Ape Budu Hamuduruwo 420

අපේ බුදුහාමුදුරුවෝ 420 (සන්තිකේ නිදානය)

 

රාහුල කුමාරයා 03

රාහුල කුමරු පැවිදි කිරීම.

ඉහතින් කී ආකාරයට සක්විති කිරුළටද හිමිකම් කියා පාන දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් හෙබි, රූපශ්‍රීයෙන් ද, ප්‍රපාතවත් භවෙන්ද අගතැන්පත් වූ, පියපුතු දෙපළගේ ගමන බාහිර ලෝකයට පෙනුනේ ඒ විදිහට. රාහුල කුමරුන් හා සමග වඩින භාග්‍යවතුන් වහන්සේව අට්ටකතා ආචාරීන් වහන්සේලා විස්තතර කරනු ලැබුවේ “සවස්යාමයෙහි මැණික් ගුහාවකින් නික්මී ගොදුරට පිළිපන් කේශර සිංහයකු මෙන් වුණා.” යනුවෙන් ගොදුරු සොයමින් යන සිංහරාජයෙකුට බුදුරජාණන් වහන්සේ සමාන කරමින්. එය සත්‍යයක්. උන්වහන්සේ මේ රැගෙන යන්නේ තවත් ගොදුරක් සංසාර සාගරයෙන් එතෙර කරවීමට. එපමණක් නෙවෙයි තව බොහෝ අය සිටිනවා ගොදුරු කරගැනීමට. ඒ අය සියලුදෙනාම භාරතය තුල විසිර ගිහින්. බුද්ධත්වයෙන් පසු මේ ගත වෙන්නේ දෙවැනි වසරයි. තවත් අවුරුදු හතලිස් තුනක කෙටි කාලයක් තුල ඉලක්කමින් ගණනය කල නොහැකි කාල පරිච්චේදයක් තුළ පාරමී පිරූ ඒ සිහිනයේ අවසාන ගොදුර දක්වා සසරෙන් එතෙර කරවිය යුතු අභියෝගය උන්වහන්සේ අභියස.

 ආරාමය ඉදිරියට වැඩමකළ උන්වහන්සේ මෙලෙස සිතන්නට වුණා ‘මේ කුමාරතෙමේ අන් අයගේ දැනුවත් කිරීම මත පියසතු යම් ධනයක් කැමැත්තේද, ඒ ධනය සසරට ඇතුළත්ය. දුක්සහිතය. එබැවින් මොහුට බෝමැඩදී ලද සප්තවිධ ආර්‍ය්‍ය ධනය දෙමි. ලොකෝත්තර දායාදයට ඔහු හිමියකු කරමි. ඉන්පසු ඒ මහා කාරුණිකයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර මහරහතන් වහන්සේට ආමන්ත්‍රණයකරනු ලැබුවා. ආමන්ත්‍රණය කොට, “තෙන හි ත්‍වං සාරිපුත්ත රාහුලං කුමාරං පබ්බාජෙහි”යි වදාරනු ලැබුවා. යම්හෙයකින් මේ රාහුල කුමාරයා දායාද ඉල්ලාද, එහෙයින් ඔහුව ලොකොත්තරදායාද ප්‍රතිලාභය පිණිස පැවිදිකරත්වා’ යන්න එහි කෙටි අර්‍ත්‍ථයයි..

සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියන්නේ අපේ බුදුහාමුදුරුවන්ගේ දකුණු අත වගේ සිටි අග්‍රශ්‍රාවක. අන්‍යයන් අතරින් ඒ වගකීම පැවරුවේ උන්වහන්සේට ඒ හින්දාම වන්නට ඇති. ඒ අවස්ථාවේ සාරිපුත්තයන් වහන්සේට යම් ප්‍රශ්ණයක් සිතට පැමිණියේ එතරම්ම විනය කරණු පිළිබඳව සැළකිලිමත් වූ නිසා. උන්වහන්සේ මෙහෙම හිතනවා. (මෙහි ගරුභාවය පිළිබඳව සළකා පාලි වාක්‍යයත් එහි තේරුමත් සඳහන් කරනවා.)

“ඉදානි යා සා භගවතා බාරාණසියං තීහි සරණගමනෙහි පබ‍්බජ‍්ජා ච උපසම‍්පදා ච අනුඤ‍්ඤාතා” භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවරදී සරණාගමනින් (තිසරණයෙහි පිහිටා ) සිද්ධ කරගන්න පැවිද්දත් උපසම්පදාවත් අනුදැන වදාරලා තිබෙනවා.

“තතො යස‍්මා උපසම‍්පදං පටික‍්ඛිපිත්‍වා ගරුභාවෙ ඨපෙත්‍වා ඤත‍්තිචතුත්‍ථෙන කම‍්මෙන උපසම‍්පදා අනුඤ‍්ඤාතා” ඉන්පසු කාලයක දී භාග්‍යවතුන් වහන්සේ ඒ උපසම්පදාවේ ගරු භාවය ගැන හිතලා තිසරණ ගමනයෙන් දෙන උපසම්පදාව ප්‍රතික්ෂේප කරලා ඤත්තිචතුත්ථ කර්ම කියන කර්ම වාක්‍යයකින් උපසම්පදාව අනුදැන වදාරනවා.

“පබ‍්බජ‍්ජා පන නෙව පටික‍්ඛිත‍්තා” නමුත් සරණාගමනයෙන් සිද්ධ කළ පැවිද්ද කවදාකවත් ප්‍රතික්ෂේප කළේ නෑ.

“න පුන අනුඤ‍්ඤාතා” නැවත එය අනුදැන වැදෑරුවෙත් නෑ. උපසම්පදාව ප්‍රතික්ෂේප කළා නමුත් පැවිද්ද අනුදැන වදාරනවා.

“තස‍්මා අනාගතෙ භික‍්ඛූනං විමති උප‍්පජ‍්ජිස‍්සති” නමුත් අනාගතයේ භික්ෂුන් වහන්සේලාට මේ පිළිබඳ සැක සංකා උපදින නිසා

“අයං පබ‍්බජ‍්ජා නාම පුබ‍්බෙ උපසම‍්පදාසදිසා” මේ තිසරණ සරණ වූ පැවිද්ද මුලින් උපසම්පදා කළා හා සමානයි කියලා කියනවා.

