අපේ බුදුහාමුදුරුවෝ 89

රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් ශරීරයෙන් රශ්මිය විහිදවූ 
වෙස්සභු  බුදුහාමුදුරුවෝ 02.

වෙස්සභූ බුදුරජුන්ගේ මංගල ධර්ම දේශනය සහ ප්‍රථම ධර්මාවබෝධය

රන් පහන් කණුවක් හා සමාන, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් සිඛී බුදුරජාණන් වහන්සේ උසින් සැට රියනක් වුණා. රන් යාග ටැඹකට සමාන උපමා ඇති සේක්, රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් උන්වහන්සේගේ ශරීරයෙන් රශ්මිය නික්මෙන්නට වුණා. මහා තේජාන්විත ලෝකසත්වයා කෙරෙහි අපමණ කරුණාවෙන් බුද්ධත්වයට පත් වූ උන්වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ බ්‍රහ්ම ආරාධනය පිළිගෙන මංගල ධර්ම දේශනය සඳහා හේතු සම්පත් ඇති සංසාරයේ ඒ සඳහාම පතාගෙන පැමිණි පිරිස් ඇත්දැයි දැවසින් ලොව දෙස බලන්නට වුනා. එවිට ඒ සඳහාම පැමිණි තම බාල සොහොයුරු සෝණ කුමරුගේද උත්තර කුමරුගේද හේතු සම්පත් දැක ඔවුන් ඒ මොහොතේ ක්‍රීඩා කරමින් සිටි අනුපම නගර සමීපයෙහි පිහිටි අරුණ උයනට වැඩියේ අහස්තලය දෙබෑකරමින් අඳුර දිනක පෑවූ සුර්යය රාජයා මෙන් දසත ඒකාලෝක කරමින්. ඒ කුමරුන් දෙදෙනාත් නිකම්ම අරහත්වයට පැමිණි දෙදෙනෙකු නොව දෑසවුවන්ගේ තනතුර පතමින් පැමිණි අය.  උයන් පාලකය ලවා කුමාරවරු කැඳවූ උන්වහන්සේ කුමාරවරු ඇතුළු පිරිසට දම්සක් පවත්වන්නට වුණා. ඒ මොහොතේ අසූකෙළ දහසකට ප්‍රථම ධර්මාවබෝධය වුනා.

දෙවන ධර්මාවබෝධය

නැවත ජනපද චාරිකාවේ වඩිනවිට භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ තැන්වල දහම් දෙසා හැත්තෑකෙළ දහසකට ධර්මාවබෝධය කළා. ඒ දෙවන ධර්මාවබෝධයයි.

තෙවන ධර්මාවබෝධය

ඉන්පස්සේ යලිත් අනුපම නුවර සිටි මාන්නයෙන් අධික මිසදුටු පිරිසක් වෙනුවෙන් ඔවුන් හික්මවීමට යමක ප්‍රාතිහාර්යය කරනු ලැබුවා. ඒ මහා පෙළහර නැරඹීමට දෙවියන්ද අහස්තලය මත අතුරු සිදුරු නැතිව පිරීසිටියා. අවසානයේ බුදුකෙනෙකුන් විසින් ඉතාමත් කලාතුරකින් පානු ලබන යමක ප්‍රාතිහාර්යය දක්වන්නට වුනා. පෙර නොවූවිරූ, ලොමු දැහැගන්නාවූ මහ පුදුමය දැක, දෙවියන් ඇතුළු මිනිසුන් සැටකෝටියක්  හික්මී ධර්මාවබෝධයට පැමිණුනා. එය තෙවන අභිසමයද වුණා.

පළමු සන්නිපාතය

මහර්ෂීවූ වෙස්සභූ බුදුරජුන්ට, තාදී ගුණ ඇති, සන්සුන් සිත් ඇති, කෙලෙස් කිලිටු නැති රහතුන්ගේ රැස්වීම් (සන්නිපාත) තුනක් වූණා. සෝණ උත්තර නමැති දෑසවුවන්ගේ සමාගමයෙහි පැවිදි වූ අසූ දහසක් රහතන් මැද පළමුවන පාමොක් දේශණාව කරනු ලැබුවා.

