මහා කප්පින මහරහතන් වහන්සේ.

මහා කප්පින මහරහතන් වහන්සේ.

 

භික්‍ෂූන්ට අවවාදකරන්නන් අතුරින් මහාකප්පින තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබෙත්. මේ තෙරණුවෝ එක් කුළුගැන්වීමකදීම ධර්‍මකථා කියමින් භික්‍ෂූන් දහසක් රහත්බවට පත් කරවූහ. එහෙයින් භික්‍ෂූන්ට අවවාද කරන්නවුන් අතුරින් අග්‍රනම්වූහ.

පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක ඉපිද මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාවක් අසමින් එක් භික්‍ෂුවක භික්‍ෂූන්ට අවවාද කරන්නවුන් අතුරින් අග තනතුරෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප සම්බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක පිළිසිඳගෙන මිනිසු දහසකට ගණදෙටුවෙක් වී ගැබ් (කාමර) දහසකින්යුත් මහරිවෙණක් කරවීය. ඒ සියලු මිනිස්සු දිවි ඇතිතෙක් කුසල්කොට කප්පින උවසුවා දෙටු (ප්‍රධාන) කොටගෙන අඹුදරුවන් සහිතවූවෝ දෙව්ලොව උපන්නාහු එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරුවාහුය.

ඉක්බිති අපගේ ශාස්තෘන්වහන්සේගේ පහළවීමට පෙරාතුවම මේ කප්පින තෙමේ ප්‍රත්‍යන්ත දේශයෙහි කුක්කුටවතී නම් නුවරෙහි රජගෙහි පිළිසඳ ගත්තේය. සෙසු පුරුෂයෝ ඒ නගරයෙහිම ඇමති කුලයන්හි උපන්නාහුය. කප්පින කුමරුවා පියාගේ ඇවෑමෙන් (සේ) සත් ඔසවා මහාකප්පින රජනම් වූයේය. පෙර පින්කම් කරන කාලයෙහි ඔහුගේ ගෙහිමි කාන්තාව සමජාතිකවූ රජකුලයෙහි ඉපිද මහාකප්පින රජුගේ අගමෙහෙසියවූවාය. කටුකරඬුමල් පැහැයට සමානවූ බැවින් ඇයට අනෝජා දේවියයි නම් වූයේය. මහාකප්පින රජතෙමේද සුතචින්තකයෙක් (උගතුන් පිළිබඳව සිතන්නෙක්) වූයේය. හෙතෙම උදෑසනින්ම නැඟිට සිවු දොරටුවෙන්, ‘යම්තැනක බොහෝ ඇසූපිරූතැන් ඇති සුතධරවූ පුද්ගලයන් දකිවුද එයින් ආපසු අවුත් මට සැළකරවු’යි ඉක්මණින් දූතයන් යැවීය.

එසමයෙහි අපගේ ශාස්තෘන්වහන්සේ ලෝකයෙහි පහළවී සැවැත්නුවර ඇසුරුකොට වාසය කරනසේක. එකල්හි සැවැත්නුවර වැසි වෙළෙන්දෝ සැවතෙහි හටගන්නා බඩු රැගෙන ඒ නුවරට ගොස් බඩු තැන්පත්කොට රජු දකින්නෙමුයයි පඬුරුගත් අත ඇත්තාහු රජමැදුරු දොරටුවට ගොස් රජු උයනට ගියේයයි අසා උයනට ගොස් දොරටුවෙහි සිටියාහු ආරක්‍ෂකයාට දැන්වූවාහුය. ඉක්බිති රජුට දැන්වූ කල්හි රජතෙමේ (ඔවුන්) කැඳවා පවරා දෙනු ලැබූ පඬුරු ඇතිව වැඳ සිටි කල්හි ‘දරුවනි, කොහි සිට අවුදැයි ඇසීය. ‘දේවයිනි, සැවතෙහි සිටය.’ ’කෙසේද ඔබලාගේ රට සුභික්‍ෂද? රජ ධාර්මිකද’ ‘සේය, දේවයනි.’’නුඹලාගේ දේශයෙහි කිසියම් පණිවිඩයක් (තොරතුරක්) තිබේ?’ දේවහන්වහන්ස ඇත. (එහෙත්) ඉඳුල් මුවින් කීමට නොහැකිය.’ රජතෙමේ රන්කෙණ්ඩියෙන් පැන්දෙවීය. ඔවුහු මුව සෝදා බුදුන්වහන්සේ දෙසට මුහුණලා ඇඳලි බැඳගෙන දේවයන්වහන්ස, අපගේ දේශයෙහි බුද්ධ නම් රත්නයක් පහළවීය’යි කීවාහුය. රජුට බුද්ධ යන වචනය අසූ කෙණෙහිම සියලුම සිරුර පැතිරෙමින් ප්‍රීතිය උපන්නේය. ඉක්බිති ‘දරුවනි, බුද්ධයයි කියවු’යි පැවසීය. ‘දේවයිනි, බුද්ධයයි කියමු.’ මෙසේ තෙවරක් කියවා, බුද්ධ යන පදය අප්‍රමාණය, ඊට ප්‍රමාණයක් කිරීමට නොහැකිය’ය’ ඒ පදයෙහිම පැහැදුනේ ලක්‍ෂයක් දෙවා වෙනත් කවර හසුන්දැය’යි ඒ පදයෙහිම පැහැදුනේ ලක්‍ෂයක් දෙවා වෙනත් කවර හසුන්දැ’යි ඇසීය. දේවයිනි, ධර්‍මනම් රත්නයක් උපණ. එයද අසා එසේම තෙවරක් පිළිණගෙන තවත් ලක්‍ෂයක් දෙවා යළි ‘අනෙක් කවර හසුනක්දැ’යි ඇසීය. ‘දේවයිනි, සංඝරත්නය උපණ.’ එයද අසා එසේම පලිණගෙන තවත් ලක්‍ෂයක් දෙවා දුන්බව පතෙහි ලියවා ‘දරුවනි, දේවිය සමීපයට යනු’යි යැවීය. ඔවුන් ගිය කල්හි ‘දරුවනි, බුදුරජාණන්වහන්සේ ලොව උපන්සේක. නුඹලා කුමක් කරන්නහුදැ’යි ඇමතියන්ගෙන් ඇසුවේය. ‘දේවයිනි, නුඹවහන්සේ කුමක් කරනු කැමැත්තහුද?’ ‘මම පැවිදි වන්නෙමි.’ අපිද පැවිදි වන්නෙමු’ ඒ සියල්ලෝම ගෙවල් හෝ පවුල් හෝ (ගැන) නොබලා යමෙක් අසුන්පිට නැඟී ගියාහුද ඔවුන් සමඟම නික්මුණාහුය.

