අපේ බුදුහාමුදුරුවෝ 313 (සන්තිකේ නිධානය)

 

පඤ්චම ප්‍රාතිහාර්‍ය්‍යය

බලන්න මෙච්චර කාලයක් පාරමිතාවන් පුරමින් අනේකවිධි පින්කම් කරමින් පැමිණි උරුවෙලකස්සප බුදුරජාණන් වහන්සේ මුණගැහිලත් තවත් ප්‍රමාද වන සැටි. ඒ තමයි මේ භිහිසුණු සසරේ හැටි. බුදුරජාණන් වහන්සේ තවමත් නිශ්චිත හෝරාව එනතෙක් බලමින් උරුවෙල් දන්ව්වේම වැඩසිටිනවා. දැන් එයටත් බාධාවක් පැමිණෙමින් තිබෙන මොහොතක්.

ඒ පාර දැන් උරුවේලකාශ්‍යපජටිල තුමා මහායාගයක් සඳහා සුදානම් වනවා. මම හිතන්නේ එය වාර්ෂිකව කරනු ලබන්නක් විය හැකියි. මෙදින තමයි මුළු දනවුවැස්සෝ බොහෝ වූ කෑයුතු දේත් බෙදිය යුතු දේත් ගෙණ පැමිණෙන දිනය. සමහරවිට මුළු අවුරුද්ද පුරාවටම එළැඹෙන විශාල වශයෙන් ලාභසත්කාර ලැබෙන එකම එක දිනය හෝ දින කිහිපය වන්නටත් පුළුවන්. බල ලෝභය කොතරම්ද? ඒ නිසාම හින්දද කොහෙද ඒ ඔහුගේ සිතෙහි මෙලෙස පවිටු සිතිවිල්ලක් පහල වුණා.

“දැන් මාගේ මහායාගය එළඹ සිටියේ ය. අඟුමගදදනවුවැස්සෝ බොහෝ වූ කෑ යුතු දේත් බිදියයුතු දේත් ගෙණ එළඹෙන්නාහු ය. ඉදින් මහාශ්‍රමණ තෙමේ මහාජනසමූහයා මැද ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයක් කෙළේ නම්, මහාශ්‍රමණයාගේ ලාභසත්කාර ය වැඩෙන්නේ ය. මගේ ලාභසත්කාරය පිරිහෙන්නේ ය. එහෙයින් මහාශ්‍රමණ තෙමේ හෙට නො එන්නේ නම් යෙහෙකැ” යි මෙබඳු සිතක් උපන්න.

බලන්න කල්ප කාලාන්තරයක් ගුණදම් වඩමින් පාරමිතා පුරමින් පැමිණෙන පුද්ගලයන් හටත් ලභාසත්කාරය බුදුන් අභියසම සිත මෝහයට පත් කරයි නම් අපි ගැන කුමන කතාද?

ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ ඒ සිතිවිල්ල මනසින් දුටුවා. උන්වහන්සේ ඔහුට තව දුරටත් ඔහුව බියගැන්වීමට හෝ ඔහුගේ චිත්ත ඒකාග්‍රතාවට බාධාවක් වන සැටියට එහිම රැඳී සිටින්න උත්සාහ දැරුවේ නැහැ. එදිනම උතුරුකුරුදිවයිනට වැඩ එයින් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්තවිල සමීපයෙහි දී වළඳා එහි ම දිවාවිහරණය කරමින් සමවත් සිතෙන් වැඩ සිටියා. ඒ සියල්ලම නිමා වීමට ඉඩහැර යලිත් උරුවේලයට වැඩම කරනු ලැබුවේ ඔහු වෙනුවෙන්ම මහත් වූ කරුණාවෙන් බව ඔහුවත් දැන සිටියේ නැහැ. හැබැයි ඒ මහත් වූ මෛත්‍රී සිත නිසාද මන්දා උරුවේලකාශ්‍යප ජටිලතෙමේ ඒ රැය ඉක්ම ගිය සැනින් යලිත් භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට

“මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහා ශ්‍රමණය, කුමක් නිසා ඊයේ නො ආවහු ද? එහෙත් ‘අපි මහාශ්‍රමණතෙමේ කුමක් නිසා නො ඒ දැ?’ යි ඔබවහන්සේ සිහිපත් කෙළෙමු. කෑ යුතු දෙය ද බිදියයුතු දෙය ද පිළිබඳ ඔබ වහන්සේගේ කොටස තබන ලද්දේ ය” යි මොනවත් නොදන්නා ලෙස කියා සිටියා.

එවිට කවදත් බොරුවක් නොකියන භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඔහුගේම පවිටු සිතිවිල්ල ගැන මෙසේ පහදා දුන්නා.

‘කාශ්‍යපය, නුඹට ‘දැන් මාගේ මහායාගය එළඹ සිටියේ ය. අඟුමගදදනවුවැසි ඉතා වැඩි දෙනෙක් බොහෝ වූ කෑ යුතු දේත් බිදිය යුතු දේත් ගෙණ එළඹෙන්නාහු ය. ඉදින් මහාශ්‍රමණ තෙමේ මහාජනසමූහයා මැද ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයක් කරන්නේ නම්, මහාශ්‍රමණයාගේ ලාභසත්කාරය වැඩෙන්නේ ය. මගේ ලාභසත්කාර පිරිහෙන්නේ ය. එහෙයින් මහාශ්‍රමණ තෙමේ හෙට නො එන්නේ නම් යෙහෙකැ’ යි මෙබඳු සිතක් නො වූයේ ද? යැයි අසා සිටියා.

“කාශ්‍යපය, ඒ මම නුඹගේ සිත මා සිතින් දැන උතුරුකුරු දිවයිනට ගොස් එයින් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්තවිල සමීපයෙහි දී වළඳා එහි ම දිවාවිහරණය කෙළෙමි” යි පවසා සිටියා. හරිම පුදුමයි. මට හිතුනා ලජ්ජා හිතේවි කියලා. නැහැ මාන්නය ඒ සියල්ල යටපත් කරලා ඔහුට නැවතත් සිතුනේ පෙර පරිදිමයි.

“යමෙක් සිය සිතින් අනුන්ගේ සිත දැන ගන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේම ය. එහෙත් මා මෙන් රහත්, නො වේ මැ”

ඔබට සමහරවිට සිනහ යනවා ඇති. සමහරවිට තරහ යනවත් ඇති. මටත් එහෙමයි. එහෙත් අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ලම ඉක්මවා ගොස ඉවරයි. ඒ කියන්නේ ඇලීම සහ ගැටීම. උන්වහන්සේ උරුවේලකාශ්‍යපජටිල තුමාගේ හිල්දානය වළඳා ඒ වනලැහැබෙහි ම තව දුරටත් ඔහු වෙනුවෙන්ම වැඩ සිටියා. හරිම පුදුමයි. .

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර