Ape Budu Hamuduruwo 331

අපේ බුදුහාමුදුරුවෝ 331 (සන්තිකේ නිධානය)

 

බිම්බිසාර රජ ඇතුළු පිරිස සෝවාන් ඵලයට පත්වීම

බිම්සර රජතුමා එක් ලක්‍ෂ විසි දහසක් බමුණන් හා ගැහැවියන් පිරිවරමින් බුදු රජුන් වෙත එලැඹ සක් ලකුණින් විසිතුරු වූ සිරිපා පතුලෙහි රන් සළු වියනක් මෙන් කාන්ති විහිදෙන උන් වහන්සේගේ පාදයන් හිසින් වැටී නැමැද පිරිස් සමග එකත්පසෙව සිටිය.

රජතුමා බුදුරජාණන් වහන්සේ ගැන හොඳින් දැන සිටියත් ඔහු පිරිවරා සිටි බමුණු ගැහැවියන් ඇතුළු රාජ රාජ අමාත්‍යවරු ඇතුළු පිරිසට මේක ප්‍රෙහිලිකාවක්. ඔවුනට මෙහෙම සිතුනා.

ශ්‍රමණ ගෞතමයෝ උරුවේල කස්සපගේ සසුනෙහි සව්වෙක් ද? නො එසේ නම් උරුවේල කස්සප ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි සව්වෙක් ද? ඊට හේතුවක් තිබුණා. මීට පෙර මෙහි සිටි බොහෝ දෙනා ඒ ප්‍රදේශයෙහිම රහතන් වහන්සේලා යැයි සිතා වන්දනාමාන කරේ ඒ පිරිසටයි.

ඒ සැණින්ම බුදුන් වහන්සේ ඔවුන් සිතූ සිතුවිල්ල දැන තෙරුම්ගෙන ගාථා කාණ්ඩයකින් මෙලෙස කස්සප මහා රහතන් වහන්සේ වෙත ප්‍රශ්ණයක් යොමු කළා.

“තම සව්වන්ට අනුශාසනා කරන කස්සපයෙනි, ඔබ කිනම් ධර්මයක් දැන ගිනි පූජාව අත්හලෙහිද? ඔබගෙන් මේ කරුණ අසමි. ඔබ ගිනි පූජාව අත්හලේ කිනම් ධර්මයක් දැන ද?”

කස්සප තෙරණුවෝ ද බුදු රජුන්ගේ අදහස දැනගත්තා. දැනගෙන මේ ගාථාව ප්‍රකාශ කරනු ලැබුවා.

“රූප, ශබ්ද හා රස ද ස්ත්‍රීන් යන ඇලුම් කළයුතු දේ යාගයෙන් ලැබෙතැ යි කියති. මම ඒවා කෙළෙස් මළ වශයෙන් දැන ඒ නිසා ම යාගයෙහි හා ගිනි පූජාවෙහි නො ඇලීමි.”

මෙසේ කෙටියෙන් දුන් පිළිතුර හැමෝටම ග්‍රහණය කරගන්න බැරි බව ඔහු දැන ගත්තා. ඒ සඳහා උන්වහන්සේ ඒ අවස්ථාවෙහි ක්ෂණික පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවා. ප්‍රථමයෙන්ම තමන් බුදු රජුන්ගේ ශ්‍රාවකයකු බව ප්‍රකාශ කිරීමට බුදුන් වහන්සේගේ පාපුටුවෙහි හිස තබා උන්වහන්සේට නමස්කාර කරමින් මම තථාගතයන් වහන්සේගේ සව්වෙක් වෙමි යි ප්‍රකාශ කොට එකවරම තල් ගසක ප්‍රමාණයට අහසට පැන නැග්ගා. ඉන්පසු

බුදරජාණන් වහන්සේගේ පාමුලට පැමිණෙමින් වන්දනා කරමින් නැවතත් තල්ගස් දෙකක ප්‍රමාණයට අහසට පැන නැග්ගා. මේ ආකාරයට සත්වරක් තල්ගස් සතක් ප්‍රමාණය තෙක් අහසට පැන නගමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මහා ප්‍රර්තිහර්යයක් පාමින් අවසානයේ බැස බුදුන් වැඳ එකත්පසෙව සිටිය.

ඒ පෙළහර දුටු මහජනතාව බුදුවරුන්ගේ බලය අසිරිමත්ය. දැඩි මිසදිටුවකු වූ තමා රහත් වූවේයැ යි වරදවා සිතා සිටි උරුවෙල් කස්සපාදී ජටිලයන්ගේ මිසදිටු දළ බිඳ බුදු රජුන් විසින් දමනය කරන ලදැ යි බුදු ගුණ ගයන්නට වුණා. ඉන්පසු බුදුන් වහන්සේ මෙකල පමණක් නොව පෙර භවයකදීත් උරුවේල කස්සපයන් දමනය කළ බව වදාරමින් මහා නාරදකස්සප ජාතකය ගෙනහැර දක්වා සිව්සස් වදාරනු ලැබුවා.

