාවක්. ඉන්පස්සේ සෝණ තෙරණුවෝ මවුඋවැසියගේ වචනයෙන් බුදුන් වැඳ ‘ස්වාමීනි, අපේ මව විසින් ඔඹවහන්සේ වසන ගඳකිළියෙහි බිම ඇතිරීම සඳහා මෙම කම්බිලිය එවනලදැයි කම්බිලියදී අසුනින් නැගිට ශාස්තෘන්වහන්සේ නමැඳ පැදකුණුකොට පිටත්වුනේ අසූ මහා ශ්‍රාවකයෙක් වශයෙන්. .

මෙසේ සෝණ තෙරුන්වහන්සේ ශාස්තෘන් වහන්සේ සමීපයෙන් වරඅටක් ලබාගෙන ප්‍රථමයෙන්ම ගියේ තම උපාධ්‍යායයන් වහන්සේ වන මහා කච්චායන මහරහතන් වහන්සේ මුණ ගැසෙන්නට උන්වහන්සේ සමීපයට ගොස් සිදු වූ සියලු පුවත් සැළකොට සිටියා. දෙවන දිනයෙහි මවුඋවැසිගේ ගෙදොරට (කාලි මාතාව) ගොස් පිඬුපිණිස වැඩසිටිය. එතුමිය, ‘මගේ පුතා දොරටුවෙහි සිටියේයි අසා වේගයෙන් අවුත් නමැඳ අතින් පාත්‍රය ගෙන ඇතුළු නිවස්නෙහි හිඳුවා දානය පුජා කරනු ලැබුවා. ඉන්පසු දානය වළදා අවසානය වනතෙක් බලා සිටියා. ඉන්පසු තම පුතුණුවන් වන සෝණ තෙරුණුවන් හා සමග මෙලෙස දෙබසකට පිවිසියා.

‘දරුව ඔබ භාග්‍යවතුන්වහන්සේ දක්නාලද සේක්ද? ‘එසේ, උපාසිකාවනි’,

‘ඔබ විසින් මගේ වචනයෙන් වඳනා ලද සේක්ද? ‘එසේය, වඳනාලද සේක. මා විසින් ඒ කම්බිලියද තතාගතයන්වහන්සේ වසන තැන බුමුතුරුණක්කොට ඇතුරන ලදී.’

‘දරුව, ඔබ විසින් ශාස්තෘන්වහන්සේට ධර්‍මකථාව කියනලද්දේද? ශාස්තෘන්වහන්සේ විසින්ද ඔබට සාදුකාර දෙනලද්දේද?’ ‘උසිකාවනි, ඔබ විසින් එය කෙසේ දැනගන්නාලද්දේද?’ ‘දරුව මගේ ගෙහිඅධිගෘහීත දෙවියා දශබලයන්වහන්සේ විසින් ඔබට සාධුකාර දුන් දිනයෙහි ‘සියලු දසදහසක් සක්වළ දෙවියෝ සාධුකාර දුන්හ’යි කීවේය, දරුව ඔබ විසින් කියනලද ධර්‍මකථාව බුදුන්වහන්සේට කියනලද අයුරින්ම මටද කීම කැමැති වන්නෙමි’.

තෙරණුවෝ මවගේ කථාව පිළිගත්තා. ඕ ඔහුගේ පිළිගැනීම දැන දොරටුවෙහි මණ්ඩපයක් කරවා දශබලයන් වහන්සේට දෙසූ අයුරින්ම තමන්ට ධර්‍මකථාව කියවා ගත්තා. යනුවෙන් මෙම කථාවස්තුවෙහි සඳහන්. මෙලෙස ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ආර්‍ය්‍යගණ මධ්‍යයෙහි වැඩසිටිසේක් සෝණ තෙරුන්වහන්සේ මිහිරිවදන් ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූසේක.

