Ape Budu Hamuduruwo 312

අපේ බුදුහාමුදුරුවෝ 312 (සන්තිකේ නිධානය)

 

උරුවෙලකස්සප තෙරණුවන්ගේ අතීත කතා පුවත

ඔබට දැන් හිතෙනවා ඇති ඇයි මෙතරම් කාලයක් බුදුපියාණන් වහන්සේ උරුවේල කාශ්‍යප වෙනුවෙන් උරුවෙල් දනව්වේ වැඩ සිටියේ කියලා.එයට එක් කරුණක් තමයි ඔහුගේ පිරිස. දෙවැන්න ඔහුගේ පාරමිතා පුර්ණය.

කස්සප කියන්නේ ඔහුගේ ගෝත්‍ර නාමයයි. උරුවෙල දනව්වේ වැඩසිටි නිසා කස්සප නාමයට ගමේ නමත් එකතුවෙලා උරුවෙලකස්සප නමින් ප්‍රසිද්ධ වුනා. පසුකාලයේ බුදුරජුන් වෙත පැමිණි මහණ වූ මහා තෙරවුරන්ටත් පිරිවර හිටියා. එහෙත් උරුවෙලකස්සප තෙරුන්ට තරමටම පිරිවර හිටියේ නැහැ. ඒ තෙරුන්වහන්සේලාගේ පිරිවර යම් කාල වල වැඩි වුණා . එහෙත් සමහර කාල වල හොදටම අඩුවුනා. එහෙත් උරුවෙලකස්සපගේ පිරිවර අවම වශයෙන් දහසක් වුනා. තම සහෝදරයන් දෙදෙනාගේ පිරිවරත් සමග එය දෙගුණ තෙගුණ වුනා. ඔවුන් කාලයෙන් කාලයට ගෝලයෝ පැවිදිකර ගත්තා. ඔවුන් එක් වී එක් කෙනෙකු එකිනෙකා බැගින් පැවිදිකරවන කාලයට පිරිස දෙදහසක් පමණ වුනා. . දෙදෙනා බැගින් පැවිදිකරවන කාලයට තුන්දහසක් ශ්‍රමණයෝ සිටියා. ඒ නිසාම පසුකාලයේ උන්වහන්සේ අසුමහා ශ්‍රාවකයන් අතර මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්වුණා.

ඔවුන්ගේ පාරමිතා පුර්ණය මෙලෙසයි. ඔහු පියුමුතුරා බුදුන් වහන්සේගේ කාලයේ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳගෙන වියපත්වියට පත්වී සිටියේ. දිනක් පියුමතුරා බුදුන්වහන්සේ බැහැදැකීමට පැමිණි ඔහු ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් සිටියා. එම දර්මදේෂණය අවසානයේ එක් භික්‍ෂුවක මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අගතැන්හි තබන ශාස්තෘන්වහන්සේ දැක්ක ඔහු හට “අනේ මාවිසින්ද අනාගතයෙහි මෙබන්දකු වීම වටීයයි” සිතක් පහල වුනා. එදා සිටබ් සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී තුන්සිවුරෙන් අන්දවා බුදුන්වහන්සේ වැඳ මහපිරිස් ඇත්තවුන්ට අග්‍රස්ථානය යම් බුදුවරයෙකු හමුවේ ලැබීමට ප්‍රාර්ථනය කරා. මේ දුටුව ශාස්තෘන්වහන්සේ එහි අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සසුනෙහි මහපිරිස් ඇත්තවුන් අතුරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී එම අධිෂ්ඨානය ස්ථිර කරනු ලැබුවා. ඉන්පස්සේ ඒ කුලපුත්‍රයා ඒ කියන්නේ එකල උරුවෙල්කස්සප තෙරුන් දිවිහිමියෙන් කුසල්දම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නට වුණා.

මෙයින් කල්ප අනූදෙකක් මත්තෙහි ඵුස්ස කියලා බුදුවරයෙකු ලොව පහලවුනා. මේ ලිපි පෙලේ දුරේ නිධානය කියන කොටසේ මේ බුදුවරු ගැනත් උන්වහන්සේලාගේ විශේෂතා ගැනත් ලියලා තියෙනව. ඒ බුදුරජාණන් වහන්සේගේ සුළුමවගේ කනිටු පුතු ලෙස මොහො උපත ලැබුවා. ඒ කියන්නේ ඵුස්ස බුදුපියාණන් වහන්සේගේ කණිටු සහෝදරයා. පියා මහින්‍ද නම් රජකෙනෙක්. මොහුට වෙනත් කනිටු සොහොයුරෝ දෙනනෙක් ද සිටියා. මෙසේ ඒ තුන්බෑයෝ වෙන්වෙන්ව රජුගෙන් තනතුරු ලැබූවා. එක් කාලයක ප්‍රත්‍යන්ත දේශයෙහි කැරැල්ලක් ඇතිවුණා. ඔවුන් විසින් ඒ කැරැල්ල සංසිඳුවනු ලැබුවා. මෙයින් සතුටට පත්වූ පියා විසින් ඔවුනට කැමති වරයක් ගන්නට කිවා. බලන්න සසරෙහි පින් කරපු උත්තමයෝ. ඔවුනට මෙහෙම අදහසක් පහල වුනා. . ‘දශබලයන්වහන්සේ පිළිදැගුම් කරන අප විසින් සුදුසු දෙයක් කිරීමට වටී’ යනුවෙනි. ඒ කියන්නේ ඒ වනවිටත් ඔවුන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් සිටියේ. එක් අමතියකු උපස්ථාන තනතුරෙහි තබලා තවකෙනෙකු අයවැය සාදන කෙනා කොට තවත් ඇමතියෙක් බුදු පාමොක් මහසඟනට අහර දෙමින් විධාන කරන්නෙකුගේ තනතුරෙහි තබා තමන් දසසිල් සමාදන්ව තෙමසක් ශික්‍ෂාපද රකින්නට අවසර ඉල්ලා ගත්තා. . ඔබ දන්නවද කවුද ඒ ඇමතිවරු තුන්දෙනා කියලා. ඔවුන් තමයි මේ බුද්ධෝත්පාදයෙහි බිම්බිසාර, විශාඛ හා රට්ඨපාල යන අය.