ඒ ජාතක කතාව ඉතාම ලස්සන බොහෝ ධර්ම කරුණු ඇති සසර බිය දනවන එකක්. ඒ විතරක් නෙවෙයි, එම ජාතක කතාවේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාද දෙව්දත් හිමි ඇතුළු උරුවේලකස්සප තෙරුන් වහන්සේලාද ඉන්නවා. සුවිශේෂී කරුණ තමයි අපේ ආනන්ද හාමුදුරුවෝ ඒ කතාවේ ඉන්නේ මහා පින්වන්ත රුපශ්‍රියෙන් අග තැන්පත් රූජා නම් රාජකුමාරිකාවක් ලෙසයි. කතාව ලස්සන වුනත් දීඝ නිකායේ දේශණයක් තරම්ම දීර්ඝයි. ඒ නිසා නොලීවත් කෙසේ හෝ කියවන්න. ඒ දේශනය කොතරම් ප්‍රභලද කිවොතින් දේශනය අහලා මගධ රජතුමා එකොළොස් නහුතයක් හෙවත් එක් ලක්‍ෂ දශ දහසක් පිරිස සමග සෝවාන් ඵලයෙහි පිහිටියා.වච්ඡපාල බ්‍රාහ්මණ ආදී දශ දහසක් උපාසක බවට පත්වූනා. මෙහි දී සිය මිතුරු වූ බිම්සර රජු දැකීමට අවුත් සිටි මහාලි නම් ලිච්ඡවී රජ ද සෝවාන් බවට පත්වුණා. රාජගෘහ පුර වැසි සිරිවඩ්ඪ බමුණු, සමිද්‍ධි සිටු පුත්, වච්ඡ බ්‍රාහ්මණ ආදිහු ද පැහැදුණවුන් ගෙන් කීප දෙනෙකි. පසු කලෙකැ මොහු පැවිදි වූනා . මේ පිරිස අතර සිටි සිටි විශාඛ සිටුද සෝවාන් වුණා කියලා කියනවා.

බිම්බිසාර රජතුමා ඉන්පස්සේ මෙතෙක් තමන් සිතේ සඟවාගෙන සිටි ප්‍රර්ථනා පසක් අද දිනයේදී සම්පුර්ණ වූ බව බුදුරජාණන් වහන්සේ සමග පවසා සිටියේ මහත් වූ ප්‍රීතියෙන්. ඒ පස තමයි.

“තමා රජ වීමත්, ඉන් පසු තමාගේ රටට බුදුරජාණන් වහන්සේ ගේ පැමිණීමත්, උන්වහන්සේ ඇසුරු කිරීමත්, බණ ඇසීමත්, ධර්මාවබෝධය කිරීමත් යන බලාපොරොත්තු පහක්” තමාට තුබුණු බවත් දැන් ඒ මුදුන් පැමිණි බවත් කියා තමා තිසරණ ගත උපාසකයකු බව වචනයෙන් ද දන්වා පසු දා දානයට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට නික්ම ගියා .

උපකාර වූ මුලාශ්‍ර –
සන්තිකෙනිදානකථා
බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනාහිමිපාණන් විසින් රචිත ගෞතම බුද්ධ චරිතය

Ape Budu Hamuduruwo 330

අපේ බුදුහාමුදුරුවෝ 330 (සන්තිකේ නිධානය)

 

රජගහ නුවර බුදුන් වැඩ සිටි තල්වනය සහ වැල්මී වනය

ඉතින් මින් පෙර කි පරිදී අපේ භාග්‍යවතුන් වහන්සේ ගයාසීසයෙහි කැමැති තාක් වැඩ වාසය කොට පුරාණජටිලයන් වූ භික්‍ෂූන් දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා ද සමග රජගහනුවර බලා වැඩියා. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණසේක් රජගහනුවරට වැඩ එහි රජගහනුවර සමීපයෙහි වූ වැල්මීලිය වැලඳගත් තල්උයනෙහි සුප්පතිට්ඨචේතිය නම් නුගරුක්මුල වෙත වැඩම කරනු ලැබුවා. සුප්පතිට්ඨචේතිය කියන්නේ හරියටම චෛත්‍යක් බඳු මිනිසුන්ගේ ගරුබුහුමනට ලක්වුණු යන්නයි. ඉතින් ඒ නුග රුකත් ඒ වගේම මොනයම් හෝ හේතුවක් නිසා හරියටම අපේ ශ්‍රී මහා බෝධිය වගේ මිනිසුන්ගේ ගෞරවයට වන්දනාවට පාත්‍රවුණු එකල තිබුණු සුවිශේෂී නුගරුකක්.