උපකාරක ග්‍රන්ථ

අඞ්ගුත්තරනිකාය අට්ඨකතා- සොන කුටිකණ්ණ තෙරණුවෝ

Ape Budu Hamuduruwo 286

අපේ බුදුහාමුදුරුවෝ 286 (සන්තිකේ නිධානය)

 

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 06

යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව

සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 03

පියුමුතුරා බුදුන්වහන්සේන්ගේ කාලයෙහි සොණ තෙරුන් වහන්සේද ඉපිද අන් අය සමගින් බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් බණ ඇහුවා. ඒ අවස්ථාවේ විහාරයට පැමිණ දහම් අසමින් සිටි එක් භික්ෂුවක මිහිරි වදන් ඇත්තවුන් අතුරෙන් අගතනතුරෙහි තබන බුදුන්වහන්සේ දැක මාද අනාගතයෙහි යම් බුදු කෙනකුන්ගේ සසුනෙහි කලණවදන් ඇත්තවුන් අතුරෙන් අග්‍රවීමට වටීයයි එක්වරම සිතට බලවත් ආශාවක් පැමිණියා. එය සිතේ තබාගෙන ඔහු දශබලයන්වහන්සේ ට තම නිවසට සත් දිනක් දන් සඳහා වඩින මෙන් ආරාධනය කරනු ලැබුවා. ආරාධනය කොට දින සතක් දක්වා උවැටන් කොට “ස්වාමීනි, නුඹවහන්සේ විසින් යමිහික්ෂුවක මෙයින් දින සතකට පෙර කලනවදන් ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූ සේක්ද, මමද මේ පුණ්‍යකර්මයාගේ විපාකයෙන් අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි එවැන්නෙක් වෙම්වායි ප්‍රාර්ථනා කරනවා යනුවෙන් පවසමින් ආශීර්වාදය බලාපොරොත්තුවෙන් ශ්‍රී පතුල් වන්දනා කරමින් සිටියා. ශාස්තෘන්වහන්සේ එයට අනතුරක් නොමැති බව දැන අනාගතයෙහි ගෞතම බුදුන්ගේ සසුනෙහි කලණවදන් ඇත්තවුනට අග්‍ර වන්නෙහිය’යි විවරණදී නැවත වදිනු ලැබුවා. ඔහු දිවි ඇති තෙක් කුසල කම් කොට කල්ප ලක්‍ෂයක් දෙවියන්ද මිනිසුන්ද අතුරෙහි සැරිසරන්නේ අපගේ බුදුන්වහන්සේගේ පහළවීමෙන් පසු දෙලොවින් බැස කාලි නම් ඇති උපාසිකාවකගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ඇය සෝවාන් වූ දිනදීමයි. ඉන්පසු වැඩිවියට පත්වීමෙන් පසු මිට ඉහත ලිපියේ කියූ අයුරින්ම මහා කච්චායන තෙරුන් හමුවේ පැවිදිව උපසම්පදාවද ලබාගත්තා. උපසම්පදාව ලබා වැඩිකල් නොගොස්ම විදසුන් වඩා වැඩිකල් නොගොස්ම අරහත්වයට ද පත්වුණා.

තවදුරටත් තෙරුන් සමීපයෙහි වෙසෙමින් ත්‍රිපිටකය අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ඉන්පසු සම්පුර්ණ වශයෙන්ම සුත්තනිපාතය ඉගෙන ගෙන වස්කාලයද ගත කරන්නට වුණා . ක්‍රම ක්‍රමයෙන් උන්වහන්සේටත් නොදැන උන්වහන්සේගේ අධිෂ්ඨානය පල දරනා කාලය ලඟා වන්නට වුනා. ඒ කාලයේම මෙතෙක් නුදුටු බුදුන්වහන්සේව දකින්නට මහත් වූ අශාවක්ද සිත තුල ලියලන්නට වුනා. වස් පවරා ශාස්තෘන්වහන්සේ දකිනු කැමතිව උපාධ්‍යායයන් වහන්සේන්ගෙන් බුදුන් වහන්සේ දකින්නට යාමට අවසර ඉල්ලා සිටයා. ඒ එක්කම හරිම පුදුම දෙයක් සිදු වුනා. සොන රහතන් වහන්සේට මහා කච්චායන මහා රහතන් වහන්සේ විසින් අනාවැකියක් පල කොට සිටියා. එය මෙලෙසින් සඳහන්ව තියෙනවා.

