Ape Budu Hamuduruwo 151

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 151

 

බෝසත් උපත සත්පියවර සහ සත් පෙරනිමිති

මහාමායා දේවිය දෙව්දහ නුවරට පිටවීම.

මිට ඉතත ලිපියෙන් කිවේ බෝසතාණන් වහන්සේ මවු කුස තුල පිළිසිඳගත් පසුව මවුතුමියට ලැබෙන අත්විශේෂ දේවාරක්ෂාව පිළිබඳව. එසේ විශේෂිත ආරක්ෂාවක් යටතේ සිටි මහා මායා දේවි තොමෝ පිරුණු තෙල් පාත්‍රයක් ගෙනයන්නාක් මෙන් කුසෙහි බෝසතුන් පරිහරණය කොට දස මසක් ගතකලා. මෙසේ කාලයාගේ ඇවෑමෙන් පිරිපුන් ගැබ ඇතිව, ස්වකීය ඥාති ගෘහයට යනු කැමැතිව, දේවයිනි, මම දේවදහ නුවර සිය කුල ගෙදරට යනු කැමැත්තෙමි යි යනුවෙන් සුදවුන් මහරජාණන්ට සැලකර සිටියා. රජතුමාද මැනවැයි පිළිගෙන කිඹුල්වත් පුර සිට දෙව්දහ නුවර දක්වා මග සම කොට කෙසෙල්, පුන්කලස්, කොඩි ආදියෙන් අලංකාර කරවා දේවිය රන් සිවිකාවක හිදුවා ඇමතියන් දහසක් ලවා සිවි කොටා ඔසවා මහත් පිරිවරින් ගම්බිම් බලා පිටත්කොට යවනු ලැබුවා. කිඹුල්වත් සහ දෙව්දහ දෙනුවරට ම පොදු වූ ලුම්බිණි වන නම් අති රමණීය මගුල් සල් උයනක් තිබුණා. එදවස එහි සල් ගස් මුල පටන් අතු අග දක්වා එක පැහැයෙන් මල් වලින් පිරී පැවතියේ බෝසත් ආගමනය පිළිගන්න වගේ. අතු අතරත් මල් අතරත් පස්වන් බමරු සමුහයාද විවිධ කුරුළු රංචු ද මිහිරි හඩ විහිදුවමින් ඒ මේ අත හැසිරෙන්නට වුනා. මුළු ලුම්බිණි සල් උයනම දෙව් ලොව චිත්‍රලතා වනය මෙන්ද මහානුභාව ඇති රජුගේ සුසැදු අවන්හලක් මෙන් ද වුනා.

ලුම්බිණි උයන

මේ අති රමණීය සල්වනය දුටු දේවිය එහි සිරි නරබනු රිසි වුවා. ඇමතියෝ දේවිය රැගෙන මල් වනයට පිවිසිය. එහි සිරි නරඹමින් සිටි අවස්ථාවේ ඇයගේ ශරීරය දුර්වල වුනා. එවිට ඇයව මගුල් සල්ගස වෙත ගෙනගොස් සයනයක් පනවා තිරවලින් වටකරනු ලැබුවා. මංගල සල් ගස යට සිටි ඇයට අලංකාර මලෙන් ගහන සල් අත්තක් අල්ලාගනු කැමති වූවා. ගතවූයේ නිමේෂයයි. සල් අත්ත මනාව නවන ලද වේබඩක් මෙන් නැමී දේවියගේ අතට පත්වුණා. ඕ තොමෝ අත දිගුකොට අත්ත අතින් අල්ලා ගත්තා. එකෙණෙහිම දේවියගේ විළිවාතය සෙලවුනා. පිරිවර ජනයා එතැනින් ඉවත්වුණා. සුද්ධාවාස බ්‍රහ්මයෝ සතර දෙනෙක් රන් දැලකින් බෝසතුන් පිළිගෙන මවට පෙන්වා දෙවියනි, ප්‍රීතිවනු මැනවි, ඔබට මහා පිනැති පුතෙක් උපන්නේයැයි කියා සිටියා. ඔවුන්ගේ අතින් පිළිගනු ලැබුවේ සතර මහා දෙවියන් අදුන් දිවි සමින් නිමකළ සියුම් ඇතිරිල්ලකින් පිළිගනු ලැබුවා. ඔවුනගේ අතින් රජදරුවන් සියුම් රෙදි සුඹුලුවකින් පිළිගත්තා.

බෝසත් උපත

වෙනත් සත්ත්වයෝ මව් කුසින් බිහිවන කල පිළිකුල් අපවිත්‍ර දෙයින් තැවරී ඉඳිකටු සිදුරකින් එලියට එනසේ බොහෝ වූ දුකට පත්ව මෙලොව එලිය දකිනවා. ඒත් බෝසතාණන්වහන්සේලා එසේ නො වෙයි. බෝසතාණන්වහන්සේලා වනාහි ධර්මාසනයෙන් බසින ධර්ම කථිකයෙක් මෙන්ද හිනි මගකින් බස්නා පුරුෂයෙක් මෙන්ද දෙඅත් දෙපා දිගු කොට කෙලින් නැගී සිටිමින් මව් කුසට අයත් කිසි අපවිත්‍ර දෙයකින් නො තැවරී පිරිසිදු ව පැහැදිලි ව කසී වස්ත්‍රයක් තබන ලද මැණිකක් මෙන් බබලමින් මව් කුසින් නික්මෙනු ලබනවා.

බෝසත් උපතතේදී මහපොළවෙන් පැන නගින සිසිල් සහ උණුසුම් දිය දහර

බෝසත් උපතකදී පරිභෝජනයට ගැනෙන ජලයද අන්‍යයනට සාධාරණ නැහැ. බෝසතාණන්වහන්සේටත් බෝසත් මවටත් උවැටන් පිණිස පොළොවෙන් දිය දහර දෙකක් නික්මෙනවා. එකකින් සිතල වතුරද තවකෙකින් උණුසුම් වතුරද වනවා. උණුසුම් වතුර රන් තටාකයකටත් සිසිල් ජලය රිදී තටාකයකටත් ඉබේම වැටෙනවා. එම ජලය පෘථිවි තලයේ කිසිම අශුචියක් සමගින් අසමිශ්‍රයි. අන් අය රත්‍රන් භාජන වල ගෙනා වතුර ඒ වතුර තරමට පිරිසුදු නැහැ කියනවා. එමගින් බෝසතුන්ගේද බෝසත් මවගේද සිරුරෙහි විඩාව නිවා සිසිල් බව ඇති කරනු ලබනවා. 

දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත්කුමරු පිළිගනිම.

ඉහතින් කී ලෙසම බෝසතාණන්වහන්සේ රන් දැලින් පිළිගෙන සිටි බ්‍රහ්මයන්ගේ අතින් සතර වරම් රජවරු මංගල සම්මත සුවපහස ඇති දෙතුන්පට කළ අදුන් දිවි සමින් පිළිගතතා. ඔවුන්ගේ අතින් මිනිස්සු දුහුල් පිළිසුඹුළුවකින් පිළිගත්තා. මිනිසුන්ගේ අතින් මිදුණු බෝසතාණන්වහන්සේ පොළොවෙහි සිට පෙරදිග බැලුවා. දහස් ගණන් සක්වල එකම මිදුලක් මෙන් ඔහුට දිස්වූනා. එහි සිටි දෙව් මිනිසුන් මහා පුරුෂයාණෙනි, මෙහි ඔබ හා සමාන කෙනෙකු ද නැත. එසේනම් ඔබට වඩා උසස් කෙනෙකු කෙසේ ලැබේ දැයි කියනු ලැබුවා. මේ අයුරින් සිවු දිශා ද සිවු අනුදිශා ද යට දිශා ද උඩ දිශා ද යන දශ දිශාව බලා තමා හා සමාන කෙනෙකු නොදැක උතුරු දෙස බලා සත් පියවරක් ඉදිරියට ගමන් කළා. මහබඹහු සේසත දරමින් ද සුයාම දෙවි පුත් මල් විදුනාවද අනෙක් දෙවියෝ උණහිස ආදී සෙසු රාජ කකුධ භාණ්ඩ ද දරමින් බෝසතුන් සමග ගමන් කළා. සත් වැනි පියවරෙහි සිටි බෝසතාණන්වහන්සේ “ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත .”ආදීනයින් සිංහ නාද කලා. 

සත්පියවර සහ සත් පෙරනිමිති

මෙළොවට බිහිවූ මොහොතේම සත්පියවරක් තැබීම අපේ බුදුපියාණන් වහන්සේ විතරක් නෙවෙයි. මෙතෙක් පහල වූ සියලුම බුදුවරුන්ද මතු පහල වන බුදුවරුන් විසින් ද කරනු ලබනා ලෝක ධර්මතාවයනට අයිති නියාම ධර්මයක්. ඒ සත් පියවරේ තේරුම් මෙලෙස අට්ඨ කතාවේ පැහැදිළි කරනවා.

මෙළොවට බිහිවූ මොහොතේම මෙලෙස සත්පියවරක් තැබීම අපේ බුදුපියාණන් වහන්සේ විතරක් නෙවෙයි. මෙතෙක් පහල වූ සියලුම බුදුවරුන්ද මතු පහල වන බුදුවරුන් විසින් ද කරනු ලබනා ලෝක ධර්මතාවයනට අයිති නියාම ධර්මයක්. ඒ සත් පියවරේ තේරුම සහ ඒ මොහොතේ ඇති වූ සුවිශේෂ සිද්ධීන් මෙලෙස අට්ඨ කතාවේ පැහැදිළි කරනවා.

 
  1. මෙහි සම පාද වලින් පොළොවේපිහිටීම සතර සෘද්ධිපාදයාගේ ලැබීමට පෙර නිමිත්තය.
  2. උතුරට අභිමුඛ බව මහජනයා මැඩ පවත්වා යාමට පෙර නිමිත්තය.
  3. සත්පියවරක් ගමන්කිරීම සප්ත බෝජ්ජංගයන් ලැබීමට පෙර නිමිත්තය.
  4. දිව්‍ය සේසත් දැරීම විමුක්ති ජත්‍ර ප්‍රතිලාභයට පෙරනිමිත්තය.
  5. පංචරාජකකුධ භාණ්ඩයෝ පංච විමුක්තීන් ලැබීමේ පෙරනිමිතිය.
  6. දිශාවන් බැලීම අනාවරණ ඥානය ලැබීමේ පෙරනිමිත්තය.
  7. උතුම් වචනය කීම නොහොත් සිංහ නාදය දම්සක් පැවැත්වීමේ පෙරනිමිත්තය.

Ape Budu Hamuduruwo 150

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 150

 

බුදුවරයෙකු ලොව පහළවීමේ දී ඇතිවෙන ඔබ නොදත් අසිරිමත් කරුණු 03

බෝසත් මවකට පමණක් ලැබෙන අතිවිශේෂ ආරක්ෂාව

බෝසතාණන් වහන්සේ නමක් තුසිත දෙව්ලොවෙන් චුතව මව්කුසතුල ඉපදී ප්‍රතිසන්ධි මොහොතෙහි කළල අවස්ථාවේ පටන් මෙලොව ප්‍රසූතිය දක්වා විශේෂ ආරක්ෂාවක් ලබනවා. ඒ අප නෙතට පෙනෙන රාජරාජ අමාත්‍යවරුන්ගෙන් නොවෙයි. මේ ලෝක පාලන සතරවරම් දෙවියන් ඇතුළු දස දහසක් සක්වළ දෙවියන්ගෙන්. මේ ලියවෙන්නේ ඒ පිළිබඳව මා විසින් කියවා ලබාගත් සුළු දැනුමෙන්.

බෝසත් උපත වලක්වාලීමට පැමිණෙන දසදහසක් සක්වළ කෙල ලක්ෂයක් වූ මාර සේනාව.

 අප අසා තිබුණේ බුද්ධත්වයට පැමිණි අවස්ථාවේ මාරසේනා පැමිණි බව පමණයි. එහෙත් ප්‍රතිසන්ධි මොහොතෙහි කළල අවස්ථාවේ පටන් කෙළ සියයක් මාරයෝ කෙළ සියයක් මහමෙර ඔසවා බෝසතාණන්වහන්සේට හෝ බෝසත් මවට අනතුරැ කිරීමට පැමිණ තිබෙනවා. ඒ නියපොත්තෙන් කඩන්න ඇතිදේ කඩුවෙන් කැපීම දක්වා බලානොසිටීමටය. නමුත් ලොව උතුම්ම පුරුෂයෙකුට අත්වෙන එවැනි අනතුරු වළක්වනුලබන්නේ හරිම අපුර්ව ආශ්චර්යත්මක ලෙස.

මාරසේනාවන්ගෙන් බෝසත් මව ආරක්ෂා කිරීම සඳහා පැමිණෙන හතලිස් දහසක් වූ දස දහසක් සක්වළ සතර වරම් දෙව් රජවරු.

 මිට පෙර ලිපිවල අප මහා බෝසතාණන් වහන්සේ මව්කුස තුල පිළිසිඳ ගන්නා අවස්ථාවේ දසදහසක් සක්වළ දෙවිවරු එක්සක්වලකට එකතුවෙනවා යනුවෙන් සඳහන් කළා. ඔබ දන්නා පරිදි එක සක්වළකට එහි ආරක්ෂාවට සතරවරම් දෙවිවරු සතරදෙනෙක් බැගින් සක්වලවල් දසදහසකට දෙවිවරු ප්‍රධාන වශයෙන් සතළිස් දහසක් සිටිනවා. මෙම පිළිසිඳ ගන්නා අවස්ථාවේ එය වැළක්වීමට ඒ දසදහසක් සක්වලම මාර සේනා පැමිණෙනවා යනුවෙන් සඳහන් වෙනවා. ඉහතින් සඳහන් කළා එම මාර සේනාව කෙල සියයක් කියලා. ඒ කියන්නේ කෝටි සියයක්.