මට මෙහිදී ප්‍රශ්නයක් පැනනැගුණා. බලංගොඩ අනන්දමයිත්‍රිය මහනායක හාමුදුරුවෝ බුද්ධ චරිතය පොතේ ලියලා තියෙන්නේ තල්වනයට වැඩියා කියලා. එහෙත් බුද්දවංශ අට්ටකතාව සහ ජාතක අට්ටකතාවෙහි සඳහන් වෙන්නේ වැල්මී වනයට වැඩියා කියලා. අපේ මහනායක හාමුදුරුවෝ වැරදි දෙයක් ලියන්නෙත් නැහැ. ඒත් මුලාශ්‍රයක් නැතිව මට ලියන්නත් බැහැ. ඉතින් මම කතා කළා උන්වහන්සේගේ ගෝල ශිෂ්‍ය රත්නයක් වන අපේ මිස්සක කමලසිරි හිමිපාණන් වහන්සේට. උන්වහන්සේත් ඉතාමත් කාර්යය භාහුල වුනත් ඇසු සැණින්ම ඒ අවශ්‍යතාවය නිහතමානීව ඉටුකරදෙන අපේ භාග්‍යට ලැබුන ඉතාමත් වටිනා කල්‍යනමිත්‍ර හිමිනමක්. උන්වහ්නේ ඒ ප්‍රශ්ණයට විසදුම විනය පිටකයේ මහාවග්ග පාළියේ මහාකන්දකයේ උරුවෙල් පෙළහරින් සොයලා දුන්නා. ඔබටත් යම් දිනෙක වැදගත්වේවි කියලා සිතලා මෙහි සඳහන් කරන්නට සිතුනා. එහි තිබුනේ “වැල්මී වැල් වැළඳගත් තල්උයනෙහි” කියලා. ඒ චේදය කියවපු සැණින් මට සියල්ල වැටහුනත් එය උන්වහන්සේ විස්තර කල අයුරු ඉතාමත් ප්‍රායෝගිකයි.

මහත්තයෝ තල් වනයක් කීවට ඒ තල්ගස් වවපු විශාල භුමි පෙදෙසක්. සෑම තල්ගසකම වෙලී හරියටම අතුරු භෝගයක් වගේ වැල්මී ගසකුත් තිබුණා. ඒ ප්‍රදේශයට තල්ගස් වනය වගේම වැල්මී වනය කීවෙත් ගස්වර්ග දෙකම එක සමානව තිබූ නිසා කියලා පෙනී යනවා. එහෙත් නුග ගහක් එතනට අවේ බොහෝ විට නුග ගසක් ආරම්භ වන්නේ වෙනයම් ගසක් මත සිට පොළව දෙසට මුල් යාමෙන් නිසා. ඉතින් සමහරවිට ඒ නුගගසත් ඇතිවෙන්න ඇත්තේ තල ගසක් මත එහි ආධාරයෙන්. එතකොට තල්වනයේ සහ වැල්මී වනයේ කතාව ඔහොමයි.

ඉන්පස්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තුමාගේ රාජ්‍යයහි ජනීජනයා අතර මහා කීර්ති රාවයක් මෙලෙස හටගෙන පැතිර යමින් කනින් කණ ගොස් රජුගේ සවනත දක්වාම පැතිර ගියා.

“ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ භවත් ශ්‍රමණගෞතමයන් වහන්සේ රජගහනුවරට පැමිණ තල්උයනෙහි සුප්පතිට්ඨචේතිය නම් වූ නුගරුක්මුල්හි වාසය කරණසේක. ගෞතමගෝත්‍රයෙහි උපන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ කලණ වූ කීර්තිඝොෂාච උස් ව නැංගේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්‍හත් වනසේක. මේ කාරණයෙන් සම්‍යක්සම්බුද්ධ වන සේක. මේ කාරණයෙන් අෂ්ටවිද්‍යායෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත වන සේක. මේ කාරණයෙන් යහපත් ගමන් ඇති සේක. මේ කාරණයෙන් තුන්ලොව දත් සේක. මේ කාරණයෙන් නිරුත්තර වූ පුරුෂයන් දමනය කිරීමෙහි සාරථී වන සේක. මේ කාරණයෙන් දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක. මේ කාරණයෙන් බුද්ධ වන සේක. මේ කාරණයෙන් භාග්‍යවත් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. මුල මැද අග යහපත් වූ අරුත් සහිත වූ බ්‍යඤ්ජන සහිත වූ හාත්පසින් සම්පූර්‍ණ වූ ධර්‍මය දේශනා කරණ සේක. පිරිසිදු වූ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය වදාරණ සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි රජ තුමාටත් රාජ රාජ අමාත්‍යවරුන්ටත් අසන්නට ලැබුණා .

ඒ ඇසූ සැණින්ම මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතුමා මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියන් විසින් පිරිවරණ ලදුව භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණිය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ උන්වහන්සේ අසලින් අසුන්ගත්තා. ඒ මගධදෙසවාසී වූ දොළොස් නහුතයක් බ්‍රාහ්මණගෘහපතියෝ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමිචියේ යෙදුනා. සතුටු විය යුතු සිත් ඇලවිය යුතු කතා කොට නිමවා පසෙකින් සිටියා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හුන් දිසාවට ගෞරවයෙන් ඇඳිලි බැඳ පසෙකට වුණා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම්ගොත් අස්වා පසෙක රැඳී විටියා. ඇතැම් කෙනෙක් නිශ්ශබ්දවම පසෙක සිට වැඳගෙන සිටියා.