ඒ රාජකුමාරවරු මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේට උපස්ථානකොට භාග්‍යවතුන්වහන්සේ විසූවස් ඇති කල්හි සියතින් බුදුපාමොක් සඟනට ප්‍රත්‍යය පූජාවෙන් පුදා දිවිඇති තෙක් කුසල් දහම් කොට අපගේ බුදුන්වහන්සේ ගේ කාලයේ මෙලෙස බමුණුකුලයක ඉපදුනා. තමන්ගේ ගොත්‍ර වශයෙන් තිදෙනාම කාශ්‍යප නම් වුවා. වියපත් ඔවුහු ත්‍රිවේදයම ඉගෙනගනු ලැබුවා. ඔවුන්ගේ දෙටු බෑයාට පන්සියයක් මානවකයෝ පිරිවර සිටියා.. මැඳුම් බෑයාට තුන්සියයක් කනිටු බෑයාට දෙසියක් පිරිවර වුණා. . ඉන්පසු ඔවුන්ගේ දෙටු සොහොයුරා තමන්ගේ පිරිවර සමඟ උරුවේලාවට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදිව උරුවෙලකස්සප නමින් වැඩසිටියා. මහගඟ නදීවංකයක පැවිදිවූ තැනැත්තේ නදීකස්සප නම් වවුණා . ගයා ශීර්ෂයෙහි පැවිදිවූ තැනැත්ත ගයා කස්සප නම්වුනා. දැන් ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේ ඇයි තවමත් මේ අය වෙනුවෙන් වැඩ සිටින්නේ කියලා.

උපකාරක ග්‍රන්ථ

උරුවෙලකස‍්සපත්‍ථෙරගාථා ඛුද‍්දකනිකායොථෙරගාථාපාළි ඡක‍්කනිපාතො

උරුවෙලකස‍්සපත්‍ථෙරාපදානං ඛුද‍්දකනිකායොඅපදානපාළිථෙරඅපදානපාළි. කච‍්චානවග‍්ගො සුත‍්ත අට‍්ඨකථා උරුවෙලකස‍්සපත්‍ථෙරවත්‍ථු

අඞ‍්ගුත‍්තරනිකායො අට‍්ඨකථාඑකකනිපාත-අට‍්ඨකථාඑතදග‍්ගපාළිචතුත්‍ථඑතදග‍්ගවග‍්ගො සුත‍්ත අට‍්ඨකථා උරුවෙලකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා

ඛුද‍්දකනිකායො අට‍්ඨකථාථෙරගාථා-අට‍්ඨකථා ඡක‍්කනිපාතො

Ape Budu Hamuduruwo 311

අපේ බුදුහාමුදුරුවෝ 311 (සන්තිකේ නිධානය)

 

තෘතීය හා චතුර්‍ත්‍ථප්‍රාතිහාර්‍ය්‍යය.

තෘතීයප්‍රාතිහාර්‍ය්‍යය

එදිනත් පෙරසේම තවත් සුවිශේෂ රාත්‍රියක්. රෑ පෙරයම ඉක්ම ගිය පසු විශිෂ්ට ශරීරවර්‍ණ සහිතව සියලු වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ සක්දෙව්රජතෙමේයි. එම ආලෝක කදම්භ පෙරදා සතර මහා රජදරුවන් වෙතින් නික්මුණ ආලෝකයන්ට වඩා විශාල වශයෙන් ප්‍රභලයි කියලත් කියනවා. අපිටත් දකින්නට ලැබුණානම් කියලත් හිතෙනවා. ඒ උත්තමයන් වහන්සේ ඉමහත් ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටිය. එම වර්ණවත් ආලෝක කදම්භ මහගිනිකඳක් සේ පළමුම පැමිණි අයගේ පැහැයට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද බව අට්ට කතාවෙහි පවසනවා. .

එදත් උරුවේලකාශ්‍යපතුමා මෙම දර්ශනය දුටුවා. ඔහුට ඉවසිල්ලක් නැහැ විස්තර දැන ගන්නකම්. කොහොමත් පොරොන්දු වුන පරිදී හිල්දානේ අරගෙන යන්න ඕනනේ. ඔහු රෑ ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිය. පැමිණ මෙලෙස පවසා සිටියා.

“මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමියේ ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති කවරෙක්, වනලැහැබ බබුළුවා ඔබවහන්සේ වෙතට පැමිණියේ ද? පැමිණ නුඹ වහන්සේ වැඳ පසෙක සිටියේ ද? හේ මහ ගිනිකඳක් සේ පළමු වූ පැහැසටහන්වලට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද වී ය” .

“කාශ්‍යපය, දෙවියන්ට අධිපති වූ ශක්‍ර තෙමේ දහම් අසනු පිණිස මා වෙතට පැමිණියේ ය” එවිට මාන්නක්කාර උරුවේලකාශ්‍යප ජටිලයා හට මෙහෙම සිතක් පහලවුනා.

