අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 153

 

තථාගතයන් වහන්සේ නමකට පමණක් පිහිටි ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ. 02

  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැසගත්තේ වේද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ සමන්විතවූ ඕ තොමෝ සතුටු වෙයි” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවු කුසට බැසගත්තේ වේද, එතැන්පටන් බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව කුසතුළ සිටින නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් බෝසතුන් දකී. ආනන්දය, යහපත්වූ ජාතිමත්, පැති අටක් ඇති, හොඳට පිරියම් කළ, වෛඪූර්‍ය්‍ය මාණික්‍යය යම් සේද එය නිල් පාට හෝ කහ පාට හෝ ලේපාට හෝ සුදුපාට හෝ පඬුපාට හෝ නූලකින් අමුණන ලද්දේ නම් එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ විමසා බලන්නේ මෙය වනාහි යහපත් ජාතිමත්, අටැස් ඇති, හොඳට පිරියම් කරණලද වෙරළු මිණෙකි. එහි නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඬුවන් හෝ නූලක් අමුණන ලද්දේයයි යම්සේ දක්නේද ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වේද, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොව සැප ඇත්තියක් වෙයි. බෝසත් මව කුසතුළ සිටින සියලු අඟපසඟින් යුත් නොපිරිහුනු ඉඳුරන් ඇති බෝසතුන් දකී” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. භාග්‍යවතුන් වහන්සේගේ විසින් වදාළ මෙම කරුණද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කළුරිය කොට තුසිත දිව්‍යලෝකයෙහි උපදී” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, අන් ස්ත්‍රිහු නවමසක් හෝ දසමසක් දරු ගැබ කුසින් උසුලා යම්සේ වදත්ද බෝසත් මව එසේ නොවදන්නීමය. බෝසත් මව දසමසක්ම බෝසත්හු කුසින් උසුලා සිට වදන්නීය” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි දරමි.
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක වනාහි අන් ස්ත්‍රීහු හිඳ හෝ නිදා වදත්. බෝසත් මව බෝසතුන් එසේ නොවදයි. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදයි” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීන් භාග්‍යවතුන් වහන්ස, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසින් නික්මේද, දෙවියෝ ඔහු පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිති” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි දරමි.
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසින් නික්මේද, බෝසත් තෙම බිමට පැමිණීමට පළමුව දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙක් ඔහු පිළිගෙණ ‘දේවියනි, සතුටු වුව මැනව. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේයයි’ මව ඉදිරියෙහි තබත් ” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවුකුසින් නික්මේද, (එකල) ජලධාරා දෙකක් අහසින් පහළවෙයි. එකක් සීත ජලයය, එකක් උණුදියය. යමකින් බෝසතුන්ට හා බෝසත් මවට වතුරෙන් කළයුත්තක් කෙරේද, එබඳු උදක ධාරා දෙකකි.” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, උපන් කෙණෙහි බෝසත්තෙම සමවූ පාදයෙන් පොළොවෙහි පිහිටා සේසත දරන කල්හි උතුරුදිගට මුහුණලා සත් පියවරක් යයි. සියලු දිශාවන් බලයි. ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත යන වචනය කියන්නේය” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”
  • “භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පෙර දිනක, “ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මවුකුසින් නික්මේද, එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් පහළවෙයි. නිතර විවෘතවූ, නොවැසුනු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලෝකන්තරික නිරයක් වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත්ද, එහිද අප්‍රමාණ උළාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්ත්වයෝ උපන්නාහුද ඔව්හුද ඒ ආලෝකයෙන් ඔවුනොවුන් මෙහි උපන් අන්‍ය සත්ත්වයෝත් ඇතැයි හැඳිනගනිත්. මේ දසදහසක් ලොකධාතුව හාත්පසින් කම්පා වෙයි, අතිශයින් කම්පාවෙයි වෙවුලායයි, මහත්වූ එලියක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි.” යනුවෙන් දේශනා කරන ලදී. මම පිළිගන්නා ලදී. ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”මෙලෙස සියල්ල සාවධානව අසා සිටි බුදුපියාණන් වහන්සේ අවසානයේ මෙලෙස දේශනා කරනු ලැබුවා.

“ආනන්දය, එහෙයින් නුඹ මෙහිදී තථාගතයන් වහන්සේගේ මේ ආශ්චර්‍ය අද්භූත ධර්මයද දරාගනුව. ආනන්දය, මෙහි තථාගතයන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. දැනුවත්වම සංඥාවෝ උපදිත්. දැනුවත්වම විතර්කයෝ උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. ආනන්දය, නුඹ මෙයද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි දරව.”

“ස්වාමීනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්මව විනාශයට යත්ද, දැනුවත්වම සංඥා උපදිත්ද දැනුවත්වම විතර්ක උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්වම විනාශයට යත්ද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි දරමි.”

මෙහිදී අප වටහාගත යුතු දෙයනම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතයේ අසිහියට ඉඩක් නොමැති බවයි. උන්වහන්සේ තමන් වහන්සේගේ විතර්ක, වේදනා, සඤ්ඤා ආදිය ඇතුලු නාම කාය, මෙන්ම කාය වාග් සමාචාරයන් සිහියෙන්ම හසුරුවයි. ඒක හරියට සුක්කානම අතින් ගත් රථාචාර්යයෙක් සේය. සිතෙහි පහල වන සෑම සිතුවිලි මාත්‍රයක් ම මනසින් අන්වේක්ෂණය කරන්නාවු තථාගතයන් වහන්සේලාගේ කාය වාග් සමාචාරයන්හි පවතින උතුම් බව ගැන කවර කථාද? මෙම සිහිය කොතරම් උතුම් ද යත් “මහණෙනි යම් දිනක මා සම්බුද්ධත්වයට පත්වූයේ ද යම් දිනක මා පිරිණිවන්පායිද ඒ අන්තර්කාලය තුල යමක් දේශනා කරයිද ප්‍රකාශ කරයිද පිහිටුවයිද ඒ සියල්ල එසේම වෙයි. වෙන විදිහකට නොවෙයි” වශයෙන් දේශනා කොට ඇත. තමා වදාල ධර්මය කොතරම් සිහියෙන් නිවැරදිව දේශනා කොට ඇත්දැයි මෙම සිංහනාදයෙන් මැනවින් පැහැදිලි වෙයි. 

“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙලෙස ඒ තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ බුදුහිමි අභියස දේශනා කරනු ලැබුවා. ශාස්තෘන් වහන්සේද එය අනුදන්නා ලදී. සතුටුවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේගේ ඒ දේශනය සතුටින් පිළිගත්තා.

error: Content is protected !!