Ape Budu Hamuduruwo 336

අපේ බුදුහාමුදුරුවෝ 336 (සන්තිකේ නිධානය)

 

ප්‍රේතයන්ට පින් පෙත් දෙන අයුරු කියා දුන් තිරොකුඩ්ඩ සුත්ත දේශනාව 03

ඔවුන්ගේ භාණ්ඩාගාරික වූ එක් ගෘහපති පුත්‍රයෙක් බිරිඳ සමගම තුනුරුවන් කෙරෙහි ඉතා පැහැදී ශ්‍රද්ධා සම්පන්න වුණා. ඒ නිසාම ඔවුන් බුදුන් මුල් කොට ඇති මහා භික්ෂු සංඝයාට ඉතා ඉහලින්ම දානය පිලියල කරනු ලැබුවා. ඒ දාන වස්තුව ජනපදයෙහි නියුක්ත පුරුෂයා හෙවත් ජනපදාධිපතියා ජනපදයෙහි එකොළොස් දහසක් පමණ මිනිසුන් සමග සකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත යවනු ලැබුවා. ඒ තමයි මේ අත්බවයේ අපගේ බිම්බිසාර රජ්ජුරුවෝ. ඔවුන් අතුරෙන් සමහර ජනපද වැස්සෝ ශ්‍රද්ධා නැත්තෝ වූනා. ඔවුන් සිතුවා මොකටද මේ නිකම්ම ඉන්න අයට කන්න දෙන්නේ කියලා. එහෙම හිතලා ඒ සැදැහැ නැති අය නිකම්ම හිටියේ නැහැ, අපහාස කරමින් බැන වදිමින් දාන වස්තුවට අන්තරාය කොට දාන වස්තුව තමුන් විසින්ම අනුභව කරනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි. දන් සැල් වලටද ගිනි තියනු ලැබුවා. එහෙත් සැදැහැවත් පිරිවර සහිත වූ ඒ රාජ පුත්‍රයෝ ඔවුන් සමග ගැටෙන්නට ගියේ නැහැ. නිහඬවම භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංඝ පිරිසට සත්කාර කොට, අවසානයේ භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට පිය රජු සමීපයට නැවත ගියා. භාග්‍යවතුන් වහන්සේත් එහි වැඩ පසුව පිරිනිවන් පානු ලැබුවා. රාජ පුත්‍රයෝ ද, ජනපදයෙහි නියුක්ත පුරුෂයෝ ද, භාණ්ඩාගාරික ද, පිළිවෙලින් කළුරිය කොට පිරිස සමග දෙව්ලොව උපන්නා . සැදැහැසිත් නැති (දන්කෑ) ජනයෝ නිරයෙහි උපන්නා. මෙසේ දෙපිරිස ස්වර්ගයෙන් ස්වර්ගයෙහි, නිරයෙන් නිරයෙහි උපදිමින් දෙයානූ කපක් ඉක්මවූවා

ඉන්පස්සේ මේ මහා භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුදුන් දවස ඒ ශ්‍රද්ධා නැති දන්කෑ පිරිස ප්‍රේතයන්ව ප්‍රේත අපායේ ඉපදුන. කෑමට බීමට දෙයක් නැහැ. පිපාසයට වතුර නැහැ. පිරිසිදුවිමට වැව් පොකුණු දකින්නට නැහැ. මෙලෙස ඒ ප්‍රේත ගමම අනේක අප්‍රමාණ විස්තර කල නොහැකි ලෙස දුක් වින්දා. ඒ කාලයේ මිනිස්සු තම තමන්ගේ ඤාති ප්‍රේතයන්ට හිත වැඩ පිණිස දන් දී, “ඉදං නො ඤාතීනං හොතුති” යනුවෙන් පින් අනුමෝදන් කළා. ඒ ඤාති ප්‍රේතයනුත් ඒ පින් අනුමෝදන් වී විවධ සම්පත් ලැබුවා. ඒ කාලයේ මේ ප්‍රේතයෝ ද එය දැක කාශ්‍යප සම්බුදුන් වෙත පැමිණ ස්වාමීනි! කෙලෙස අපිත් මෙබඳු සම්පත් ලබන්නමෝදැයි විචාරන්නට වුණා. එවිට භාග්‍යවතුන් වහන්සේ දැන් නොලබයි. මතු කාලයෙහි ගෞතම නමින් සම්බුදුවරයෙක් පහළ වන්නේය. එකල්හි බිම්බිසාර නම් රජෙකු වන්නේය. හෙතෙම මෙයින් දෙයානුකපකට පෙර තොපගේ ඤාතියෙකි. හෙතෙම බුදුනට දන් දී තොපට පින් අනුමෝදන් කරන්නේය. එදා තොපට සම්පත් ලැබෙන්නේ යයි වදාරනු ලැබුවා.. එසේ වදාළ කල්හි ඒ වචනය ප්‍රේතයන්ට හරියටම සෙට දවසෙහි තොප සම්පත් ලබන්නහු යයි කීවාක් මෙන් වුණා.

එයින් පසු එක් බුද්ධාන්තරයක් ඉක්මගිය කල්හි ඉහත කී රජ පුත් තිදෙන පුරුෂයන් දහසක් සමග දෙව්ලොව වැඩ එයින් චුතව මගධ රට බ්‍රාහ්මණ කුලයක ඉපිද පිළිවෙළින් තවුස් පැවිද්දෙන් පැවිදිව ගයා ශීර්ෂයෙහි තුන් බෑ ජටිලයෝ වුණා. ජනපද නියුක්තක පුද්ගලයා බිම්බිසාර රජු වුනා.

භාණ්ඩාගාරික ගෘහපති පුත්‍රයා විශාඛ නම් සිටුවරයා වුණා. ඔහුගේ බිරිඳ ධම්මදින්නා නම් ඔබ හොඳින් දන්නා හඳුනන සිටු දියණිය වූවා. (විශාඛ සිටුවරයා සහ ඇය ගැනත් පසුව කියවන්නට ලැබේවි) සෙසු ජනයා රජ පිරිස වසයෙන් උපන්නා .