“යමකු කරා දෙවියන්ට අධිපති වූ ශක්‍ර තෙමේත් දහම් අසනු පිණිස පැමිණෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය, මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” ඔහු තව දුරටත් තමන්ගේම මතයේ එළඹ සිටියා.

 අනේ ඒ මහා කරුණිකායන් වහන්සේ ඒ සිත දැක දැකත් උරුවේලකාශ්‍යප ජටිලයා පූජා කරනු ලැබූ බත වළඳා, ඒ වනලැහැබෙහි ම ඔහුව නිවන්දක්වනු පිණිස තවදුරටත් වැඩ සිටියා.

චතුර්‍ත්‍ථප්‍රාතිහාර්‍ය්‍යය.

ඉන්පස්සේ තවත් දිනයක සහම්පති මහා බ්‍රහ්මතෙමේත් රෑ පෙරයම ඉක්ම ගිය පසු අති විශිෂ්ටශරීරවර්‍ණ ඇතිව වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටිය. උන්වහන්සේද මහාගිනිකඳක් සේ පළමු පැහැ සටහන්වලට වඩා අතිශයින් විශිෂ්ටවද , අතිශයින් ප්‍රණීතවද වැඩ සිටියා.

එදත් උරුවේලකාශ්‍යපතුමා මෙම දර්ශනය දුටුවා. ඔහුට ඉවසිල්ලක් නැහැ තව තවත් විස්තර දැන ගන්නකම්. මෙච්චරම දෙවිවරු කොහෙන්ද එන්නේ? ඇයි අපව හමුවන්නට නොඑන්නේ? දහසකුත් දේ හිතෙන්නට ඇති. . කොහොමත් පොරොන්දු වුන පරිදී හිල්දානේ අරගෙන යන්න ඕනනේ. ඔහු රෑ ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට ලහි ලහියේ පැමිණිය. පැමිණ මෙලෙස පවසා සිටියා.

“මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමියේ ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති කවරෙක්, වනලැහැබ බබුළුවා ඔබවහන්සේ වෙතට පැමිණියේ ද? පැමිණ නුඹ වහන්සේ වැඳ පසෙක සිටියේ ද? හේ මහ ගිනිකඳක් සේ පළමු වූ පැහැසටහන්වලට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද වී ය”.

කාශ්‍යපය, සහම්පති බ්‍රහ්මතෙමේ දහම් ඇසීම පිණිස මා වෙත පැමිණියේය. බුදුපියාණන් වහන්සේ පහදා දුන්නා. එවේලේත් උරුවේලකාශ්‍යප ජටිලයාගේ සිතට පෙර දිනවල මෙන්ම මහා අඳුරු මේඝ වළාවක් මෙන් මාන්නය පැමිණ ප්‍රඥා ඇස මඩිනු ලැබුවා. ඔහු මෙලෙස සිතන්නට වුණා

“යමකු කරා සහම්පති බ්‍රහ්මයාත් දහම් ඇසීම පිණිස පැමිණෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය.

අනේ ඒ මහා කරුණිකායන් වහන්සේ ඒ සිත දැක දැකත් උරුවේලකාශ්‍යප ජටිලයා පූජා කරනු ලැබූ බත වළඳා, ඒ වනලැහැබෙහි ම ඔහුව නිවන්දක්වනු පිණිස තවදුරටත් වැඩ සිටියා. අශ්චර්යක්මයි බුදුවරුන්ගේ මෛත්‍රිය දයාව කරුණාව ඉවසීම. ආශ්චර්යයි ශ්‍රාවකයන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලය.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

Ape Budu Hamuduruwo 310

අපේ බුදුහාමුදුරුවෝ 310 (සන්තිකේ නිධානය)

 

ද්වීතියප්‍රාතිහාර්‍ය්‍ය

පෙර දින එතරම් විශාල ප්‍රාතිහාර්යය ප්‍රමාණයක් සියසින් දැකලත් උරුවේලකාශ්‍යපගේ හිත තමා තවමත් බුදුරජාණන් වහන්සේට වඩා උසස් අරහත්වයට පැමිණි සුවිශේෂී පුද්ගලයෙක් බව කියන්නට වුනා. අතීත බුදුරජාණන් වහන්සේලාගේ කාලයේත් මෙවැනි දේ මේ ආකාරයෙන්ම සිදුවී තිබුනා. ඒ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේට එය සුවිශේෂ සිද්ධියක් උනේ නැහැ. ඒ විතරක් නෙවෙයි මොහුව ගුරුත්වයේ තබාගෙන මොහුට ගරු කරන මොහු අරහත් වූ කෙනෙකු ලෙස සලකන තව විශාල පිරිසක් ද සිටියා. ඉතින් මොහුව නිවැරදි මගට ගන්නවා කියන්නේ ඔහුගේ සහෝදරයෝ දෙදෙනා සහ ඔවුන්ගේද ගෝල පිරිස් ඇතුළුව දහසකට වැඩි තව විශාල පිරිසක් නිවැරදි මගට ගත්තා හා සමාන වෙනවා. හැබැයි මම හිතන්නේ ඒක විතරක් නෙවෙයි ප්‍රධාන කරණය. මහා පිරිස් ඇති භික්ෂූන් අතුරෙහි අග්‍රස්ථානය ලැබීමට ඔවුන් පිරූ පාරමිතා ශක්තියත් සහ ප්‍රඥාව මෝරන ක්ෂණයත් යන කාරනා දෙකම මෙයට හේතුවන්නට ඇති. ඒහි මුලාශ්‍ර සොයා ඊළඟ ලිපියෙහි එම තොරතුරු ලිවීමට බලාපොරොත්තු වෙනවා.