“කිං නු ඛො ඉදානිපි උපසම‍්පදා විය කම‍්මවාචාය එව කත‍්තබ‍්බා උදාහු සරණගමනෙහී”ති.” එහෙමනම් මේ කාලයේ කලයුත්තේ කිමෙක්ද? රාහුල කුමාරයාව උපසම්පදා ව කර්‍මවාක්‍යයෙන්ම කළ යුතුද, නැතහොත් සරණා ගමනයෙන්ම කළයුතුදැ’යි උන්සේට විමතියක් ඉපදුනා. ඒ නිසා ධර්‍ම සේනාධිපති වූ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන භාග්‍යවතුන් වහන්සේ ලවා නැවත ප්‍රව්‍රජ්‍යාව අනුදන්වාලනු කැමතිව ‘ස්වාමීනි’ මම කෙසේ රාහුල කුමරු පැවිදි කරම්දැ’යි විචාරනු ලැබුවා. ඒවෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, මම සරණ ගමනයෙන් හෙරණ පැවිද්ද අනුදනිමි. මහණෙනි, මෙසේ පැවිදි කළ යුතු ය. පළමු කොට කෙස් රැවුල් බැහැර කරවා කසාවත් හඳවා උතුරුසඟසිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වඳවා උක්කුටිකයෙන් හිඳුවා ඇඳිලි ගන්වා ‘මෙසේ කියව’ යි කිය යුතු ය. ‘බුදුන් සරණ යමි. දහම් සරණ යමි. සඟුන් සරණ යමි. දෙවනුව ද බුදුන් සරණ යමි. දෙවනුව ද දහම් සරණ යමි. දෙවනුව ද සඟුන් සරණ යමි. තෙවනුව ද බුදුන් සරණ සරණ යමි. තෙවනුව ද දහම් සරණ යමි. තෙවනුව ද සඟුන් සරණ යමි යි. මහණෙනි, මේ තුන් සරණගමනයෙන් හෙරණ පැවිද්ද අනුදනිමි” යි වදාරනු ලැබුවා.

ඉන්පස්සේ මහාමෞද්ගල්‍යායන ස්ථවිරතෙමේ රාහුල කුමරුගේ හිසකෙස් සිඳ කසටවත් දී තිසරණයේ පිහිටවනු ලැබුවා. . මහාකාශ්‍යප ස්ථවිරතෙමේ අවවාදාචාර්‍ය්‍ය වූවා. එහෙත් යම්හෙයකින් ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව උපාද්ධ්‍යායයා මුල්කොට ඇත්තීද එහෙයින් උපාද්ධ්‍යායතෙමේ අධිපතිවනවා. ආචාර්‍ය්‍යතෙමේ අධිපති නොවනවා. එහෙයින් “අථ ඛො ආයස්මා සාරිපුත්තො රාහුලකුමාරං පබ්බාජෙසි”යි කියනලදී. මෙහිදී සාරිපුත්ත මහරහතන් වහන්සේ උපාද්ධ්‍යායන් වහන්සේ වුණා.

 

උපකාර වූ මුලාශ්‍ර

රාහුලවත්ථුකථා මහවග්ග අටුවාව මහාඛන්‍ධක වර්‍ණනාව

Ape Budu Hamuduruwo 419

අපේ බුදුහාමුදුරුවෝ 419 (සන්තිකේ නිදානය)

 

රාහුල කුමාරයා 02

 සසර පුරා ලැබූ මවු පුතු උණුහුමේ අවසන් නිමේෂය

එදා භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩිය පසු ගතවෙන සත්වෙනි දවස. ශුද්ධෝදන රජතුමාගේ ආරාධනය පරිදි එදිනත් භාග්‍යවතුන් වහන්සේ ඇතුළු විසිදහසක් වූ මහා සංඝරත්නය දානය සඳහා රජමාළිගයට වැඩමකරලා. දාන කටයුතු අවසානයේ සඟ පිරිවර සමග රජමාලිගයෙන් පිටතට වඩින දර්ශනය යසෝදරාවත් බලාගෙන සිටියේ හැඟීම්බරව. ඇයගේ උණුසුමේ රාහුල පුතුද සිටිනවා. මේ සංසාරයේ සෙවනැල්ල මෙන් පැමිණි දීර්ඝ ගමනෙහි එකිනෙකාගේ ආදරය ලබන අන්තිම මොහොත. ඇය ආදරයෙන් තව තවත් ඔහුව තුරුල් කරගත්තා. ඔවුන් දෙදෙනාම දැන සිටියේ නැහැ ඒ මවු පුතු සෙනෙහස එකිනෙකා විඳිනු ලබන ඒ අවසාන මොහොත කියලා. එසේ තමනට තුරුළු වී බුදුරජුන් ඇතුළු පිරිස වඩින දර්ශණය බලමින් සිටි රාහුල කුමරාට එතුමිය මෙලෙස කියනු ලැබුවා.

 ‘පුත’ විසිදහසක් ශ්‍රමණයන් විසින් පිරිවරණ ලද රන්වන් වූ බ්‍රහ්ම රූපයට සමාන වූ රූපයක් ඇති මේ ශ්‍රමණයා බලව, මෙතෙමේ තාගේ පියාය, මොහුට මහත් නිධාන ඇත්තේය, ඒ නිධාන මොහු ගිහිගෙයින් නික්මීමෙහි පටන් නොදැක්කෙමි, යව, ඔහුගෙන් දායාද ඉල්ලව, පියතුමනි ‘කුමර වූ මම සක්විති වන්නෙමි’ මට ධනයෙන් ප්‍රයෝජන ඇත්තේය. මට ධනය දුන මැනැව, පියසතු ධනයට පුත්‍රතෙමේ ස්වාමියාමය’යි කියා ‘භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යවනු ලැබුවා. කුමාරයාද භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට ගොස් පිතෘ ස්නෙහය ලබා තුටු සිත් ඇතුව, ‘පියතුමනි, ඔබගේ සෙවන සැපය, මට හිමිවිය යුතු ඔබගේ දායාදය දෙනු මැනව” කියා අනිකුදු බොහෝ තමාට අනුරූප වූ වචන කියමින් පසුපසින් ගිය මනරම් දර්ශනය දෙස යසෝදරාව බලා සිටියේ ඉන්පසුව වන්නට යනදේ නොදැන මහත් වූ සොම්නසින්. භාග්‍යවතුන් වහන්සේ කුමරු නොනැවැත්වනු ලැබුවා. පිරිවර ජනතෙමේද භාග්‍යවතුන් වහන්සේ සමග යන්නා වූ රාහුල කුමරුන්ව නවතාලන්නට අසමර්‍ත්‍ථ වුනා. එවිට භාග්‍යවතුන් වහන්සේ පියවරින් පියවර තබමින් ලැසිගමනින් පෙරටුව වඩින්නට වුණා. පුත් රාහුල උන්වහන්සේ පසුපසින් සුරතල් කතා කියමින් පානගන්නට වුණා.

එහිදී භාග්‍යවතුන් වහන්සේ සුපිපි සල්වනයක් මැද සිට යහපත් බිමකට බැසීමට නික්මුණු උතුම් මත් ඇතකු මෙන් බැබලුණා. රාහුලභද්‍ර උතුම් හස්තියාගේ පසුපසින් නික්මුණු ඇත්පැටවකු මෙන් වුණා. භාග්‍යවතුන් වහන්සේ සවස්යාමයෙහි මැණික් ගුහාවකින් නික්මී ගොදුරට පිළිපන් කේශර සිංහයකු මෙන් වුණා. රාහුලභද්‍ර සිංහරාජයා ලුහුබඳිමින් නික්මුණු සිංහ පෝතකයකු මෙන් දිස්වුණා. භාග්‍යවතුන් වහන්සේ මැණික් පව්වක් වැනි වන ලැහැබින් එන මහ දත්ඇති මහා ව්‍යාඝ්‍රයෙකු මෙන් වුණා. රාහුලභද්‍ර ව්‍යාඝ්‍රරාජයා අනුව යන ව්‍යාඝ්‍ර පෝතකයකු මෙන් දිස්වුණා. භාග්‍යවතුන් වහන්සේ සිම්බලි පොකුණින් නික්මුණු ගුරුළු රජුවැනි වුණා. රාහුලභද්‍ර ගුරුළුරජු පසු පසින් නික්මුණු ගුරුළු පොව්වකු මෙන් වුණා. භාග්‍යවතුන් වහන්සේ චිත්‍ර කූට පර්වතයෙන් ගුවන්තලයට පියෑඹු ස්වර්ණහංස රාජයකු වැනි වුණා. රාහුලභද්‍ර හංසරාජයා අනුව පියාඹන ස්වර්ණ හංස පෝතකයකු සේ වුණා. භාග්‍යවතුන් වහන්සේ මහ සයුරෙහි පාවෙන මහරන් නැවක් වැනි වුණා. රාහුලභද්‍ර රන් නැවට සම්බන්ධව පසුපසින් බැඳි පහුරක් වැනි වුණා. භාග්‍යවතුන් වහන්සේ චක්‍ර රත්න ආනුභාවයෙන් ගුවන් තලයට සැපත් සක්විති රජුසේ වුනා. රාහුලභද්‍ර රජු අනුව සැපත් පුත්‍රරත්නය වැනි වුනා. භාග්‍යවතුන් වහන්සේ වලාකුළු නැති අහස්තලයට පිළිපන් චන්ද්‍රයා වැනි වුණා. රාහුලභද්‍ර චන්ද්‍රයාගේ මගට පිළිපන් පරිශුද්ධ ඕසධී තාරකාව සේ දිස් වුණා.

භාග්‍යවතුන් වහන්සේද මහාසම්මත ප්‍රවේණියෙහි ඔක්කාක රාජවංශයෙහි උපන්නා. රාහුලභද්‍රද මහාසම්මත ප්‍රවේණියෙහි ඔක්කාක රාජවංශයෙහි උපන්නා. . භාග්‍යවතුන් වහන්සේද රාහුල භද්‍රද සක්ගෙඩියක දැමු කිරක් සේ සුපරිශුද්ධ ජාති ඇති ක්ෂත්‍රිය කුලයෙහි උපන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙන් රාහුල භද්‍රද පසුව රාජ්‍යය අත්හැර පැවිදිවුවා. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය දෙතිස් මහා පුරිස් ලකුණින් ප්‍රතිමණ්ඩිත වුවා. දෙවිනුවර නැගු රුවන් තොරණක් වැනියි. සැමතැන මල් පිපුණු පරසතු රුකක් මෙන් අතිමනෝහරයි. රාහුලභද්‍රගේ ශරීරයද එසේමයි. මෙසේ දෙදෙනාම අහිනීහාර සම්පන්නයි. දෙදෙනාම රජකුලයෙන් පැවිදිවුවා. දෙදෙනම ක්ෂත්‍රිය සුකුමාලයි. දෙදෙනම රන්වන්. දෙදෙනම උපලක්ෂණ සම්පන්නයි. දෙදෙනාම එක් මගකට පිළිපන්නෝ වුණා. පිළිවෙළින් යන්නාවූ චන්ද්‍රමණ්ඩල දෙකෙහි, සුර්ය මණ්ඩල දෙකෙහි, ශක්‍ර සුයාම සන්තුසිත පරනිර්මිත වසවර්ති දිව්‍යරාජ වරුන්ගේද, මහා බ්‍රහ්මයන් දෙදෙනාගේ ශ්‍රීය ද අභිබවන්නාක් මෙන් බැබලුණා.

සම්මා සම්බුද්ධත්වයට පැමිණි තම ආදරණීය සැමියාගේත්, සක්විති රජකමට අයත් ධන නිධාන සොයාගිය තම ආදරණීය පුතාගේත් අවසන් දසුන් සිත්තමක් සේ යසෝදරාවගේ සිතෙහි එලෙස සටහන් වුනේ ඉන්පසු කිසිදිනක කුමරා නැවතත් කුමාර වේශයෙන් ඇයට මුණ නොගැසුන නිසා. එපමණක් නොව එය අපගේ සිතෙහිත් සිත්තමක් මෙන් වසර දෙදහස් පන්සිය හැටහයකට පසුවත් මැවී මැවී පවතින්නේ අන්ත දෙකක වූ මවු පිය ප්‍රේමයේ මධ්‍ය ලක්ෂයක් ලෙසයි. එනම් ලෝකෝත්තර දිවියට පිවිසි තම පියා දීමට බලාපොරොත්තු වූ ඉහළම ලෝකෝත්තර දායාදයත්, ලෞකික ජීවිතයක දිවි ගෙවූ තම මව විසින් බලාපොරොත්තු වූ ලෞකික දායදයේත් අවසන් ඡේදන ලක්ෂණය වූ ලෞකික ලෝකෝත්තර දෙලොවක කුමරා ගතකල මධ්‍ය ලක්ෂය ලෙසයි.

 

උපකාර වූ මුලාශ්‍ර

රාහුලවත්ථුකථා මහවග්ග අටුවාව මහාඛන්‍ධක වර්‍ණනාව

මහාරාහුලෝවාද සූත්‍ර වර්ණනාව

Ape Budu Hamuduruwo 418

අපේ බුදුහාමුදුරුවෝ 418 (සන්තිකේ නිදානය)

 

රාහුල කුමාරයා 01

ශික්‍ෂාකාමීන් අතර අග තනතුර සඳහා විවරණ ලැබූ නිදාන කතාව

රාහුල කුමාරයා පිළිබඳ අපි කොතෙකුත් සරලව අසා තිබුනත් අනෙකුත් උතුම් මහා ශ්‍රාවක පිරිසගේ මෙන්ම නොදත් කරුණු බොහොමයි. ඒ නිසාම ඒ උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේගේ සසර ගමනෙහි “ශික්‍ෂාකාමීන් අතර අග තනතුරෙහි” විවරණ ලැබූ අවස්ථාවේ පටන් දැනගැනීම වටිනා සේ හැඟී ගියා.

ඒ කුමරුගේ උපත ඇසූ සිදුහත් බෝසතාණන් වහන්සේ “රාහුලයෙක් උපන්නා, බන්‍ධනයක් ඇතිවුණා”යි කියූ වදන් ගෙන සුදොවුන් මහරජතුමා “රාහුල” යන නාමය සිය මුණුබුරාට තබනු ලැබුවා. සබ්‍රහ්මචාරී තෙරවරු උන්වහන්සේට “රාහුල භද්‍ර” යැයි අමතනු ලැබුවා. එහි “භද්දො” යනු ප්‍රශංසාත්මක වදනක්. යහපත් වූ භද්‍ර වූ යන්න එහි අර්ථයයි. එසේ උපතේ සිටම පිය ආදීන් විසින් තමා ඇමතූ නමම ගෙන – නුවණැත්තෝ ද උන්වහන්සේට “රාහුල භද්‍ර” යැයි අමතන්නට පටන්ගත්තා.

පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හී පින් දහම් රැස් කරමින් පැමිණි රාහුල කුමරු මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණින් මුහුකුරා ගියා. දිනක් ධර්ම ශ්‍රවණය කරමින් සිටි ඔහු ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුවක් “ශික්‍ෂාකාමීන් අතර අග” තනතුරෙහි තබනු දැක තමාද එම තනතුර ප්‍රාර්ථනා කරමින් සෙනසුන් පිරිසිදු කිරීම්, බැබළවීම් ආදියෙන් මහත් වූ පින්කම් කරනු ලැබුවා.