උපකාර වූ මුලාශ්‍ර – විනය පිටකය – මහාකන්දකය – සිවුවන බණවර

Ape Budu Hamuduruwo 329

අපේ බුදුහාමුදුරුවෝ 329 (සන්තිකේ නිධානය)

 

අති සුන්දර මෙන්ම බොහෝ අතීත බුදුවරුන් විසූ රජගනුවර

අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙර කී පරිදී බුද්ධත්වයෙන් පසු තම ඥාතී වර්ගයා දැකීමටත් පෙර ශ්‍රී ලංකා භූමියට වැඩම කරනු ලැබුවේ අධිෂ්ඨාන පූර්වක බලාපොරොත්තුවකින් වෙන්නට ඇති. බුදුවරුන්ගේ අධිෂ්ඨාන කිසිදා බල රහිත වන්දේ නෙවෙයි. ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බැඳීම මිත්‍රත්වය ඈත අතීතයේ සිටම පැවති බව මෙයින් පෙනෙනවා. මහියංගන භුමියේ කරන ලැබු ඒ මහා පෙළහරෙන් පසු අපේ බුදුහාමුදුරුවෝ කෙලින්ම නැවත පෙරළා වැඩියේ උරුවෙල් දනව්වුවට.

ඒ වනවිටත් දහසක් පමන වූ රහතන් වහන්සේලා මග බලාගෙන සිටියේ ධර්මප්‍රචාරක කටයුතු සඳහා නික්ම යාමට. ඒත් ඒ මෙවර යසකුලපුත්‍රයා ඇතුළු පිරිස නික්ම ගිය අයුරින් නෙවෙයි. ඔවුනට වඩින්න නියමිතව තිබුනේ භාග්‍යවතුන් වහන්සේත් සමග කපිල වස්තු පුරය වෙත ශුද්ධෝධන රජු යසෝදරාව ඇතුළු මාන්නක්කාර ශාක්‍යයන් හමුවීමට. එහෙත් ඊට පෙර බිම්බිසාර රජතුමාට වූ පොරොන්දුව අනුව රජගහනුවරට වඩින්නට තීරණය වුනා.

රජගහ නුවර

මගධ රටෙහි බුද්‍ධ කාලයේ දී ම බුදුසස්න බෙහෙවින් පැතිර ගියා. උතුරෙන් ගංගා නදිය ද, නැඟෙනහිරින් චම්පා නදිය ද, නිරිතෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝනා නදිය ද යන මොහු මගධ ජනපදයේ සීමාවෝ යි. රජගහ පුරය මගධ රට අගනුවර යි. මෙය ගංගා නදියට දකුණෙන් යොදුන් 5 ක් පමණ ඈතින් පිහටලා තිබුනා. මෙය පූර්ව කාලයෙහි වසූමතී යන නාමයෙනුත් හඳුන්වා තිබෙනවා. එයට හේතුව වසූ නම් රජකු විසින් මෙය ඉදිකිරීම යැයි කියනවා. මෙය නගරයක් හැටියට විශාල ලෙස නිම කෙළේ මහාගෝවින්ද පඬිතුමා යි. මෙයට මාගධ පුර, ගිරිව්‍රජ පුර යන තවත් නම් දෙකක් ද තිබුනා. බුද්‍ධ කාලයෙහි මෙයට රාජගෘහ, මගධයන්ගේ ගිරිව්‍රජ පුර යන නම් වලින්ද ව්‍යහාර වුණා. රජගහ නුවර පැවතුනේ පර්වත ගනනාවක් වටකරගෙන හරියටම ගාලක් වටේ බැඳි වැටක් වගේ. රජගහ නුවර හාත්පස වේහාර, වේපුල්ල, ගිජඣකූට, ඉසිගිළි, පාණ්ඩව යන පර්වත පස පිහිටා සිටියා. මේ පර්වත පසේ නම් හින්දු ග්‍රන්ථයන් හි වෛභාරගිරි, විපුලගිරි, වරාහගිරි, වෘෂභගිරි, සෘෂිගිරි යැයි සඳහන් වනවා. ඉතා පූර්වයේ සිට මහ රජුනට නිවාස වූ බැවින් මෙයට රාජගෘහ යන නමින් හඳුන්වනවා. “මගධානං ගිරිඛ්ඛජං” යන්නෙන් මගධ ජනපදයේ ගිරිව්‍රජ යැ යි පාළි පොත්හි සඳහන් වනවා.

ගිජුකුළු පව්වෙහි වූ ආවාස හැරැ රජගහ නුවර වටා පිහිටි සෙසු පර්වතවලත් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක ගණයාත් විසූ තැන් වුනා. ඉන් සමහරෙක් නම් : චෝරපපාතය, ඉසිගිළි පර්වත පාර්ශවයෙහි වූ කාළසිලාව, වේහාර පර්වත පාර්ශවයෙහි වූ සත්තපණ්ණිගුහාව, ශිතවන (සීවක වන) නම් මිනී පිට්ටනිය සමීපයෙහි වූ සප්පසොණ්ඩික පබ්භාරය, ගෝතම කන්දරය, තින්දුක ගුහාව, තපෝද කන්දරය, තපෝදාරාමය, ඉන්දසාල ගුහාව, පිප්පලි ගුහාව යන මේවායි. මින් තපෝදාරාමය වූයේ උණුදිය උල්පතක් සමීපයේ. තපෝදා යනු උණු දිය උල්පතට තවත් නමක්. දැනුදු මේ උණු දිය උල්පත එහි තියෙනවා. පසුකාලයේ ඉන්දසාල ගුහායේ දී භාග්‍යවතුන් වහන්සේ සක්කපඤ්හ සූත්තය දේශනා කරනු ලැබුවා. නගරයෙන් පිටත කැලෑවල ද අරණ්‍ය කුටිකාවන්හි භික්ෂූහු වාසය කරනු ලැබුවා. .