ඒ තවත් එක් මධ්‍යම රාත්‍රියක්. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ උරුවේලකාශ්‍යප ජටිල තුමාගේ අසපුවට නුදුරෙහි වූ තවත් එක්තරා වනලැහැබෙක. මද්‍යම රාත්‍රිය ඉක්ම ගියායින් පස්සේ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේගෙන් බන ඇසීමට පැමිණෙන බව ඔබද හොඳින් අසා ඇති ප්‍රසිද්ධ කරුණක්. එදින එක්වරම මුළු වනලහැබ ඉහල අහසෙහි විශාල එළි සතරක් සතර දිශාවෙන් මතුවෙන්නට පටන් ගත්තා. මුළු අහසත් වනලහැබත් විවිධ වර්ණයන්ගෙන් බබලන්නට වුනා. උරුවේලකාශ්‍යප ජටිල තුමාත් ඒ වෙලාවේ නිදිවර්ජිතව උන්නේ. හැබැයි එවැනි වර්ණයක් මිට පෙර ඔහුත් දැක නොතිබෙන්නට ඇති. ඔහු රහත් බව සිතා සිටියට රහත් නොවූ නිසා ඒ දෙසට විපරම් කිරීමට එන්නට බය වෙන්නටත් ඇති කියලා මගේ හිත කියනවා. ඒ පැමිණ තිබුනේ සතරවරම් දෙවිවරු.

උන්වහන්සේලාත් සතරවරම් දෙවිවරු වන්නට සංසාරයේ කොතරම් පින් කරන්නට ඇත්ද? විශිෂ්ටශරීරවර්‍ණ ඇත්තාහු උන්වහන්සේලා මුළු වනලහැබම ඒකා ලෝක කරමින් පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් ගිනිකඳන් මෙන් සිව්දිග සිසාරා සිටියා. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ඔවුන්හටද තමන්වහන්සේ විසින් අවබෝධ කොටගත් දර්මය දේශනා කරන්නට උනා. දර්මය ශ්‍රවනය කිරීමෙන් අනතුරුව ඔවුන් නැවතත් තමන්ගේ දිව්‍ය විමන් වෙත නික්ම ගියා.

උරුවෙලකාශ්‍යප ජටිලතුමාට ඉවසිල්ලක් තිබුනේ නැහැ රැය පහන්වනතෙක් ම මේ ගැන විස්තර දැනගන්නට. ඉන්පසු උරුවෙලකාශ්‍යපජටිල තෙමේ ඒ රැය ඇවෑමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට ලහි ලහියේ පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් “මහාශ්‍රමණය, මේ සුදුසුකාලය වේ. බත නිමවී ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති ඒ කවර කෙනෙක් මුළු වනලැහැබ බබුළුවා නුඹවහන්සේ වෙතට පැමිණියාහු ද? පැමිණ නුඹවහන්සේ වැඳ මහත් වූ ගිනිකඳන් සේ සිව්දිග සිටියාහුදැ?’ යි අසන්නට වුණා. එවිට බුදුපියාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් මෙලෙස වදාරනු ලැබුවා.

“කාශ්‍යපය, ඒ සතරවරම්මහරජහු දහම් අසනු පිණිස මා වෙතට පැමිණියාහු ය”.

එවිට ම උරුවේලකාශ්‍යපජටිලයාහට මෙලෙස සිතක් පහල වුණා.

“යමකු කරා සතරවරම්මහරජහු දහම් අසනු පිණිස පැමිණෙන්නාහු ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම වේ. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය”

ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිල තුමා පූජා කරන ලද බත වළඳා ඒ වනලැහැබෙහි ම ඉන්නට සිතා ගත්තේ තවමත් ධර්මාවබෝධයට ඔහුට සුදුසු කාලය නොවන නිසා වන්නට ඇති.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

Ape Budu Hamuduruwo 309

අපේ බුදුහාමුදුරුවෝ 309 (සන්තිකේ නිධානය)

 

ප්‍රථමප්‍රාතිහාර්‍ය්‍ය

බුදුපියාණන් වහන්සේ පෙර කී පරිදී උරුවේලකාශ්‍යප ජටිලයාගේ අවසරය ගෙන ගිනිහල්ගෙය තුල සමාධි සුවයෙන් වැඩ සිටියා. ඒ මහා බලසම්පන්න නාගයෙකු දමනය කරන්නට නොවෙයි. උරුවේලකාශ්‍යප, නදීකාශ්‍යප, ගයාකාශ්‍යප, යන අයට දර්මය අවබෝධ කර දීමට. ඔවුන් ඒ වනවිටත් අරහත් ඵල ලාභීන් ලෙස සිතාගෙන සිටියේ. එවැනි වැරදි දෘෂ්ඨියකට එළඹ සිටින කෙනෙකුට විශේෂයෙන්ම අධික මාන්නක්කාර අයෙකුට හරිමග පෙන්වීම ලෙහෙසි නැති බව වර්තමානයේ අරහත් ඵල ලාභී යැයි සිතා සිටින භික්ෂුන් දෙස බැලූ විට ඔබට තේරෙන්නට ඕන. එවැනි අයෙකුව නිවැරදි කල හැක්කේ බුදුවරයෙකුට පමණයි කියලයි මට සිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි සමහරවිට ඒ අය සංසාරය පුරාවට පාරමී පුරමින් පැමිණි පිරිස් වන්නටත් පුළුවන්. ඒ බව දන්නෙත් බුදුවරුනේ. එවැනි උතුමන් හට දර්මය අවබෝධ කරලීමට බුදුවරුන් තමාහට කළහැකි හැම දෙයක්ම කරනවා. මෙය කියවන ඔබත් එහෙම කෙනෙකු වන්නට ඇති. ඒ කෙසේවෙතත් බුදුරජාණන් වහන්සේ මිනිසුන් ඉදිරියේ පවත්වනු ලබන ප්‍රථම ප්‍රාතිහාර්ය සඳහා සුදානමින් වැඩ සිටියේ.