මහා කච්චායන තෙරුන්වහන්සේ, සෝණ, ඔබ ගිය කල්හි ශාස්තෘන්වහන්සේ නුඹව එකම ගඳකිළියෙහි වස්වා ධර්මය දෙසීමට ඉල්ලා සිටින සේක. නුඹ ධර්මය දෙසන්නෙහි. ශාස්තෘන්වහන්සේ නුඹගේ ධර්මකථාවෙන් පැහැදී නුඹට වර දෙන සේක. නුඹ වර ගන්නේ මේ මේ වර ද ගනුව. මගේ වචනයෙන් දශබලයන්වහන්සේගේ පාවඳුව’යි යැයි ද ඉල්ලා සිටියා.

බලන්න රහතන් වහන්සේ කෙනෙකුගේ වැඩ පිළිවෙල. උන් වහන්සේ ඒ අවසරය ලත් සැණින් ප්‍රථමයෙන්ම කලේ තම මෑණියන් වහන්සේව හමුවීමට යාමයි. ගොස් බුදුන් වහන්සේ බැහැදැකීමට යන බවත් ඒ සඳහා අවසර ලැබුණු බවත් ඇයට දන්වා සිටියා. ඇයද “යහපතී දරුව, නුඹ තථාගතයන් වහන්සේ දැකීමට යන්නේ නම් මේ කම්බිලිය ගෙන ගොස් ශාස්තෘන්වහන්සේ වෙසෙන ගඳකිළියෙහි බුමුතුරුණක් කෙට අතුරුවයි” යැයි මහත් කම්බිලියක් දුන්නා. සෝණ තෙරුන්වහන්සේ එය රැගෙන සෙනසුන හැර අනුක්‍රමයෙන් ශාස්තෘන් වසන තැනට පැමිණ ශාස්තෘන්වහන්සේ බුද්ධාසනයෙහි හුන් වේලාවේදීම එළඹ වැඳ එකත් පසෙක සිටිය. ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ සමඟ ටික වෙලාවක් පිළිසඳරෙහි ගතකොට අනඳ තෙරුන්වහන්සේ ඇමතුවා. “ආනන්දය, මේ භික්ෂුවට සෙනසුනක් දනුව’. තෙරුන්වහන්සේ ශාස්තෘන්වහන්සේගේ අභිප්‍රාය දැන ඇතුළු ගඳකිළියෙහිම ගෙනෙනු ලැබූ බුමුතුරුණ ය අතුරනු ලැබුවා. උන්වහන්සේ හට එහි රැදෙන්න අවසර දුන්නා.ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ රාත්‍රිය බොහෝ කලක් එළිමහනෙහි කල් යවා වෙහෙරට පිවිසියා. ආයුෂ්මත් සෝණ තෙරුණුවෝද රාත්‍රියෙහි බොහෝ කලක් එළිමහනෙහි ගතකොට උන්වහන්සේ සමගින්ම විහාරයට පිවිසිය. ශාස්තෘන්වහන්සේ මධ්‍යම යාමයෙහි සිංහශය්‍යාවෙන් සැතපී උදෑසන නැගිට හිඳ “මෙපමණ වේච්චාවකින් සොනගේ කයෙහි වෙහෙස නිමියේ වන්නේන්යයි දැන” ආයුෂ්මත් සෝණ තෙරුන්ට ‘හික්ෂුව ඔබට දහම් දෙසීමට වැටහේවා’ යි වදාරනු ලැබුවා. සෝණ තෙරණුවෝ ද ඒ අවසරය ලද සැණින් මිහිරි සරින් එක් ව්‍යංජනයකුදු නොනසමින් අෂ්ටක වර්ගයන් දේශනා කරනු ලැබුවා. දේශනාව අවසානයෙහි භාග්‍යවතුන්වහන්සේ සාධුකාර දුන්නා. සාධුකාර දී මහණ, “ඔබ විසින් ධර්මය මනාව ගන්නා ලදි. මා දෙසන වේලාවෙහිද අදද එක් සමානවම දෙසුම කිසි අඩුවක් හෝ වැඩියක් නැතැයි පැහැදුණු බව පවසා සිටියා. සෝණ තෙරණුවෝද මේ සුදුසු වෙලාව යැයි සළකා උපාධ්‍යායයන්ගේ වචනයෙන්ම විනයදරයන් පස්දෙනෙකුම පරම කොට ඇති සංඝයා විසින් දෙන උපසම්පදාව ආදී කොට ඇති සියලු වරයන් ඉල්ලා සිටියා. සාස්තෘන් වහන්සේද ඒ වර ඔහුට ලබා දුන්නා. 

