අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 152

 

තථාගතයන් වහන්සේ නමකට පමණක් පිහිටි ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ. 01

දම්සභා මණ්ඩපයේ ඇතිවූ කතාබහ

මම මේ දින කිහිපයේ ලියුවේ බොසත්වරයෙකුගේ ලොව පහළවීම සහ එහිදී ඇතිවන සුවිශේෂී ආශ්චර්යය කරුණු පිළිබඳව. ඔබට හිතෙන්න පුළුවන් මෙය සත්‍යක්ද කියා. ඒ නිසා මෙම සියලූම කරුණු එක් තැනකට සංශික්ප්ත කල සුත්‍ර පිටකයේ එක් සුත්‍ර දේශණාවක් ගෙනහැර පාන්න හිතුනා. ඒ අච්ඡරියබ්භුත සූත්‍රය. මෙය තියෙන්නේ » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 3. සුඤ්‌ඤත වර්ගය »අච්ඡරියබ්භුත සූත්‍රය

එය මෙලෙසයි. ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව ආශ්චර්‍ය්‍යය, පුදුමය. ” (කෙටි කරනලදී – කරුණාකර සුත්‍ර පිටකය කියවන්න.)

බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩමකිරිම.

“මේ කතාව මෙසේ ඇතිවන අතර ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන්ට “ඇවැත්නි, තථාගතයන් වහන්සේලා ආශ්චර්‍ය්‍යයද වෙත්. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයන් වහන්සේලා අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි” කියමින් එය සනාථ කරනු ලැබුවා. ඒත් භික්ෂූන්ගේ මේ අතුරු කථාවේ නිමක් දුටුවේ නැහැ.

එදින භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැඟීසිට උපස්ථාන ශාලාව යම් තැනකද එතැනට පැමිණියා. පැමිණ, පනවනලද අස්නෙහි වැඩසිටියා. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාරනු ලැබුවා. “මහණෙනි, මෙහි දැන් කිනම් කථාවකින් යුක්තවූවහුද? තොපගේ කවර නම් කථාවක් නොනිමියේදැ”යි කියා ඇසුවා.

“ස්වාමීනි, මෙහි සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්වූ අපගේ මෙලෙස අතුරු කථාව විය. එනම්. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අපට “ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයෝ අද්භූතය, අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි’ කිවා. “ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව නිමානොවෙමින් පවතිද්දී ඔබ වහන්සේ වැඩිසේකැයි” පවසනු ලැබුවා.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූවා.

“එසේනම් ආනන්දය, මම මීට පෙර නුඹට දේශනා කරන ලද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ හොඳින් සිහිපත්වේවා!”

ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ

 
  • “භාග්‍යවතුන් වහන්සේ පෙර දිනක, ‘ආනන්දය, බොධිසත්ව තෙමේ සිහි නුවණින් යෙදී තුසිත දෙවියන් කෙරෙහි උපන්නේය’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පිළිගන්නාලදී. එමනිසා “ස්වාමීනි, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත් තෙම තුසිත දෙව්ලොව උපන්නේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයකැයි මම දරමි.”
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක,“ආනන්දය, බෝසත් තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය”යි දේශනා කරනු ලැබුවා. “ස්වාමීනි, බෝසත්තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය” යනුවෙන් පැවසුවා.“ස්වාමීනි, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, බෝසත්තෙම යම්කලෙක තුසිත ලෝකයෙන් චුතව මවුකුස පිළිසිඳ ගත්තේද එකල දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි අප්‍රමාණවූ, මහත් වූ, ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි. යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත් නොවැසුනු, අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති යම් ඒ ලෝකන්තරික නිරයක් වේද, එහිද අප්‍රමාණවූ උළාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්වයෝ උපන්නාහුද, ඔව්හුද ඒ එලියෙන් ඔවුනොවුන් මෙහි උපද සිටින තවත් සත්ත්වයෝ ඇතැයි හැඳින ගනිත්. “එවිට දස දහසක් ලෝකධාතුව හාත්පසින් කම්පා වෙයි. අතිශයින් කම්පාවෙයි, වෙවුලායයි. මහත්වූ ආලෝකයක් ලෝකයෙහි දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා පහළ වෙයි” යනුයි. මෙය මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවුකුසට බැස ගත්තේ වේද, එකල ඒ බෝසතුනුත් බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්ෂාව පිණිස සිව්දිග එළඹ සිටිති” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. භාග්‍යවතුන් මෙම කාරණයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භුත ධර්මයකැයි මම දරමි.”
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, -“ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මව ස්වභාවයෙන් සිල්වත් වන්නීය. ප්‍රාණඝාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය”යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බොසත් තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාගසිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹිය නොහැක .” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.
error: Content is protected !!