දෙවැනි සන්නිපාතය

යම් කලෙක මුළු ලොව දිනූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ සමග පැවිදි වූ සැත්තෑ දහසක් භික්‍ෂූන් වහන්සේලා ධම්මචක්ක පුවත අසා සෝරෙය්‍ය නම් නුවරට අවුත් භාග්‍යවතුන් වහන්සේ බැහැදුටුවා. භාග්‍යවතුන් වහන්සේ මහත් කරුණාවෙන් උන්වහන්සේලාට දහම් දෙසා ඒහිභික්ෂු භාවයෙන් පැවිදි කරවා සිවු පිරිසෙහි පාමොක් දේශනා කරනු ලැබුවා. එය දෙවැනි සන්නිපාතයද වුනා.

තෙවැනි සන්නිපාතය

නාරිවාහන නම් නුවර උපසනක නම් රාජපුත්‍රයෙක්  රජකම් කරනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එම නුවරට වැඩම කරනු ලැබුවා. ඒ රජතුමා ඒ බව අසා පෙරමගට ගොස් ආරාධනය කොට මහදන් පුදා උන්වහන්සේගෙන් බණ අසා පහන් වූ සිතින් පැවිදි දිවියට ඇතුලත් වුණා. රජතුමා සමග සැටදහසක් පිරිස පැවිදි දිවියට ඇතුලත් වුණා. ඒ සියලුම දෙනා එතුමන් සමග අරහත්වයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පිරිවරණ ලදුව පාමොක් දේශනා කරා. එය එය තුන්වන සන්නිපාතය යනුවෙන් කියනවා.

විසිඑක්වන නියත විවරණය. 

ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ සරභවතී නුවර පරම ප්‍රියදර්ශන සුදස්සන නමින් රජකම් කරමින් සිටියේ.වෙස්සභූ ලෝකනායකයාණෝ සරභ නගරයට වැඩියේ ඔය කාලයේ. උන්වහන්සේගෙන් බණ ඇසූ අප මහා බෝසතාණෝ ජලජ නිමල අවිකල මානෙල් කැකුළක් වන් ඇදිලිය හිස තබා බුදුපාමොක් සඟනට මහා චීවරදානයක් දෙනු ලැබුවා. එයින් නොනැවතුන උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වාසය වෙනුවෙන් ගඳකිලියක් කොට  එය වටකොට විහාර දහසක් කරවා සියලු සම්පත් බුද්ධශාසනයට පුදකොට  උන්වහන්සේ හමුවේ පැවිදි වනු ලැබුවා. ආචාරයෙන් හා ගුණයෙන් යුත්වූ  වතින් හා සීලයෙන් අගතැන්පත්ව, බුදුබව සොයමින්, බුදු සස්නෙහිම  සිත් අලවා වාසය කරන්නට වුණා. අප මහා බෝසතාණෝ සැදැහැයෙන් හා සතුටෙන් යුතුව, බුදුන් වෙත වෙත පැමිණ දෙවි මිනිසුන්ට අනුශාසනා කරණ බුදුරදුන්ගේ පා වන්දනා කරන්නට වුනා. එකල සම්බෝධිය (බුදුබව) හේතුකොටගෙන උන්වහන්සේ මහත් වූ ප්‍රීතිය සිත් තුල උපදවා ගත්තා. සම්බුදුරද තෙම නොපසුබස්නා සිත් ඇති බව දැන,’’මෙයින් තිස්එක්වන කපෙහි මේ පැවිදි තෙම බුදුවන්නේය’’ යනුවෙන් විසිඑක්වෙනි  නියත විවරණ දී වදාරනු ලැබුවා.

අසමවූ, මහර්ෂීවූ ඒ බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැයි,

දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ පවත්වන්නට වුණා.  අත්පොලසන් දෙන්නට වුණා.  සතුටින් සිනහසෙන්නට වුණා.  දොහොත් මුදුන් දී නමස්කාර කරන්නට වුණා.

’’ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි හෙවත් මතු කාලයෙහි මුන්වහන්සේ හමුවන්නෙමු.

’’යම්සේ ගඟක් එතර කරන්නාවූ හෙවත් පීනන්නාවූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,

’’එපරිද්දෙන්ම අපි හැමදෙන මේ වෙස්සභූ බුදුරදුන් කාලයෙහි මගඵල අවබෝධකොටගත නොහැකි වුණොත්  මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.’’ යනුවෙන් සැනසුම් සුසුම් හෙලන්නට වුණා. ඒ අතර සමහර විට ඔබත්  මමත් ඉන්නට ඇති.  ඒත් තවමත් සංසාරේ.

error: Content is protected !!