​උපකාරක ග්‍රන්ථ

අඞ්ගුත්තරනිකාය අට්ඨකතා- සොන කුටිකණ්ණ තෙරණුවෝ

Ape Budu Hamuduruwo 285

අපේ බුදුහාමුදුරුවෝ 285 (සන්තිකේ නිධානය)

 

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 05

යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව

සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 02

ඒ දින රජගහ නුවර විශේෂ උත්සව පැවැත්වූ කාලයට අයත් දිනයක් කියා මිට පෙර ලීවා. දම්සක් පැවතුම් සූත්‍රය පැවසීම නිසා හටගත් දෙතිස් පෙළහර ඒ උත්සවය දෙගුණ තෙගුණ කරන්නටත් ඇති. දසත අකලට පිපි මල්වරග වගේම හිමවතෙහි පිපි අනේක විදි පුෂ්පයන්ගේ සුවඳින් හමා පැමිණි මදනල මුළු නුවරම සුවඳවත් කරන්නට ඇති. සෑම ගෙයකම පවත්වන උත්සව ප්‍රීති සම්භාෂණ වලට සාපේක්ෂව කාලි කුමරියගේ මාලිගාවෙහිත් උත්සව පවත්වන්නට ඇති. ඒ සුන්දර රාත්‍රී යෙහිම කාලි නම් කුල ස්ත්‍රිය සෝවාන් බවට පත්වූවා සේම ගැබ් ගනු ලැබීමත් ආශ්චර්යමත් සිදුවීමක් ලෙසයි මා දකින්නේ. ඇය ඉන්පසු තව දුරටත් එම මාලිගාවෙහි කල් යැවුවේ නැහැ. දරු ප්‍රසූතිය සඳහා තම දෙමාපියන් විසූ කුරරසර නියම් ගමට පැමිණියා. ඇයගේ ස්වාමි පුරුෂයා සම්බන්ධව විශේෂ සටහනක් මෙම දේශණාව තුල මා දුටුවේ නැහැ. කෙසේ හෝ නියමිත කලට ඇය තම පින්වත් දරුවා ප්‍රසූත කරනු ලැබුවා වගේම ඔහු විරළ වූ බුදුසසුනක පහල වන අසුමහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු බව දැන නොසිටියා.

මෙම බිලිඳා පසුකලෙක අපේ සාසනයේ සුවිශේෂ චරිතයක් බවට පත්වීමට පැමිණි කෙනෙක්. ඒ තමයි අසූ මහා ශ්‍රාවකයන් අතර මිහිරි වදන් ඇත්තන් අතරින් අග්‍රස්ථානය පතා පැමිණි උත්තම පුරුෂයා වගේම දශබලයන්වහන්සේ සමඟ එක් ගඳකිළියෙහි රාත්‍රියක් ගතකොට උන්වහන්සේගේ පාමුල මදුරශ්‍රවයෙන් දර්මය දේශණාකිරීමට දුර්ලභ අවස්ථාව හිමිවුන වාසනාවන්ත දරුවෙක්. මෙම පින්වත් දරුවාට නම් තබන දිනයෙහි සෝණයයි නම් කරනු ලැබුවා. පසුව ඔහුට කුටිකණ්ණ නම් වූ ආරූඩ නාමයක්ද එකතු වුණා. ඒ ඔහු නිරන්තරයෙන්ම කෝටියක් වටිනා කන් පළඳනාවක් පැළදි නිසා. .