සුළු වේලාවකින් ඒ ඉතාමත් බලසම්පන්න දරුණු නාග රාජයා ගිනිහල්ගෙට අතුලුවුනා. තම නාග භවන තුල වැඩසිටි බුදුරජාණන් වහන්සේ නිසා ඔහුට දැනුණේ මහා අසතුටක්. ඒ නාගරාජයා ප්‍රථමයෙන්ම කරන්නට වුනේ තදින්ම තම මුවින් විෂ දුම් පිටකිරීමයි. නාගරාජයාගේ ඇතුළුවීමත් දුම් පිටකිරීමත් බුදුරජාණන් වහන්සේ ද දුටුවා. ඉන් පස්සේ උන් වහන්සේට මෙහෙම සිතුනා.

 “මම මේ නාගයාගේ සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇටමිදුලු ද නො ගටා සියතෙදින් ඔහුගේ තෙද නසන්නේ නම් යෙහෙකැ” .

භාග්‍යවතුන් වහන්සේත් එබඳු වූ ඍද්ධියක් කොට තදින් දුම් පටල මවනු ලැබුවා. මේ දුටුව ඒ නාග රාජයාට හොඳටෝම තරහ ගියා. කෝපය ඉවසා ගැනීමට නොහැකි වූ ඔහු කලේ මහා ගින්දර වැටියක් ඇවිලිමයි. නාග රාජයා සිතන්නට ඇති බුදුරජාණන් වහන්සේ එයින් භීතියට පත්වේවි කියලා. භාග්‍යවතුන් වහන්සේ ද තේජෝධාතුවට සමවැද මහා ගිනි වැටියක් අවුළුවනු ලැබුවා.. දෙදෙනා විසින්ම මෙලෙස මහා ගිනිදැල් ඇවිළ ගත්කල්හි ගිනිහල්ගෙය ම ගින්නෙන් ඇවිළ ගත්තා සේ පිටතට පෙනෙන්ට වුනා. ඒ අවට හාත්පසම ගින්නෙන් දිලිසෙන්නට වුනා. ගිනිදැල් බුර බුරා නැගෙමින් අවට ගිනිදළු විසිරී ගියා. . එවෙලෙහි ඒ අවටසිටි ජටිලයෝ ගිනිහල්ගෙය පිරිවරා “භවත්නි, මනා රූ ඇති මහාශ්‍රමණ තෙමේ ඒකාන්තයෙන් නාගයා විසින් වෙහෙසෙනුලැබේ ය” කියන්නට වුනා.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ මුළු රෑ පුරාවටම ඒ නාගයාගේ සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇටමිදුලු ද නො ගටා නොපෙළා හානියක් නොකට උන්වහන්සේගේ තෙදින් ම ඔහුගේ තෙද අබිබවා දමනය වූ පසු තම පාත්‍රය තුලට බහාලනු ලැබුවා. බහා “කාශ්‍යපය, මේ තාගේ නාගතෙමේ ය. මොහුගේ තෙද මාගේ තෙදින් අභිභවනය කරණලදැ”යි උරුවේලකාශ්‍යපජටිලයාහට පෙන්වනු ලැබුවා. එවැනි ප්‍රාතිහාර්යක් සියසින්ම දැකලත් ඔහුගේ මාන්නය බිඳුනේ නැහැ. ඔහුට මෙලෙස සිතක් පහල වුනා.

“යමෙක් චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජුගේ තෙද සියතෙදින් නසන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි මේ අදහස තමන්ගේ සිතේ පහල වුනා. ඉන්පස්සේ උරුවෙලකාශ්‍යපජටිලතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිවා. “මහාශ්‍රමණය, මෙහි ම වාසය කරවු. මම නුඹවහන්සේට නිති බතින් උපස්ථාන කරමි”යි කියා සිටියා. එහෙත් ඔහුගේ මාන්නයේනම් තවමත් අඩුවක් පෙනෙන්නට නැහැ.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

Ape Budu Hamuduruwo 308

අපේ බුදුහාමුදුරුවෝ 308 (සන්තිකේ නිධානය)

 

තිස්දෙනෙක් වූ දෙවැනි ධර්මදූත පිරිස සහ ජටාධර සහෝදර තවුසන් තිදෙනා.

මෙලෙස භාද්‍රවර්ගික කුමාරවරුන් තිස්දෙනාම ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. හරිම පුදුමයි මිට ඉහත ආත්මභාවයක අප මහා බෝසතාණන් වහන්සේ හට ඔවුන්ව මුණ ගැසෙන්නේ මෙලෙසම විනෝදකාමී යහළුවන් පිරිසක් ලෙස උත්සවයක් අතරතුර කෑමට තිබු මස් ඉවරවිමෙන් මසට සතෙක්ව මිලදීගන්න යන අතරතුරේ. එදත් මේ තිස්දෙනාම බෝසතාණන් වහන්සේගෙන් බණ අසා ඒ පවිටු ජිවිතයෙන් බැහැරව සිල් රකින්නට පටන්ගන්නවා. මේ අත්මභාවයේත් ඒ චක්‍රය එලෙසම ක්‍රියාත්මක වෙනවා. එලෙසම විනෝද වෙමින් පැමිණෙන ඔවුනට බෝසතාණන් වහන්සේව හමුවන්නේ තවමත් බෝසත්වරයෙකු ලෙස නෙවෙයි. සම්මා සම්බුදුවරයෙකු ලෙසයි. මෙවර පංචසිලයේ පිහිටවීමෙන් පමණක් නෙවෙයි. අප මහා බුදුපියාණන් වහන්සේ ඔවුනට දර්මය අවබෝධ කොට දී ඒහි භික්කු භාවයෙන් පැවිදි උපසම්පදාවද ලබාදී දැන් ධර්මප්‍රචාර කටයුතු සඳහා යවන්නටද සුදානම් කොට අවසානයි. ඒ සංසාර පුරුදු හමුවීම් කල්‍යාණ මිත්‍රත්වය වගේ කරුණු හරිම පුදුමයි.

දැන් උන්වහන්සේලා තිස් නමත් බුදුරජාණන් වහන්සේත් සමග සාසනයේ සංඝ පිරිස අනුඑක්නමක්. බුදුරජාණන් වහන්සේ උන්වහ්න්සේලාවත් මිට පෙර සිදු කල විදිහටම තනි තනිව තවත් තිස් දිශාවකට දර්ම ප්‍රචාරය සඳහා පිටත් කොට යැවුවා. උන්වහන්සේ නැවතත් තනිවම උරුවෙල් දනව්ව වෙත පිය නැග්ගා.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් උරුවෙල්දනව්වට වැඩම කරනු ලැබුවා. ඒ කාලයෙහි උරුවේලාවෙහි උරුවේලකාශ්‍යප නදීකාශ්‍යප ගයාකාශ්‍යප යි කියලා ජටිලයෝ තිදෙනෙක් වාසය කරනවා. ඔවුන් අතුරෙන් උරුවේලකාශ්‍යපජටිල තෙමේ පන්සියයක් ජටිලයන්ට නායක වුනා. ඔහු තම ලබ්ධිය ගන්වන බැවින් විනායක වුනා. අග්‍ර වුනා . ප්‍රමුඛ වුනා. ආචාර්‍ය්‍ය ද වුනා. නදීකාශ්‍යප ජටිල තෙමේ තුන්සියයක් ජටිලයන්ට නායක වුනා. විනායක වුනා. අග්‍ර වුනා . ප්‍රමුඛ වුනා. ආචාර්‍ය්‍ය ද වුනා. ගයාකාශ්‍යප ජටිල තෙමේ දෙසියයක් ජටිලයන්ට නායක වුනා. විනායක වුනා. අග්‍ර වුනා. ප්‍රමුඛ වුනා. ආචාර්‍ය්‍ය ද වුනා.

භාග්‍යවතුන් වහන්සේ මෙලෙස පියනගමින් පැමිණ නතර වුනේ උරුවේලකාශ්‍යපජටිලයාගේ අසපුව ඉදිරිපිට. එසේ වැඩම කල උන්වහන්සේ “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නැති නම් මම එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි උරුවෙලකාශ්‍යපජටිලයාට වදාරනු ලැබුවා. එවිට උරුවෙලකශ්යප “මහාශ්‍රමණය, මට නම් කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. ඒ නාරජ තෙමේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි පවසමින් තමන්ගේ අකමැත්තක් නැති බව ප්‍රකාශකොට සිටියා. දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යප ජටිලයාහට “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නැති නම් මම එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි උරුවෙලකාශ්‍යපජටිලයාට වදාරනු ලැබුවා. එවිට උරුවෙලකශ්යප “මහාශ්‍රමණය, මට නම් කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. ඒ නාරජ තෙමේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි පවසා සිටියා. තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාහට “කාශ්‍යපය, ඉදින් ඔබට බරක් නැති නම් මම එක් රැයක් ගිනිහල්ගෙයි වසන්නෙමු” යි උරුවෙලකාශ්‍යපජටිලයාට වදාරනු ලැබුවා. එවිට උරුවෙලකශ්යප “මහාශ්‍රමණය, මට නම් කිසි බරක් නැත. මෙහි චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජෙක් වෙයි. ඒ නාරජ තෙමේ නුඹවහන්සේ නො වෙහෙසාවා” යි පවසා සිටියා. එවිට බුදුපියාණන් වහන්සේ, ඔහුට මා හට පීඩාවක් අනතුරක් කල නොහැකියි. ඔබේ අවසරය ඇතොත් මම එහි සුවසේ සිටිය හැකි බව දන්වා සිටියා. එවිට කාශ්‍යප තෙමේ මහාශ්‍රමණය සැපසේ වාසය කරන්න යනුවෙන් අවසර දෙමින් නිහඬ වුනා. බුදුරජාණන් වහන්සේ යම් පෙදෙසකට හෝ නිශ්චිත පුද්ගලයෙකු මුණ ගැසෙන්නට වඩින්නේ නිකම්ම නොවන බවට දැන් ඔබ හට යම් අවබෝධයක් තියෙන්නට ඕනේ.

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ගිනිහල්ගෙට ඇතුල් ව තණඇතිරිය පණවා පලඟ බැඳ කය කෙළින් තබා සිහිය එළවා සම්ධිමත් සිතින් වැඩ සිටියේ තවත් මහා සංග්‍රාමයක් ඉදිරියෙන් ඇතිබව දැනගෙනම වන්නට ඇති .

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

Ape Budu Hamuduruwo 307

අපේ බුදුහාමුදුරුවෝ 307 (සන්තිකේ නිධානය)

 

භද්‍රවර්ගික කුමාරවරු සහ ඔවුනගේ සසර ගමන කෙටිකල වෛශ්‍යාව

මාර දිව්‍ය පුත්‍රයා නැවත නැවතත් පරාජය වීම.