ගයාව අසලැ කඳුවලට මැදි වූ දැන් රාජගිර් යන නමින් ව්‍යවහාර වන භූමියෙහි පුරාණ රජගහ නුවර පැතිර පැවතියා. රජගහ පුරයේ සිට කපිලවාස්තු පුරයට දුර යොදුන් 60 කක් වුනා. මෙහි සිට විසාලා පුරයට ගංගා නදිය පසු කැරැ යෑ යුතු වුනා. ගංගා නදියට මේ නුවර සිට යොදුන් 5ක් ද, ගංගා නදියේ සිටැ වෛශාලි පුරයට යොදුන් 3ක් ද දුර ප්‍රමාණය වූ බැවින් වෛශාලි පුරය රජගහ සිටැ යොදුන් 8 ක් ඈත්හි වූ බව පෙනෙනවා. රජගහ පුරයෙන් අනෝමා ගං තෙරට දුර යොදුන් 30ක් පමණ වනවා.. රජගහ පුර සමීපයේ තල්වනය, වේළුවනාරාමය, ශීලවනය, මද්දකුච්ඡි මිගදාය, ජීවකම්බවනය, මෝරනිවාපය, ලට්ඨිවනය යන ස්ථාන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ප්‍රදේශ. මෙහි ගිරිකුළුපව්ව මුදුනට එහි පාමුලැ සිට පහසුවෙන් යා හැකි මාර්ගයක් බිම්බිසාර රජහු විසින් කරවලා තිබුනා.

මෙම නගරයෙහි තවත් විශේෂත්වයක් තිබුනා. රජගහ නුවර පුරාණ බුදුවරුන් විසූ කාලයෙහි ද චක්‍රවර්ති රජවරු විසූ කාලයෙහිද මෙවැනිම ජනාකීර්ණ සුප්‍රසිද්ධ නගරයක් බවට වුනා. සෙසු කාලයන්හි ජන ශුන්‍ය නගරයක් බවට පත්වුණා. ඒ කාලයේ මෙම නගරය යක්ෂයන් විසින් අරක්ගන්නා ලදැයි ද ඔවුන් වාසය කරන වනයක් ව පවතින බවද සාමඤ්ඤඵල සුත්‍ර වර්ණනාවෙහි කියවෙනවා.

ඉතින් එදා දුරුතු මැදි පෝදා. අපේ බුදුහාමුදුරුවෝ පුරාණ ජටිල භික්‍ෂූන් කැටුව උරුවෙල් දනව්වෙන් නික්මුණා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම රජගහනුවර බිම්බිසාර රජුගේ මාලිගාවට වැඩියේ නැහැ. ඒ වෙනුවට උන් වහන්සේ රජගහ පුරයට තුන් ගව්වකට ඈත් හි වූ තල් වනයට පැමිණ, එහි නුග රුක්මුල හිඳ ගනු ලැබුවේ වෙහෙස නිසාම වෙන්නට ඇති. තල්වනයෙහි මේ නුගරුක එකල මිනිසුන් දෙවියන් පුදන දේවලයක්ව පැවති බවත් කියනවා.

උපකාර වූ මුලාශ්‍ර –

සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාව, පබ‍්බජ‍්ජා සුත‍්තවණ‍්ණනා ඛුද‍්දකනිකාය

බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනාහිමිපාණන් විසින් රචිත ගෞතම බුද්ධ චරිතය

Ape Budu Hamuduruwo 328

අපේ බුදුහාමුදුරුවෝ 328 (සන්තිකේ නිධානය)

 

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය

මෙලෙස ඒ යක්ෂ සමාගමට භාග්‍යවතුන් වහන්සේ විසින් ගිරිදිවයිනෙහි ඉඩකඩ ලබාදීම නිසා අපේ මේ පුංචි දිවයින තවත් මහා උවදුරකින් බුදුවරයෙක් විසින්ම බේරාගනු ලැබුවා පමණක් නෙවෙයි අද වනතුරුම ඒ ආරක්ෂාව එලෙසම පවතිනවා. තවමත් භාග්‍යවතුන් වහන්සේ විසින් එලාගත් පත්කඩේන් ගිනිදාරා දසත නික්මෙනවා. ඒ ගින්දැල් කොතරම් ප්‍රබලද දිප්තිමත්ද කිවොතින් ඉරවල් හතක් පායල වගේ. ඒ නිසාම යක්ෂයන්ට තබා දෙවිවරුනටවත් කිට්ටුවට ඒමට අවස්ථාවක් බලයක් නැහැ. සියල්ල සංසිදුනු පසු භාග්‍යවතුන් වහන්සේ විසින් පත්කඩ යලිත් හකුලනු ලැබුවා. ඒ සැණින්ම මහා ගිණිදැල් ක්ෂණිකව නිවී ගියා. ඒ මොහොත උදාවෙනතෙක් බලා සිටි දෙවිඹබුන් ඇතුළු දේවතාවුන් වහන්සේලා මහා සාදුකාර පවත්වමින් උන්වහන්සේ ව වටකරගත්තා. ඉන්පස්සේ බුදුපියාණන් වහන්සේ ඔවුනට ධර්මය දේශනා කරනු ලැබුවා. ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයින් එයින් මගඵල නිවන් අවබෝධ කරගත් බව පවසනවා. අප්‍රමාණ සත්වයෝ තිසරණයේ පිහිටියා කියනවා.