ඉන්පස්සේ තව සුවිශේෂී වූ පින්කමක්ද ඔහු විසින් කරනු ලැබුවා. ලෝක ජ්‍යෙෂ්ඨ වූ තාදී ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සත්මහල් ප්‍රාසාදයක කැඩපතක් මෙන් ශෝභාමත් ඇතිරියක් අතුරා පූජා කරනු ලැබුවා.

ඒ දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ මහාමුනි වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ රහතුන් දහසක් පිරිවරා ගෙන එදින ගඳ කිළියට පිවිසියා. දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේ ගඳකිළිය බබුළුවමින් බික් සඟන මැද වැඩ හිඳ මෙසේ වදාරනු ලැබුවා.

“යමෙකු විසින් මේ සෙනසුන බබුළුවන ලද ද කැඩපතක් මෙන් ප්‍රභාමත් ඇතිරිල්ලක් මනාව මෙහි අතුරන ලද්දේ ද මම ඔහුගේ අනාගතය පවසමි. ඒ මාගේ වදන් සාවධානව අසවු.

මොහුට සිත සතුටු කරන රන්, රිදී, වෙරළුමිණි වලින් කළ කැඩපත් පහළ වේ.

ශක්‍ර දේවේන්‍ද්‍ර වී සැට සතර වරක් දෙව්රජය කරන මෙතෙම දහස් වරක් සක්විති රාජ්‍යය කරන්නේය.

මෙයින් විසි එක්වන කල්පයේදී සිවුමහා දිවයින හා සිවුමහා සාගරය සහිත පෘථිවියම පාලනය කරන, සතුරු රජුන් ජයගන්නා වූ විමල නම් සක්විති රජව උපදින්නේය.

ඔහුගේ ගඩොලින් කළ නගරය රේණුවතී නමි. එය දිගින් යොදුන් තුන්සීයකි. හතරැස් හැඩයෙන් යුක්තය.

උතුම් වූ කුළු ගෙවලින් යුත් සත් රුවනින් අලංකාර කරන ලද විශ්ව කර්මයා විසින් මැවූ සුදර්ශන නම් ප්‍රාසාදයක් මොහුට පහළ වේ.

නීති විද්‍යාධරයන් ගැවසී එය දශවිධ ශබ්දයන්ගෙන් ගැවසී ගත් දෙවියන්ගේ සුදර්ශන නගරය මෙන් ශෝභාමත්ය.

එම ප්‍රාසාදයේ ශෝභාව හිරු උදාවන කල්හි විහිදේ. එය නිරතුරුව හාත්පස අටයොදුන් තැන බබළන්නේය.

මීට කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.

කුසල බල මහිම ඇති මෙතෙම තුසී පුරයෙන් නික්ම, උන්වහන්සේගේ ඖරස පුත්‍රව උපදින්නේය.

ඔහු ඉදින් ගිහි ගේ වෙසේ නම් සක්විති රජ වන්නේය. තාදී ගුණ සහිතයෝ ගිහිගෙයි ඇලීමට යාම සිදු නොවන දෙයකි.

සුශික්‍ෂිත වූ මෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි වන්නේය. ඔහු රාහුල නමින් රහත් වන්නේය.”

මේ ඔහුගේ අතීත ප්‍රර්ථනා සහිත වූ නිධාන කතාවයි.

උපකාර වූ මුලාශ්‍ර –

රාහුලභද්‍ර ස්ථවිරගාථා වර්ණනාව – කුදුගත් සඟිය අටුවාව – ථේරගාථා – චතුක්ක නිපාතය

Ape Budu Hamuduruwo 417

අපේ බුදුහාමුදුරුවෝ 417 (සන්තිකේ නිදානය)

 

නන්ද කුමරු සහ ජනපද කල්‍යාණි පෙම් යුවළ 04

සිදුහත් කුමරුගේ මව මහමායා දේවියත්, නන්ද කුමරුගේ මව මහා ප්‍රජාපති දේවියත් එක පියාගේ දරුවෝ, සහෝදරියෝ. මහමායා කුමරිය සහ ප්‍රජාපති කුමරියගේ දේහ ලක්ෂණ බැලූ මන්ත්‍රගායන බමුණෝ යම් ලකුණු දැක මේ දෙදෙනාගේම කුසතුළ ඉපදෙන දරුවන් සක්විති රජවන බව පවසා තිබුණා. ඒ නිසාම ශුද්ධෝදන රජතුමා ඔවුන් වියපත් වියට පත් වූ පසු ඔවුන් දෙදෙනාවම විවාහ කරගනු ලැබුවා. සිද්ධාර්ථ කුමරු වගේම නන්ද කුමරුත් සක්විති රජකම උරුම කොට පැමිණි කෙනෙක්. ඒ නිසා ඔහුගේ සිත ඇලෙන්නටම ඕන ගිහිගෙයට. බුදුන් වහන්සේ මේ බව හොඳින් දැනගෙන ඉන්නටත් ඇති. ඒ විතරක් නෙවෙයි ඔහුට නිරන්තරයෙන්ම ජනපද කල්‍යාණිව මායාවක් සේ තම ඉදිරියෙන් මැවී නැවත ඈ වෙත එන ලෙස ආරාධනය කරන අයුරින් ජීවමානව පෙනෙන්නට පටන් ගත්තා ඔහුත් සිහි විකලෙන් වගේ ගියවාර බොහොමයි. එත් ඒ පියමන් කරන හැම අවස්ථාවකම යන මාවතේ ගසක් අසල හෝ වන ලැහැබක් ඉක්මවද්දී ඔහුට බුදුන්වහන්සේ ඉදිරියෙහි සිටින්නා මෙන් දර්ශනය වුණා. එවිට ඔහු නැවත ආපසු හැරී තමන් වසන තැනටම යලිත් පැමිණියා. මෙලෙස උකටලී වූ සිතෙන් බඹසර රැකීමට නොහැකිව සිටි අවස්ථාවේ තමයි ඔහුට භාග්‍යවතුන් වහන්සේගෙන් පණිවිඩයක් ලැබුණේ. ඔහු ඉක්මනින් බුදුරජාණන් වහන්සේ වෙත පියමැන්නේත් අවසර ගෙන නැවත ගිහි ජිවිතයට ඇතුලත් වෙන්නටත් වෙන්න ඇති.

බුදුරජාණන් වහන්සේ නන්‍ද තෙරුන් වහන්සේගේ මේ තත්ත්වය දැන “මම නන්‍ද තෙරුන් වහන්සේ රහත් ඵලයෙහි පිහිටුවන්නේ නම් ඉතා යෙහෙකැයි” සිතා උන්වහන්සේ පනවන ලද අසුනෙහි වැඩහිඳිමින් නන්‍දයෙනි! කෙසේද? ඔබ මේ ශාසනයෙහි සිත් අලවන්නෙහිදැයි අසා සිටියා. එවිට නන්‍ද තෙරුන් වහන්සේ කිසිවක් නොසඟවා “ස්වාමීනි! ජනපදකල්‍යාණිය පිළිබඳ සිත් ඇති බැවින් සසුනෙහි සිත් නොඅලවමියි” කියා සිටියා. ඒ මහා කාරුණිකයාණන් වහන්සේ එවිට එකවිටම ඒ සම්බන්ධව ඔහුට දොසක් නැගුවේ නැහැ. ඒ වෙනුවට විසෙන් විස නසන මහා ඇඳුරෙකු සේ පංච කාමයම අවදිවන ප්‍රශ්නයක්ම නැගුවා, හරිම පුදුමයි.