මේ අවස්ථාවෙහිදී මා ඉහතින් සඳහන් කල දසදහසක් සක්වළ දෙව් රජවරු හතළිස් දහසක් අසිපත් අතැතිව බෝසතාණන් වහන්සේගේ ආරක්‍ෂාවට සිරියහන් ගැඹට පිවිසෙනවා යනුවෙන් කියනවා. අනෙකුත් මහේශාක්‍ය දෙවිවරු ගැබ දොර පටන් සක්වළ කෙලවර දක්වා මහා විනාශයක් කිරීමට පැමිණි පාංශුපිශාච ආදී යක්ෂ සමුහයා ඉවත්කොට සක්වළ කෙලවර දක්වා ආරක්ෂාව සපයනවා යනුවෙන් සඳහන්.

එය එසේ පවසද්දී රුහිරුප්පාද වස්තුවෙහි බුදුරජාණන්වහන්සේ මෙසේ දේශණා කරනු ලබනවා.

කිසිම බලවේගයකට බුදුවරයෙකුහට ජීවිත අනතුරක් කිරීම අභව්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශණා කිරීම. 

“මහණෙනි මේ කරුණු හේතු රහිතය. අනුන්ගේ උපක්‍රමයකින් බුදුරජුන්ගේ ජීවිතය තොරකරන්නේය, අනුන්ගේ උපක්‍රමයකින් බුදුරදුන් පිරිනිවන් පාන්නේය. මහණෙනි නුඹලා යව්. මහණෙනි, බුදුවරයෝ රැකිය නොහැකිය. මෙසේ අනුන්ගේ උපක්‍රමයකින් ඔවුන්ගේ ජිවිතයට අනතුරක් නැත” යනුවෙන් තවත් විශ්ව ධර්මයක් ගැන විස්තර කෙරෙනවා. එහෙත් ඒ බුද්ධත්වයෙන් පසුව විය හැකියි. මේ කියන්නේ බෝසත් අවදිය ගැනයි. 

අමනුෂ්‍යයන් දැක බිය නොවෙන බෝසත් මව්වරු.

විරූප වූ දැකිය නොහැකි වූ අමනුෂ්‍යයෝ සිටිනවා. ඔවුන් අතර ද භය ශබ්ද ඇති පක්‍ෂීන්ද සිටිනවා. යම් කෙනෙකුන්ගේ රූප දැක හෝ ශබ්දය අසා හෝ බෝසත් මවට බියක් හෝ තැති ගැනීමක් හෝ උපදින්නේද ඔවුන්ගේ ආරක්‍ෂා කරනු පිණිසද ඒ රැස් වූ දෙවියන් ආරක්ෂක වළල්ලක් තනනවා. එය එසේ වුවත් බෝසතාණන්වහන්සේගේ පින් තේජසින් හටගත් ගෞරවයෙන් තමන්ගේ ගෞරවාදරය නිසා ඔවුහු මෙසේ කරනු ලබනවා.

මෙසේ බෝසතාණන් වහන්සේගේ මවගේ කුටිය තුලට පිවිසි සතරවරම් දෙවිවරුන්ට ඇයව දර්ශනය වන මෙන්ම නොවෙන අවස්ථාවන්ද තිබෙනවා. ඒ ස්නානය කරන, සැරසෙන, වළදන, ආදී ශරීර කෘත්‍ය අවස්ථාවන්හි ඇයව දෙවිවරුන්ටවත් දර්ශනය වන්නේ නැහැ. සිරියහන්ගැබට පැමිණ උතුම් සයනයෙහි හුන් කාලයෙහි පමණක් දර්ශනය වනවා. එයත් තවත් ආශ්චර්යාත්මක කරුණක්.

ඒ වගේම අමනුෂ්‍යයන්ගේ දර්ශනය (මෙහි අමනුෂ්‍ය යන්නේ දෙවිවරුන්ට) මිනිසුන්ට බිය උපදවනු සුළු වෙයි. එහෙත් බෝසත් මව තමාගේත් පුත්‍රයාගේත් පින් බලයෙන් ඔවුන් දැක බිය නොවෙයි. ප්‍රකෘති අන්තඃපුර ආරක්‍ෂකයන් මෙන් ඔවුන් කෙරෙහි සිතක් උපදියි.

බෝසත් මව කිසිම කෙනෙකු හමුවේ දණ නොනැනීම.

ස්වභාවයෙන්ම සීලයෙන් යුතු වූ බෝසත්මව්වරුන් බුදුරජාණන්වහන්සේ නුපන් කල්හි මිනිසුන් තාපස පිරිවැජි ආදීන් ළග වැද උක්කුටිකයෙන් හිද සිල් ගනියි. එකල බෝසත් මව අෂ්ට සමපත්තිලාභී කාලදේවල ඍෂිවරයා වෙතින් සිල් ගත්තා. බෝසතුන්වහන්සේ නමක් කුසට පැමිණි කල්හි අනෙකෙකුගෙන් පාමුල ඉන්නට නොහැකිවෙනවා. එහෙත් එවැනි උතුම් පුරුෂයකු හා සම අසුනෙහි හිද ගැනීමද සීලය ද නින්දාවට කාරණයක් වෙනවා. එමනිසා සම අසුන් නොගෙන ඔවුන් පාමුළද නොසිට සිල්ගැනීම කරනු ලබනවා.

ඒ ලෙසම බෝසතාණන් වහන්සේගේ පිළිසිඳ ගැනීමෙන් පසුව බෝසත් පියා ඇතුළුව කිසි මිනිසෙකු කෙරෙහි හෝ පුරුෂයන් කෙරෙහි ඇලීම් සිතක් මවට ඇතිවන්නේ නැහැ. එය බෝධිසත්ත්වයන් කෙරෙහි ගෞරවයක් නොව ඇයගේ කෙළෙස් හීන බැවිනි.

පුරුෂයෙකුට රාග සිතෙන් එළඹිය නොහැකි සහ තම ස්වාමිපුරුෂයා ඇතුළු පුරුෂයන් කෙරෙහි රාග සිතක් පහල නොවෙන බෝසත් මවුවරු.

බෝසත් මවගේ රූපය ඉතා දක්ෂ සිත්තරෙකුට පවා පොතක අඳින්නට නොහැකිය යනුවෙන් මේ කොටස මිට ඉහත ලිපියේද සඳහන් කළා. ඒ නිසා එවැනි මහත් රුපසම්පත්තියක් හෙබි එවැන්නියක් දැක පෘථග්ජන මිනිසුන්හට රාගය ඉපදිය නොහැකි යැයි කාට නම් කිව නොහැකිද? එමනිසාම ඇගේ රූසපුව කෙරෙහි ඇලුණු රාග සිතින් යම් කෙනෙකු ඇය වෙත එළඹීමට කැමති වෙයිද ඔහුගේ පාද ඔසවන්නට නොහැකි වනවා යනුවෙන් සඳහන් වනවා. ඊට හේතුව දිව්‍යමය විලංගු වලින් බැඳී යාමයි. එය අප මහා බෝසතාණන් වහන්සේ පිළිසිඳගත් දිනයේ සිට තම සැමියා වන ශුද්ධෝධන රජතුමාටත් එකසේ වලංගුයි. ඒ විතරක් නෙවෙයි මවටත් තම සැමියා ඇතුළු කිසිම පුරුෂයෙකු කෙරෙහි රාග සිතක් ඇතිවන්නේ නැහැ. එය බෝධිසත්ත්වයන් කෙරෙහි ගෞරවයක් නොව ඇයගේ කෙළෙස් හීන බැවිනි.

