අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 147

 

පංච මහා විලෝකනය නොහොත් පස් මහා බැලුම්.

මිට ඉහත ලිපියේ කියූ පරිදී දෙව්ලොවින් චුතවීමේ නිමිති පහල වූ පසු දෙවුවරු බොහෝවිට දුකටත් භයටත් පීඩාවටත් පත්වේ. එහෙත් බෝසතාණන් වහන්සේලා මෙන්ම අප මහා බෝසතාණන් වහන්සේත් තුසිත දෙව්ලොවේ උපන්නෙත් තුසිත දෙව්ලොවෙන් චුත වුවෙත් මනා සිහිනුවනින්. මොනයම් හෝ බියකින් තතිගනිමකින් නොවේ. ඊට හේතුව මිට පෙර පාරමිතා පුරමින් පැමිණි ගමනත් මින් මතු බුද්ධත්වයට පැමිණෙන බවත් හොඳින් දැන සිටීමයි. එය මීට පසුව ලියවෙන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම යටතේ ලියවෙනවා.

මෙලෙස බෝසතාණන් වහන්සේගේ පූර්ව නිමිති පහල වූ පසු එක් එක් සක්වලට අයත් චතුර්මහාරාජ, සක්ක, සුයාම, සන්තුසිත, පරනිර්මිත, වසවර්ති වැසි දිවියෝ මහා බ්‍රහ්මයන් සමග එක් සක්වලකට රැස්වෙනවා. රැස්වී තුසිත භවනයෙහි වෙසෙන බෝසතුන් වෙත ගොස් ” නිදුකාණෙනි, ඔබ විසින් දශ පෙරුම් දම් පුරන ලද්දේ, ශක්‍ර සම්පත්, මාර, බ්‍රහ්ම, සක්විති සම්පත් ආදිය සදහා නොවේ. හුදෙක් ලෝකයා සසරින් එතර කිරීමට බුද්ධත්වය පතමින් පුරන ලද්දේය. නිදුකාණෙනි,දැන් ඔබට බුදු බව සදහා කාලයයි,” යනුවෙන් පවසමින් ඇයද සිටින්නට වනවා.

පංච මහා විලෝකනය

මෙලෙස මුළු මහත් සක්වලක දෙවිවරු පැමිණ ආරාධනය කලත් බෝසතාණන් වහන්සේ නමක් එලෙස එක්වරම ඒ ආරාධනය පිළිගන්නේ නැහැ. ඒ සඳහා ඔබ අප කවුරුත් හොඳින් දන්නා පස්මහ බැලුම් වශයෙන් බුදුවරයෙකු ලොව පහළවීමට අත්‍යාවශ්‍ය විවිධ කරුණු පරික්ෂා කිරීමෙන් පසු තමයි ඒ තීරණයට එළඹෙන්නේ. එබැවින් අප මහා බෝසතාණන්වහන්සේත් දෙවියන්ට ප්‍රතිඥා නොදී කාලය, දීපය, දේශය, කුලය, මව, යන පස් මහ බැලුම් මෙලෙස පිරික්සන්නට වුනා.

කාලය

එහිදී පළමු කොට සැළකිල්ලට ගැනෙන්නේ මිනිස් ආයු කාලයයි. මනුෂ්‍යය ආයුෂ අවුරුදු ලක්‍ෂයට වඩා වැඩිනම් එවැනි කාලයක් බුද්ධත්වයට සුදුසු කාලයක් නොවේ හැටියටයි සැළකෙන්නේ. එකල ආයු කාලයේ ඇති දීර්ඝ බව නිසාම මිනිසුන්ට ඉපදීම, මහලු වීම, මරණය පිළිබද මනා අවබෝධයක් නැතිව යනවා. බුදුවරුන්ගේ ධර්ම දේශනා සැමකල්හිම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ආදී ත්‍රිලකුණෙන් නො මිදුනේ වෙයි. එහෙත් මෙම දීර්ඝ ආයුෂ ගෙවෙන කලෙක උපතලත් මිනිසුන්ට ත්‍රිලකුණු ප්‍රකට වන්නේ නැහැ. එම නිසාම තථාගත ධර්මය සැදැහැවෙන් ඇසිය යුතු දහමක් ලෙස සිතෙන්නේ නැහැ. එබැවින් එවැනි කාලය ධර්මාවබෝධය පිණිස නොවේ. එම නිසා බුදුඋපතකට මේ සුදුසු කාලයක් නොවන හැටියටයි සැළකෙන්නේ. වසර සියයට අඩු කාලය ද සුදුසු කාලය නොවේ. මක් නිසාද යත්, එකල මිනිසුන්ට කෙළෙස් අධික ලෙස උත්සන්නවීමයි. කෙළෙස් උත්සන්න සත්ත්වයින්ට දෙන අවවාද සුදුසු සේ පිහිටන්නෙත් නැහැ. දියෙහි දඩුයෙන් ඇදි ඉරක් මෙන් වහා අමතක වෙලා යනවා. එමනිසා සියවසින් අඩු කාලය ද බුදුකෙනෙකු ලොව පහළවීමට සුදුසු කාලය නොවෙයි. මේ නිසා වසර ලක්‍ෂයට අඩු වසර සියයට වැඩි ආයු පවතින කාලය බුදුවරයෙකුගේ උපතකට සුදුසු ආයු කාලය ලෙස සැලෙකෙනවා.

