අපේ බුදුහාමුදුරුවෝ 289 (සන්තිකේ නිධානය)

 

වප්ප තවුසා සෝවාන් ඵලයට පත්වීම

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දෙව්‌ රජුන්‌ දෙදෙනෙකුගේ මහා සංග්‍රාමයක්‌ එළඹුණ. එම සටන් බිමට බොහෝ දෙවියෝ රැස්වුනා. එනිසාම මහා ඝෝෂාවක්‌ හටගත්ත. මේ අවස්ථාවේ එය දුටු ලෝකයාගේ පූජාවන්‌ පිළිගත්නා වු තුන්‌ ලෝ මැනවින්‌ දත්‌ ශාස්තෘ වු පදුමුත්තර බුදුරජාණන්‌ වහන්සේ බුදුරැස් විහදවමින් අහසෙහි වැඩ හිදිමින්‌ දෙවියන් ඇතුළු මහා මහජනයා සංවේගයට පත්කරනු ලැබුවා. මෙම දසුන් දුටු සියලු දෙවියෝ සතුටුව බැහැර ලු ආයුධ හා යුධ ඇඳුම්‌ සහිතව බුදුරජාණන්‌ වහන්සේට වැඳ එකඟ සිතින්‌ පසෙක සිටිය. සියල්ලන්ගේ සිත්‌ දැනගත්‌ බුදුරජාණන් වහන්සේ මෙලෙස ශ්‍රේෂ්ඨ වචන ප්‍රකාශ කරමින් ලෝක සත්වයා වෙනුවෙන් හටගත්‌ මහත් වූ අනුකම්පාවෙන්‌ යුධ ගිනි දැල් නිවනු ලැබුවා.

“එක්‌ ප්‍රාණියකු හෝ නසන දුෂිත සිත්‌ ඇති මනුෂ්‍යයා එම නපුරු සිත නිසා අපායෙහි ම උපදින්නේ ය. යුධ පෙරමුණෙහි බොහෝ ප්‍රාණීන්‌ සිය සිත නිවවු, නැවත නැවත නො නසවු.”

මෙය ඇසු දිව්‍ය සේනාවෝ විශ්මයට පත්‌වුනා. තාදි ගුණ ඇති ලෝක නායකයන්‌ වහන්සේගේ සරණ ගිය ඔවුහු යුද්ධය නවත්වනු ලැබුවා. ​මහා ප්‍රාඥ වූ බුදුපියාණෝ ජනසමුහයාට කරුණු අවබෝධ කරවා මෙලෙස පවින්‌ ගොඩ ගොඩගත්තා. ඉන්පසු දෙවියන්‌ විසින්‌ බලාසිටිය දීම උන්වහන්සේ උතුරු දෙසට වඩිනු ලැබුවා. ඒ අසිරිය දුටු වප්ප තවුසා එදින පළමු කොට බුදුන්‌ සරණ ගියා. එහි ආනුභාව​යෙන්‌ කල්ප ලක්‍ෂයක්‌ මුලුල්ලෙහි දුගතියක නුපන්නා. මෙයින්‌ තිස්‌ දහස් වන කල්පයේ දී රජවරු අතර ශ්‍රේෂඨ වු මහා දුන්දුහි නාමයෙන්‌ සක්විති රජවරු දාසයක්‌ ව සැප වින්දා.

ඒ කාලයේම “අසුවල්‌ අසුවල්‌ තෙරවරු ශාස්තෘන්‌ වහන්සේගේ පළමු ධර්ම දේශනාව පිළිගත්හ” යි යන්න අසා මෙදා වප්ප තවුසා ඉතා සතුටට පැමිණිය. පසුව භාග්‍යවතුන්‌ වහන්සේ වෙත එළඹ වැඳ තමා තෙරුවන්‌ සරණයන බව පවසා.,”ස්වාමීනි ! මම ද අනාගතයේ දී නුඹ වහන්සේ වැනි සම්බුදුවරයකුගේ ප්‍රථම ධම්දේශනාව අසන්නවුත්‌ අතුරින්‌ එක්‌ අයෙකුවෙම්‌ වා” යි ප්‍රාර්ථනා කළා. ඔහු දිවි ඇති තාක්‌ එලෙසින්‌ පින්දහම්‌ සිදුකොට ඉන්‌ චුතව දෙව්‌ – මිනිස්සු දෙගතියේ සැරි සරනු ලැබුවා.

ඉන්පසු අපගේ බුදුරජාණන්‌ වහන්සේ පහලවන සමයෙහි කපිලවස්තුවේ වාසෙට්ඨ නම්‌ බමුණාගේ පුතෙතු වී උපන්නා. දෙමාපියෝ ඔහුට වප්ප යන නම තැබුවා. ‘අසිත සෘෂිවරයා විසින්‌ සිදුහත්‌ කුමරු සර්වඥ වන්නේය” (බුදුවන්නේය) යනුවෙන්‌ පවසන ලද බැවින්‌ කොණ්ඩඤ්ඤ පුමුඛ බ්‍රාහ්මණ පුතුන්‌ සමග ගෘහවාසය හැරදමුවා. තාපස ප්‍රවෘජ්‍යාවෙන්‌ පැවිදි වී එකුමරු බුද්ධත්වයට පත්‌ වූ පසුව, උන්වහන්සේ සමීපයට ගොස්‌ බණ අසා නිවන්‌ අවබෝධ කරගන්නෙම්‌” යි සිතා උරුවේලාවෙහි වාසය කළා. මහ බෝසතාණෝ සයවසරක්‌ දුෂ්කර ක්‍රියා කොට, ඉන්‌ වෙන්ව දළ ආහාර ගැනීමට පටන්‌ ගත්කල්‌ හි උන්වහන්සේ හැර දමා ඉසිපතනයට ගිය ​වප්ප තවුසා, සම්බුද්ධපවයට පත්‌ වු ශාස්තෘන්‌ වහන්සේ සත්‌ සති ගෙවා ඉසිපතනයට වැඩ දම්සක්‌ පැවතුම්‌ සූත්‍රය දේශනා කිරීමෙන්‌ පසුදින සෝවාන්‌ ඵලයෙහි පිහිටිය. පස්වන දින අඤ්ඤා කොණ්ඩඤ්ඤාදී තවුසන්‌ සමග ම මහරහත්‌ ඵලයෙහි පිහිටි වප්ප තෙරණුවෝ, ගේ මෙම කෙටි විස්තරය මෙයින් අවසන් කරනවා.

උපකාරක ග්‍රන්ථ

සුත්‍ර පිටකය » ඛුද්දකනිකාය » සුත්තනිපාතය » උරගවග්ගය » හෙමවත සූත්‍රය

සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ

error: Content is protected !!