 මේ සියල්ල විශ්ව ධර්මතාවයන්.

 
 

Ape Budu Hamuduruwo 149

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 149

බුදුවරයෙකු ලොව පහළවීමේ දී ඇතිවෙන ඔබ නොදත් අසිරිමත් කරුණු 02

පුරුෂයකුට රාග සිතෙන් එළඹිය නොහැකි බෝසත් මවුවරු සහ සතර ගර්භවක්‍රාන්තිය..

මෙලෙස අපගේ මහා මායාවක් බදු වූ මහාමායා දේවිය පෙර රෑ දුටු සිහිනයත් සමග මහා බෝසතාණන්ගේ පිලිසිද ගැනීම් සිදු වුනා. ඒ පිලිසිද ගැනීමේ පටන් මහබොහොසත් උපත දක්වා දිවෙන කාලය අපූරු අසිරිමිත් කරනු වලින් පිරිගත් එකක්. එනිසාම ඒ මා කියවූ කරුණු මෙලෙස තව දුරටත් ඔබහට ගෙන එනවා.

බෝසත්කුමරු පිළිසිඳගත් මොහොතේ පටන් මහමායා දේවිය ලැබූ ලාබ සත්කාර.

මෙවන් උත්තම පුත්‍ර රත්නයකගේ පිළිසිඳ ගැනීම අවට පැවති සියලුම රට රාජ්‍යය දක්වා පැතිර ගියා. හාත්පසින් රජවරු මාහැගි ආභරණ තුර්යදී වශයෙන් පංචද්වාරයට අරමුණු පඩුරු වශයෙන් එවන්නට වුනා. බෝසතානන්වහන්සේටද බෝසත් මවටද කරන ලද කර්ම උත්සන්න හෙයින් ලාභසත්කාරයෙහි මෙපමණ යැයි ප්‍රමාණයක් නම් වුනේ නැහැ. ඇය එතැන් පටන් ලාබයෙන් හා යසසින් අග තැන්පත් වන්නට වුනා.

ගැබ තුල සිටින බිලිඳා දැකිය හැකි බෝසත් මව

යම්සේ ස්ත්‍රීහු ගැබෙහි බරින් ක්ලාන්ත වෙයි ද, අත්පා ඉදිමීමට පැමිණෙත් ද, ඇයට මෙබදු කිසිම ක්ලාන්තයක් හෝ වෙනත් රෝග පිඩාවක් හටගත්තේ නැහැ.

ඒ විතරක් නෙවෙයි බෝසතාණන් වහන්සේ පිළිසිඳගත් කළල අවස්ථාවේ පටන් හටගත් අංග ප්‍රත්‍යංග අඩුනොවූ පංච ඉන්ද්‍රිය බවට පැමිණෙන අයුරු දකියි. කුමක් පිණිස දකීද සැපසේ වාසය කිරීම පිණිසය. යම්සේ මව පුතා සමග හුන්නේ හෝ හොත්තේ හෝ අත් පා එළබෙන්නාහු ඔවා තබන්නේමියි සැපසේ විසීම පිණිස පුතා දෙස බලයි. මෙසේ බෝසත් මවද යම් ඒ මවගේ නැගිටීම යාම පෙරළීම හිදීම ආදියෙන් ද උණුසුම ශීතල ලුණු රස තිත්ත රස කටුක ආහාර අනුභව කරන කල්හි ද ගැබට දුක් උපදියි. මගේ පුතාට එය සුවය පිණිස ඇත්දැයි බලන්නී පර්යන්කයක් බැද හුන් බෝසතුන් දකියි. යම්සේ අනෙත් අය ඇතුල් කුසට පැමිණියාහු පක්වාසය අමාශය ඔසවා උදර පටලයෙහි පෘෂ්ටය කොට පිටකටුව නිසා උක්කුටිකව දෙමිටෙහි හනුව තබා වැසි වසිනා කල ගස් සිදුරෙහි වදුරෙක් මෙන් සිටී. එහෙත් බෝධිසත්වයන්වහන්සේලා එසේ නොවේ. බෝධිසත්වයන්වහන්සේ වනාහි පිටකටුව පිටට කොට ධර්මාසනයෙහි ධර්මකථිකයෙක් මෙන් පළගක් බැද පෙරදිගට අභිමුඛව සිටියි. පෙර කරන ලද කර්මය ඔහුගේ වස්තුව පිරිසිදු කරයි. වස්තුව පිරිසිදු වූ කල සියුම් සිව් ලකුණ උපදියි. එකල කුසට පැමිණියේ එය සමෙන් වසන්නට නොහැකිවෙයි. බලන කල පිටත සිටියාක් මෙන් පෙනෙයි.

බෝසතාණන්වහන්සේ පිළිසිද ගැනීමෙන් පසු බෝසත් මවට පුරුෂයින් කෙරෙහි අනුරාග සිතක් උපදින්නේ නැහැ. සැපවත් ව ගිලන් නොවූ සිරුරින් යුක්ත වු, කුස තුල වැඩෙන බෝසතුන් වහන්සේ මිණි රුවනක ඇමිණු පඩුවන් නූලක් මෙන් ඇය දකින්නට වුනා. බෝසතුන්වහන්සේ පිළිසිද ගත් මව් කුස සෑයක ඇතුල් ගැබ මෙන් පවිත්‍රයි. වෙනත් සත්ත්වයකුට එම කුස තුළ පිළිසිද ගැනීමට හෝ විසීමට නොහැකිය. එම නිසා බෝසතාණන්වහන්සේ ඉපදී සත් දවසක් ගත වූ කල්හි බෝසත් මව කළුරිය කොට තුසිත පුරයෙහි උප්පත්තිය ලැබීම තවත් එක් ධර්මතාවයක්.

එසේ ම වෙනත් මව්වරු දස මසට නොපැමිණිද ඉක්මවාද දරුවන් වදනු ලබනවා. එහෙත් බෝසත් මව්වරු එසේ නොවෙයි. බෝසත් මව දශ මසක් කුසෙහි දරා නැගිට සිටියදී ම බෝසතාණන්වහන්සේ ව බිහි කරනු ලබනවා. ඒ කරුණු බෝධි සත්ත්ව මාතාවන් පිළිබද ධර්මතාවෝ වෙනවා.

බෝසතාණන් වහන්සේ මවු කුසට පැමිණි පසු ඒ මවු තුමිය අන්‍යයනට පරිභෝග කළ නොහැකිය. ඒ හේතුවෙන් බෝසත් මව ඉවත්කොට අනෙකෙක් අගමෙහෙසිය තනතුරෙහි තබන්නටද නොහැකිය. එබැවින් බෝසත් මවට ආයුෂ බොහෝ නොවෙයි. එහෙයින් එකල්හිම කළුරිය කරයි .කුමන වයසේ දී කළුරිය කරයිද? මධ්‍යම වයසේදීය. පළමු වයස් කාලයෙහි සත්ත්වයන්ට ආත්මය කෙරෙහි ජන්දරාගය බලවත් වෙයි. එහෙයින් එකල හටගත් ගැබ් ඇති ස්ත්‍රීහු ඒ ගැබ ආරක්ෂා කරන්නට නොහැකි වෙයි. ගැබට බොහෝ බාධා ඇති වෙයි. මැද වයසේ ඇත්තියන්ගේ දෙකොටසක් ඉක්මවා තුන්වන කොටසෙහි වස්තුව පිරිසිදු වෙයි. වස්තුව පිරිසිදු වූ කළ ඉපදුන දරුවෝ නිරෝග වෙති. එහෙයින් බෝසතාණන්වහන්සේගේ මව පළමු වයසේදී සම්පත් අනුභව කොට මැද වයසේ තුන්වන කොටසෙහි ප්‍රසූත කොට දින සතකට පසුව කළුරිය කරනු ලබයි.