ඒ කාලයේම මහාකච්චාන තෙරුන්වහන්සේ ඒ නුවර ඇසුරෙහි පැවැති පර්වතයක වාසය කළා. කාලි මාතාව ඉතාම ගෞරවයෙන් උන්වහන්සේට උපස්ථාන කරන්නට වුනා. තෙරුන්වහන්සේ නිබඳව ඇයගේ නිවසට වඩිනු ලැබුවා. ඒ නිසාම සෝණ දරුවාද කුඩා කල සිටම නිබඳවම මහාකච්චාන තෙරුන් සමීපයෙහි හැසිරෙමින් විශ්වාෂ කටයුතු පුද්ගලයෙකු බවට පත්වුනා පමණක් නොවෙයි ධර්මයද අසා දැනගත්තා. ඔහු පසු කලෙක තෙරුන් සමීපයෙහි ම පැවිදි දිවියට ඇතුළු වුනා.

මහාකච්චාන තෙරුන්වහන්සේ ඔහු උපසම්පදා කරනු කැමැත්තෙන් ඔහු පිළිබඳව වර්ෂ ගණනාවක් සොයා බැලුවා. ඉන්පසුව තෙරුන්වහන්සේ වෙතින් උපසම්පදාව ලබාගත් උන්වහන්සේ කමටහන් කියවා විදසුන් වඩා රහත් බවට පැමිණයා. එමෙන්ම තෙරුන් සමීපයෙහි සුත්තනිපාතය සම්පුර්ණ වශයෙන්ම ඉගෙන වචනයක් නෑර කටපාඩම් කර ගත්තා. මෙසේ බොහෝ තැන් කෙල පැමිණි උන්වහන්සේට උපතින්ම ගෙනා පුණ්‍ය ශක්තියකුත් පාරමිතා පුර්ණයකුත් තිබ්බා. ඒ “මිහිරි වදන් ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය” ට පත්වීමට. ඒ බව මහාකච්චාන තෙරුන්වහන්සේ හොදින්ම දැන හිටියා. එහෙත් අවසාන මොහොත වනතෙක් කිවේ නැහැ. ඔබ මේ අවස්ථාවේ ඒ නිධාන කථාවදැනගත යුතුයි කියා සිතනවා. ඒ නිසා ඊළඟ ලිපියෙන් කෙටියෙන් ඒ පාරමිතාව පිළිබඳව පවසන්නම්.

​උපකාරක ග්‍රන්ථ

අඞ්ගුත්තරනිකාය අට්ඨකතා – සොන කුටිකණ්ණ තෙරණුවෝ

Ape Budu Hamuduruwo 284

අපේ බුදුහාමුදුරුවෝ 284 (සන්තිකේ නිධානය)

 

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 04

යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව

සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව.

