අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 150

 

බුදුවරයෙකු ලොව පහළවීමේ දී ඇතිවෙන ඔබ නොදත් අසිරිමත් කරුණු 03

බෝසත් මවකට පමණක් ලැබෙන අතිවිශේෂ ආරක්ෂාව

බෝසතාණන් වහන්සේ නමක් තුසිත දෙව්ලොවෙන් චුතව මව්කුසතුල ඉපදී ප්‍රතිසන්ධි මොහොතෙහි කළල අවස්ථාවේ පටන් මෙලොව ප්‍රසූතිය දක්වා විශේෂ ආරක්ෂාවක් ලබනවා. ඒ අප නෙතට පෙනෙන රාජරාජ අමාත්‍යවරුන්ගෙන් නොවෙයි. මේ ලෝක පාලන සතරවරම් දෙවියන් ඇතුළු දස දහසක් සක්වළ දෙවියන්ගෙන්. මේ ලියවෙන්නේ ඒ පිළිබඳව මා විසින් කියවා ලබාගත් සුළු දැනුමෙන්.

බෝසත් උපත වලක්වාලීමට පැමිණෙන දසදහසක් සක්වළ කෙල ලක්ෂයක් වූ මාර සේනාව.

 අප අසා තිබුණේ බුද්ධත්වයට පැමිණි අවස්ථාවේ මාරසේනා පැමිණි බව පමණයි. එහෙත් ප්‍රතිසන්ධි මොහොතෙහි කළල අවස්ථාවේ පටන් කෙළ සියයක් මාරයෝ කෙළ සියයක් මහමෙර ඔසවා බෝසතාණන්වහන්සේට හෝ බෝසත් මවට අනතුරැ කිරීමට පැමිණ තිබෙනවා. ඒ නියපොත්තෙන් කඩන්න ඇතිදේ කඩුවෙන් කැපීම දක්වා බලානොසිටීමටය. නමුත් ලොව උතුම්ම පුරුෂයෙකුට අත්වෙන එවැනි අනතුරු වළක්වනුලබන්නේ හරිම අපුර්ව ආශ්චර්යත්මක ලෙස.

මාරසේනාවන්ගෙන් බෝසත් මව ආරක්ෂා කිරීම සඳහා පැමිණෙන හතලිස් දහසක් වූ දස දහසක් සක්වළ සතර වරම් දෙව් රජවරු.

 මිට පෙර ලිපිවල අප මහා බෝසතාණන් වහන්සේ මව්කුස තුල පිළිසිඳ ගන්නා අවස්ථාවේ දසදහසක් සක්වළ දෙවිවරු එක්සක්වලකට එකතුවෙනවා යනුවෙන් සඳහන් කළා. ඔබ දන්නා පරිදි එක සක්වළකට එහි ආරක්ෂාවට සතරවරම් දෙවිවරු සතරදෙනෙක් බැගින් සක්වලවල් දසදහසකට දෙවිවරු ප්‍රධාන වශයෙන් සතළිස් දහසක් සිටිනවා. මෙම පිළිසිඳ ගන්නා අවස්ථාවේ එය වැළක්වීමට ඒ දසදහසක් සක්වලම මාර සේනා පැමිණෙනවා යනුවෙන් සඳහන් වෙනවා. ඉහතින් සඳහන් කළා එම මාර සේනාව කෙල සියයක් කියලා. ඒ කියන්නේ කෝටි සියයක්.

මේ අවස්ථාවෙහිදී මා ඉහතින් සඳහන් කල දසදහසක් සක්වළ දෙව් රජවරු හතළිස් දහසක් අසිපත් අතැතිව බෝසතාණන් වහන්සේගේ ආරක්‍ෂාවට සිරියහන් ගැඹට පිවිසෙනවා යනුවෙන් කියනවා. අනෙකුත් මහේශාක්‍ය දෙවිවරු ගැබ දොර පටන් සක්වළ කෙලවර දක්වා මහා විනාශයක් කිරීමට පැමිණි පාංශුපිශාච ආදී යක්ෂ සමුහයා ඉවත්කොට සක්වළ කෙලවර දක්වා ආරක්ෂාව සපයනවා යනුවෙන් සඳහන්.

එය එසේ පවසද්දී රුහිරුප්පාද වස්තුවෙහි බුදුරජාණන්වහන්සේ මෙසේ දේශණා කරනු ලබනවා.

කිසිම බලවේගයකට බුදුවරයෙකුහට ජීවිත අනතුරක් කිරීම අභව්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශණා කිරීම. 

“මහණෙනි මේ කරුණු හේතු රහිතය. අනුන්ගේ උපක්‍රමයකින් බුදුරජුන්ගේ ජීවිතය තොරකරන්නේය, අනුන්ගේ උපක්‍රමයකින් බුදුරදුන් පිරිනිවන් පාන්නේය. මහණෙනි නුඹලා යව්. මහණෙනි, බුදුවරයෝ රැකිය නොහැකිය. මෙසේ අනුන්ගේ උපක්‍රමයකින් ඔවුන්ගේ ජිවිතයට අනතුරක් නැත” යනුවෙන් තවත් විශ්ව ධර්මයක් ගැන විස්තර කෙරෙනවා. එහෙත් ඒ බුද්ධත්වයෙන් පසුව විය හැකියි. මේ කියන්නේ බෝසත් අවදිය ගැනයි. 

අමනුෂ්‍යයන් දැක බිය නොවෙන බෝසත් මව්වරු.