මෙලෙස සුදුසු කාලය ගැන බෝසතාණන් වහන්සේට එකල මනුලොවේ පරමායුෂ සියවසක් බව පෙනී ගියා. බෝසතාණන්වහන්සේ මෙලොව පහළ විය යුතු නිසි කාලය බව දැනගත්තා.

දීපය

ඉන් අනතුරුව දීපය බලන බෝසතාණන්වහන්සේ පිරිවර දීප සහිත සතර මහාද්වීප බලා මහාද්වීප තුනෙක බුදුවරු නොඋපදින බව දැන ජම්බුද්වීපයෙහි ම උපදින බව දුටුවා. එමනිසා දඹදිවම දීපය ලෙස තෝරාගනු ලැබුවා.

දේශය

දඔදිව වනාහි යොදුන් දස දහසක් පමණ වනවා. එමනිසා එම ද්වීපයේ කවර නම් පෙදෙසක සම්බුදුවරු උපදිත්දැයි ප්‍රදේශය බලන්නට වුනා. එවිට දඹදිව මධ්‍යම ප්‍රදේශය දුටුවා. මධ්‍යම ප්‍රදේශය නම් පෙර දිගින් කජංගල නම් නියම් ගමත් ඉන් ඔබ්බෙහි මහාසාල වශයෙනුත් නම් වුනා. එතැන් පටන් ප්‍රත්‍යන්ත ජනපද හෙවත් පිටිසර ප්‍රදේශයි. එයින් මෑත මධ්‍යම ප්‍රදේශයයි. පුබ්බදක්ඛි දිශාවෙන් හෙවත් ගිනිකොණින් සළලවතී නම් ගඟ වෙයි. එතැන් සිට ප්‍රත්‍යන්ත ජනපදයි. ඉන් මෑත මධ්‍යම ප්‍රදේශයයි. දකුණු දිශාවෙහි සේතකණ්ණික නම් නියම්ගම් වෙයි. එතැන් සිට ප්‍රත්‍යන්ත ජනපදයි. ඉන් මෑත මධ්‍යම ප්‍රදේශයයි. බටහිර දිසාවෙන් ථූන නම් බ්‍රහ්මණ ගමයි. එතැන් සිට ප්‍රත්‍යන්ත ජනපදයයි. ඉන් මෑත මධ්‍යම ප්‍රදේශයයි. උතුරු දිශාවෙන් උසීරද්ධජ නම් පර්වතය වේ. එතැන් පටන් ප්‍රත්‍යන්ත ජනපදයයි. ඉන් මෑත මධ්‍යම ප්‍රදේශයයි. මේ වනයෙහි කියන ලද මධ්‍යම ප්‍රදේශයයි. එම ප්‍රදේශය දිගින් යොදුන් තුන්සියයකි. පළලින් දෙසිය පණස් යොදුනකි. වට ප්‍රමාණයෙන් නවසිය යොදුනකි. මේ දේශයෙහි බුදු , පසේබුදු ,අගසව් ,මහසව් ,අසුමහසවු ,සහ සක්විති රජවරු ද අනෙක් මහේශාක්‍ය රජ ,බමුණු ,ගැහැවි ,ආදී ප්‍රභූ ජනයෝ ද උපදිත්. දැන් එහි කපිලවත්ථු නම් නුවරක් ඇත. මාද එහි ඉපදිය යුතුයි බෝසතාණන්වහන්සේ තීරණය කරනු ලැබුවා.