මීට ඉහත කි පරිදී රජගහ නුවර ඉහල අහසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනාව සාතාගිරි යක්ෂ සේනාධිපතියා විසින් හේමවත යක්ෂ සේනාධිපතියාට පවසන්නට වුනේ සිත පිනා ගිය අසීමිත ශ්‍රද්ධාවෙන්. ඒ දින කිහිපයේ රජගහ පුරයේ ඇසළ නැකත් උළෙල පවත්වමින් පැවතියා. මිනිස්සු මුළු නුවරම උත්කර්ෂවත් අන්දමින් සරසා නැකත් කෙළි සුව විඳිමින් සිටියා. මෙම දෙබස යන අතර තුර කාලි නම් කුල ස්ත්‍රියක් ක්‍රීඩා සුව විඳිමින් සිටින අතරතුර සිය පහයෙහි සී මැදුරු කවුළුව විවෘත කොට සුළං වදිනා තැනෙකට වී හුදෙකලාව ගිමන් නිවන්නට වුනා. යක්ෂයන්ගේ දෙබස ඇතිවුනේ ඇය සිටි ප්‍රසාදය අසල අහසෙහි. දෙබසක් යන හඬ ඇයට ඇසුනත් රූපයක් දර්ශණය නොවුණ නිසා මෙය අමනුෂ්‍ය කට හඬක් බවට ඉවෙන් මෙන් හැඟී ගියා. එහෙත් ඇය බිය වුනේ නැහැ. සිතට දිරිය ගෙන ඒ දෙබස ශ්‍රවණය කරමින් ඇයත් ශාතාගිර සහ හේමවත දෙදෙනා ගේ කථාව මුළුමනින් ම අසා සිටියා. ඉන්පසු “බුදුවරයෝ මෙබඳු විශිෂ්ට ගුණ ඇත්තෝ යැ” යි බුද්ධාලම්බන ප්‍රීති උපදවා සෝවාන් පලයෙහි පිහිටියා. ඒ නිසා ඇය බුදුන් නොදැකම ආරංචියෙන් බුදු ගුණ අසා පැහැදී සෝවාන් ඵලයට පැමිණි පළමු වන සෝවාන් උපාසිකාවද වුනා පමණක් නෙවෙයි ගිහියන් අතරෙහි පළමුව මාර්ගඵල ලාභී උතමාවියද වුණා. එලෙසම සාතාගිරි යක්ෂයාගේ ධර්මදේශනානුසාරයෙන් හේමවත යක්ෂයාද සෝවාන් ඵලයේ පිහිටියා. හිතන්න එක දේශණාවකින් දෙදෙනෙකු මරගඵල ලාභින් කරවන්නට තරම් සාතාගිරි යක්ෂ සේනාධිපතියාගේ දේශණාව කොතරම් මනරම් දේශණයක් වෙන්නට ඇතිද?

ඉන්පස්සේ ලියන්න තියෙන්නේ සෝවාන් වූ දිනයෙහිම ඇයගේ කුසයෙහි පිළිසිදගත සෝණ මහ රහතන් වහන්සේගේ නිධාන කතාවයි.

උපකාරක ග්‍රන්ථ

අඞ්ගුත්තරනිකාය අට්ඨකතා

Ape Budu Hamuduruwo 283

අපේ බුදුහාමුදුරුවෝ 283 (සන්තිකේ නිධානය)

 

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 03

මලෙස සාතාගිරි ඇතුළු පිරිස බුදුන් වෙති ඉවත්වුනේ තම හේමවත මිතුරාවත් රැගෙන ධර්මශ්‍රවණය සඳහා පැමිනිමටයි. දෙතිස් පෙරනිමිති බෝසත් කුමරු ඉපදීමේදී, අභිනිශ්ක්‍රමනයේදී සහ බුදුවිමේදී බොහෝ වේලාවක් නොපැවතුනත්, දම්සක් පවත්වනවිටදී ඊට වෙනස්ව ඒ පෙරනිමිති බොහෝ වෙලාවක් පැවතියා. මුළු හිමාලයම නානාප්‍රකාර පුෂ්පයන්ගෙන් වැසිගියා. හිමාලයෙහි ඒ පුදුම අසිරිය දුටු හේමවත යක්ෂ සේනාධිපතියා මෙලෙස සිතන්නට වුනා. ‘මා උපන් කල සිටම කිසිම දිනක මෙබඳු අසිරිමත් සිත්කළු දෑ නොවූවිරූය, මාගේ යහළුවාද සමග අවුත් මේ මල් අසිරිය විඳගනෙමි’ යි හිමාලයෙහි මැද ඔහු වසන පෙදෙසට ඒමට පිටත් වුණා . එහෙත් දෙදෙනාම රජගහනුවර ඉහළ අහසෙහිදී හුමුවුනේ අහඹු ලෙස. එකිනෙකා එකිනෙකාව මුණගැසීම සඳහා පැමිණි බව දැනගත් ඔවුන් “ඒ සඳහා හේතු විමසා සිටියේ මහත් කුතුහලයෙන්.හේමවත මෙලෙස කතාවට මුලපිරුවා.