පුරුෂයකුට රාග සිතෙන් එළඹිය නොහැකි බෝසත් මවුවරු සහ සතර ගර්භවක්‍රාන්තිය..

බෝසත් මවගේ රූපය ඉතා දක්ෂ සිත්තරෙකුට පවා පොතක අඳින්නට නොහැකිය යනුවෙන් කියනවා. ඒ නිසා එවැනි මහත් රුපසම්පත්තියක් හෙබි එවැන්නියක් දැක පෘථග්ජන මිනිසුන්හට රාගය ඉපදිය නොහැකි යැයි කිව හැකි නොවේ. එමනිසාම ඇගේ රූසපුව කෙරෙහි ඇලුණු රාග සිතින් යම් කෙනෙකු ඇය වෙත එළඹීමට කැමති වෙයිද ඔහුගේ පාද ඔසවන්නට නොහැකි වනවා යනුවෙන් සඳහන් වනවා. ඊට හේතුව දිව්‍යමය විලංගු වලින් බැඳී යාමයි. එය අප මහා බෝසතාණන් වහන්සේ පිළිසිඳගත් දිනයේ සිට තම සැමියා වන ශුද්ධෝධන රජතුමාටත් එකසේ වලංගුයි.

ලොව මිනිස් ප්‍රජාව පිළිසිඳ ගැනීම් සතර නොහොත් සතර ගර්භවක්‍රාන්තිය.

සිහියෙන් යුක්තව බෝධිසත්වයන්වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව මව් කුසට පැමිණියේ හතර වැනි ගර්භවක්‍රාන්තියට අනුවයි. එනම් ගර්භවක්‍රාන්තියෝ හතරක් වනවා.

1.මේ ලෝකයෙහි සමහරෙක් සිහිනැතිවම මව් කුසට පැමිණෙනවා, සිහිනැතිවම මව්කුස සිටිනවා, සිහිනැතිවම මව්කුසින් නික්මෙනවා. මේ පළමුවන ගර්භවක්‍රාන්තියයි.

2.මේ ලෝකයෙහි සමහරෙක් සිහි ඇතිවම මව් කුසට පැමිණෙනවා, සිහි නැතිවම මව් කුස සිටිනවා. සිහි නැතිවම මව් කුසින් නික්මෙනවා. මේ දෙවන ගර්භවක්‍රාන්තියයි.

3.මේ ලෝකයෙහි සමහරෙක් සිහි ඇතිවම මව් කුසට පැමිණෙනවා, සිහි ඇතිවම මව් කුසේ සිටිනවා, සිහි නැතිවම මව් කුසින් නික්මෙනවා, මේ තුන්වන ගර්භවක්‍රාන්තියයි.

4.මේ ලෝකයෙහි සමහරෙක් සිහි ඇතිවම මව්කුසට පැමිණෙනවා, සිහි ඇතිවම මව්කුස සිටිනවා, සිහිඇතිවම මව්කුසින් නික්මෙනවා, මේ හතරවන ගර්භවක්‍රාන්තියයි.

මෙයින් පළමුවැන්න ලෞකික මිනිසුන්ට වෙයි. දෙවැන්න අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාටයි. තෙවැන්න අගසව් දෙනමට හා පච්චේක බෝධිසත්වයන්වහන්සේලාටයි. මේ අය කර්මජ වාතයෙන් පාද උඩුකුරුව හිස යට කොට නොයෙක් සිය ගණන් පුරුෂයින් හෙළන ප්‍රපාතයක මෙන් යෝනි මුඛයට වැටී යතුරු සිදුරකින් ඇතෙක් අදින්නාක් මෙන් බොහෝ සම්බාධයන්ගෙන් ගහනව යෝනි මුඛයෙන් නික්මෙන අවස්ථාවේ නොයෙක් දුකට පැමිණෙයි. එහෙයින් ඔවුන්ට අපි නික්මෙමුයි සිහියක් නොවෙයි. හතර වැන්නෙක් කී සර්වඥ බෝධිසත්වයන්වහන්සේ තමන් මව්කුස පිළිසිද ගැනීම දනියි, එහි සිටින බවත් දනියි. නික්මෙන කාලයෙහි ද කර්මජ වාතයට ඔහුගේ පාද උඩුකුරුවන් හිස යටිකුරුවන් කොට හෙළන්නට නොහැකි වෙයි. අත්දෙක දිගු කොට ඇස් හැර සිටගෙනම මනා සිහියෙන් යුතුව ගර්භාෂයෙන් නික්මෙයි.

Ape Budu Hamuduruwo 148

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 148

 

බුදුවරයෙකු ලොව පහළවීමේ දී ඇතිවෙන ඔබ නොදත් අසිරිමත් කරුණු 01

දස දහසක් සක්වළ මවිතකරවන දෙතිස් පෙරනිමිති

මිට පෙර ලීවේ අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවෙන් චුතවීම පිළිබඳවයි. එලෙස දසදහසක් සක්වළ කම්පාකරමින් දෙව්ලොව අප මහා වීරයාණන් වහන්සේගේ චුතිය සිදුවනවිට මනුලොව ඒබව නොදැනුවත්වම ඒ සඳහා මෙලෙස සියලු කටයුතු සැකසෙමින් පැවතුනා.

එදා කපිල වත්ථු පුරයෙහි ඇසළ නැකත් ක්‍රීඩා පැවැත්වෙන දිනයයි. මහජනයා මහත් ප්‍රීතියෙන් සැමතැනම නැකත් කෙළි පවත්වන්නට වුනා. මහා මායා දේවිය පුන් පොහොයට පෙර සත් දිනක පටන් මධු පානයෙන් තොරව මල්ගද විලවුන් හා සැරසීමෙන් අලංකෘත වූ නැකත් කෙළි නරඹමින් රසවිදිමින් සතුටු සිතින් කාලය ගතකලා. සත් වැනි දින අළුයම නැගිට සුවද පැන් නා සාර ලක්‍ෂයක් වියදම් කොට මහදන් දී සර්වාභරණයෙන් සැරසී රස බොජුන් වළදා උපෝසථ ශීලය සමාදන්ව ඒ සියලු වත්පෙහෙවත් අවසානයේ අලංකාර සිරියහන් ගැඹට පිවිස නින්දට වැටුණා. එදා නින්දේදී ඇය විසින් කිසිම දිනක නුදුටු මෙවන් අසිරිමත් සිහිනයක් දුටුවා.

මහාමායා දේවිය දුටු සිහිනය.