වෙළෙන්දෝ අනෝජා දේවියගේ සමීපයට ගොස් හසුන දැක්වූවාහුය. ඕ තොමෝ කියවා, රජුවිසින් නුඹලාට බොහෝ කහවණු දෙනලදී. දරුවනි නුඹලා විසින් කුමක් කරන ලදදැ’යි ඇසුවාය. ‘දේවිය, සතුටු හසුනක් ගෙනෙනලදී.’ ‘දරුවනි, අපටත් අස්වන්නට හැකිද?’ ‘දේවිය හැකිය. ඉඳුල් මුවින් පවසන්නට නොහැකිය.’ ඕ රන් කෙන්ඩියෙන් ජලය දුන්නාය. ඔවුහු මුව සෝදා රජුට සැළ කළ ක්‍රමයෙන්ම සැළ කළාහුය. ඕතොමෝත් උපන් ප්‍රමුදිතබව ඇත්තී ඒ ක්‍රමයෙන්ම එක්එක් පදයෙන් තෙවරක් පිළිණගෙන පිළින ගණනට තුනක්බැගින් කොට නව ලක්‍ෂයක් දුන්නාය. වෙළෙන්දෝ සියල්ල දොළොස් ලක්‍ෂයක් ලැබූහ. ඉක්බිති ඔවුන්ගෙන් ‘දරුවනි. රජතුමා කොහිදැ’යි ඇසුවාය. දේවිය, පැවිදි වන්නෙමියි නික්මුණේය’යි දැන්වූහ. ‘එසේ වීනම් දරුවනි, තෙපි යවු’යි ඔවුන් පිටත්කොට යවා රජු සමඟ ගිය ඇමතිවරුන්ගේ මාගමුන් කැඳවා ‘යෙහෙළියනි, තෙපි තමන්ගේ හිමියන් ගිය තැන දන්නහුදැයි ඇසුවාය. ‘එසේය, ආර්‍ය්‍යාවනි, දනිමු. රජු සමඟ උයන් කෙළියට ගියාහුය.’ ‘එසේය යෙහෙළියනි, ගියාහුය, එහි ගොස් බුදුරජාණන්වහන්සේ පහළවූසේක. ධර්‍මය පහළවිණ, සංඝයා පහළවිණැයි අසා බුදුන්වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙමුයි ගියාහුය. නුඹලා කුමක් කරන්නහුදැ’යි ඇසුවාය. ‘ආර්‍ය්‍යාවනි, නුමවහන්සේ කුමක් කරනු කැමැත්තාහුද?’ ‘මම පැවිදි වන්නෙමි. ඔවුන් විසින් වැමෑරූ වමනය දිවග නොතබන්නෙමි’යි කීවාය. ‘එසේ වන්නෙනම් අපිද පැවිදිවන්නෙමු’යි රිය යොදවා නික්මුණාහුය.

රජතෙමේද ඇමැති දහස සමඟ ගංතෙරට පැමිණියේය. එසමයෙහි වනාහි ගඟ පිරී පැවැතුණේ වෙයි. ඉක්බිති එය දැක ‘මේ ගඟ පිරී ඇත. සඬ මසුන්ගෙන් ගැවසුණේය. යමෙක් අපට නැවක් හෝ පසුරක් හෝ සදා දෙත්ද අප සමඟ ආවාවූ එබඳු දාසයෝ හෝ මිනිස්සු හෝ නැත. මේ ශාස්තෘන්වහන්සේගේ ගුණය නම් යට අවීචියෙහි පටන් මතු භවාග්‍රය දක්වා පැතුරුණේය. ඉදින් මේ ශාස්තාන්වහන්සේ සම්මාසම්බුද්ධ නම් මේ අසුන්ගේ කුර පිට පමණකුදු නොතෙමේවායි දියපිටින් අසුන් පැන්හූහ. එකද අසකුගේ කුරපිට පමණකුදු නොතෙමුණේය. රාජමාර්‍ගයෙන් යන්නාහු මෙන් පරතෙරට පැමිණියාහු පරතෙරින්ද වෙනත් නදියකට පැමිණියාහුය. එහිදී වෙනත් සත්‍යක්‍රියාවක් නැත. ඒ සත්‍යක්‍රියාවෙන්ම අඩයොදුන් පළල නදිය ඉක්මවූවාහුය. ඉක්බිති තෙවැනිවු චන්‍ද්‍රභාග නම් මහා නදියට පැමිණ එයද එම සත්‍යක්‍රියාවෙන්ම තරණය කළහ.

ශාස්තෘන්වහන්සේද එදවස උදෑසන කාලයෙහි මහකුළුණු සමවතින් නැඟිට ලොව දෙස බලනසේක් අද මහාකප්පින තෙමේ යොදුන් තුනිස්යයක්වූ රාජයය අතහැර ඇමති දහස පිරිවරකොට ඇත්තේ මා සමීපයෙහි පැවිදිවීමට පැමිණෙන්නේයයි දැක මාවිසින් ඔවුන්ට පෙරගමන් කිරීමට සුදුසුයයි උදයෙන්ම සිරුර පිළිදැඟුම්කොට භික්‍ෂුසංගයා පිරිවරකොට ඇතිසේක් සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබතෙහි අහරගැනීමෙන් වෙනුවූසේක් තුමූම පාසිවුරු ගෙන අහසට පැනනඟී චන්‍ද්‍රභාග නදී තෙරෙහි ඔවුන් ගොඩනැගෙනතොට ඉදිරිපස තැනක මහනුගරුකක් ඇත. එහි පළඟින් හිඳ මුව ඔසවා සිහි එළවා සවණක් බුදුරැස් විසිරවූසේක. ඔවුහු ඒ තොටින් ගොඩනඟින්නාහු ඔබිමොබ දිවෙන බුදුරැස් බලමින් බුදුන්වහන්සේගේ පුන්සඳක සිරිය ඇති මුහුණ දැක යම් ශාස්තෘවරයකු උදෙසා අපි පැවිදිවුවෙමුද ඒකාන්තයෙන්ම මේ උන්වහන්සේයයි දැකීමෙන්ම නිශ්චයකොට දුටු තැනසිට නැමී වඳිමින් අවුත් ශාස්තෘන්වහන්සේට වැන්දාහුය. රජතෙමේ ගොප්ඇටය අල්වාගෙන ශාස්තෘන්වහන්සේ වැඳ එකත්පසෙක ඇමතිදහස සමඟ හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ට ධර්‍මය දේශනාකළසේක. දෙසුම අවසන්හි සියල්ලෝම රහත්බවෙහි පිහිටා ශාස්තෘන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලූහ. ශාස්තෘන්වහන්සේ මොවුහු සිවුරුදානය දුන්බැවින් තමන්ගේ සිවුරු රැගෙනම පැමිණියාහුයයි රන්වන් අත දිගුකොට ‘මහණෙනි, එවු. ධර්‍මය මනාකොට දෙසනලද්දේය. මැනවින් දුක් කෙළවර කරනු සඳහා බඹසරෙහි හැසිරෙ’වු යි පැවසූසේක. එයම ඒ ආයුෂ්මතුන්ගේ පැවිද්දද උපසම්පදාවද විය. වස්සියයක් ගිය තෙරුන්මෙන් ශාස්තෘන්වහන්සේ පිරිවැරුවාහුය.