දැමුණු ඉඳුරන් ඇති වාසනා සහිත වූ සියලු කෙළෙසුන්ගෙන් මිදුණු රන්වන් වූ බුදු බඳ ඇති භාග්‍යවතුන් වහන්සේ, ඉන්‍ද්‍රිය දමනයෙන් දැමුණු, සසරින් මිදුණු පුරාණ ජටිලයන් සමග රජගහ නුවරට වැඩම කොට ශක්‍රයා විසින් තුති ගී ගයද්දී, රජගහ නුවරට වැඩ බිම්බිසාර රජුගේ මාළිගයෙහි දී මහදන් පිළිගත්ත. යට කියන ලද (දන්කෑ) ප්‍රේතයෝ දැන් රජු දන් දී අපට පින් පමුණුවනු ඇතැයි සිතා මාලිගය පිරිවරා සිටියා. එහෙත් රජ්ජුරුවෝ දන් දී අවසානයේ දැන් භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩ සිටින්නේදැයි. උන්වහන්සේගේ විහාර පහසුව පිණිසම සිත යොමුකළ මිසක් . කිසිවෙකුටත් පින් අනුමෝදන් කිරීමට අමතක කළා. කල්ප ගණනක් බලා සිටි ඒ ප්‍රේතයෝ එසේ ඒ දන් දීමෙන් කිසිදු පිනක් නොලැබුවා. ඒ ප්‍රේතයෝ සිඳුණු ආශා ඇතිව රාත්‍රි කාලයේ රජ මාලිගය වටකොට ඉතා බියකරු ලෙස ශබ්ද නගමින් හඩන්නට වැලපෙන්න්නට පටන් ගත්තා.

එම ශබ්ද ඇසුණේ බිම්බිසාර රජතුමාට විතරක් වෙන්නට් ඇති. එතුමා භයට ද, සන්ත්‍රාසයට ද සංවේගයට ද පැමිණ රැය පහන් වූ කල්හිම භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් වහන්ස මම මෙබඳු වූ බියකරු ශබ්ද ඇසුවෙමි. මට කුමක් වන්නේද? යනුවෙන් කියා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ “මහරජ බිය නොවෙව තොපට මෙයින් කිසි නපුරෙක් නැත. තොපට යහපතක් වන්නේය. ඔබගේ පුරාණ ඤාතීහු ප්‍රේත ලෝකයෙහි උපන්නෝ වෙති. ඒ ප්‍රේතයෝ එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ඔබවම පතමින් ආහ. ඔව්හු ඔබ බුදුන්ට දන් දී අපට පින් දෙන්නේය’යි සිතමින් හැසිරුණෝය. එහෙත් තොප විසින් ඊයේ දන් දී පින් නුදුන් බැවින් සුන් වූ බලාපොරොත්තු ඇතිව එබඳු වූ භයානක ශබ්ද කළෝ යයි වදාරනු ලැබුවා. එවිට රජතුමා කිමෙක් ද ස්වාමීනි දැන් කල යුත්තේ? අද එවැනිම පින්කමක් කොට ඔවුනට පින් දුනහොත් ඔවුන් සම්පත් ලබාවිදැයි විචාරනු ලැබුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ එසේය මහරජ! යැයි පවසා සිටියා. එසේනම් ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ අද දවසේ මගේ දානය ඉවසාවා, අද මම ඒ ප්‍රේතයන්ට පින් දෙමැයි යටත්ව කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේත් නිශ්ශබ්දභාවයෙන් එය ඉවසා වදාරනු ලැබුවා.

රජු මාළිගාවට ගොස් මහා දන් පිළියෙළ කරවා බුදුන් වහන්සේට දන්වනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සඞ්ඝයා සමග නැවතත් රජගෙදරට වැඩමවා පණවන ලද අසුනෙහි වැඩ සිටියා. . ඒ ප්‍රේතයෝ ද “අද අපි සැප ලබන්නෙමු යයි සිතා ගොස් බිත්ති ප්‍රාකාර ආදියෙන් පිටත උන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහත් වූ ආශ්චර්යයක් කරනු ලැබුවා. එනම් ඒ ප්‍රේතයින් සියල්ලන්ම, භාග්‍යවතුන් වහන්සේ විසින් රජුට පෙනෙන්නට සැලැස්වීම. රජු දානය සඳහා පැන් පිළිගන්වමින් “මාගේ ඤාති ප්‍රේතයින්ට මේ පින ලැබේවා”යි පවසා සිටියා. එකෙණෙහිම ප්‍රේතයින්ට නෙළුම් උපුල් ආදියෙන් ගැවසී ගත් සිසිල් සෙවණ ඇති පොකුණු පහළවූනා. ඒ ප්‍රේතයෝ ඒ පොකුණුවලට බැස දිය නා වතුර බී කල්ප ගණනක් තිබූ සිරුරු දාහය වළක්වා රන්වන් ශරීර ඇත්තෝ වුනා. ඉන්පස්සේ රජතෙම කැඳ බත් කැවිලි පෙවිලි පිරිනමා එහි පින් ඔවුනට අනුමෝදන් කරනු ලැබුවා. එකෙණෙහිම ඔවුනට දිව්‍යමය වූ කැඳ බත් කැවිලි පෙවිලි පහල වුනා. ඔහු ඒවා භුක්තිවිඳ පිණ වූ ඉඳුරන් ඇත්තෝ වුණා. අනතුරුව රෙදි පිළි හා සෙනසුන් පුදා ඒ පින් නැවතත් ඔවුනට අනුමෝදන් කළා. ඒ මොහොතේම ඔවුන්ට දිව්‍ය වස්ත්‍ර ප්‍රාසාද පසතුරුණු. සෙනසුන් ආදී විසිතුරු දේවල් පහළවූණා එවිට ඔවුන් ලත් මේ සියළු සම්පත් රජුට ප්‍රකට වේවායි භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කරනු ලැබුවා. . රජු එය දැක ඉතා සතුටු සිත් ඇත්තේ වුනා. ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ දන් වළදා පවාරණය කොට බිම්බිසාර රජුට අනුමෝදනා කරමින් මෙම තිරෝකුඩ්ඩ ප්‍රේත වස්තුව මෙලෙස වදාරනු ලැබුවා.

උපකාර වූ මුලාශ්‍ර

සුත‍්ත අට‍්ඨකථා . තිරොකුඩ‍්ඩසුත‍්තවණ‍්ණනා ඛුද‍්දකනිකායො අට‍්ඨකථාඛුද‍්දකපාඨ-අට‍්ඨකථා

සුත‍්ත අට‍්ඨකථා තිරොකුට‍්ටපෙතවත්‍ථුවණ‍්ණනා ඛුද‍්දකනිකායො අට‍්ඨකථාපෙතවත්‍ථු-අට‍්ඨකථා1. උරගවග

Ape Budu Hamuduruwo 335

අපේ බුදුහාමුදුරුවෝ 335 (සන්තිකේ නිධානය)

 