‘සිරිමතාණනි, මා ඉපදුණු කල පටන්ම, මේ පර්වතයෙහි අකාලයෙහි මල් පිපුණු ගස්වලින් මෙලෙස හැඩ වූ පෙළහරක් නොවූ විරූය. එහෙයින් මේ මල් අසිරිය ඔබ සමග විඳගැනීමට සිතා පැමිණියෙමි”යි හේමවත පවසා සිටියා. එහෙත් එයට හේතු මේවනවිටත් දැනසිටි සාතාගිරි සිරිමතාණනි, මේ අකාලයේ මල් පිපුණු පුදුම පෙළහර සිදුවූයේ කිනම් කරුණක් නිසාදැයි දන්නෙහිදැ’යි ඔබ දන්නහෙද? ‘නොදනිමි, සිරිමතාණනි, මේ පෙළහර සිදුවූයේ හිමාලයෙහි පමණක් නොවේ. දසදහසක් ලෝධාතුවෙහිම පහළවුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව උපන්නා. අද දම්සක් පැවැත්වූවා,ඒ තමයි හේතුව, සාතාගිර හේන්මවතට බුදු උපත ගැන කියා, ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන යනු කැමතිව,

තව තවත් විස්තර කියන්නට වුණා . හේමවත යක්ෂ සේනාධිපතියත් තව තවත් ප්‍රශ්න අසන්න වුනා. එය සාසනයේ ප්‍රථම සෝවාන් ඵලලාභී උපාසිකාව බුදුන් නොදැකම බුදුගුණ අසා ඇති කිරීමට තරම්ම බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවන ගාම්භීර සාකච්චාවක් වුණා . ඇය ගැන ඊළඟ ලිපියේ පලවනවා.

ඔවුනොවුන් අතර ඇති වූ දෙබස සුත්‍ර දේශණාව තුලින් ගලපා ගැනීමට තිබෙන මහන්සිය මග හරවා ගැනීමට බලංගොඩ ආනන්ද මෛත්‍රී ලොකු හාමුදුරුවන්ගේ බුද්ධ චරිතය පොතෙන් මෙලෙස උපුටා ගත්තා.

හේමවත : කිමෙක් ද? එ තොප ශාස්තෘහුගේ සිත මනා ව පිහිටියේ ද? හෙතෙම සියලු සතුන් කෙරේ සම සිත්

ඇත්තේ ද? කිමෙක් ද, ඉටු අනිටු අරමුණෙහි රාග ද්වේෂ වශයෙන් පහළ වන සංකල්ප එතුමා විසින් වශඟ කරන ලද ද?

ශාතාගිර: “එ තාදීහු ගේ සිත මනා වැ අචල වැ සියල්ල කෙරේ සම වැ පිහිටියේ ය. ඉටු අනිටු අරමුණු විෂයයෙහි

සංකල්පයෝ උන් වහන්සේ විසින් වශඟ කරන ලදහ.”

හේමවත : “කිමෙක් ද හෝ අන්සතු දෑ සොර සිතින් නො ගනී ද? පණිවායෙන් දුරු වූයේ ද? අබ්රම්සරින් දුරු වී ද?

ධ්‍යානය හිස් නොකෙරේ ද (නො හරී ද?)

ශාතාගිර: “බුදු රජාණන් වහන්සේ අන් සතු නො දුන් දෑ නො ගන්නා සේක. පණිවායෙන් ද වැළැකී සේක.

අබ්රම්සරින් දුරු වූ සේක. ධ්‍යානය නො හරිනා සේක.”

හේමවත : “කිමෙක් ද, ඒ යුෂ්මත්හුගේ ශාස්තෘ තෙම බොරු නො තෙපලා ද? පරුෂ බස් නො බෙණේ ද? කේලාම්

නො කියා ද? ප්‍රලාප බස් නො දොඩා ද?”

ශාතාගිර : “උන් වහන්සේ බොරු නො තෙපලන සේක. පරුෂ බස් නො බණිනා සේක. කේලාම් නො කියන සේක.

ප්‍රලාප නො දොඩන සේක. නුවණින් පිරිසිඳ වැඩ පිණිස පවත්නා වචන ම වදාරන සේක.