විරූප වූ දැකිය නොහැකි වූ අමනුෂ්‍යයෝ සිටිනවා. ඔවුන් අතර ද භය ශබ්ද ඇති පක්‍ෂීන්ද සිටිනවා. යම් කෙනෙකුන්ගේ රූප දැක හෝ ශබ්දය අසා හෝ බෝසත් මවට බියක් හෝ තැති ගැනීමක් හෝ උපදින්නේද ඔවුන්ගේ ආරක්‍ෂා කරනු පිණිසද ඒ රැස් වූ දෙවියන් ආරක්ෂක වළල්ලක් තනනවා. එය එසේ වුවත් බෝසතාණන්වහන්සේගේ පින් තේජසින් හටගත් ගෞරවයෙන් තමන්ගේ ගෞරවාදරය නිසා ඔවුහු මෙසේ කරනු ලබනවා.

මෙසේ බෝසතාණන් වහන්සේගේ මවගේ කුටිය තුලට පිවිසි සතරවරම් දෙවිවරුන්ට ඇයව දර්ශනය වන මෙන්ම නොවෙන අවස්ථාවන්ද තිබෙනවා. ඒ ස්නානය කරන, සැරසෙන, වළදන, ආදී ශරීර කෘත්‍ය අවස්ථාවන්හි ඇයව දෙවිවරුන්ටවත් දර්ශනය වන්නේ නැහැ. සිරියහන්ගැබට පැමිණ උතුම් සයනයෙහි හුන් කාලයෙහි පමණක් දර්ශනය වනවා. එයත් තවත් ආශ්චර්යාත්මක කරුණක්.

ඒ වගේම අමනුෂ්‍යයන්ගේ දර්ශනය (මෙහි අමනුෂ්‍ය යන්නේ දෙවිවරුන්ට) මිනිසුන්ට බිය උපදවනු සුළු වෙයි. එහෙත් බෝසත් මව තමාගේත් පුත්‍රයාගේත් පින් බලයෙන් ඔවුන් දැක බිය නොවෙයි. ප්‍රකෘති අන්තඃපුර ආරක්‍ෂකයන් මෙන් ඔවුන් කෙරෙහි සිතක් උපදියි.

බෝසත් මව කිසිම කෙනෙකු හමුවේ දණ නොනැනීම.

ස්වභාවයෙන්ම සීලයෙන් යුතු වූ බෝසත්මව්වරුන් බුදුරජාණන්වහන්සේ නුපන් කල්හි මිනිසුන් තාපස පිරිවැජි ආදීන් ළග වැද උක්කුටිකයෙන් හිද සිල් ගනියි. එකල බෝසත් මව අෂ්ට සමපත්තිලාභී කාලදේවල ඍෂිවරයා වෙතින් සිල් ගත්තා. බෝසතුන්වහන්සේ නමක් කුසට පැමිණි කල්හි අනෙකෙකුගෙන් පාමුල ඉන්නට නොහැකිවෙනවා. එහෙත් එවැනි උතුම් පුරුෂයකු හා සම අසුනෙහි හිද ගැනීමද සීලය ද නින්දාවට කාරණයක් වෙනවා. එමනිසා සම අසුන් නොගෙන ඔවුන් පාමුළද නොසිට සිල්ගැනීම කරනු ලබනවා.

ඒ ලෙසම බෝසතාණන් වහන්සේගේ පිළිසිඳ ගැනීමෙන් පසුව බෝසත් පියා ඇතුළුව කිසි මිනිසෙකු කෙරෙහි හෝ පුරුෂයන් කෙරෙහි ඇලීම් සිතක් මවට ඇතිවන්නේ නැහැ. එය බෝධිසත්ත්වයන් කෙරෙහි ගෞරවයක් නොව ඇයගේ කෙළෙස් හීන බැවිනි.

පුරුෂයෙකුට රාග සිතෙන් එළඹිය නොහැකි සහ තම ස්වාමිපුරුෂයා ඇතුළු පුරුෂයන් කෙරෙහි රාග සිතක් පහල නොවෙන බෝසත් මවුවරු.

බෝසත් මවගේ රූපය ඉතා දක්ෂ සිත්තරෙකුට පවා පොතක අඳින්නට නොහැකිය යනුවෙන් මේ කොටස මිට ඉහත ලිපියේද සඳහන් කළා. ඒ නිසා එවැනි මහත් රුපසම්පත්තියක් හෙබි එවැන්නියක් දැක පෘථග්ජන මිනිසුන්හට රාගය ඉපදිය නොහැකි යැයි කාට නම් කිව නොහැකිද? එමනිසාම ඇගේ රූසපුව කෙරෙහි ඇලුණු රාග සිතින් යම් කෙනෙකු ඇය වෙත එළඹීමට කැමති වෙයිද ඔහුගේ පාද ඔසවන්නට නොහැකි වනවා යනුවෙන් සඳහන් වනවා. ඊට හේතුව දිව්‍යමය විලංගු වලින් බැඳී යාමයි. එය අප මහා බෝසතාණන් වහන්සේ පිළිසිඳගත් දිනයේ සිට තම සැමියා වන ශුද්ධෝධන රජතුමාටත් එකසේ වලංගුයි. ඒ විතරක් නෙවෙයි මවටත් තම සැමියා ඇතුළු කිසිම පුරුෂයෙකු කෙරෙහි රාග සිතක් ඇතිවන්නේ නැහැ. එය බෝධිසත්ත්වයන් කෙරෙහි ගෞරවයක් නොව ඇයගේ කෙළෙස් හීන බැවිනි.

 මේ සියල්ල විශ්ව ධර්මතාවයන්.

 
 
error: Content is protected !!