සතරවරම් මහරජවරු ඇය සැතපී සිටි යහන සමග ම ඔසවා හිමවත් පෙදෙසට ගෙනගියා. ගෙනගොස් සැට යොදුන් පමණ වූ රත් ගල් තලාවක මත වූ සත් යොදුනක් පමණ උස පළලවූ මහ සල් ගසක් යට තබා ඉවත් ව සිටියා. ඉන්පසු ඔවුන් සමග පැමිණි දිව්‍යාංගනාවන් අවුත් මායා දේවිය අනෝතප්ත විල වෙතට ගෙනයනු ලැබුවා. ඉන්පසු මිනිස් මළ හරනු පිණිස නහවා දිව්‍යමය වස්ත්‍ර හදවා සුවද උළා දිවමල් පළදවා ඒ ළග තිබුණු රිදී පර්වතය තුළ රන් විමනෙහි පෙර දිගට හිසලා පනවන ලද දිව යහනෙහි සැතපවනු ලැබුවා. එකෙණෙහිම බෝසතාණන්වහන්සේ සුදු උතුම් ඇත් හිසක් ගෙන ඒ ළග තිබුණු රන් පව්වෙහි සැරිසරා එයින් බැස පව්වට නැග උතුරු දිශාවෙන් අවුත් රිදී මල් දමක් බදු හොඩින් සුදු වන් නෙළුම් මලක් ගෙන කුන්චනාද කොට රන් විමනට පිවිස මව සිටි යහනය තෙවරක් පැදකුණු කොට මවගේ දකුණු ඇළය ස්පර්ශ කොට කුස තුළට පිවිසියාක් මෙන් දැනුණා. මෙසේ අප මහා බෝසතාණන්වහන්සේ උතුරුසළ නැකතින් පිළිසිද ගනු ලැබුවා.

සිහිනයෙහි අරුත් දැනගැනීමට පඬිවරුන් කැඳවීම.

සිහිනයක් ලෙස ඇයට පෙනුණත් එය සත්‍යාකාරවම සිදුවනා. ඒ නිසා එය සැබවින්ම සිහිනයක්ද ඇත්තක්ද යනුවෙනුත් ඇයට සිතෙන්නට ඇති. පසුදින පිබිදුණු දේවිය මේ සිහිනය රජුට සැළකලා. රජතුමා එය සැහැල්ලුවට ගත්තේ නැහැ. රජතුමා ක්ෂණිකවම ඒ උදෑසණ සුසැටක් බමුණු පඩිවරුන් රජ මැදුරට කැඳවනු ලැබුවා. කොළ පැහැයෙන් පිරිබඩ කළ විළද ආදියෙන් මංගලශ්‍රීයෙන් යුත් බිම මහගු අසුන් පණවා එහි හුන් බමුණන්ට ගිතෙල් මී ආදියෙන් මිශ්‍ර වූ රසවත් කිරිබත් රන්, රිදී, පාත්‍ර පුරවා රන්, රිදී, බදුනින් සංග්‍රහ කරන්නට වුනා. තවත් අළුත් වස්ත්‍ර හා කිඔුල් වන් දෙනුන් ද දී ඔවුන් සතුටු කරනු ලැබුවා. මෙසේ කැමති දේ ලැබීමෙන් තෘප්තිමත් වූ බමුණන්ට හීනය සැළ කොට එහි අරුත් ඵල විපාක විමසනු ලැබුවා. ඒ සියල්ලටම හොඳින් කන්දුන් ඒ බමුණන් මෙලෙස එහි අර්ථය පහදන්නට වුනා.

මහාමායා දේවිය දුටු සිහිනයේ අරුත බමුණන් විසින් පැහැදිළි කරදීම.

“මහරජ නොසැලෙනු. ඔබ දේවියගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. ඒ පිරිමි දරු ගැබකි. ස්ත්‍රී ගැබක් නොවේ. ඔබට පුතෙක් උපදින්නේය.ඔහු ගිහි ගෙයි වසන්නේ නම් සක්විති රජෙක් වන්නේය. ඉදින් ගිහි ගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙළෙස් පියසි දුරු කළ බුදු වන්නේය.”

මෙවැනි දෙයක් කණවැකුණු පියකුගේ හෝ මවකගේ සිතෙහි ඇතිවන සතුට කොපමණදැයි ඔබට සිතා ගැනීමට හැකියි.

කල්ප ගණනකට පසු යලිත් දෙතිස් පෙර නිමිති ලොව පහළවීම.

ඒ විතරක් නෙවෙයි. බෝසතාණන්වහන්සේ මව් කුසෙහි පිළිසිද ගත් කෙනෙහිම එකවර දශ දහසක් සක්වල කම්පාවුනා. සෙළවුනා. වෙව්ලුවා. මිට පෙරත් කී පරිදී දෙතිස් පෙර නිමිති පහළ වුනා. දස දහසක් සක්වල මහත් ආලෝකයක් පැතිරුණා. කිසිවිටකත් ඉර සඳුගේ එළිය නොවැටෙන ලෝකාන්තර නිරය (සක්වළවල් තුනක් අතර ඇති හිඩැස. හරියටම කරත්ත රෝද තුනක් එක්කලවිට ඇතිවෙන පිරවීමට නොහැකි හිඩැස මෙන්.) පුරා ආලෝකය පැතිරීම. ඒ බෝසතාණන්වහන්සේගේ රූසපුව දකින්නට මෙන් අන්ධයෝ ඇස් ලැබුවා. ධර්මශ්‍රවනයට මෙන් බිහිරන්ට ශබ්ද ඇසුනා. ධර්ම සාකච්ඡාවට ඉඩ ලැබුණු විලස ගොළුවනට කතා කිරීමට හැකියාව ලැබුණා. කුදු අයගේ කුදු ගතිය නැති වුනා. පිල්හු දෙපයින් ගමන් කලා. සිරගත අය එයින් මිදුණ. සියළු අපායන්හි ගිනි නිවිගියා. ප්‍රේත යෝනියෙහි සා පිපාසා සංසිදිනා නිරන්තරයෙන්ම බයෙන් පෙලෙන තිරිසන් සතුන්ගේ බිය නැතිවුණා. එකිනෙකාව ගොදුරු කරගන්නා සතුන් මිත්‍ර ස්වභාවයක් පෑවා. සියළු සත්ත්වයන්ගේ ම රෝග සුව වුනා. සියළු සත්ත්වයෝම ප්‍රිය තෙපුල් ඇත්තෝ වුනා. අශ්වයෝ මිහිරි හඩින් හේසරාව නාද කලා. ඇත්හු කුංච නාද කලා. සියලු තුර්යය භාණ්ඩ ඉබේම සිය නාද මුදා හැරියා. මිනිසුන් පැළද සිටි ආභරණ එකිනෙක නො ගැටීම නාද වුනා. සියලු දිශා පැහැපත් වුනා. හැමදෙනාට ම සුව ගෙන දෙන සේ සිනිදු සිසිල් වාතය හමන්නට වුනා. අකල් වැසි නො වට, පොළොවෙන් ජල ධාරා නැගී ගලා ගියා. පක්‍ෂිහු අහස් ගමන අත්හැර බිමට බැස්සා. ඇල දොළ ගංගා ගැලීම නතර වුනා. මුහුදු ජලය මිහිරි වුනා. ගොඩ බිම සැමතැන පස්වන් මලින් වැසුණා. එකෙණෙහි ගොඩ බිම සියළු මල් පිපිණා. ගස් කදෙහි පිපෙන මල් ද අතුවල පිපෙන මල් ද වැල්වල පිපෙන මල් ද ක්‍ෂණයෙහි පිපිණා. පොළොවෙහි ගල්තලා බිද එක එකක් මත්තෙහි සත සත සිටින සේ දණ්ඩපදුම පිපිණා. අහසෙහි එල්බෙන පියුම් ද පිපිණි. හාත්පස මල් වර්ෂා වැටිණා. අහසෙහි දිව්‍යය තුර්යය භාණ්ඩ වාදනය වුනා. දශ දහසක් සක්වල වට කොට තබන ලද මල් ගුලියක් මෙන් ද තද කොට බදින ලද මල් කළබක් මෙන් ද අලංකාර කොට සාදන ලද මල් අසුනක් මෙන් ද එකම මල් මාලාවක් මෙන් ද පොපිවන් මල් විදුනාවක් මෙන් ද මල් සුවදින් හා දුම් සුවදින් සුවදවත් ව අතිශය ශෝභාවෙන් අග තැන්පත් වුනා. සත්‍යවශයෙන්ම එදින මගුල් සක්වළක සැබෑ සිරි පැවා.