ඒ අය අතර අපේ රටට අයත් වූ තවත් සුවිශේෂී දෙවරාජයෙකු වැඩ සිටියා. ඒ තමයි සමන්තකූඨ පර්වතයට අධිපතිව වැඩසිටි සුමන දිව්‍යරාජයා. දර්මය ඇසීමෙන් අනතුරුව උන්වහන්සේත් සෝවාන් ඵලයට පත්වෙලයි සිටියේ. උන්වහන්සේ අප සැවොම වෙනුවෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි වැඳ පුදා ගැනීමට පූජා පැවැත්වීමට යම් පුජනීය වස්තුවක් ඉල්ලා සිටීම. ඒ අවස්ථාවෙහි සත්වයන් කෙරෙහි හිත වූ නීල නිමල කේශවත් වූ සර්වඥතෙම හිස පිරිමැද මහා සුමන දෙවියන්ට නිලවරණ වූ කේශධාතු මිටක් ප්‍රදානය කොට වදාළා.

ඒ දිව්‍යරාජයන් වහන්සේ ස්වර්ණමය වූ උතුම් කරඩුවකින් ඒ කේශධාතුන් ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා.

මේ කියන්නට යන්නේ පසුකලෙක වූ කතා කෙටියෙන්. ඒ කියන්නේ මහියංගන චෛත්‍ය මේදක්වා විකාශනය වූ ආකාරයයි. ඉන්පස්සේ සර්වඥයන් වහන්සේ වැඩහුන් භූමියේ නා නා විධ මැණික් අතුරා, ඒ මත ධාතූන් වහන්සේලා සහිත කරඬුව වඩා හිඳුවා ඉන්ද්‍රනීල මාණික්‍ය වලින් ඒ සියල්ල වැසෙන පරිදි සත් රියනක් උස දාගැබක් ඉදිකරනු ලැබුවේත් ඒ සුමන සමන් දිව්‍ය රාජයා විසින්මයි. ඒ තමයි ලක් දෙරණේ ඉදි වූ පළමු දා ගැබ වන්නේ.

”සර්වඥයන් වහන්සේ පිරිනිවි පසු ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහත් ඍද්ධි ඇති සරභූ නම් ස්ථවිර තෙම දර සෑයෙන් සර්වඥග්‍රීවාස්ථි ධාතුව සෑයෙන් රැගෙන මෙහි ගෙනවුත් එම චෛත්‍යයෙහි තබා භික්ෂූන් විසින් පිරිවරාගෙන මේදෝණ පාෂාණයෙන් වස් දොළොස් රියන් උස දා ගැබක් කරවනු ලැබුවා. .

ඉන්පසුව දෙවනපෑතිස් මහරජාණෝ සහෝදර උද්ධ චූලාභය නම් කුමාරතෙම අද්භූත වූ ඒ චෛත්‍යය දැක වස්වා තිස් රියන් උස් වූ චෛත්‍යයක් කරවී ය. එහි සිට දුටුගැමුණු රජතෙම ඒ චෛත්‍ය මැදිකොට අසූ රියන් කක චෛත්‍යයක් කරවීය. ඒ මේ මහියංගන ථූපයතෙම මෙසේ පිහිටිය කියනවා; . නිර්වාකාර ප්‍රඥා සම්පන්න මහත් වීර පරාක්‍රම ඇති ධර්මයට ඊශ්වර වූ සර්වඥයන් වහන්සේ මෙසේ මේ ද්වීපය මනුෂ්‍යයන්ට යෝග්‍ය කොට උරුවෙල් දනව්වට වැඩම කරනු ලැබුවා.

උපකාර වූ මුලාශ්‍ර – මහාවංශය,, සමන්තකුට වර්ණනාව

Ape Budu Hamuduruwo 327

අපේ බුදුහාමුදුරුවෝ 327 (සන්තිකේ නිධානය)

 

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය

උතුරුකුරු දිවයිනෙන් ලත් පිණ්ඩපාත දානය හිමාලය පෙදෙසෙහි අනවතප්ත විල ඇසුරු කොට වළඳා අනාගතයෙහි සසුන පිහිටන්නේ ලංකාවෙහි බව දැන එහි යක්ෂයන් දමනය කිරීමට රට මැද මහවැලි ගඟ අසබඩ පිහිටි මහානාගවන නම් උයනට උන්වහන්සේ වැඩම කරනු ලැබුවා. බුද්ධත්වයට නව මසක් ගත වූ තැන සිදු වූ මෙය ප්‍රථම ලංකාගමනයයි. මහියංගණ, මහානාගවන, බිම්තැන්න යන නම්වලින් හඳුන්වන මෙම ඓතිහාසික ප්‍රදේශය වර්තමානයේ සිංහල ජනතාවට ආගමික, ජාතික හා ආර්ථික , සාමාජික වශයෙන්ද සුවිශේෂ වනවා.

යක්ෂයෝ කියූ සැනින්ම අපිට හැඟෙන්නේ සාමයට හෝ මෛත්‍රිය පෙරටු කොටගත් අය නෙවෙයි. නිරන්තරයෙන්ම යුධ කෝළාහල විපත් සඳහාම කර්මනුරුපව පහළ වූ වර්ගයක්. එදා බිතැනෙහි නැතහොත් මහියංගනයෙහි (මණිහෙද නම් දනවුවේ ) ශ්‍රී ලංකාවට මහා මුතුහරක් බඳු වූ තුන් යොදුනක් දික් වූ යොදුනක් පළල් වූ මහවැලි නිදිය (මහා වාලුකා) ඇසුරු කොට පැවති මහා නාගවනය නම් උද්‍යානයට රැස් වුනු මෙම යක්ෂ සේනාව කඳවුරු බැඳ ගෙනයි සිටියේ. මහානාග උයන කිවේ නාගයෝ සිටි නිසා නෙවෙයි. එම උයන නා ගස්වලින් පිරී තිබූ නිසයි. මහානාග නම් උයනට ඒ මහා සංග්‍රාමය සඳහා පැමිණි සිටියේ ලග්ගල, ලොග්ගල, කරඹගල, කුරගල, යක්දෙස්සාගල, දිඹුලාගල, මාරගල, මිහින්තලාගල, රිටිගල, බලගල, මහමුහුණුගල, යහන්ගල, තුන්කුළුගල යන පර්වතයන්හි වාසස්ථාන කොට විසු යක්‍ෂයෝයි. හැබැයි යක්ෂයන් මිස යක්ෂ ගෝත්‍රික මිනිසුන් යනුවෙන් කොහේවත් සඳහන් නැති බවත් හොඳින් මතකේ තබා ගැනීම වටිනවා. ලංකාවත් මේ කියන කරුණු අනුව එක අතකට උතුරුකුරු දිවයින වගේ. පැත්තක යක්ෂයෝ. තවත් පැත්තක් දෙවිවරු. තවත් පැත්තක් පින්වත් මනුෂ්‍යයෝ.

බුදුරජාණන් වහන්සේ මෙදිනම තෝරාගන්නට ඇත්තේ සමහර විට ලංකාව පුරාම සිටි යක්ෂයින් සංග්‍රාමය සඳහා මෙම භූමියට එක වී සිටි නිසා වන්නට ඇති කියලා මට හිතෙනවා. ඉතින් ඒ මහා යක්ෂ සේනාව නිසා බුදුරජාණන් වහන්සේට පත්කඩය එලා ගන්නටවත් ඉඩක් තිබ්බේ නැහැ. අනිත් අතට ඔවුන් බුදු කෙනෙකු කියන්නේ කවුද කියා හඳුනන්නේත් නැහැ. සාමාන්‍ය කෙනෙකු නම් අළු දුවිලි කර දැමිය හැකි තරම් බලවත් යක්ෂ්යොත් ඒ අතර ඉන්නට ඇති. ඒ විතරක් නෙවෙයි එහෙම අයව සාමානය කෙනෙකුට බියගන්වන්නටත් බැහැ. ඒත් මේ ආලවක දමනය වගේ එකෙක් නෙවෙයි. මහා සේනාවක්. උන්වහන්සේ කලේ ප්‍රථමයෙන්ම ඔවුන්ට ඉහලින් අහසේ තම පත්කඩය එලාගෙන වැඩ සිටීමයි.

බුදුරජාණන් වහන්සේ මෙදිනම තෝරාගන්නට ඇත්තේ සමහර විට ලංකාව පුරාම සිටි යක්ෂයින් සංග්‍රාමය සඳහා මෙම භූමියට එක වී සිටි නිසා වන්නට ඇති කියලා මට හිතෙනවා. ඉතින් ඒ මහා යක්ෂ සේනාව නිසා බුදුරජාණන් වහන්සේට පත්කඩය එලා ගන්නටවත් ඉඩක් තිබ්බේ නැහැ. අනිත් අතට ඔවුන් බුදු කෙනෙකු කියන්නේ කවුද කියා හඳුනන්නේත් නැහැ. සාමාන්‍ය කෙනෙකු නම් අළු දුවිලි කර දැමිය හැකි තරම් බලවත් යක්ෂ්යොත් ඒ අතර ඉන්නට ඇති. ඒ විතරක් නෙවෙයි, එහෙම අයව සාමානය කෙනෙකුට බියගන්වන්නටත් බැහැ. ඒත් මේ ආලවක දමනය වගේ එකෙක් නෙවෙයි. මහා සේනාවක්. උන්වහන්සේ කලේ ප්‍රථමයෙන්ම ඔවුන්ගේ හිසට ඉහලින් අහසේ තම පත්කඩය එලාගෙන වැඩ සිටීමයි.