පසුගිය ලිපියෙන් කියවුනේ ප්‍රථම දර්මධුත පිරිස පිටත්කර හැරීම පිලිබඳ කතාවයි. බුදුරජාණන් වහන්සේ එම කාර්යය ඇරඹීමට පෙර නැවතත් මාර දිව්‍ය පුත්‍රයා පැමිණ උන්වහන්සේට බාධා කරන්නට වුනා. එය පිලිබන්ධව විනය පිටකයේ සඳහන් වන්නේ මෙලෙසයි.

මාර දිව්‍ය පුත්‍රයා

“දෙවියන්ද මිනිසුන්ද බන්ධනය කරන යම් මර උගුලක් වේද, (මාරපාශ කෙනෙක් වෙත් නම්) ඒ සියල්ලෝම මගේ ඒ මරුගුලට අසුවෙලා ඉන්නේ. ඒ මාරබන්‍ධනවලින් බැඳිලා ඉන්නේ. ඒ තමයි මගේ විෂය පථය. එයින් මිදිය හැකි දෙවියෙක් බ්‍රහ්මයෙක් මනුෂ්‍යයෙක් හෝ අමුනුෂ්‍යයෙක් නම් මේ ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. ශ්‍රරමණය, ඔබද මට අයත් ඒ විෂයයෙන් නොමිදුන කෙනෙක්.” ඔබද ඒ මර උගුලට තවමත් අසුවී සිටින්නේ.

බුදුරජාණන් වහන්සේ

“ මම දෙවියන්ද, මිනිසුන්ද, බන්ධනය කරන යම් මර උගුලක් වේද, (මාරපාශ කෙනෙක් වෙත් නම්) ඔබගේ ඒ සියලූම මරුඋගුල් වලින් ,මරබැඳුම්වලින් මිදුනෙම් වෙමි. මාරය, නුඹ මට පරාජය වුනා..”

මේ ලෝකධතුවට අධිපති වුද එහි බලය පතුරවන වුද ඔහුට තමා පරාජය වූ බව ඇසූ සැණින් පුදුම ලැජ්ජාවක් ඇති වුනේ. ඒ විතරක් නෙවෙයි මහත් වූ ශෝකයක් ද සිතේ හට ගත්තා. ඔහු නොසුතුටු සිතින් සැණෙකින් අතුරුදහන් වුණා.

ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර කැමැති තාක් කල් වාසය කොට උරුවෙල් දනව්ව දෙසට වැඩම කරන්නට වුණා. බරණැස පටන් උරුවෙලාව තෙක් පිහිටි මහා මාර්ගයෙන් වඩනා බුදුරජාණන් වහන්සේ මහ වනය පැත්තෙක පිහිටි කැප්පෙටියා ලැහැබක් දැක ඒ මගින් ඉවත් ව එහි වැඩ රුකක් මුලැ වැඩ සිටියේ ඊළඟ කණ්ඩායම ළඟ එන බව දිවසින් දුටුන් නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා.

භද්‍රවර්ගික කුමාරවරු

ඒ වෙලාවේ තිහක් පමණ වූ භද්‍රවර්ගික කුමාරවරු බිරියන් සමග ඒ වනලැහැබෙහි ඔබිනොබ විනෝද වෙමින් හැසිරෙමින් සිටියේ. රූපයෙන් ද සිතෙන් ද භද්‍ර (යහපත්) බැවින් ඔවුන්ට “භද්‍”ර නම පටබැඳී ඇතිබවත්, වර්ග බන්ධනයෙන් (එක් ව) හැසිරෙන නිසා “වර්ගීය” නම් වන බවත් ඒ වචන දෙක එක් කොට භද්‍රවර්ගී ය යැයි ඔවුනට නමක් ඇති වූ බවත් කියනවා. එමෙන්ම මොවුන් කොසොල් රජු ගේ සහෝදරයෝ කියලත් කියනවා. මේ විස්තරය මම උපුටා ගත්තේ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන්ගේ “ගෞතම බුද්ධචරිතය” පොතේ උපග්‍රන්ත වලින්. ඉතින් මේ කණ්ඩායමේ එක්කෙනෙකුට බිරියක් ඉඳලා නැහැ. ඒකම තමයි මේ කණ්ඩායමට වාසනාව උදාකරගන්න හේතු වාසනා උනෙත් කියලා මට හිතෙනවා. ඉතින් අනිත් යහළුවෝ ටික එකතුවෙලා එයාට ඒ අඩුව මකාගන්න ගණිකාවක් ගෙනෙවිත් දුන්නා. දැන් සතුටින් හැමෝම ඒ වනලහැබ පුරාම ඇවිදිනවා. අවසානයේ හැමෝම වෙහෙස නිවමින් ඉන්නා අතරතුරේ කල්යල් බලා අර ගණිකාව ඔවුන්ගේ වටිනා රන් ආභරණද සළුපිලිද රැගෙන හොරෙන්ම පලා යනවා.

අනේ ඒ යහළුවෝ යහළුවාට උපකාර කරමින් ඒ ස්ත්‍රිය සොයමින් ඒ වනලැහැබ පිරන්නට වුණා. මෙසේ ඇවිදමින් යන ඒ පිරිසට එක්තරා ගසක් මුල වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ හමුවෙනවා. ඉන්පසු ඔවුන් සියලුම දෙනා භාග්‍යවතුන් වහන්සේ වෙතපැමිණෙනවා. ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිලා අහන්නෙත් එකම එක ප්‍රශ්ණයයි.