 නන්‍ද! හිමාල වනයෙහි චාරිකා කර ඇද්ද? ස්වාමීනි! එහි ගොස් නැහැ . එසේනම් අපි එහි යමුයි ආරාධනය කරනු ලැබුවේ තමන්ගේම සහෝදරයා හට ගිහිකල කරනු ලැබූ ආරාධනයක් ලෙසමයි. එවිට නන්ද කුමාරයා “ස්වාමීනි! මට සෘද්ධි නම් නැහැ. මම කෙසේ යන්නද?” බුදුරජාණන් වහන්සේගෙන් පෙරළා ප්‍රශ්ණ කරනු ලැබුවා. එවිට බුදුරජාණන් වහ්නසේ “නන්‍ද! ඔබව මාගේ සෘද්ධි බලයෙන් ගෙන යන්නෙමියි” තෙරුන් අතින් අල්ලාගෙන අහසට පැන නැගී ගමන් කරන්නට වුණා. යන අතර මගදී එක් දැවුණු හේනක් පෙන්වා එහි දැවුණු කණුවක සිටි දැවී ගිය කන් නාසා වලිගය ඇති, දැවී ගිය ලොම් ඇති, කැඩුණු හම ඇති, ලෙයින් වැසුණු එක් වැඳිරියක් ද පෙන්වනු ලැබුවා. නන්‍ද! මේ වැඳිරිය දුටුවාද? එසේය ස්වාමීනි. එසේනම් මෙය හොඳින් බලන්නැයි වදාරනු ලැබුවා.

ඉන්පස්සේ නන්‍ද තෙරුන් රැගෙන සැටයොදුන් රත් සිරියල් තලාව, හිමවතැ මහා නදීන්හි ප්‍රභවය වූ, සීහපාතන, හංසපාතන, කණ්ණුමුණ්ඩක, රථකාර, ඡද්දන්ත, කුණාල, අනෝතත්ත විල ආදි සත්මහා විල්ද , වින්ධ්‍යා නම් තිරිසන් පවුවෙහි හැපී දහරපසක් ලෙස ගලායන ගංගා, යමුනා, අචිරවතී සරභූ, මහී, යන පස්මහා ගංගා,ද රන් පර්වත, රිදී පර්වත, මැණික් පර්වතවලින් සැරසුණු නොයෙක් සියගණන් වස්තූන්ගෙන් රමණීය වූ හිමාල පර්වතයද පෙන්වනු ලැබුවා. ඉන්පස්සේ උන්වහන්සේ තවත් ප්‍රශ්නයක් ඇසුවා. නන්‍ද, තව්තිසාව දැක තිබේද? එවිට “දැක නැතැයි ස්වාමීනි”යි කී විට, “එන්න නන්ද! ඔබට තව්තිසා භවනයද පෙන්වන්නෙමි”යි කියමින් ක්ෂණයකින් එහි රැගෙන ගොස් පඬුපුල් සලස්නෙහි වැඩසිටි සිටියා. ඒ මොහොතේ සක්දෙවිඳු දෙදෙව්ලොව දේව සමූහයා සමග අවුත් වැඳ එකත් පසෙකට වී සිටියා. ඒ මොහොතේ කෝටි දෙකහමාරක් පමණ වූ ඔහුගේ භාර්යාවරුද, පරෙවි පා මෙන් රතු පා ඇති දෙවඟනන් පන්සියයක්ද අවුත් වැඳ එකත්පසෙක ව සිටියා. ඒ සියළුම දෙවඟනෝ කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේ උන්වහන්සේගේ සඟ පිරිසට පාදවල ගැල්වීටම තෙල් ලබා දී ඒ පිනෙන් පරෙවියන්ගේ පා වැනි පාද ලද අය වී දෙවුලොව මෙලෙස ඉපදී තිබුනේ. බුදුරජාණන් වහන්සේ ආයුෂ්මත් නන්‍ද තෙරුන් ලවා ඒ පන්සියයක් අප්සරාවන් දෙස කෙළෙස් අදහසින් නැවත නැවතත් බැලෙව්වා. නන්ද! මේ පරෙවි පා මෙන් රතු අප්සරාවන් දකිහිද? එසේය ස්වාමිනි. මේ අප්සරාවෝ ශෝභමාන වෙත්ද? නැතිනම් ජනපද කල්‍යාණිය ශෝභාමත්ද? ස්වාමීනි! ජනපද කල්‍යාණියට ගලපන විට ඒ වැඳිරිය ශෝභාවත් නොවේ. මේ අප්සරාවන්ට ගලපනවිට ජනපද කල්‍යාණිය ශෝභාවත් නොවේයයි කියා සිටියා. දැන් කුමක් කරන්නෙහිද? කිනම් කර්මයක් කොට ස්වාමීනි! මේ දෙවඟනන් ලැබිය හැකිද? ඔහු ඇසුවේ මහත් උනන්දුවෙන්. එවිට බුදුරජාණන් වහන්සේ නන්ද, පැවිද්දෙකුට අයත් ධර්ම අනුගමනය කොට ලැබිය හැකියයි පවසා සිටියා. මේක අහපු නන්ද පුදුම යෝජනාවක් කළා.

ස්වාමීනි! ඉදින් මට මොවුන් ලබාදීමට ඔබවහන්සේ ඇප වන්නේ නම් මම මහණදම් රකින්නෙමියි යනුවෙන් ඇපයක් ඉල්ලා සිටියා. නන්ද, මහණදම් සම්පූර්ණ කරන්න. මම ඔබට ඇප වන්නම් ඔවුන්ව ලබා දීමට. උන්වහන්සේ ඒ සඳහා ඇප වුණා. නන්ද ආයුෂ්මතුන් වහන්සේට පුදුම සතුටක්. කවුද අකමැති දිව්‍ය අප්සරාවියෝ ලබන්නට.

මෙසේ තෙරුන් වහන්සේ දිව්‍ය සමූහයා මැද බුදුරජුන්ගෙන් පොරොන්දුවක් ලබාගෙන ස්වාමීනි! වැඩිපුර පමා නොකරන සේක්වා. එනු මැනවි. වඩිමු. මම මහණදම් පුරන්නෙමියි කියා සිටියේ සිතේ තිබුණ නොවිසිලිමත් කමට. බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් රැගෙන දෙව්රම් වෙහෙරටම ආපසු වැඩියා. නන්ද තෙරුන් වහන්සේද එතැන් පටන් හොඳින් මහණදම් පුරන්නට පටන් ගත්තා.