අනෝජා දේවිය රියදහසක් පිරිවරකොට ඇත්තී ගංතෙරට පැමිණ රජු සඳහා ගෙනෙන ලද නැවක් හෝ පසුරක් හෝ නොදැක තමන්ගේ වියත් බවින් (මෙසේ) සිතුවාය. රජතෙමේ සත්‍යක්‍රියා කොට ගියේ වන ඒ ශාස්තෘන්වහන්සේ වනාහි හුදෙක් ඔවුන් සඳහාම පහළවූසේක් නොවෙති. ඉදින් ඒ ශාස්තෘන්වහන්සේ සම්මාසම්බුද්ධ නම් අපගේ රථයෝ ජලයෙහි නොකිමිදෙත්වායි දිය පිටින් රථයන් පැන්නුවාය. රථයන්ගේ නිම්වැටි පමණකුදු නොතෙමිණ. දෙවැනි නදියෙන්ද තෙවැනි නදියෙන්ද ඒ සත්‍ය ක්‍රියාවෙන්ම එතෙර වූවාය. එතෙර වෙමින්ම නුගරුක මුල ශාස්තෘන් වහන්සේ දුටුවාය. ශාස්තෘන්වහන්සේ ද තමන්ගේ සැමියන් දකින්නාවූ මොවුන්ට ඡන්‍දරාගය ඉපිද මාර්‍ගඵලයන්ට අන්තරාවක් කරන්නේය. එය එසේ කිරීමට නොහැක්කේයයි යම්සේ ඔවුනොවුන් නොදකිත්ද එසේ කළ සේක. ඒ සියල්ලෝ තොටින් ගොඩවී තථාගතයන් වහන්සේ වැඳ හුන්නාහුය. ශාස්තෘන් වහන්සේ ඔවුන්ට ධර්‍මය දේශනාකළසේක. දෙසුම අවසන්හි සියල්ලෝ සෝවාන් පෙලෙහි පිහිටා ඔවුනොවුන් දුටුවාහුය. ශාස්තෘන්වහන්සේ උප්පලවණ්ණා මෙහෙණිය පැමිණේවායි සිතූසේක. තෙරණිය අවුත් සියල්ලන් පැවිදි කරවා රැගෙන භික්‍ෂූණී මෙහෙණවරකට ගියාහ. ශාස්තෘන්වහන්සේ භික්‍ෂූන් දහස රැගෙන අහසින් දෙව්රමට වැඩිසේක.

ඉක්බිති මේ මහාකප්පින තෙරණුවෝ තමන්ගේ කටයුතු මුදුන් පැමිණිබව දැන අල්පොත්සාහී වී පලසමවත් සුවෙන් කල් යවන්නාහු ආරණ්‍යගතවූවෝද වාක්‍ෂමුලගත වූවෝද ශුන්‍යාගාර ගතවූවෝද නිතරම අහෝ සැපය, අහෝ සැපය’යි උදන් අනති. භික්‍ෂූහු, කප්පින තෙරණුවෝ රාජ්‍ය සැපය සිහිකරමින් උදන් අනති’යි කථාවක් ඉපදෙව්වාහුය. ඔවුහු (ඒබව) තථාගතයන්වහන්සේට සැළකළහ. තථාගතයන්වහන්සේ මාපුතු මාර්‍ගසැප හා ඵලසැප අරභයා උදන් අනතියි වදාරා ධර්‍මපදයෙහි මේ ගාථාව දෙසූසේක.

ධර්‍මයෙන් සතුටුවූ තැන්ත්තේ පැහැදුනු මනසින් යුතුව සුවසේ හොවී

පණ්ඩිත තෙමේ ආර්‍ය්‍යයන් විසින් දන්නාලද ධර්‍මයෙහි හැමදා සිති අලවයි.

ඉක්බිති එක් දිනෙක ශාස්තාන්වහන්සේ උන්වහන්සේගේ (තෙරුන්ගේ) අතවැසි දහසක් භික්‍ෂූන් අමතා, ‘මහණෙනි, තොපගේ ආචාර්‍ය්‍යවරයා කොහි දහම් දෙසත්දැයි ඇසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, දහම් නොදෙසයි. අල්පොත්සාභීවූයේ ඉහාත්ම සුඛවිහරණයෙහි යෙදුණේ වාසයකරයි. කිසිවකුට අවවාදමාත්‍රයකුදු නොදෙයි’යි කීහ. ශාස්තෘන් වහන්සේ තෙරුන් කැඳවා, ‘කප්පින ඔබ අතවැසියන්ට අවවාදමාත්‍රයකුදු නොදෙහි යන්න සත්‍යයක්දැ?යි ඇසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, සතයයකි.’ ‘බ්‍රාහ්මණය, එසේ නොකරව අදපටන් අතවැස්සන්ට ධර්‍මය දෙසව.’ ‘මැනවි ස්වාමීනි’යි, තෙරණුවෝ ශාස්තෘන්වහන්සේගේ කථාව සිරසින් පිළිගෙන එකම කුළුගැන්වීමකින් මහණුන්දහසට ධර්‍මය දෙසා සියල්ලන් රහත්බවට පැමිණවූහ. මෑත කාලයෙහි ශාස්තෘන්වහන්සේ සඟ මැද වැඩහුන්සේක් පිළිවෙළින් තෙරුන් තනතුරුවල තබමින් මහාකප්පින තෙරණුවන් භික්‍ෂූන්ට ඔවදන් කරන්නන් අතුරින් අගතනතුරෙහි තැබූසේක.

 

සාගත මහරහතන් වහන්සේ.

සාගත මහරහතන් වහන්සේ.

 

තේජොධාතුවට සමවැදීමට දක්‍ෂවූවන් අතුරින් සාගත තෙරුන්වහන්සේ අග්‍රයහයි දැක්වෙයි. මේ තෙරුන්වහන්සේ වනාහි තෙජොධාතු සමාපත්තියෙන් අම්බතිත්‍ථනාගයාගේ තෙදින් තෙද යටපත් කොට ඒ නාගයා විෂනැත්තෙකු කළහ. එහෙයින් තෙජොධාතුවට සමවැදීමේ දක්‍ෂයින් අතුරෙන් අග්‍රනම්වූහ.

පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසඳගෙන මෑතකාලයෙහි ශාස්තාන්වහන්සේගේ ධර්‍මදේශනාව අසමින් එක් භික්‍ෂුවක තෙජෝධාතුවට සමවැදිමෙහි දක්‍ෂයන් අතුරෙන් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට තනතුර පැතුවේය. හෙතෙම දිවිඇතිතෙක් කුසල් කොට දෙව්මිනිසුන් අතර සැරිසරනේනේ මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර බමුණු කුලයක උපන්නේය. මොහුට සාගතමානවයයි නම් කළාහුය. හෙතෙම මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව අටසමවන් උපදවා එහි වසඟ බවට පත්වූයේය.