ප්‍රෙතයනට පින් පෙත් දෙන අයුරු කියා දුන් තිරොකුඩ්ඩ සුත්ත දේශනාව 02

ඉතින් එදා බිම්බිසාර රජතුමා බුදුපාමොක් බික්සඟනට දන් පුදා අප බුද්ධ සාසනයේ පළමු වතාවට සාසනයට පූජා කරනු ලැබූ දඹදිව වේළුවන මහාවිහාරය පූජාකොට නිමවා බොහෝ වෙහස මහන්සි ඇතිවයි නින්දට ගියේ. එවැනි වෙහෙසකාරී දිනක සයනයක සැතපුන සැණින්ම නින්ද යන බව අපි කවුරුත් හොඳින් දන්නා කරුණක්. එහෙත් බිම්බිසාර රජතුමාට එතරම් උදාර පින්කමක් කොටත් නින්ද ගියේ නැහැ. ඒ වෙනුවට ඒ රාත්‍රිය නිදි වර්ජිත වෙහෙසකාරී දීර්ඝ රාත්‍රියක් බවට පත්වුනා. මුළු රාත්‍රිය පුරාවටම මහා භයංකාර අමනුෂ්‍ය ශබ්ද, විළාප, හූ හඬ, සතර වටෙන්ම ඇහෙනවා. ඒවා අති බිහිසුණුකාරියි. රජතුමාට මහා භියක් දැනුණා . මහා අනතුරක් අත ලඟද කියාත් හිතෙන්නට ඇති. විශේෂයෙන්ම දහවල් දුන් දානයේ අඩුපාඩුවක් නිසා මෙහෙම වෙනවාදැයිත් සිතෙන්නට ඇති. ඒ නිසාම උන්වහන්සේ කලේ උදෑසන ම බුදුරජාණන් වහන්සේව මුණගැසීමට වහ වහා පැමිණීමයි. පැමිණ මේ සියලු විස්තර උන්වහන්සේ ට කිවා. භාග්‍යවතුන් වහන්සේ රජතුමාට මෙම කරුණ අරඹයා තිරොකුඩ්ඩ සූත්‍රය දේශනා කරනු ලැබුවා. තිරොකුඩ්ඩ කියන්නේ බිත්තියෙන් එහා කියන එකට. ඊට හේතුව මෙම කතාවේ හැටියට පින්ගැනීම සඳහා එන ප්‍රේතයෝ සිටින්නේ බොහෝවිට ගෙදර බිත්ති සතරට එහා පැත්තේ නිසා. හරියට යාචකයෝ වගෙයි.

රජතුමා එන්නට කලියෙනුත් බුදුරජාණන් වහන්සේට සිද්ධිය පෙනෙන්නට ඇති. සියලු විස්තර අසා සිටි භාග්‍යවතුන් වහන්සේ රජතුමාගේ බිය නැතිකරා. උන්වහන්සේ මෙලෙස දේශනා කළා.

“මහරජ, බිය නොවන්න. ඔබට කිසි නපුරක් වන්නේ නැහැ. . මීට හේතුව ඔබගේ පෙර භවයක ඥාතීන් පිරිසක් ප්‍රේතයන් අතර ඉපිදිලා ඉන්නවා. ඔවුන් “බුදුන් වහන්සේට දන් දී අපට පිං අනුමෝදන් කොට අපහට පින් පමුණුවයි යැයි එක් බුද්ධාන්තරයක් පුරාවටම ඔබ කෙරෙහි විශ්වාශය තබමින් බලා හිටියා. එහෙත් ඔබට ඊයේ එය අමතක වුනා. ඔවුන් සිඳුණු ආශා ඇතිව එබඳු වූ දුඃඛිත ශබ්දයන් නිකුත් කලේ ඒ දුක දරාගන්නට බැරිව. ඒ කතාව මෙයයි. බුදුරජාණන් වහන්සේ පුරාණ නිධාන කතාව දේශනා කරන්නට වුනා.

මෙම කතා වස්තුවේ කොටසක් උරුවෙල් කස්සප නිධාන කතාවේ විස්තර සහිතව ලියලා තිබෙනවා.

මෙයින් කල්ප අනූ දෙකකට පෙර කාශි නම් නුවරක් තිබුනා. එහි ජයසේන නම් රජෙක් රජකම් කරනු ලැබුවා.. ඔහුට සිරිමා නම් දේවියක් සිටියා. . ඵුස්ස නම් බෝධි සත්වයෝ ඇයගේ කුසෙහි ඉපිද පිළිවෙලින් සම්මා සම්බෝධිය අවබෝධ කරනු ලැබුවා. ජයසේන රජ “මගේ පුතා ගිහි ගෙයින් නික්ම බුදු විය. බුදුන් වහන්සේ මගේමය. ධර්මය මගේමය, සංඝයා මගේම යයි මමත්වය උපදවා සියලු කල්හි ඔහුම ඒ භාග්‍යවතුන් වහන්සේට උදව් උපස්ථානකරන්නට වුනා.ඒ නිසාම අනෙක් අයට අවස්ථාවක් ලැබුනෙම නැහැ.

ඒ භාග්‍යවතුන් වහන්සේගේ බාල සහෝදර වූ, සුළු මවගේ පුතුන් තිදෙනාට මෙහෙම සිතුනා. “බුදුවරයෝ නම් සියළු ලෝවැස්සන්ට හිතසුව පිණිසම උපදනාහුය. එක් අයෙකුගේම හිත සුව පිණිස නූපදී, අපගේ පියා අන්‍යයන්ට අවස්ථාවක් නොදෙයි. භාග්‍යවතුන් වහන්සේට හා සඞ්ඝයාට උපස්ථාන කරන්නට කෙසේ හෝ ඉඩ ප්‍රස්ථා ලබමි, යනුවෙන් සිතා ඒ වෙනුවෙන් උපායක් කල්පනා යදවනු ලැබුවා. ඔවුන් විසින් එක්තරා ප්‍රත්‍යන්ත ජනපදයක කැරැල්ලක් (කුපිත කිරිමක්) ඇති කළා. අද වගේමයි. හැබැයි කාටවත් අයහපතක් සඳහා නොවෙයි. ඉන්පස්සේ රජතුමා ප්‍රත්‍යන්ත දේශය කුපිතවී යයි අසා, පුතුන් තිදෙනා එම කැරැල්ල මැඩ පැවැත්වීම සදහා, සන්සුන් කිරීම සදහා පිටත්කර යැවූවා. ඔවුන් ගොස් ඔවුන් විසින්ම ඇතිකරනු ලැබූ කැරැල්ල සන්සිඳුවා නැවත පැමිණියා. රජතුමා ගොඩක් සතුටු වෙලා ඔවුන්ට වරයක් ලබා දුන්නා. යමක් කැමති නම් එය ගනුවයි කියා සිටියා. ඔවුන් අපි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට කැමැත්තෙමු. ඒ වරය අපට ලැබේවා යනුවෙන් කියා සිටියා. රජතුමා කෙසේවත් එවැනි දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ. රජු එය හැර වෙනත් දෙයක් ගනුවයි කියා සිටියා. ඔව්න් එවිට අපට වෙනත් කිසිවක් එපා යයි කියා සිටියා. අනිත් දෙයකින් ප්‍රයෝජන නැතැයි කිවා. එසේ නම් “කාල සීමාවක් කොට ගණුවයි” රජතුමා කිවා. ඒ වචනය ලද සැණින් ඔව්න් උපස්ථාන කිරීමට සත් වසක් ඉල්ලා සිටියා. රජතුමා කැමති වුනේ නැහැ. හපෝ එච්චර දෙන්න බැහැ. ඒක දීර්ඝ කාලයක්; රජතුමා කියා සිටියා. එහෙනම් සය වසක්, පස්වසක්, සතර වසක්, තුන් වසක්, දෙවසක්, වසක්, සත් මසක්, සය මසක්, පස් මසක්, සිව්මසක්, යනුවෙන් ඔවුන් කාලය අඩු කරමින් ඉල්ලා සිටියා. ඒත් රජතුමා නෙමෙයි කැමති වුනේ. අවසානයේ ඔවුන් අවම වශයෙන් තුන් මසක්වත් ඉල්ලා සිටියා. ඒ වෙලාවේ රජ්ජුරුවෝ කරන්නම දෙයක් නැති කමට එහෙනම් ගණුවයි අවසරය ලබා දුන්නා.