දෙවඟනන් නිසා නන්ද හිමිගේ බඹසර හැසිරිමෙහි ඇල්ම දැන එහිදී භාග්‍යවතුන් වහන්සේ තවත් උපයාක් යොදවනු ලැබුවා. දෙවඟනන් ලබාගැනීම වෙනුවෙන් කුළියකට මෙහෙ කරන්නෙකු සේ සළකා දොස් නගන ලෙස මහණුන්ට දන්වා සිටියා. නන්ද හිමි, ඒ හිමිවරුන් දොස් නගනු ලබද්දී, ලජ්ජාවට පත්ව, දහමට අනුව නුවණින් විමසා බලා කටයුතු කොට නොබෝ කලකින්ම අරහත් බව අවබෝධ කළා. නන්ද තෙරුන් සක්මන් කරන මළුවෙහි කෙළවර පිහිටි ගසක වසන දේවතාවා ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැළකොට සිටියා. ඒ වනවිටත් ඒ බව උන්වහන්සේද නුවණින් දැනගෙන සිටියේ. එහෙත් නන්ද තෙරුන් දැන් රහතන් වහන්සේ කෙනෙකු බව නොදන්නා ඒ හිමිවරු පෙර පරිදිම දොස් නගන්නට ලජ්ජා කරන්නට වුණා. භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, දැන් නන්ද තෙරුන්ට එසේ දොස් නොනැඟිය යුතුයැ’යි කියා, කෙලෙසුන් නසා මුනිවරයකු වූ බව පහදා, දහම් දෙසනු පිණිස මහණුන් අමතා වදාරනු ලැබුවා. එහෙත් බුදුරජාණන් වහන්සේ ඔහුට දුන් පොරොන්දුවක් තිබුණා. ඒ තමයි දිව්‍ය අපසරාවියෝ ලබාදීම.

දෙවන දිනයෙහි නන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේ වෙතට පැමිණියා. පැමිණ . ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට පරෙවිපා ඇති අප්සරාවන් පන්සියයක් ලබා ගැනීමට ඇපකරුවෙක් වූසේක් ද මම භාග්‍යවතුන්වහන්සේ අද ඒ ඇපයෙන් නිදහස් කරමි’ යි කියා උන්වහන්සේව පොරොන්දුවෙන් නිදහස් කළේ උන්වහන්සේ මේ ලෝකයෙන් එතෙර වූ නිසා. නන්‍දයෙනි, යම් විටෙක ම තොප සිත උපාදාන රහිත ව ආස්‍රව කෙරෙන් මිදුණේ ද, එ විට මමද මේ ඇපයෙන් මිදුනෙමි”යි භාග්‍යවතුන් වහන්සේ ද එය අනුමත කරනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහිම මේ උදාන වාක්‍යය පලකරනු ලැබුවා.

“යමෙකු විසින් දෘෂ්ටි නැමැති මඩවගුර හෝ සසර නැමැති මඩවගුර තරණය කරන ලද ද, කෙලෙස් නැමැති කටුව මඩින ලද ද, යමෙක් මෝහක්‍ෂයට (රහත්පලයට) පැමිණියේ ද, ඒ මහණ සුවදුක් දෙක්හි නො සැලේ.”

 ශාස්තෘන් වහන්සේ පසු කාලයක දෙව්රමෙහි වාසය කරන අවස්ථාවේ නන්ද තෙරුන් ඉඳුරන්හි වැසූදෙරටු ඇති අය අතුරින් අග තනතුරෙහි පිහිටුවා සිටියා.

උපකාර වූ මුලාශ්‍ර 

මහාපජාපතී ගොතමී තෙරණිය අඞ්ගුත්තර නිකාය අටුවාව ඒකක නිපාත අටුවාව එතදග්ග පාළියථෙරී පාළි වර්‍ණනාව

නන්‍ද තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය අටුවාව ඒකක නිපාත අටුවාව එතදග්ග පාළියසිවුවෙනි වර්‍ගය

පෝතලිය සූත්‍ර වර්ණනාව මැදුම් සඟිය අටුවාව මජ්ඣිම පණ්ණාසකය අටුවාව ගහපති වර්ගය

තෙලපත‍්තජාතකවණ‍්ණනා – ඛුද‍්දකනිකාය – ජාතක අට‍්ඨකථා -එකකනිපාතය – ලිත‍්තවග‍්ගය

Ape Budu Hamuduruwo 416

අපේ බුදුහාමුදුරුවෝ 416 (සන්තිකේ නිදානය)

 

නන්ද කුමරු සහ ජනපද කල්‍යාණි පෙම් යුවළ. 03

සැළකිය යුතුයි.

නන්ද කුමරු පිළිබඳව ලියවෙන මෙම විස්තරය ඉදිරියේදී ලිවිය යුත්තක් වුවත් නන්ද කුමරුගේ කතාව ලියා අවසන් කලයුතු නිසා මෙලෙස එළිදක්වන්නට සිත්වුනා. එම නිසාම මෙම කොටසට අයත් යම් ස්ථාන, විහාර, පුද්ගල චරිත මෙම මොහොත වනවිට බුදුරජාණන් වහන්සේට මුණ නොගැසුණ මම ඔබට විස්තර නොකළ කරුණු විය හැකියි. ඒ ඒ කරුණු ඔබට සවිස්තරව ඉදිරියේදී විස්තර කිරීමට හැකිවේවි!.

නන්ද ස්ථවිරයන් වහන්සේ සිවුරු හැර යාමට තීරණය කිරීම

නන්ද කුමරුන්ව පැවිදි කරනු ලැබුවත් ඔහුගේ සිත සෑම ක්ෂණයක් පාසාම ජනපද කල්‍යාණිය වෙත දිව ගියා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය රැගෙන තථාගතයන් වහන්සේ සමග රජ මාලිගයෙන් නික්මෙන අවස්ථාවෙහි නන්‍ද කුමාරයා බුදුරජාණන් වහන්සේ සමග යන්නේ යයි අසා අඩක් පීරූ කෙස් ඇතිව ජනේලය වෙතට දුවවිත් ඒ අතරින් බලා “ස්වාමීනි! වහාම එනු මැනවයි” යන ජනපද කල්‍යාණිය කියන ලද වචන සිතෙහි දෝංකාර දෙන්නට වුනා. එයම සිහිකරමින්, කලකිරුණා වූ ඔහු ඇල්මක් නැතිව සුදුමැලි පඬුවන් පැහැ ඇතිව නහර ඉල්පී ගිය සිරුර ඇතිව දුකෙන් කල් ගෙවන්නට වුණා. ලෞකික ජිවිතයේ හැටි එහෙමයි.

පසුකාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර නම් වූ අනේපිඬු සිටාණන් පූජාකරන ලද අරමෙහි වැඩ වසන කාලයේ මෙලෙස අකමැත්තෙන් පැවදි කරනු ලැබූ ආයුෂ්මත් නන්‍ද හාමුදුරුවෝ බොහෝ භික්‍ෂූනට “ඇවැත්නි, මම මෙම සස්නෙහි නො ඇලුණෙමි. එහෙත් බඹසර රකිමි. සසුනෙහි නොඇලුණ මා හට බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරැ පියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි දන්වන්නට වුනේ තව දුරටත් තම ආදරවන්තිය වූ ජනපද කල්‍යාණිව නිරන්තරයෙන් සිහියට නැගෙන නිසා වන්නට ඇති. එවැනි අති රූමත් ස්ත්‍රියකගෙන් වෙන්වීම පුරුෂයෙකුට මහා අභියෝගයක් මෙන්ම කල නොහැක්කක් බව බුදුරජාණන් වහන්සේද වරෙක දේශනාකොට තිබෙනවා. ස්ත්‍රියකගේ රූපය, සිනහව, කතාව, ගායනය, පමණක් නොව හැඩීම පවා පුරුෂයන් බන්ධනයට ලක්කරන බව පුරුෂ බන්ධන සුත්‍රයේ සඳහන්. එහෙත් ඒ සියල්ලම අමතක කරනු ලැබුවත් ඇයගේ පහස නම් තම පුරුෂයාට කිසිවිටකත් අමතක කල නොහැක්කක් බව එම සුත්‍ර දේශනාවෙහිම සඳහන්.