ඉක්බිති එක්දිනක් ශාස්තෘන්වහන්සේ චාරිකාවෙහි හැසිරෙමින් කොඹෑනුවර සමීපයට වැඩිසේක. එසමයෙහි නදීතොටෙහි පැරණි නැවියාගේ බොහෝ ආගන්තුක ගමිකයෝ සතුරුවී ඔහු තළා මැරූහ. හෙතෙම විරුද්ධසිතින් පැතුමක් තබා ඒ තොටපලෙහිම මහත් ආනුභාව ඇති නා රජෙක්වී උපන්නේය. හෙතෙම විරුද්ධසිත් ඇතිබැවින් නොකල්හි වස්වයි. කාලයෙහි නොවස්වයි. ශශ්‍යයෝ මනාව නොහටගනිත්. සියලු රටවැසියෝ ඔහු සංසිඳවීම සඳහා අවුරුදු පතා බලිකර්‍ම කරත්. විසීම සඳහාද මොහුට එක් ගෙයක් කළාහුය. ශාස්තෘන්වහන්සේද ඒ තොටින් එතෙරවී බික්සඟන පිරිවරනලද සේක් ඒ පෙදෙසෙහිම රාත්‍රිය වසන්නෙමැයි වැඩිසේක.

ඉක්බිති මේ තෙරණුවෝ මෙහි නාරජ චණ්ඩයයි අසා මේ නාරජු දමනය කොට විසනැත්තෙකු කොට ශාස්තෘන් වසන තැන පිළියෙළ කිරීමට වටනේයයි නාරජු වසන තැනට පිවිස පලක් බැඳ වැඩහුන්හ. නයා කිපී මේ කවර නම් මුඩුමහණෙක් මා වසන තැනට පිවිස හුන්නේදැයි දුම්පිට කළේය. තෙරණුවෝ වැඩිමනත් දුම්පිට කළහ. නයා දිදිළීය. තෙරණුවෝ වැඩිමනත් දිදිළී ඔහුගේ තෙද යටපත් කළේය. හෙතෙම මේ භික්‍ෂුව බලවතෙකැයි තෙරුන්ගේ පාමුල වැදෙහෙව ‘ස්වාමීනි, නුඹවහන්සේගේ සරණ යමියි කීවේය. මා සරණයාමෙන් වැඩක් නැත. බුදුරජානන්වහන්සේ සරණයවයි කීහ. හෙතෙම මැනවැයි සරණගියේ වී එතැන්පටන් කිසිවකු නොපෙළීය. වැස්සද මනාව වස්වයි. ශශ්‍යයෝද මනාව නිපදෙත්,

කොසඹෑ වැසියෝ සාගත ආර්‍ය්‍යයන්වහන්සේ විසින් අම්බතිත්‍ථක නාගයා දමනය කරනලදැයි අසා ශාස්තෘන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් මහත් සත්කාර පිළියෙළ කළාහුය. ඔවුහු දහබලන්වහන්සේට මහත් සත්කාර කොට ඡබ්බග්ගිය භික්‍ෂූන්ගේ වචනයෙන් සියලුගෙවල්වල කාපොතික නම් මද්‍යපානය පිළියෙළ කොට දෙවන දිනයෙහි පිඬු පිණිස හැසිරෙන සාගත තෙරුන්ට එක් එක් ගෙහිදී ටික ටික දුන්නාහුය. තෙරණුවෝ ශික්‍ෂාපදය නොපැනවී තිබියදී මිනිසුන්විසින් අයදිනුලබන්නාහු එක් එක් ගෙහිදී ටි ටික බී ශාස්තෘන්වහන්සේගේ නොදුරට ගොස්ම නොරහත් බැවින් සිහිය අත්හැර කසළගොඩක වැටුනාහ.

ශාස්තෘන්වහන්සේ ඔහු දැක කරනලද බත් කිස ඇති සේක් නික්මෙමින් ඔහු ගෙන්වා ගෙන විහාරයට ගොස් නින්දා කොට ශික්‍ෂාපදය පැනවූසේක. හෙතෙම දෙවැනි දිනයෙහි සිහිය ලැබ තමන් කළ කරුණ අසා ඇවත් දෙසා බුදුරජාණන්වහන්සේ ක්‍ෂමා කරවාගෙන උපන් සංවේග ඇත්තේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. මෙසේ කථාවස්තුව විනයෙහි නැඟීසිටියේය. එය එහි පැමිණි සැටියෙන්ම විස්තර වශයෙන් දතයුත්තේය. ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි දෙව්රමෙහි හිඳ තෙරුවරුන් පිළිවෙළින් තනතුරුවල තබනසේක් සාගතතෙරුන් තෙජෝධාතුවට සමවැදීමෙහි දක්‍ෂයන් අතුරෙන් අගතනතුරෙහි තැබූසේක.

රාධ මහරහතන් වහන්සේ.

රාධ මහරහතන් වහන්සේ.

ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනාව ප්‍රතිභානයට ප්‍රත්‍යය වන්නාවූ ප්‍රතිභානය උපදවන්නාවූ භික්‍ෂූන් අතුරින් රාධ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. තෙරුන්වහන්සේට වනාහි දීර්‍ඝවහාරයටද විශ්වසනීය ශ්‍රද්ධාවටද පැමිණ බුදුරජාණන්වහන්සේගේ අලුත් අලුත් ධර්‍මදේශනා වැටහෙයි. එහෙයින් තෙරණුවෝ ප්‍රතිභාහනය (වැටහීම) ඇත්තවුන් අතුරෙන් අග්‍රනම්වූහ.

පියුමුතුරා බුදු රජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක ඉපිද මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් භික්‍ෂුවක ප්‍රතිභාන ඇත්තවුන් අතරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් තථාගතයන්වහන්සේට සේවය කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි රජගහනුවර බමුණුකුලයක පිළිසිඳ ගත්තේය. මොහුට රාධමානවයයි නම් කළාහුය.

හෙතෙම මහළු කල්හි තමන්ගේ අඹුදරුවන් විසින් නිගරුකරන ලද්දේ පැවිදිව කල් ගෙවන්නෙමැයි විහාරයට ගොස් තෙරවරුන්ගෙන් පැවිද්ද ඉල්වීය. දිරාපත් මහළු බමුණෙකැයි පැවිදිකරවීමට කිසිවෙක් කැමැති නොවූහ. ඉක්බිති එක් දිනක් බමුණා හාස්තෘන්වහන්සේ වෙත එළඹ පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ හේතුසම්පත් දැක කථාව මතුකිරීමට කැමතිසේක් කිමෙක්ද බමුණ, අඹුදරුවෝ ඔබ පිළිදැගුම් කරත්දැයි ඇසූ සේක. ‘භවත් ගෞතමයිනි, පිළිදැගීමක් කොයින්ද? මහල්ලෙකැයි මා පිටට නෙරපූහ’යි කීවේය. ‘බමුණ, කිමෙක්ද ඔබට පැවිදිවීමට නොවටීද?’ ‘භවත්ගෞමයිනි, කවරෙක් මා පැවිදි කරන්නේද? මහළුබව නිසා කිසිවෙක් මා නොකැමති වෙති’යි බමුණා කීය. ශාස්තෘන්වහන්සේ සැරියුත්තෙරුනට සංඥාවක් දුන්සේක. තෙරණුවෝ හාස්තෘවචනය සිරසින් පිළිගෙන රාධ බමුණා පැවිදිකොට මෙසේ සිතූහ. ශාස්තෘන්වහන්සේ මේ බමුණා ආදරයෙන් පැවිදිකරවූසේක. මාවිසින් මොහු අනදරින් පරිහරණය කිරීමට නොයුතුය.’ (මෙසේ සිතා) රාධ තෙරුන් රැගෙන කුඩාගමක විසීමට ගියහ. අලුත පැවිදිවු බැවින් එහි දුෂ්කරලැබීම් ඇති මොහුට (සැරියුත්) තෙරණුවෝ තමන්ට ලැබුණු ප්‍රණීත පිණ්ඩපාතයද ඔහුටම දී තමූ පිඬු පිණිස හැසිරෙති. රාධතෙරණුවෝ යෝග්‍ය සෙනසුන්ද යෝග්‍ය භෝජනයද ලැබ සැරියුත් තෙරණුවන් සමීපයෙහි කමටහන් ගෙන නොබෝ කලකින්ම රහත්බවට පැමිණියහ.