 
 
 

Ape Budu Hamuduruwo 147

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 147

 

පංච මහා විලෝකනය නොහොත් පස් මහා බැලුම්.

මිට ඉහත ලිපියේ කියූ පරිදී දෙව්ලොවින් චුතවීමේ නිමිති පහල වූ පසු දෙවුවරු බොහෝවිට දුකටත් භයටත් පීඩාවටත් පත්වේ. එහෙත් බෝසතාණන් වහන්සේලා මෙන්ම අප මහා බෝසතාණන් වහන්සේත් තුසිත දෙව්ලොවේ උපන්නෙත් තුසිත දෙව්ලොවෙන් චුත වුවෙත් මනා සිහිනුවනින්. මොනයම් හෝ බියකින් තතිගනිමකින් නොවේ. ඊට හේතුව මිට පෙර පාරමිතා පුරමින් පැමිණි ගමනත් මින් මතු බුද්ධත්වයට පැමිණෙන බවත් හොඳින් දැන සිටීමයි. එය මීට පසුව ලියවෙන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම යටතේ ලියවෙනවා.

මෙලෙස බෝසතාණන් වහන්සේගේ පූර්ව නිමිති පහල වූ පසු එක් එක් සක්වලට අයත් චතුර්මහාරාජ, සක්ක, සුයාම, සන්තුසිත, පරනිර්මිත, වසවර්ති වැසි දිවියෝ මහා බ්‍රහ්මයන් සමග එක් සක්වලකට රැස්වෙනවා. රැස්වී තුසිත භවනයෙහි වෙසෙන බෝසතුන් වෙත ගොස් ” නිදුකාණෙනි, ඔබ විසින් දශ පෙරුම් දම් පුරන ලද්දේ, ශක්‍ර සම්පත්, මාර, බ්‍රහ්ම, සක්විති සම්පත් ආදිය සදහා නොවේ. හුදෙක් ලෝකයා සසරින් එතර කිරීමට බුද්ධත්වය පතමින් පුරන ලද්දේය. නිදුකාණෙනි,දැන් ඔබට බුදු බව සදහා කාලයයි,” යනුවෙන් පවසමින් ඇයද සිටින්නට වනවා.

පංච මහා විලෝකනය

මෙලෙස මුළු මහත් සක්වලක දෙවිවරු පැමිණ ආරාධනය කලත් බෝසතාණන් වහන්සේ නමක් එලෙස එක්වරම ඒ ආරාධනය පිළිගන්නේ නැහැ. ඒ සඳහා ඔබ අප කවුරුත් හොඳින් දන්නා පස්මහ බැලුම් වශයෙන් බුදුවරයෙකු ලොව පහළවීමට අත්‍යාවශ්‍ය විවිධ කරුණු පරික්ෂා කිරීමෙන් පසු තමයි ඒ තීරණයට එළඹෙන්නේ. එබැවින් අප මහා බෝසතාණන්වහන්සේත් දෙවියන්ට ප්‍රතිඥා නොදී කාලය, දීපය, දේශය, කුලය, මව, යන පස් මහ බැලුම් මෙලෙස පිරික්සන්නට වුනා.

කාලය

එහිදී පළමු කොට සැළකිල්ලට ගැනෙන්නේ මිනිස් ආයු කාලයයි. මනුෂ්‍යය ආයුෂ අවුරුදු ලක්‍ෂයට වඩා වැඩිනම් එවැනි කාලයක් බුද්ධත්වයට සුදුසු කාලයක් නොවේ හැටියටයි සැළකෙන්නේ. එකල ආයු කාලයේ ඇති දීර්ඝ බව නිසාම මිනිසුන්ට ඉපදීම, මහලු වීම, මරණය පිළිබද මනා අවබෝධයක් නැතිව යනවා. බුදුවරුන්ගේ ධර්ම දේශනා සැමකල්හිම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ආදී ත්‍රිලකුණෙන් නො මිදුනේ වෙයි. එහෙත් මෙම දීර්ඝ ආයුෂ ගෙවෙන කලෙක උපතලත් මිනිසුන්ට ත්‍රිලකුණු ප්‍රකට වන්නේ නැහැ. එම නිසාම තථාගත ධර්මය සැදැහැවෙන් ඇසිය යුතු දහමක් ලෙස සිතෙන්නේ නැහැ. එබැවින් එවැනි කාලය ධර්මාවබෝධය පිණිස නොවේ. එම නිසා බුදුඋපතකට මේ සුදුසු කාලයක් නොවන හැටියටයි සැළකෙන්නේ. වසර සියයට අඩු කාලය ද සුදුසු කාලය නොවේ. මක් නිසාද යත්, එකල මිනිසුන්ට කෙළෙස් අධික ලෙස උත්සන්නවීමයි. කෙළෙස් උත්සන්න සත්ත්වයින්ට දෙන අවවාද සුදුසු සේ පිහිටන්නෙත් නැහැ. දියෙහි දඩුයෙන් ඇදි ඉරක් මෙන් වහා අමතක වෙලා යනවා. එමනිසා සියවසින් අඩු කාලය ද බුදුකෙනෙකු ලොව පහළවීමට සුදුසු කාලය නොවෙයි. මේ නිසා වසර ලක්‍ෂයට අඩු වසර සියයට වැඩි ආයු පවතින කාලය බුදුවරයෙකුගේ උපතකට සුදුසු ආයු කාලය ලෙස සැලෙකෙනවා.

මෙලෙස සුදුසු කාලය ගැන බෝසතාණන් වහන්සේට එකල මනුලොවේ පරමායුෂ සියවසක් බව පෙනී ගියා. බෝසතාණන්වහන්සේ මෙලොව පහළ විය යුතු නිසි කාලය බව දැනගත්තා.