උන්වහන්සේ මුලින්ම කරනු ලැබුවේ බිය ජනක වැසි කුණාටු සහිත මහා අන්ධකාරයක් ඇති කිරීමයි. දැන් යුද්ධ කරනවා තබා එකිනෙකාව පෙන්නේනැති තත්වයක්. ගස්වැල් පෙරලාගෙන හමන මහා මෙඝයටයි එහි ශබ්දයටයි වැස්සටයි අඳුරටයි හතර වටේට වදින මහා විදුලි කෙටීම් වලටයි ඔවුන් හොඳටම බය වෙලා. භයෙන් පෙළුන යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභයදානය ඉල්ලන්න පටන් ගත්තේ කවුරුත් තමන්ගේ ජිවිතයට ආශා හින්දා.

එවිට බුදුරජාණන් වහන්සේ මර භියෙන් පෙලෙන යක්ෂ සේනාවට මෙලෙස දේශනා කරනු ලැබුවා. “යක්ෂයෙනි, මම නුඹලාගේ බිය නසන්නෙමි. ඒ සඳහා නුඹලා සමගිව මා හට වැඩ සිටීමට ඉඩකඩක් ලබා දෙව” එවිට යක්ෂයන් “නිදුකාණෙනි ඔබහට මෙම භුමිය පමණක් නොව මුළු ලක්බිමම දෙන්නෙමු. අපහට අභය දෙනු මැනව” යනුවෙන් අයදෙනු ලැබුවා. පසුව ඔවුන්ට අභයදානය දුන් බුදුපියාණන්වහන්සේ තමන්වහන්සේගේ පත්කඩ ඍද්ධි බලයෙන් විශාල කොට එම භූමියෙහි එළා එහි වැඩ සිටිය.

ඔබ දන්නවා අමනුෂය යක්ෂ කොට්ටාස බොහෝ බොරු කියමින් දුන් පොරොන්දු කඩකරන බව. ඒ නිසාම උන්වහන්සේ එයින් නතර වුනේ නැහැ. ඉන්පසු තමන්වහන්සේගේ සම් කඩින් විශාල ගිනි ජාලාවක් පිටවන සේ ඍද්ධියෙන් මවනු ලැබුවා. සමහර උපග්‍රන්තවල කියනවා හතර කොනේ ගිනි කණු සතරක්ද මැවූ බව. ඒ එක්කම ඔවුන් පැන ගිය තැන්වලද ගිනිකඳු මැවෙන්නට වුනා. පසුව එම ගිනි ජාලාව ඍද්ධි බලයම කරණකොටගෙන මුහුද දක්වාම විශාල කරනු ලැබුවා. ඔවුනට වෙන යන්නට තැනක් මෙම භුමිය තුල තිබ්බේ නැහැ. යක්ෂ සේනාව ගිනි ජාලාවට බියව සියලු දෙනාම මුහුදු වෙරළට රැස්වූනා. ගිනිජාලා ඔවුන්ගේ පසුපස මුහුදු වෙරල දක්වා හඹා ගියා කිව්වත් නිවැරදියි. පසුව බුදු පියාණන් වහන්සේ විසින් තම ඍද්ධි බලයෙන් ගිරි දිවයින (ඈත සක්වලක ඇති දිවයිනකි) මෙහි ගෙනවුත් ඒ සියලුම යක්ෂයන් එම ගිරි දිවයිනට පලවා හැරියා කියනවා.

ඔබට හිතේවි ඇයි ඒ මහා කාරුණිකයාණන් වහන්සේ එහෙම කලේ කියලා. ඒ සඳහා පිළිතුරු ඔවුන් සියලු දෙනාටම අධිපති වෙසමුණි දිව්‍යරාජයා විසින් ආටානාටිය සුත්‍රයේ කියනු ලබනවා.

“වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නො පෑදුණෝ ම වෙත්. ඒ කවර හෙයින් ද යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි ප්‍රාණඝාතයෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, සොරකමින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, මුසවායෙන් වළක්නා පිණිස දහම් දෙසන සේක, මත්බවට හා පමාවට කරුණු වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් ප්‍රාණඝාතයෙන් නො වැළැක්කාහු ම ය, සොරකමින් නො වැළැක්කාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසවායෙන් නො වැළැක්කාහු ම ය, මත් බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය, ඔවුනට ඒ (භාග්‍යවතුන් වහන්සේ ගේ) දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ. වහන්ස, යම් කෙනෙක් අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ හුදෙකලා වැ කළ යුතු ක්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමට සුදුසු වූ, අරණ්‍ය වනප්‍රස්ථයන් (ග්‍රාමෝපාචරයෙන් දුරැ වූ සෙනසුන්) ද, (මනුෂ්‍යෝපචාර විරහිත) බොහෝ දුරැ සෙනසුන් ද සේවනය කෙරෙත් ද භාග්‍යවතුන් වහන්සේ ගේ එසේ වූ ශ්‍රාවකයෝ වෙත් ම ය. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි නො පහන් වූ ඒ සෙනසුන්හි නිවැසි මහ තෙදැති යක්කු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදීම පිණිස මහණුන් ගේ මෙහෙණන් ගේ උවසුවන්ගේ උවැසියන් ගේ ගුප්තිය පිණිස, ආරක්‍ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිස, ආටානාටිය පිරිත උගන්නා සේක් ව” යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ වැ ඉවසූ සේක.

උපකාර වූ මුලාශ්‍ර – මහාවංශය, මහාවංශ ටීකාව, දාඨාවංශය, ආටානාටිය සූත්‍රය