ඉක්බිති (සැරියුත්) තෙරණුවෝ ඔහු රැගෙන බුදුරජාණන්වහන්සේ දැකීමට පැමිණියහ. ශාස්තෘන්වහන්සේ දනිමින්ම, ‘සාරිපුත්‍රය, මවිසින් ඔබට යම් ඇසුරුකරන්නෙක් දෙන ලද්දේද? ඔහුට කෙබඳු දෙයක නොකළකිරෙයිද? යි ඇසූසේක. ‘ස්වාමීනි, සසුනෙහි ඇලෙන භික්‍ෂුව නම් මෙබඳු වන්නේය.’ ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේට, ‘සැරියුත් තෙරණුවෝ කෘතඥයෝය. කාතවේදීහුය’යි සඟමැද කථාවක් හටගත්තේය. ඒ කථාව අසා ශාස්තෘන්වහන්සේ, භික්‍ෂූන් ඇමතූසේක. ‘මහණෙනි, සාරිපුත්‍රයින්ගේ දැන් කෘතඥතාවත් කෘතවේදිත්වයත් පුදුමයක් නොවේ. හෙතෙම අතීතයෙහි අහෙතුක ප්‍රතිසන්‍ධියෙහි උපන්නේද කෘතඥකෘතවේදීම වීය’යි පැවසූසේක. ‘භාග්‍යවතුන් වහන්ස, කවර කලෙකදැයි භික්‍ෂූහු විමසූහ.

මහණෙනි, අතීතයෙහි පර්‍වතපාදයක පන්සියයක් පමණ වූ වඩු පුරුෂයෝ මහ වනයට පිවිස ලී ගොඩවල් සිඳ මහත් පසුරක් බැඳ නදියෙන් එතෙර වෙත්. ඉක්බිති එක් ඇත්රජෙක් එක් විෂමස්ථානයක සොඬින් (කඩා) ගන්නේ අත්තකැඩී ආ වේගය ඉවසීමට නොහැක්කේ තියුණු ලීඋලක් පයෙහි ඇනී ගියේය. පා සිදුරු විය. දුක් වේදනාවෝ හටගත්හ. හෙතෙම ගමන ඉදිරියට යාමට නොහැක්කේ එහිම වැද හොත්තේය. හෙතෙම කිහිප දිනක අවෑමෙන් ඒ වඩුවන් තමන් සමීපයෙන් යනු දැක මොවුන් නිසා මම දිවි ලබන්නෙමැයි ඔවුන්ගේ පියවර අනුව ගියේය. ඔවුහු නැවතී ඇතැ දැක බියවූවාහු පලායත්. හෙතෙම ඔවුන් පලා යන බව දැන නැවතී සිටියේය. යළි ඔවුන් සිටි කල්හි ලුහුබැන්දේය.

වඩු දෙටුවා ‘මේ ඇතා අපසිටි කල්හි ලුහුබඳියි. පලායන විට සිටියි. මෙහි කරුණක් වන්නේයයි සිතුවේය.’ සියල්ලෝ ඒ ඒ ගසට නැගී ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙමින් හුන්නාහුය. හෙතෙම ඔවුන් ලඟට අවුත් තමන්ගේ පය පෙරළා දක්වමින් වැද හොත්තේය. එවිට වඩුවන්ට, ‘පින්වතිනි, මෙතෙම ගිලන් බවින් එයි. වෙනත් කරුණකින් නොවේය’යි හැඟීමක් පහළවිය. ඔහුගේ ලඟට ගොස් පයෙහි පිවිසි ලීහුල දැක, ‘මෙකරුණින් මෙතෙම ආයේය’යි තියුණු වෑයකින් උල්කෙළවර හිමිකොට දැඩි රැහැනකින් බැඳ ඇද ඉවත්කළාහුය. ඉක්බිති ඔහුගේ වණමුඛය පෙළා පැරණි ලේ හරවා කහට දියෙන් සෝදා තමන් දන්නා බෙහෙත් තවරා ඉක්මණින්ම සුව කළාහුය.

ඇත්රජ තෙමේ ගිලන්බවින් නැගීසිටියේය (සුවපත් වුයේ), ‘මොවුහු මට බොහෝ උපකාර වූවෝයි. මොවුන් නිසා මවිසින් දිවි ලබන ලදී. මා මොවුනට කළගුණ දන්නකු වීමට වටීයයි සිතුවේය.’ (මෙසේ සිතා) තමන් වසන තැනට ගොස් සුදු ඇත් පැටවකු රැගෙන ආවේය. වඩුවෝ ඇත්පැටවා දැක ‘අපට ඇත්දරුවකුද රැගෙන ආයේයැ’යි බෙහෙවින් සතුටු සිතැත්තෝ වූහ. ඇත්රජතෙමේ මා සිටින විට කුමක් නිසා මෙතෙම ආයේදැයි මා පැමිණි කරුණ නොදනිතියි සිතුවේය. (සිතා) සිටි තැනින් පිටත්වූයේය. ඇත්පොව්වා පියා පසුපසින් ලුහුබැඳ ගියේය. ඇත්රජතෙමේ පැටවා ආපසු එනබව දැන නවතිනු සඳහා ශබ්දසංඥාවක් කළේය. හෙතෙම පියාගේ කථාව (සංඥාව) අසා ආපසු හැරී වඩුවන් සමීපයට ගියේය. වඩුවෝ ‘මෙතෙම මේ පැටවා අපට දීමට ආයේවනැ’යි අප ලඟ ඔබ විසින් කළයුතු දෙයක් නැත. පියා සමීපයටම යවයි’ කීවාහුය. එසේ කියා ඔවුහු (පැටවා) ආපසු යැවූහ. ඇත්රජ තෙමේ තෙවැනිවර දක්වා තමන් ලඟට ආ පැටවා වඩුවන් සමීපයට යැවීය. එතැන්පටන් වඩුවෝ ඇත් පැටවා තමන් ලඟ තබාගෙන පිළිදැගුම් කරති. බොජුන් කල්හි එක් එක් බත් පිඬ බැගින් දෙති. බත ඇති පැටවාට ප්‍රමාණවත් වෙයි. හෙතෙම වඩුවන් විසින් වනය තුළ කපන ලද දැව සමූහය ගෙනවුත් එළිමහන් තැනක ගොඩ ගසයි. මේ අයුරින්මවෙනත් උපකාරද කළේය.