කුමාරවරු – “ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ස්ත්‍රියක දුටු සේක් දැ?” .

භාග්‍යවතුන් වහන්සේ – “කුමාරයෙනි, තොපට ස්ත්‍රියගෙන් කම් කිම?”

කුමාරවරු – “ස්වාමීනි, මෙහි තිසක් පමණ වූ භාර්‍ය්‍යාවන් සහිත වූ භද්‍රවර්ගික යහළුවෝ වූ අපි මේ වනලැහැබෙහි හැසුරුණෙමු. එකකුට භාර්‍ය්‍යයාවක් නො වූ ය. ඔහු පිණිස ගණිකාවක් ගෙණෙන ලද්දී ය. ඒ වෙසඟන තොමෝ අප පමා ව ඉඳුරන් පිණවන කල්හි අප සතු බඩු පැහැර ගෙණ පලා ගියා ය. ස්වාමීනි, යහළු වූ අපිඅපගේ යහළුවාගේ මෙහෙ කරමින් ඒ ස්ත්‍රිය සොයමින් මේ වන ලැහැබෙහි ඇවිදිමු” යි කියා සිටියා. එට පස්සේ බුදුපියාණන් වහන්සේ ලස්සන ප්‍රශ්ණයක් ඔවුන් වෙත යොමු කලේ හැමෝටම විවිධ පිළිතුරු දෙන්න බැරි වෙන්නට.

භාග්‍යවතුන් වහන්සේ – කුමාරයෙනි, තෙපි ඒ කුමැ යි සිතවු ද? තෙපි ස්ත්‍රියක හෝ සොයවු ද, තමන් හෝ සොයවු ද, යන යමක් ඇත් ද, මෙදෙකින් තොපට කවරක් උතුම් ද?”

කුමාරවරු – “ස්වාමීනි, යම් හෙයකින් අපි තමන් සොයන්නෙමු නම් මෙය ම අපට උතුම් වේ”. “කුමාරයිනි, එසේ වී නම්, තෙපි මෙහි හිඳිවු. තොපට මම දහම් දෙසන්නෙමි”. “ස්වාමීනි, එසේ ය” යි යහළු වූ ඒ භද්‍රවර්ගිකයෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ උන්වහන්සේ අසළින් හිඳ ගත්තා. .

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකථාව දේශනා කරනු ලැබුවා.. එනම් (මීට පෙර විස්තර කොට ඇත.) දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන්ගේ දෝෂය ලාමකභාවය කෙලෙසීම පැවිද්දෙහි අනුසස් ද යන මෙම උතුම් කරුණු ඔවුනට පහදා දෙනු ලැබුවා.

ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේට ඔවුන් සුදුසු සිත් ඇත්තන්, මොළොක් සිත් ඇත්තන්, නීවරණ රහිත වූ සිත් ඇත්තන්, ඔදවැඩි සිත් ඇත්තන්, පහන් සිත් ඇත්තන්, යි දත්සේක් ද, එවිට බුදුවරුන් උසස් කොට සළකන ධර්‍ම දේශනාවක් වී ද, දුඃඛසත්‍යය සමුදය සත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුස්සත්‍යය දේශනා කරනු ලැබුවා. . පහ වූ කිලිටි ඇති පිරිසිදු වස්ත්‍රයක් යම් සේ මනා කොට ම සායම් ගන්නේ ද, එ පරිද්දෙන් ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ”යි පහ වූ රාගාදි රජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති අධිගමනයනට පත්වුණා. ඒ භද්දවග්ගිකයන් අතුරෙන් යමෙක් සෝවාන් මාර්ගයටද, කිසිවෙකු සකෘධා මාර්ගයටද , තවත් කෙනෙකු අනාගාමී මර්ගයනටද පත්වුණා. මේ ත්‍රිවිධ මාර්‍ගයෝම ධර්‍මචක්‍ෂුයැයි කියනු ලබනවා. එහෙත් ඒ අය ඒ අවස්ථාවේ අරහත්වයට පත්වුන බව කොහෙවත් සඳහන් නැහැ. තිසක් පමණ වූ ඒ භද්දවග්ගිකයෝ තුණ්ඩිල ජාතකයෙහි ධූර්‍තයෝ තිස් දෙනෙක් වුණා. එකල්හි තුණ්ඩිලොවාදය අසා පන්සිල් රැක්කා. ඒක හරිම ලස්සන ජාතක කතාවක්. එය පසු දිනක ලියන්නම්. හැකිනම් සොයාබලා කියවන්න. ඒ ඔවුන්ගේ පූර්‍වකර්‍මය කියවෙන කතා පුවතයි. .

දක්නාලද සිවුසස් දහම් ඇති පැමිණි සිවුසස්දහම් ඇති අවබෝධ කළ සිවුසස්දහම් ඇති හාත්පසින් බැස ගත් සිවුසස්දහම් ඇති දුරු කළ විචිකිච්ඡා ඇති පහ වූ කෙසේ කෙසේ දැ යි පැවති සැක ඇති විශාර ද භාවයට පැමිණි ශාස්තෘශාසනාවබෝධයෙහි අන් පිහිටක් වුවමනා නැති ඔවුන් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි දන්වා සිටියා. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරණ පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු ය” යි වදාරනු ලැබුවා. එයම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව ද වුණා.

විනය – අට‍්ඨකථා – මහාවග‍්ග – අට‍්ඨකථාමහාඛන්‍ධකං – භද‍්දවග‍්ගියකථා බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමි පාණන්වහන්සේගේ “බුද්ධ චරිතය” කෘතියේ උප්ග්‍රන්තය