මේ බව දන්නා නිසාමදෝ ඒ මහාකාරුණිකයාණන් වහන්සේ ඇයගේ පහසට පෙරම මංගල දිනයෙහි නන්ද කුමරාව ආරණ්‍ය වෙත ගෙන ගොස් මහණ කරනු ලැබුවත්, අනෙකුත් නිමිති සටහන් තව දුරටත් ඔහුට බඹසර දිවියකට ඇරයුම් කලේ නැහැ.

මෙලෙස වැඩි කලක් ගතවීමට පෙරම එක් දිනක් මෙය කණවැකුණු මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය. එළඹැ සකසා වැඳ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ මාතෘ වූ සුළුමවුපුත් ආයුෂ්මත් නන්‍ද තෙමේ බොහෝ භික්‍ෂූනට “ඇවැත්නි, මම් සස්නැ නො ඇලුණෙමි, බඹසර සරමි. බඹසර උසුළන්නට නොහැක්කෙමි. ශික්‍ෂාව හැරැ පියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි කිය කියා යන පුවත සැළ කොට සිටියා.

“උපාය කුසලෙන” යනුවෙන් හික්මවිය හැකි පුද්ගලයන් දමනය කිරීමේ උපායෙහි දක්‍ෂ වූ සමර්ථ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගින්න නිවීම සඳහා ගත්තේ අමුතුම පියවරක්. හරියටම මහ ඇණයකින් කුඩා ඇණයක් ගලවන වඩුවකු මෙන්ම, තෙල් පානයක් සමග ශරීරයට කිරි පොවා වමන විරේචන මගින් සිරුරේ දොස් කිපීම් නසන වෛද්‍යවරයකු මෙන් ද දිව්‍යාංගනාවන් දක්වා ජනපද කල්‍යාණියට ඇලුණු සිත බැහැරට ගෙන, චෝදනා කිරීම් ආදියෙන් දිව්‍යාංගනාවන්ට ඇලුණු සිත ද විරාගී බවට පමුණුවා, මනාව සමථ-විදර්ශනා භාවනාවන්ට යොමු කරවා ආර්ය මාර්ගයෙහි පිහිටුවා . “යෝනිසො පටිපජ්ජිත්‍වා භවෙ චිත්තං උදබ්බහී” යනුවෙන් උදයව්‍යය (ඇතිවන – නැතිවන) දන්නා නුවණින් මනාව සමථ විදර්ශනාදී විසුද්ධ ප්‍රතිපදාවට අවතීර්ණකොට භව සංසාර මඩෙහි ගිලුණු ඔහුගේ සිත ආර්ය මාර්ගය නම් අතින් ගොඩට ගෙන නිවන නම් ගොඩබිමෙහි පිහිටුවීම සඳහා මේ සුදුසු කාලය බව දැන උන්වහන්සේව තමන්වහන්සේ වෙත කැඳවනු ලැබුවා.

උපකාර වූ මුලාශ්‍ර 

නන්‍ද සූත්‍රය – ඛුද‍්දකනිකාය – උදානපාළි – නන්‍දවග‍්ගය

Ape Budu Hamuduruwo 415

අපේ බුදුහාමුදුරුවෝ 415 (සන්තිකේ නිදානය)

 

නන්ද කුමරු සහ ජනපද කල්‍යාණි පෙම් යුවළ . 02

ජනපදකල්‍යාණි

දැන් මෙහිදී සුළු විස්තරයක් කරමින් ජනපද කල්‍යාණිය ගැන මතකයට නැගීම කාලෝචිතයි හැඟුනේ අපේ සිත්වල නන්ද කුමරු, ජනපද කල්‍යාණිය කියන අය නිකම්ම නිකං චරිත වූ නිසයි. ඒ අයගේ සංසාර ගමන අතීත පින්කම් අධිෂ්ඨාන මේ හැම දෙයක්ම ඔබගේ අපගේ සසර ගමනටත් බොහෝ උපකාරී වේවි කියලා සිතුනේ ඔවුන්ගේ පුර්ව ජන්ම භවයන් ගැන කියවද්දී.

අප ඔබ දන්නා, නමින් ජනපද කල්‍යාණිය ලෙස හැඳින්වෙන ඒ උත්තමාවිය පතාගෙන පැමිණියේ රුපසම්පත්තිය නෙවෙයි, ධ්‍යානයෙහි ඇලුම්කළ භික්‍ෂුණීන් අතුරින් අග්‍රස්ථානයට පැමිණීමටයි. එහෙත් ඒ සියලු දේ වළකා මේ සංසාර සාගරයේම සැරිසැරීමට අවශ්‍ය පරිසරය මැනවින් විශ්වය විසින්ම සලසන්නේ ඉතාමත් ආශ්චර්යමත් ලෙස. ඇයට මෙම ලෝකයෙන් එතෙර නොවීමට ස්ත්‍රියකට අවශ්‍ය උතුම්ම ත්‍යාගය ලැබුණා. ඒ තමයි පංච කල්‍යාණයෙන් හෙබි රූප සම්පත්තිය. මේ ඇයගේ නිධාන කතාවයි,

ඇය පියුමුතුරා බුදුරජුන්ගේ කාලයේ හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන පසු කලෙක ඒ ශාස්තෘන්වහන්සේගෙන් ධර්‍මය ශ්‍රවණය කිරීමට නිතරම විහාරයට පැමිණුනා.එක දිනක් එක් භික්‍ෂුණියක ධ්‍යානයෙහි ඇළුම්කරන භික්‍ෂුණීන් අතුරෙන් අගතන්හි තබන්නා වූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඇයද මතු අනාගතයේ ඒ තනතුරම පැතුවා. ඉන් පසුව ඒ පිනෙන් ඕතොමෝ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා අපගේ ශාස්තෘන්වහන්සේ පහළවීමට පෙරාතුවම මහාප්‍රජාපතී ගෞතමියගේ කුස තුළ පිළිසිඳ ගත්තා. එකල ඇයට නන්දා යනුවෙන් නම් කරනු ලැබුවා. රූපයෙන් අගතැන්පත් වූ නිසා ඇයට රූපනන්දා යනුවෙන්ද සුන්දරී නන්දා හඳුන්වනු ලැබුවා. එමෙන්ම ආනන්ද හිමියන්ගේ සොහොයුරිය වූ නන්දා ද, සැකිකුල ඛෙමක රජුගේ දියණිය වූ අභිරූප නන්දා ද, ජනපදකල්‍යාණිය වූ නන්දා ද යනුවෙන් එකල නන්දා නමින් සුප්‍රසිද්ධ කුල කුමරියන් තිදෙනෙක්ම සිටි බවත් මතකයේ තබාගත යුතු වැදගත්ම කරුණක්. පසු කලෙක ඇය ඒ මහත් ජනපදහිම වසන කුල කුමරියන්ට වඩා අග්‍ර වූ උතුම් රූපස්වභායෙන් හෙබි නිසා ජනපදකල්‍යාණි නම් වුණා . ඒ කෙසේවෙතත් ඇය රූප සම්පත්තියෙන් දෙවැනි වූ මහේශාක්‍ය ස්ත්‍රියක්ද සිටියා. ඒ තමයි යසෝදරාව.