ශාස්තෘන්වහන්සේ මෙකරුණ ගෙනහැර දක්වා පෙරද සැරියුත් කෘතඥ කෘතවේදී භාවය ප්‍රකට වූයේය. සැරියුත් තෙරණුවෝ එදා මහ ඇතා වූහ. අර්‍ත්‍ථොත්පත්ති යෙහි ආවාවූ වීර්‍ය්‍යය හළ භික්‍ෂුව ඇත්පොව්වා වූයේයි වදාළසේක. සංයුත්ත නිකායට පැමිණ සියලු රාධසංයුත්තයද ධර්‍මපදයෙහිද,

වරද දක්නාසුලු පාපය හෙළා දකින නිදන් තොරතුරු කියන්නකු වැනි වූ නුවණැති යම් පුද්ගලයෙක් දක්නා ලැබේද එබඳුවූ පණ්ඩිතයෙකු ඇසුරු කරන්නේය. එබන්දකු ඇසුරු කරන්නාට යහපතක්ම වෙයි. නපුරක් නොවෙයි.

යන ගාථාව තෙරුන්ගේ ධර්‍මදේශනාගාථා නමි. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ තෙරවරුන් පිළිවෙළින් තනතුරුවලතබන සේක් රාධතෙරුන් ප්‍රතිභානය ඇත්තවුන් අතුරින් අගතැන්හි තැබූසේක.

 

මොඝරාජ මහරහතන් වහන්සේ.

මෝඝරාජ මහරහතන් වහන්සේ.

 

රළු සිවුරු දරන්නන් අතුරින්, මෝඝරාජ තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලෙබේත්. මේ තෙරුන්වහන්සේ සත්‍ථලූඛ සුත්තලූඛ රජනලූඛ යන තෙදැරුම් රළුබවින් යුත් පාංසුකූල සිවුරක් දැරූහ. එහෙයින් රළුසිවුරු දරන්නන් අතුරින් අග්‍රනම්වූහ.

පියුමුතුරා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසිඳගෙන මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසන්නේ එක් භික්‍ෂුවක රළු සිවුරු දරන්නන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇති තෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙරාතුවම කට්ඨවාහන නුවරෙහි ඇමතිගෙයක පිළිසිඳ ගත්තේය. මෑතකලායෙහි වියපත් වූයේ කට්ඨවාහන රජුට උවටැන් කරන්නේ ඇමති තනතුරක් ලැබුවේය.

එසමයෙහි කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ ලොව පහළවූ සේකැයි අසා ඔහු (ඇමති) කැඳවා ‘දරුව, බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක මේ පසල් නගරය එක්වරම අප දෙදෙනාගෙන් හිස්කිරීමට නොහැකිය. නුඹ මධ්‍යම දේශයට ගොස් බුදුරජාණන්වහන්සේ උපන්බව දැන උන්වහන්සේ මෙම නුවරට වැඩමවාගෙන එව’යි කීවේය. (මෙසේ කියා) මිනිසුන් දහසක් සමඟ යැවීය. හෙතෙම පිළිවෙළින් ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් ධර්‍මකථා අසා ලැබූ සැදැහැඇත්තේ එහිම පැවිදිව විසිදහසක් අවුරුදු මහණදම් කළේය. ඔහු සමඟ ගියමිනිස්සු සියල්ලෝම ආපසු හැරී රජු වෙතට පැමිණියාහුය.

මේ තෙරණුවෝත් පිරිපුන් සිල් ඇත්තාහු කලුරියකොට එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරන්නාහු අපගේ බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙරාතුවම සැවතෙහි බමුණු ගෙයක පිළිසඳ ගත්හ. මොහුට මොඝරාජමානවයි නම් කළාහුය. කට්ටවාහන රජතෙමේද කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි පින්දහම් කොට එක් බුද්ධාන්තරයක් පිරිවර සහිතව දෙවිමිනිසුන් අතුරෙහි හැසිර අපගේ දශබලයන්වහන්සේ ඉපදීමට පෙරාතුවම සැවතෙහි පෙරෙවිගෙහි පිළිසිඳ ගත්තේය. මොහුට බාවාරිමානවයයි නම් කළාහුය. හෙතෙම මෑතකාලයෙහි ත්‍රිවේදය උගෙන සොළොස් දහසක් මානවකයන්ට ශිල්ප උගන්වමින් හැසිරෙයි. ඉක්බිති මොහුට පසේනදී රජුගේ කාලයෙහි පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර දුන්හ. එකල්හි මේ මොඝරාජ මානවක තෙමේත් බාවාරි මානවකයන් සමීපයෙහිම සිප්සතර හදාරයි.

ඉක්බිති එක්දිනක් බාවාරි බමුණා රහසිගතවූයේ තමන්ගේ ශිල්පයෙහි හරය විමසන්නේ පාරලෞකික හරයක් නොදැක (කිසියම්) එක් පැවිද්දකින් පැවිදිව පාරලෞකික හරයක් සොයන්නෙමැයි කොසොල් රජු වෙත එළඹ තමන්ගේ පැවිද්ද අනුදන්වා ගත්තේය. හෙතෙම ඔහුවිසින් අනුදන්නාලද්දේ සොළොස් දහසක් මානවකයන් විසින් පිරිවරනලද්දේ පැවිදිවීම සඳහා නික්මුණේය. කොසොල්රජ තෙමේත් ‘යම් තනක ආචාර්‍ය්‍යවරයා පැවිදිවන්නේද එහි ඔහුට විසීමට තැනක් ගෙනදෙවවු’යි ඔහු සමඟම කහවණු ලක්‍ෂයක් යැවීය. බාවාරි බමුණු තෙමේ පහස් තැනක් බලන්නේ මධ්‍යම දේශයෙන් ඉවත්ව අස්සක රජුගේද චුළ්භක රජුගේද සීමා අතරෙහි ගොදාවරී නදී වංකයෙහි තමන්ට විසීමට තැනක් කරවීය.

