අපේ බුදුහාමුදුරුවෝ 285 (සන්තිකේ නිධානය)

 

බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 05

යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව

සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 02

ඒ දින රජගහ නුවර විශේෂ උත්සව පැවැත්වූ කාලයට අයත් දිනයක් කියා මිට පෙර ලීවා. දම්සක් පැවතුම් සූත්‍රය පැවසීම නිසා හටගත් දෙතිස් පෙළහර ඒ උත්සවය දෙගුණ තෙගුණ කරන්නටත් ඇති. දසත අකලට පිපි මල්වරග වගේම හිමවතෙහි පිපි අනේක විදි පුෂ්පයන්ගේ සුවඳින් හමා පැමිණි මදනල මුළු නුවරම සුවඳවත් කරන්නට ඇති. සෑම ගෙයකම පවත්වන උත්සව ප්‍රීති සම්භාෂණ වලට සාපේක්ෂව කාලි කුමරියගේ මාලිගාවෙහිත් උත්සව පවත්වන්නට ඇති. ඒ සුන්දර රාත්‍රී යෙහිම කාලි නම් කුල ස්ත්‍රිය සෝවාන් බවට පත්වූවා සේම ගැබ් ගනු ලැබීමත් ආශ්චර්යමත් සිදුවීමක් ලෙසයි මා දකින්නේ. ඇය ඉන්පසු තව දුරටත් එම මාලිගාවෙහි කල් යැවුවේ නැහැ. දරු ප්‍රසූතිය සඳහා තම දෙමාපියන් විසූ කුරරසර නියම් ගමට පැමිණියා. ඇයගේ ස්වාමි පුරුෂයා සම්බන්ධව විශේෂ සටහනක් මෙම දේශණාව තුල මා දුටුවේ නැහැ. කෙසේ හෝ නියමිත කලට ඇය තම පින්වත් දරුවා ප්‍රසූත කරනු ලැබුවා වගේම ඔහු විරළ වූ බුදුසසුනක පහල වන අසුමහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු බව දැන නොසිටියා.

මෙම බිලිඳා පසුකලෙක අපේ සාසනයේ සුවිශේෂ චරිතයක් බවට පත්වීමට පැමිණි කෙනෙක්. ඒ තමයි අසූ මහා ශ්‍රාවකයන් අතර මිහිරි වදන් ඇත්තන් අතරින් අග්‍රස්ථානය පතා පැමිණි උත්තම පුරුෂයා වගේම දශබලයන්වහන්සේ සමඟ එක් ගඳකිළියෙහි රාත්‍රියක් ගතකොට උන්වහන්සේගේ පාමුල මදුරශ්‍රවයෙන් දර්මය දේශණාකිරීමට දුර්ලභ අවස්ථාව හිමිවුන වාසනාවන්ත දරුවෙක්. මෙම පින්වත් දරුවාට නම් තබන දිනයෙහි සෝණයයි නම් කරනු ලැබුවා. පසුව ඔහුට කුටිකණ්ණ නම් වූ ආරූඩ නාමයක්ද එකතු වුණා. ඒ ඔහු නිරන්තරයෙන්ම කෝටියක් වටිනා කන් පළඳනාවක් පැළදි නිසා. .

ඒ කාලයේම මහාකච්චාන තෙරුන්වහන්සේ ඒ නුවර ඇසුරෙහි පැවැති පර්වතයක වාසය කළා. කාලි මාතාව ඉතාම ගෞරවයෙන් උන්වහන්සේට උපස්ථාන කරන්නට වුනා. තෙරුන්වහන්සේ නිබඳව ඇයගේ නිවසට වඩිනු ලැබුවා. ඒ නිසාම සෝණ දරුවාද කුඩා කල සිටම නිබඳවම මහාකච්චාන තෙරුන් සමීපයෙහි හැසිරෙමින් විශ්වාෂ කටයුතු පුද්ගලයෙකු බවට පත්වුනා පමණක් නොවෙයි ධර්මයද අසා දැනගත්තා. ඔහු පසු කලෙක තෙරුන් සමීපයෙහි ම පැවිදි දිවියට ඇතුළු වුනා.

මහාකච්චාන තෙරුන්වහන්සේ ඔහු උපසම්පදා කරනු කැමැත්තෙන් ඔහු පිළිබඳව වර්ෂ ගණනාවක් සොයා බැලුවා. ඉන්පසුව තෙරුන්වහන්සේ වෙතින් උපසම්පදාව ලබාගත් උන්වහන්සේ කමටහන් කියවා විදසුන් වඩා රහත් බවට පැමිණයා. එමෙන්ම තෙරුන් සමීපයෙහි සුත්තනිපාතය සම්පුර්ණ වශයෙන්ම ඉගෙන වචනයක් නෑර කටපාඩම් කර ගත්තා. මෙසේ බොහෝ තැන් කෙල පැමිණි උන්වහන්සේට උපතින්ම ගෙනා පුණ්‍ය ශක්තියකුත් පාරමිතා පුර්ණයකුත් තිබ්බා. ඒ “මිහිරි වදන් ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය” ට පත්වීමට. ඒ බව මහාකච්චාන තෙරුන්වහන්සේ හොදින්ම දැන හිටියා. එහෙත් අවසාන මොහොත වනතෙක් කිවේ නැහැ. ඔබ මේ අවස්ථාවේ ඒ නිධාන කථාවදැනගත යුතුයි කියා සිතනවා. ඒ නිසා ඊළඟ ලිපියෙන් කෙටියෙන් ඒ පාරමිතාව පිළිබඳව පවසන්නම්.

​උපකාරක ග්‍රන්ථ

අඞ්ගුත්තරනිකාය අට්ඨකතා – සොන කුටිකණ්ණ තෙරණුවෝ

error: Content is protected !!