උපකාර වූ මුලාශ්‍ර

සුත‍්ත අට‍්ඨකථා . තිරොකුඩ‍්ඩසුත‍්තවණ‍්ණනා ඛුද‍්දකනිකායො අට‍්ඨකථාඛුද‍්දකපාඨ-අට‍්ඨකථා

සුත‍්ත අට‍්ඨකථා තිරොකුට‍්ටපෙතවත්‍ථුවණ‍්ණනා ඛුද‍්දකනිකායො අට‍්ඨකථාපෙතවත්‍ථු-අට‍්ඨකථා1. උරගවග‍්ගො

Ape Budu Hamuduruwo 334

අපේ බුදුහාමුදුරුවෝ 334 (සන්තිකේ නිධානය)

 

ප්‍රෙතයනට පින් පෙත් දෙන අයුරු කියා දුන් තිරොකුඩ්ඩ සුත්ත දේශනාව

මෙම කතාවට මුලපිරීමක් වශයෙන් මේ සටහන ලියන්නට ඕනේ කියලා සිත කිවා. එය බුද්ධ දේශනාව උපයෝගී කොටගෙන ලියවුනු “තිරොකුඩ්ඩ සූත්‍රය” ඇසුරෙන් සකසනු ලැබූවක්.

බොහෝ උත්සව, විශේෂයෙන්ම දානමාන පින්කම් කරන අවස්ථාවෙහි ඥාතිප්‍රේතයෝ තමන් පෙර විසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හි ද ගෘහසන්‍ධි භිත්තිසන්‍ධි සතරමංහන්දි තුන්මංහන්දි යන මේ තැන්හි දී ඇනතබා බලා සිටිනවා කියනවා. ඒ අපටත් යමක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්. ඊට හේතුවක් තියෙනවා. ඒ ප්‍රේත ලෝකයෙහි සී සෑමෙක් නැහැ.. ගව පාලනයත් එහි නැහැ.. සම්පත් ලැබීමට හේතු වූ වෙළෙඳාමෙකුත් නැහැ.. රන්රිදියෙන් කරණ ගණුදෙනුවෙක් ද නැහැ.. හුදෙක් මැරී ඒ ප්‍රේතවිෂයයට පැමිණියෝ මේ මිනිස්ලොව වසන නෑමිතුරන් විසින් දෙන ලද පිනෙකින් ඒ ප්‍රේතයෝනියෙහි යැපෙනවා.

ඒත් බොහෝ වූ ආහාරපාන ද භෝජනද ද පිළියෙල ව ඇති කල්හි පවා ඒ ප්‍රේතලෝකයෙහි උපන් සත්ත්‍වයන්ගේ අකුශලකර්‍ම හේතුවෙන් ම කිසි ම නෑදෑයෙක්ට ඔවුන්ව සිහි වෙන්නේ නැහැ. මටත් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා.

නෑයන් අතුරෙන් යම් කෙනෙක් ඔවුනට අනුකම්පා කරන අය වෙත්ද “මේ පින පරලොව ගිය අප නෑයනට වේවා. ඒ නෑයෝ සුවපත් වෙත්වා”යි කියා, ඔවුන් අවුත් සිටින කල්හි, ඒ නෑයන් උදෙසා පවිත්‍ර වූ ප්‍රණීත වූ කැප වූ ආහාර පාන දන් දෙනවා. ඒ ඥාති ප්‍රේතයෝ ද ඒ දන් දෙන තැනට නොයෙක් දිශාභාගයෙන් අවුත් එක් රැස් වෙනවා. තමන් උදෙසා බොහෝ ආහාරපාන දෙනු ලබන කල්හි සකසා කම් පල අදහා පින් අනුමෝදන් කරනවා. එය අනුව සතුටු වෙනවා. “යම් කෙනෙකුන් නිසා පින් අනුමෝදන් කළ කල්හි සම්පත් ලැබූ ඒ අයද, ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් දන් දී පින් පැමිණවීම් වශයෙන් අපට ද පූජා කරන ලදී” යී ද ස්තුති පූර්වකව ආශීර්වාද පුණ්‍යානුමෝදනා කරනවා.. ඒ නිසා දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නොවෙනවා.

යම්සේ උස් බිමකට වැටි ජලය මිටි බිම කරා ගලා බසී ද, එ පරිද්දෙන් ම මේ මිනිස්ලොවෙහි දී ඥාත්‍යාදීන් විසින් දුන් දානය එහි විපාක වශයෙන් ප්‍රේතයන්හට ලැබෙනවා. යම් සේ මහා නදීහු කුඩා ගං හෝ ආදියෙහි රැස් වන දියෙන් පිරුණාහු සාගරය පුරාලත් ද, එ පරිද්දෙන් ම මේ මිනිස්ලොවෙහිදී ඥාත්‍යාදීන් විසින් දුන් දානය (එහි විපාක වශයෙන්) ප්‍රේතයන් වෙත පැමිණෙනවා.

ඒ නිසාම . “මට මෙ බඳු ධනයක් හෝ ධාන්‍යයක් හෝ දුන්නේ ය යි ද, මගේ මේ කටයුත්ත කෙළේ ය යි ද, මොහු තුමූ මගේ නෑයෝ ය යි ද, මිත්‍රයෝ ය යි ද අසුවලා වැළි කෙළියෙහි පටන් මාගේ යහළුවා ය”යි ද මෙසේ පෙර කරණ ලද උපකාර සිහි කෙරෙමින් මිය පරලොව ගියවුන් උදෙසා දන් දිය යුතු යැයි මෙම සුත්‍ර දේශනාවේ තව දුරටත් පවසනවා.

හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ යම් අනෙක් වැලැපීමෙක් හෝ වේ ද, එය පරලොව ගියවුන්ගේ ප්‍රයෝජනය පිණිස පවතින්නේ නැහැ. එවිට ඒ ප්‍රෙතයෝ එහි උපන් පරිද්දෙන් ම සිටිනවා. මේ ඇඩුම්වැලැපුම්වලින් වැඩෙක් නො වේ.

ඔබ විසින් ඔවුන් වෙනුවෙන්ම සඞ්ඝයා කෙරෙහි යම් දානමානාදී කුසල කර්ම කොට පින්පෙත් පමුණුවයිද, තමන්ගේ ඥාතිසමූහයා උදෙසා යම් දානයෙක් දෙන ලද්දේ ද, ඒ මේ දක්‍ෂිණාව නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හෙයින් සඞ්ඝයා කෙරෙහි සුපිහිටියේ වන්නේ ය. එ හෙයින් එය ඒ ප්‍රේතසමුහයාට දීර්‍ඝ කාලයක් හිත සැප පිණිස විපාක දෙනවා වගේම ක්ෂණිකවම එ කෙණෙහි ම ඒ කුසල විපාක ඔවුනට ලැබෙනවා. පහළවෙනවා.

මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළයුතු ඒ ඥාතිධර්‍මය යි. ඉතින් දැන් ඉතින් ඔබට තේරෙන්නට ඕනේ එහි වැදගත්කම. හැකි ඉක්මණින් ඔවුන් වෙනුවෙන් ඒ යුතුකම ඉක්මණින්ම ඉෂ්ඨ කිරීමට මමත් දැඩිව හිතට ගත්තා. ඊලග ලිපියෙන් බිම්බිසාර රජතුමාටත් වේළුවනාරාම පුජාවෙන් පසු ඒ කාර්යය අමතක වීම නිසා ඥාතීන් හැඬු හැටි සහ ඒ ප්‍රශ්නය අපේ බුදුහාමුදුරුවෝ විසඳපු සැටිත් ඔබට කියවන්නට ලැබේවි.

උපකාර වූ මුලාශ්‍ර

තිරොකුඩ‍්ඩපෙතවත්‍ථු පඤ‍්චමං – ඛුද‍්දකනිකායොපෙතවත්‍ථුපාළි – උරගවග‍්ගො

තිරොකුඩ‍්ඩසුත‍්තං ඛුද‍්දකනිකායො ඛුද‍්දකපාඨපාළි

Ape Budu Hamuduruwo 333

අපේ බුදුහාමුදුරුවෝ 333 (සන්තිකේ නිධානය)

 

ප්‍රථම ආරම පුජාව වූ වේළුවන පූජාව

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දෙවියන් සහසැස් පිරිවැරූ සක්දෙව්රජු මෙන් බඹගණ පිරිවැරූ මහා බ්‍රහ්මයා මෙන් දහසක් පමණ බික්සඟන පිරිවරා රජගහ නුවරට පිවිසිය. බිම්බිසාර රජතුමා ඇතුළු පරිවාර පිරිස උන්වහන්සේව පිළිගන්නට උදෑසන සිටම පෙරමග බලමින් සිටියා. මුළු නගරයම මහා උත්සශ්‍රියෙන් බබලන්නට ඇති. බුදුරජාණන් වහන්සේ නමක් දහසක් පමණ රහතන් වහන්සේලා පිරිවරමින් ශාන්ත ලෙස වඩිනකොට කොතරම් අසිරිමත් වෙන්නට ඇතිද?

රජතුමා බුදුන් ඇතුළු රහතන් වහන්සේලා හට අසුන් පනවා රාජකීය භෝජන වලින් සංග්‍රහ කරන්නට වුණා. රජතුමා බුදුපාමොක් බික්සඟනට දන් පුදා අවසන් වූ පසු මෙතෙක් වේලා සිතෙහි සිරකොට තිබූ ඉල්ලීමක් මෙලෙස එලි දැක්වුවා.

ස්වාමීනි, මට තෙරුවනින් වෙන්ව සිටිය නොහැකිය. වෙලාවෙහි හෝ ආවේලාවෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එමි. ලට්ඨිවනය නම් ඉතා දුරය. මේ අපගේ වෙළුවනය නම් උයන විවේකාමීන්ට ඉතා ළඟත් නොවේ. ඉතා දුරත් නොවේ ගමනාගමනයට පහසුය ජනසම්බන්‍ධ රහිතය. විවේක සැප සහිතය. සෙවණපැන් සහිතය. සිහිල් ගල් තලායෙන් සමලංකෘත රමණීය භූමි භාගයකි. සුවඳ කුසුමින් හා උතුම් වෘක්‍ෂයෙන් ගැවසී ගත්තේය. රමණීය ප්‍රාසාද හම්මිය. විමාන විහාර අඩ්ඪයෝග මණ්ඩපාදියෙන් යුක්තය. මාගේ මේ උයන භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වායි පවසමින් දිලෙන ගිනිඅඟුරු වැනි රන්කෙණ්ඩියකින් සුවඳ කුසුම් වැනි මිණිවන් දිය ගෙන වේළුවනාරාමය පුදමින් දසබලයන් වහන්සේගේ අතෙහි පැන් වඩුවා. බුදුරජාණන් වහන්සේ විසින් ඒ ආරාමය පිළිගැන්මත් සමගම බුද්ධශාසනයාගේ මුල්බැස ගැනීම ඇරඹුනා කියනවා. ඒ ප්‍රීතියට පත්ව නටන්නාක් මෙන් මේ මහා පොළොව කම්පා වුණා. දඹදිව වේළුවන මහාවිහාරය හැර පොළොව කම්පාකොට පිළිගත් වෙනත් සෙනසුනක් නම් මහපොලව මත නැතැයි කියනවා.

මහා ගෝවින්ද සූත්‍ර වර්ණනාවේ මෙහෙම කියනවා ” ඒ භාග්‍යවතුන් වහන්සේට මහා ලාභයක් උපන්නේ ය. කවදා පටන් උපන්නේද? අභිසම්බෝධියට පැමිණ සත් සති ගෙවා ඉසිපතනයෙහි දම්සක් පවත්වා අනුක්‍රමයෙන් දෙවි මිනිසුන් දමනය කරන්නේ, තුන් ජටිලයන් පැවිදි කරවා රජගහ නගරයට වැඩ බිම්බිසාර රජු හික්මවීමේ සිට ඉපදුනේය.” තව දුරටත් මෙහෙම කියනවා. යමක් සඳහා කියන ලදද. “එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරනු ලබන්නේ ගරු කරනු ලබන්නේ පුදනු ලබන්නේ (මානිතො පූජිතො අපචිතො) සිවුරු ආහාර සෙනසුන් ගිලන් පස ලබන්නේ වෙති.” සිව් අසංඛ්‍ය කල්ප ලක්ෂයක්, උත්සන්න වූ පින ගලායෑම හටගන්නේ ලාභ සත්කාර මහගඟක් මෙන් වසා පැතිරෙමින් එයි.

මෙලෙස මහා ගෝවින්ද සුත්‍රයේ කියන ආකාරයට බුදුරජාණන් වහන්සේ සිව් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට කරන ලද මහා කුසල විපාක දොරෙගලා යාමට පටන් ගන්නේ මෙම බිම්බිසාර රජතුමා දරම දේශනයෙන් හික්මවූ දා පටන්ය. එතරම්ම ඒ හමුවීමත් මහා පුණ්‍යමය ගංගාවක දොරටු විවර කළා සේය.

ඉන්පස්සේ අපේ ශාස්තෘන් වහන්සේ වේළුවනාරාමය පිළිගෙන රජුට මෙලෙස විහාරදානානුමෝදනාවක් කරනු ලැබුවා.

ලෝකනාථ බුදුවරයන් වහන්සේලා හැර ආවාස දානයෙහි අනුසස් කියන්ට කටවල් දහසකින් යුක්ත වූද අන් කවර නම් පුරුෂයෙක් සමර්ථ වේ ද?

යම් මිනිසෙක් සංඝයාට විහාරයක් දෙයිද ඔහු ආයුෂය ද වර්ණය ද සැපය ද බලය ද ප්‍රශස්ත උතුම් ප්‍රතිභානය ද දෙන්නේ යයි කියනු ලැබේ.

ශීතාදි ජීවිත උවදුරු දුරලන නිවාස දෙන තැනැත්තේ ඔහුගේ ආයු පාලනය කරයි. එහෙයින් එය සත්පුරුෂයෝ ආයු දීමකැයි කියති.

අතිඋෂ්ණ අතිශීත නුවූ නිවසක වසන්නාගේ බලවර්ණ ප්‍රතිභා ඇති වෙයි. එබැවින් විහාර පුදන්නා වූ හෙතෙම බලවර්ණ ප්‍රතිභානයම දෙයි.

විහාර පුදන්නා ශීත උෂ්ණ සර්ප අව්වැසි ආදියෙන් හටගන්නා අනේකවිධ දුක් නිවාරණය කරන සැපයම පුද කරන්නෝ වෙයි.

ශීත උෂ්ණ අව් වැසි සුලං මැසිමදුරු සර්ප වනසතුන්ගෙන් සිදුවන සියලු උවදුරු නිවාස දෙන්නා වළක්වයි. එහෙයින් ඔහු පරලොව සැප විඳී.

යමෙක් පහන් සිතින් සතුටුව ශීලාදි ගුණ ඇත්තවුන්ට භවභෝග සම්පතට හේතුවන මනරම් විහාර පුදයිද හෙතෙම සියල්ල පුදන්නෙකැයි කියනු ලැබේ.

ලෝභ සහිත මසුරුමල අතහැර ගුණවතුන්ට නිවාස පුදයි නම් ඔහු අනුන් විසින් ඔසවා දැමුවාක් මෙන් ගෙනා දෙයක් කඩන්නාක් මෙන් ශෝක රහිතව ස්වර්ගයෙහි උපදී.

උතුම් දැකුම්කළු මහාවිහාර මිනිසා කරවන්නෝය. එහි භික්‍ෂූන් වාසය කරවන්නේය. ආහාරපාන වස්ත්‍ර උන්වහන්සේලාට පහන් සිතින් නිබඳ පුදන්නේය.

එහෙයින් මහරජ, සසර මනහර භෝග සම්පත් බෙහෙවින් අනුභව කොට විහාරදාන ඵලයෙන් පසුව අශෝකී ශාන්තපදය අවබෝධ කරව.

මෙසේ මුනිරජාණෝ නරරාජ බිම්බිසාරට විහාර දානානුමෝදනාව කොට අසුනින් නැගිට බික්සඟන පිරිවරා තමන්වහන්සේගේ පරම දර්ශනීය ශරීර ප්‍රභායෙන් රන්දියරින් ඉසින ලද්දාක් මෙන් නගරවන විමානාදිය රත්පැහැ ගන්වමින් අනුපම බුද්ධලීලාවෙන් අනන්ත බුදුසිරින් වේළුවන මහාවිහාරයට පිවිසියා.

මෙසේ තථාගතයන් වහන්සේ එහි මනොභිරාම වූ වේළුවන විහාරයෙහි විනයෙ ජනයන් බලමින් බොහෝකල් වැඩ සිටියා. .

උපකාර වූ මුලාශ්‍ර

සන‍්තිකෙනිදානකථා ඛුද‍්දකනිකායො අට‍්ඨකථාජාතක-අට්ටකථාගන්‍ථාරම‍්භකථා
මහා ගෝවින්ද සූත්‍ර වර්ණනාව

බුද්ධවංශ අට්ටකතා

Ape Budu Hamuduruwo 332

අපේ බුදුහාමුදුරුවෝ 332 (සන්තිකේ නිධානය)

 

බුදුරජාණන් වහන්සේව රජගනුවර තෙක් වැඩම්මවූ ශක්‍ර දෙවිඳු

රජගහ නුවරම එදා මහා මංගල්‍යකට සරෙසෙනවා වගේ අමුතු අසිරියක්. රජගහ නුවර මේ අසිරිය දෙස වේහාර, වේපුල්ල, ගිජඣකූට, ඉසිගිළි, පාණ්ඩව යන පර්වත වටවී බලා සිටිනවා වගේ තමයි ඉහල අහසේ සිට බලන කෙනෙකුට පෙනෙන්නේ. බලා සිටිනවා පමණක් නෙවෙයි,. ඒ පර්වත ඇසුරු කරමින් වැඩුන විවිධ වෘක්ෂ ලතාවන් විසින් පරිසරයට මුදා හල විවිධ සවාභාවික සුවඳ වර්ග එනම් මල්සුවඳ, හර සුවඳ, ඵල සුවඳ, පොතු සුවඳ, පතුරු සුවඳ, රස සුවඳ, මුල් සුවඳ, ගෙඩිසුවඳ, පත්‍ර සුවඳ වැනි දස වැදෑරුම් සුවඳ බුදුරජාණන් වැඩ සිටි වැල්මී වනය දෙසට එවන්නත් ඇති.

චෝරපපාතය, ඉසිගිළි පර්වත පාර්ශවයෙහි වූ කාළසිලාව, වේහාර පර්වත පාර්ශවයෙහි වූ සත්තපණ්ණිගුහාව, ශිතවන (සීවක වන) සප්පසොණ්ඩික පබ්භාරය, ගෝතම කන්දරය, තින්දුක ගුහාව, තපෝද කන්දරය, තපෝදාරාමය, ඉන්දසාල ගුහාව, පිප්පලි ගුහාව වැනි මේ සියලුම ස්ථාන මතු අනාගතයෙහි බුදුරජුන් ඇතුළු මහා සංඝ පිරිසට නවාතැන් දෙන්න සුදානමින්.

දෙවැනි දවසෙහි ඒ සියලු ආශීර්වාද මැද මීට පෙර දිනයේ බුදුරජාණන් වහන්සේ දුටු සහ නුදුටු ජනී ජනයා හිමිදිරියේම ලක්ෂගනනින් වැල්මී වනය දෙසට ඇදී එනවා; රජගහ නුවර සිට වැල්මී වනය දෙසට වැටි තිබෙන තුන්ගව් මාර්ගයත් මුළු වනයත් දැන් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගිහිල්ලා. මහජනතාව බුදු රජුන්ගේ අග තැන්පත් රූ සපුවෙන් යුත් ආත්ම භාවය දැකීමෙන් තෘප්තියට පත්වෙමින් තෙරෙපින් ඒ අසලම රැදෙන්නට පොරකනවා; ඇත්තෙන්ම බුදුරජුන්ගේ රූප සම්පත්තිය ම වර්‍ණනා කටයුතුයි. මෙසේ බුද්ධ ශරීරය බලන්නා වූ මහජනයාගෙන් සියලු ම වැල්මී වනය ද මාර්ගය ද පිරීගිය නිසා එක් භික්‍ෂුවකට වත් යලිත් වනය තුලට ඇතුලු වීමට ඉඩ නො ලැබුනේ නැහැ.. ඒ ජන ගංගාව කෙලෙස වැඩිවෙනවාද කිවොතින් දැන් දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයටත් අනතුරක් විය හැකි ලෙසට සෙනග වැඩිවෙනවා. හරිම ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේට දානය සඳහා රජගෙදරට වඩින්නට තරම් මාර්ගයේ ඉඩ ඉතිරි වී නැහැ. එවිටම එය එසේ නො වේවා යි ස්වභාවධර්මය විසින්ම සක් දෙවිඳුගේ පඬුඇඹුල් අස්න උණුසුම් කරන්නට පටන්ගත්තා. ඒ සමගම උන්වහන්සේ ඒ කාරණය දැන ඉක්මනින්ම තරුණ වේෂයක් මවාගෙන බුදුරදුන් ට ඉදිරියෙන් අහසින් බිමට බැස්සේ මිනිසුන් මවිත කරමින්. මිනිසුන් භයයි ගෞරවයයි නිසාම පසුපසට යන්නට වුණා. ඒ සමගම ශක්‍ර දෙවියන් ත්‍රිවිධ රත්නත්‍රය පිළිබිඹු වන ස්තුති ගීතිකා ගයමින් දේවානුභාවයෙන් මාර්ගයේ ඉඩ ලබා දෙමින් බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පිරිස වැල්මී වනය දෙස සිට මාළිගාව දක්වා වැඩම කරවන්නට උදවු වුණා

“රන්වන් පාටින් බබළන බුදුන් වහන්සේ තමා දැමුණු සේක්, දැමුණු පුරාණ ජටිල රහතුන් සමග රජගහ නුවරට වැඩි සේක.”

“රන්වන් පාටින් බබළන බුදුන් වහන්සේ සසරින් එතැර වූ සේක් සසරින් එතැර ව පුරාණ ජටිල රහතුන් සමග රජගහ නුවරට වැඩි සේක.”

“දශ විධ ආරිය වාස ඇති, කාය බල ආදී දශ බල ඇති, කුසලාකුසල ආදී දශ ධර්මයන් අවබෝධ කළා වූ, දශ අසේඛ අංගයෙන් යුක්ත වූ, දහසක් සඟුන් පිරිවැරූ බුදුන් වහන්සේ රජගහ නුවරට වැඩි සේක.”

සක් දෙවිඳු මේ ගාථාවලින් බුදු ගුණ වනමින් බුදු රජුන් පෙරටුව ගියා. මහජනතාව තරුණයාගේ රූසිරිය බලා මේ මානවක පෙර අප නුදුටු විරූයැ යි සිතා මොහු කවරෙක්දැ යි කෑගසමින් අසන්නට වුණා . එවිට මානවකයා මෙසේ කිවා.

“යමකු වීර්යයවත් ද සියලු ඉන්ද්‍රියන් විෂයයෙහි දැමුණේ ද බුදු බවට පැමිණියේ ද තමා හට සමාන කෙනකු නොමැත්තේ ද රහත් වූයේ ද මහා වාංමාලාවෙන් යුක්ත ද මම ඒ බුදුන්ගේ සේවකයෙක් වෙමි.”

බුදුන් වහන්සේ සක් දෙවිඳු විසින් ඉඩ ලබා දුන් මගින් මහසඟන පිරිවරන ලදුව රජගහ නුවර දෙසට වැඩියා.

උපකාර වූ මුලාශ්‍ර – සන‍්තිකෙනිදානකථා ඛුද‍්දකනිකායො අට‍්ඨකථාජාතක-අට්ටකථාගන්‍ථාරම‍්භකථා

බුද්ධවංශ අට්ටකතා

Ape Budu Hamuduruwo 331

අපේ බුදුහාමුදුරුවෝ 331 (සන්තිකේ නිධානය)

 

බිම්බිසාර රජ ඇතුළු පිරිස සෝවාන් ඵලයට පත්වීම

බිම්සර රජතුමා එක් ලක්‍ෂ විසි දහසක් බමුණන් හා ගැහැවියන් පිරිවරමින් බුදු රජුන් වෙත එලැඹ සක් ලකුණින් විසිතුරු වූ සිරිපා පතුලෙහි රන් සළු වියනක් මෙන් කාන්ති විහිදෙන උන් වහන්සේගේ පාදයන් හිසින් වැටී නැමැද පිරිස් සමග එකත්පසෙව සිටිය.

රජතුමා බුදුරජාණන් වහන්සේ ගැන හොඳින් දැන සිටියත් ඔහු පිරිවරා සිටි බමුණු ගැහැවියන් ඇතුළු රාජ රාජ අමාත්‍යවරු ඇතුළු පිරිසට මේක ප්‍රෙහිලිකාවක්. ඔවුනට මෙහෙම සිතුනා.

ශ්‍රමණ ගෞතමයෝ උරුවේල කස්සපගේ සසුනෙහි සව්වෙක් ද? නො එසේ නම් උරුවේල කස්සප ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි සව්වෙක් ද? ඊට හේතුවක් තිබුණා. මීට පෙර මෙහි සිටි බොහෝ දෙනා ඒ ප්‍රදේශයෙහිම රහතන් වහන්සේලා යැයි සිතා වන්දනාමාන කරේ ඒ පිරිසටයි.

ඒ සැණින්ම බුදුන් වහන්සේ ඔවුන් සිතූ සිතුවිල්ල දැන තෙරුම්ගෙන ගාථා කාණ්ඩයකින් මෙලෙස කස්සප මහා රහතන් වහන්සේ වෙත ප්‍රශ්ණයක් යොමු කළා.

“තම සව්වන්ට අනුශාසනා කරන කස්සපයෙනි, ඔබ කිනම් ධර්මයක් දැන ගිනි පූජාව අත්හලෙහිද? ඔබගෙන් මේ කරුණ අසමි. ඔබ ගිනි පූජාව අත්හලේ කිනම් ධර්මයක් දැන ද?”

කස්සප තෙරණුවෝ ද බුදු රජුන්ගේ අදහස දැනගත්තා. දැනගෙන මේ ගාථාව ප්‍රකාශ කරනු ලැබුවා.

“රූප, ශබ්ද හා රස ද ස්ත්‍රීන් යන ඇලුම් කළයුතු දේ යාගයෙන් ලැබෙතැ යි කියති. මම ඒවා කෙළෙස් මළ වශයෙන් දැන ඒ නිසා ම යාගයෙහි හා ගිනි පූජාවෙහි නො ඇලීමි.”

මෙසේ කෙටියෙන් දුන් පිළිතුර හැමෝටම ග්‍රහණය කරගන්න බැරි බව ඔහු දැන ගත්තා. ඒ සඳහා උන්වහන්සේ ඒ අවස්ථාවෙහි ක්ෂණික පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවා. ප්‍රථමයෙන්ම තමන් බුදු රජුන්ගේ ශ්‍රාවකයකු බව ප්‍රකාශ කිරීමට බුදුන් වහන්සේගේ පාපුටුවෙහි හිස තබා උන්වහන්සේට නමස්කාර කරමින් මම තථාගතයන් වහන්සේගේ සව්වෙක් වෙමි යි ප්‍රකාශ කොට එකවරම තල් ගසක ප්‍රමාණයට අහසට පැන නැග්ගා. ඉන්පසු

බුදරජාණන් වහන්සේගේ පාමුලට පැමිණෙමින් වන්දනා කරමින් නැවතත් තල්ගස් දෙකක ප්‍රමාණයට අහසට පැන නැග්ගා. මේ ආකාරයට සත්වරක් තල්ගස් සතක් ප්‍රමාණය තෙක් අහසට පැන නගමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මහා ප්‍රර්තිහර්යයක් පාමින් අවසානයේ බැස බුදුන් වැඳ එකත්පසෙව සිටිය.

ඒ පෙළහර දුටු මහජනතාව බුදුවරුන්ගේ බලය අසිරිමත්ය. දැඩි මිසදිටුවකු වූ තමා රහත් වූවේයැ යි වරදවා සිතා සිටි උරුවෙල් කස්සපාදී ජටිලයන්ගේ මිසදිටු දළ බිඳ බුදු රජුන් විසින් දමනය කරන ලදැ යි බුදු ගුණ ගයන්නට වුණා. ඉන්පසු බුදුන් වහන්සේ මෙකල පමණක් නොව පෙර භවයකදීත් උරුවේල කස්සපයන් දමනය කළ බව වදාරමින් මහා නාරදකස්සප ජාතකය ගෙනහැර දක්වා සිව්සස් වදාරනු ලැබුවා.

ඒ ජාතක කතාව ඉතාම ලස්සන බොහෝ ධර්ම කරුණු ඇති සසර බිය දනවන එකක්. ඒ විතරක් නෙවෙයි, එම ජාතක කතාවේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාද දෙව්දත් හිමි ඇතුළු උරුවේලකස්සප තෙරුන් වහන්සේලාද ඉන්නවා. සුවිශේෂී කරුණ තමයි අපේ ආනන්ද හාමුදුරුවෝ ඒ කතාවේ ඉන්නේ මහා පින්වන්ත රුපශ්‍රියෙන් අග තැන්පත් රූජා නම් රාජකුමාරිකාවක් ලෙසයි. කතාව ලස්සන වුනත් දීඝ නිකායේ දේශණයක් තරම්ම දීර්ඝයි. ඒ නිසා නොලීවත් කෙසේ හෝ කියවන්න. ඒ දේශනය කොතරම් ප්‍රභලද කිවොතින් දේශනය අහලා මගධ රජතුමා එකොළොස් නහුතයක් හෙවත් එක් ලක්‍ෂ දශ දහසක් පිරිස සමග සෝවාන් ඵලයෙහි පිහිටියා.වච්ඡපාල බ්‍රාහ්මණ ආදී දශ දහසක් උපාසක බවට පත්වූනා. මෙහි දී සිය මිතුරු වූ බිම්සර රජු දැකීමට අවුත් සිටි මහාලි නම් ලිච්ඡවී රජ ද සෝවාන් බවට පත්වුණා. රාජගෘහ පුර වැසි සිරිවඩ්ඪ බමුණු, සමිද්‍ධි සිටු පුත්, වච්ඡ බ්‍රාහ්මණ ආදිහු ද පැහැදුණවුන් ගෙන් කීප දෙනෙකි. පසු කලෙකැ මොහු පැවිදි වූනා . මේ පිරිස අතර සිටි සිටි විශාඛ සිටුද සෝවාන් වුණා කියලා කියනවා.

බිම්බිසාර රජතුමා ඉන්පස්සේ මෙතෙක් තමන් සිතේ සඟවාගෙන සිටි ප්‍රර්ථනා පසක් අද දිනයේදී සම්පුර්ණ වූ බව බුදුරජාණන් වහන්සේ සමග පවසා සිටියේ මහත් වූ ප්‍රීතියෙන්. ඒ පස තමයි.

“තමා රජ වීමත්, ඉන් පසු තමාගේ රටට බුදුරජාණන් වහන්සේ ගේ පැමිණීමත්, උන්වහන්සේ ඇසුරු කිරීමත්, බණ ඇසීමත්, ධර්මාවබෝධය කිරීමත් යන බලාපොරොත්තු පහක්” තමාට තුබුණු බවත් දැන් ඒ මුදුන් පැමිණි බවත් කියා තමා තිසරණ ගත උපාසකයකු බව වචනයෙන් ද දන්වා පසු දා දානයට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට නික්ම ගියා .

උපකාර වූ මුලාශ්‍ර –
සන්තිකෙනිදානකථා
බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනාහිමිපාණන් විසින් රචිත ගෞතම බුද්ධ චරිතය