ඉක්බිති එක් පුරුෂයෙක් ජටිලයන් දැකීමට ගියේ ඔවුන් අසළ භූමියක ඔවුන් විසින් අනුදන්නාලද්දේ තමන්ට විසීමට තැනක් කළේය. ඔහුවිසින් කරනලද ගෙය දැක වෙනත් කුල සියයක් ගෙවල්සියයක් කරවීය. ඒ සියල්ලෝම එක් රැස්ව ‘අපි ආර්‍ය්‍යයන්ට අයත් භූමිභාගයෙහි වසමු. නිකම් විසීමට නොයුතුය. මොවුනට සුවවාසයක් දෙන්නෙමු’යි එකිනෙකා එක් එක් කහවණුවක් බමුණා වසන තැනෙහි තැබීය. ගෙනෙන ලද සියලුම කහවණු දහසක් පමණ විය. බාවාරි බමුණා කුමක් සඳහා මේවා ගෙනඑනලද්දේදැයි ඇසීය. ‘ස්වාමීනි, ඔබට සුවවාසයක් දීම සඳහාය’යි කීහ. ‘ඉදින් මම රන්රුවන්වලින් වැඩක් ඇත්තෙම් නම් මහත් ධනරැසක් අත්හැර පැවිදි නොවන්නෙමි. නුඹලාගේ කහවණු ගෙන යවු’යි කීවේය. ‘අප විසින් ආර්‍ය්‍යයන්ට පරිත්‍යාග කරනලද දෙය යළි නොගනිමු. අවුරුදු පතා මේ අයුරින්ම ගෙනෙන්නෙමු. මේවා ගෙන ආර්‍ය්‍යයන්වහන්සේ දන්දෙනු මැනව’යි කීහ. බමුණුතෙමේ (ඒවා) ඉවසා දුගීමගී යාචකාදීන්ට දානමුඛයෙහි පවරා දුන්නේය. ඔහු වරින්වර දන් දෙන බව සියලු දඹදිව පළටවූයේය.

ඉක්බිති කළිඟු රටෙහි දුන්නිමිට්ඨ නම් ගමෙහි පූජක බමුණාගේ වංශයෙහි උපන් බැමිණියක් නැඟිට නැඟිට බමුණාට, බාවරි දන්දෙයි. ගොස් එතැනින් රන්රුවන් ගෙනවයි චෝදනා කරයි. හෙතෙම ඇය විසින් චෝදනා කරනලද්දේ ඉවසා සිටීමට නොහැක්කේ බාවාදර සමීපයට යමින් බාවාරී දන්දී පන්සලට පිවිස වැදහෙව දානය සිහිකරන විට ගියේය. ගොස්, ‘බමුණ මට දන්දෙව, බමුණ, මට දන්දෙව’යි කීවේය. ‘බමුණ නුම නොකල්හි පැමිණියේය. මවිසිනි පැමිණි යාචකයින්ට දෙනලදී. දැන් කහවණු නැත’යි කීවේය. ‘මට හුඟකින් වැඩක් නැත. මෙපමණ දන්නෙදන්නාවූ ඔබට කහවණු නැති වීමට නොහැක. මට කහවණු පන්සියයක් දෙව’යි කීවේය. ‘බමුණ, පන්සියයක්ද නැත යළි දන්දෙන කාලය පැමිණිවිට ලබන්නේය’යි බාවාරි කීවේය. ‘කිමෙක්ද මම නුඹගේ දානකාලයට පැමිණෙම්දැ’යි බාවාරි බමුණාගේ පන්සල දොරටුවෙහි වැළි සෑයක් කොට හාත්පසින් රත්පැහැතිමල් විසුරුවා මන්ත්‍රජප කරන්නෙකු මෙන් තොල් සොළවා ‘සත්කඩකට හිස පැලේවා! සත්කඩකට හිස පැලේවා’යි කියයි.

බාවාරි බමුණා සිතීය. ‘මෙතෙම මහත් තපස් ඇත්තෙකි. තපහාරය රැගෙන හැසිරෙන බමුණෙකි. දිනසතකින් මත්තෙතහි මගේ හිස සත්කඩකට පලමි’යි කියයි. මට මොහුට දියයුතු කහවනු පන්සියයක්ද නැත. මෙතෙම ඒකාන්තයෙන්ම මා මරන්නේය.’ මෙසේ ඔහුතුළ සෝතැවුල ඇතිවූ කල්හි රාත්‍රිභාගයට අනතුරුව, අනතුරු ආත්මභාවයෙහි බාවාරිගේ මව දෙවතාවකවී උපන්නී පුත්‍රයාගේ සෝතැවුලින් සපිරුණු බව දැක අවුත් මෙසේ කීවාය: ‘දරුව, මෙතෙම හිසක් හෝ හිසපැලීමක් හෝ නොදනියි. නුඹ බුදු රජාණන්වහන්සේ ලොව පහළවූබව නොදන්නෙහිය ඉදින් ඔබට සැකයක් ඇත්නම් ශාස්තෘන්වහන්සේ වෙත එළඹ අසව. හෙතෙම ඔබට මෙකරුණ කියනසේක.’ බමුණා දෙවතාවාගේ කථාව ඇසූකල පටන් අස්වැසිල්ලක් ලබා දෙවැනි දිනයෙහි අරුණ නැඟුණු කල්හි සියලු අතවැසියන් කැඳවා ‘දරුවනි, බුදුන්වහන්සේ ලොව උපන්සේක. නුඹලා ඉක්මණින් ගොස් බුදුකෙනෙක්ද නැද්දැයි දැන අවුත් මට සැළකරවු. මම ශාස්තෘන්වහන්සේ වෙතට යන්නෙමි. එසේදවුවත් මහළුබවින් මගේ ජීවිතන්තරාය නොදත හැක. නුඹලා උන්වහන්සේ වෙතට එළඹ මේ මේ අයුරින් ප්‍රශ්න අසව’යි මුද්ධඵාළන නම් වූ ප්‍රශ්නයක සකසා දුන්නේය.

ඉක්බිති මෙසේ සිතීය: ‘මේ සියලුම මානවකයෝ පණ්ඩිතයහ. ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසා තමන්ගේ වැඩ මුදුන්පත්වූ කල්හි නවැත මා සමීපයට එන්නාහු හෝ නොඑන්නාහු හෝ වෙත්. ඉක්බිති ඔහුගේ බෑණණුවන්වූ අජිත නම් මනවකයාට නුඹ වනාහි ඒකාන්තයෙන්ම මා වෙතට ඒමට යුතුවන්නෙහිය. නුඹවිසින් ලද ගුණය අවුත් මට කියව’යි සංඥාවක් දුන්නේය. ඉක්බිති ඒ සොළොස් දහසක් ජටිලයෝ අජිත මානවකයා ජ්‍යෙෂ්ඨ කොට ගෙන සොළසක්වූ දෙටු අතවැසියන් සමඟ පැන පුළුවුස්නෙමුයි චාරිකාවෙහි හැසිරෙන්නාහු ගියගිය තැන්හි ‘ආර්‍ය්‍යවරු කොහි යන්නහුද? කොහි යන්නහුදැ’යි විමසනලද්දාහු ‘බුදුන්වහන්සේ වෙතට පැන පිළිවිසීමට යන්නෙමු’යි මුල පටන් පිරිස එක්කරගනිමින් නොයෙක් යොදුන් සියගණනක් මග ගියාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් පැමිණෙන දිනයෙහි අනෙකෙකුට අවකාශයක් නොවන්නේය. මෙය මේ පිරිසට සුදුසු තැනකැයි ගොස් ගල් සෑයෙහි සමතලා ගල්තලාවක වැඩහුන්සේක. ඒ පිරිසද ඒ ගල්තලාවට නැඟ ශාස්තෘන්වහන්සේගේ ශරීරසම්පත්තිය දැක ‘මේ පුරුෂතෙමේ මේ ලෝකයෙහි දුරුකළ මෝහාදිය ඇති බුදුරජාණනවහන්සේ වනසේකැයි තමන්ගේ ආචාර්‍ය්‍යවරයා විසින් එවනුලැබූ ප්‍රශ්න මනසින් විමසමින්ම ගියාහුය.

එදවස එතැන්හි පැවිණි පිරිස දොළොස්යොදුනකට සෑහෙන්නක් විය. මේ සොළොස් අතවැසියන් අතුරෙහි මොඝරාජ මානවක තෙමේ ‘මම සියල්ලන්ට වඩා පඬිතයෙමැ’යි මානයෙන් දැඩිවූවෙකි. ඔහුට මෙසේ අදහස් විය. මේ අජිත මානවක තෙමේ සියල්ලවුන්ට දෙටුය. ඔහුට කලින් මම ප්‍රශ්න ඇසීම නොසුදුසුයයි ඔහුට ලජ්ජාකරමින් පළමුව ප්‍රශ්න නොවිමසා ඔහු විසින් ඇසූ කල්හි දෙවැන්නාවී ශාස්තෘන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීය. ශාස්තෘන්වහන්සේ, මොඝරාජතෙමේ මානයෙන් දැඩිය. යම්තාක් මොහුගේ නුවණ මුහුකුරායයිද ඒතාක් මොහුගේ මානය දුරුකිරීමට වටීයයි සිතා මොඝරාජ, නුඹ සිටුව, අන් අය ප්‍රශ්‍න අසත්වායි වදාළසේක. හෙතෙම ශාස්තෘන් සමීපයෙන් නින්දා ලැබ, ‘මම මෙතෙක් කල් මට වඩා පණ්ඩිතයෙක් නැතැයි හැසිරෙමි. බුදුවරුනම් නොදැන නොකියති. ශාස්තෘන්වහන්සේ විසින් මගේ විමසීමෙහි දෝෂයක් දක්නාලද්දේ වන්නේයයි නිහඬවූයේය. හෙතෙම අටදෙනකු විසින් පිළිවෙළින් ප්‍රශ්න අසූ කල්හි ඉවසීමට නොහැක්කේ නව වැන්නාවී යළි නැඟී සිටියේය. ශාස්තෘන්වහන්සේ යළිඳු ඔහු නින්දාවට පත් කළසේක.

හෙතෙම යළිඳු නිහඬවී දැන් සංඝනවකයෙක් වීමට නොහැක්කෙමියි පසළොස් වැන්නාවී ප්‍රශ්න ඇසීය. ඉක්බිති ශාස්තාන් වහන්සේ මොහුගේ නුවණ මුහුකුරා ගිය බව දැන ප්‍රශ්නයට පිළිතුරු දුන්සේක. හෙතෙම දෙසුම අවසන්හි තමන්ගේ පිරිවර ජටිලදහස සමඟ රහත්බවට පැමිණියේය. මේ අයුරින්ම ඉතිරි ජටිල පසළොස් දහසද රහත් බවට පැමිණියාහුය. සියල්ලෝ සෘද්ධිමය පාසිවුරු දැරුවාහු ඒහි භික්‍ෂූහු වූහ. සෙසු ජනයන් ගැන නොකියැවෙයි. මේ මොඝරාජ තෙරණුවෝ එතැන්සිට ත්‍රිවිධ රූක්‍ෂයන්ගෙන් සමන්විතවූ සිවුරු දරති. මෙසේ පාරායණ වර්‍ගයෙහි කථාව පැන නැගුනේයි. ශාස්තෘන්වහන්සේ වනාහි පසුකාලයෙහි ජේතවනයෙහි වැඩහුන්සේක් තෙරවරුන් පිළිවෙළින් තනතුරුවල තබමින් මොඝරාජ තෙරුන් මේ සසුනෙහි රූක්‍ෂචීවර දරන්නවුන් අතුරෙන් අගතනතුරෙහි තැබීමට ‘මහණෙනි, යම් මේ මොඝරාජ තෙරණුවෝ රූක්‍ෂචීවර දරන්නාවූ මගේ ශ්‍රාවකභික්‍ෂූන් අතරෙන් අග්‍රයහයි වදාළසේක.

සොභිත මහරහතන් වහන්සේ.

සෝභිත මහරහතන් වහන්සේ.

 

පෙර විසූ කඳ පිළිවෙළ සිහිකිරීමෙහි සමතුන් අතුරෙන් සෝභිත තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. පෙරවිසීම අනුපිළිවෙළින් සිහිකරමින් කල්ප පන්සියයක් අඤ්ඤීභවයෙහි අචිත්තක ප්‍රතිසන්‍ධිය අහසෙහි පියවර දක්වන්නාක් මෙන් නය (ක්‍රම) වශයෙන් ගත්තේය. එබැවින් පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරන්නවුන් අතුරෙන් අග්‍රනම් වුයේය.

පියුමුතුරා බුදුන් දවස හංසවතී නුවරෙහි කුලගෙයක පිළිසිඳ ගෙන වියපත් වුයේ බුදුන්වහන්සේගේ ධර්‍මය අසමින් එක්භික්‍ෂුවක පෙරවිසීම් පිළිබඳ නුවණ ලැබූවන් අතුරින් අගතනතුරෙහි තබන බුදුන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කම්කොට දෙව්මිනිසුන් අතුරෙහි සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවැත් නුවරෙහි බමුණුකුලයක උපන්නේය. ඔහුට සෝභිතයයි නම් කළාහුය.

හෙතෙම පසුකලෙක බුදුන්වහන්සේගේ ධර්‍මය අසා ලබනලද සැදැහැඇත්තේ පැවිදිව විදසුන් වඩා රහත්බව ලබා පෙරවිසූ කඳපිළිවෙළ පිළිබඳ දැනුමෙහි පුරුදු කරනලද වසඟතාව ඇත්තේවිය. හෙතෙම අනුපිළිවෙළින් තමන්ගේ උපන් තැන් සිහි කරන්නේ අසංඥී භවයෙහි අචිත්තක ප්‍රතිසන්‍ධිය දක්වා පිළිසිඳ ගැනීම් දුටුවේය. එයින් අනතුරුව අතරතුර කල්ප පන්සියයක පුවත් නොදැක අවසානයෙහි චුතිය දැක මේ කිමෙක්දැයි සිහිකරන්නේ නය වශයෙන් අසංඥීභවය වන්නේයයි නිෂ්ටාවට ගියේය. ශාස්තෘන්වහන්සේ මේ කාරණය අර්ථෝපත්ති කොට තෙරුන් පෙරවිසූ කඳපිළිවෙළ සිහිකරන්නන් අතුරින් අගතැන්හි තැබූසේක.