කුලය

කුලය විමසන බෝසතාණන්වහන්සේ බුදුවරු වෙළද කුලයෙහි හෝ ශුද්‍ර ආදී හීන කුලයක නොඋපදින බව දුටුවා. උසස් වශයෙන් සම්මත රජ කුලයෙහි හෝ බමුණු කුලයෙහි උපදින බවද දුටුවා. බමුණු කුලය රජ කුලයට වඩා ඉහලින් පවතින වන්දනාමාන කරන කාලයක් තියෙනවා. එහෙත් මෙකල රජ කුලය ලෝක සම්මතව බමුණු කුලයට වඩා ඉහලින් පිහිටියා. එමනිසා එම කුලයෙහි උපදිමියි ද පියා ශුද්ධෝදන නම් රජ වන්නේයැයි ද කුලය දුටුවා.

මව

අවසානයේදී උප්පත්තිය සඳහා සුදුසු පින්වත් මව් කුසය පිළිබඳව පිරික්සන්නට වුනා. බුද්ධ මාතාවෝ කම් සැපතෙහි හෝ සුරාවෙහි ලොල් වුවන් නොවෙයි. ඒ විතරක් නෙවෙයි කප් සුවහසක් පිරූ පාරමී ඇත්තියන්ද වෙනවා. උපතෙහි පටන් නො කැඩූ පන්සිල් ඇත්තවුන්ද වනවා. මේ සියලු වත්පිළිවෙත් පිරූ පින්වත් කුමාරිකාවක් මහාමයා දේවිය නමින් එකල රජබිසවක්ව සිටින බව දුටුවා. එමනිසා එතුමිය මාගේ මව වන්නේයැයි තීරණය කරනු ලැබුවා. එමෙන්ම ඇයගේ ආයුෂ ප්‍රමාණයද වැදගත් වන්නේ බෝධිසත්ත්ව උපතේ සිට සත්වන දිනයේ ඇය මෙලොව අතහැර දෙව්ලොව ඉපදීමයි. එලෙස බලනවිට මහමායා දේවීයගේ ආයුෂ ද දස මස් සත් දිනක් බවද දුටුවා.

මෙසේ මේ පංච මහා විලෝකනය කොට නිදුකාණෙනි, මේ බුදු බවට කාලයයි. රැස්වූ දෙවියන්ට සංග්‍රහ කරමින් ප්‍රතිඥා දී දසදහසක් සක්වලින් පැමිණි දෙවියන්ව පිටත්කොට තුසිත පුර දෙවියන් පිරිවරා ගෙන නන්දන වනයට පිවිසිය. සියලු දිව්‍ය ලෝකයන්හිම නන්දන නමින් විස්තර කල නොහැකි තරම්ද සියලු දෙවියන් පවා වසඟ කරවන උද්‍යානයක් තිබෙනවා.බොහෝ දෙවියන් දෙව්ලොවෙන් චුතවිම සඳහාද පැමිණෙන්නේ නන්දන උයනට. ඒ පිළිබඳව මිට ඉහත ලිපියේ සඳහන් කරනු ලැබුවා. එදා දෙවියන් පිරිවරාගෙන අප මහා බෝධිසත්වයන් වහන්සේද ඒ අති රමණීය නන්දන උයනට පැමිණියේ සසරේ මීට පෙර කල සේම සියලු දෙව් සැපසම්පත් අත්හරිමින් ඔබ අප වෙනුවෙන්ම බුද්ධත්වය උදෙසා මනු ලොව පහලවිමටයි. පැමිණි දෙවියෝද, එහි දී බෝසතුන්ට පින්වත, මෙයින් චුත ව සුගතියට හෙවත් මිනිස් ලොවට යන්නැයි පෙර කළ කුසල කර්ම විපාක අවස්ථාව සිහි කරවමින් රැස්වී සිටියා. මේ අතර අප මහාබෝසතාණෝ දෙව් ලොවින් චුත ව මහාමායා දේවියගේ කුසෙහි සිහිනෙන්ම පිළිසිද ගත්තා. ඒ මොහොතේ දස දහසක් සක්වළද කම්පාවන්නට පටන්ගත්තා. 

 
 
 
error: Content is protected !!