අපේ බුදුහාමුදුරුවෝ 335 (සන්තිකේ නිධානය)
ප්‍රෙතයනට පින් පෙත් දෙන අයුරු කියා දුන් තිරොකුඩ්ඩ සුත්ත දේශනාව 02
ඉතින් එදා බිම්බිසාර රජතුමා බුදුපාමොක් බික්සඟනට දන් පුදා අප බුද්ධ සාසනයේ පළමු වතාවට සාසනයට පූජා කරනු ලැබූ දඹදිව වේළුවන මහාවිහාරය පූජාකොට නිමවා බොහෝ වෙහස මහන්සි ඇතිවයි නින්දට ගියේ. එවැනි වෙහෙසකාරී දිනක සයනයක සැතපුන සැණින්ම නින්ද යන බව අපි කවුරුත් හොඳින් දන්නා කරුණක්. එහෙත් බිම්බිසාර රජතුමාට එතරම් උදාර පින්කමක් කොටත් නින්ද ගියේ නැහැ. ඒ වෙනුවට ඒ රාත්‍රිය නිදි වර්ජිත වෙහෙසකාරී දීර්ඝ රාත්‍රියක් බවට පත්වුනා. මුළු රාත්‍රිය පුරාවටම මහා භයංකාර අමනුෂ්‍ය ශබ්ද, විළාප, හූ හඬ, සතර වටෙන්ම ඇහෙනවා. ඒවා අති බිහිසුණුකාරියි. රජතුමාට මහා භියක් දැනුණා . මහා අනතුරක් අත ලඟද කියාත් හිතෙන්නට ඇති. විශේෂයෙන්ම දහවල් දුන් දානයේ අඩුපාඩුවක් නිසා මෙහෙම වෙනවාදැයිත් සිතෙන්නට ඇති. ඒ නිසාම උන්වහන්සේ කලේ උදෑසන ම බුදුරජාණන් වහන්සේව මුණගැසීමට වහ වහා පැමිණීමයි. පැමිණ මේ සියලු විස්තර උන්වහන්සේ ට කිවා. භාග්‍යවතුන් වහන්සේ රජතුමාට මෙම කරුණ අරඹයා තිරොකුඩ්ඩ සූත්‍රය දේශනා කරනු ලැබුවා. තිරොකුඩ්ඩ කියන්නේ බිත්තියෙන් එහා කියන එකට. ඊට හේතුව මෙම කතාවේ හැටියට පින්ගැනීම සඳහා එන ප්‍රේතයෝ සිටින්නේ බොහෝවිට ගෙදර බිත්ති සතරට එහා පැත්තේ නිසා. හරියට යාචකයෝ වගෙයි.
රජතුමා එන්නට කලියෙනුත් බුදුරජාණන් වහන්සේට සිද්ධිය පෙනෙන්නට ඇති. සියලු විස්තර අසා සිටි භාග්‍යවතුන් වහන්සේ රජතුමාගේ බිය නැතිකරා. උන්වහන්සේ මෙලෙස දේශනා කළා.
“මහරජ, බිය නොවන්න. ඔබට කිසි නපුරක් වන්නේ නැහැ. . මීට හේතුව ඔබගේ පෙර භවයක ඥාතීන් පිරිසක් ප්‍රේතයන් අතර ඉපිදිලා ඉන්නවා. ඔවුන් “බුදුන් වහන්සේට දන් දී අපට පිං අනුමෝදන් කොට අපහට පින් පමුණුවයි යැයි එක් බුද්ධාන්තරයක් පුරාවටම ඔබ කෙරෙහි විශ්වාශය තබමින් බලා හිටියා. එහෙත් ඔබට ඊයේ එය අමතක වුනා. ඔවුන් සිඳුණු ආශා ඇතිව එබඳු වූ දුඃඛිත ශබ්දයන් නිකුත් කලේ ඒ දුක දරාගන්නට බැරිව. ඒ කතාව මෙයයි. බුදුරජාණන් වහන්සේ පුරාණ නිධාන කතාව දේශනා කරන්නට වුනා.
මෙම කතා වස්තුවේ කොටසක් උරුවෙල් කස්සප නිධාන කතාවේ විස්තර සහිතව ලියලා තිබෙනවා.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර කාශි නම් නුවරක් තිබුනා. එහි ජයසේන නම් රජෙක් රජකම් කරනු ලැබුවා.. ඔහුට සිරිමා නම් දේවියක් සිටියා. . ඵුස්ස නම් බෝධි සත්වයෝ ඇයගේ කුසෙහි ඉපිද පිළිවෙලින් සම්මා සම්බෝධිය අවබෝධ කරනු ලැබුවා. ජයසේන රජ “මගේ පුතා ගිහි ගෙයින් නික්ම බුදු විය. බුදුන් වහන්සේ මගේමය. ධර්මය මගේමය, සංඝයා මගේම යයි මමත්වය උපදවා සියලු කල්හි ඔහුම ඒ භාග්‍යවතුන් වහන්සේට උදව් උපස්ථානකරන්නට වුනා.ඒ නිසාම අනෙක් අයට අවස්ථාවක් ලැබුනෙම නැහැ.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ බාල සහෝදර වූ, සුළු මවගේ පුතුන් තිදෙනාට මෙහෙම සිතුනා. “බුදුවරයෝ නම් සියළු ලෝවැස්සන්ට හිතසුව පිණිසම උපදනාහුය. එක් අයෙකුගේම හිත සුව පිණිස නූපදී, අපගේ පියා අන්‍යයන්ට අවස්ථාවක් නොදෙයි. භාග්‍යවතුන් වහන්සේට හා සඞ්ඝයාට උපස්ථාන කරන්නට කෙසේ හෝ ඉඩ ප්‍රස්ථා ලබමි, යනුවෙන් සිතා ඒ වෙනුවෙන් උපායක් කල්පනා යදවනු ලැබුවා. ඔවුන් විසින් එක්තරා ප්‍රත්‍යන්ත ජනපදයක කැරැල්ලක් (කුපිත කිරිමක්) ඇති කළා. අද වගේමයි. හැබැයි කාටවත් අයහපතක් සඳහා නොවෙයි. ඉන්පස්සේ රජතුමා ප්‍රත්‍යන්ත දේශය කුපිතවී යයි අසා, පුතුන් තිදෙනා එම කැරැල්ල මැඩ පැවැත්වීම සදහා, සන්සුන් කිරීම සදහා පිටත්කර යැවූවා. ඔවුන් ගොස් ඔවුන් විසින්ම ඇතිකරනු ලැබූ කැරැල්ල සන්සිඳුවා නැවත පැමිණියා. රජතුමා ගොඩක් සතුටු වෙලා ඔවුන්ට වරයක් ලබා දුන්නා. යමක් කැමති නම් එය ගනුවයි කියා සිටියා. ඔවුන් අපි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට කැමැත්තෙමු. ඒ වරය අපට ලැබේවා යනුවෙන් කියා සිටියා. රජතුමා කෙසේවත් එවැනි දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ. රජු එය හැර වෙනත් දෙයක් ගනුවයි කියා සිටියා. ඔව්න් එවිට අපට වෙනත් කිසිවක් එපා යයි කියා සිටියා. අනිත් දෙයකින් ප්‍රයෝජන නැතැයි කිවා. එසේ නම් “කාල සීමාවක් කොට ගණුවයි” රජතුමා කිවා. ඒ වචනය ලද සැණින් ඔව්න් උපස්ථාන කිරීමට සත් වසක් ඉල්ලා සිටියා. රජතුමා කැමති වුනේ නැහැ. හපෝ එච්චර දෙන්න බැහැ. ඒක දීර්ඝ කාලයක්; රජතුමා කියා සිටියා. එහෙනම් සය වසක්, පස්වසක්, සතර වසක්, තුන් වසක්, දෙවසක්, වසක්, සත් මසක්, සය මසක්, පස් මසක්, සිව්මසක්, යනුවෙන් ඔවුන් කාලය අඩු කරමින් ඉල්ලා සිටියා. ඒත් රජතුමා නෙමෙයි කැමති වුනේ. අවසානයේ ඔවුන් අවම වශයෙන් තුන් මසක්වත් ඉල්ලා සිටියා. ඒ වෙලාවේ රජ්ජුරුවෝ කරන්නම දෙයක් නැති කමට එහෙනම් ගණුවයි අවසරය ලබා දුන්නා.
උපකාර වූ මුලාශ්‍ර
සුත‍්ත අට‍්ඨකථා . තිරොකුඩ‍්ඩසුත‍්තවණ‍්ණනා ඛුද‍්දකනිකායො අට‍්ඨකථාඛුද‍්දකපාඨ-අට‍්ඨකථා
සුත‍්ත අට‍්ඨකථා තිරොකුට‍්ටපෙතවත්‍ථුවණ‍්ණනා ඛුද‍්දකනිකායො අට‍්ඨකථාපෙතවත්‍ථු-අට‍්ඨකථා1. උරගවග‍්ගො