හේමවත : “කිමෙක්ද? හේ කාම වස්තූන් කෙරෙහි නෑ ලේද? ඔහු සිත ව්‍යාපාදයෙන් නො කැළැඹුණේ ද?

මිථ්‍යාදෘෂ්ටියට හේතු වූ මුළාව ඉක්මියේ ද? ඥෙය ධර්ම විෂයයෙහි නො පැකිලැ පවත්නා සමතැස් ඇත්තේ ද?

ශාතාගිර : “ඒ භාග්‍යවතුන් වහන්සේ පංච කාමයන්හි නො ඇලෙන සේකි. උන්වහන්සේ ගේ සිත ව්‍යාපාද

දෝෂයෙන් නො කැළඹුණේ ය. උන් වහන්සේ මෝහය ද ඉක්මි සේකි. ඒ බුදුරජාණන් වහන්සේ සකල ඥෙය ධර්ම විෂයයෙහි නො පැකිළ පවත්නා සමතැස් ඇති සේක.”

හේමවත : “කිමෙක? එ ශාස්තෘහු අෂ්ට විද්‍යායෙන් යුක්ත ද? පිරිසිදු චරණ ධර්ම ඇත්තෝ ද? ඔවුන් විසින්

ආස්‍රවයෝ නසන ලදු ද? ඔවුනට පුනර්භවයෙක් නැද්ද?”

ශාතාගිර: “ඒ ශාස්තෘන් වහන්සේ අෂ්ට විද්‍යායෙන් ද සම්පන්න සේක. පිරිසිදු චරණ ධර්ම ද ඇති සේක.

උන්වහන්සේගේ පුනර්භවයෙක් නැත.

හේමවත : “ඒ මුනීන්ද්‍රයන් වහන්සේන්ගේ සිත සම්පූර්ණද? විද්‍යා චරණ ධර්මයන් ගෙන් යුක්ත වූ උන් වහන්සේට

යුෂ්මත්හු බෝ ගුණ දැන ම ඇති ගුණයෙන්ම ප්‍රශංසා කරවුද?”

ශාතාගිර : “එසේය මිත්‍රය, ඒ මුනීන්ද්‍රයන් වහන්සේගේ සිත ඒ කී පරිදි ම සම්පූර්ණ ය. පිරිසිදු කාය වාක් මනඃ කර්මයෙනුත් සම්පූර්ණය. ඒ යුෂ්මත්හු විසින් මොනවට දැන ගන්නා ලද්දේ ය. එ සේම යැ යි මැනැවින් පිළිගන්නා ලද්දේ ද වේ.”

“ඒ මුනීන්ද්‍රයන් වහන්සේ ගේ සිත සම්පූර්ණය, කාය වාක් මනඃ සුචරිත සම්පන්නය. සැක රහිත ව එය දැන ගන්න. එසේ වූ විද්‍යාචරණ ධර්මයන් ගෙන් යුක්ත උන් වහන්සේ දැකුම්හ.” (මේ තාක් කළ කථාව නුවණින් සැලකූ හේමවතයා එහි දී සෝවාන් විය.) භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ තවත් තොරතුරු ශාතාගිරයා වෙතින් අසා දත් හේමවත යක් තෙම මෙසේ ද කී ය.

හේමවත : “එව මිත්‍රය, යම්හ, ඒනි මෘගයකුගේ වැනි ක්‍රමයෙන් වට වූ කෙංඩා ඇති ස්ථුල නොවූ සිරුරක් ඇති, වීර වූ, ස්වල්පහාර ඇති ආහාරයෙහි ලොල් නො වූ, මුනි ගුණ ඇති වනයෙහි ධ්‍යාන කරන ඒ ගෞතමයන් වහන්සේ දකුම්හ. සිංහයකු මෙන් එකචාරි වූ, පව් නො කරන, කාමයන්හි අපේක්ෂා රහිත ගෞතමයන් වහන්සේ කරා එළැඹ මරහුගේ මලින් මිදීමට නිමිත්ත වූ නිවන විචාරමු.”

​උපකාරක ග්‍රන්ථ

ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » උරගවග්ගො » හෙමවත සූත්‍රය සහ එහි අටුවාව

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය