අපේ බුදුහාමුදුරුවෝ 309 (සන්තිකේ නිධානය)

 

ප්‍රථමප්‍රාතිහාර්‍ය්‍ය

බුදුපියාණන් වහන්සේ පෙර කී පරිදී උරුවේලකාශ්‍යප ජටිලයාගේ අවසරය ගෙන ගිනිහල්ගෙය තුල සමාධි සුවයෙන් වැඩ සිටියා. ඒ මහා බලසම්පන්න නාගයෙකු දමනය කරන්නට නොවෙයි. උරුවේලකාශ්‍යප, නදීකාශ්‍යප, ගයාකාශ්‍යප, යන අයට දර්මය අවබෝධ කර දීමට. ඔවුන් ඒ වනවිටත් අරහත් ඵල ලාභීන් ලෙස සිතාගෙන සිටියේ. එවැනි වැරදි දෘෂ්ඨියකට එළඹ සිටින කෙනෙකුට විශේෂයෙන්ම අධික මාන්නක්කාර අයෙකුට හරිමග පෙන්වීම ලෙහෙසි නැති බව වර්තමානයේ අරහත් ඵල ලාභී යැයි සිතා සිටින භික්ෂුන් දෙස බැලූ විට ඔබට තේරෙන්නට ඕන. එවැනි අයෙකුව නිවැරදි කල හැක්කේ බුදුවරයෙකුට පමණයි කියලයි මට සිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි සමහරවිට ඒ අය සංසාරය පුරාවට පාරමී පුරමින් පැමිණි පිරිස් වන්නටත් පුළුවන්. ඒ බව දන්නෙත් බුදුවරුනේ. එවැනි උතුමන් හට දර්මය අවබෝධ කරලීමට බුදුවරුන් තමාහට කළහැකි හැම දෙයක්ම කරනවා. මෙය කියවන ඔබත් එහෙම කෙනෙකු වන්නට ඇති. ඒ කෙසේවෙතත් බුදුරජාණන් වහන්සේ මිනිසුන් ඉදිරියේ පවත්වනු ලබන ප්‍රථම ප්‍රාතිහාර්ය සඳහා සුදානමින් වැඩ සිටියේ.

සුළු වේලාවකින් ඒ ඉතාමත් බලසම්පන්න දරුණු නාග රාජයා ගිනිහල්ගෙට අතුලුවුනා. තම නාග භවන තුල වැඩසිටි බුදුරජාණන් වහන්සේ නිසා ඔහුට දැනුණේ මහා අසතුටක්. ඒ නාගරාජයා ප්‍රථමයෙන්ම කරන්නට වුනේ තදින්ම තම මුවින් විෂ දුම් පිටකිරීමයි. නාගරාජයාගේ ඇතුළුවීමත් දුම් පිටකිරීමත් බුදුරජාණන් වහන්සේ ද දුටුවා. ඉන් පස්සේ උන් වහන්සේට මෙහෙම සිතුනා.

 “මම මේ නාගයාගේ සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇටමිදුලු ද නො ගටා සියතෙදින් ඔහුගේ තෙද නසන්නේ නම් යෙහෙකැ” .

භාග්‍යවතුන් වහන්සේත් එබඳු වූ ඍද්ධියක් කොට තදින් දුම් පටල මවනු ලැබුවා. මේ දුටුව ඒ නාග රාජයාට හොඳටෝම තරහ ගියා. කෝපය ඉවසා ගැනීමට නොහැකි වූ ඔහු කලේ මහා ගින්දර වැටියක් ඇවිලිමයි. නාග රාජයා සිතන්නට ඇති බුදුරජාණන් වහන්සේ එයින් භීතියට පත්වේවි කියලා. භාග්‍යවතුන් වහන්සේ ද තේජෝධාතුවට සමවැද මහා ගිනි වැටියක් අවුළුවනු ලැබුවා.. දෙදෙනා විසින්ම මෙලෙස මහා ගිනිදැල් ඇවිළ ගත්කල්හි ගිනිහල්ගෙය ම ගින්නෙන් ඇවිළ ගත්තා සේ පිටතට පෙනෙන්ට වුනා. ඒ අවට හාත්පසම ගින්නෙන් දිලිසෙන්නට වුනා. ගිනිදැල් බුර බුරා නැගෙමින් අවට ගිනිදළු විසිරී ගියා. . එවෙලෙහි ඒ අවටසිටි ජටිලයෝ ගිනිහල්ගෙය පිරිවරා “භවත්නි, මනා රූ ඇති මහාශ්‍රමණ තෙමේ ඒකාන්තයෙන් නාගයා විසින් වෙහෙසෙනුලැබේ ය” කියන්නට වුනා.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ මුළු රෑ පුරාවටම ඒ නාගයාගේ සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද ඇටමිදුලු ද නො ගටා නොපෙළා හානියක් නොකට උන්වහන්සේගේ තෙදින් ම ඔහුගේ තෙද අබිබවා දමනය වූ පසු තම පාත්‍රය තුලට බහාලනු ලැබුවා. බහා “කාශ්‍යපය, මේ තාගේ නාගතෙමේ ය. මොහුගේ තෙද මාගේ තෙදින් අභිභවනය කරණලදැ”යි උරුවේලකාශ්‍යපජටිලයාහට පෙන්වනු ලැබුවා. එවැනි ප්‍රාතිහාර්යක් සියසින්ම දැකලත් ඔහුගේ මාන්නය බිඳුනේ නැහැ. ඔහුට මෙලෙස සිතක් පහල වුනා.

“යමෙක් චණ්ඩ වූ ඍද්ධි ඇති වහා පැතිරෙන විස ඇති දරුණු විස ඇති නාරජුගේ තෙද සියතෙදින් නසන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි මේ අදහස තමන්ගේ සිතේ පහල වුනා. ඉන්පස්සේ උරුවෙලකාශ්‍යපජටිලතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිවා. “මහාශ්‍රමණය, මෙහි ම වාසය කරවු. මම නුඹවහන්සේට නිති බතින් උපස්ථාන කරමි”යි කියා සිටියා. එහෙත් ඔහුගේ මාන්නයේනම් තවමත් අඩුවක් පෙනෙන්නට නැහැ.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

error: Content is protected !!