ඒ කාලයේ ජනපදකල්‍යාණිය යම් ප්‍රදේශයකට යම් කටයුත්තක් සදහා පැමිණියාද, එය ඇසූකෙණෙහිම මහජන සමූහයා එම පෙදෙසට අතුරු සිදුරු නැතිව රැස්වන්නට පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි. ඇය නැටුමෙහිත් ගැයුමෙහිත් කෙළ පැමිණ සිටියා. යම් දනවුවක ඇය නටයි, ගයයි කියා ඇසූ කෙණෙහිම බෙහෙවින් ම මහජනසමූහයා රැස්වෙන්නට වැඩි වෙලාවක් ගියෙත් නැහැ. ඇය ඒ තරමටම ජනප්‍රිය තාරකාවක්ද වී සිටියා. දැනටත් භාරතයේ මෙවැනිම දක්ෂ රූප සම්පත්තියෙන් අගතැන්පත් ස්ත්‍රියන් සිටිනා බව ඔබ අප කවුරුත් හොඳින් දන්නා කරුණක්. මෙම රංගන භූමියට පැමිණෙන මහජනයා හට ඇයගේ ගැයුම් වැයුම් දෙස බලමින් තවදුරටත් නිසලව සිටිය නොහැකි වනවා. එලෙස පැමිණ නටන, ප්‍රීතියෙන් හඬ නගන, අසුරු ගැසීම්, සළු වැනීම් වැනිදේ පවත්වන මිනිසුන් ගැන උපමාවකට ගනිමින් බුදුරජාණන් වහන්සේත් පසුකලෙක මුව ලඟට තෙල් පිරිණු තෙල් කළයක් හිසතබා තෙල් බිඳුවක් හෝ තම සිරුර මත පතිත නොවන ආකාරයට ඇයගේ මේ රංගන භුමියේ සැරිසරණ පුරුෂයෙකු ගැන දේශනා කොට එයම කායගතා සති භාවනාවේ දී සිත සන්සුන් කරන ආකාරය පිළිබඳව උපමාවකටද ගෙන පහදා දෙනවා. ඒ රංගනය ඒ තරම්ම සිත කය වසඟ කරවන්නක්.

ජනපද කළ්‍යාණිගේ රූපය පෙළෙහි තවදුරටත් මෙලෙස විස්තර කරනවා. ඇය ජනපදයෙහි යහපත් වූ, උතුම් වූ, සය වැදෑරුම් ශරීර දෝෂයන්ගෙන් තොර වූ, පංච කල්‍යාණයෙන් යුක්ත වූ තැනැත්තියක්. එනම්, එතුමිය ඉතා උස් නොවන, ඉතා මිටිත් නොවන, ඉතා කෘශ නොවන, ඉතා ස්ථුල නොවන, ඉතා කළු නොවන, මනුෂ්‍යවර්ණය ඉක්මවන තරම් ඉතා සුදු නොවන එහෙත් මිනිස් පැහැය ඉක්ම වූ දිව්‍ය පැහැයට නො පැමිණි දිව්‍ය වර්ණයට නොපැමිණි යන තත්වයෙන් යුක්ත වේද, ඒ අනුව ශරීර දෝෂයන් සයෙන් තොර ව යනුවෙන් හඳුන්වනු ලබනවා. එමෙන්ම ඇය ඡවි කල්‍යාණ, මාංස කළ්‍යාණ, නහාරු කළ්‍යාණ, අට්ඨි කළ්‍යාණ, වයො කළ්‍යාණයන්ගෙන් යුක්ත වන්නී නම් වනවා. ඇයට බාහිරින් ආලෝක කිරීමක් අවශ්‍ය වන්නේම නැහැ. තමාගේ ශරීරාලෝකයෙන් ම දොළොස් රියනක් දක්වා ආලෝකය පැතිරෙන බව කියනවා. භද්දකාපිලානී මෙන් ගනඳුරෙහි දොළොස්රියන් දිග පළල ගර්‍භාගාරයකට පහනක් වුවමනා නොවනවා. ඇයගේ ශරීර කාන්තියෙන්ම මුලු ගැබම ආලෝකවත් වන බව පවසනවා. (මොවුන්ට වඩා සිය ගුණයකින් යශෝධරාවගේ ශරීරයේ ආලෝකය පැතිරෙන බවද සඳහන්).

සම, පුවඟු මල් වැනි වෙයි, නොහොත් රත්‍රන් පැහැ ගනී. මෙය මැයගේ ඡවි කල්‍යාණ ස්වභාවයයි. මැයගේ අත් පා සතර ද, මුව කෙළවර ද ලතු පිරියම් කරන ලද්දාක් මෙන් වෙයි. මැයගේ මාංස කළ්‍යාණය රතු පබළු වලට ද, රතු කම්බිලිවලට ද සම වෙයි. නිය පොතු විස්ස පේශීන්ගෙන් වෙන් නොවූ තැන්හි ලතු රසය පිරුණ සේ වෙයි. පේශීන්ගෙන් වෙන් වූ තැන්හි කිරි දහරවලට සමාන වෙයි. මෙය මැයගේ නහර කළ්‍යාණයයි. දත් දෙතිස අතරක් නැතිසේ එකිනෙක ස්පර්ශ වී පිරිසිදු කළ දියමන්ති පේලි මෙන් බබළයි. මෙය මැයගේ අට්ඨි කළ්‍යාණයයි. එක්සිය විසිවයස් වන විට වුවද සොළොස් වස් පමණ පෙනෙන්නී වෙයි. සුදු කෙස් ඇති නොවේ. මෙය මැයගේ වයස් කල්‍යාණයයි. මේ පංච කල්‍යාණ ස්ත්‍රියකගේ රූපස්වභාවයයි.

උපකාර වූ මුලාශ්‍ර

තෙලපත‍්තජාතකවණ‍්ණනා – ඛුද‍්දකනිකාය – ජාතක අට‍්ඨකථා -එකකනිපාතය – ලිත‍්තවග‍්ගය

ජනපදකල්‍යාණී සූත්‍රය සංයුත්ත නිකාය -මහා වග්ගය – සතිපට්ඨාන සංයුක්තය – නාලන්‍ද වර්‍ගය

නන්‍ද තෙරණිය – අඞ්ගුත්තර නිකාය අටුවාවඒකක නිපාත අටුවාවඑතදග්ග පාළියථෙරී පාළි වර්‍ණනාව

සුන්‍දරීනන්‍දා ථේරීගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාව -ථේරීගාථා අටුවාව- පඤ්චකනිපාතය