දීපය

ඉන් අනතුරුව දීපය බලන බෝසතාණන්වහන්සේ පිරිවර දීප සහිත සතර මහාද්වීප බලා මහාද්වීප තුනෙක බුදුවරු නොඋපදින බව දැන ජම්බුද්වීපයෙහි ම උපදින බව දුටුවා. එමනිසා දඹදිවම දීපය ලෙස තෝරාගනු ලැබුවා.

දේශය

දඔදිව වනාහි යොදුන් දස දහසක් පමණ වනවා. එමනිසා එම ද්වීපයේ කවර නම් පෙදෙසක සම්බුදුවරු උපදිත්දැයි ප්‍රදේශය බලන්නට වුනා. එවිට දඹදිව මධ්‍යම ප්‍රදේශය දුටුවා. මධ්‍යම ප්‍රදේශය නම් පෙර දිගින් කජංගල නම් නියම් ගමත් ඉන් ඔබ්බෙහි මහාසාල වශයෙනුත් නම් වුනා. එතැන් පටන් ප්‍රත්‍යන්ත ජනපද හෙවත් පිටිසර ප්‍රදේශයි. එයින් මෑත මධ්‍යම ප්‍රදේශයයි. පුබ්බදක්ඛි දිශාවෙන් හෙවත් ගිනිකොණින් සළලවතී නම් ගඟ වෙයි. එතැන් සිට ප්‍රත්‍යන්ත ජනපදයි. ඉන් මෑත මධ්‍යම ප්‍රදේශයයි. දකුණු දිශාවෙහි සේතකණ්ණික නම් නියම්ගම් වෙයි. එතැන් සිට ප්‍රත්‍යන්ත ජනපදයි. ඉන් මෑත මධ්‍යම ප්‍රදේශයයි. බටහිර දිසාවෙන් ථූන නම් බ්‍රහ්මණ ගමයි. එතැන් සිට ප්‍රත්‍යන්ත ජනපදයයි. ඉන් මෑත මධ්‍යම ප්‍රදේශයයි. උතුරු දිශාවෙන් උසීරද්ධජ නම් පර්වතය වේ. එතැන් පටන් ප්‍රත්‍යන්ත ජනපදයයි. ඉන් මෑත මධ්‍යම ප්‍රදේශයයි. මේ වනයෙහි කියන ලද මධ්‍යම ප්‍රදේශයයි. එම ප්‍රදේශය දිගින් යොදුන් තුන්සියයකි. පළලින් දෙසිය පණස් යොදුනකි. වට ප්‍රමාණයෙන් නවසිය යොදුනකි. මේ දේශයෙහි බුදු , පසේබුදු ,අගසව් ,මහසව් ,අසුමහසවු ,සහ සක්විති රජවරු ද අනෙක් මහේශාක්‍ය රජ ,බමුණු ,ගැහැවි ,ආදී ප්‍රභූ ජනයෝ ද උපදිත්. දැන් එහි කපිලවත්ථු නම් නුවරක් ඇත. මාද එහි ඉපදිය යුතුයි බෝසතාණන්වහන්සේ තීරණය කරනු ලැබුවා.

කුලය

කුලය විමසන බෝසතාණන්වහන්සේ බුදුවරු වෙළද කුලයෙහි හෝ ශුද්‍ර ආදී හීන කුලයක නොඋපදින බව දුටුවා. උසස් වශයෙන් සම්මත රජ කුලයෙහි හෝ බමුණු කුලයෙහි උපදින බවද දුටුවා. බමුණු කුලය රජ කුලයට වඩා ඉහලින් පවතින වන්දනාමාන කරන කාලයක් තියෙනවා. එහෙත් මෙකල රජ කුලය ලෝක සම්මතව බමුණු කුලයට වඩා ඉහලින් පිහිටියා. එමනිසා එම කුලයෙහි උපදිමියි ද පියා ශුද්ධෝදන නම් රජ වන්නේයැයි ද කුලය දුටුවා.

මව

අවසානයේදී උප්පත්තිය සඳහා සුදුසු පින්වත් මව් කුසය පිළිබඳව පිරික්සන්නට වුනා. බුද්ධ මාතාවෝ කම් සැපතෙහි හෝ සුරාවෙහි ලොල් වුවන් නොවෙයි. ඒ විතරක් නෙවෙයි කප් සුවහසක් පිරූ පාරමී ඇත්තියන්ද වෙනවා. උපතෙහි පටන් නො කැඩූ පන්සිල් ඇත්තවුන්ද වනවා. මේ සියලු වත්පිළිවෙත් පිරූ පින්වත් කුමාරිකාවක් මහාමයා දේවිය නමින් එකල රජබිසවක්ව සිටින බව දුටුවා. එමනිසා එතුමිය මාගේ මව වන්නේයැයි තීරණය කරනු ලැබුවා. එමෙන්ම ඇයගේ ආයුෂ ප්‍රමාණයද වැදගත් වන්නේ බෝධිසත්ත්ව උපතේ සිට සත්වන දිනයේ ඇය මෙලොව අතහැර දෙව්ලොව ඉපදීමයි. එලෙස බලනවිට මහමායා දේවීයගේ ආයුෂ ද දස මස් සත් දිනක් බවද දුටුවා.

මෙසේ මේ පංච මහා විලෝකනය කොට නිදුකාණෙනි, මේ බුදු බවට කාලයයි. රැස්වූ දෙවියන්ට සංග්‍රහ කරමින් ප්‍රතිඥා දී දසදහසක් සක්වලින් පැමිණි දෙවියන්ව පිටත්කොට තුසිත පුර දෙවියන් පිරිවරා ගෙන නන්දන වනයට පිවිසිය. සියලු දිව්‍ය ලෝකයන්හිම නන්දන නමින් විස්තර කල නොහැකි තරම්ද සියලු දෙවියන් පවා වසඟ කරවන උද්‍යානයක් තිබෙනවා.බොහෝ දෙවියන් දෙව්ලොවෙන් චුතවිම සඳහාද පැමිණෙන්නේ නන්දන උයනට. ඒ පිළිබඳව මිට ඉහත ලිපියේ සඳහන් කරනු ලැබුවා. එදා දෙවියන් පිරිවරාගෙන අප මහා බෝධිසත්වයන් වහන්සේද ඒ අති රමණීය නන්දන උයනට පැමිණියේ සසරේ මීට පෙර කල සේම සියලු දෙව් සැපසම්පත් අත්හරිමින් ඔබ අප වෙනුවෙන්ම බුද්ධත්වය උදෙසා මනු ලොව පහලවිමටයි. පැමිණි දෙවියෝද, එහි දී බෝසතුන්ට පින්වත, මෙයින් චුත ව සුගතියට හෙවත් මිනිස් ලොවට යන්නැයි පෙර කළ කුසල කර්ම විපාක අවස්ථාව සිහි කරවමින් රැස්වී සිටියා. මේ අතර අප මහාබෝසතාණෝ දෙව් ලොවින් චුත ව මහාමායා දේවියගේ කුසෙහි සිහිනෙන්ම පිළිසිද ගත්තා. ඒ මොහොතේ දස දහසක් සක්වළද කම්පාවන්නට පටන්ගත්තා.